හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label ඓතිහාසික කතා. Show all posts
Showing posts with label ඓතිහාසික කතා. Show all posts

18 December 2015

'ටැෆායි' සහ ලංකාව - ඉන්දියාව යා කිරීම

'රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ' කියලා, ප්‍රියා සූර්යසේන කියනවා. අපේ කාලයේ සුන්දර මතකයන් අවදිකරවන ගීතයක් එය. ඒ වුණාට අද කාලේ, රටකින් රටකට ඉගිලෙන එක සුළුදෙයක්. තමන්ගේ මව් රට සදහටම හැරදමා, වෙනත් රටකට ඉගිලෙන ලෝ වැසියන්, එක අවුරුද්දකට ලක්ෂ කීයක් ඇද්ද? මේ අඩවිය කියවන කී දෙනෙක් ඇද්ද, එහෙම සදහටම මව්රට හැරදා ගිය අය. නන්දා මාලනී 'සරුංගලේ වරල් සැලේ' ගීතය කිව්වේ, ඒ වගේ අයට නේද? ඇත්තටම මිනිස්සු මෙහෙම කාලෙන් කාලෙට, රටකින් රටකට යන්නේ ඇයි? විවිධ හේතු තියනවා නේ? තමන්ගේ රටේ තියන ප්‍රශ්න, තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න, ජීවිතයේ දියුණුව සොයාගැනීම, තව කොච්චරනම් හේතු තියනවද. හොඳයි, ඒ කතාව එතනින් නවත්තලා, අද කතාවට බහිමුකො.

   ඔබ අතරින් කීපදෙනෙකු හෝ, 'ටැෆායි' කියන වචනය අසා තිබෙනවා ඇතැයි, මා සිතනවා. ඇත්තටම මෙය, ඉංග්‍රීසි වාක්‍යයක මුලකුරු යොදා සැකසූ, කෙටි යෙදුමක්. (Acronym) මේ වචනය, 1960 දශකයේ සිට, 1980 දශකය ආරම්භ වන කාලය දක්වා, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා මෙන්ම, ඉංග්‍රීසි මාධ්‍ය භාවිත කළ අය, හොඳින් දැනසිටියා. මෙහි සම්පූර්ණ යෙදුම වන්නේ, Task Force Anti Illicit Immigration = TFAII යන්නයි. උච්ඡාරණය පහසු වෙන්න තමයි, 'ටැෆායි' කියලා හදාගෙන තියෙන්නේ. මේ හමුදාව ක්‍රියාත්මක තත්වයෙන් හිටියේ 1961 - 1981 කාලයේ. 

   මේ හමුදාව හැදුවේ මොකටද? කවුද ඒ හමුදාවේ හිටියේ? ඔවුන් මොකද කළේ? අද ඒ හමුදාව තියනවද නැද්ද? ඉතා දීර්ඝ විස්තරයක් කෙටිකර කියනවානම්, මේ විශේෂ ආරක්ෂක අංශය හැදුවේ, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවම එකතු කරලා. නමුත් ඒ කාලයේ (1960 දශකයේ) ගුවන් හමුදාව මේ සඳහා දායකත්වය දැක්වූයේ සීමාසහිතවයි. එයට හේතුව, අදමෙන්, අපේ ගුවන් හමුදාව, එදා දියුණු තත්වයේ නොතිබීමයි. ඉතින් මොකටද මේ වගේ හමුදාවක් හැදුවේ? මෙන්න මේකයි හේතුව.

   ඒ කාලයේ අපේ රටට දකුණු ඉන්දියාවෙන් අනවසර සංක්‍රමණිකයන් පැමිණීම මහත් හිසරදයක් වුණා. ඔවුන් රාත්‍රී කාලයේදී, බෝට්ටු මගින් මෙන්ම, දවල් කාලයේදී, ලංකාවේ උතුරු වෙරළෙන් මුහුදු යන ධීවර යාත්‍රා වෙත, බෝට්ටු මගින් පැමිණ, මුදල් ගෙවා මාරුවී පැමිණෙන බවත්, සමහරු, ගමනේ හරි මැද හෝ හතරෙන් තුනක් පමණ බෝට්ටුවකින් පැමිණ, ඉතිරි ටික පිහිනා පැමිණෙන බවත්, ඒ කාලයේ අපි, පුවත්පත් වාර්තාවලින් දුටු අතර, ගුවන්විදුලි ප්‍රවෘත්ති ප්‍රචාර වලින්ද ඇසුවා.

   ඉතින් ඒ වැඩේ නවත්තන්න බැරිවුණා ද? සෑහෙන්න හොඳට නැවැත්තුවා. අන්න ඒ වැඩේ නවත්තන්න තමයි, ත්‍රිවිධ හමුදාව ටැෆායි රාජකාරිවල යෙදුවේ. ඔවුන්, වෙරළාරක්‍ෂක බලකායක් මෙන්ම, මුහුදු සීමා ආරක්‍ෂක බලකායක් වශයෙනුත්, සේවය කළා. ගුවන් හමුදාව, ගුවනින් නිරීක්ෂණ කටයුතුවල යෙදුණා. මේ නිසා, ඉතා සාර්ථක ලෙස, හොරවැසියන් පැමිණීම මර්දනය කරන්නට හැකිවුණා. යුද හමුදාවේ නිත්‍ය/ස්වේච්ඡා විවිධ රෙජිමේන්තු, මාරුවෙන් මාරුවට මේ රාජකාරි සඳහා යොදවනු ලැබුවා.

   මුහුදු සීමා ආරක්‍ෂාව පැවරුනේ නාවික හමුදාවටයි. ඔබට මතකද, බඹරු ඇවිත් චිත්‍රපටිය? 1978 දී තිරගතවූ ඒ චිත්‍රපටියේ පෙන්වනවා, කල්පිටිය ප්‍රදේශයට ඉහළින් ඇති, බත්තලන්ගුන්ඩුව වැනි ප්‍රදේශවල ජනජීවිතය. එහිදී, පොලීසියට අයත් රාජකාරි කරන්නේ, නාවික හමුදාව. එයට හේතුව, ඒ කාලයේ ටැෆායි රාජකාරි යටතේ, පොලිස් රාජකාරිත්, නාවික හමුදාවට පැවරී තිබීමයි. ඒ කාලයේ එහෙ පොලීසි තිබුණේ නැහැ.

   ටැෆායි රාජකාරි හෙවත් TFAII duties ගැන, බොහොම රසවත් කතා, ඒ කාලේ හමුදා සේවයේ යෙදී සිටිය අය කියනවා. ටැෆායි රාජකාරිවල යෙදුන අයගෙන් කවුරුවත්, අද නම් ත්‍රිවිධ හමුදා සේවයේ නැහැ. විශ්‍රාම ගිහින්. නමුත්, අපි හමුදාවට ගිය මුල් කාලයේ, එවැනි අය හිටියා. ඔවුන්ගේ සමහර කතා වලට, බඩ අල්ලාගෙන හිනා යනවා. ඒ කාලයේ, යුද හමුදාවට දී තිබුණු ප්‍රධාන අවිය වුණේ, .303 ලී එන්ෆීල්ඩ් රයිෆලයයි. ඒ කාලේ, රාත්‍රී මුර සංචාරයකදී වුණත්, ඒ රයිෆලයක් දෙන්නේ, දෙදෙනෙකු මුර සංචාරයේ යනකොට එක අයකුට පමණයිලු. (කොහොමද වැඩේ? දෙන්නයි යන්නේ) ඒ වගේම, මුර සංචාරයේ යනවිටවත්, ඔවුන් රයිෆලයට පතරොම් දමන්නේ නැතිලු. පතරොම් නැතිවෙයි කියන බයට, පතරොම් සහිත චාජර් එක, එක්කෙනෙකුගේ නිළ ඇඳුමේ උඩ සාක්කුවක දමා, හැට්ට කටුවකුත් ගහනවාලු, හැලෙයි කියන බයට. නැතිවුණොත් ගස් තමයි. :D රයිෆලය තියෙන්නේ අනික් එක්කෙනාගේ  අතේලු.

   ඒ වගේම, මුර සංචාරයේ යෙදෙන නාවික බෝට්ටු වලත්, තුවක්කු දෙකකට වඩා ගෙනියන්නේ නැතිලු, නැතිවෙයි කියන බයට. එක තුවක්කුවක් දික්කලාම, හොරවැසි බෝට්ටු යටත් වෙනවලු. (හොරවැසියන් දන්නේ නැහැනේ, තුවක්කුවට පතරොම් දාලද නැද්ද කියලා) යුද හමුදාවේ අයවත් දාගෙන, 'මාළු ඇල්ලීමේ මුර සංචාර' වලත් දෙනවලු. ඒක තමයි, අයියලා එව්වා කරන අතරේ, හොරවැසියෝ එකසිය ගාණට මෙහාට පනින්න ඇති. 1981 න් පස්සේ, අපේ රටේ තත්වය මොකක්ද කියලා, කියන්න අවශ්‍ය නැහැනේ. හොරවැසියන් පැමිණීම, නැත්තටම නැතිවන තරමට අඩුවුණා. උතුරේ ත්‍රස්තවාදය හිස එසෙව්වා. ඒ නිසා, ත්‍රිවිධ හමුදාවම වඩාත් ශක්තිමත් සහ සංවිධානාත්මක තත්වයට ගන්නට සිදුවුණා. ටැෆායි රාජකාරි නැවතුණා. 

   මේ අය මෙහෙම ආවේ ඇයි? අද නම් ඉන්දියාවේ ජීවත්වීම පහසුයි. අපේ රටට වඩා එහි ජීවන වියදම සාපේක්ෂව අඩුයි. නමුත් ඒකාලයේ තිබුණේ එහි අනික් පැත්ත. ඉන්දියාවේ ජීවන වියදමට වඩා, ලංකාවේ ජීවන වියදම අඩුයි. ඒ නිසයි දකුණු ඉන්දියානු මිනිසුන් අපේ රටට පැන ආවේ. මේගොල්ලෝ මොනවා කරලද මෙහෙ ජීවත්වුණේ? අපොයි ගොඩක් දේවල් කළා.

   බෝතල් පත්තර එකතුකර විකිණීම තමයි, ප්‍රධාන වශයෙන් කළේ. ඊට අමතරව ද්‍රවිඩ ජනතාව වැඩියෙන් පදිංචි ප්‍රදේශවල, විවිධ ආකාරයේ කුලීවැඩ කළා. පිටකොටුවේ තොග වෙළඳසල් වල මුට්ට කරගැහුවා. ටිකක් කල් යනකොට, මේ අයගෙන් කොටසක්, ව්‍යාපාරිකයන් වශයෙන් දියුණු වුණා. ලංකාවේ පුරවැසි භාවය තිබෙන, ද්‍රවිඩ ජාතික කාන්තාවන් සමග විවාහ වුනා. තමන්ගේ පරපුරේ තවත් අය, හොරෙන්ම ගෙන්නාගත්තා ඉන්දියාවෙන්.

   මේ තත්වය, ලංකාව තුළ, ජනවාර්ගික අර්බුදයක් ඇතිකිරීමට තරම් බලවත් වන බව, එකල පාර්ලිමේන්තුවේදී පවා කියවුණා. මේ ගැන, ජනප්‍රිය ගායක ඇන්ටන් ජෝන්ස්, ඒ කාලේ ගීතයක් ගායනා කළා, 'අල්ලගන්න මෙන්න එනව කල්ලතෝනිලා' යනුවෙන්. එම ගීතය, අද අහන්න බොහොම දුර්ලභයි. ඒ ගීතයේ පදමාලාව, මානව හිමිකම් අතින් බලන කල, අදට නොගැලපෙන නිසා දෝ, දැන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ (අද ඉන්න සමහර මාධ්‍ය කුක්කන්/කික්කියන් කියන විදිහට, මාධ්‍ය හරහා නෙවෙයි)  අද ප්‍රචාරය වන්නේ නැහැ. අනුෂ් හෙට්ටිආරච්චි නම් සංගීත රසිකයෙක්, එම ගීතය සංරක්‍ෂණය කරනු වස්, අන්තර්ජාලයට එකතුකොට තිබෙනවා. මේ තිබෙන්නේ එම ගීතයයි. 





ද්‍රවිඩ භාෂාවෙන් කල්ලතෝනි කියන්නේ, 'හොරවැසියා' කියන තේරුම කියා, මා අසා තිබෙනවා. ඒ කාලයේ දකුණේ සිංහල ජනතාවට, යම්කිසි ද්‍රවිඩ ජාතිකයකු ගැන සැකයක් ඇතිවුණොත්, 'කොහෙද යන කල්ලතෝනියෙක්, මේකා කල්ලතෝනියෙක්ද කොහෙද, අර මිනිහා බැඳලා ඉන්න ගෑණි කල්ලතෝනිද මන්දා, මොකට යනවද ඔය කල්ලතෝනිත් එක්ක ගනුදෙනු කරන්න',  වැනි යෙදුම් පාවිච්චි කළා.

   මතක නේද අර, 'බෝතාල් පත්තරේයි' ගීතය. අන්න ඒ ගීතයත්, මේ හොරවැසි කතාව පදනම් කරගනිමින්, නිර්මාණය වුවක්. මේ ගීතයට පාත්‍රවන පුද්ගලයා, මුලින් බෝතල් පත්තර රස්සාවේ යෙදී දියුණු වී, මඩකලපුවේ කඩයක් දාගෙන සිටියදී තමයි,  ජනවාර්ගික යුද්ධය ඇවිලී තිබෙන්නේ. එයින් සියල්ල විනාශවූ ඔහු, යළිත් තමන් මුල් යුගයේ කළ, බෝතල් පත්තර එකතුකර විකිණීමේ රස්සාවට බහිනවා. මේ තියෙන්නේ ඒ ගීතය.




 මේ ගීත, ප්‍රබුද්ධ සාහිත්‍ය නිර්මාණ නොවුනත්, අතීත සමාජමය තොරතුරු කියනවා. 

   උඩරට වතුකරයේ, ඒ වනවිටත්, බ්‍රිතාන්‍ය පාලන සමයේ කම්කරුවන් ලෙස ගෙන්වාගත්, ද්‍රවිඩ ජාතික පවුල් සෑහෙන සංඛ්‍යාවක් හිටියා. ඔවුන්ට මේ රටේ පුරවැසිකම තිබුනේ නැහැ. පසුකාලීනව වරින්වර පුරවැසිකම ප්‍රදානය කළා කොටසකට. නමුත් තවත් සෑහෙන පිරිසක් සිටි නිසා, එවකට ලංකාවේ අගමැතිණි,  සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමිය විසින්, එවකට, ඉන්දීය අගමැති ලාල් බහදුර් ශාස්ත්‍රී මැතිතුමා සමග ඇතිකරගත් 'සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම' මගින්, පුරවැසි භාවය නොලබා මෙරට සිටි ද්‍රවිඩ ජාතික පවුල්, අති විශාල සංඛ්‍යාවක්, ආපසු ඉන්දියාවට යවනු ලැබුවා.
  
   මේ ඉදිරිපත් කළේ, ඉතා දීර්ඝ විස්තරයක්, හැකිතරම් කෙටියෙන්. දැන් මේ ලිපියේ මාතෘකාවේ තියනවානේ, ලංකාව - ඉන්දියාව යාකිරීම කියලා කොටසකුත්. මම දැන් ඔබේ අවධානය යොමු කරන්නේ, ඒ කොටසටයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාළමක් ඉදිකිරීමටත්, මුහුද යටින් දිවෙන උමඟක් ඉදිකිරීමටත්, දෙරටේ අවධානය යොමුවී තිබෙනවා. එකිනෙකට ආසන්න රටවල් මෙවැනි පාළම් සහ උමං මාර්ග ඔස්සේ යාකිරීම ලෝකයේ රටවල් කීපයකම දකින්නට ලැබෙනවා. ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය (අපොයි, තවමත් අපේ සමහර අය ලියන්නේ කියන්නේ, 'ස්විස්ටර්ලන්තය' කියලා) අතර ඉදිකර තිබෙන, මොන්ට් බ්ලාන්ක් උමඟ -  Mont Blanc Tunnel ඔබ හොඳින්ම දන්නවා ඇති. සමහරු ඒ ඔස්සේ ගිහිල්ලත් ඇති. මෙමගින් උතුරු යුරෝපය සහ දකුණු යුරෝපය, කෙටි මගකින් සම්බන්ධවීම නිසා, ආර්ථික වශයෙන් වාසි රැසක් අත්වෙනවා.

   ඒ ආකාරයටම, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය යා කරමින්, මුහුද යටින් ඉදිවී තිබෙන, චැනල් ටනල් - Channel Tunnel උමඟ නිසාත්, ඒ දෙරට අතර ප්‍රවාහනය දියුණුවීමෙන්, වාසි රැසක් හිමිකරගෙන තිබෙනවා. නමුත් මෑතකදී, මෙම උමඟින්, හොරවැසියන් බ්‍රිතාන්‍යයට ඇතුළුවීමට උත්සාහ දැරීම නිසා, ගැටළු මතුවී තිබෙනවා. කි.මී. 50.5 ක් වන, මෙම මුහුදු උමං මාර්ගය දිගේ, පයින් ඇවිදගිය පුද්ගලයකුද, උමඟේ බ්‍රිතාන්‍ය අන්තයේදී, අල්ලාගෙන තිබෙනවා. මෙලෙස පැමිණෙන්නේ, දරිද්‍රතාවය, යුද්ධ කලකෝලාහල, ආදියට මැදිවූ, මධ්‍යම සහ උතුරු අප්‍රිකානු රවලවට සහ  මැදපෙරදිග සමහර රටවලට අයත් වැසියන්.

   දැන් නැවතත් මා ඔබේ අවධානය යොමු කරන්නේ, මේ යෝජිත ශ්‍රී ලංකා - ඉන්දියා පාළම සහ උමඟ වෙතටයි. මේවා අදිකිරීමෙන් බලාපොරොත්තු වන්නේ, මේ දෙරට අතර ප්‍රවාහනය දියුණුවීමෙන්, භාණ්ඩ ආනයන අපනයන වියදම් අඩුකර ගැනීම, සංචාරක ව්‍යාපාරය දියුණු කරගැනීම, කර්මාන්ත සංවර්ධනය, වැනි පරමාර්ථ කීපයක්.

   ඔබ දන්නවා ඇති සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය දියත් කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වන්නේ ඈත අතීතයේ සිටයි. පෝක් සමුද්‍ර සන්ධියේ, ඉන්දියාවට ආසන්න පැත්තෙන්, මුහුද ගැඹුරට හාරා, විශාල නැව් ගමන් කිරීම සඳහා, ඇළමාර්ගයක් සකස් කිරීමයි මේ ව්‍යාපෘතියේ පරමාර්ථය. දැනට ඉන්දියාවේ නැගෙනහිර - බටහිර වෙරළෙහි පිහිටි වරාය වෙත ගමන් කරන නැව්, ලංකාව වටේ ගොස්, තම ගමනාන්තයට යායුතුයි. ඒ පිරිවැය අඩුකරගැනීමයි, සේතු සමුද්‍රම් ව්‍යාපෘතියේ මූලික අරමුණ. නමුත්, එමගින් ඉන්දියාවට සංග්‍රාමික මූලෝපාය අතින්ද, යම් යම් වාසි අත්වනවා.

   මේ ව්‍යාපෘතිය සම්පූර්ණ වුවහොත්, ශ්‍රීලංකාවට, ඉතා දැඩි පාරිසරික, සංග්‍රාමික, සහ ආර්ථික බලපෑම් ඇතිවෙනවා. පෝක් සමුද්‍ර සන්ධියේ, ශ්‍රීලංකාවට අයත් සාගර කළාපයේ පිහිටි, මත්ස්‍ය නිජබිම් විනාශවීමෙන්, ධීවර කර්මාන්තයට ඉතා දැඩි බලපෑමක් ඇතිවෙනවා. ඉන්දියානු විශාල යුද නැව්, මේ කලාපයේ ගැවසීම, අපේ රටේ ආරක්ෂාවට තර්ජනයක් වියහැකියි.   මේ සියල්ල සම්පිණ්ඩනය කර බැලූවිට මෙන්න මෙවැනි දේ හිතට එනවා. 

  • ඉන්දියාව, අපිට සේතු සමුද්‍රම් නමැති යක්ෂයාව පෙන්වා බයකොට, මේ පාළම සහ උමඟ ඉදිකිරීමට යනවාද?
  • මේ පාළම සහ උමඟ නිසා, රටවල් දෙකටම අත්වන වාසි අවාසි, එක සමානද?
  • මේ තුළින් ශ්‍රීලංකාවට කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව ඇතිවියහැකි, වාසි අවාසි, ප්‍රතිවිපාක, මොනවාද?
ඔබ මොකද මේ ගැන හිතන්නේ?

2015 දෙසැම්බර් මස 18 වැනි දින 1141 පැය.

18 September 2015

පින්තූර තුනක්

Old Camera
මා දන්නවා, ඔබ, 'අළු යට ගිණි හෙවත් අතයට සෙල්ලම්' ලිපියේ, ඊළඟ කොටස බලාපොරොත්තුවෙන් සිටින බව. නමුත්, ඒ කොටස සංස්කරණය ඉතා දුෂ්කර සහ, වගකීමෙන් කලයුතු කාර්යයක්. එය නුදුරේදීම එළිදක්වන්නම්. තවමත් මා තරමක් කාර්ය බහුලවයි ඉන්නේ. ඒ නිසා, මෙවැනි සරළ ලිපි ඉදිරිපත් කිරීමට පමණයි, අවකාශ තිබෙන්නේ. 

   මා සමහර බ්ලොග් ලිපිවල, ඔබට කියා ඇති, මට අක්කලා තුන්දෙනෙක් සිටින බව. අද මම ගියා, කෑගල්ල නගරයේ පදිංචි, මගේ දෙවැනි (මද්දුම) අක්කා බලන්න. හෘදයාබාධයකට ලක්වීමෙන් පසු, බයිපාස් සැත්කමකට ලක්ව, හය මාසයක් පමණ ගතවුනත්, ශල්‍යකර්මයට අදාළ යම් යම් සංකූලතා මතුවීම හේතුවෙන්, ඇය දැඩි දුක් විඳිනවා. ඇයව, ශල්‍යකර්මය සඳහා සිහිනැති කළෙත්, දැඩි අවදානමක් සහිතවයි. යළිත් වරක්, කුමන හේතුවක් නිසාවත්, ඇයව සිහිනැති කළ නොහැකි බවයි වෛද්‍ය මතය.

   අක්කා ගැන වෙනම ලිපියක් ලියන්න තරම් කරුණු තිබුණත්, එය පසුවට තබනවා. මට වයස අවුරුදු 7 - 8 කාලයේදී මා නිදාගත්තේ අක්කා ළඟින්. අක්කාගේ ගෙදරදී මට අහම්බෙන් නෙත ගැටුනා, මා කුඩා කාලයේ අපේ ගෙදර තිබුණ පැරණි පින්තූර දෙකක් සහ, මා තරුණ කාලේ පෙනීසිටි එක් පින්තූරයක්. මේ පින්තූර ඇසුරෙන්, යම් යම් අතීත මතකයන් මෙන්ම, පොදුවේ කාටත් කතාකළහැකි කරුණු තිබෙන බව පෙණුන නිසා, ඒ පින්තූර ඔබේ අවධානයට ලක්කරනවා. මෙන්න පළමුවැනි පින්තූරය. 



මේ පින්තූරය 1940 දශකයේදී ගන්න ලද පින්තූරයක් කියා කීමට සහ මේ පින්තූරයේ පසුපස පේළියේ, ඔබේ වම් අත පැත්තේ සිට හතර වැනියා ලෙස සිටින්නේ, මගේ පියා කියා කීමටත්, ඊළඟට ඉන්නේ, කොළඹ යුගයේ සුප්‍රසිද්ධ කවියකු වූ, 'උඳුගොඩ නවරත්න' මහතා කියා කීමටත් පමණයි, මා දන්නේ. මගේ පියා ඉපදී තිබෙන්නේ 1914 ජූනි මස 1 වැනිදා. මගේ මවගේ උපන්දිනය, 1918 අගෝස්තු මස 15 වැනිදා. වසර ගණනාවක ප්‍රේම සම්බන්ධයකින් පසුව තමයි ඔවුන් විවාහවී තිබෙන්නේ. මෙන්න පෙම් කතාව, හැකිතරම් කෙටියෙන්.

   පෙම්වතා සහ පෙම්වතිය දෙන්නම, ගුරු වෘත්තියේ සේවය කළ අය. දෙවැනි ලෝක යුද්ධ කාලේ, ලංකාවේ ක්‍රියාත්මකවී තිබෙනවා 'ආහාර නිෂ්පාදන ව්‍යාපාරය' නමින්, කෘෂිකාර්මික කටයුතු වේගවත් කර, යුද්ධය නිසා, රට තුළ ආහාර හිගයක් ඇතිවීම වැලැක්වීමේ ව්‍යාපාරයක්. මේ දෙන්නම ඒ ව්‍යාපාරයට සම්බන්ධවී සිටින අතර තමයි, ප්‍රේම සම්බන්ධය ඇතිවී තිබෙන්නේ. (මේ දෙන්නා, ඒ කාලේ හුවමාරු කරගත් සෙනෙහෙකොළ, ඒ කාලේ තිබුණු, මැලිබන් ක්‍රීම් ක්‍රැකර් බෙලෙක් පෙට්ටි හතරක පහක පමණ පුරවා තිබුණ බව, මගේ අක්කලා කියනවා. හැබැයි බොහොමයක් ඒවා ලියා තිබෙන්නේ, සුද්දාගේ භාෂාවෙන්ලු. ඉතිං අපේ අක්කලා, බොහොම අමාරුවෙන්, වචන ගැට ගහ ගහ, ඔව්වා කියවන්න උත්සාහ කරනවා දුටු පෙම්වත් මව, එව්වා ගිනිදෙවියාට පූජා කලාලු) ෆුල් ඉංගිරිසි ලව්. පෙම්වතා පෙම්වතියට තෑගි දුන්, හොඳ ඉන්දියන් සාරියක්, රු 3.50 යි ලු. හැබැයි පෙම්වතාගේ මාසික වැටුප, රු 14.50 යි ලු.
  
   පෙම්වතා බෞද්ධ. පෙම්වතිය කතෝලික. පෙම්වතාගේ පියා තේ කම්හල්වල යන්ත්‍ර සූත්‍ර නඩත්තුව භාර ලොකු බාස්උන්නැහේ කෙනෙක්. (ඒ කාලේ සිංහල සමාජය ෆෝමන් කියන වචනය පාවිච්චි කළේ නැහැ) පෙම්වතා අහිංසක ගැමි තරුණයෙක්. පෙම්වතියගේ පියා, සහකාර වතු අධිකාරි කෙනෙක්. ගෙදරදී කතා කරන්නෙත් ඉංග්‍රීසියෙන්. (මම ඔහුව දැක තිබෙන්නේ වාර දෙකතුනක් පමණයි. ඔහු, රාත්‍රී ආහාරය සඳහා, කෑම මේසයට එන්නේ, කලිසම් කමිස සපත්තු සහිතව. ඒ කාලේ අධිරාජ්‍යවාදී ස්වරූපය ඔවුන් තුළ මියයනතුරුම තිබුණා) පෙම්වතා ගමේ ඉස්කෝලෙට ගිය කොල්ලෙක්. පෙම්වතිය, කන්‍යාරාමයක, ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ තරුණියක්. මේ නිසා පෙම්වතියගේ පැත්තෙන්, පෙම්වතාට මහා විරෝධයක් එල්ලවෙලා තියනවා. (බයියෝ සහ ටොයියෝ?) ඔන්න ඉතිං පෙම්වතා සහ පෙම්වතිය, හින්දි චිත්‍රපටියක වගේ, සින්දුවක් එහෙම කියාගෙන ඉන්න කාලේ, දෙවැනි ලෝක යුද්ධයේ බලපෑම ලංකාවටත් ආවා.

   'කාපිරි' නමින් හැඳින්වුණු, අප්‍රිකානු ජාතික සොල්දාදුවන්, සුදු ජාතික පාලකයන් විසින් ලංකාවට ගෙනාවා. එක දවසක්, මෝටර් බයිසිකලයක ගමන්ගත් මේ කාපිරියන් දෙදෙනෙක්, පෙම්වතිය සහ ඇගේ යෙහෙළියන් මහමග යද්දී, මග හරස් කර, අනඟ රැඟුම් පාන්නට සූදානම් වුණාලු. ඒ බව දුටු පෙම්වතා, ඔහුගේ මිතුරන් දෙදෙනෙකුගේද සහාය ඇතිව, අර කාපිරියන් දෙන්නාගේ හොම්බට ඇන, පෙම්වතිය බේරාගත්තාලු.

   ඔන්න ඉතිං මේ 'මහා වීරක්‍රියාව' ගැන පැහැදුණු පෙම්වතියගේ පියා, බාස් උන්නැහේගේ පුතාට, තම වැඩිමහල් දියණිය, (ඇයට බාල නැගණියන් හය දෙනයි. ඒ පවුලේ පිරිමි දරුවන් නැහැ) සරණ පාවා දුන්නා. පුදුමේ කියන්නේ, දෑවැද්දට බෝර් 12 පතරොම් තුවක්කුවකුත් දීලා තියනවා. (1971 කැරැල්ල සමයේදී පොලීසියට බාරදුන් ඒ තුවක්කුව, ආපසු ලැබුණේ නැහැ) මම හිතන්නේ, 'පාලනය අපහසු වුණොත්, තුවක්කුවෙන් පාලනය කරපන්' කියලා, මාමා බෑණට කියන්න ඇති. විවාහයෙන් පසු, මගේ මව, බුද්ධාගම වැළඳගෙන තිබෙනවා. (තාත්තා, අර තුවක්කුව ඔලුවට තියලා, කිව්වද දන්නේ නෑ, බුද්ධාගමට වරෙන් කියලා) ඇය ඉතා ඉහළ බෞද්ධ ධර්ම ඥානයකින් යුක්ත බව මට හොඳට මතකයි.

   ඔන්න ඒ ආදර කතාව එතනින් ඉවරයි. ආපහු පින්තූරෙට යමු. මේ පින්තූරය, මෙපමණ කල් ගියත්, තවමත් හොඳ තත්වයේ තිබෙනවා. පින්තූරය ගත්තේ 1940 කියා සිතුවොත්, අවුරුදු 70 කට වැඩියි. මුල් පින්තූරයේ ඇති ගුණාත්මක බව මේ මේ ස්කෑන් රූපයේ 100% ක් දකින්නට නැහැ. මුල් පින්තූරයේ, නාභිගත කිරීම කොතරම් ඉහළ තත්වයක තිබෙනවාද කියා දුටුවිට, පුදුම හිතෙනවා. අද මෙන් එදා දියුණු කැමරා කාච තිබුනේ නැහැ. මේ පින්තූර සඳහා කිසිදු ආලෝකකාරණයක් කර නැහැ. මේ පින්තූරය මත ක්ලික් කර විශාල කර බලන්න, පින්තූරයේ සිටින සෑමදෙනාගේම කොණ්ඩය ඉතා හොඳින් නාභිගතව තිබෙනවා. විශේෂයෙන් බලන්න, මුහුණේ සියළු විස්තර (details) ඉතා පැහැදිළිව නාභිගතවී තිබෙනවා.

   කෝ මේ අපේ ඉන්නවා නේද, කැමරා කාරයෝ හැට හුටහමාරක් විතර. මේ පින්තූරේ තියන ඡායාරූපමය වටිනාකම් කියලා දීපල්ලකෝ අපිට.

   ඊළඟට මේ පින්තූරය වැදගත් වෙන්නේ, මෙන්න මේ විදිහට. යම් කෙනෙකුට අවශ්‍යනම්, අපේ රටේ ඇඳුම් කාලීනව වෙනස්වී ඇති ආකාරය පිළිබඳව පර්යේෂණයක් කරන්න, මෙන්න මේවගේ පින්තූර, ඒ සඳහා රුකුළක් ලබාදෙනවා. බලන්න, මෙහි විවිධාකාරයේ ඇඳුම් කීපයක් තියනවා. පින්තූරයේ ඉදිරිපස පේළියේ ඉන්න, ප්‍රභූ පෙනුමෙන් යුත් පුද්ගලයා ඇඳ සිටින, 'ට්වීඩ්' නමැති රෙද්දෙන් කළ ඇඳුම, ඒ කාලේ බොහොම ජනප්‍රියයි. ඒ කාලේ සමහරු ඔය ඇඳුමේ, රෙද්දට යටින් දිග කලිසමකුත් අඳිනවා. පසු කාලයේදී, එය හාස්‍යයට ලක්වුනා, 'රෙද්ද අස්සේ මහත්තයා' කියලා.  ඉදිරි පේලියේ දකුණු කෙලවරේ වාඩිවී සිටින කාන්තාව, සම්පූර්ණයෙන් පය වැසෙන ආකාරයේ සපත්තු පැළඳ සිටිනවා. කමිස ඇඳ සිටින අය, සම්පූර්ණයෙන් කර පියවා බොත්තම් දමා තිබෙනවා. ඔබේ නිරීක්‍ෂණත් කියන්න.

   ඊළඟට පෙන්නන පින්තූරය 1960 දශකයේදී ගත් එකක්. පින්තූරයේ ඉන්නේ, මගේ පියා සහ මව. ඔවුන් දෙදෙනා මේ ඉන්නේ, මගේ පියා එවකට සේවය කළ, කෑගල්ලේ, හෙට්ටිමුල්ල (පසුව බණ්ඩාරනායක නමින් නම් කළ) මහා විද්‍යාලයේ, (අද මෙය ජාතික පාසලක්) ජ්‍යොෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර SSC පන්තියේ ළමුන් සමගයි. පන්ති භාර ගුරුවරයා මගේ පියා. බලන්න, මුළු පන්තියේම ඉන්නේ, ළමයි 13 දෙනයි.


   ලස්සනයි නේද? මේ පින්තූරයේ, මගේ පියා ඇඳ සිටින උඩුකය ඇඳුම, ජාතික ඇඳුමේ උඩුකය කොටස නෙවෙයි. මෙය, ඝන රෙද්දකින් මසන ලද, දණහිසෙන් පහළට සිටින තරම් දිග, කොලරයේ සිය පහළට බොත්තම් විශාල ගණනක් තිබෙන ඇඳුමක්. මගේ මතකයේ හැටියට, මෙය හැඳින්වුණේ 'ෂර්වානිය' යන නමින්. මගේ පියා මෙය ඇන්දේ, විශේෂ අවස්ථා වලදී පමණයි. මගේ පියා පැළඳ සිටින සපත්තු දෙක, මට හොඳට මතකයි. එය, එංගලන්තයේ නිෂ්පාදිත, 'ජෝන් වයිට්' වර්ගයේ, දුඹුරු පැහැති සපත්තු කුට්ටමක්.
  
   කොහොමද කොල්ලොටික කියා බලමු. පසුපේළියේ, ඔබේ වම් අත පැත්තේ මුලින්ම ඉන්න එකා, අද මගේ මස්සිනා. මේකා තමයි, මේ කතාවේ මුලින්ම කිව්ව, මගේ අක්කව ඩැහැගත්තේ. මරුමුස් පෙණුමයිනේ? බලන්නකෝ කොල්ලන්ගේ කොණ්ඩ ටික කොහොමද කියලා. අදනම් ඉස්කෝලෙන් එලවනවා. ඒ වගේම කෙල්ලන්ට විතරයි පාසල් නිළ ඇඳුමක් තිබෙන්නේ. කොල්ලන්ට නැහැ. එක එක ජාති ඇඳගෙන ඉන්නවා. ජාතික ඇඳුම ඇඳපු දෙන්නෙක් ඉන්නවා.

   ගෑණු ළමයි දාලා ඉන්නේ එක එක ජාතියේ සපත්තු සෙරෙප්පු. ඒ කාලේ ඔය 'බැලරිනා සපත්තු' බොහොම ජනප්‍රියයි. ඔය ටයි එකට අපි කිව්වේ, 'හරක් දිව' කියලා. ඕක ගැට ගහන්නේ නැහැ. ඔය පෙනෙන කෑල්ල විතරයි තියෙන්නේ. කටුවක් ගහලා එල්ලගන්නවා. අද මේ ළමුන් සියලු දෙනා, ආච්චිලා සීයලා වෙලා ඇති. අපේ අක්කටත් දරුවන්ගේ දරුවෝ ඉන්නවා.  වම් පැත්තේ මුලින්ම ඉන්න ගෑණු ළමයා, පුටුවෙන් වැටෙන්න යන එක වලක්වගන්න වෙන්න ඇති, එක කකුලක් ඈතින් තියාගෙන ඉන්නේ. එතනින් එහා, ඔබේ නිරීක්ෂණ වලට ඉඩ තබනවා.

   අන්තිම පින්තූරේ, 1970 දශකයේ ගත්ත එකක්. මගේ අයියාගේ, හෝම් කමින් හෙවත්, 'ඇට්ෙටා්ං' එකේදී ගත්ත පින්තූරයක් මේ.



පසු පේළියේ, වම් අත පැත්තේ මුලින්ම ඉන්නේ, ගරු මමතුමා. කොහොමද ටයි පොල්ලයි කොණ්ඩෙයි? ඊළඟට ඉන්නේ, අපේ අම්මාගේ නැගණියන් අතරින්, වැඩිමල්ම පුංචි අම්මා සහ බාලම පුංචි අම්මා. ඊළඟට අද ජීවතුන් අතර නැති, මගේ මල්ලිලා දෙන්නා. අන්තිමට ඉන්නේ, මගේ අක්කල තුන්දෙනාගෙන් බාලම අක්කා. පුටුවල වාඩිවී සිටින පේළියේ, මුලින්ම ඉන්නේ මේ කතාවේ මුලින්ම කිව්ව, මගේ දෙවැනි අක්කා සහ එයාව ඩැහැගත්ත ගොබිලා. ඊළඟට අපේ තාත්තා. ඊළඟට නව යුවළ. මනමාලිගේ හැට්ටේ අත්දෙක කොහොමද? කොහොමද අපේ අයියගෙ කොණ්ඩෙ? ඊළඟට අපේ අම්මා, ලොකු අක්කා සහ ඇගේ ස්වාමි පූ......ර්ෂයා.

   බිම වාඩිවෙලා ඉන්න කොල්ලෝ තුන්දෙනාම ලොකු අක්කගේ. කෙල්ලෝ තුන්දෙනාම දෙවැනි අක්කගේ. අද මුන් ඔක්කොම, දරුවෝ දෙන්නා තුන්දෙනා සිටින, අම්මලා තාත්තලා. බලන්න, 1940 දශකයේ ගත් පින්තූරය තවමත් සෑහෙන්න හොඳ තත්වයේ තිබියදී, 1970 දශකයේ ගත් පින්තූරය, සෑහෙන්න අබලන්වී තිබෙනවා. මෙහෙම වෙන්නේ, ඡායාරූප මුද්‍රණයේදී, ගුණාත්මක භාවය අතින් අඩුවීම කියලයි මම හිතන්නේ.

   දැන් ඉතින් ඔබට හිතෙන දේ, මේ පින්තූරවල ඉන්න අයගේ පෞද්ගලිකත්වයටත්, මගේ ආත්ම ගෞරවයටත්, හානි නොවන පරිදි කියන්න.

2015 සැප්තැම්බර් මස 18 වැනි දින 0831 පැය. 

08 July 2015

මේ පින්තූර දැකලා තියනවද? (පළමුවැනි කොටස)

   ලංකාවේ පැරණි තොරතුරු නිරූපණය කෙරෙන පින්තූර, නොයෙක් වෙබ් අඩවි සහ බ්ලොග් අඩවිවල වරින්වර පලවෙනවා. ඒ පින්තූර බොහොමයක්, විවිධ ආයතන, පුද්ගලයන් විසින් ලබාගත්, ඓතිහාසික වටිනාකමකින් යුත් ඡායාරූප බව, එම ඡායාරූප සහිත අඩවි වලට ගියවිට පෙනී යනවා. මේ මෑතකදී, එවැනි ඡායාරූප එකතුවක්, මට දකින්නට ලැබුණා. එම ඡායාරූප මට පෙන්වූ අය, පසුව එයින් කීපයක් මට ඊ මේල් මගින් ඒවා තිබුනේ, මා එම ඡායාරූප කෙරෙහි දැක්වූ දැඩි උනන්දුව නිසයි. 

   මට මේ ඡායාරූප ලබාදුන් මගේ මිත්‍රයා සඳහන් කල පරිදි, මෙවැනි ඓතිහාසික ඡායාරූප විශාල එකතුවක්, ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා. මෙම පින්තූරත්, එයින් ලබාගත් ඒවා වන්නට පුළුවන්.

    මේ සෑම පින්තූරයකටම මාතෘකාවක් යොදා තිබුණා. නමුත් ඒ මාතෘකාව පින්තූරය සමග දැක්වුණේ නැති නිසා, මා එම මාතෘකා නැවත මේ පින්තූර මත යෙදුවා. ඒ සමගම, මේ පින්තූර ගැන යම් හැඳින්වීමක් කරන්නටද මා සිතුවා. එහෙනම් අපි බලමු මේ පින්තූර. 




   හපුතලේ සීතල, මේ පින්තූරයෙන් මොනවට පිළිබිඹු වෙනවා. මෙහි දැක්වෙන බරකරත්ත අදනම් දකින්නට නැහැ. ගොනුන් දෙදෙනෙකු බඳින මෙවැනි කරත්තයක, අද තිබෙන කුඩා ලොරියක ගෙනයන තරම් බරක් ගෙනයනවා. 




   ඒ කාලයේ, නුවරඑලිය කොතරම් පාලු ස්වභාවක ගන්නට ඇද්දැයි, මේ පින්තූරයෙන් පෙනෙනවා. මේ පින්තූරය ගත් ස්ථානයේම සිට, අද පින්තූරයක් ගත්තොත්, අර ඈත පෙනෙන කඳු, හොරෙන් කපා අල්ලාගෙන, ගෙවල් හදාගෙන, එළවලු වගාකරගෙන, ඉන්න හැටි පෙනෙනවා. පසුගිය අවුරුදු 20 ක පමණ අතීතයේ, මා දුටු නුවරඑළිය සහ අද අතරත් විශාල වෙනසක් තිබෙනවා. මේ පින්තූරයේ දැක්වෙන ග්‍රෙගරි වැව, බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් කළ නිර්මාණයක්.




   මේ පින්තූරය ලංකාවේදී ගත් එකක් ලෙස මා නම් විශ්වාස කරන්නේ නැහැ. 1885 දී, සුද්දන්ට, අපේ රටේදී කාලතුවක්කු පාවිච්චි කරන්න අවශ්‍යතාවක් තිබුනේ නැහැ. පළමුවැනි ලෝක යුද්ධය ඇරඹුණේ 1914 දී පමණ, දෙවැනි ලෝක යුද්ධය 1942 දී පමණ. ඒ අවස්ථා වලදීවත්, මෙවැනි කාලතුවක්කු, ලංකාව ඇතුළත පාවිච්චි කරන්න අවශ්‍යතාවක් තිබුනේ නැහැ. 

   මේ ඡායාරූපය ඉන්දියාවේදී ගත් එකක් බව, මට සෑහෙන්න විශ්වාසයක් තිබෙනවා. මෙහි අලි පිට ඉන්න අය ඇඳලා ඉන්නේ, ඉන්දියානු ක්‍රමයේ යුද හමුදා නිළ ඇඳුම්. පාර අයිනේ තියන කරත්තයේ, කරත්තකරු ඇඳගෙන ඉන්න ඇඳුමත්, ඉන්දියානු දෝතියක් වගේ එකක්. ඒ කරත්තයේ බැඳ සිටින ගොණුන්, ඉන්දියාවේදී බහුලව දකින්නට ලැබෙන වර්ගයක්. 




   මෙහි මුල් පින්තූරයේ දැක්වෙන්නේ Bandarawela කියා නොවෙයි Bandarawilla කියායි. බණ්ඩාරවෙල ගැන දන්නා අයට, මේ කොතනද කියා හඳුනාගැනීම එතරම් අපහසු නැහැ. මේ කරත්ත එන්නේ, හපුතලේ පැත්තේ සිට. මේ හරිය නගරයට සහ බණ්ඩාරවෙල දුම්රියපොළට ආසන්න ප්‍රදේශය. මේ පින්තූරයේ දකුණු පැත්තේ ඇති බෑවුම, අදනම්, ගොඩනැගිලි වලින් පිරිලා තියෙන්නේ. 




   අපි කුඩා දරුවන් කාලේ, මේ ස්ථානයෙන් බස් රථයක යාම, තරමක් ත්‍රාසය ඇති කරවන දෙයක්. ඒ කාලයේ, අදමෙන්, ද්‍රාව පීඩක බලයෙන් යුත් සුක්කානමක්, කිසිම මෝටර් රථයකට තිබුනේ නැහැ. මේ ස්ථානයට ආසන්නවම, පහලින් තිබෙන වංගුව එකවර ගැනීමට බර වාහනවලට බැහැ. කීප වරක් ඉදිරියට පසුපසට ගෙන තමයි, වංගුව ගන්නේ. මේ අසළ, පහලින් තේ කම්හලක් තිබුණා. 1960 දශකයේදී, මහනුවර දෙස සිට පැමිණි ලොරියක්, පාලනය කරගත නොහැකිව, එම තේ කම්හල තුළට කඩා වැදී, මහත් විනාශක් වුණා. මේ ආසන්නයේ ඇති මහා ප්‍රපාතයට, වාහන වැටුණු අවස්ථා තිබෙනවා. 




   එකල ජනජීවිතය මැනැවින් පිළිබිඹු කරන ඡායාරූපයක් ලෙස, මෙය දක්වන්නට කැමතියි. බලන්න, උඩරට නිළමේ වරයකු පළඳින, සාම්ප්‍රදායික හිස් වැස්මක් පැළඳි අයකුද, මෙහි ඉන්නවා. ඇඳුම් වල සැකැස්ම ගැන බලන්න පිරිමි අය උඩුකය නිරාවරණව ඉන්නේ. 





   ඡායාරූපකරණ විෂයය අතින් ගෙන බැලුවොත්, ඒ කාලයේ තිබුන පහසුකම් යටතේ ලබාගත්, ඉතා හොඳ ඡායාරූපයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය බොහෝවිට හපුතලේ, බණ්ඩාරවෙල, ප්‍රදේශයේදී ගත් ඡායාරූපයක් වන්නට පුළුවන්. 




   බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාවේ තේ වගාව ආරම්භ කළ පසු, එය සීඝ්‍රයෙන් පැතිරුනා. බලන්න, පින්තූරයේ ඉන්න සුදු ජාතික වතු අධිකාරී වරයා, ගමන් කරන්නේ, වත්තේ සේවය කරන, ද්‍රවිඩ ජාතිකයකු විසින් අදින, 'රික්ෂෝ' එකකින්. 




   මට පෙනීයන ආකාරයට, මේ ගම්පොල හෝ තලවාකැලේ ප්‍රදේශයයි. මෙය මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශය කියා මට හිතෙනවා. 




   ගොල්ෆ් ක්‍රීඩාව, 15 වැනි සියවස දක්වා ඇදීයන ඉතිහාසයක් හිමි ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව කිරීමේදී, සහායකයකු අවශ්‍ය වනවා. ඔහුව හඳුන්වන්නේ කැඩී caddy (or caddie) යන නමින්. ක්‍රීඩාවේ ඒ ඒ අවස්ථාවේදී ක්‍රීඩකයා පාවිච්චි කරන විවිධ පිති සහ අනෙකුත් උපකරණ ඇතුළත් බෑගය ඔසවාගෙන, මුළු ගොල්ෆ් කලාපය course පුරා ඔහු ඇවිදිනවා. එපමණක් නොවෙයි, ඔහුට ඒ ගොල්ෆ් කලාපය ගැන මනා විශේෂඥ දැනුමක් තියනවා. ඔහු ක්‍රීඩකයාට උපදෙස් දෙනවා, ඒ ඒ අවස්ථාවේදී ක්‍රීඩා කළයුතු ආකාරය ගැන. 




   කොළඹ තිබෙන රජ ගෙදරට අමතරව, තවත් රජ ගෙදර කීපයක් ලංකාවේ තියනවා. මේ තිබෙන්නේ, නුවරඑළියේ තිබෙන රජ ගෙදර. වර්තමානයේ ජනාධිපති මන්දිරය. මෙය බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකර තිබෙන්නේ, ලංකාවේ ආණ්ඩුකාරවරයාගේ නිළ නිවසක් ලෙසයි. අදටත් මේ මන්දිරය මේ ආකාරයෙන්ම පවතිනවා. 




   

  අද මේ නමින් හෝටලයක් නුවරඑළියේ තිබෙනවාදැයි මා දන්නේ නැහැ. මෙවැනි හෝටල්, ඒ කාලයේ, සුදු ජාතිකයන්ට පමණක් සීමාවූ ඒවා බව සඳහන් වෙනවා. 




මේ ඡායාරූපය ගත් තැන සිට අද ඡායාරූපයක් ගත්තොත්, නගරයක් මැද ඉන්නවා මෙන් පෙනෙනු ඇති. කෙසේ වෙතත්, නුවරඑළියේ මේ ගොල්ෆ් ක්‍රීඩා කලාපය, අදටත් හොඳින් ක්‍රියාත්මකව පවතිනවා. 




   ඒ කාලයේ සිටම, මාළිගාවේ ඇතාට, ලොකු තැනක් තිබුන බව මේ පින්තූරයෙන් පෙනෙනවා. අපි පාසල් යන කාලයේ, මට මතකයි සමහර පුද්ගලයන් හැඳින්වුණා, 'මාලිගාවේ ඇතා වගේ' කියලා. එයින් අදහස් කළේ, සියලු සැප සම්පත් නොමිලේ ලබාගනිමින්, කිසිදු කාර්යයයක නොයෙදී, සැපට ඉන්න කෙනා යන අදහසින්. 





   මේ ඡායාරූපයෙන් දීර්ඝ විස්තරයක් පෙන්නුම් කරනවා. බ්‍රිතාන්‍ය පාලකයන්, මාලිගාව සංරක්ෂණය කරන්නට, කිසිදු පියවරක් ගෙන නැති හැටිත්, මාලිගාව කොතරම් අභාවයට ගොස් ඇතිද යන්නත්, පෙනෙනවා. 

   මගේ මිත්‍රයා සතුව තවත් මෙවැනි පින්තූර අති විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා ලැබෙන ආකාරයට පසුව පලකරන්නම්. 

2015 ජූලි මස 08 වැනි දින 0022 පැය


17 September 2014

අනගාරික ධර්මපාලතුමාගේ සමාජ සංස්කෘතික විප්ලවය

අදට යෙදෙන අනගාරික ධර්මපාල තුමාගේ 150 වැනි ජන්ම දිනය නිමිත්තෙන් වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියා ඒවා තිබුණු ලිපියක් ඔබේ කියවීම සඳහා මෙසේ පළකරනවා. 



අනගාරික ධර්මපාලතුමාගේ ජීවිතය කැපවන්නේ සමාජය යහපත් කිරීමේ අරමුණින් කරන ලද අරගල නිසාය.  එසේම මේ අරගල හිංසනයෙන් සහ බලහත්කාරයන් තොර වීමත්  අරගලය ස්වාර්ථය සඳහා යොදා නොගැනීමේ සාධකය නිසාත් කැපී පෙනෙයි.  

ධර්මපාලතුමා සමාජ අසධාරනයන් අත් විඳින්නේ පාසල් කාලයේදීමය. වෙසක් දිනයේදී පාසල් නොගොස් ආගමික වතාවත් වල යෙදීම නිසා ඔහුව සාන්ත තෝමස් විද්‍යාලයෙන් නෙරපා දමයි. එය පාසල් දරුවෙකුගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් විය. අද දිනයේ දියුණු සංස්කෘතියක් පවත්නා සෑම රටකම සිසුන් ගේ ආගමික දින සඳහා නිවාඩු ලබා ගත හැක. මෙම මූලික ළමා අයිතිවාසිකම පිලිබඳව හැඟීම් සහ පාසල විසින් තමාට අසාධාරනයක් කල බව ළමා දොන් ඩේවිඩ් හේවාවිතාරණ වටහා ගනියි.  නමුත් එකල සමාජයට , පාසල් පරිපාලකයන්ට සහ අධ්‍යාපනවේදීන්ට මෙම මූලික ළමා අයිතිවාසිකම පිලිබඳව වැටහීමක් නොවීය

අනගාරික ධර්මපාල කොලඹ උසස් සහ ධනවත් ප්‍රභූ පවුලක සාමාජිකයෙකි. එම නිසා බටහිරට ලැදි කොලඹ උසස් සමාජය තුල ගැවසී එම සමාජයේ අඩුපාඩු දැකීමට ඔහුට හැකි විය. ඔහු  අතිථී භීතිකාව (xenophobia ) හෙවත් විදේශිකයින්ට බිය  සහ නුරුස්නා බව නිසා හෝ හීනතාමාන සංකීර්ණය නිසා හුදු බටහිර  විරෝධියෙකු නොවුයේය. ඔහු  බටහිර ශිෂ්ටාචාරයේ උසස් සහ දියුණු අංගයන් අධ්‍යනය කලේය. බටහිර ශිෂ්ටාචාරයේ දියුණුව රඳා පවතින අධ්‍යාපනික , තාක්‍ෂණික  සහ සමාජ විනය ලංකාවේ ඇති කල යුතු බව විශ්වාස කලේය. විදේශයන් වෙත ගොස්    කර්මාන්ත ඉගෙන ගැනීමට ඔහු තම වියදමින් ශිෂ්‍යත්ව  පවා දුන්නේය. අනගාරික ධර්මපාලතුමා විරුද්ධ වූයේත් විවේචනය කලේත් බටහිර සංස්කෘතියේ දියුණු හරය වෙනුවට එහි පහළ ස්ථර වල ඇති කුණු කසළ වැළඳ ගැනීමෙන් සිය ජාතික අනන්‍යතාව ක්‍ෂය කර ගැනීම පිලිබඳවය. 

අනගාරික ධර්මපාලතුමා ජාතිවාදියෙක් ද ? ඔහු ලියූ ඇතැම් කවි සහ ලිපි මගින් අන්‍ය ජාතිකයන් විවේචනය කල බව ඇතැමෙකු පවසති.  ඔහුගේ බස අද කාලයට සාපේක්‍ෂව කර්කශ වූවද එම කාලයේ අධ්‍යාපනයෙන් අඩු ග්‍රාමීය ජනතාව ආමන්ත්‍රනය කිරීමේදී යොදා ගත් සාමාන්‍ය විවහාරයකි. අධ්‍යාපනයෙන් සහ සමාජ මට්ටමින් අඩු ජනතාවට ආමන්ත්‍රනය කිරීම සඳහා ඔහු සරල ග්‍රාම්‍ය භාෂාවක් යොදාගත්තේය.  නමුත් අනගාරික ධර්මපාල ජාතීන් අතර විස පැතිරූ ස්වාර්ථය සඳහා ජාතීන් අතර විරසක ඇති කල නායකයෙකු නොවීය. ඇතැම් අවස්ථා වලදී දමිළ සහ මුස්ලිම් ජන වර්ගයන් තුල පොදුවේ තිබෙන ඇතැම් දියුණු ලක්‍ෂණ සිංහලයන් විසින් අනුගමනය කල යුතු බව ලිවීය. රැකියා කර්මාන්තයේ නොයෙදෙන යන්තම් ජීවත් වීම සඳහා කය සොලවන , අනාගතයක් මෙන්ම  දුවා  දරුවන් ගැන නොසිතන නූගත්කමේ ගැලී සිට මත් පැන් පානයේ යෙදෙන පුද්ගලයන් ඔහුගේ නිර්දය විවේචනයට ලක් විය.   

ඔහු සිංහල පමණයි යන පටු අදූරදර්ශී ආත්මාර්ථකාමී සටන් පාඨය බැහැර කලේය. එමගින් සිංහල දරුවන් සදාකාලික ග්‍රාම්‍ය නූගත්වයේ  සහ බාහිර ලෝකයට විවෘත විය නොහැකි කොදෙව් මානසිකත්වයේ සිරකරුවන් වන බව පසක් කලේය.  ස්ව භාෂාව ප්‍රගුණ කොට විදේශ භාෂාද ඉගෙන ගත යුතු බව අනගාරික ධර්මපාලතුමා පෙන්වා දුන්නේය. දියුණු සමෘධිමත් තාක්‍ෂණයෙන් උසස් ආධ්‍යාත්මික ස්වයං විනයක් සහිත සමාජයක් පවතින ලංකාවක්  පිලිඳව ඔහු සිහින දුටුවේය. 

අනගාරික ධර්මපාලතුමා බුදු දහම ගැඹුරින් හැදෑරීය.  1893 දී චිකාගෝහි   පැවති දෘෂ්ටි සම්මේලනයේදී  එතුමා බුදුදහම පිලිබඳව හරවත් දේශනයක් කලේය. එසේම  කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් වෙත , බ්ලැවට්ස්කි මැතිණිය වෙත , හවායි හි ෆෝස්ටර් මැතිණිය වෙත යැවූ ලිපි වල  බුදු දහම මෙන්ම අන්‍ය ආගම් පිලිබඳව අනගාරික ධර්මපාලතුමා  සතුව පැවති විචක්‍ෂණ අනුභූතිය පෙනී යයි.  බෞද්ධ අයිතිවාසිකම් ස්ථාපිත කොට බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ මහා ක්‍රියාදාමය පසුපස සිටියේ අනගාරික ධර්මපාලතුමාය. 

අනගාරික ධර්මපාලතුමා තද විවේචකයෙකි. ඔහු සත්‍ය දුටු තැන එය පෙන්වා දුන්නේය. මහත්මා ගාන්ධි පවා අනගාරික ධර්මපාලතුමාගේ විවේචන වලට ලක් විය. මේ නිසා ඇතැමෙකු අනගාරික ධර්මපාලතුමා අන්තවාදියෙකු ලෙස හඳුන්වා දෙමින් එතුමාගේ සමාජ විප්ලවය අඩපණ කිරීමට කටයුතු කලෝය. මේ හේතුන් නිසා අවසාන සමයේදී කළකිරීමට පත් වූ එතුමා යළි ලංකාවට නොපැමිනෙන බවට ශපථ කලේය. 

අනගාරික ධර්මපාලතුමා විසින් ආරම්හ කරන ලද සමාජ සංකෘතික විප්ලවයේ අග්‍ර එල නෙලා ගත්තේ ආත්මර්ථකාමී දේශපාලකයන් විසිනි. දියුණු සමෘධිමත් තාක්‍ෂණයෙන් උසස් ආධ්‍යාත්මික ස්වයං විනයක් සහිත සමාජයක් පවතින ලංකාවක්  බිහි කිරීමේ අනගාරික ධර්මපාලතුමා ගේ සිහිනය ඔවුන් විසින් පැහැර ගත්හ.  ඒ වෙනුවට ජාතීන් ඇනකොටා ගන්නා සමාජ පසුගාමීත්වයෙන් සපිරි විනයක් නොමැති ලංකාවක් ඔවුන් නිර්මාණය කලහ. 

අනගාරික ධර්මපාලතුමාට කල හැකි උසස්ම බහුමානය වන්නේ වාර්ෂිකව එතුමාගේ පිළිරුවට  මල් මාළා පැලඳවීම හෝ ගුණකථන පැවැත්වීම නොව එතුමා දුටු සිහිනය සැබෑ කරවීම සඳහා පියවර ගැනීමයි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග



my-signature-for-blog[1]    2014 සැප්තැම්බර් මස 17 දින 1110 පැය 

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }