හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

29 August 2012

මිතුරෙකුගෙන් ලද පණිවිඩයක්

ගැන සඳහන් කර සබැඳියාව ලබාදී තිබුනා. එය ඔබටත් නරඹන්නට අවස්ථාවක් ලබා දියයුතුයි හැඟුනා. සමහරවිට ඔබෙන් බොහෝ දෙනෙක් මෙය මීට පෙර නරඹා ඇති. මට දකින්නට ලැබුනේ ඊයේ දිනයේදීයි. මෙහි තිබෙන අදහස් සියල්ලටම එකහෙලාම එකඟ වන්නට නොහැකි නමුත්, මෙහි කිසියම් පණිවිඩයක් ඇතුලත්ව තිබෙන බව පෙනෙනවා.
මෙය ප්‍රචාරණයක් නොවන බව කාරුණිකව සලකන්න.


24 August 2012

20 වැනි සියවසේ වීර චාරිකාවක් ‘කොන් ටිකි’ (අවසාන කොටස) Expedition Kon Toki (Final Episode)


  ගමන
  කොටස් තුනක් පුරා අපි ආව කොන් ටිකි ගමනේ අවසානය දකින්නයි අද සූදානම් වෙන්නේ. මේ ගමනේ ත්‍රාසය මුසුවූ සිදුවීම් ඇත්තේ මේ කොටසෙයි. මෙහි මුල් කොටස් තුන ඔබ කියවා නැත්නම්,
  තෝර් හෙයඩල් හොඳින්ම දැන සිටියා, මේ ගමන ඉතා වියදම් අධික ගමනක් බව. තමන්ගේ රටේ සිට සැතපුම් දස දහස් ගණනක් නැවෙන් ගොස් පේරු රාජ්‍යයට ලඟා විය යුතුයි. ඒ සඳහා හය දෙනෙකුට වියදම් කල යුතුයි. අවශ්‍ය උපකරණ සහ අනෙකුත් බඩු බාහිරාදිය සපයාගෙන රැගෙන යායුතුයි. පේරු රාජ්‍යයේ නැවතී හිඳිමින් අවශ්‍ය අමු ද්‍රව්‍ය සොයාගෙන යාත්‍රාව නිර්මාණය කල යුතුයි. ගමන අවසන් කර ආපසු තම රටට පැමිණිය යුතුයි. මේ සඳහා මුදල් සොයා ගැනීම සිතූ තරම් පහසු වුනේ නැහැ. අවසානයේදී පෞද්ගලිකවම ණයට ගත් මුදල් සහ ඇමරිකානු එක්සත් ජනපද යුද හමුදාවෙන් පරිත්‍යාග වශයෙන් ලද මුදල්ද යෙදවීමෙන් තමයි මේ කටයුත්ත සාර්ථක කරගත්තේ. තවද පේරු රාජ්‍යයෙන් ඔවුන්ට නොමිලේ නාවික යාත්රාන්ගන පහසුකම් ලබා දුන්නා. එමෙන්ම ඉපැරණි යාත්‍රා පිරිබඳ චිත්‍ර සහ රූප සටහන්ද ලැබුන  අතර එවැනි යාත්‍රා ඉදිකිරීම ඒ පිලිබඳ විශේෂඥයන් විසින් පියවරෙන් පියවර නිරීක්ෂණය කොට වාර්තාගත කෙරුනා. නවීන උපකරණ ලෙස කැමරා, ගුවන්විදුලි යන්ත්‍ර, අත් ඔරලෝසු, සටහන් පත්‍ර, කැලෑ පිහියා මෙන්ම මුහුදේදී මාර්ගය සොයන සෙක්ස් තන්තුව(Sextant) නමැති උපකරණයක්ද රැගෙන ගියත්, හෙයඩල් කිව්වේ, එයින් ගමනේ මූලික අරමුණට කිසියම් බලපෑමක් එක් නොවන බවයි.   
  ඇත්තටම කොන් ටිකි යාත්‍රා කරනවා කියා දැනගන්නේ කොහොමද?   
  එතනදී නම් නවීන තාක්ෂණය පාවිච්චි කරන්න වුණා. මොකද මෙය පර්යේෂණාත්මක ගමනක්. ගමන යන්නේ විද්වතුන් පිරිසක්. ඉතින් ඔවුන්ගේ තත්වය නිරීක්ෂණය කරන්න වෙනත් යාත්‍රා ඒ පසුපස යැව්වොත් ඔවුන් තනියම ගමන ගියා කියන්න බැහැ. එකල චන්ද්‍රිකා තාක්ෂණය තිබුනේ නැහැ ඔවුන්ව නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණ ගුවන් යානා යෙදවීමට කිසිම රටක ඉදිරිපත් වුනේ නැහැ. ඉතා අධික වියදම් නිසා. මේ සියල්ල සලකා ඔවුන්ට සිදුවුනා පණිවිඩ හුවමාරු යන්ත්‍ර රැගෙන යන්න. (නූට් හෆ්ලන්ඩ් දෙවැනි ලෝක යුද සමයේ රහසිගත් පණිවිඩ හුවමාරු විශේෂඥයෙක්, නෝර්වේ හමුදාවේ මේජර් වරයෙක්. ඔහු තමයි පණිවිඩ හුවමාරුවේ ප්‍රධානියා එවැනිම හමුදා පණිවිඩ හුවමාරු විශේෂඥයකු වූ ටෝශියන් රාබිත් වැඩේට හවුල් වුණා)
ඔවුන් ගෙනගිය පණිවිඩ හුවමාරු යන්ත්‍ර මෙසේයි.
1. ආධුණික ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියාකරුවන් විසින් පාවිච්චි කරන කෙටි තරංග ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර දෙකක්. (Ameture Radio set) (National Radio Company NC 173 Model) මේවා අද දකින්නට නොලැබෙන වැකුම් ටියුබ් හෙවත් වෑල්ව් (Vacuum Tube = valve)  වලින් ක්‍රියා කරන යන්ත්‍ර. අද ඒ වෙනුවට යොදන්නේ සංගෘහිත පරිපථ (Intregated Circuits = IC)
2. දෙවැනි ලෝක යුද සමයේදී බ්‍රිතාන්‍ය විශේෂ ක්‍රියාන්විත විධායකය (British Special Operation Executive = SOE) නම් අංශය පාවිච්චි කළ, මාර්ක් 2 වර්ගයේ පණිවිඩ හුවමාරු යන්ත්‍රයක්.
3.  එම ගුවන්විදුලි යන්ත්‍ර සඳහා අවශ්‍ය බැටරි දෙකක්. හදිසියකදී එම ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියාකරවීමට පමණක් සෑහෙන බලයක් උපදවාගත හැකි අතින් කරකවන විදුලි ජනක යන්ත්‍රයක්. (Electricity Generator)
  මේ ගුවන්විදුලි යන්ත්‍ර වතුරට ඔරොත්තු දෙන හමුදා ගුවන්විදුලි යන්ත්‍ර වුනත්, මුහුදු රල අනපේක්ෂිත ලෙස වැදීමෙන් ක්‍රියා විරහිතවූ අවස්ථා තිබුනා. කෙසේ වෙතත් මේ යන්ත්‍ර භාවිත කර, සමහර අවස්ථා වලදී සැතපුම් දස දහසකටත් වඩා ඈතින් පිහිටි, නෝර්වේ රාජ්‍යය සමග පණිවිඩ හුවමාරු කරගන්නට ඔවුන් සමත් වුණා. නමුත් ඔවුන් බොහෝවිට කලේ කතා කිරීම නොවේ. “සියල්ල හොඳින් සිදුවෙනවා” “All Well” යන සංඥාව නොකඩවා ප්‍රචාරය කිරීමයි.  ඔවුන්ගේ යාත්‍රාවට පණිවිඩ හුවමාරුව සඳහා ලබාදී තිබුන සංඥා නාමය (Call Sign) වුයේ LI2B (ලීමා ඉන්ඩියා ටූ බ්‍රාවෝ) ලීමා, ඉන්ඩියා, බ්‍රාවෝ, යනු මොනවාද යන්න මෙතනින් බලන්න.
පිටත්වීම

33 න් හැවිරිදි තරුණයකු වූ, නෝර්වේ ජාතික තෝර් හෙයඩල් ගේ  නායකත්වයෙන් යුත්, ගවේෂක පිරිස රැගත් කොන් ටිකි යාත්‍රාව, ඒ  ෙඑතිහාසික චාරිකාව අරඹමින්, ක්‍රිස්තු වර්ෂ 1947 ක් වූ අප්‍රේල් මස 28 වැනි දින අපරභාගයේදී පේරු රාජ්‍යයේ ‘කැලාඕ’ වරායෙන් ගමන ආරම්භ කළා.
   යාත්‍රාව දියත් කිරීම බොහොම චාම්ව එහෙත් සියළු ගෞරව සහිතව සිදු කෙරුනා. කැලාඕ වරායේ නවතා තිබුණු විවිධ නාවික යාත්‍රා වලින් ද, ඒ වරාය තුල සහ වරායෙන් පිටත ආසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබුණු විවිධ නාවික යාත්‍රා වලින් ද, කොන් ටිකියට බාධා ඇතිවෙතැයි සිතුන නිසා, පේරු නාවික හමුදාවට අයත් ‘ගාඩියන් රියොස්‌’ නමැති ටග් යාත්‍රාවෙන් (අලියා බෝට්ටු කියලත් කියනවා) කොන් ටිකිය මුහුදේ සැතපුම් 50 ක් දුරට ඇදගෙන ගියා. කොන් ටිකිය ගමන් කලේ මුහුදේ තිබෙන දිය වැලක් හෙවත් සාගර ප්‍රවාහයක් (Ocean Current)ආධාර කරගෙනයි. (අද ද නාවික යාත්‍රා මේ ක්‍රමය අනුගමනය කරනවා) කොන් ටිකිය ගමන් කලේ, ලෝකයේ විශාලතම සාගර ප්‍රවාහය වන හම්බෝල්ට් ප්‍රවාහය ආධාර කරගෙනයි. (Humboldt Current) දියවැලක් හෙවත් සාගර ප්‍රවාහයක් කියන්නේ, මුහුදේ කිසියම් නිශ්චිත දිශාවකට ගලන ජල ප්‍රවාහයක්. එය ඇසට පෙනෙන්නේ නැහැ. නමුත් සැඩ පහරක් මෙන් මුහුදු ජලය තුල ක්‍රියාත්මක වෙනවා. ඒවා ඇතිවීමට විවිධ හේතු බලපානවා.
   මෙතැන් සිට මේ ගමනේ විස්තර ලබාගැනීමට තිබෙන එකම මූලාශ්‍රය වන්නේ, තෝර් හෙයඩල් විසින් කොන් ටිකියෙහි පවත්වාගෙන ගිය සටහන් පොතයි. (Log Book) එහි ඉතා වටිනා තොරතුරු ඇතුලත්ව තිබෙනවා. මේ තියෙන්නේ ඒ පොතේ පින්තුරයක්. ඊට පහලින් තිබෙන්නේ හෙයඩල් තම අත් අකුරින් එහි තැබූ සටහන් සහිත පිටු දෙකක්.
ගමන පටන් ගන්න කලින් මුහුදු රැල්ලකට අසුවූ යාත්‍රාව වරායේ ජැටියක ගැටුනත් එතරම් හානියක් වුනේ නැහැ. හෙයඩල් 1947 අප්‍රේල් මස 27 වැනිදා සිට සටහන් යොදන්නට පටන් අරන් තිබෙනවා. ගමන පිටත් වූ දිනයේ සටහන් අනුව, හවස 5 ට පමණ තමයි ඔවුන්ගේ යාත්‍රාව කැලාඕ වරායෙන් පිටතට ඇවිත් තිබෙන්නේ. පළමුවැනි සටහනේම තිබෙනවා, එක් එක් පුද්ගලයාට අයිති කාර්යභාරය. ඒ මෙසේයි.
1. තෝර් හෙයඩල්  = නායක
2. හර්මන් වට්සින්ගර් = උප නායක සහ ප්‍රධාන තාක්ෂණික නිලධාරි
3. එරික් හෙසල්බර්ග් = මග පෙන්වන්නා (නියාමක)
4.  නූට් හෆ්ලන්ඩ් සහ ටෝශියන් රාබි = ගුවන්විදුලි පණිවිඩ හුවමාරු කරුවෝ
5. බෙන්ග්ට් ඩනියල්සන් = සත්කාරක කටයුතු (Steward)
  පළමු වැනි දිනයේ සිටම ඔවුන් දිනපතා එක් අයෙක් (විශේෂයෙන් රාත්‍රී කාලයේදී) අවදියෙන් යාත්‍රාවේ ගමන නිරීක්ෂණය කරමින් සිටියා. පළමු වැනි දිනයේදී ඒ රාජකාරි යෙදී තිබුන අයුරු, සටහන් පොතේ තිබෙන්නේ මෙසේයි. රාත්‍රී 8 සිට 10 දක්වා නූට්, 10 සිට 12 දක්වා හර්මන්, 12 සිට 2 දක්වා තෝර්, 2 සිට 4 දක්වා බෙන්ග්ට්, 4 සිට 6 දක්වා එරික්, 6 සිට 8 දක්වා ටෝශියන්.
  මා කලින් සඳහන් කලාක් මෙන් කොන් ටිකිය ශාන්තිකර සාගරයේ සැතපුම් 50 ක් දුරට ඇදගෙන යාම දිගටම සිදු කෙරුනා. එය අවසන් වුනේ පසුදා එනම් අප්‍රේල් 29 වැනිදායි. එදින උදේ 9.30 ට පමණ කොන් ටිකිය ඇදගෙනයන කඹය කැඩුනා. තෝර් සහ එරික් දෙදෙනා, හදිසි අවස්තාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා කොන් ටිකියේ තිබුන, කුඩා ඩිංගි බෝට්ටුවෙන් ඉදිරියට ගොස්, යලි කඹය ගැට ගැසුවා. හරියටම දවල් 12.00 ට ඇදගෙන යාමේ සීමාවට හෙවත් සැතපුම් 50 දුරට, කොන් ටිකිය ළඟාවුණා. එහිදී කොන් ටිකිය, ඉමක්‌ කොනක් නොපෙනෙන ශාන්තිකර සාගරයේ තනිකර දමා, මෙතෙක් එය ඇදගෙන පැමිණි ගාඩියන් රියොස්‌ යාත්‍රාව, ඔවුන්ට සුබ පතා ආපසු හැරුනා.
  මුලින්ම යාත්රිකයන් සිය ගුවන්විදුලි පණිවිඩ හුවමාරු ක්‍රම අත්හදා බැලූ අතර එය සාර්ථක වුණා. මහ සයුර ක්‍රම ක්‍රමයෙන් රළු වන්නට පටන් ගත්තා. මහා මුහුදු රැළි ඔවුන්ගේ යාත්‍රාව වේගයෙන් ඉහලට ඔසවා අතහැරියත්, පැරණි තාක්‍ෂණය බොරුවක් නොවෙයි යන්න ඔප්පු කරමින් යාත්‍රාව ජලයේ නොගිලී ගමන් කලා.
  යාත්‍රික පිරිස විමතියට පත් කරමින්, මහා තල්මසෙක්, යාත්‍රාව අසලින්ම ගමන් කළේ, උගේ හිසෙන් වතුර මලක් විදිමින්. විවිධ මාලුවර්ග දකින්නට ලැබුණු අතර, අති විශාල පියාමැස්සන් විශේෂ තැනක් ගත්තා. යාත්‍රා තට්ටුවට යටින්, මුහුදු රළ, වේගයෙන් පහර දෙන්නට පටන්ගත්තා. යාත්‍රාව කඩදාසි ඔරුවක්‌ මෙන් රැළි සමග එහෙ මෙහෙ විසි වුනත්, පෙරලුනේ නැහැ. රාත්‍රී කාලය වනවිට මුහුද වඩාත් රළු වුණා. එ නිසා දෙදෙනෙක් එක වර මුර කිරීමට තීරණය කළා. මේ අතර නූට් හට මුහුදු රෝගය  (Sea Sickness) වැළඳුනා. ඔහුට විවේක ගන්නට ඉඩ හැර, සෙසු පිරිස කාලය බෙදාගෙන යාත්‍රාවේ කටයුතු කළා. රාත්‍රී කාලයේදී මහා දිය රැළි යාත්‍රාවේ තට්ටුවටත් ඉහළින් වදින්නට පටන් ගත්තා. මේ නිසා සමහර අවස්ථා වලදී සියලු දෙනාට සිදු වුණා, තමන්ව කඹයකින් යාත්‍රාවේ කුඹ ගහට හෝ කනුවකට තබා බැඳ ගන්නට. නැත්නම් රළ පහරින් මුහුදට විසිවී යන්නට පුලුවන්.
  මුහුදේ ගතකල සෑම දිනයකම ඔවුන් අලුත් අත්දැකීමක් ලැබුවා. බල්සා කඳන් පෙඟුණු ස්වභාවයක් පෙන්නුම් කිරීම නිසා, ඔවුන්ගේ සිත් තුල කිසියම් චකිතයක් ඇතිවුනා. සමහරෙක් හොරෙන්ම තම කැලෑ පිහි බල්සා කඳන් වලට බස්සවා බැලුවා. නමුත් ඔවුන්ට වැටහුණා, ඒ පෙඟුණු ස්වභාවය තිබෙන්නේ, අඟල් දෙකක පමණ ඝනකමට පමණක් බව. එය, බල්සා කඳක් ජලයේදී හැසිරෙන ආකාරය බව, ඔවුන් අවබෝධ කරගත්තා. සමහර කඹ බල්සා කඳන් තුලට කාවැදී තිබුනත්, ඒවා තවත් තදවී තිබෙනවා හැර, යාත්‍රාවට එයින් හානියක් නැති බවද පෙනීගියා.
තම පාවිච්චිය සඳහා ජලය රැගෙන ගොස් තිබුනත් වැසි ජලය එකතු කරගැනීමටත් ඔවුන් අමතක කලේ නැහැ. ඒ සමග ඔවුන් නිරීක්ෂණය කල මත්ස්‍ය වර්ග, ජලජ ශාක වර්ග, කාලගුණික වාර්තා, හෙයඩල්ගේ සටහන් පොතේ ඇතුලත් වෙනවා.  ඒවා ඉතා දීර්ඝ විස්තර නිසා මෙහි ඇතුලත් කරන්නේ නැහැ. හෙයඩල් තම චාරිකා විස්තරය පසුව මුද්‍රණය කර ප්‍රසිද්ධ කළා. මේ තියෙන්නේ එයයි.
  හෙයඩල් සහ පිරිසට  සහ පිරිසට මේ මහා සාගර චාරිකාවෙන් පසු පළමු වරට ගොඩබිමක් දකින්නට ලැබෙන්නේ 1947 ජූලි මස 30 වැනිදායි. ඒ පොලිනීසියානු දූපත් සමූහයෙම, කොරල් පර වලින් සෑදුනු, ‘පූකා පූකා’ නමැති දූපතයි.  ඒ වනවිට ඔවුන් පේරු රාජ්‍යයෙන් පිටත්වී, දින 97 ක් මහ සයුරේ ගමන් කර තිබුනා. හෙයඩල්  මේ චාරිකාව ආරම්භ කිරීමට පෙර කල ගණනය කිරීම් වලදීද කියා තිබුනේ, අවම වශයෙන් දින 97 ක් වත් යාත්‍රා කිරීමට සිදුවන බවයි.  ඔවුන් ගේ ගමන අවසන් කරන්න සිදුවුනේ බලාපොරොත්තු රහිත ආකාරයකටයි. කොරල් පර වලින් ගහන සාගර ප්‍රදේශයකදී ඔවුන්ගේ යාත්‍රාව හදිසියේම කොරල් පරයක හිරවූ අතර, පසුව නැගුන මුහුදු රළ මගින්, පොලිනීසියාවට අයත් ටුවාමොටු (Tuamotu) නමැති දූපත් කොටසට අයත්, ඒ කාලයේ ජන ශූන්‍ය දූපතක් වූ, රරොයියා (Raroia) දූපතේ වෙරල වෙත තල්ලු කරනු ලැබුවා. ඒ 1947 අගෝස්තු මස 7 වැනිදායි. මේ දූපතේ අතරමංව දින කීපයක් සිටින අතර, ඒ ප්‍රදේශයට ධීවර කටයුතු සඳහා පැමිණි පොලිනීසියානු ජාතිකයන්, ඔවුන්ගේ කැනූ (Canoe) නමැති ඔරු වලින් පැමිණ, මේ වීරයන් ගේ කතාව අසා, පිරිස පිළිගෙන යාබදව පිහිටි ජනාවාස දූපතක් වෙත ගෙනගොස් නැටුම් ගැයුම් සහිත උත්සව පවත්වා උපහාර පිදුවා. අවසානයේදී ඔවුන්ව බාරගත්, ප්‍රංශයට අයත්, ‘තමාරා’ නමැති කුඩා නැව, කොන් ටිකියද ඇදගෙන, පොලිනීසියානු දූපත් අසල පිහිටි, තහිටි දූපත් (Tahiti Islands) වෙත ගමන් කළා. වීරයන් පිරිස ගෙදර එන්නට පිටත් වුනේ එහි සිටයි.   
  ඒ වීර චාරිකාව අවසන් වුනේ එලෙසයි. ඒ 1947 අගෝස්තු මාසය. මේ ක්‍රිස්තු වර්ෂ 2012 අගෝස්තු මාසයයි. මේ වීර චාරිකාව සිදුවී දැන් වසර 65 ක් ගෙවී තිබෙනවා. හෙයඩල් සහ පිරිස වීරවරයින් ලෙස පිලි ගැනුනා. ලෝකය පුරාම ඔවුන්ගේ කීර්ති කදම්බය පැතිර ගියා. ඔවුන්ගේ යාත්‍රාව විශේෂ නැවක් මගින් නොර්වේ වෙත රැගෙන ගොස් කොන් ටිකි කෞතුකාගාරය (Kon Tiki Museum) නමින් විශේෂ කෞතුකාගාරයක තැන්පත් කෙරුණා. මේ චාරිකාවෙන් නොනැවතුණු හෙයඩල්  තවත් මෙවැනි වීර චාරිකා කීපයකම යෙදුනා. 
හෙයඩල්ගේ  පෞද්ගලික ජීවිතයෙන් බිඳක්

උපත :- 1914 ඔක්තෝබර් 6 නොර්වේ රාජ්‍යයේ ලාර්වික් ප්‍රදේශයේදී

අධ්‍යාපනය:- නොර්වේ රාජ්‍යයේ ඔස්ලෝ විශ්ව විද්‍යාලයෙන් උපාධියක්ද පශ්චාත් උපාධියක්ද ලබාගත්තේය.

විවාහ ජීවිතය :- හෙයඩල් තෙවරක් විවාහ දිවියට ඇතුලත් විය.
පළමුවැනි විවාහය ‘ලිවූ කචේරෝන් තොර්ප්’ සමග 1937 දී. තෝර් හෙයඩල් කනිෂ්ට නමැති පුතා සහ බ්ලෝන් නමැති පුතාද ලැබුනේ මේ විවාහයෙනි. දික්කසාදයෙන් කෙලවර විය. 
දෙවැනි විවාහය 1949 ‘ඉවොන් සයිමන්සන්’ සමග. දියණියන් තිදෙනෙක් ලැබුණි. දික්කසාද විය. ඒ පිලිබඳ වරද තමාගේ බව ඔහු කියා ඇත.
1991 දී ඔහු ’ජැකලීන් බීයර්’ සමග විවාහ විය. ඔහු ඇය සමග පදිංචිව සිටියේ කැනරි දූපත්හි ටැනනරිෆ් නුවරය.
  අසාමාන්‍ය දේශ ගවේෂකයකු, මානව විද්‍යාඥයකු, මානව ශිෂ්ඨාචාරය පිලිබඳ ලෝකයේ දැක්ම පුළුල් කල චින්තකයකු වූ තෝර් හෙයඩල්, සිය පාස්කු නිවාඩුව ගත කිරීම සඳහා, පවුලේ හිතවතුන්ද සමග, ඉතාලියේ ‘කොලා මිශේරි’ ප්‍රදේශයට ගොස් සිටියදී, මොලයේ තිබුණු පිළිකා තත්වයක්, හදිසියේ උත්සන්න වීම හේතුවෙන්, ක්‍රිස්තු වර්ෂ 2002 ක් වූ අප්‍රේල් මස 18 වැනි දින අභාවප්‍රාප්තවුණා.
තෝර් හෙයඩල් ගේ දේහය ඔහු මියගිය ප්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කෙරුනා.නොර්වේ රජය ඔහු වෙනුවෙන් ඔස්ලෝහි ආසන දෙව්මැදුරේ විශේෂ අවමංගල්‍ය යාඥා මෙහෙයක් 2002 අප්‍රේල් 26 වැනි දින පවත්වා,  ඔහුට රාජ්‍ය ගෞරව ලබා දුන්නා. තෝර් හෙයඩල් 20 වැනි සියවසේ විශිෂ්ඨතම නොර්වීජියානුවා ලෙසටයි අදටත් සලකන්නේ.
හෙයඩල් වෙනුවෙන් කැනරි දූපත්හි සහ නොර්වේ රාජ්‍යයේද ස්මාරක ඉදි කෙරුනා.
  හෙයඩල් සහ පිරිස එකතු කරගත් සමහර වාර්තා මුහුදු ජලය වැදීම නිසා විනාශ වුනා. ඔවුන් පටිගත කරගත් සමහර සිනමා පටිද (වීඩියෝ කැමරා/ඩිජිටල් කැමරා ඒ කාලයේ තිබුනේ නැහැ) එලෙස විනාශවූ අතර සමහර ඒවා පොලිනීසියවේදී සොරකම් කර තිබුනා. අපි මීළඟට බලමු මේ කතාව පිළිබඳව වීඩියෝ පට කීපයක්.
  මේ පළමුවැනි වීඩියෝවේ තිබෙන්නේ හෙයඩල් සහ පිරිස විසින් පටිගත කරගෙන, හානියට පත් නොවී ඉතිරිවූ සිනමා පටි කොටස් යොදාගෙන, සාදන ලද වාර්තා චිත්‍රපටියක්. එහි පසුබිම් කථනය තිබෙන්නේ නොර්වික් භාෂාවෙන්. මේ සඳහා සබැඳියාව සොයාදුන් අරුණි ශපිරෝට මගේ විශේෂ ස්තුතිය හිමිවෙනවා.


 ආධුනික කැමරා ශිල්පියකු විසින් නොර්වේහි කොන් ටිකි කෞතුකාගාරය තුලදී පටිගත කල වීඩියෝ පටයක් මීළඟට තිබෙනවා. මේ වීඩියෝවෙන් ඔබට ඒ අපූරු යාත්‍රාව මෙන්ම එම කෞතුකාගාරය තුල ඇති බොහෝ දේ දැකිය හැකියි. (කැමරාව හැසිරවීමනම් අතිශයින් දුර්වලයි)



 කොන් ටිකිය පිලිබඳ සම්පූර්ණ වාර්තා චිත්‍රපටිය ඔබට මෙතනින් බාගත කරගන්න පුළුවන්. 1951 දී නිපදවූ මේ චිත්‍රපටිය තෝර් හෙයඩල්ගේ  අධ්‍යක්ෂණයක් වන අතර මෙයට සම්මාන රැසක් ලැබී තිබෙනවා.
කොටස් හතරකින් යුක්තවූ මේ ඉතා දීර්ඝ ලිපිය ඉවසීමෙන් යුක්තව කියවූ ඔබ සැමට මා අනේක වාරයක් කෘතඥ වෙනවා. මෙයින් ඔබේ දැනුමට යමක් එකතු වූවානම්, මේ ලිපිය සැකසීමට මා දරන ලද වෙහෙස එයින් නිවී යනවා. මේ ලිපිය මා අවසන් කරන්නේද මිනිසාට ලෝකය තුල සීමා නැති බව හෙයඩල් විසින් කල ප්‍රකාශයකින්.
මූලාශ්‍ර

22 August 2012

හේතුහාමි පොහොර ගැහුවා වගේ


 ඉතා කාරුණික ඉල්ලීමයි. මේ ලිපිය ගැන අදහස් දැක්වීමේදී වර්තමාන සමාජයේ කුණුහරප වශයෙන් සම්මත වචන නොයොදන ලෙස ඉල්ලනවා. එවනි වචන සහිත ප්‍රතිචාර සංස්කරණය කොට පලකිරීමට සිදුවන බවද දන්වනවා.   
  හේතුහාමි රජරට ප්‍රදේශයේ ගොවි මහතෙක්. ඔහුගේ වැඩ කඩිසරයි. එමෙන්ම ඔහු නිතරම කෙටි මං ඔස්සේ තම වැඩ කටයුතු කරගන්න දක්ෂයි. ඔහු හේනේ පැල් රැකලා උදේම එනකොට, ඔහුගේ  බිරිඳ නොවරදවාම කන්න උයලා, ගෙයි දොරකඩ කුල්ල අටවලා තියන්නත් ඕනේ. නැත්නම් හේතුහාමි පැරණි සිංහල භාෂාවේ කෘදන්ත, තද්ධිත, ප්‍රත්‍ය, සමාස, යොදා හාමිනේට ආමන්ත්‍රණ සහ දේශනා පවත්වනවා. ආලපන විභක්තියෙන් ස්ත්‍රී ලිංගය සඳහන් කිරීම බහුලයි. මොකද හේතුහාමිට අවශ්‍ය ඉක්මණින් කෑම බීම/ම ඉවර කරලා, මහන්සි නොබලා කුඹුර පැත්තෙත් රවුමක් යන්නයි.
  ඔන්න එක දවසක් වෙනදා වගේම පැල් රැකලා ඇවිත් කාලා/ලා, හේතුහාමි දඩිබිඩියේ පොහොර කවරයකුත් අරගෙන,  අමුඩෙත් ගහගෙන, ගියා කුඹුරට. නමුත් කුඹුරට ගියාට පස්සේ තමයි මතක් වුනේ, කලබලේට ආවට මොකද, පෝර ටික දාගෙන කුඹුර පුරා ඉසිමින් යන්න සුදුසු භාජනයක් නැති බව. පොහොර උරය සෑහෙන්න බර නිසා, එය අතේ තියාගෙන පොහොර ඉසින්න බැහැ. හේතුහාමිගේ මල් මසුරන් මොලේට අදහසක් අවා. මුළු යායෙම කුඹුරුවල කවුරුවත් නෑ. හේතුහාමි ටක් ගාලා අමුඩය ගලවලා, ඒ රෙදි කෑල්ලට පොහොර දාගෙන, පොහොර ඉහින්න පටන් ගත්තා. එක වරකට පොහොර ටිකක් අල්ලන නිසා, වාර කීපයක් කලත් වැඩේ ඉවර වුනේ නැහැ. ඒ අතරේ ඔහු හදිසියේම දැක්ක, අහල පහල ගෙදරක ගොවියෙක් යාය පැත්තට එනවා. හේතුහාමි වහාම අමුඩය ඇඳගත්තා. අර ගොවියා ඇවිත් හේතුහාමි සමග කතාවට වැටුනා. පැය බාගයක් විතර කතා කර කර ඉන්නකොට හෙතුහාමිට යම්කිසි අමුත්තක් දැනුනා. ඒ කියන්නේ ඔහුගේ අමුඩයෙන් ආවරනයවී ඇති ප්‍රදේශයේ විශාල දැවිල්ලක් හටගෙන ඇති බවත්, තද ගතියක් දැනෙන බවත්. හේතුහාමි ඉක්මනින් කතාව ඉවර කරලා, අර ගොවියට යන්න ඇරලා, අමුඩයෙන් ආවරනයවී ඇති ප්‍රදේශය පරීක්ෂා කිරීමේදී පෙනීගියා, ඒ ප්‍රදේශය ඉදිමී රතුවී තිබෙන බව. රසායනික පොහොර තිබෙන්නේ කුඹුරට පමණක් ගැසීමට බව හෙතුහාමිට අවබෝධ වනවිට ඔහු ප්‍රමාද වැඩියි. ඔහුට අප්‍රමාන බියක් දැනුනා. මින්පසු තමන්ගේ රසවත් ජීවිතය ඉවර වේයැයි සිතුනා. මෙසේ සිතමින් සිටීම නිසා අර්බුදය තවත් වැඩිවී, අර ඉදිමීම, පොල් ගෙඩියක්/පැපොල් ගෙඩියක්/දෙල් ගෙඩියක්/ පොලොස් ගෙඩියක්/ (කැමති එකක් දාගන්න) තරමට විශාල වුණා. ඔහු වහාම ගෙදර යන්න පිටත් වුනත්, ගමන් කරන්නට උත්සාහ කිරීමේදී පෙනීගියා, උඩ යට මාරු කල ඉංග්‍රීසි V අකුරේ හැඩයට දෙපා විහිදාගෙන පමණයි අඩිය තැබිය හැක්කේ කියා.
  තම සැමියා එනතුරු බලාසිටි හේතුහාමිගේ බිරිඳ, ඈත තියාම දුටුවා හේතුහාමිගේ ගමනේ අමුත්තක්. ළඟට ආවාමයි ඇයට තේරුනේ, තම සැමියා දෙකකුල්වල ඉහල ප්‍රදේශය අස්සේ යමක් සඟවාගෙන එන බව. ඇය සිනාසෙමින් කිව්වා ‘හා හා මම දැක්කා, මගේ දොළදුක් ගාය ගැන දැනගෙන නේද, හොරා වගේ, වත්ත පහල නවසි ගහෙන් ගෙඩියක් කඩාගෙන හංගගෙන එන්නේ?’ කියලා. හේතුහාමි අර බරපතල ව්‍යාකරණ භාෂාවෙන් වාක්‍ය කීපයක් කියා, වහාම සරමක් ඇඳගෙන, තුවාය කරේ දාගෙන, බයිසිකල් කටුව ගත්තේ, හොරෙන්ම වෙද මහත්තයා ළඟට යන්නයි. නමුත් බයිසිකලයේ වාඩි වුන ගමන් ඔහු කෑ ගසාගෙන බිම වැටුනා. ඔහු වාඩිවී තිබුනේ, තමන්ගේම අමුඩයෙන්  වැසී තිබුන, මේ වනවිට ඉහත සඳහන් ගෙඩියක් පමණ විශාල ඉන්ද්‍රිය මතයි.
  දැන් කරන්නට දෙයක් නැහැ. ඔහු අර උඩ යට මාරු කළ V හැඩයට දෙපා තබමින්, වෙද ගෙදර පැත්තට යන්න පටන් ගත්තා. නමුත් අදාළ ඉන්ද්‍රිය පද්ධතියේ පැද්දීම නිසා, එහි දැනට ඇති විශාලත්වය, පිටත සිට බලන කෙනෙකුට හොඳින් නිරීක්ෂණය වුණා. ටික දුරක් යනවිට ඔහුගේ මුහුණටම හමු වුනේ, සිය බිරිඳගේ නැගණියයි (නෑනා) ඇය ඈත සිට ඔහුට හිනා වේගන ආවත්, ළඟට එනවිට මුහුණ අඳුරු වුණා. ‘අපි ඉල්ලයි කියල වෙන්න ඇති ඔය කොස් ගෙඩියක් හංගන් යන්නේ. හපෝ ඔව්වා නැතුවට අපට කන්න දේවල් තියනවා’ කියමින් ඇය ගස්සාගෙන යන්න ගියා. හේතුහාමි දත්මිටි කාගෙන ඉවසුවා.
  අමාරුවෙන් වෙද ගෙදරට ගියයි කියමුකෝ. එතන සෙනග පිරිලා. ඔක්කොම බලාගෙන ඉන්නවා හේතුහාමිගේ අමුතු ගමන දිහා. ප්‍රශ්න කෝටියක් ඔහුට එල්ල වුණා. මොනවද හංගගෙන ඉන්නේ, කියන ප්‍රශ්නයට අමතරව, මොකක් හරි ලෙඩකට වෙද මහත්තයා කියපු කෙමක් නිසාද ඔහොම ඇවිදින්නේ?, කාටවත් නොපෙනෙන්න මොකක් හරි බෙහෙත් අවුසදයක් ගේන්න කියලා වෙද මහත්තයා කිව්වද? ආදී වශයෙන්. ටිකක් වැඩිහිටි මනුස්සයා නිසා හැමෝම කිව්වා ‘හේතුහාමි අයියේ වාඩි වෙන්න’ කියලා. එහෙම කිව්ව හැමදෙනාම දිහා ආලවකයා වගේ බලපු හේතුහාමි බලෙන්ම වගේ වෙද මහත්තයා ලෙඩ්ඩු පරීක්ෂා කරන කාමරයට ගියා. මොහොතකින් ඇහුනා වෙද මහත්තයා කෑගහනවා ‘තොට පිස්සුද බොළ, මරපු මීමින්නෙක් දෙපරැන්ද අස්සේ ගහගෙන ආවේ’ කියලා.
  කොහොම කොහොම හරි, වෙද මහත්තයා ඇත්ත තත්වය තේරුම් අරගෙන, ප්‍රතිකාර කළා. හෙතුහාමිට ඉස්සර වගේම, තම අදාළ ඉන්ද්‍රිය පද්ධතියෙන්, අවශ්‍ය ‘සියළු දේවල්’ කරගන්න පුළුවන් වුණා. නමුත් ගම පුරාම කතාවක් හැදුණා හේතුහාමි පොහොර ගැහුවා වගේ කියලා.

19 August 2012

20 වැනි සියවසේ වීර චාරිකාවක් ‘කොන් ටිකි’ (තුන්වැනි කොටස) Expedition Kon Tiki (Part Three)


  අපූරු යාත්‍රාව
  කොන් ටිකි කතාවේ තුන් වැනි කොටසටයි ඔබ මේ පිවිසුනේ. මෙහි කලින් පළවූ කොටස් නොබැලුවානම්,
පළමුවැනි කොටස මෙතනින්
දෙවැනි කොටස මෙතනින්බලන්න.
  හෙයඩල් සහ ඔහුගේ සගයන් පස් දෙනාත්, හෙයඩල් ගේ සුරතල් ගිරවා වූ ‘ලොරිටා’ ත්, නෝර්වේ රටේ සිට පේරු (පීරු කියලත් කියනවා) රාජ්‍යය බලා ආවේදකුණු ඇමරිකානු වැසියන්, ඉතා ඈත අතීතයේදී, ඉතා නොදියුණු යාත්‍රා භාවිත කරමින්, ශාන්තිකර සාගරය තරණය කර ගොස්, පොලිනීසියානු දූපත් ජනාවාස කළා’ කියන, හෙයඩල් ගේ  මතය සනාථ කිරීම සඳහා එවැනි යාත්‍රාවක්‌ සාදා ඒ ආකාරයේම මුහුදු ගමනක යෙදෙන්නයි.
  හෙයඩල් ගේ මතය අනුව මේ යාත්‍රාව සෑදිය යුත්තේ දකුණු ඇමරිකානු වැසි වනාන්තර වල වැවෙන එක්තරා ගස් වර්ගයකින් ගන්න, දැව කඳන් උපයෝගී කරගෙනයි. මේ ගස් වර්ගය සහ එයින් ලබාගන්න දැව වර්ගය හඳුන්වන්නේ ‘බල්සා Balsa’ යන නමින්. මෙය විශේෂ කාර්යයක් නිසාත්, මෙය විශේෂ දැව වර්ගයක් නිසාත්, මෙය විශේෂ මුහුදු ගමනක් නිසාත්, අතීතයේදී සාගර තරණයේ යෙදුන දකුණු ඇමරිකානු වැසියන්ගේ යාත්‍රා සාදා තිබුනේද මේ දැවයෙන්ම නිසාත්, මේ දැව වර්ගය ගැන ඔබත් යම් අවබෝධයක් ලබා තිබීම වැදගත්. ඒ නිසා අපි මුලින්ම බලමු බල්සා කියන්නේ කෙබඳු ශාකයක්ද කියා.
   බල්සා ගස් හොඳින් වැඩෙන්නේ දකුණු ඇමරිකාවේ සහ නිව්ගීනියාවේ පිහිටි උෂ්ණ තෙත් වනාන්තර වල. එහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Orchoroma lagopus යන්නය. හොඳින් ජලය බැසයන බෑවුම් සහිත බිමක් සහ වසර පුරා පැතිරුණ වර්ෂාපතන රටාවකුත්, මේ ශාකයේ මනා වර්ධනය සඳහා අවශ්‍යයි. බල්සා ගසක් අවුරුදු 6 ත් 10 ත් අතර කාලයකදී එහි උපරිම වර්ධනයට ලඟා වෙනවා.  එවැනි ගසක් සාමාන්‍යයෙන් අඩි 90 ක් පමණ උසට වැවෙන අතර අඟල් 45 ක හෝ ඊටත් වැඩි වටප්‍රමානයකින් යුක්ත වෙනවා.  මේ ශාකය සතු අමුතු ලක්ෂණ කීපයම තියනවා. එයින් පළමුවැන්න තමයි මෙහි ඇති සැහැල්ලු බව.  මේ පිළිබඳව ඇති දීර්ඝ විස්තර කියවා බැලීමේදී පෙනී යන්නේ මෙය කිරල ශාකය මෙන්  සැහැල්ලු එහෙත් ඇල්බීසියා හෝ කොට්ට පුළුන් ශාකයක ඇති තරමක් තද ගතියෙන්ද යුක්ත බවයි. මෙම ශාකයේ දැව  අද බහුල වශයෙන් යොදාගන්නේ විවිධ උපකරණ නිෂ්පාදනය කිරීමටයි. ඒ අතරින් ප්‍රධාන තැනක ගන්නේ සෙල්ලම් ගුවන් යානා, විවිධ යාන වාහන වල ආකෘති, කැටයම්, කෘත්‍රිම මල් ආදියයි. ගෘහ භාණ්ඩ වල කොටස් සෑදීමටද යොදාගන්නවා. 
  මා, බල්සා ශාකය පිලිබඳ තරමක් දිග මේ විස්තරය ඔබවෙත ඉදිරිපත් කලේ මෙය අපේ රටේ දකින්නට නොලැබෙන ශාකයක් නිසාත් මේ කතාවේ ඉදිරියේදීද මේ ශාකය ගැන වරින්වර සඳහන් වන නිසාත්. ඒ නිසා ඉදිරි කොටස් වලදී ඔබතුල ගැටළු මතු නොවනු ඇතැයි විශ්වාස කරනවා.
හෙයඩල් සහ පිරිස යන්නට සූදානම් වන්නේ ඉතා භයානක ගමනක්. ඉමක්‌ කොනක් නැති ශාන්තිකර සාගරයේ කිලෝමීටර් 8000 ක් දුර මේ යාත්‍රාවෙන් ගමන් කිරීම එක අතකට හිතාමතා දිවි නසාගැනීමක් විය හැකියි. ඔවුන්ගේ ආධාරයට වෙනත් කිසිදු යාත්‍රාවක්‌ ඔවුන් සමග ගමන් කරන්නේ නැහැ. බේරාගැනීමේ කාර්යය සඳහා කිසිවකු නැහැ. අදමෙන් GPS තාක්ෂණය එදා තිබුනේ නැහැ, අඩු ගණනේ ඔවුන් සිටින ඉසව්වවත් සොයාගැනීමට. ඔවුන් මේ ගමන යන්නේ වසර දහස් ගණනකට පෙර මානවයින් ගේ තාක්ෂණය අනුගමනය කරමින්.  හෙයඩල් මුලින්ම කලේ තම යාත්‍රාව සඳහා හොඳ සැලැස්මක් සකසා ගැනීමයි. පහතින් පෙන්වන්නේ ඒ සැලැස්මයි.
  මේ සැළැස්ම සකස් කරගැනීම සඳහා විශේෂ අධ්‍යයනයක යෙදෙමින් පර්යේෂණ යාත්‍රා අත්හදා බලන්නටත් හෙයඩල්ට සිදුවුනා. අවසානයේදී ඒ අත්දැකීම් ද එකතුකර ගනිමින් ඔහු තම යාත්‍රාව සෑදීමට තෝරා ගත්තේ දකුණු ඇමරිකාවේ තිබෙන හොඳම බල්සා ගස් වැවෙන ඉක්වදෝරයෙන් ගෙන්වාගත් බල්සා කඳන් වලිනුයි.
හෙයඩල් තම යාත්‍රාවේ පදනම ලෙස යොදාගත්තේ හොඳින් වැඩුණු බල්සා කඳන් නවයක්. හොඳින් මතක තබාගන්න මේ යාත්‍රාවේ කොතනකවත් ලෝහමය ද්‍රව්‍ය ඒ කියන්නේ යටත්පිරිසෙයින් එක යකඩ ඇණයක් වත් නැහැ යාත්‍රාව සෑදීමට භාවිත කල. සියල්ල ඒකට සවිකර සකස්කර තිබෙන්නේ විවිධ ප්‍රමාණයේ ලනු සහ කඹ වලින් බැඳීමෙන්.
  අපි දැන් බලමු කොන් ටිකි යාත්‍රාවේ ඉදිකිරීම පිලිබඳ තාක්ෂණික විස්තර . යාත්‍රාව ඉදිකෙරීම සඳහා ගත් දිගම බල්සා කඳ, මීටර් 13.7 ක් දිගයි (අඩි 45) වටප්‍රමානය සෙ.මී 60 ක්, (අඩි 2) මේ කඳන් අතර මීටරයක පරතරයක් තබා, මීටර් 5.5 ක් (අඩි 18) දිග, සෙ.මී. 30 ක වටප්‍රමානයකින් (අඩි 1)  යුත් බල්සා කඳන් හරස් අතට තබා, හණ නූලෙන් අඹරන ලද  සෙ.මී. 3.1 (අඟල් 1  3/4) මහත කඹ වලින් බැන්දා. මෙසේ ප්‍රධාන කඳන් අතර මීටරයක පරතරයක් තැබුවේ හබල් පෙති සවි කිරීමට සහ රළු මුහුදු රල එකවර යාත්‍රාවට පහර දීමේදී ඒ පහරේ බලය අඩු කරගන්නයි. හබල් පෙති කුඥ්ඥ සවි කරන ආකාරයට බල්සා කඳන් වල යට පැත්තෙන් සවි කෙරුනා.
  ප්‍රධාන කුඹ ගස සකස් කෙරුනේ A අකුරේ හැඩයට කෝනාකාරව ඇමිණු ලී රාමුවක් සමග  යාකල මීටර් 8.8 ක් උස (අඩි 29) කණුවකින්. මේ සියල්ල සඳහා යොදාගත්තේ කඩොලාන ශාක. යාත්‍රා තට්ටුව සැකසීම සඳහා විවිධ අත්හදා බැලීම් රාශියකට පසු, දෙකට පලන ලද උන බම්බු සහ ඒ මත සවි කෙරුණු බට පතුරු සහ පැතලි ලී පතුරු වලින් සාදාගත් පැලැල්ලක් තෝරා ගැනුනා.  කුඹ ගසට පසුපසින් යාත්‍රා තට්ටුව මත කුටියක්‌ හෙවත් කැබින් එකක් ඉදි කෙරුනා. ඒ සඳහා සියුම්ව වියාගත් උණබට පතුරු යොදා ගැනුනා. එම කුටිය මීටර් 4.2 (අඩි 14) දිග, මීටර් 2.4 ක් (අඩි 8) පළල, මීටර් 1.2 – 1.5 උස (අඩි 4 – 5) එකක් ලෙස සකසුනා. එහි වහලයට වසා තිබුනේ වියලාගත් කෙසෙල් කොළ. යාත්‍රාවේ පසුපස කොටස හෙවත් ඇණියේ, ප්‍රධාන හබල්පත සවි කෙරුනා. එය සාදා තිබුනේද කඩොලාන ශාක වලින් ලබාගත දැව වලින්. එය මීටර් 5.8 ක් (අඩි 19) දිග එකක්. එහි හබල්පත දේවදාර දැවයෙන් තැනුනා.  
     කොන් ටිකි යාත්‍රාවට ප්‍රධාන රුවලක්ද ඊට ඉහළින් පිහිටි තවත් රුවලක්ද යාත්‍රාව හසුරවන තවත් කුඩා රුවලක්ද සවිකර තිබුනා. ප්‍රධාන රුවල දිගින් මීටර් 4.6 ක් (අඩි 15) සහ පළලින් මීටර් 5.5 ක් (අඩි 18) වුනා. රුවල් වල පිහිටෙන් යාත්‍රා කිරීම සහ අවශ්‍යවිට හබල් ගෑම හැර යාත්‍රාව පැදවිය හැකි වෙනත් ක්‍රමයක් තිබුනේ නැහැ.
යාත්‍රාවේ ගෙනගියේ මොනවාද?
  මෙය අසාමාන්‍ය මුහුදු ගමනක් වූ නිසා යාත්‍රාවේ අනවශ්‍ය දේ කිසිවක් ගෙනයා නොහැකියි. ඒ නිසා යාත්‍රාවේ ගෙන යායුතු දේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්නට හෙයඩල් සහ පිරිසට සිදුවුනා. ප්‍රදාන වශයෙන් අහාර සහ ජලය සඳහා විශේෂ තැනක දෙන්නට සිදුවුණා. මේ තමයි ගෙනගිය දේවල්. ජලය පිරවූ කෑන් 56 ක් (ලීටර් 1041 = ගැලුම් 275) පොල් ගෙඩි 200 ක්, බතල, දියලබු ගෙඩි, වෙනත් පලතුරු වර්ග.
  මේ හැර ඇමරිකා එක්සත් ජනපද යුද හමුදාවේ උපකරණ පාලක බලකායෙන් ලබාදුන්නා, හමුදා භටයන් යුද බිමේදී පාවිච්චි කරන, ක්ෂණිකව ආහාරයට ගතහැකි කෑම පැකට්, ටින් කෑම වර්ග, සහ වෙනත් ජීවිතාරක්ෂක උපකරණ. ඒ අතර කුඩා රබර් ඩින්ජියක්ද තිබුනා.
  ඔවුන් තවත් ආකාරයකින් ආහාර සපයා ගත්තා. ඒ මුහුදු මාළු අල්ලාගැනීමෙන්. කොලේ යන හරකා කොලෙන් ටිකක් කනවානම්, මුහුදේ යන මිනිහාට මුහුදු මාළු කන්නටම වෙනවානේ. මේ පිරිස අල්ලාගත් මත්ස්‍ය වර්ග අතර පියාමැස්සන්, ඩොල්ෆින්, කහ වරල් සහිත කෙලවල්ලන්, ගල් මාළු මෙන්ම මෝරුන් ද සිටියා.
 කොන් ටිකි යාත්‍රාවට ඒ නම ලැබුනේ කොහොමද?
  දකුණු ඇමරිකානු මානව වර්ග පිළිබඳව තෝර් හෙයඩල් විසින් කරන ලද පර්යේෂණ වලදී දැනගත් කරුණක් වුයේ දකුණු ඇමරිකාවේ ඉපැරණි ගෝත්‍රයක් වූ ඉන්කා ගෝත්‍රිකයන් හිරු දෙවියන් ඇදහීම කල බවයි. හෙයඩල්ගේ මතය අනුව පොලිනීසියානු දූපත් ජනාවාස වීඒමට ඒ ගෝත්‍රිකයන් මුල්වූ බවයි කියන්නේ. ඒ ගෝත්‍රිකයන්, ඔවුන්ගේ භාෂාවෙන්, හිරු දෙවියා = Sun God යන්න හැඳින්වූ නම තමයි ‘කොන් ටිකි’ ඔන්න ඔහොමයි නම ලැබුනේ. කොන් ටිකියේ ප්‍රධාන රුවලේ ඒ ගෝත්‍රිකයන් විසින් හිරු දෙවියන් දැක්වූ ආකාරයටම හිරු දෙවියන්ගේ රූපය ඇඳ තිබුනා. මේ පින්තූරයේ එය පෙනෙනවා.
 ඊළඟ කොටසේදී ගමන ගොස් අවසන් කරමු.

16 August 2012

කවුද හදන්නේ , කවුද ගන්නේ, කවුද මරාගන්නේ?


  දිග ලිපියක් ලියන්න අවශ්‍ය කාරණයක් නෙවෙයි මේ. කවුද ලෝකයේ වැඩියෙන්ම කුඩා පරිමානයේ අවි ආයුද විකුණන්නේ, කවුද ඒවා මිලදී ගන්නේ, මෙතනින් බලන්න. මෙය හොඳින් බලන්න පුළුවන් ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරයෙන්.

14 August 2012

20 වැනි සියවසේ වීර චාරිකාවක් ‘කොන් ටිකි’ (දෙවැනි කොටස) Expedition ‘Kon Tiki’ (Part Two)


  අපේ කතා නායකයා වන තෝර් හෙයඩල් ඉපදුනේ 1914 ඔක්තෝබර් මස 6 වැනිදා, නොර්වේ රාජ්‍යයේ, ‘ලාර්වික්’ නමැති ප්‍රදේශයේදී. ඔහු සත්ත්ව විද්‍යාව සහ භූගෝල විද්‍යාව පිලිබඳ උගතකු මෙන්ම මානව විද්‍යාඥයකු ද වුනා. මුළු ලෝකය පුරාම ඔහුගේ නාමය පැතිර ගියේ, 1947 වර්ෂයේදී ඔහු සිදුකල ත්‍රාසජනක සාගර චාරිකාව නිසයි. එහි ඇති විශේෂත්වය කුමක්ද? එහි ඇති විශේෂත්වය වන්නේ නූතන යුගයේ මිනිසකු, වසර දහස් ගණනක් පැරණි තාක්ෂණයට අනුව ජල යාත්‍රාවක්‌ සාදා, මහා සාගරයේ කිලෝමීටර් 8000 ක දුරක්, දින 101 ක් තිස්සේ, නිරුපද්‍රිතව ගමන් කිරීමයි. ඔහු, තම සගයන් පස් දෙනෙකුද සමග, මේ යාත්‍රාවෙන්, දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයේ සිට, ශාන්තිකර සාගරය තරණය කරමින්, පොලිනීසියානු දූපත් දක්වා ගමන්කලා. මේ ගමනේ අරමුණ කුමක්ද? තෝර් හෙයඩල් මානව විද්‍යාඥයෙක්. ඔහු විවිධ මානව වර්ග පිළිබඳව තම මතවාද ලොවට ඉදිරිපත් කලා. ඔහුගේ එක් මතයක් වූයේ, වර්තමානයේදී එකිනෙකට කිසිදු සබඳකමක් නැති මානව වර්ගයන් අතර, අතීතයේදී සබඳතා තිබෙන්නට ඇති බවත්, ඒ සබඳතා ගොඩනගාගන්නට සහ පවත්වාගන්නට, ඔවුන් වසර දහස් ගණනකට පෙර, මෙලෙස ඉතා නොදියුණු ජල යාත්‍රා භාවිත කරමින්, සාගර තරණයේ යෙදෙන්නට ඇති බවත්ය. ඔහුගේ මතයට, විරුද්ධ මත දරන්නන්ගෙන් දැඩි ප්‍රහාර එල්ල වුනා. එයින් නොසැලුන ඔහු, සිය මතය ප්‍රායෝගිකවම තහවුරු කරන්නටයි, මේ වීර චාරිකාවේ යෙදුනේ. පහත දැක්වෙන රූපයෙන් පෙන්වන්නේ මේ වීර චාරිකාවේ සැලසුමයි.
  වචන දහස් ගණනකින් මේ විස්තරය ලිවිය හැකි වුනත්, ඒ වචන දහස් ගණන මේ ගමනේ වැදගත්කම සහ ත්‍රාසය විස්තර කිරීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා හැකි සෑම අවස්ථාවකදීම පින්තූර හෝ වීඩියෝ කොටස් ඇතුලත් කිරීමට උත්සාහ කරනවා.
  තෝර් හෙයඩල් මත්පැන් නිෂ්පාදනයේ බලපත්‍රලත් විශේෂඥයකුගේ පුත්‍රයා. නමුත් ඔහු ඒ කර්මාන්තය වෙත නොවෙයි යොමු වුනේ. නව යොවුන් වියේදීම ඔහු උනන්දු වුනේ සත්ත්ව විද්‍යාව හැදෑරීමටයි. ඔහු තම නිවසේ සත්ත්ව විද්‍යාව පිලිබඳ කුඩා කෞතුකාගාරයක් පවා ආරම්භ කලා ශිෂ්‍යයකු වශයෙන් සිටියදී. ඔහු ඔස්ලෝ විශ්ව විද්‍යාලයෙන් සත්ත්ව විද්‍යාව සහ භූගෝල විද්‍යාව යන විෂයයන් ඇතුලත් උපාධි පාඨමාලාවක් හැදෑරුවා. ඒ අතරම ඔහු පෞද්ගලිකව අධ්‍යයනයේ නිරතවුනා පොලිනීසියානු සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබඳව. මේ සඳහා ඔහු ආධාර කරගත්තේ එවකට ඔස්ලෝහි විසූ, ධන කුවේර වයින් වෙළඳ ව්‍යාපාරිකයකු සතුව තිබුණු, එවකට, පොලිනීසියාව පිළිබඳව ලෝකයේ තිබුණු හොඳම පොත්පත්, සඟරා සහ ලිපි ලේඛන එකතුවයි. එම එකතුව කොපමණ වටින්නේදැයි කිවහොත්, පසු කලෙක, ඔස්ලෝ විශ්වවිද්‍යාලය විසින් එය මිලදීගත් අතර, පසුව ඒ සියල්ල, පර්යේෂණ කරන්නන්ගේ ප්‍රයෝජනය සඳහා, කොන් ටිකි කෞතුකාගාරයේ තැන්පත් කලා. තෝර් හෙයඩල් දැඩි කැපවීමකින් හා වෙහෙසකින් යුක්තව සොයාගත් කරුණු ජර්මනියේ බර්ලින් නුවර විශේෂඥයන් වෙත වාර හතකදී දිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ව්‍යාපෘතියක් සූදානම් කෙරුණු අතර, හෙයඩල්ගේ සත්ත්ව විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරුන්ගේ අනුග්‍රහයද ඒ සඳහා ලැබුනා. ශාන්න්තිකර සාගරයේ හුදෙකලාව පිහිටි දූපත් නිරීක්ෂනය කිරීමටත්, ඒවායේ ජීවත්වන සත්ත්ව වර්ග, එහි පැමිණියේ කෙසේද යන්න අධ්‍යයනය කිරීමටත්, මෙම ව්‍යාපෘතියේදී සැලසුම් කර තිබුනා.  
 
කල් යද්දී ඔහු පොලිනීසියානු දූපත් කාමියකු බවට පත්වුනා. ඔහුගේ කාලය බොහෝවිට ගෙවුනේ මාක්වේසස් දූපත් (Marquesas Islands) යනුවෙන් හැඳින්වුන කුඩා දූපත් 15 කින් පමණ සමන්විත වූ, පොලිනීසියානු දූපත් වලයි. ඔහු වඩාත් ප්‍රිය කලේ පොලිනීසියානු දූපතක් වූ ෆාටු හිවා (Fatu Hiva) හි කාලය ගතකරන්නටයි.
  මා ඉහතදී ද සඳහන් කලාක් මෙන්, හෙයඩල් විශ්වාස කලේ, දකුණු ඇමෙරිකානු ජන කොට්ඨාශ විසින් ප්‍රාග් කොලොම්බියානු යුගයේදී, ඉතා නොදියුණු මුහුදු යාත්‍රා භාවිත කර, ශාන්තිකර සාගරය තරණය කර ගොස්, පොලිනීසියානු දූපත්හි ජනාවාස පිහිටවූ බවයි. (එහෙත් මේ මතය අද මානව විද්‍යාඥයන් පිළිගන්නේ නැහැ) දැන් ඔහු සූදානම් වන්නේ සිය මතය තහවුරු කිරීමටයි. ඔහු තම ගමන සඳහා, ඔහු මෙන්ම නිර්භීත දක්ෂ සගයන් පස් දෙනෙකු තෝරාගත්තා.
යාත්‍රිකයෝ :-
  හෙයඩල් තම කණ්ඩායම තෝරාගත්තේ මෙහෙමයි .
1. එරික් හෙසල්බර්ග්  – Erik Hesselberg (නෝර්වීජියානු ජාතික පළපුරුදු නාවික යාත්රිකයෙකි. කොන් ටිකි යාත්‍රාවේ නියමුවාය. පසුකාලීනව වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙකි.
2. බෙන්ග්ට් ඩනියල්සන් – Bengt Danielsson (ස්වීඩන් ජාතික මානව විද්‍යාඥයෙක්)
3. නූට් හෆ්ලන්ඩ් – Knut Haugland (දෙවැනි ලෝක යුද සමයේදී ජර්මානු ආක්‍රමණ වලින් නොර්වේ රාජ්‍යය නිදහස් කරගැනීමට සටන් කල සටන් කාමියෙක් මෙන්ම කෞතුකාගාර අධ්‍යක්ෂ වරයෙක්)
4. ටෝශියන් රාබි – Torstein Raaby ( කොන් ටිකි යාත්‍රාවේ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු ක්‍රියාකරු, නූට් හෆ්ලන්ඩ් මෙන් නෝර්වීජියානු ජාතික සටන් කරුවෙකි)
5.  හර්මන් වට්සින්ගර් – Herman Watzinger (නෝර්වීජියානු ජාතික යාන්ත්‍රික ඉංජිනේරු වරයෙකි. ජලය සහ එහි හැසිරීම, (ජල විද්‍යාව) සහ කාලගුණය පිලිබඳ විශේෂඥ වරයෙකි. කොන් ටිකි යාත්‍රාවේ කාලගුණ විද්‍යාඥ වරයාය)
6.  හෙයඩල් ගේ සුරතල් ගිරවා ‘ලොරිටා’ – Lorita
  ඉහත දැක්වෙන පින්තූර, මේ සියලු දෙනාම මැදි  වයසට පත්වු පසුව සහ සමහර අය ඊටත් පසු ගත් පින්තූර බව අමතක කරන්න එපා. (ගිරවා ඉතින් ගිරවාමනේ) මෙන්න තියනවා ගමන ගිය දවස්වල මේ කට්ටියගේ පෙනුම කොහොමද කියලා බලාගන්න පුළුවන් පින්තූරයක්.
  දැන් ඉතින් ගමන යන්න කණ්ඩායම සම්පූර්ණයි. නමුත් කෝ යාත්‍රාවක්‌. අනිත් කාරණේ තමයි හෙයඩල් ගේ මතය අනුව මේ ගමන යන්න ඕනේ අවුරුදු දහස් ගණනකට පෙර දකුණු ඇමරිකානු ගෝත්‍රිකයන් විසින් තැනූ නොදියුණු යාත්‍රා වලට සමාන යාත්‍රාවකින්. ඒ නිසා මුලින්ම ඔවුන්ට සිදු වෙනවා දකුණු ඇමරිකාවට ගිහින් එවැනි යාත්‍රාවක්‌ හදන්න. හෙයඩල් ගේ මතය එක අතකින් ඔහුටම අභියෝගයක්. මන්ද තම මතය සනාථ කිරීමටනම් ඔහු කිසිදු නවීන නාවික යාත්‍රා ඉදිකිරීම් ක්‍රමයක් යොදා නොගත යුතුයි. එමෙන්ම කිසිදු බාහිර ආධාරයකින් තොරව යාත්‍රා කලයුතුයි.  
  ඔන්න ඉතින් ඔබට බලා ඉන්න වෙනවා මේ පිරිස දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයට ගිහින් ඒ රටේ ඉපැරණි තාක්ෂණය අනුව යාත්‍රාව හදන තුරු. හැබැයි ඉපැරණි කිව්වට එය අරුම පුදුම තාක්ෂණයක්. යාත්‍රාවේ නිර්මාණය ඔබව විශ්මයට පත් කරනවා සිකුරුයි.
 කෙසේ වෙතත් මේ යාත්‍රාව ගැන කෙටි වීඩියෝ වාර්තාවක් ඔබට පෙන්වන්නට මා කැමතියි. කොන් ටිකි යාත්‍රාව තැන්පත් කර ඇති කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරයා වන්නේ තෝර් හෙයඩල් ගේ පුත්‍රයා වන ‘තෝර් හෙයඩල් කනිෂ්ඨ’ යි. (Thor Heyerdahl Junior) පහත දැක්වෙන්නේ ඔහු විසින් තම පියා සහ පිරිස චාරිකාවේ යෙදුන ඒ යාත්‍රාව පිළිබඳව 2009 වසරේදී කරන ලද විස්තරයක්.


ඊළඟ කොටසෙන් නැවත හමුවෙමු.

09 August 2012

20 වැනි සියවසේ වීර චාරිකාවක් ‘කොන් ටිකි’ (පළමුවැනි කොටස) – Expedition ‘Kon Tiki’ (Part One)


 නොර්වේ රාජ්‍යයෙහි අගනුවර වූ ඔස්ලෝ හි ඇති නාවික කෞතුකාගාරයන්හි, නෝර්වීජියානු ජාතික  ආදී නාවිකයන් විසින් නිපදවුණු, මිල කල නොහැකිවූත්, අපූර්ව වූත්, යාත්‍රා ප්‍රදර්ශනය කරනු ලැබේ. එයින්ද  වඩාත් සිත් ගන්නේ, අලංකාර මෙන්ම, අසමාන සුන්දරත්වයකින් යුත්, වයිකින්ග් (Viking) යාත්‍රා තුනකි.
 එහෙත්, ඒ අසලම ඇති තවත් කෞතුකාගාරයක ප්‍රදර්ශනය කොට තිබෙන , එයටම ආවේනික සුන්දරත්වයකින් හෙබි, කොන් ටිකි (Kon Tiki) යාත්‍රාව, මොහොතකට ඔබේ හුස්ම ගැනීම පවා නවත්වන තරමේ විශ්මිත නිමැවුමක් වන අතරම, එය නිපදවූ, එහි නැගී මහා වීර චාරිකාවක යෙදුනු, අසාමාන්‍ය ගවේෂක, මහා මානව විද්‍යාඥ, නෝර්වීජියානු ජාතික තෝර් හෙයඩල්  Thor Heyerdahl පිළිබඳව මහත් ගෞරවනීය හැඟීමක් ඔබ තුල උපදවයි. (මේ නම මා මෙහි දක්වන්නේ නෝර්වීජියානු උච්ඡාරණය අනුව නොව ඉංග්‍රීසි උච්ඡාරණය අනුව බව කාරුණිකව සලකන්න)
 එකක් අඩි දෙකක පමණ විෂ්කම්බයකින් යුත්, එමෙන්ම එකක් අඩි 30 – 45 අතර දිගකින් යුත් බල්සා Balsa නමැති දැව කඳන් නවයක් ගෙන, දිගින් වැඩිම කඳ මැදට සිටිනසේ තබා, හරස් දඬු යොදා, එම දඬු වලට කඹ යොදා ගැටගසා ශක්තිමත් පහුරක් ලෙස සාදා, බට පතුරු විශේෂයකින් සාදනලද යාත්‍රා තට්ටුවක්ද සකසා, ඒ තට්ටුව මත ඉදිවුන විවෘත කුඩා පැලකින්ද යුතු, මේ යාත්‍රාව, දෙපාද අට්ටාලයක ඇටවූ, හතරැස්  රුවලක් සහ යාත්‍රාවේ පතුළට යටින් සවිකල, වරල් හැඩයේ ස්ථිර හබල් පෙති (Centreboard) පහකින් සහ යාත්‍රාව හැරවීමට ආධාරවන ප්‍රධාන හබලකින්ද (Steering-0ar)යුක්ත විය.
මේ කතාව මා ජීවිතයේ මුල් වරට කියවුයේ 1970 දශකයේ මුල භාගයේදී බව මතකය. මුලින්ම එය කියවුයේ නවයුගය පුවත්පතෙනි. ඉංගිරිසිය හැකිවූ පසු ඒ භාෂාවෙන්ද කියවුයෙමි. එවකට ලේක්හවුස් ආයතනයෙන් පළකළ නවයුගය ටැබ්ලොයිඩ් පුවත්පත් අප වැනි පාසල් සිසුන්ට දැනුම සාගරයක් නොව දැනුම සප්ත මහා සාගරයක් ම විය. එහෙත් 1970 දශකයේ අග භාගයෙන් පසු දේශපාලනීකරනයවූ ලේක්හවුසිය අද වනවිට දුගඳ හමන දේශපාලන පල්වලක්වී හමාරය. එදා සිට මෙතෙක් පැවති සියලු රජයයන් යටතේ එහි පිරිහීම ඉක්මන් විය. එදා සත පනහේ විශ්ව විද්‍යාලය ලෙස හැඳින්වුන සිළුමිණ පුවත්පත, අද සත පහක්වත් වටින්නේ නැති වන්දිභට්ට පත්තර කඩමාල්ලක් වී තිබීම, අතිශයින් කනගාටුදායකය. එකල අප සතියකට වරක් නවයුගය පත්‍රය පල කරනතුරු බලා සිටින්නේ, තම පෙම්වතිය එනතුරු බස් නැවතුමේ රැඳී සිටින පෙම්වතකු මෙන් නොඉවසිල්ලෙනි. මන්ද, පෙම්වතිය සමග කරන කතාබහ තරම්ම වැදගත් කරුණු දහස් ගණනකින් යුත්, විවිධ විෂයානුබද්ධ ලිපි විශාල ගණනක් නවයුගය පත්‍රයේ තිබුන අතර, ඒ තොරතුරු කියවීමෙන් අපතුල ඇතිවූ බුද්ධි වර්ධනය විශ්මය ජනකය. ඒ ලිපි නැවත නැවත කියවීමට තරම් රසවත් ලෙස එදා ලියවුනේ අදමෙන්, තුට්ටුදෙකේ වචන පාවිච්චි කරන ඊනියා ලේඛකයන් අතින් නොව, විශිෂ්ඨ ලේඛකයන් අතිනි. එසේ නැවත නැවතත් ඒවා කියවීමේ ප්‍රතිඵලය වුයේ අද දක්වාම ඒ දැනුමෙන් සෑහෙන කොටසක් අප මනසෙහි රැඳී තිබීමය. (එහෙත් නවයුගය පත්‍රය මිලදී ගැනීමට අම්මාගෙන් සත 25 ක් ඉල්ලාගනීමට නම් වරු ගණනක් අයාචනා කලයුතු වුයේ අපි සැබැවින්ම දුප්පතුන් වූ නිසාමය) එකල කාලීන තොරතුරු Current Affairs පිලිබඳ විශිෂ්ට දැනුමක් අප සතුවිය. පොත්ගුල්ලන් බවට පත් අපි පුස්තකාල ආක්‍රමණය කරමින් ඔලුව පුරවා ගත්තේ, ඩීමන් ආනන්දගේ පටන් එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, සිරිගුනසිංහ, කරුණාසේන ජයලත්, මහගම සේකර,  මෙන්ම බටහිර සම්භාව්‍ය රචකයන්ගේ නිර්මාණ වලිනි. ගුවන්විදුලියෙන් ජෝතිපාලට, මිල්ටන් පෙරේරාට, මොහිදීන් බෙග්ට ලතා වල්පොලට සවන් දුන්නත්, අමරදේවයන්ගේ මධුවන්තියේ රසයද නොමඳව වින්දෙමු. (මධුවන්ති යනු, එකල රාත්‍රී කාලයේ පටන් ගෙන, මහ රෑ අවසන් කරන, ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සන්ධ්‍යා සේවය නම් වූ විශිෂ්ඨ ගුවන් විදුලි සේවයෙහි, අමරදේව ශූරීන් හා මහගම සේකර, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ වැනි මහා වියතුන් ඉදිරිපත් කල හරවත් සංගීත වැඩසටහනකි) අනේ එකල ‘නාලිකා’ තියා ‘බට’ වත් නොතිබුණි. නමුත් ගුවන් විදුලියේ ඇසීමට දෑ අපමණ විය.සිනමාව, සංගීතය, නවකතා, කෙටි කතා පිළිබඳව, සමාජය පිළිගත් විද්වතුන්ගේ විවේචන, විමර්ශන, සංවාද විවාද, අපි පුවත්පත් වලින් කියවුයෙමු. දැනුදු ගුවන්විදුලියේ හෝ රූපවාහිනියේ ප්‍රචාරය වන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් වලට සවන්දෙන/නරඹන මම 80% ක පමණ සාර්ථකත්වයකින් යුතුව සිතින් පිළිතුරු දෙමි. කියවීමට, ඇහුම්කන්දීමට, දැනුම සෙවීමට, අපව පෙලඹවූ ගුරුවර, දෙමාපිය, වැඩිහිටියෝ බුදු වෙත්වා.
පාසලෙන් පැවරෙන තම දරුවන්ගේ ගෙදර වැඩ කිරීම, තමන්ගේ කාර්යයක් බවට පත්කරගෙන වෙහෙසෙන දෙමවුපියන් අද කාලයේ දකින විට, මට ඇතිවන්නේ අනුකම්පාවකි. ඒ දෙමවුපියෝ ද අසරණයෝය. එක පිරිසක් තුළ දැනුම ඇතත්, එය තම දරුවාට දෙන්නට අවස්ථාවක් නැති තරමට ඔවුහු මුදල් හම්බකිරීමේ යෙදී සිටිති. තවත් පිරිසක්, වනපොත් කොට විභාග සමත්වූ බැවින් මෙලෝ හසරක් මස්තිෂ්ක කුහරයේවත් රැඳී නැති අසරණයෝය. ටියුෂන් අධ්‍යාපනය තුළමැ ගිලීගිය දරුවෝ, අපිස් ජීවිත වලටමැ ඇතුළු වෙති. උපාධියක්ද, පශ්චාත් උපාධියක්ද, එම්.එස්.සී. උපාධියක්ද දරන මා වැඩිමහල් දියණිය අද රුපියල් 10000 දීමනාවකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක කඹුරයි. ඒ කුලී වැඩේද ලබාගත්තේ, මා බිරිඳ, යන්තම් සාමාන්‍ය පෙලට උගත්, දෙස්පාලුවකුගේ දෙපාමුලට හත් අට වතාවක් බඩගෑමෙන් අනතුරුවය.  මා දියණිය සතු දැනුම කුමක්දැයි මා කලකිරීමට පත්වන්නේ, පෙරකී ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහනක අසන පැන කීපයකට පිළිතුරු දීමට ඇය උත්සාහ කිරීමේදීය. චන්ද්‍රිකා රූපවාහිනියෙන් ඇය නරඹන්නේ හඩු හින්දි නාලිකා මිස, දැනුම වර්ධනය වන කිසිවක් නොවේ. යටත් පිරිසෙයින් ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකාවක්වත් නරඹන්නේ නැති ඔවුන්ගේ අනාගත දරුවන්ටද අත්වන්නේ, අර ඉරණමම නොවේද?
චූර්ණිකාව දිග වැඩි වුවද නොකියාම බැරි කරුණු කිව්වෙමි. මේ ලිපියේ දෙවැනි කොටසින් ප්‍රස්තුතයට බසිමි. මතු ද මෙවැනි වීර චාරිකා අත්දැකීම් (Adventure Expeditions) පිලිබඳ මා මතකය අවුස්සා, සොයා, ඔබ දැනුවත් කරන්නෙමි.
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }