හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

18 December 2015

'ටැෆායි' සහ ලංකාව - ඉන්දියාව යා කිරීම

'රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ' කියලා, ප්‍රියා සූර්යසේන කියනවා. අපේ කාලයේ සුන්දර මතකයන් අවදිකරවන ගීතයක් එය. ඒ වුණාට අද කාලේ, රටකින් රටකට ඉගිලෙන එක සුළුදෙයක්. තමන්ගේ මව් රට සදහටම හැරදමා, වෙනත් රටකට ඉගිලෙන ලෝ වැසියන්, එක අවුරුද්දකට ලක්ෂ කීයක් ඇද්ද? මේ අඩවිය කියවන කී දෙනෙක් ඇද්ද, එහෙම සදහටම මව්රට හැරදා ගිය අය. නන්දා මාලනී 'සරුංගලේ වරල් සැලේ' ගීතය කිව්වේ, ඒ වගේ අයට නේද? ඇත්තටම මිනිස්සු මෙහෙම කාලෙන් කාලෙට, රටකින් රටකට යන්නේ ඇයි? විවිධ හේතු තියනවා නේ? තමන්ගේ රටේ තියන ප්‍රශ්න, තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න, ජීවිතයේ දියුණුව සොයාගැනීම, තව කොච්චරනම් හේතු තියනවද. හොඳයි, ඒ කතාව එතනින් නවත්තලා, අද කතාවට බහිමුකො.

   ඔබ අතරින් කීපදෙනෙකු හෝ, 'ටැෆායි' කියන වචනය අසා තිබෙනවා ඇතැයි, මා සිතනවා. ඇත්තටම මෙය, ඉංග්‍රීසි වාක්‍යයක මුලකුරු යොදා සැකසූ, කෙටි යෙදුමක්. (Acronym) මේ වචනය, 1960 දශකයේ සිට, 1980 දශකය ආරම්භ වන කාලය දක්වා, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා මෙන්ම, ඉංග්‍රීසි මාධ්‍ය භාවිත කළ අය, හොඳින් දැනසිටියා. මෙහි සම්පූර්ණ යෙදුම වන්නේ, Task Force Anti Illicit Immigration = TFAII යන්නයි. උච්ඡාරණය පහසු වෙන්න තමයි, 'ටැෆායි' කියලා හදාගෙන තියෙන්නේ. මේ හමුදාව ක්‍රියාත්මක තත්වයෙන් හිටියේ 1961 - 1981 කාලයේ. 

   මේ හමුදාව හැදුවේ මොකටද? කවුද ඒ හමුදාවේ හිටියේ? ඔවුන් මොකද කළේ? අද ඒ හමුදාව තියනවද නැද්ද? ඉතා දීර්ඝ විස්තරයක් කෙටිකර කියනවානම්, මේ විශේෂ ආරක්ෂක අංශය හැදුවේ, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවම එකතු කරලා. නමුත් ඒ කාලයේ (1960 දශකයේ) ගුවන් හමුදාව මේ සඳහා දායකත්වය දැක්වූයේ සීමාසහිතවයි. එයට හේතුව, අදමෙන්, අපේ ගුවන් හමුදාව, එදා දියුණු තත්වයේ නොතිබීමයි. ඉතින් මොකටද මේ වගේ හමුදාවක් හැදුවේ? මෙන්න මේකයි හේතුව.

   ඒ කාලයේ අපේ රටට දකුණු ඉන්දියාවෙන් අනවසර සංක්‍රමණිකයන් පැමිණීම මහත් හිසරදයක් වුණා. ඔවුන් රාත්‍රී කාලයේදී, බෝට්ටු මගින් මෙන්ම, දවල් කාලයේදී, ලංකාවේ උතුරු වෙරළෙන් මුහුදු යන ධීවර යාත්‍රා වෙත, බෝට්ටු මගින් පැමිණ, මුදල් ගෙවා මාරුවී පැමිණෙන බවත්, සමහරු, ගමනේ හරි මැද හෝ හතරෙන් තුනක් පමණ බෝට්ටුවකින් පැමිණ, ඉතිරි ටික පිහිනා පැමිණෙන බවත්, ඒ කාලයේ අපි, පුවත්පත් වාර්තාවලින් දුටු අතර, ගුවන්විදුලි ප්‍රවෘත්ති ප්‍රචාර වලින්ද ඇසුවා.

   ඉතින් ඒ වැඩේ නවත්තන්න බැරිවුණා ද? සෑහෙන්න හොඳට නැවැත්තුවා. අන්න ඒ වැඩේ නවත්තන්න තමයි, ත්‍රිවිධ හමුදාව ටැෆායි රාජකාරිවල යෙදුවේ. ඔවුන්, වෙරළාරක්‍ෂක බලකායක් මෙන්ම, මුහුදු සීමා ආරක්‍ෂක බලකායක් වශයෙනුත්, සේවය කළා. ගුවන් හමුදාව, ගුවනින් නිරීක්ෂණ කටයුතුවල යෙදුණා. මේ නිසා, ඉතා සාර්ථක ලෙස, හොරවැසියන් පැමිණීම මර්දනය කරන්නට හැකිවුණා. යුද හමුදාවේ නිත්‍ය/ස්වේච්ඡා විවිධ රෙජිමේන්තු, මාරුවෙන් මාරුවට මේ රාජකාරි සඳහා යොදවනු ලැබුවා.

   මුහුදු සීමා ආරක්‍ෂාව පැවරුනේ නාවික හමුදාවටයි. ඔබට මතකද, බඹරු ඇවිත් චිත්‍රපටිය? 1978 දී තිරගතවූ ඒ චිත්‍රපටියේ පෙන්වනවා, කල්පිටිය ප්‍රදේශයට ඉහළින් ඇති, බත්තලන්ගුන්ඩුව වැනි ප්‍රදේශවල ජනජීවිතය. එහිදී, පොලීසියට අයත් රාජකාරි කරන්නේ, නාවික හමුදාව. එයට හේතුව, ඒ කාලයේ ටැෆායි රාජකාරි යටතේ, පොලිස් රාජකාරිත්, නාවික හමුදාවට පැවරී තිබීමයි. ඒ කාලයේ එහෙ පොලීසි තිබුණේ නැහැ.

   ටැෆායි රාජකාරි හෙවත් TFAII duties ගැන, බොහොම රසවත් කතා, ඒ කාලේ හමුදා සේවයේ යෙදී සිටිය අය කියනවා. ටැෆායි රාජකාරිවල යෙදුන අයගෙන් කවුරුවත්, අද නම් ත්‍රිවිධ හමුදා සේවයේ නැහැ. විශ්‍රාම ගිහින්. නමුත්, අපි හමුදාවට ගිය මුල් කාලයේ, එවැනි අය හිටියා. ඔවුන්ගේ සමහර කතා වලට, බඩ අල්ලාගෙන හිනා යනවා. ඒ කාලයේ, යුද හමුදාවට දී තිබුණු ප්‍රධාන අවිය වුණේ, .303 ලී එන්ෆීල්ඩ් රයිෆලයයි. ඒ කාලේ, රාත්‍රී මුර සංචාරයකදී වුණත්, ඒ රයිෆලයක් දෙන්නේ, දෙදෙනෙකු මුර සංචාරයේ යනකොට එක අයකුට පමණයිලු. (කොහොමද වැඩේ? දෙන්නයි යන්නේ) ඒ වගේම, මුර සංචාරයේ යනවිටවත්, ඔවුන් රයිෆලයට පතරොම් දමන්නේ නැතිලු. පතරොම් නැතිවෙයි කියන බයට, පතරොම් සහිත චාජර් එක, එක්කෙනෙකුගේ නිළ ඇඳුමේ උඩ සාක්කුවක දමා, හැට්ට කටුවකුත් ගහනවාලු, හැලෙයි කියන බයට. නැතිවුණොත් ගස් තමයි. :D රයිෆලය තියෙන්නේ අනික් එක්කෙනාගේ  අතේලු.

   ඒ වගේම, මුර සංචාරයේ යෙදෙන නාවික බෝට්ටු වලත්, තුවක්කු දෙකකට වඩා ගෙනියන්නේ නැතිලු, නැතිවෙයි කියන බයට. එක තුවක්කුවක් දික්කලාම, හොරවැසි බෝට්ටු යටත් වෙනවලු. (හොරවැසියන් දන්නේ නැහැනේ, තුවක්කුවට පතරොම් දාලද නැද්ද කියලා) යුද හමුදාවේ අයවත් දාගෙන, 'මාළු ඇල්ලීමේ මුර සංචාර' වලත් දෙනවලු. ඒක තමයි, අයියලා එව්වා කරන අතරේ, හොරවැසියෝ එකසිය ගාණට මෙහාට පනින්න ඇති. 1981 න් පස්සේ, අපේ රටේ තත්වය මොකක්ද කියලා, කියන්න අවශ්‍ය නැහැනේ. හොරවැසියන් පැමිණීම, නැත්තටම නැතිවන තරමට අඩුවුණා. උතුරේ ත්‍රස්තවාදය හිස එසෙව්වා. ඒ නිසා, ත්‍රිවිධ හමුදාවම වඩාත් ශක්තිමත් සහ සංවිධානාත්මක තත්වයට ගන්නට සිදුවුණා. ටැෆායි රාජකාරි නැවතුණා. 

   මේ අය මෙහෙම ආවේ ඇයි? අද නම් ඉන්දියාවේ ජීවත්වීම පහසුයි. අපේ රටට වඩා එහි ජීවන වියදම සාපේක්ෂව අඩුයි. නමුත් ඒකාලයේ තිබුණේ එහි අනික් පැත්ත. ඉන්දියාවේ ජීවන වියදමට වඩා, ලංකාවේ ජීවන වියදම අඩුයි. ඒ නිසයි දකුණු ඉන්දියානු මිනිසුන් අපේ රටට පැන ආවේ. මේගොල්ලෝ මොනවා කරලද මෙහෙ ජීවත්වුණේ? අපොයි ගොඩක් දේවල් කළා.

   බෝතල් පත්තර එකතුකර විකිණීම තමයි, ප්‍රධාන වශයෙන් කළේ. ඊට අමතරව ද්‍රවිඩ ජනතාව වැඩියෙන් පදිංචි ප්‍රදේශවල, විවිධ ආකාරයේ කුලීවැඩ කළා. පිටකොටුවේ තොග වෙළඳසල් වල මුට්ට කරගැහුවා. ටිකක් කල් යනකොට, මේ අයගෙන් කොටසක්, ව්‍යාපාරිකයන් වශයෙන් දියුණු වුණා. ලංකාවේ පුරවැසි භාවය තිබෙන, ද්‍රවිඩ ජාතික කාන්තාවන් සමග විවාහ වුනා. තමන්ගේ පරපුරේ තවත් අය, හොරෙන්ම ගෙන්නාගත්තා ඉන්දියාවෙන්.

   මේ තත්වය, ලංකාව තුළ, ජනවාර්ගික අර්බුදයක් ඇතිකිරීමට තරම් බලවත් වන බව, එකල පාර්ලිමේන්තුවේදී පවා කියවුණා. මේ ගැන, ජනප්‍රිය ගායක ඇන්ටන් ජෝන්ස්, ඒ කාලේ ගීතයක් ගායනා කළා, 'අල්ලගන්න මෙන්න එනව කල්ලතෝනිලා' යනුවෙන්. එම ගීතය, අද අහන්න බොහොම දුර්ලභයි. ඒ ගීතයේ පදමාලාව, මානව හිමිකම් අතින් බලන කල, අදට නොගැලපෙන නිසා දෝ, දැන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ (අද ඉන්න සමහර මාධ්‍ය කුක්කන්/කික්කියන් කියන විදිහට, මාධ්‍ය හරහා නෙවෙයි)  අද ප්‍රචාරය වන්නේ නැහැ. අනුෂ් හෙට්ටිආරච්චි නම් සංගීත රසිකයෙක්, එම ගීතය සංරක්‍ෂණය කරනු වස්, අන්තර්ජාලයට එකතුකොට තිබෙනවා. මේ තිබෙන්නේ එම ගීතයයි. 





ද්‍රවිඩ භාෂාවෙන් කල්ලතෝනි කියන්නේ, 'හොරවැසියා' කියන තේරුම කියා, මා අසා තිබෙනවා. ඒ කාලයේ දකුණේ සිංහල ජනතාවට, යම්කිසි ද්‍රවිඩ ජාතිකයකු ගැන සැකයක් ඇතිවුණොත්, 'කොහෙද යන කල්ලතෝනියෙක්, මේකා කල්ලතෝනියෙක්ද කොහෙද, අර මිනිහා බැඳලා ඉන්න ගෑණි කල්ලතෝනිද මන්දා, මොකට යනවද ඔය කල්ලතෝනිත් එක්ක ගනුදෙනු කරන්න',  වැනි යෙදුම් පාවිච්චි කළා.

   මතක නේද අර, 'බෝතාල් පත්තරේයි' ගීතය. අන්න ඒ ගීතයත්, මේ හොරවැසි කතාව පදනම් කරගනිමින්, නිර්මාණය වුවක්. මේ ගීතයට පාත්‍රවන පුද්ගලයා, මුලින් බෝතල් පත්තර රස්සාවේ යෙදී දියුණු වී, මඩකලපුවේ කඩයක් දාගෙන සිටියදී තමයි,  ජනවාර්ගික යුද්ධය ඇවිලී තිබෙන්නේ. එයින් සියල්ල විනාශවූ ඔහු, යළිත් තමන් මුල් යුගයේ කළ, බෝතල් පත්තර එකතුකර විකිණීමේ රස්සාවට බහිනවා. මේ තියෙන්නේ ඒ ගීතය.




 මේ ගීත, ප්‍රබුද්ධ සාහිත්‍ය නිර්මාණ නොවුනත්, අතීත සමාජමය තොරතුරු කියනවා. 

   උඩරට වතුකරයේ, ඒ වනවිටත්, බ්‍රිතාන්‍ය පාලන සමයේ කම්කරුවන් ලෙස ගෙන්වාගත්, ද්‍රවිඩ ජාතික පවුල් සෑහෙන සංඛ්‍යාවක් හිටියා. ඔවුන්ට මේ රටේ පුරවැසිකම තිබුනේ නැහැ. පසුකාලීනව වරින්වර පුරවැසිකම ප්‍රදානය කළා කොටසකට. නමුත් තවත් සෑහෙන පිරිසක් සිටි නිසා, එවකට ලංකාවේ අගමැතිණි,  සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමිය විසින්, එවකට, ඉන්දීය අගමැති ලාල් බහදුර් ශාස්ත්‍රී මැතිතුමා සමග ඇතිකරගත් 'සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම' මගින්, පුරවැසි භාවය නොලබා මෙරට සිටි ද්‍රවිඩ ජාතික පවුල්, අති විශාල සංඛ්‍යාවක්, ආපසු ඉන්දියාවට යවනු ලැබුවා.
  
   මේ ඉදිරිපත් කළේ, ඉතා දීර්ඝ විස්තරයක්, හැකිතරම් කෙටියෙන්. දැන් මේ ලිපියේ මාතෘකාවේ තියනවානේ, ලංකාව - ඉන්දියාව යාකිරීම කියලා කොටසකුත්. මම දැන් ඔබේ අවධානය යොමු කරන්නේ, ඒ කොටසටයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාළමක් ඉදිකිරීමටත්, මුහුද යටින් දිවෙන උමඟක් ඉදිකිරීමටත්, දෙරටේ අවධානය යොමුවී තිබෙනවා. එකිනෙකට ආසන්න රටවල් මෙවැනි පාළම් සහ උමං මාර්ග ඔස්සේ යාකිරීම ලෝකයේ රටවල් කීපයකම දකින්නට ලැබෙනවා. ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය (අපොයි, තවමත් අපේ සමහර අය ලියන්නේ කියන්නේ, 'ස්විස්ටර්ලන්තය' කියලා) අතර ඉදිකර තිබෙන, මොන්ට් බ්ලාන්ක් උමඟ -  Mont Blanc Tunnel ඔබ හොඳින්ම දන්නවා ඇති. සමහරු ඒ ඔස්සේ ගිහිල්ලත් ඇති. මෙමගින් උතුරු යුරෝපය සහ දකුණු යුරෝපය, කෙටි මගකින් සම්බන්ධවීම නිසා, ආර්ථික වශයෙන් වාසි රැසක් අත්වෙනවා.

   ඒ ආකාරයටම, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය යා කරමින්, මුහුද යටින් ඉදිවී තිබෙන, චැනල් ටනල් - Channel Tunnel උමඟ නිසාත්, ඒ දෙරට අතර ප්‍රවාහනය දියුණුවීමෙන්, වාසි රැසක් හිමිකරගෙන තිබෙනවා. නමුත් මෑතකදී, මෙම උමඟින්, හොරවැසියන් බ්‍රිතාන්‍යයට ඇතුළුවීමට උත්සාහ දැරීම නිසා, ගැටළු මතුවී තිබෙනවා. කි.මී. 50.5 ක් වන, මෙම මුහුදු උමං මාර්ගය දිගේ, පයින් ඇවිදගිය පුද්ගලයකුද, උමඟේ බ්‍රිතාන්‍ය අන්තයේදී, අල්ලාගෙන තිබෙනවා. මෙලෙස පැමිණෙන්නේ, දරිද්‍රතාවය, යුද්ධ කලකෝලාහල, ආදියට මැදිවූ, මධ්‍යම සහ උතුරු අප්‍රිකානු රවලවට සහ  මැදපෙරදිග සමහර රටවලට අයත් වැසියන්.

   දැන් නැවතත් මා ඔබේ අවධානය යොමු කරන්නේ, මේ යෝජිත ශ්‍රී ලංකා - ඉන්දියා පාළම සහ උමඟ වෙතටයි. මේවා අදිකිරීමෙන් බලාපොරොත්තු වන්නේ, මේ දෙරට අතර ප්‍රවාහනය දියුණුවීමෙන්, භාණ්ඩ ආනයන අපනයන වියදම් අඩුකර ගැනීම, සංචාරක ව්‍යාපාරය දියුණු කරගැනීම, කර්මාන්ත සංවර්ධනය, වැනි පරමාර්ථ කීපයක්.

   ඔබ දන්නවා ඇති සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය දියත් කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වන්නේ ඈත අතීතයේ සිටයි. පෝක් සමුද්‍ර සන්ධියේ, ඉන්දියාවට ආසන්න පැත්තෙන්, මුහුද ගැඹුරට හාරා, විශාල නැව් ගමන් කිරීම සඳහා, ඇළමාර්ගයක් සකස් කිරීමයි මේ ව්‍යාපෘතියේ පරමාර්ථය. දැනට ඉන්දියාවේ නැගෙනහිර - බටහිර වෙරළෙහි පිහිටි වරාය වෙත ගමන් කරන නැව්, ලංකාව වටේ ගොස්, තම ගමනාන්තයට යායුතුයි. ඒ පිරිවැය අඩුකරගැනීමයි, සේතු සමුද්‍රම් ව්‍යාපෘතියේ මූලික අරමුණ. නමුත්, එමගින් ඉන්දියාවට සංග්‍රාමික මූලෝපාය අතින්ද, යම් යම් වාසි අත්වනවා.

   මේ ව්‍යාපෘතිය සම්පූර්ණ වුවහොත්, ශ්‍රීලංකාවට, ඉතා දැඩි පාරිසරික, සංග්‍රාමික, සහ ආර්ථික බලපෑම් ඇතිවෙනවා. පෝක් සමුද්‍ර සන්ධියේ, ශ්‍රීලංකාවට අයත් සාගර කළාපයේ පිහිටි, මත්ස්‍ය නිජබිම් විනාශවීමෙන්, ධීවර කර්මාන්තයට ඉතා දැඩි බලපෑමක් ඇතිවෙනවා. ඉන්දියානු විශාල යුද නැව්, මේ කලාපයේ ගැවසීම, අපේ රටේ ආරක්ෂාවට තර්ජනයක් වියහැකියි.   මේ සියල්ල සම්පිණ්ඩනය කර බැලූවිට මෙන්න මෙවැනි දේ හිතට එනවා. 

  • ඉන්දියාව, අපිට සේතු සමුද්‍රම් නමැති යක්ෂයාව පෙන්වා බයකොට, මේ පාළම සහ උමඟ ඉදිකිරීමට යනවාද?
  • මේ පාළම සහ උමඟ නිසා, රටවල් දෙකටම අත්වන වාසි අවාසි, එක සමානද?
  • මේ තුළින් ශ්‍රීලංකාවට කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව ඇතිවියහැකි, වාසි අවාසි, ප්‍රතිවිපාක, මොනවාද?
ඔබ මොකද මේ ගැන හිතන්නේ?

2015 දෙසැම්බර් මස 18 වැනි දින 1141 පැය.

115 comments :

  1. ඔන්න විචාරක තුමා මම මේකට ආවා ....

    උපුටා ගැනීම -

    උඩරට වතුකරයේ, ඒ වනවිටත්, බ්‍රිතාන්‍ය පාලන සමයේ කම්කරුවන් ලෙස ගෙන්වාගත්, ද්‍රවිඩ ජාතික පවුල් සෑහෙන සංඛ්‍යාවක් හිටියා. ඔවුන්ට මේ රටේ පුරවැසිකම තිබුනේ නැහැ. පසුකාලීනව වරින්වර පුරවැසිකම ප්‍රදානය කළා කොටසකට. නමුත් තවත් සෑහෙන පිරිසක් සිටි නිසා, එවකට ලංකාවේ අගමැතිණි, සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමිය විසින්, එවකට, ඉන්දීය අගමැති ලාල් බහදුර් ශාස්ත්‍රී මැතිතුමා සමග ඇතිකරගත් 'සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම' මගින්, පුරවැසි භාවය නොලබා මෙරට සිටි ද්‍රවිඩ ජාතික පවුල්, අති විශාල සංඛ්‍යාවක්, ආපසු ඉන්දියාවට යවනු ලැබුවා."

    උපුටා ගැනීම අවසන් -

    ඔය ගිවිසුම ඇති කරගන්න කොට මම ඉපදිලාවත් නෑ ....ඒ උනාට පස්සේ මම කියවපු දේවල් එක්ක මට තේරුන දේ තමයි, ඒ කරපු වැඩේ හරි කියන එක..... ඔය යවපු කට්ටියත් හිටියන්නම්, ඔය යුද්ධේ ඔයිට වඩා අමාරු වෙන්නත්, වෙන වෙන ප්‍රශ්න ඇති වෙන්න තිබුන කියන එකයි මගේ හැඟීම....

    මේ ලිපියේ අන්තිමට අහන ප්‍රශ්නෙට උත්තර දෙනවනම්, මගේ අදහස තමයි ඕක (උමග සහ පාළම) කරන්න ඕනේ නෑ කියන එක.....

    ReplyDelete
    Replies
    1. එහෙම යවන එකට දෙපාර්ශ්වයම එකඟ වෙලා තියෙද්දීත් එය තව දුරටත් ක්‍රියාත්මක නොකර ඡන්ද වාසි තකා පසුකාලින දේශපාලුවන් විසින් කල ක්‍රියාව මම තරයේ හෙළා දකිනවා...

      Delete
    2. උඹ වරද්දගෙන ඉංග්‍රීසින් ඉන්දියාවෙන් ගෙනාපු කම්කරුවන් සහ යුද්දෙට සම්බන්ද වෙච්ච ලංකාවට කාලාන්තරේකට කලින් ආපු එවුන් අතර ලොකු සම්බන්ධයක් නෑ යුද්දෙට වතු ආශ්‍රිත ද්‍රවිඩ ජනතාවගෙන් වැඩි සහයෝගයක් තිබුනෙ නෑ. වැඩිහිටි වතු ද්‍රවිඩ ජනතාව කොහොමත් කැමති උනේ නෑ . යවපු උන් හිටිය කියල ,යුද්දෙට නැතත් ලොකාවෙ චන්ද වලට නම් විශාල බලපෑමක් වෙන්න තිබුන.

      Delete
    3. කම්මල - උඹ මොනවා කොහොම කිව්වත් වතු ආශ්‍රිත ද්‍රවිඩ ජනතාවගෙන් සහයෝගයක් නැතුවම තිබ්බා නෙමෙයි...... හරියට ආපහු පරණ පත්තර ටිකක් කියවලා බලපන්.... උඹට දැන් මතක නැතුව ඇති.... වයසයිනේ....

      Delete
    4. සාපේක්ෂව තත්වෙ තමයි බං කිව්වෙ.

      Delete
    5. සාපේක්ෂව තත්වෙ තමයි බං කිව්වෙ.

      Delete
    6. මම මෙහෙම දෙයක් අහලා තියෙනවා. වතු කම්කරුවන්ට තිබිලා තියෙන්නේ අධිරාජ්‍ය පුරවැසිකම කියලා එකක්. නිදහස ලැබුනාට පසු එය ස්වයංක්‍රීයව අවලංගු වුනා.
      මේ ගැන මොනවත් දන්නවද?

      Delete
    7. මල් සූටික්කෝ සින්දු කියාපන් - මාදං අත්තක වාඩිවෙලා

      සාදරයෙන් පිලිගන්නවා. දිගටම එන්න.

      මෙහෙමයි වැඩේ. අපේ රටේ හැමදාම වෙන්නේ හොඳ වැඩ වලට තැනක් නැතිවීම නේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ වැඩපිළිවෙල දිගටම ගෙනගියානම්, ඔය 'රජුන් තනන්නෝ අපි' කියලා කයිය ගහන ද්‍රවිඩ දේශපාලුවන්, වතුකරයේ ඇතිවෙන්නේ නැහැ.

      මම කියන්නේ පාලම හදමු. උමඟ එපා කියන එකයි. පාලම නම් ඔය ඕනේ වෙලාවක මේ පැත්තෙන් කඩලා දාන්නවත් බැරියැ. :e

      @ ලොකුපුතා. දේශපාලනේ වෙනුවෙන් අම්ම අප්පව වුනත් විකුණන මේ රටේ...........අනේ මන්දා.

      @ කම්මල. ද්‍රවිඩ ජනතාව අතර තදින් බලපවත්වන කුල භේදය නිසා, යාපනයේ ද්‍රවිඩ ජනතාව සහ වතුකරයේ ද්‍රවිඩ ජනතාව අතර තිබෙන්නේ බොහොම සීමිත සබඳතා.

      @ ජගත්. මෙහෙමහි ජගත්. සුද්දා ඒ කාලේ හිතුවේ ඌ තමයි ලෝකෙට ලොක්කා කියලා. හිරු නොබසින අධිරාජ්‍යය නේ. ඉතින් ඌ ලෝකේ වටේ ගිහින් අල්ලගත්ත හැම රටකම ඉන්න වැසියන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පුරවැසියන් හැටියට සැළකුවේ. නමුත් පසුකාලීනව සුද්දට යටත්ව තිබුණු විවිධ රටවල ජනවාර්ගික අරගල ඇතිවුනේ, සුද්දා කරපු ඒ පාහර වැඩේ නිසා. දැන් ඌ එනවා අපේ මානව හිමිකම් හොයන්න.

      Delete
    8. සුටික්කා,

      මෙතන තියෙන ලොකුම වැරැද්ද නම් මිනිසුන් ප්‍රශ්නය ගැන හරිහැටියට සොයා නොබලා තම තමන්ගේ මට්ටම් අනුව සිතා විසඳුම් හොයන්න යන එකයි. සිරිමා - ශාස්ත්‍රී ගිවිසුමට පෙර එම කාරණය ගැන ඉතා වැදගත් ගිවිසුමක් තිබුනා. ඒක නේරු- කොතලාවල ගිවිසුම ඒකෙන් ශ්‍රී නේරු තුමා එකඟ උනා අපේ රටේ ඉන්නා සියලුම නොරටුන් ඉන්දියාවට ගන්න. අවාසනාවට ඒක ක්‍රියාත්මක වෙන්න ඉස්සරවෙලා කොතලාවල මහතා බලයෙන් පහ උනා. ඉන්පසු ආපු හැම දේශපාලකයාටම තිබුනේ රට ගැන නොව තමන්ගේ චන්ද ගොඩ වැඩිකරගන්නා පිනිසවූ කෑදරකමක්. අපේ අවාසනාව එකයි.
      සමරසේකර

      Delete
    9. සමරේ -
      මොනවා උනත් හරි දේවල් හරියට ක්‍රියාත්මක නොවිච්ච එක තමයි වැරැද්ද..... විචාරක තුමා කිව්වා වගේ ඔය ගිවිසුම් හරියට ක්‍රියාත්මක උනානම්, රජුන් තනන්නෝ අපි කියලා කයිය ගහන ද්‍රවිඩ දේශපාලුවෝ, වතුකරයේ ඇතිවෙන්නේ නැහැ.

      Delete
    10. සමරේට බොහොම ස්තුතියි, මටත් අමතක වෙලා තිබුන නේරු - කොතලාවල ගිවිසුම මතක් කරලා දුන්නට.

      Delete
  2. පාලමක් සෑදීමේ අවුලක් නොදකිමි.(පාරිසරික හාණි ගැන දන්නෙ නෑ, ඒ ගැන නොසලකා කිව්වෙ). නමුත් සේතු සමුද්‍රම් වලින් නං බලපෑමක් වන බව හිතන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මමත් කියන්නේ රාජ්, කොයි එක හැදුවත් පරිසර හානි වෙනවා. අඩු පරිසර හානියක් වෙන පාලම හැදුවට කමක් නැහැ. උමඟ හදන්න ගියොත් පරිසර හානි වැඩියි. සේතු සමුද්‍රම් හැදුවොත් අපි අනාථයි.

      Delete
  3. අපෙන් එහෙට යන්නේ මොනවද, එහෙන් අපිට එන්නේ මොනවද කියල බැලුවම වැඩි වාසිය කාටද කියල හිතා ගන්න පුළුවන්...
    අපෙන් උන්ට වැඩිපුර යන්නේ සල්ලි, උන්ගෙන් අපිට බඩු ගේනවා. පාලම හරහා බඩු ගෙන එම අපිට තරමක වාසිදායක වෙනවා...
    උන්ගේ බඩු වල ගාන සාපේක්ෂව අඩු වෙද්දී අපි තව තව උන්ගෙන් බඩු ගන්නවා. එතකොට උන්ටත් ලැබ වෙනවා. පාලම හරහා ගමන් පහසුකම් වැඩි උනාම උන්ගේ දරිද්‍රතාවයෙන් පෙලෙන දුප්පත් මිනිස්සුන්ට මෙහෙ එන්න පහසුයි කුලී වැඩ වලට. ඒක උන්ට ලොකු වාසියක්...
    සයිට් වලට එහෙම ඒ වගේ මිනිස්සු ගන්න පුළුවන් උනොත් ඒක අපේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට වාසියක්...

    දැන් එතකොට පාලම හදන්නේ කාගේ වියදමෙන්ද...
    අපිට ඔය පාලම දිගේ රත්තරන් පෙරහැරවල් ආවත් මමනම් කැමතියි ඔය පාලම නොහැදෙනවට. මොකද මම ඉන්දියාවේ එක එක පලාත්වල මිනිස්සු එක්ක එකට වැඩ කරලා අත්දැකීම් තියෙන නිසා...

    ReplyDelete
    Replies
    1. ඔන්න හැලපයියා ආවනං ඉන්දියන් ඩයල් ගැන කියයි ටොප් එකට..

      Delete
    2. ලොකුපුතා,
      පාලමක් හරි උමඟක් හරි හැදුව කියල රටවල් දෙක අතර තියන ආගමන විගමන නීති වෙනස් වෙනවද? චාරයක් නැතිව එහේමෙහේ යන්න පුළුවන් නම් ‍ඔය කතාව හරි. එහෙම දෙයක් නැතිනම් ඒ පැත්තෙන් වෙනසක් නෑ.

      පාලමක් හැදීමේ වාසිය දෙගොල්ලටම තියනව. එහෙන් මෙහෙටත් මෙහෙන් එහෙටත් (මෙහෙන් මොකුත්ම යැවුවෙ නැතත්) ප්‍රවාහන වියදම අඩුවීමේ වාසිය ගත්තත් මදිද?

      Delete
    3. P M,
      උඹ මල්ලි දැන් ආසාවටවත් අපේ පැත්තෙ දකින්න නෑනෙ.

      Delete
    4. අනේ නෑ හැලපයියෙ .. එනව එනවා මේ ටිකේ ඩිංගක් බිසි උනා දෙසැම්බර්නෙ.වැඩ අස්සෙ ආවෙ වලියට හොම්බ දාන්න..හැක් .කොයි පෝස්ට් එකක් දැම්මැයි ?

      Delete
    5. @ ලොකු පුතා. මටනම් හිතෙන්නේ අපිට අවාසි වැඩියි. අපි ළඟ තියෙන්න ඕනේ ඉන්දියාවට පටවන්න දේවල් ටොන් දහස් ගණනින්. නැත්නම් ඒවා නිපදවන ක්‍රමයක් ගැන හිතන්න ඕනේ. ඉන්දියාවේ හදන ප්ලාස්ටික් බෝතලේ ඉඳලා මෙහෙ ගේන්න ගියොත් දේශීය කර්මාන්ත ඉවරයි. යකෝ ඉන්දියන් කම්කරුවන් මෙහෙ ගෙනාවොත් ප්‍රශ්න කෝටියක් ඇතිවෙනවා අනාගතේදී. ඒ වැඩේ කරන්න හොඳ නෑ.

      @ රාජ්, ඇත්තටම ප්‍රවාහන වියදම් අඩුවෙමේ වාසියේ වැඩි පැත්ත තියෙන්නේ අපිටයි. ඒ නිසා පාලම හැදුවට කමක් නෑ. ලංකාවේ ඉඳලා කෝච්චියෙන් දඹදිව යන්න පුළුවන් වුනොත් දුප්පත් මිනිස්සුන්ටත් යන්න පුළුවන් වෙනවා.

      Delete
    6. අම්මෝ සීපා එපා කියලා තමයි මමත් කියන්නේ සුදීක.

      Delete
  4. Considering many facts I'm against setu samudram project. Reasons shall be written in a post.. 😊

    ReplyDelete
  5. මා සිතා හිටියේ කල්ලතෝනි යන්නේ සැබෑ තේරුම හොර බෝට්ටුව බවයි!

    ReplyDelete
    Replies
    1. rasika oya niwaradi, (tamil walin) kalla-thooni kiyanne kallan=horaa. thooni=oruwa. boottuwatath thooni kiyanawa. (kallathoni=hora boottuwa) akaale oru boottu walin thamai godabima penamaanayata awilla wathurata panala pihinala aawai kiyala kiyanne.

      Delete
    2. එහෙනම් මම හිතාගෙන හිටිය හැටි වැරදියි. සෙනරත්ට ස්තුතියි විස්තර කිරීම පිළිබඳව.

      Delete
  6. ඒ කාලේ "ටැෆයි" තිබුනා නම් "විජයටත්" එන්න බැරි වෙනවා නේද විචා... එහෙනම් විචා ඉන්නෙත් ඉන්දියාවේ.. ඕන් මල නම් පනින්න බෑ..

    මම ඔරිජිනල් මාතලන්..

    ReplyDelete
    Replies
    1. උඹ හිතන් ඉන්නෙ දැන් විජයගෙ පරපුරෙන් පැවත එන එකෙක් කියලද? මම හිතන්නෙ පස්සෙ කාලෙ ආව සෙට් එකකින් තමයි මාතෙ පැවත එන්නෙ.
      කළු හැඩි දැඩි එවුන් තමයි විජයගෙන් පැවත එන උන් ----ඕන් මල පනින්ඩ බෑ
      මම ඔර්ජිනල් ඩබොල් ආදිපාද

      Delete
    2. ටැෆායි තිබ්බා නම් අපේ කිරි කෑ මුත්තට එන්න වෙන්නෙත් නෑ නේ බං...

      Delete
    3. හා දැන් මරු,ඔන්න ඔහොම මනුස්සයො වගේ ඉඳිල්ලකො.

      Delete
    4. එහෙනං මාත් විජයගෙන් වෙන්ඩ බෑ .ඕ යේස් .
      අපේ ඉවානය නං විජයගෙ ළඟම ඥාති..චැහ් . කැත විතරක් උගේ :D

      Delete
    5. පත්තරේ විජය කිව්වේ විජය කුමාරතුංගටද..? ඉවානයා ටිකක් ඒ වගේනේ බං..මම කිව්වේ උස...!

      Delete
    6. විජය එක්ක ආපු කීපදෙනාගෙන් සිංහලයෝ පැවතෙනවා කියලා හිතන්න අමාරුයි.එයාලත් කලවං වෙන්න ඇති.එදා ඉඳං කලවං වීම උනා.මුරලිත් බැන්දෙ ඉංදියාවෙන් නෙව.ඒක අවුලක් නෑ.ඒ උනාට විජයගෙන් පැවතෙනවා කියන එක වෙන්න පුළුවංද?

      Delete
    7. @ මාතලන්. ඇයි යකෝ එහෙ ඉන්න තිබුණානම් මීට වඩා කොච්චර පස්කම් සැප ලබනවද? :e

      @ පත්තරේ. යකෝ, ඔය වචන පාවිච්චි කරනකොට ටිකක් හිතලා බලපන්. දැක්කා නේද ගොඩනැගිලි උයන්නා උඹට හෙමීට ගහපු ගැහිල්ල.

      @ ලබ්ස්. අපි ඔක්කොම හිතාගෙන ඉන්නවා අපි මාර සුපිරි සිංහල කියලා. ඔය මනෝ ව්‍යාධිය ලෝකය පුරාම තියන සුව කල නොහැකි රෝගයක්.

      Delete
  7. මමනම් හිතන්නෙ අපි දැනුත් ඉන්දියාවට කිට්ටුවෙන් ඉන්න එක අවාසියක් මිසක් වාසියක් නෑ. ඉතිහාසෙ පුරාවටම තියෙන්නෙ උන් අපිට කරපු විනාශ තවත් පාලමකින් යා කරගන්නෙ නැතිව ඉන්නවනම් තමයි හොද.
    ප්‍රවාහන වියදම් අඩු වීමක් තියෙයි ඒත් ඒකෙන් සෘජුවම වැදෙන්නෙ ලංකාවෙ ගෘහස්ත කර්මාන්ත වලට ඒ වගේ සුළු කර්මාන්ත වල නිශපාදන ලංකාවෙ ඉතිරි වෙලා ප්‍රවාහන වියදම් නිසාම තමයි. ඉන්දියාවෙ ලාබ ශ්‍රමය එක්ක අපේ කිසිම කර්මාන්තෙකට පැවැත්මක් නෑ. බදු පැනවීම සහ ප්‍රවාහන වියදම් තමයි එකම ගැලවීම.

    ReplyDelete
    Replies
    1. @ කම්මල. මෙහෙමයි වැඩේ කම්මලේ. අපේ රට තියන තැන ලෝකයේ වැදගත්ම තැනක්. ලෝකයෙන් හතරෙන් තුනකට වඩා වැඩි ප්‍රදේශයකට මිසයිල් ගහන්න පුළුවන් අපේ රටේ ඉඳලා. ආසියාව, යුරෝපය,ඔස්ට්‍රේලියාව, ආක්ටික් ප්‍රදේශය යුද්ධමය වශයෙන් පාලනය කරන්න පුළුවන් අපේ රටේ ඉඳලා. තව අවුරුදු 100 කින් හරි මේක අල්ලගන්න දතකන එවුන් තවම ඉන්නවා. අපි ඊශ්‍රායලය වගේ යුධමය අතින් දියුණු වුනොත්. කටින් බයකරලා ලෝකය ජයගන්න පුළුවන්.

      මොකටද ඉන්දියාවෙන් ශ්‍රමය ගෙනෙන්නේ. අපේ එවුන් බෑ කියනවානම් විතරයි ඉන්දියාවෙන් ගන්න ඕනේ. බදු පැනවීම බොහොම පරෙස්සමෙන් කරන්න වෙන්නේ.

      Delete
    2. @ විචා. පොස්ට් එක පට්ටයි, ඒත් මෙන්න මෙතැන අවුලක් /අපේ රට තියන තැන ලෝකයේ වැදගත්ම තැනක්. ලෝකයෙන් හතරෙන් තුනකට වඩා වැඩි ප්‍රදේශයකට මිසයිල් ගහන්න පුළුවන් අපේ රටේ ඉඳලා. ආසියාව, යුරෝපය,ඔස්ට්‍රේලියාව, ආක්ටික් ප්‍රදේශය යුද්ධමය වශයෙන් පාලනය කරන්න පුළුවන් අපේ රටේ ඉඳලා. තව අවුරුදු 100 කින් හරි මේක අල්ලගන්න දතකන එවුන් තවම ඉන්නවා. අපි ඊශ්‍රායලය වගේ යුධමය අතින් දියුණු වුනොත්. කටින් බයකරලා ලෝකය ජයගන්න පුළුවන්. /

      නරකද විචා මේ ටික අයින්කරලා දැම්මොත්. මං තරුණ කාලේ මේ වගේ කියමන් විස්සාස කලා, දැන් හැදෙන අයටත් මේ මෝඩ කතා උගන්න එක වරදක් කියායි මට හිතෙන්නේ.

      Delete
    3. ඒ කියමනේ කිසිම වැරද්දක් නැත. මෝඩ කතාවක්ද නොවේ. වැරැද්ද වෙන්නේ ලෝකයේ එකම තැන මෙතැනයි කියා ලිව්වොත් විතරයි. මේ ගැන විස්තර කරන්න දිග විස්තරයක් ලියන්න වෙනවා. හැකිනම් ලෝක ගෝලයක් අරන් නූල් කෑල්ලක් ලංකාවේ මැද තියලා එය ලෝකයේ ඒ ඒ මහාද්වීපයේ මැදට දික්කර බලන්න. එවිට වැටහෙනවා මා කියන්නේ කුමක්ද කියා. මිසයිල් තාක්‍ෂණය සහ ස්ථානගතකිරීමේ විධික්‍රම ගැන අවබෝධයත් යම් දුරකට අවශ්‍ය වෙනවා, මගේ කියමන තේරුම් ගැනීමට.

      තව අවුරුදු 100 කින් හරි මේක අල්ලගන්න බලන එවුන් ඉන්නවා කියන එක අනාගතයේදී වෙනස් වෙන්න පුළුවන්.

      Delete
    4. @ ඇනයා,
      මමත් කෑල්ලක් එකතු කරන්න කැමතියි. ලෝක සිතියම තියන කොලයක් අරගෙන ඒක උඩු යටිකුරු කර අපේ රටේ පිහිටීම කොහොමද ලෝකයට වැදගත් වෙන්නේ කියලා බලන්න.

      සමරසේකර

      Delete
    5. අලුත් අදහසක්. මමත් කවදාවත් එහෙම බලලා නැහැ. එහෙම බැලුවම පෙනෙන්නේ ඔක්කොම රටවල් පහලින් අපි ඉහලින් වගේ නේද?

      Delete
    6. ඒක එහෙමම හිතන්න මම කමති නැහැ. අපේ රටේ පිහිටීම හමයි ලොකේ අන් රටවල් වල බලය තුලනය කරන තරාදිය. එක නිසා තමයි බලය ඇති රටවල් අපිව ඔවුන්ගේ බලයට යටත් කර ගන්න ඔච්චර වලි කන්නෙ. ඒක නිසා අපි කල්පනාවෙන් ඉන්න ඕනෑ විශේෂයෙන් ඉන්දියාවේ පරිපාලනය භාරව ඉන්නා බ්‍රාහ්මණ පන්තියෙන්.

      සමරසේකර

      Delete
  8. මට මතකයි සමාජ අධ්‍යයනය පාඩම් වල කියල දෙනව "ශ්‍රී ලංකාව ඉන්දියාවට ලංව පිහිටීම සහ වෙන්ව පිහිටීමෙන් ඇතිවන බලපෑම්" කියල ප්‍රශ්නයක්. වෙන්ව පිහිටීමෙන් ස්වාධිනත්වය තහවුරු වීම ගැන කියවෙනවා. නමුත් එකට පාලමකින් යා වුනා කියල ආගමන නීති සහ ඒ සම්බන්ධ කටයුතු නිවැරදිව වෙනවා නම් ගැටළුවක් නෑ... ඒ කතාව මම නම් දකින්නෙ කල් පැනපු දෙයක් විදිහට. සිගිරිය ඒ කාලේ අගල් වලින් වට වෙලා තිබ්බ කියල ආරක්ෂා උනාට අද? ඕව කාලනුරූපයි..
    මට හිතෙන දෙයක් තමයි සේතු සමුද්‍රම් ක්‍රියාත්මක උනොත් ලංකාවේ වරායවල් වලට ඇඩ්‍රස් නැති වෙනව කියන එක. ඔතනින් රිංගන්න පුළුවන් නම් බොහෝ නැව් ලංකාව වටෙන් යන එකක් නෑ.. (මට හිතුනු විදිහ) ඒකෙන් ලංකාවට ලොකු පාඩුවක් වෙනව.. ඔය සේතු සමුද්‍රම් කතන්දරේ ක්‍රියාත්මක නොවෙන්න එක හේතුවක් තමයි හනුමාන් ලංකාවට එන්න දාපු පාලම කඩන්න ඉන්දියානුවන්ගේ අකමැත්ත. මම එහෙම කතාවක් අහල තියනවා. එතන හදන පාලම නැව් එක යටින් යන්න බැරි විදිහට හදුවොතින් හොඳයි කියලයි මම හිතන්නේ නම්.. කොහොම වෙයිද කව්ද දන්නෙ.. නැව් යනකොට පාලම අකුලන තාක්ෂණයක් තියෙද්දී.. මොනවා උනත් ආගමන විගමන නීති හරියට ක්‍රියාත්මක වෙනව නම් මොක දැම්මත් අවුලක් නෑ.. පාලමෙන් යම් වාසියක් ඇත වේවි.. මගේ අදහස ඒකයි...

    ReplyDelete
    Replies
    1. //මට හිතෙන දෙයක් තමයි සේතු සමුද්‍රම් ක්‍රියාත්මක උනොත් ලංකාවේ වරායවල් වලට ඇඩ්‍රස් නැති වෙනව කියන එක. ඔතනින් රිංගන්න පුළුවන් නම් බොහෝ නැව් ලංකාව වටෙන් යන එකක් නෑ.. // මන් අකමැති වෙන්න එක ප්‍රධාන හේතුවක්..

      Delete
    2. බය වෙන්න දෙයක් නැහැ, ඉන්දියාවේ වඳුරු සෙට් එක සේතු සමුද්‍රම් හදන්න දෙන්නේ නැහැ...
      එහෙම නැතුව උන් ඒක හදන්නේ නැත්තේ අපේ කැමැත්තක් හෝ අකමැත්තක් නිසා නෙමෙයි...

      Delete
    3. @ සජ්ජා. අපේ රටේ දේශපාලුවෝ රට විකුණගෙන කන්නේ නැත්නම්, ලංකාව ඉන්දියාවේ මද තිබුනත් ප්‍රශ්නයක් නැහැ. අපේ විදේශ ප්‍රතිපත්තිය තමා ප්‍රධාන වෙන්නේ.

      සේතු සමුද්‍රම් හැදුවොත් වරායවල් වලට විතරක් නෙවේ, ලංකාවටම ඇඩ්‍රස් නෑ.

      @ කල්‍යාණ. ලිපියක් ලියන්නකෝ ඒ ගැන.

      @ ලොකුපුතා. ඉන්දියාවේ ඉන්නේ අපේ රටේ මිනිස්සුන්ටත් වඩා පහසුවෙන් රවට්ටන්න පුළුවන් මිනිස්සු. ඒ නිසා ඔය වැඩේ කෙරෙන්නත් ඉඩ තියනවා.

      Delete
  9. දෙපැත්තටම වාසි සහ අවාසි එක ලෙසම තියෙනවා.නමුත් උපාය මාර්ගයන්හි අති දක්ෂයන් වන ඉන්දියාව යමක් කරන්නෙ නිතරම තමන්ට උපරිම වාසි අයත්වෙන විදියටයි.මෙයත් ඒ වගේ වෙන්නට පුළුවනි නමුත් රටවල් ඔය විදියට යාවීම වරදක් ලෙස මම නම් දකින්නෙ නෑ.
    ඔබේ ලිපියේ තිබ්බ එක කාරණයක් ගැන මම තවමත් කල්පනා කරනවා.එනම් අර ප්‍රංශය සහ එංගලන්තය යාකරන උමගේ මනුස්සයෙක් පයින් ඇවිදගෙන ගියේ කොහොමද කියලයි.ප්‍රංශය හරහා එංගලන්තයට මම දුම්රියෙන් යද්දි ඔය උමගෙන් ගමන් කර තියෙන නිසා එයට යොදා ඇති ආරක්ෂාව දැක තිබෙනවා.එහෙම තියෙද්දී මනුස්සයෙකුට තියා කුඩා සතෙකුටවත් උමගට ඇතුල් වෙන්නට අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ගිහිල්ලනේ හැලපේ ඉරාන කාරයො දෙන්නෙක් පයින්ම.....
      http://www.independent.co.uk/news/uk/crime/two-men-arrested-after-walking-through-channel-tunnel-from-calais-a6684116.html

      Delete
    2. එක මනුස්සයෙක් නෙවෙයි හැලපෙ.. පහුගිය කාලෙ ඔය උමග කීප වාරයක්ම වහලා දාන්ට වුනා refugees ලා රිංගලා.. කීපදෙනෙක් උමග ඇතුළෙදිම මැරිලත් තිබුනා..

      බොහොම මෑතකදි refugees ලා සෙට් එකක්ම රිංගන්ට ගිහිල්ලා ලොකු කලබැගෑනියකුත් ඇතිවුනා‍..

      Delete
    3. @ හැලපේ. හොඳ විග්‍රහයක්. පාලමක් හදීම් නරක නැහැ. නමුත් උමඟක් හැදුවොත් අපිට එන පරිසර ප්‍රශ්න වැඩියි.

      අපොයි චැනල් ටනල් එකේ පයින් ගිය කතාව BBC CNN ඔක්කොගෙම පෙන්නුවා.

      Delete
  10. Task Force Anti Illicit Immigration එකේ හිටපු නිලධාරියෙක් මට හමු වී තිබෙනවා. ඔහු මට සාකච්චාවක් දුන්නා මගේ ප්‍රභාකරන් සාධකය පොතට.

    ReplyDelete
    Replies
    1. ඒ සාකච්ඡාවේ තියනවද ටැෆායි රාජකාරි ගැන? තියනවනම් කෙටි ලිපියක්වත් ලියන්න.

      Delete
  11. ඇන්ටන් ජෝන්ස්, ඒ කාලේ ගීතයක් ගායනා කළා, 'අල්ලගන්න මෙන්න එනව කල්ලතෝනිලා' එකේ සමහර වචන තිබ්බේ මෙහෙම

    අල්ලගන්න මෙන්න එනව කල්ලතෝනිලා' මෙල්ල කරන්නේ කොහොමද උන් ඉන්නේ හැංගිලා. එනකොට එන්නේ දෙක තුන හතරට නැවිලා . උන් යනකොට යන්නේ අපේ කනටත් විදලා අරක සාමි මෙරක සාමි ................. අපි බජාර් එකේ මුදලාලිලා

    ReplyDelete
    Replies
    1. ඒ ගීතය මම ඉහලින් දාලා තියනවා. අර පින්තූරයක් වගේ පෙනෙන්නේ ඒක. එහි මැද තියනවා ප්ලේ බට්න් එක.

      Delete
  12. ඒ දවස්වල නම් රයිෆල් බට් එකෙන් පහර දීල හරි විරෝධය පාන්න මිනිස්සු උන්නා.. අද තත්වය හරි කණගාටුදායකයි.

    ReplyDelete
    Replies
    1. ඔබ යමක් දන්නා බව පෙනෙන ඉඟියක් තියනවා. සවිස්තරව කියන්න.

      Delete
    2. විචා,

      මේ ළමයා මේ කියන්නෙ රජීව් ගාන්ධිට ගහපු එක ගැන වෙන්න ඕන...:)

      Delete
    3. හෝ...හෝ.....රවී කිව්වමයි තේරුනේ. එහෙම නැත්නම් එකවරම මගේ හිතට ආවේ, ටැෆායි රාජකාරි ගැන මෙතන කියන්න බැරි රහසක්. ඒ රහස රහසක් හැටියටම තිබුණාවේ.

      Delete
    4. ඒක දාන්න විචා. නොදාන්න හේතුවක් නෑ.

      Delete
    5. පරණ කුණු කන්දල් අවුස්සන්නේ මොකටද? ඒ නිසා ඔන්න ඔහේ සද්ද නැතුව ඉම්මු. ඒවා ලිව්වොත් ජාතිවාදය ඇවිස්සෙනවා.

      Delete
  13. අධ්‍යයනය කරල නැති උනාට ඕක ගැන ඇහෙන දේවල් අනුව අදහස නම් ඕක උචිත නෑ.දැනටමත් හින්දු පුවත්පත මේ ගැන වාර්ථා කරාට ශ්‍රී ලංකා රජය මුනිවත රකින තත්වයක් තියෙන්නෙ.මේ අරඹන්න කලිං තත්වෙ.පස්සෙ වෙනදේවල් ගැන කිසිම ගැරන්ටියක් නෑ මෙහෙම යනකොට.ඒ නිසා ඕනම නෑ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඊයේ රෑ සිරසේ ප්‍රවෘත්ති වලදී ලක්ෂ්මන් කිරිඇල්ල උන්නැහේ කිව්වා, ප්‍රවාහන ඇමති වශයෙන්, එයා ඔය පාලම, උමඟ, හැදීම ගැන කිසිම දෙයක් දන්නේ නැත ය, එහෙම අදහසක් හෝ යෝජනාවක් ලංකාව පැත්තෙන් ඉදිරිපත් වෙලා නැත ය, කියලා.

      Delete
  14. "BULL" කාලයක් TFAII කමාන්ඩ් කලා.
    https://en.wikipedia.org/wiki/Task_Force_Anti_Illicit_Immigration

    ටනල් නං ඕනෙ නෑ..ට්‍රේන් එකයි ෆෙර්‍රි එකයි තිබුනාම මදෑ.

    ReplyDelete
    Replies
    1. බුල් ගේ කාලේදී තමයි කට්ටිය ෆුට් පැට්‍රෝල් එකක් ගියාම තල රා ගොටු කීපයක් ඇදලා ඇරලා බීච් එකේ බුදියනවා කියන්නේ. රෑට මාළු අල්ලන්න යන මිනිස්සුලු ඇහැරවලා කෑම්ප් එකට යන්න මතක් කරන්නේ. :e

      පාලම විතරක් ඇති කෝච්චි/වාහන දෙකම යන්න පුළුවන් එකක්.

      Delete
  15. ...//මේ ව්‍යාපෘතිය සම්පූර්ණ වුවහොත්, ශ්‍රීලංකාවට, ඉතා දැඩි පාරිසරික, සංග්‍රාමික, සහ ආර්ථික බලපෑම් ඇතිවෙනවා//...

    මෙයින් වැඩිපුරම වාසිය තියෙන්නේ ඉන්දියාවටද ?.

    ReplyDelete
    Replies
    1. මට පෙනෙන විදිහට නම් වැඩි වාසි තියෙන්නේ ඉන්දියාවට. එහෙ හදන ළූණු බිකේ ඉඳලා ඔක්කොම මෙහාට පටවයි.

      Delete
  16. eye pereda athiuna sidiweemak nisaa wichaarakage blog ekata awith, dawase wadi welaawak wichage lipi kiyawapu eka thamai kale. army eka gana saha wenath subject ganath liyauna rasawath lipi kihipayakma kiyewwa. (danuwath weemnam bohool) maathege lipi wenath web wala kiyawa rasa watila ohuwa soyan blog loketa aagamana thawama thun maasayakwath nathi tharam, comments nokalath mewenawita blogasla daha denekuge withara posts kiyawanawa. samahara post kiyawana wita labena danumanam mata godaak watinawa. maathe mage commentuwakata reply kala wage //kotharam maraa gaththath blog kaarayo kiyanne bohoma sundara minisun prisak// aththatama (kotharam maraa gaththath) blog kaarayo kiyanne bohoma watinaa sundara minisun pirisak. sena...

    ReplyDelete
    Replies
    1. දීර්ඝ කාලයක් සිතේ ඇතිවූ පීඩනය පුපුරාගිය අවස්ථාවක් තමා සිදුවුනේ. බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට. දිගටම එන්න කියා ඇරයුම් කරනවා.

      Delete
  17. ඉන්දියාව කියන්නේ අපිට වඩා බලවත් රටක්...ඒ නිසා අපිට වෙන අවාසි වැඩි ඔය පෙන්වන වාසි වලට වඩා.. ..හදිස්සියේ යුධමය තත්වයකට ආවත් අපි පැරදෙනවා... ඉන්දියාව කියන්නේ විශ බීජයක් මට නම්

    ReplyDelete
    Replies
    1. //හදිස්සියේ යුධමය තත්වයකට ආවත් අපි පැරදෙනවා//
      එතකොට දැන් දිනන්න පුළුවන්ද?

      Delete
    2. @ ශානු.

      මෙහෙමයි දරුවෝ වැඩේ. අඩි පහමාරක් විතර උස මිනිහා කියන සතා, අඩි දොළක් විතර උස අලියව පාලනය කරනවා. ඒ කරන්නේ මොළෙන්. ඔය කොච්චර ලොකු රටක් වුනත් දණගස්සවන්න පුළුවන් හරියට කල්පනා කරලා වැඩකලොත්.

      කිසිම රටකට ලංකාව ආක්‍රමණය කරන්න හේතුවක් නැහැ. කරන්න හැදුවත් ලෝකයේ රටවල් බොහොමයක් ඊට එරෙහිව අපි වෙනුවෙන් සටන් කරනවා.

      Delete
    3. රාජ්- දිනන එක කෙසේ වෙතත් දැනට ඔය පාලම නැති එක වාසියකට තියෙනවා කියලයි මම හිතන්නේ....

      මාමේ අපි ඉන්දියාව පැත්තකින් තියලා නිකන් තමිල්නාඩුව ගැන හිතමු... පාලමක් හැදුවා කියන්නේ පනින රිලවුන්ට ඉනිමන් තිබ්බා වගේ නෙවේද? මට ලොකු යුද දැනුමක් නම් නෑ ඒත් තමන්ගේ රටට වෙනත් රටක මිනිස්සු එනවා කියන්නේ ඒ රට ට හොදකට වඩා නරකක් වෙනවා කියලා මම හිතනවා....
      (අනික මාමේ මොලෙන් වට්ටන්න හරි ,හරි හමන් මොලයක් තියන අය පාලන ත ුන්ත ු වල ඉන්නවද කියලා නම් මට විශ්වාසයක් නෑ)
      මම ඉන්න රට ගැන පොඩි කතාවක් කියන්නම්... යුරෝපා හවුලට ටික කාලයකට ඉහතදි එකතු කර ගත්ත රැමේනියන් කාරයෝ යුරෝප හවුලේ හැම රටකටම රිංගලා කුණු ගොඩවල් කරලා තියෙන්නේ...ඒ මදිවට හොරකම් මැරකම් කරන්න උනත් ඒ මිනිස්සු පසු බට වෙන්නේ නෑ....

      Delete
    4. අග ඉඳලා මුලට උත්තර දෙන්නේ. රුමේනියන් කාරයන්ට වඩා ලොකු ප්‍රශ්නයක් දැන් තියනවා. යුරෝපීය රටවලට දැන් සරණාගතයින් එනවා අප්‍රිකානු සහ මැද පෙරදිග යුද්ධයට මැදිවී ඉන්න රටවල් වලින්. ඒ ඉතින් රෙද්ද අස්සට නයි දාගනිල්ලක්. පස්සේ කාලේ මොනවා වෙයිද කියන්න බැහැ.

      අපි පාලම හැදුවොත් දෙපැත්තේම රේගුව තියනවා රටවල් දෙකේම. ඒ නිසා හොර වැසියන් හැටියට එන එක ලේසි නෑ. හැබැයි දැනටත් අපේ රටට ඉන්දියානු සහ පාකිස්ථානු ජාතිකයන් ඇවිල්ලා වීසා කාලය ඉක්මවා ගියත් ආපහු නොයන අවස්ථා තියනවා. පාලම හැදුවොත් ඒක වැඩි වෙයිද නොවෙයිද කියලා දැන්ම කියන්න අමාරුයි. නමුත් ඒ වැඩේ කරන අය අල්ලගන්න පුළුවන්. ආයෙත් කවදාවත් ලංකාවට නොඑන්න බ්ලැක් ලිස්ට් කරන්න පුළුවන්.

      දේශපාලකයන් ගැන ඔයා හිතන එකමයි මමත් හිතන්නේ.

      Delete
  18. ආහ්...මතක් කරංට එපා....නල්ල මලේ ඉංදියාව!

    ReplyDelete
    Replies
    1. හින්දි නිළියොත් එපාද?

      Delete
  19. මෙම ලිපියට අවංකව අදහස් දැක්වීම යහපාලකයන් ගේ උදහසට හේතුවක් විය හැකි බැවින් අදහස් දැක්වීමෙන් වැලකී සිටිමි...

    මරුටිය කොච්චර හොඳ කාර් එකක්ද.... නේද ?

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් හිහ්, අම්මපා යහපාලානේ කියන්නේ ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ඔක්කොම එක්ක හොඳින් ඉන්න එක කියලා මමනම් හිතන්නේ.

      සෙන්නට මතකද ප්‍රධාන පාරෙන් අපේ ගේ පැත්තට හැරෙන තැන. දැන් එතන තමා වයඹ පළාතටම ගේන මරුටි කාර් ගහන යාඩ් එක තියෙන්නේ. මට හැමදාම හිතෙන්නේ අනේ මේ බෙලෙක් පෙට්ටිවලින් අපේ රට පිරෙනවානේ කියලා.

      Delete
  20. අප්පටසිරි එතකොට ලංකාවෙන් ආපු සිංහල කල්ලතොනියෝ හැටහුටාමාරක් මෙහෙත් ඉන්නවනේ බලන් ගියාම

    ReplyDelete
    Replies
    1. බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට අපේ කල්ලතෝනි කොච්චර ගිහින් ඇද්ද?

      Delete
  21. මට මතක විදිහට ඔය පාලම මුලින්ම යෝජනා කලේ රනිල්, 2004 දී අරමුණ වුනේ ලංකාවේ දම්රෝ වගේ කොලිටි නිශ්පාදන වලට තඩි ඉන්දියන් වෙ‍ලඳපොළට පහසුවෙන් පිවිසීමක් දෙන්න. ඉංදියන් අපනයන ආනයන කරුවන් වැඩේට කැමතීලු ලංකාවේ වරායවල් භාවිතා කලොත් එයාලගේ වියදම අඩුවෙන නිසා (එයාල එහෙම කියනවලු).
    ලාබ ඉන්දියන් නිශ්පාදන ගොඩක් ලංකාවට එනවට මං කැමතියි, මොකද අපි ඉන්දියා ගියාමත් අතිං කටිං උස්සාන එන්නේ ඕවාමනේ. ශ්‍ර‍මිකයෝ එනවටත් කැමතී, අපේ කම්මැලියන්ට තරඟයක් ලැබෙන නිසා, අපේ කෘෂි නිශ්පාදන වියදම පහතයන්නේ එතකොටයි.
    ඉංදියාවේ මිනිස්සුත් අපි වගේම නිසා එයාලට රාමගේ සෙතුව පරිස්සම් කරන්න වෙලා, ඒ නිසා වෙන්නැති ටනල් ගහන්නේ සේතුවට යටින්.

    විචා මේ පොස්ට් එක දැම්මට බොහොම හොඳයි, අපේ මිනිස්සු කොච්චර ගතානුගතිකද, පසුගාමී ද ලෝකයෙන් ගැලවිලා, හැංගිලා ඉන්නද හදන්නේ කියලා කොමෙන්ට් වලින් පැහැදිලි වෙනවා. මේ වගේ පසුගාමී සිතිවිලි ඇති අයට මහින්ද ව එළවල දාන්න ඕන වුනේ ඇයි කියන එක මට ගැටළුවක්, මට හිතෙන්නේ පැහැදිලිවම ඊරිසියාව නාමල්ලා ගැන.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ නිෂ්පාදන ලංකාවට ආවට කමක් නෑ කියමුකෝ..... ඒ උනාට ඉන්දියාවෙන් ශ්‍රමිකයෝ මෙහාට එන්න ඕනෙම නෑ .... ඉන්දියාවේ උන් බත් පිගානටත් වැඩ කරන එවුන්....

      Delete
    2. ඇණේ ගේ අදහස අපේ මිනිස්සුන්ට තේරුම් කරලාදීම තරමක් අමාරුයි. දේශීය කර්මාන්ත දියුණු කරගන්න උදව් දෙන අතර කියන්න ඕනේ උඹලා ගුණාත්මක භාවය දියුණු කරගනිල්ලා එහෙම නැත්නම් ලාබෙට ඉන්දියන් බදු ගෙන්න වෙනවා කියල. දේශීය කර්මාන්ත නංවන්න නම් සුළු කර්මාන්ත හැකිතරම් බදුවලින් නිදහස් කරන්න ඕනේ. ඉන්දියාවේ කරන්නේ එහෙමයි.

      ශ්‍රමය ගැන කියනකොට අපේ ශ්‍රමිකයන් පුහුණු ශ්‍රමිකයන් බවට පත්කරගැනීමේ ඉතා පුළුල් වැඩපිළිවෙලක් තියෙන්නේ ඕනේ. ඊළඟට කියන්න ඕනේ අපේ ශ්‍රමිකයන්ට උඹල අයිස් ගහනවානම් අපි ඉන්දියාවෙන් ගේනවා කියලා.

      හැබැයි ඉන්දියානු ශ්‍රමිකයන් දහස් ගණනක් මෙහි ආවොත් එය වෙනත් ගැටළු ඇතිකිරීමට හේතුවන්න පුළුවන්.

      Delete
    3. විචාරක තුමා....

      ඔබතුමා කියන එක හරි වෙන්න පුලුවන්...... ඒ උනාට හිතන්න අපේ රටට කම්කරුවෝ ඉඳල හැම එකාම එන්න ගිහාම වෙන වැඩේ...... මට කිසිම තරහක් නෑ .... ඒ උනාට උන්ගේ පුහුණු ශ්‍රමිකයො කියන උන්ගේත් ඇති වැඩක් නෑ .... මම හැමදාම කියන එක මෙතනටත් අදාලයි.... (කලින් මට කියන්න බැරි උනානේ... - මට පෙනෙන විදිහට හොඳ ශ්‍රමිකයෙක් ඉන්දියාවේ නෑ ... මට මේක type කරන්ඩ තේරෙන්නෙත් නෑ ... හම්බ උනොත් කතා කරමු....)

      ඔය සෙට් මෙහෙ ආවොත් දාස් ගණන් නෙමේ ලක්ෂ ගණන් එනවා.... එතකොට මොකක්ද ඔය කියන ලස්සන කතා වලට වෙන්නේ ?

      මම හිතන දේ තමයි, අපේ උන්ගෙන් වැඩ ගන්නවා ඇරෙන්ඩ අපි ඉන්දියාවෙන් දෙස්තරයෙක්වත් ගේන්ඩ ඕනේ නෑ කියන එක....

      මම වැරදි වෙන්ඩ පුළුවන්.... අපි කතා නිදහසේ කරමු.... (නිදහසේ කතා කරමු නෙමේ..)

      ඉස්තුති වේවා !

      Delete
    4. අපි ඉන්දියාව සමග ස්ථිරසාර සම්මුති වලට එළඹෙන්න ඕනේ, එයාලාට ඕනේ ඕනේ හැටියට කම්කරුවන් ගේන්න බැහැ කියලා. අපේ රටේ අයට කරන්න බැරි, විශේෂ ප්‍රාගුණ්‍යය තියන අය විතරයි ගෙන්න පුළුවන් කියලා, අපි කොන්දේසියක් දාන්න ඕනේ.

      Delete
    5. මුලින්ම කියන්නේ නම් කුලී වැඩ කරන්න විතරයි එන්නේ කියලා. උන්ගේ අධ්‍යාපන කඩ වලින් ඉංජිනේරු උපාධි ගත්ත අය මෙහෙ එන්න ගත්තම කොහොමද ? හැම රස්සවකටම එන්න අය එහෙ ඉන්නවා. උන්ගේ විරැකියාව ලංකාවේ ජනගහනයට වඩා වැඩියි. සීපා කියන ගිවිසුම අත්සන් කලොත් වීසා නැතිව එන්න පුළුවන් වෙයි. ඒ ගැන කියවන්න ට ගිහින්. මෙහෙ කුලී කාරයෝ මට්ටු කරන්න ගිහින් අන්තිමට මෙහෙ උපාධිදාරීන්ට මට්ටු වෙන්න වෙන්නේ. එහෙ හිඟන්නෝත් මෙහෙ ආවොත් කොහොමද ? බස් එකේ නැගලා ආවොත් එපා කියලා හරවලා යවන්නද? ඉන්දියාව කියන්නේ වසංගතයක්. උන් පාරේ කැත කරන ජාතියක්. හොඳ පැත්ත වීමට බොහොම අඩු සම්බාවිතාවක් තියෙන්නේ. අපි උන්ට වඩා කිලෝ මීටර් 600 විතර ඈතින් හිටියනම් තමයි හොඳ.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. දැනට ලංකාවෙ යකඩ කොම්පැණි ගොඩක ඉන්නෙ ඉංදියන් සෙට්.ඉදිකිරීම් ව්‍යාපෘති වල හිටපු සිංහලයින් අයින් කරලා ඒ වැටුපට වඩා අඩු වැටුප් තල වලට ඉංදියන් ඉංජො ඇවිත් වැඩ.මේවා මේ දැනටම සිද්ධ වෙන දේවල්.තව පාලමකුත් ගහන්න හදන්නෙ.

      Delete
    8. @ සුදීක

      මේ පාලම සහ උමඟ තැනීම තවමත් යෝජනාවක් වශයෙන් විතරයි තියෙන්නේ. පාලම හැදීම ප්‍රවාහනය අතින් නම් හොඳයි. දෙපැත්තේම දෙරටේ රේගුව තියන නිසා හොරමැර කම් සෑහෙන්න සීමා කරන්න පුළුවන් වෙයි. උමඟ නම් විශාල පාරිසරික හානියක්. වැඩි අවාසිය අපිටයි.

      සීපා ගිවිසුම වෙනත් මුහුණුවරකින් ආවොත් අපි ලොකු අමාරුවක වැටෙනවා. මේ රජය මහජනතාවගේ ඉල්ලීම් කොහොම වෙතත් වර්ජන තර්ජන වලට ටිකක් හොඳ ප්‍රතිචාර දක්වන නිසා එමගින් රජය ආම්බාන් කරගන්න පුළුවන් වෙයි. නමුත් මේ පාලම් ව්‍යාපෘතිය ඉක්මනින් ක්‍රියාවට නැගෙන්නක් නොවේ.

      @ ලබ්ස්

      මම හිතන්නේ ඔය කර්මාන්ත පටන් ගැනීමේදී ගහලා තියන අපට අවාසි සහගත ගිවිසුම් අනුවයි එහෙම වෙන්නේ කියලා. ඒ ගැන රජය උනන්දු නොවෙනවානම් රජය මකලා හදන්න වෙනවා.

      Delete
  22. අසනීප වෙලා හිටි නිසයි තව කරදර ටිකක් නිසයි ගිය සතියෙම ඉන්ටර්නෙට් එක පැත්තේ එන්න උනේ නෑ. අවුරුදු 4ක් ලිව්වට සුබ පැතුම් මුලින්ම!
    ඔය ඉන්දියාවයි ලංකාවයි යා කරන ව්‍යාපෘතිය ගැන මට නම් කියන්න තියන්නේ, ලෝක විනාසයක් වගේ එකක් වෙයි ඕක. කිසි සැකයක් නෑ. දැන් හොරෙන් එන එවුන් එකතොට එළිපිටම එයි. ඒ කාලේ නවත්තපු විදියට නවත්තන්න පුළුවන් වෙන එකක් නෑ. ඉන්දියාව හොඳවයින් දෙකක් කියලා, ඒ එන උන්ට මෙහෙ ඉන්න දෙන්න කිව්වම අපේ එවුන් වැඳලා පිළිගන්නේ.. බලන්නකෝ නැද්ද කියලා.

    ReplyDelete
    Replies
    1. අඟහරු අනික් අයව ලෙඩ කරනවා මිසක් අඟහරුට ලෙඩ හැදෙනවැයි? :e සුබපැතුමට බොහොම ස්තුතියි.

      අපි ඉන්දියාව ගහන ගහන පදේට නටන්න ගියොත් අමාරුවේ වැටෙනවා. නමුත් හැම තීරණයක්ම රටේ ජනතාවගේ කැමැත්තත් ඇතුව ගත්තොත් අමාරුවේ නොවැටී ඉන්න පුළුවන්. කොහොමටත් මේ වැඩේ තවමත් අදහසක් හැටියට පමණයි තියෙන්නේ.

      Delete
  23. Replies
    1. ඊ මේල් එක එව්වා. බලන්න.

      Delete
  24. පාලම/උමග සෑදීම එකපැත්තකින් අපිට වාසි වීමට පුළුවන්. එමගින් ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් ඇතිවීම සිදුවෙනවා. ඒත් එහෙම වෙන්නේ ලංකාවත් ඉදිකිරීම් වලට දායක වුනොත් පමණයි.

    දීර්ඝ කාලීනව පාලම හෝ උමග අපිට අවාසි දායක වනවා. ඉන්දියානු භාණ්ඩ හා ශ්‍රමිකයන්ගෙන් අපේ වෙළඳ පොළ පිරී යාම අපි කුඩා රටක් වීම නිසා පාලනය කිරීමට නොහැකි වෙනවා. මෙතන තත්වය ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය හෝ ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය අතර තත්වයට වඩා වෙනස්. මෙම රටවල් තුනම එකිනෙකා කෙරෙහි කල හැකි බලපෑම් අතින් ගත්විට එක හා සමානයි.

    පාලමත් එපා උමගත් එපා අසල්වැසියා අතේ දුරින් තියාගමු කියලයි මගේ අදහස.

    වැදගත් ලිපියක්! වලිය අතහැර දාපු එකටත් සතුටුයි.

    ඔබට ජය !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ අදහස් වලට. මේ පාලම සහ උමඟ ව්‍යාපෘතිය ඉක්මනින් ක්‍රියාත්මක වෙයි කියලා හිතන්න අමාරුයි.

      යුරෝපීය චින්තනය සහ අපේ පෙරදිග චින්තනය අතර ඇති වෙනස්කම් මෙවැනි අවස්ථා වලදී ඉස්මතුවී පෙනෙනවා.

      අතේ දුරින් තබාගැනීම හොඳයි දැනට පෙනෙන විදිහට.

      Delete
  25. Replies
    1. ස්තුතියි සින්දුවෝ. මේ ගීතය මම ලිපියේ දාලා තියනවා. ඒක පෙනෙන්නේ පින්තූරයක් වගේ.

      Delete
  26. විචාරකතුමනි .....හමුදා කෙතේ කළමනාකරණය ලිපියෙන් දැක්වූ නවීන අවි ආයුධ පිළිබද ලිපිය බලාපොරොත්තුවෙන් සිටිනවා

    ReplyDelete
    Replies
    1. තොරතුරු එකතුකරමින් ඉන්නේ. ළඟදීම දෙන්නම්.

      Delete
    2. බොහොම ස්තූතියි විචාතුමෝ....

      Delete
    3. තාක්ෂනය පිලිබද ලිපි මේ දවස්වල අඩුයි නේද.?

      Delete
    4. තාක්‍ෂණික කරුණු ඇතුලත් ලිපි අඩුවෙන්නේ වෙන වෙන මාතෘකා වලට ප්‍රමුඛත්වය දීමට සිදුවන නිසා. මට ටිකක් කාලය දෙන්න. නොවරදවාම ලියන්නම්.

      Delete
  27. නවීන අවි ආයුධ ලිපියට jackhammer තුවක්කුව ගැන විස්තරයක් ඇතුලත් කරන්න විචාරකතුමනි....

    ReplyDelete
    Replies
    1. මා හිතනවා ඔබට මේ උනන්දුව ඇතිවන්නට ඇත්තේ වීඩියෝ ක්‍රීඩා මගින් කියා. ජැක්හැමර් තුවක්කුව අද ආරක්ෂක කටයුතු සඳහා සුදුසු නැති නිසා ප්‍රතික්ෂේප වුන තුවක්කුවක්. නමුත් වීඩියෝ ක්‍රීඩා වල මේ තුවක්කුව 'මහා වැඩකාර තුවක්කුවක්' කරලා පෙන්නනවා.

      හොඳයි මේ ගැනත් ලියන්නම්.

      Delete
    2. jackhammer එක කවදාවත් production line එකට ආවෙ නැහැ නේද විචා? prototype එකක් පමණයි.. පෙනුමනං ලස්සනයි තමා.. :)

      Delete
    3. ඔව් prototype හදලා තියනවා මෝස්‌තර දෙකක් හෝ තුනක්. නමුත් පාවිච්චි කරන්න ගියාම තමයි තේරිලා තියෙන්නේ වියදමේ හැටියට ප්‍රතිඵල මදි කියලා.

      Delete
  28. ඇත්තටම ඔබතුමා විශ්වාස කරයිද දන්නෙත් නෑ මේ බ්ලොග් එක මට හමූවුනේ මීට දවස් තුන හතරකට කලින්....ඉතින් හමුවුනාට පස්සෙ කළේ කෑම ගැනවත් සිහියක් පතක් නැතිව එක හුස්මට කියෙවුව එක තමයි.. ඒතරමට වැදගත් බ්ලොග් එකක්.........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බ්ලොග් එක මුලසිට කියවීම ගැන. මුල් කාලයේ මා ලිව්වේ, වර්ඩ්ප්‍රෙස් ක්‍රමයට විතරයි. ඒ නිසා වඩා හොඳ පාඨක අදහස් තියෙන්නෙත්, ඒ අඩවියේ මා මුල් කාලයේ ලියන ලද ලිපිවල. ඒ නිසා කාරුණිකව ආරාධනා කරනවා, ඒ අඩවියටත් ගිහින් බලන ලෙස, ඔබට කාලය ඇත්නම් පමණක්. මෙන්න ලිපිනය.

      http://jangun.wordpress.com

      Delete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. ඔය පාලම හැදිල්ලෙන් ලංකාවට මහා ලොකු ආර්ථිකමය වාසියක් වෙයි කියල හිතන්න අමාරුයි.. රටක් විදිහට ලෝකෙත් එක්ක ඉස්සරහට යන්නනම් ඉන්දියාව එක්ක සෙට් වෙලා ඒක කරන එක හීනයක්. ඉන්දියාව මා ලොකු බලවතෙක් උනාට ඉන්දියන් ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට වැසිකිලි පහසුකම් වත් නැහැ. ඔය පාලම හැදිලි වලින් වෙන්නේ මේක ඉන්දියාවේ කොලනියක් ගානට වැටෙන එක විතරයි. දියුණු රටවල මිනිස්සු බහුතරයක් ලංකාව කියල රටක් දන්නෙත් නැහැ අහලත් නැහැ. උන් හිතන්නේ ඉන්දියාවට පහලින් තියන දූපත ඉන්දියාවේ කොටසක් කියලයි.. හැක් ...හැක් ... පාලම හැදුනොත් ලංකාව කියන නම තවත් ලෝකෙන් එලියට තල්ලු වෙයි. ඉන්දියාවේ එවුන් කියන්නේ උන් ඉන්දියාවේ සිතියමක් ගන්නකොට ලංකාව නොමිලේ ලැබෙනවා කියලයි.. ඉන්දියන් කාරයා ගිය තැන විනාසයි.. ර්ර්ර්ර්ර්ර්ර්ර් කීව ගමන් කලාපෙම ඉවරයි.. දුප්පත් මින්ස්සුන්ට කක්කුස්සියක් හදල දෙන්න බැරි ඉන්දියන් රජය එක්ක දීග ගිහින් අපිට මොනවා ලබාගන්නද.. උතුරේ චන්ද ටික එකතු කරගන්න අපේ එවුන් රටම උනත් ලියල දෙයි ඉන්දියාවට.. තව ටික කාලෙකින් සවුදිය එක්කත් පාලම හදන්න වෙයි මුස්ලිම් චන්ද ටික ගන්න. බුද්ධිය නැති මිනිස්සු පාලන තන්ත්‍රයට යැව්වාම ලැබෙන ප්‍රතිලාභ අපූරුවට බුක්තිවිඳිමින් ඉන්නව අපේ ජනතාව..

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙන් යෝජනාවක් ආව පලියට අපි පැනල නොදී ඉඳීම අපේ ශරීර සෞඛ්‍යයට ගුණයි කියලා තමයි මමත් හිතන්නේ. නමුත් වාසි අවාසි සලකා බලා, මනා පාලනයක් යටතේ, අපේ ස්වාධිපත්‍යයට හානි නොවන ආකාරයේ ගිවිසුම් සහිතව එකඟ වෙන්න පුලුවන්නම් හොඳයි.

      Delete
  31. "ටැෆායි" එක හැදිල්ල එන්.කියූ.දියෙස්ගේ දිගුකාලීන දැක්මක් නිසා හදපු සැලැස්මක එක පියවරක් කියලා අහ තියේ.
    ඔය පාලම නං හැත්තෑහතේ පෙරලිය වගේ තමා.

    ReplyDelete
    Replies
    1. අම්මපා? මම එහෙම කාරනටක් ඇහුවමයි. මම දන්නා තරමට ටැෆායි හැදුවේ බණ්ඩාරනායක මැතිනියගේ රජය විසින්. N Q දියෙස් මහතා බෞද්ධ ප්‍රබෝධය වෙනුවෙන් වැඩකලා කියලා විතරයි මම දන්නේ.

      පාලම තවම යෝජනාවක් තත්වයේ තිබෙන නිසා අපිට හිතන්න කල් තියනවා.

      Delete
  32. හැමදාම දූපතේ තනි වෙලා ඉන්නේ නැතුව ලංකාව ලෝකයට ගෙනියන නව වියප්රුතියට ජයවේවා,,, අවුල්ද???

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අවුලක් නෑ ලලිත්. නමුත් සෑම පැත්තකින්ම අපට තියන වාසි අවාසි ගැන ගැඹුරින් අධ්‍යයනය කරලා තමයි මේ වගේ වැඩකට අත දාන්න ඕනේ.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }