හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

29 March 2018

70 වසක් සපුරන සිංහල රිදී තිරය


ලාංකීය සිනමා වංශකතාවේ මූලාරම්භය සඳහා ඉන්දියානු හා දකුණු ඉන්දියානු , ආසියානු සිනමාව මෙන්ම ලෝක සිනමාව ගුරුකොට ගත්හ. 1947  ජනවාරි 21 වැනිදා සිංහල රිදී තිරයේ  කුළුදුල් නිර්මාණය වූ “කඩවුණු  පොරොන්දුව “   තිරගත වීමත් සමග  හෙළ සිනමාවේ ආරම්භය සනිටුවහන් විය . බි. ඒ .ඩබ්ලිවු. ජයමාන්න, රුක්මණී දේවිය ප්‍රධාන නළුනිළි යුවල වූ අතර  එහි අධ්‍යක්ෂක්වරයා වූයේ ජෝයිටිෂ් වික්‍රමසිංහ මහතායි  . එලෙස ඇරඹි ලාංකිය සිනමාවේ ඊළඟ හැරවුම් ලක්ෂය වූයේ වර්ෂ  1956 තිරගත වූ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කළ “රේඛාව” චිත්‍රපටියයි. මුල්වරට ස්වභාවික දර්ශනතල හා ලාංකීය කථා තේමාවක් පදනම් කරගනිමින් නිර්මාණය වුණු මෙහි ප්‍රධාන චරිත රඟපෑවේ ආනන්ද ජයරත්න , අයිරාංගනී මීදෙනිය විසිනි . එහි සංගීත නිර්මාණය සුනිල් ශාන්තයන් විසිනි .


රුක්මණී දේවි

ශ්‍රී ලාංකීය  සිනමා  අඹරේ  පළමු වර්ණ චිත්‍රපටය  වර්ෂ 1962 මයික් විල්සන් විසින් අධ්‍යක්ෂණය කළ “ රන්මුතුදූවයි “  එහි ප්‍රධාන නළු නිළි යුවල වූයේ ජීවරාණි කුරුකුලසූරිය සමග ගාමිණි ෆොන්සේකා මහතායි . සංගීතය ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී අමරදේව සූරීන් විසිනි . නන්දා මාලිනි , නාරද දිසාසේකර  ප්‍රධාන ගායක ගායිකා යුවල විය .  සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිනමාවට පිවිස, දෛවයෝගය චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයකට පණපොවමින් රංගනයට පිවිසි ගාමිණි ෆොන්සේකා මහතා ,පළමුවරට ප්‍රධාන චරිතයක් නිරුපණය කරන්නේ මෙම සිනමා පටයේය.  ශේෂා පලිහක්කාර හා ආතර් සි ක්ලාර්ක් මහතා මෙහි සම නිෂ්පාදකවරුන්ය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේම තවත් නිර්මාණයක් වූ ”ගම්පෙරළිය” සිනමා පටය  ශ්‍රී ලාංකික රසික ප්‍රජාටව කලාත්මක සිනමාව හඳුන්වාදීමට ගත් අතිශය සාර්ථක වෑයමක් ලෙස හැඳින්විය හැකිය. වර්ෂ 1963 තිරගතවුණු මෙම සිනමා පටය පුන්‍යා හීන්දෙනිය , හෙන්රි ජයසේනයන් අතින් හැඩ විය.ටෝනි රණසිංහයන්ගේ පළමු සිනමා ආගමනය විය.  කිසිදු ගීතයක් අන්තර්ගත නොවූ පළමු චිත්‍රපටය ලෙස මෙය සිනමා වංශ කතාවේ සනිටුවහන් වි තිබේ.

60 දශකය වර්ණවත් කළ සිනමාපට මෙන්ම එය සුපෝෂණය කළ අධ්‍යක්ෂකවරු මෙන්ම සංගීත නිර්මාපකයන්ද ගායක ගායිකාවන්ද රැසකි . සංදේශය , අදට වැඩිය හෙට හොඳයි , සිකුරු තරුව, සාරවිට , දෙලොවක් අතර, සැනසුම කොතනද,  ගැටවරයෝ , පරසතු මල් , සත් සමුදුර, ධීවරයෝ , අක්ක නගෝ , ගොළු හදවත , රන්සළු , බිනරමලී, දරුවා කාගේද , සත පනහ , සිඟිති සුරතල් , ස්වීප් ටිකට් , නාරිලතා, රෑන ගිරවු , කුරුළු බැද්ද, බක්මහදීගේ  එම සිනමාපට පොකුරේ රිදී සීනුය . වර්ෂ 1968 තිරගත වූ “පුංචි බබා” චිත්‍රපටය , හෙළ සිනමාවේ නිළි රැජිනිය වූ මාලනි ෆොන්සේකා මහත්මියගේ කුළුදුල් සිනමා ප්‍රවිෂ්ඨයයි. ප්‍රධාන චරිතයකට පණ පොවමින් ඈගේ රංගන දිවිය ආලෝකමත් කළේ තිස්ස ලියනසූරිය මහතා විසිනි. 1955 වර්ෂයේ තිරගත වූ  දේවසුන්දරී  චිත්‍රපටයෙන් සිනමාලොවට පිවිසි ජෝ අබේවික්‍රම මහතා සාරවිට චිත්‍රපටය තුළින් ජනප්‍රියත්වයට පත්විය එමෙන්ම වර්ෂ 1969 තිරගතවුණු සුගතපාල සෙනරත් යාපා අධක්‍ෂණය කළ “හන්තානේ කතාව ” ඒ අසහාය සොඳුරු මිනිසා වූ විජය කුමාරතුංග මහතාගේ  සිනමා ආගමනය සනිටුවහන් කළේය.  ඒ අනුව 60 දශකය වර්ණවත් කිරීමට දායකත්වය සැපයූ අධ්‍යක්ෂකවරුන් රාශියකි.  ලෙස්ටර් ජේම්ස් පීරිස් , තිස්ස ලියනසූරිය , කේ . ඒ. ඩබ්ලිවු . පෙරේරා , එම් මස්තාන් , මයික් විල්සන් , රොබින් තම්පෝ , ටයිටස් තොටවත්ත , කිංස්ලි රාජපක්ෂ , ඩබ්ලිවු. එම්. එස්. තම්පෝ, ලෙනින් මොරායස්, ටී සෝමසේකරන් , එල් එස් රාමචන්ද්‍රන්   ආදීන් වූහ . හින්දි සිනමාවේ හා දමිල සිනමාවේ අධ්‍යක්ෂකවරු ඒ අතර වූහ.  ආර් මුත්තුසාමි ,  එම් කේ රොක්සාමිගේ, ධර්මදාස වල්පොල, ඩබ්ලිවු. ඩි. අමරදේව   සිනමා සංගීතයෙන් මෙම සිනමා පට ආලෝකමත් විය. සුජාතා අත්තනායක, නන්දා මාලිනි, ඉන්ද්‍රානි විජේබණ්ඩාර , සිසිර සේනාරත්න ,  නාරද දිසාසේකර, වික්ටර් රත්නායක , ජේ. ඒ. මිල්ටන් පෙරේරා ලතා වල්පොල ,  ඇන්ජලින් ගුණතිලක ,  එච්. ආර්. ජෝතිපාල , ෆ්‍රෙඩි සිල්වා ගේ  සුමදුර ගායනයෙන්  රිදීතිරය ඒකාලෝක විය.

ශ්‍රී ලාංකේය  ඉතිහාසයේ  රිදීතිරයේ මෙන්ම සප්ත ස්වරයේ  ස්වර්ණමය  යුගය 70 දශකයයි. හෙළ සිනමා වංශකතාවට බොහෝ දෑ එකතු පහදු  කරන්නට  මේ දශකයේ සිනමාවට හැකිවිය. අක්කර පහ, නිධානය , දෑස නිසා , වීර පුරන් අප්පු , අහසින් පොළවට, මඩොල් දූව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ සිනමා කාචයෙන් වර්ණවත් විය . 1972 තිරගතවුණු  “නිධානය” ලාංකීය සිනමාවට සැබවින්ම නිධානයක් විය. සිනමා සක්විති  ගාමිණි ෆොන්සේකා මහතා හෙළ නිළි රැජින මාලනී ෆොන්සේකා රංගධරයන්ගේ විශිෂ්ට රංගනයෙන් ඔපවත්වුණු මෙම සිනමාපටය අන්තර්ජාතික සිනමා උළෙලවල් නියෝජනය කරන ලදී . ලන්ඩන් අන්තර්ජාතික සිනමා උළෙලේ 50 වසරක හෙළ සිනමාවේ විශිෂ්ටතම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගන්නා ලදී . තිස්ස අබේසේකරගේ තිර රචනයෙන්ද ප්‍රේමසිරි කේමදාස සූරීන්ගේ සංගීතයෙන් එය තවදුරටත් රසවත් විය . මහගම සේකර සූරීන් සිය  නිර්මාණයක් වූ  තුං මං හන්දිය සිනමාවට නගන ලදී . නීල් රූපසිංහ  විසින්   හතර දෙනාම සූරයෝ,  ටයිටස් තොටවත්ත සූරීන් විසින් හාර ලක්ෂය , මංගලා , මරුවා සමග වාසේ , සාගරිකා,  හඳයා යන සිනමා පට රිදී තිරයට දායාද කළේය . හඳයා ලාංකීය සිනමාවේ ළමයින් වෙනුවෙන් නිර්මාණය කළ පළමු  චිත්‍රපටයයි . මේ යුගයේදී කලාත්මක සිනමාව හා වාණිජ සිනමාව ඉතා දියුණු මට්ටමක පැවතිණි. ඒ නිසාම නළු නිළි යුග බිහිකරන්නට සමත් විය . ගාමිණි - මාලනී යුගය  හතර දෙනාම සූරයෝ , නිධානය , සහනය , එදත් සූරයා අදත් සූරයා, ආදරේ හිතෙනව දැක්කම, සදහටම ඔබ මගේ , කස්තුරි සුවඳ , සැණකෙළිය , ආවා සොයා ආදරේ , සූරයා සූරයාමයි , නයනා මෙන්ම තුෂාරා , මේ දෑස කුමටද , එයා දැන් ලොකු ළමයෙක් , සංගීතා , දියමන්ති , අනුපමා, කුණ්ඩලකේසි යන සිනමා පටතුළින්  විජය - මාලනී යුගයක්ද බිහිවිය

                                                        නිධානය සිනමා පටයෙන් 

මෙම දශකය තුළ රවින්ද්‍ර රන්දෙනිය, ගීතා කුමාරසිංහ ශ්‍රියානි අමරසේන , අමරසිරි කලන්සූරිය,  නීටා ප්‍රනාන්දු , තිස්ස විජේසුරේන්ද්‍ර,  මානෙල් වානගුරු , සෝනියා දිසා වැනි රංගවේදීන් හා රංග වේදිනියන් සිනමාවට එක්විය. වැලි කතර , දෑසනිසා , ආශා දෑසින් , අපේක්ෂා, ලසඳා ,සුහද පැතුම, සුරේඛා, නිල්ල සොයා,  සිකුරු ලියා , දුහුළු මලක් , වාසනා , රජගෙදර පරවියෝ , නෑදෑයෝ, තරංගා,  හිත හොඳ මිනිහෙක්, සරුංගලේ  වැනි සිනමාපට තුළින් මොවුන් ජනප්‍රියත්වයට පත්විය. සිය සැමියා සමග නිරන්තර සිනමා අත්දැකීම් විඳි සුමිත්‍රා පීරිස් සිය කුළුදුල් නිර්මාණය වූ “ගැහැණු ළමයි” වර්ෂ 1978 දී තිරගත කළාය. එහිදී “වසන්ති චතුරානි” නම් සිනමාවේදිනියගේ දොරට වැඩිම සිදුවිය. එමෙන්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් , ලෙනින් මොරායස් , කේ. ඒ . ඩබ්ලිව් පෙරේරා , සුගතපාල සෙනරත් යාපා  ඩි. බී. නිහාල්සිංහ, සුනිල් ආරියරත්න , යසපාලිත නානායක්කාර,  එච් .ඩි. ප්‍රේමරත්න යන සිනමාවේදීන් මේ දශකයේ පුරෝගාමි සිනමා කරුවෝ වූහ.  ධර්මසේන පතිරාජයන් සිය කුළුදුල් සිනමා නිර්මාණය 1974 වර්ෂයේදී “ අහස් ගව්ව “  නමින් සිනමාවට දායාද කළේය. ඉන්පසුව ,  එයා දැන් ලොකු ළමයෙක් , බඹරු ඇවිත් සිනමාපට තුළින් ප්‍රවිෂ්ට වුණු පතිරාජයන් පාරදිගේ , සොල්දාදු උන්නැහේ , වාසුළි , සක්කාරන් හරහා සිය සමාජ මෙහෙවර ඉටුකළේය. මැද මාවතේ සිනමා කරුවෙක් ලෙස විචාරක අවධානය දිනාගත් මෙතුමාගේ නිර්මාණ සියල්ලම පාහේ අන්තරජාතික සම්මානවලින් පිදුම් ලැබීම විශේෂත්වයකි.

               1980 දශකය වනවිට එවකට පැවති ආර්ථික ප්‍රතිපත්තියත් සමග වාණිජ සිනමාව බොහෝ දුරට ඉස්මතු විය. එහෙත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ කලියුගය හා යුගාන්තය චිත්‍රපටි නැවතත් කලාත්මක සිනමාවේ රස ස්පර්ශ කළේය. සුමිත්‍රා පීරිස් මැතිණිය ගඟ අද්දර , මායා, සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා යන සිනමාපට දායාද කළාය.  ස්ත්‍රීවාදී චරිත ඉස්මතු කරමින් ඇය මෙම නිර්මාණ ප්‍රතිරූපණය කළාය. යසපාලිත නානයක්කාර , එච්. ඩි. ප්‍රේමරත්න , සුනිල් සෝම පිරිස් , සුනිල් ආරියරත්න , ගාමිණී ෆොන්සේකා , වසන්ත ඔබේසේකර,  රෝයි ද සිල්වා, තිස්ස අබේසේකර, හර්බට් රංජිත් පීරිස්, සේන සමරසිංහ, ඩි. බී. නිහාල්සිංහ , දිනේෂ් ප්‍රියසාද්, හේමසිරි සෙල්ලපෙරුම  වැනි සිනමා නිර්මාණකරුවන් මේ යුගයේ රිදීතිරය එකළු කළහ. උතුමාණෙනි , ටක් ටික් ටුක් , ආදර රත්නේ, පරිත්‍යාගය, එක් ටැම් ගේ , සිරි බෝ අයියා , කරුමක්කාරයෝ , වජිරා බැද්දේගම , බිත්ති හතර ,  යහළු යෙහෙලි , චංචල රේඛා , සුමිතුරෝ, දඩයම, ඈතින් ඈතට, දෙවෙනි ගමන , මිහිදුම් සළු ,අරලිය මල්,  ඔබට දිවුරා කියන්නම් , රෝසි , යලි හමුවෙන්නයි , පෙරළිකාරයෝ, මල්දෙනියේ සිමියොන් , කොටි වලිගය,  දිනුම , ආදර හසුන , මංගල තෑග්ග , රජ වැඩ කාරයෝ , නොම්මර එකයි , කවුළුව ,  විරාගය , ඔබටයි ප්‍රියේ ආදරේ , රස රහසක් , නැව ගිලුනත් බෑන්චූන් , මමයි රජා , කැඩපතක චායා, නොම්මර 17 , ඔබට රහසක් කියන්නම් , සිරි මැදුර යන සිනමාපට රිදී තිරය වර්ණවත් කළහ. සනත් - සබීතා , ජීවන් - සබීතා යන යුගයන් බිහිවිය සබීතා පෙරේරා ජීවන් කුමාරණතුංග , සනත් ගුණතිලක , ශෂී විජේන්ද්‍ර , අනෝජා වීරසිංහ මේ දශකයේ සිනමාව බිහිකළ සිනමාවේදීන් වූහ. එම යුගහේ බිහිවූ විශිෂ්ටම සිනමාවේදියා ලෙස ධර්මසිරි බණ්ඩාරනායක මහතා හැඳින්විය හැකිය. 1980 වර්ෂයේ  “ හංසවිලක් “ සිනමාකෘතියෙන් අරඹා,  තුන්වෙනි යාමය,  සුද්දිලාගේ කථාව,  බව දුක හා බව කර්ම ඔහුගේ සිනමාභිශේකයයි.

1990 දශකයේ සිනමාව මෙතෙක් ආ සිනමා ගමනේ  යම් හැරවුම් ලක්ෂයක් පෙන්නුම් කළ දශකයකි. ඉකුත් දශකයේ අගභාගයේ සිදුවූ දේශපාලන ක්‍රියාකාරකම් සිනමාවටද බලපෑමක් එල්ල කිරීමට සමත්විය. කෙසේවෙතත් 1990 දශකයේ සිනමාව ලාංකීය සිනමා කරළියට  තවත්  සුරුපිනින් දෙදෙනෙක් දායාද කළහ. ඒ 1990 වර්ෂයේ යසපාලිත නානායක්කාරගේ දේදුන්නෙන් සමනලියක්“ සිනමාපටයෙන් පිවිසි දිල්හානි ඒකනායක හා 1993 සප්ත කන්‍යා “  සිනමාපටයෙන්  සිනමාවට පිවිසි සංගීතා වීරරත්නයි. සප්ත කන්‍යා සිනමාපටය ඒ යුගයේ සිනමාපට අතර සුවිශේෂී නිර්මාණයක් විය. යෞවනත්වය කුල්මත් කළ සිනමාපටයක් ලෙස එය හැඳින්විය හැකිය.  පාලම යට , ක්‍රිස්තු චරිතය , චණ්ඩිරජා , කෙළිමඩල , මධු සමය , සලඹක් හඬයි,  ධනය, මල්සර දෝණි,   ඡායා,  ගුරුගෙදර ,සුරබිදෙන , චායා මායා , යසස , ලඳුනි ඔබ දෙවඟනකි , නොමියෙන මිනිස්සු , ධවල පුෂ්පය , සුජාතා, පවන රළුවිය,  සුදු පිරුවට,  අරගලය,  මී හරකා,  වාසනා වේවා, සිසිල ගිනි ගනී ,  සෙයිලම,  මාරුතය,  අවරගිර,   සිහින දේශයේ, සුර දරුවෝ , ලොකුදුව, යසෝමා,  දුවක මවට මිස,  තරණය,  විසි දැළ , චන්ද කින්නරී , ගිනි අවි සහ ගිනිකෙළි , පවුරු වළල්ල, චෙරියෝ කැප්ටන්,  චෙරියෝ ඩොක්ටර් ,  රෑ දනියෙල් දවල් මිගෙල් 1, බහු භාර්යා , දොරකඩ මාරාව,  ජුලියට්ගේ භූමිකාව වැනි නිර්මාණ බිහිවිය.  රන්ජන් රාමනායක , ඩිලානි අබේවර්ධන , මහේන්ද්‍ර පෙරේරා , කමල් අද්දරආරච්චි , ලින්ටන් සේමගේ , දමිත් ෆොන්සේකා, යශෝධා විමලධර්ම  වැනි සිනමා රංගධරයන්ගේ ප්‍රවිෂ්ටය මෙම යුගයේ සිදුවිය. විශ්වනාත් බුද්ධි කීර්තිසේන , ප්‍රසන්න විතානගේ, උදයකාන්ත වර්ණසූරිය , හේමසිරි සෙල්ලපෙරුම, දිනේෂ් ප්‍රියසාද් , යසපාලිත නානායක්කාර , සුනිල් ආරියරත්න , සුනිල් සෝම පීරිස්, වසන්ත ඔබේසේකර, අශෝක හඳගම , ඩි. බී. නිහාල්සිංහ , එච්. ඩි. ප්‍රේමරත්න, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්,  සුමිත්‍රා පීරිස් මෙම සිනමාපටවල නිර්මාණ කරුවන් වූහ . මේ කාලය වනවිට කාම චිත්‍රපට රැල්ලක්  සිනමාවේ ගමන් ගනිමින් තිබුණි . දේශපාලන වියවුල් සහගත බව හමුවේ සිනමා  ශාලා ගිනි තැබීම , සිනමා ශාලා  ඉවත් කිරීම වැනි දෑ හමුවේ  ප්‍රේක්ෂකයා ඒ වෙත යොමුකර ගැනීමට විවිධ අත්හදා බැලීම් සිදුකරන ලදී . එහිදී රෝයිද සිල්වා වැනි අධ්‍යක්ෂකවරුන් කාමරැල්ල වෙනුවට ප්‍රහසන රැල්ලක් නිර්මාණය කළේය.


                            සප්ත කන්‍යා සිනමාපටයෙන් 
  
2000 දශකය් වනවිටත් කාම රැල්ල තවදුරටත් ක්‍රියාත්මක වුවත් උදයකාන්ත වර්ණසූරිය , ප්‍රසන්න විතානගේ , සෝමරත්න දිසානායක, බෙනට් රත්නායක ,  ජයන්ත චන්දරසිරි වැනි නිර්මාණ කරුවන් අශෝක  හඳගම නව සිනමාවක් කර ගමන් අරඹන බවක් දක්නට ලැබුණි . එමෙන්ම නව සිනමා කරුවන්ගේ විශිෂ්ට ප්‍රවිෂ්ටයන් දක්නට ලැබුණි . විමුක්ති ජයසුන්දර බූඩි කිර්තිසේන , චන්න පෙරේරා රන්ජන් රාමනායක සංජය නිර්මාල් , සනත් ගුණතිලක , ගිරිරාජ් කෞශල්‍ය , ජැක්සන් ඇන්තනි, සුදත් රෝහණ  එවැනි නිර්මාණ කරුවන් කිහිපදෙනෙකි  රාජ්‍ය සේවය පිණිසයි රෝස වසන්තේ කිණිහිරියා මල් , සරෝජා,  අනන්ත රාත්‍රිය,  මේ මගේ සඳයි,  පුරහඳ කළුවර,  අස්වැසුම , සුදු සෙවනැලි , බහුභූතයෝ, පුංචි සුරංගනාවී,   සලෙළු වරම,  අග්නි දාහය ,  පුරසක්මන,  තනි තටුවෙන් පියාඹන්න , ලේ කිරි කඳුළු,  සුළඟ එනු පිණිස,  සුදු කළුවර,  වෑකන්ද වලව්ව,  සුළං කිරිල්ලී ,  සක්මන් මළුව, සූරිය අරණ , ආදරණීය වස්සානය , මිල්ලේ සොයා,  රන්දිය දහර , අසනී වර්ෂා,  ඉර මැදියම,  ගරිල්ලා මාර්කටින්,  සමනල තටු,  සුළඟ , හිරිපොද වැස්ස , නිලම්බරේ,  සමාරා, අංජලිකා , අම්මාවරුනේ ,  සංඛාරා , උත්පලවන්ණා,  සිකුරු හතේ,  ආසයි මං පියාඹන්න,  යහළුවෝ,   හාර්ට් එෆ් එම්,  සිරි රජ සිරි ,  රෝස කැලේ ,  අබා,  මචං,  පායා එන්න හිරුසේ,   ලීඩර්,  ආකාස කුසුම්,  ඩාන්සින් ස්ටාර්,  අලිමංකඩ,  එකමත් එක රටක එම දශකයේ සිනමාව එකළු කළේය. මේ යුගයේ නිර්මාණය වුණු ආදරණීය වස්සානය සිනමා පටය සහශ්‍රකයේ තාරුණ්‍යයේ සිත් ගත් සිනමා පටයක් විය. 

2000 දශකයේ සිනමාවට නව අරුතක් එක කරන ලදී .  පූජා උමා ශංකර් , කාංචනා මෙන්ඩිස්, අනර්කලී ආකර්ෂා , රෝෂන රණවන , චතුරිකා පීරිස් , උදාරි වර්ණකුලසූරිය , සචිනි අයේන්ද්‍රා,  තුමිදු දොඩන්තැන්න, නිරෝෂා පෙරේරා , සුරාජ් මාපා , දමිතා අබේරත්න , නිල්මිණි තෙන්නකෝන් , පුබුදු චතුරංග , ගයාන් වික්‍රමතිලක , අකිල ධනුද්දර , වැනි බොහෝ පිරිසක් මේ සිනමා පට හරහා ක්ෂේත්‍රයට අවතීර්ණ වූහ.  

මෑත යුගයේ සිනමාව තවත් බොහෝ දුර ගමනක් යාම සඳහා  ආයෝජනය කරමින් සිටිනු දක්නට ලැබේ එවැනි කලෙක ජයන්ත චන්ද්‍රසිරි ගේ  “ සමනල සංධ්‍වනිය “ වැනි සිනමා පට විශිෂ්ට නිර්මාණ වේ . ප්‍රවේගය , කලර් , හෝ ගානා පොකුණ, සරිගම  , නෙලා , වැනි නිර්මාණයන් ඔස්සේ 70 වසරක් අභිමානවත් සිනමාවක් අපි පසුකර සිටින්නෙමු.    













03 March 2018

සුභ උපන්දිනයක් තාත්තේ ............................



මගේ පියා අපෙන් සදහටම සමුගෙන  මාස දහයකට ආසන්න වුවත් එය කල්පයක් ලෙස දැනෙන අතර , මතකය හැමදාම අලුත්වන අතරම එහි කටුකත්වය විස්තර කිරීම ඉතා අපහසුය. අපේ ජිවිතයේ ගැලවුම් කාරයා ඔහුවිය . සහෝදර සහෝදරියන් හත් දෙනෙකුගෙන් යුතු පවුලේ පස්වැනියා ලෙස උපන් ඔහුට නම් රැසක් විය . සීයලා ආච්චිලා ඔහුට මහතුන් පුතා කිවූ අතර නැන්දලාගේ ලොකු මල්ලී විය . ලොකුතාත්තා  හා  බාප්පලා ඔහුට අමුතුමනමක් දමා තිබුණි . ඔහුගේ සහෝදර සහෝදරියන්ගේ දරුවන් ඔහුව අයි මාමා යනුවෙන් හැඳින්විය.  පසුකාලීනව ඔවුන්ගේ දරුවන්ට මගේ පියා ජොලි සීයා විය. එහෙත් ඔහුගේ උප්පැන්න සහතිකයට අනුව ඔහු 1954 පෙබරවාරි  27  කෑගල්ල මොරදන  දී උපන්  xxxxxxxxxxxxxxxxx නම් විය . බ්ලොක් සමාජයට  ඔහු විචාරක තුමා   විය .


ඔහුගේ  බාලම සහෝදරයා හෙවත් පවුලේ බඩපිස්සාගේ  උපන්දිනය 1960 පෙබරවාරි 28 විය . කාලයාගේ ඇවෑමෙන් ලොකුමහත්වූ මොවුන් තමන්ගේ උපන්දිනයන්වලට  සාද පැවැත්වූහ . මෙයට  වඩාත්ම කැමති වූයේ මේ දෙදෙනා අතරමැද  උපන්  බාප්පාය.  ඒ මන්දයත් දෙදෙනාගේම උපන්දින එකට සමරනවිට පසුවදා එළිවනතුරු  සාදය පැවැත්විය හැකි බැවිණි. එවිට පවුලේ බොහෝදෙනා සහභාගිවන ප්‍රීතිමත් උත්සවයක් වන බැවිනි .


එහෙත්  පළමුව 1995 පෙබරවාරි 22 මගේ පියාගේ වැඩිමහල්  සහෝදරයා මිය යන ලදී . එය මගේ පියාට තදින් දැනුන සිදුවීමකි. ඔහුගේ ඉලෙක්ට්‍රොනික් ලෝකයේ මුල් ගුරුවරයා  ඔහුවිය .  එතනින් මදක් බිඳ වැටුණු ඔහුගේ ජීවන යාත්‍රාව ඊළඟ කුණාටුව හමන්නේ 2002 දෙසැම්බර් 2 වන දාය . ඔහුගේ බාලම මලණුවන් රිය අනතුරකින්  ඔහුව හැරදමා ගියේය . එදා ඔහු පදවියේ සිට අපේ නිවසට එනවිට ලොඳ ගෙඩි මෙන් ඇස් ඉදිමී රතුවී තිබූ අතර, නිවසේදී ඔහු කෑ ගැසූ ආකාරය අද ද මගේ දෙසවන දෝංකාර දේ . එම සිද්ධියෙන් පසු ඔහු උපන්දින සාද ගැනීම නතර කරන ලදී . එයින් යන්තම් මිදෙන්නට හදන විටම ඔහුව යලි ගොඩනැගිය නොහැකි තරමට මහා හෙනයක් හිස මත පතිත විය. එනම් 2004 දෙසැම්බර් 26 ඔහුට ඉතිරිව සිටි එකම සහෝදරයා සහ ඔහුගේ පුතා සුනාමියෙන් සදහටම දෙනෙත් පියාගැනීමයි. සිවු මහා යෝධයන් ලෙසසිටි සහෝදරයන්  හතර දෙනෙක් මෙසේ දෛවයේ කුරිරු සරදමට අසුවූහ.  එයින් පසු  මගේ පියා බොහෝ ගොළුවිනැයි මට වරෙක සිතේ . ඒ  දුක ඔහු හදවතේ සිරකරගෙන ජීවත්වීමට මහත් වෙහෙසක් දැරීය. සහෝදරයන් තිදෙනෙකුගේ අවමංගල ස්තූතිකතාව ඔහුගේ මුවින්  නික්මිණි.

කෙසේවෙතත්  දෛවයේ සරදම් ලබමින් ඔහුද පසුගිය වසරේ අපට අහිමි විය. ඔහුගේ අවසන් උපන්දිනය  එය වෙතැයි කිසිවෙකුත් අපේකෂා නොකළහ. ඔහුගේ උපන්දිනය සැමරීමට අප නිවස අවට සිටින අසල්වැසියන් අප නිවසට පැමිනුණහ.

  
ඔබ නැති මේ උපන් දිනයේදී  ඔබ වෙනුවෙන්  කුරුණෑගල ශික්ෂණ රෝහලේ  පිළිකා ඒකකයේ රෝගීන් 80 වක් වෙනුවෙන් දානයක් පිළිගන්වන ලදී . එපින් බලෙන් සසර වසනාතුරු මෙවන් අකල් මරණයක් නොවේවා . මතු ආත්මයෙත් ඔබ මගේ පියා වේවා ! යයි පතමි.  සුභ උපන් දිනයක් තාත්තේ .......................


විචාරක දියණිය පස්වරු 22.00 පැයට


.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }