හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label විශේෂ. Show all posts
Showing posts with label විශේෂ. Show all posts

29 March 2018

70 වසක් සපුරන සිංහල රිදී තිරය


ලාංකීය සිනමා වංශකතාවේ මූලාරම්භය සඳහා ඉන්දියානු හා දකුණු ඉන්දියානු , ආසියානු සිනමාව මෙන්ම ලෝක සිනමාව ගුරුකොට ගත්හ. 1947  ජනවාරි 21 වැනිදා සිංහල රිදී තිරයේ  කුළුදුල් නිර්මාණය වූ “කඩවුණු  පොරොන්දුව “   තිරගත වීමත් සමග  හෙළ සිනමාවේ ආරම්භය සනිටුවහන් විය . බි. ඒ .ඩබ්ලිවු. ජයමාන්න, රුක්මණී දේවිය ප්‍රධාන නළුනිළි යුවල වූ අතර  එහි අධ්‍යක්ෂක්වරයා වූයේ ජෝයිටිෂ් වික්‍රමසිංහ මහතායි  . එලෙස ඇරඹි ලාංකිය සිනමාවේ ඊළඟ හැරවුම් ලක්ෂය වූයේ වර්ෂ  1956 තිරගත වූ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කළ “රේඛාව” චිත්‍රපටියයි. මුල්වරට ස්වභාවික දර්ශනතල හා ලාංකීය කථා තේමාවක් පදනම් කරගනිමින් නිර්මාණය වුණු මෙහි ප්‍රධාන චරිත රඟපෑවේ ආනන්ද ජයරත්න , අයිරාංගනී මීදෙනිය විසිනි . එහි සංගීත නිර්මාණය සුනිල් ශාන්තයන් විසිනි .


රුක්මණී දේවි

ශ්‍රී ලාංකීය  සිනමා  අඹරේ  පළමු වර්ණ චිත්‍රපටය  වර්ෂ 1962 මයික් විල්සන් විසින් අධ්‍යක්ෂණය කළ “ රන්මුතුදූවයි “  එහි ප්‍රධාන නළු නිළි යුවල වූයේ ජීවරාණි කුරුකුලසූරිය සමග ගාමිණි ෆොන්සේකා මහතායි . සංගීතය ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී අමරදේව සූරීන් විසිනි . නන්දා මාලිනි , නාරද දිසාසේකර  ප්‍රධාන ගායක ගායිකා යුවල විය .  සහය අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිනමාවට පිවිස, දෛවයෝගය චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයකට පණපොවමින් රංගනයට පිවිසි ගාමිණි ෆොන්සේකා මහතා ,පළමුවරට ප්‍රධාන චරිතයක් නිරුපණය කරන්නේ මෙම සිනමා පටයේය.  ශේෂා පලිහක්කාර හා ආතර් සි ක්ලාර්ක් මහතා මෙහි සම නිෂ්පාදකවරුන්ය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේම තවත් නිර්මාණයක් වූ ”ගම්පෙරළිය” සිනමා පටය  ශ්‍රී ලාංකික රසික ප්‍රජාටව කලාත්මක සිනමාව හඳුන්වාදීමට ගත් අතිශය සාර්ථක වෑයමක් ලෙස හැඳින්විය හැකිය. වර්ෂ 1963 තිරගතවුණු මෙම සිනමා පටය පුන්‍යා හීන්දෙනිය , හෙන්රි ජයසේනයන් අතින් හැඩ විය.ටෝනි රණසිංහයන්ගේ පළමු සිනමා ආගමනය විය.  කිසිදු ගීතයක් අන්තර්ගත නොවූ පළමු චිත්‍රපටය ලෙස මෙය සිනමා වංශ කතාවේ සනිටුවහන් වි තිබේ.

60 දශකය වර්ණවත් කළ සිනමාපට මෙන්ම එය සුපෝෂණය කළ අධ්‍යක්ෂකවරු මෙන්ම සංගීත නිර්මාපකයන්ද ගායක ගායිකාවන්ද රැසකි . සංදේශය , අදට වැඩිය හෙට හොඳයි , සිකුරු තරුව, සාරවිට , දෙලොවක් අතර, සැනසුම කොතනද,  ගැටවරයෝ , පරසතු මල් , සත් සමුදුර, ධීවරයෝ , අක්ක නගෝ , ගොළු හදවත , රන්සළු , බිනරමලී, දරුවා කාගේද , සත පනහ , සිඟිති සුරතල් , ස්වීප් ටිකට් , නාරිලතා, රෑන ගිරවු , කුරුළු බැද්ද, බක්මහදීගේ  එම සිනමාපට පොකුරේ රිදී සීනුය . වර්ෂ 1968 තිරගත වූ “පුංචි බබා” චිත්‍රපටය , හෙළ සිනමාවේ නිළි රැජිනිය වූ මාලනි ෆොන්සේකා මහත්මියගේ කුළුදුල් සිනමා ප්‍රවිෂ්ඨයයි. ප්‍රධාන චරිතයකට පණ පොවමින් ඈගේ රංගන දිවිය ආලෝකමත් කළේ තිස්ස ලියනසූරිය මහතා විසිනි. 1955 වර්ෂයේ තිරගත වූ  දේවසුන්දරී  චිත්‍රපටයෙන් සිනමාලොවට පිවිසි ජෝ අබේවික්‍රම මහතා සාරවිට චිත්‍රපටය තුළින් ජනප්‍රියත්වයට පත්විය එමෙන්ම වර්ෂ 1969 තිරගතවුණු සුගතපාල සෙනරත් යාපා අධක්‍ෂණය කළ “හන්තානේ කතාව ” ඒ අසහාය සොඳුරු මිනිසා වූ විජය කුමාරතුංග මහතාගේ  සිනමා ආගමනය සනිටුවහන් කළේය.  ඒ අනුව 60 දශකය වර්ණවත් කිරීමට දායකත්වය සැපයූ අධ්‍යක්ෂකවරුන් රාශියකි.  ලෙස්ටර් ජේම්ස් පීරිස් , තිස්ස ලියනසූරිය , කේ . ඒ. ඩබ්ලිවු . පෙරේරා , එම් මස්තාන් , මයික් විල්සන් , රොබින් තම්පෝ , ටයිටස් තොටවත්ත , කිංස්ලි රාජපක්ෂ , ඩබ්ලිවු. එම්. එස්. තම්පෝ, ලෙනින් මොරායස්, ටී සෝමසේකරන් , එල් එස් රාමචන්ද්‍රන්   ආදීන් වූහ . හින්දි සිනමාවේ හා දමිල සිනමාවේ අධ්‍යක්ෂකවරු ඒ අතර වූහ.  ආර් මුත්තුසාමි ,  එම් කේ රොක්සාමිගේ, ධර්මදාස වල්පොල, ඩබ්ලිවු. ඩි. අමරදේව   සිනමා සංගීතයෙන් මෙම සිනමා පට ආලෝකමත් විය. සුජාතා අත්තනායක, නන්දා මාලිනි, ඉන්ද්‍රානි විජේබණ්ඩාර , සිසිර සේනාරත්න ,  නාරද දිසාසේකර, වික්ටර් රත්නායක , ජේ. ඒ. මිල්ටන් පෙරේරා ලතා වල්පොල ,  ඇන්ජලින් ගුණතිලක ,  එච්. ආර්. ජෝතිපාල , ෆ්‍රෙඩි සිල්වා ගේ  සුමදුර ගායනයෙන්  රිදීතිරය ඒකාලෝක විය.

ශ්‍රී ලාංකේය  ඉතිහාසයේ  රිදීතිරයේ මෙන්ම සප්ත ස්වරයේ  ස්වර්ණමය  යුගය 70 දශකයයි. හෙළ සිනමා වංශකතාවට බොහෝ දෑ එකතු පහදු  කරන්නට  මේ දශකයේ සිනමාවට හැකිවිය. අක්කර පහ, නිධානය , දෑස නිසා , වීර පුරන් අප්පු , අහසින් පොළවට, මඩොල් දූව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ සිනමා කාචයෙන් වර්ණවත් විය . 1972 තිරගතවුණු  “නිධානය” ලාංකීය සිනමාවට සැබවින්ම නිධානයක් විය. සිනමා සක්විති  ගාමිණි ෆොන්සේකා මහතා හෙළ නිළි රැජින මාලනී ෆොන්සේකා රංගධරයන්ගේ විශිෂ්ට රංගනයෙන් ඔපවත්වුණු මෙම සිනමාපටය අන්තර්ජාතික සිනමා උළෙලවල් නියෝජනය කරන ලදී . ලන්ඩන් අන්තර්ජාතික සිනමා උළෙලේ 50 වසරක හෙළ සිනමාවේ විශිෂ්ටතම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගන්නා ලදී . තිස්ස අබේසේකරගේ තිර රචනයෙන්ද ප්‍රේමසිරි කේමදාස සූරීන්ගේ සංගීතයෙන් එය තවදුරටත් රසවත් විය . මහගම සේකර සූරීන් සිය  නිර්මාණයක් වූ  තුං මං හන්දිය සිනමාවට නගන ලදී . නීල් රූපසිංහ  විසින්   හතර දෙනාම සූරයෝ,  ටයිටස් තොටවත්ත සූරීන් විසින් හාර ලක්ෂය , මංගලා , මරුවා සමග වාසේ , සාගරිකා,  හඳයා යන සිනමා පට රිදී තිරයට දායාද කළේය . හඳයා ලාංකීය සිනමාවේ ළමයින් වෙනුවෙන් නිර්මාණය කළ පළමු  චිත්‍රපටයයි . මේ යුගයේදී කලාත්මක සිනමාව හා වාණිජ සිනමාව ඉතා දියුණු මට්ටමක පැවතිණි. ඒ නිසාම නළු නිළි යුග බිහිකරන්නට සමත් විය . ගාමිණි - මාලනී යුගය  හතර දෙනාම සූරයෝ , නිධානය , සහනය , එදත් සූරයා අදත් සූරයා, ආදරේ හිතෙනව දැක්කම, සදහටම ඔබ මගේ , කස්තුරි සුවඳ , සැණකෙළිය , ආවා සොයා ආදරේ , සූරයා සූරයාමයි , නයනා මෙන්ම තුෂාරා , මේ දෑස කුමටද , එයා දැන් ලොකු ළමයෙක් , සංගීතා , දියමන්ති , අනුපමා, කුණ්ඩලකේසි යන සිනමා පටතුළින්  විජය - මාලනී යුගයක්ද බිහිවිය

                                                        නිධානය සිනමා පටයෙන් 

මෙම දශකය තුළ රවින්ද්‍ර රන්දෙනිය, ගීතා කුමාරසිංහ ශ්‍රියානි අමරසේන , අමරසිරි කලන්සූරිය,  නීටා ප්‍රනාන්දු , තිස්ස විජේසුරේන්ද්‍ර,  මානෙල් වානගුරු , සෝනියා දිසා වැනි රංගවේදීන් හා රංග වේදිනියන් සිනමාවට එක්විය. වැලි කතර , දෑසනිසා , ආශා දෑසින් , අපේක්ෂා, ලසඳා ,සුහද පැතුම, සුරේඛා, නිල්ල සොයා,  සිකුරු ලියා , දුහුළු මලක් , වාසනා , රජගෙදර පරවියෝ , නෑදෑයෝ, තරංගා,  හිත හොඳ මිනිහෙක්, සරුංගලේ  වැනි සිනමාපට තුළින් මොවුන් ජනප්‍රියත්වයට පත්විය. සිය සැමියා සමග නිරන්තර සිනමා අත්දැකීම් විඳි සුමිත්‍රා පීරිස් සිය කුළුදුල් නිර්මාණය වූ “ගැහැණු ළමයි” වර්ෂ 1978 දී තිරගත කළාය. එහිදී “වසන්ති චතුරානි” නම් සිනමාවේදිනියගේ දොරට වැඩිම සිදුවිය. එමෙන්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් , ලෙනින් මොරායස් , කේ. ඒ . ඩබ්ලිව් පෙරේරා , සුගතපාල සෙනරත් යාපා  ඩි. බී. නිහාල්සිංහ, සුනිල් ආරියරත්න , යසපාලිත නානායක්කාර,  එච් .ඩි. ප්‍රේමරත්න යන සිනමාවේදීන් මේ දශකයේ පුරෝගාමි සිනමා කරුවෝ වූහ.  ධර්මසේන පතිරාජයන් සිය කුළුදුල් සිනමා නිර්මාණය 1974 වර්ෂයේදී “ අහස් ගව්ව “  නමින් සිනමාවට දායාද කළේය. ඉන්පසුව ,  එයා දැන් ලොකු ළමයෙක් , බඹරු ඇවිත් සිනමාපට තුළින් ප්‍රවිෂ්ට වුණු පතිරාජයන් පාරදිගේ , සොල්දාදු උන්නැහේ , වාසුළි , සක්කාරන් හරහා සිය සමාජ මෙහෙවර ඉටුකළේය. මැද මාවතේ සිනමා කරුවෙක් ලෙස විචාරක අවධානය දිනාගත් මෙතුමාගේ නිර්මාණ සියල්ලම පාහේ අන්තරජාතික සම්මානවලින් පිදුම් ලැබීම විශේෂත්වයකි.

               1980 දශකය වනවිට එවකට පැවති ආර්ථික ප්‍රතිපත්තියත් සමග වාණිජ සිනමාව බොහෝ දුරට ඉස්මතු විය. එහෙත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ කලියුගය හා යුගාන්තය චිත්‍රපටි නැවතත් කලාත්මක සිනමාවේ රස ස්පර්ශ කළේය. සුමිත්‍රා පීරිස් මැතිණිය ගඟ අද්දර , මායා, සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා යන සිනමාපට දායාද කළාය.  ස්ත්‍රීවාදී චරිත ඉස්මතු කරමින් ඇය මෙම නිර්මාණ ප්‍රතිරූපණය කළාය. යසපාලිත නානයක්කාර , එච්. ඩි. ප්‍රේමරත්න , සුනිල් සෝම පිරිස් , සුනිල් ආරියරත්න , ගාමිණී ෆොන්සේකා , වසන්ත ඔබේසේකර,  රෝයි ද සිල්වා, තිස්ස අබේසේකර, හර්බට් රංජිත් පීරිස්, සේන සමරසිංහ, ඩි. බී. නිහාල්සිංහ , දිනේෂ් ප්‍රියසාද්, හේමසිරි සෙල්ලපෙරුම  වැනි සිනමා නිර්මාණකරුවන් මේ යුගයේ රිදීතිරය එකළු කළහ. උතුමාණෙනි , ටක් ටික් ටුක් , ආදර රත්නේ, පරිත්‍යාගය, එක් ටැම් ගේ , සිරි බෝ අයියා , කරුමක්කාරයෝ , වජිරා බැද්දේගම , බිත්ති හතර ,  යහළු යෙහෙලි , චංචල රේඛා , සුමිතුරෝ, දඩයම, ඈතින් ඈතට, දෙවෙනි ගමන , මිහිදුම් සළු ,අරලිය මල්,  ඔබට දිවුරා කියන්නම් , රෝසි , යලි හමුවෙන්නයි , පෙරළිකාරයෝ, මල්දෙනියේ සිමියොන් , කොටි වලිගය,  දිනුම , ආදර හසුන , මංගල තෑග්ග , රජ වැඩ කාරයෝ , නොම්මර එකයි , කවුළුව ,  විරාගය , ඔබටයි ප්‍රියේ ආදරේ , රස රහසක් , නැව ගිලුනත් බෑන්චූන් , මමයි රජා , කැඩපතක චායා, නොම්මර 17 , ඔබට රහසක් කියන්නම් , සිරි මැදුර යන සිනමාපට රිදී තිරය වර්ණවත් කළහ. සනත් - සබීතා , ජීවන් - සබීතා යන යුගයන් බිහිවිය සබීතා පෙරේරා ජීවන් කුමාරණතුංග , සනත් ගුණතිලක , ශෂී විජේන්ද්‍ර , අනෝජා වීරසිංහ මේ දශකයේ සිනමාව බිහිකළ සිනමාවේදීන් වූහ. එම යුගහේ බිහිවූ විශිෂ්ටම සිනමාවේදියා ලෙස ධර්මසිරි බණ්ඩාරනායක මහතා හැඳින්විය හැකිය. 1980 වර්ෂයේ  “ හංසවිලක් “ සිනමාකෘතියෙන් අරඹා,  තුන්වෙනි යාමය,  සුද්දිලාගේ කථාව,  බව දුක හා බව කර්ම ඔහුගේ සිනමාභිශේකයයි.

1990 දශකයේ සිනමාව මෙතෙක් ආ සිනමා ගමනේ  යම් හැරවුම් ලක්ෂයක් පෙන්නුම් කළ දශකයකි. ඉකුත් දශකයේ අගභාගයේ සිදුවූ දේශපාලන ක්‍රියාකාරකම් සිනමාවටද බලපෑමක් එල්ල කිරීමට සමත්විය. කෙසේවෙතත් 1990 දශකයේ සිනමාව ලාංකීය සිනමා කරළියට  තවත්  සුරුපිනින් දෙදෙනෙක් දායාද කළහ. ඒ 1990 වර්ෂයේ යසපාලිත නානායක්කාරගේ දේදුන්නෙන් සමනලියක්“ සිනමාපටයෙන් පිවිසි දිල්හානි ඒකනායක හා 1993 සප්ත කන්‍යා “  සිනමාපටයෙන්  සිනමාවට පිවිසි සංගීතා වීරරත්නයි. සප්ත කන්‍යා සිනමාපටය ඒ යුගයේ සිනමාපට අතර සුවිශේෂී නිර්මාණයක් විය. යෞවනත්වය කුල්මත් කළ සිනමාපටයක් ලෙස එය හැඳින්විය හැකිය.  පාලම යට , ක්‍රිස්තු චරිතය , චණ්ඩිරජා , කෙළිමඩල , මධු සමය , සලඹක් හඬයි,  ධනය, මල්සර දෝණි,   ඡායා,  ගුරුගෙදර ,සුරබිදෙන , චායා මායා , යසස , ලඳුනි ඔබ දෙවඟනකි , නොමියෙන මිනිස්සු , ධවල පුෂ්පය , සුජාතා, පවන රළුවිය,  සුදු පිරුවට,  අරගලය,  මී හරකා,  වාසනා වේවා, සිසිල ගිනි ගනී ,  සෙයිලම,  මාරුතය,  අවරගිර,   සිහින දේශයේ, සුර දරුවෝ , ලොකුදුව, යසෝමා,  දුවක මවට මිස,  තරණය,  විසි දැළ , චන්ද කින්නරී , ගිනි අවි සහ ගිනිකෙළි , පවුරු වළල්ල, චෙරියෝ කැප්ටන්,  චෙරියෝ ඩොක්ටර් ,  රෑ දනියෙල් දවල් මිගෙල් 1, බහු භාර්යා , දොරකඩ මාරාව,  ජුලියට්ගේ භූමිකාව වැනි නිර්මාණ බිහිවිය.  රන්ජන් රාමනායක , ඩිලානි අබේවර්ධන , මහේන්ද්‍ර පෙරේරා , කමල් අද්දරආරච්චි , ලින්ටන් සේමගේ , දමිත් ෆොන්සේකා, යශෝධා විමලධර්ම  වැනි සිනමා රංගධරයන්ගේ ප්‍රවිෂ්ටය මෙම යුගයේ සිදුවිය. විශ්වනාත් බුද්ධි කීර්තිසේන , ප්‍රසන්න විතානගේ, උදයකාන්ත වර්ණසූරිය , හේමසිරි සෙල්ලපෙරුම, දිනේෂ් ප්‍රියසාද් , යසපාලිත නානායක්කාර , සුනිල් ආරියරත්න , සුනිල් සෝම පීරිස්, වසන්ත ඔබේසේකර, අශෝක හඳගම , ඩි. බී. නිහාල්සිංහ , එච්. ඩි. ප්‍රේමරත්න, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්,  සුමිත්‍රා පීරිස් මෙම සිනමාපටවල නිර්මාණ කරුවන් වූහ . මේ කාලය වනවිට කාම චිත්‍රපට රැල්ලක්  සිනමාවේ ගමන් ගනිමින් තිබුණි . දේශපාලන වියවුල් සහගත බව හමුවේ සිනමා  ශාලා ගිනි තැබීම , සිනමා ශාලා  ඉවත් කිරීම වැනි දෑ හමුවේ  ප්‍රේක්ෂකයා ඒ වෙත යොමුකර ගැනීමට විවිධ අත්හදා බැලීම් සිදුකරන ලදී . එහිදී රෝයිද සිල්වා වැනි අධ්‍යක්ෂකවරුන් කාමරැල්ල වෙනුවට ප්‍රහසන රැල්ලක් නිර්මාණය කළේය.


                            සප්ත කන්‍යා සිනමාපටයෙන් 
  
2000 දශකය් වනවිටත් කාම රැල්ල තවදුරටත් ක්‍රියාත්මක වුවත් උදයකාන්ත වර්ණසූරිය , ප්‍රසන්න විතානගේ , සෝමරත්න දිසානායක, බෙනට් රත්නායක ,  ජයන්ත චන්දරසිරි වැනි නිර්මාණ කරුවන් අශෝක  හඳගම නව සිනමාවක් කර ගමන් අරඹන බවක් දක්නට ලැබුණි . එමෙන්ම නව සිනමා කරුවන්ගේ විශිෂ්ට ප්‍රවිෂ්ටයන් දක්නට ලැබුණි . විමුක්ති ජයසුන්දර බූඩි කිර්තිසේන , චන්න පෙරේරා රන්ජන් රාමනායක සංජය නිර්මාල් , සනත් ගුණතිලක , ගිරිරාජ් කෞශල්‍ය , ජැක්සන් ඇන්තනි, සුදත් රෝහණ  එවැනි නිර්මාණ කරුවන් කිහිපදෙනෙකි  රාජ්‍ය සේවය පිණිසයි රෝස වසන්තේ කිණිහිරියා මල් , සරෝජා,  අනන්ත රාත්‍රිය,  මේ මගේ සඳයි,  පුරහඳ කළුවර,  අස්වැසුම , සුදු සෙවනැලි , බහුභූතයෝ, පුංචි සුරංගනාවී,   සලෙළු වරම,  අග්නි දාහය ,  පුරසක්මන,  තනි තටුවෙන් පියාඹන්න , ලේ කිරි කඳුළු,  සුළඟ එනු පිණිස,  සුදු කළුවර,  වෑකන්ද වලව්ව,  සුළං කිරිල්ලී ,  සක්මන් මළුව, සූරිය අරණ , ආදරණීය වස්සානය , මිල්ලේ සොයා,  රන්දිය දහර , අසනී වර්ෂා,  ඉර මැදියම,  ගරිල්ලා මාර්කටින්,  සමනල තටු,  සුළඟ , හිරිපොද වැස්ස , නිලම්බරේ,  සමාරා, අංජලිකා , අම්මාවරුනේ ,  සංඛාරා , උත්පලවන්ණා,  සිකුරු හතේ,  ආසයි මං පියාඹන්න,  යහළුවෝ,   හාර්ට් එෆ් එම්,  සිරි රජ සිරි ,  රෝස කැලේ ,  අබා,  මචං,  පායා එන්න හිරුසේ,   ලීඩර්,  ආකාස කුසුම්,  ඩාන්සින් ස්ටාර්,  අලිමංකඩ,  එකමත් එක රටක එම දශකයේ සිනමාව එකළු කළේය. මේ යුගයේ නිර්මාණය වුණු ආදරණීය වස්සානය සිනමා පටය සහශ්‍රකයේ තාරුණ්‍යයේ සිත් ගත් සිනමා පටයක් විය. 

2000 දශකයේ සිනමාවට නව අරුතක් එක කරන ලදී .  පූජා උමා ශංකර් , කාංචනා මෙන්ඩිස්, අනර්කලී ආකර්ෂා , රෝෂන රණවන , චතුරිකා පීරිස් , උදාරි වර්ණකුලසූරිය , සචිනි අයේන්ද්‍රා,  තුමිදු දොඩන්තැන්න, නිරෝෂා පෙරේරා , සුරාජ් මාපා , දමිතා අබේරත්න , නිල්මිණි තෙන්නකෝන් , පුබුදු චතුරංග , ගයාන් වික්‍රමතිලක , අකිල ධනුද්දර , වැනි බොහෝ පිරිසක් මේ සිනමා පට හරහා ක්ෂේත්‍රයට අවතීර්ණ වූහ.  

මෑත යුගයේ සිනමාව තවත් බොහෝ දුර ගමනක් යාම සඳහා  ආයෝජනය කරමින් සිටිනු දක්නට ලැබේ එවැනි කලෙක ජයන්ත චන්ද්‍රසිරි ගේ  “ සමනල සංධ්‍වනිය “ වැනි සිනමා පට විශිෂ්ට නිර්මාණ වේ . ප්‍රවේගය , කලර් , හෝ ගානා පොකුණ, සරිගම  , නෙලා , වැනි නිර්මාණයන් ඔස්සේ 70 වසරක් අභිමානවත් සිනමාවක් අපි පසුකර සිටින්නෙමු.    













17 February 2018

සිරස මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂකතුමා වෙත ,


1993 මාර්තු 2 වනදා සිරස ගුවන් විදුලිය මේ මාතෘ භූමියේ ජනිත වෙද්දී සුවහසක් රසික ප්‍රජාව ඒ වෙත රොද බැන්දේ ඒ වනවිට තිබුණු ගුවන් විදුලි නාලිකා සියල්ල ඇල් මැරුණු ස්වභාවයෙන් පැවතීම හේතුකොටගෙනය. ශ්‍රාවකයන්ගේ රුචිකත්වය තේරුම්ගෙන ඊට ගැලපෙන අයුරින් තරුණ නිවේදක නිවේදිකාවන් යොදාගෙන ක්ෂේත්‍රයේ දිගු දුරක් යාමට පිළිපන් ඔබ මේ වනවිට සාර්ථක වී ඇත. එහෙත් අත්දැකීම් මද නිසාවෙන්ම සිරස ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අංශය ආරම්භ වී සුළු කලකින්  ඔබ ආයතනයේ ප්‍රවෘත්ති නිවේදයකයකු අතින් හදිසි නීතියට ඇඳිරි නීතිය යයි කියවීම නිසා මසකට අධික කාලයක්  ප්‍රවෘත්ති ප්‍රකාශ කිරීම අත්හිටුවා තිබෙනු මට මතකය. එකල ඔබව පන්නිපිටියේ මොන්ටිසෝරිය යන නමින් හඳුන්වනු ලැබීය.

කාලයාගේ ඇවෑමෙන් ඔබගේ මාධ්‍ය ජාලය පුළුල් වීමත් සමඟ 1998 දී සිරස ටී. වී ආයතනය බිහිවිය. එවකට තිබුණු අතලොස්සක් නාලිකා අතරේ ඔබගේ නාලිකාව අතිශය ජනප්‍රිය වෙමින් තිබුණි. ක්‍රමයෙන් දියුණු වූ ඔබේ නාලිකාව ප්‍රවෘත්ති  නිසා ජනප්‍රිය විය . ඒ ඔබ එවකට ප්‍රවෘත්ති සැපවූයේ පක්ෂක්ග්‍රාහී නොවී ඇත්ත කියන්නටය . ඒ නිසා  ඔබට එහි ප්‍රතිඵල අත්විදින්නට ලැබුණි. 2009 ජනවාරි 6 වැනි දින රාත්‍රියේ සුදු වැන් රියකින් පැමිණි  පුද්ගලයන්  විසින් ඔබ ආයතන පරිශ්‍රයට ක්ලේමෝ දමා ගිනි තබා විනාශ කළේය. අවුරුදු ගණනක ඔබේ දාඩිය, ලේ, කඳුළු මොහොතකින් දැවී අළුවිය.  ඔබගේ දුක සැප බෙදාගන්න පැමිණි දහසකුත් දෙනා අතරේ  එක් සුවිශේෂී චරිතයක් ද පැමිණියේය . ඒ අන් කවරකුවත් නොව සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ප්‍රවිණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාය . ඔහු එදා අභීත සිංහයෙකු මෙන් මෙම ගිනි තැබීමට ආණ්ඩුව වගකිවයුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදී . එහි ප්‍රතිඵලය ඔහු ඉන් දින දෙකකට පසු භුක්ති වින්දේය. ගල්කිස්ස නගර මධ්‍යයේ ඔහුව ම්ලේච්ඡ අන්දමින් ඝාතනය කරනු ලැබිය . ඒ එවකට තිබුණු මුග්ධ ආණ්ඩුවේ ගති ස්වභාවයයි . 


ඔහුගේ  මරණයත් සමග බොහෝ මාධ්‍යවේදීහු රට අතහැර පළා ගියහ . ඔබගේ ආයතනය පන්නිපිටියේ සිට රත්මලාන  ස්ටයින් මැදිරි  සංකීර්ණයට ඉතා කෙටි කලක් තුළ රැගෙන ගියේය. එය ඉතා ඉකමනින් සිදුවූයේ කෙසේ දැයි අපි නොදනිමු. කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් ඔබට ඔබ ආයතනය විසින් පවත්වනු ලබන සිරස සුපර්ස්ටා තරඟයේ අවසාන මහා තරඟය තැබීමට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය අවැසි විය. එහෙත් ඔබව තුට්ටුවට මායිම නොකරන ලද එවකට සිටි ආණ්ඩුව බොරු හේතු දක්වමින් එය ලබා නොදිමට කටයුතු කරන ලදී. ඒ නිසා ඔබ 2010 වසරේ සුපර්ස්ටා තරඟයේ  අවසාන මහා තරඟය පවත්වන්නේ CR & FC  ground  එකේය. ඉන්පසු ඔබ රත්මලානේ ස්ටයින් මැදිරියේ ස්ථිර වේදිකාවක් ඒ සඳහාම ඉදිකරන්නේ යලි මේ ආණ්ඩුව සිටිනතුරු ඔබට සුගතදාසය හිමි නොවන නිසා සහ ඔබේ පුරාජේරුව ලොවට කියන්නටය . එහෙත් වර්තමානය වනවිට ඔබ සිරස ටීවී මාධ්‍ය ආයතනය ක්‍රියා කරන්නේ කිසිවක් සිදුනොවූ අකාරයටය. ඔබ විසින් බ්‍රේකින් නිවුස් සේවාවක්ද පවත්වාගෙන යන අතර වර්තමානයේ එය වාතයක් ගියත් බ්‍රේකින් වන තරමටම බ්‍රේකින් නිවුස් වී ඇත .

පළාත් පාලන ඡන්ද විමසීම ඇරඹුණු දා සිටම ඔබගේ රාත්‍රී  7.00  ප්‍රවෘත්ති සේවාව 6.30 දක්වා ගෙනගිය අතර ප්‍රවෘත්ති කීමට වඩා එය මඩ ගහන ස්ථානයක් බවට පත්විය . සාමාන්‍යයෙන් මඩ ගහන්නේ රජයේ මාධ්‍ය වුවත් එය පරයා මහින්දගේ හොරු කල්ලිය දිනවීමට කිසිදු මුදල් අයකිරීමකින් තොරව ( මහින්දගේ ඩීල් එක කීයද ? ) ඔබ ලබාදුන් මාධ්‍ය සංදර්ශනය අනගි භවනීයය . ගල් බමුණකුත්, රොෂාන් වටවල ( ක්‍රීඩා වැඩසටහන් කරන්නෙකුත් ) තවත් ලපයි සිපයි ටිකකුත් දමාගෙන ඔබ ගෙනගිය හා තවදුරටත්  ගෙනයන මාධ්‍ය  සංදර්ශනය ඔබගේ ආයතනය සතුව  පැවති වටිනාකම් හා ප්‍රතිරූපය මුළුමුණින්ම  බිඳ වැට්ටවීමට සමත් වී තිබේ.

ඔබ විසින් ඇත ගමේ ගොඩේ සිටින එදා වේල හරි හම්බකරගෙන කන  අප්පුහාමිලා ,  ඩිංගිරි අම්මලා වශී කරගත්තද,  ඉන්දියාවේ  වැඩසටහන් කොපිකර මෙහේ රඟ දැක්වුවද, තව නුදුරු දිනකදී ඔබේ නිරුවත ලොවට පෙනෙන්නට ආසන්නය. ඒ නිසා කල්තියාම ඊට සූදානම් වන එක නුවණට හුරුය. ඔටුන්න හැමදාම එකලෙස නොතිබෙනු ඇත. එය ගැලවී බිම හැලෙන්නේ නොදැනීමය . එමෙන්ම ඔබගේ ආයතනයේ සිටි ප්‍රධානම හා විශ්වාසවන්තම  සේවකයන්ගෙන් මට පෙනෙන  හැටියට දැන් සිටින්නේ  කිංස්ලි රත්නායක හා රොෂාන්  පමණි. එසේනම්  ඔබගේ පෞද්ගලික තරහා සහ පලිගැනීම් වෙනුවෙන් සමස්ථ මාධ්‍ය ආයතනයක්  අමුඅමුවේ භාවිතා කිරීම  කෙතරම් සදාචාර සම්පන්නදැයි ඇසීම වඩා වටිනේය .


මට ඇති ගැටළු මෙසේය .

               1.    මහින්ද ආණ්ඩුව තිබුනේ නම් ඔබට හා ඔබගේ නාලිකාවන්ට මේ වන                    විට කුමක් සිදුවී ඇත්ද ?

                 
               2.    මාධ්‍ය වේදීන් හඬ නගන මාධ්‍ය සදාචාරය මෙයද ? 

              
             3.    එවකට සිරසට ගිනි තැබුවේ පැවතී ආණ්ඩුවද ? නැතිනම් ඔබ ගිනි                          තබාගෙන රක්ෂණ  මුදල්  ලබාගත්තේද ?


             4.    මේ වනවිට රජය පෙරළීමේ දැවැන්ත අරගලය වෙනුවෙන් ඔබේ                           වටිනාකම කීයද ? 




    
මෙසේ  නින්දිත , තුච්ඡ , දීන ආකාරයට සිරස මාධ්‍යජාලය කටයුතුකරාවියයි කිසිලෙසකින් වත් බලාපොරොත්තු නොවුනෙමු .



විචාරක දියණිය  
රාත්‍රී  22.00  පැයට 






21 January 2018

අකුරු ආවේ කොහෙන්ද ? 2



මිනිසාගේ සවිඤ්ඤානය  වර්ධනය වූයේ කෙසේද ?


සවිඤ්ඤානය  වර්ධනය වීම යනු මානවයාගේ නිර්මාණශීලිත්වය ප්‍රගුණ වීමයි . එය සිදුවූයේ  මොළයේ ඇතිවූ යම් ක්‍රියාවලියක ප්‍රතිඵලයකින් බව පුරා විද්‍යාඥයින්ගේ මතයයි. එය ආකාර දෙකකින් සිදුවී තිබේ .


  1.  ආයුධ තැනීමත් සමග ඇතිවූ කුසළතා වර්ධනය .
  2.  ගින්දර පාලනය කිරීමට දක්වන ලද උත්සාහය .                                                            
එහෙත් එය කවදා කෙසේ සිදුවීද යන්න පිළිබඳ කිසිවක් කිව නොහැකිය . 


ආදී මානවයාගේ සාක්ෂරතාවයේ ඉතිහාසය 


   
  • වර්ෂ  1969  දකුණු  ප්‍රංශයේ  කැණීමක් සිදුකල පුරාවිද්‍යාඥයින් කණ්ඩායමකට Bone placrk එකක් හමුවී තිබේ. මෙම අස්ථියේ විවිධ ආකාරයේ ඉරි කෑලි සමූහයක් දක්නට ලැබී ඇත . මෙම අස්ථිය වසර 10000 ක් පැරණි බව සොයාගෙන ඇත. 

  • චීනයේ ද  පැරණි සංකේත කිහිපයක් හඳුනාගෙන ඇත. 


මිනිසා අක්ෂරයන්ට පෙළඹියේ කෙසේද ?


අක්ෂර  කලාවට මූලාරම්භය සැකසුණේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයක් බව වර්තමාන පිළිගැනීමයි. මෙසපොතෙමියානුවන් තෙත මැටි පුවරු භාවිතා කරමින් අක්ෂර ලිවීම ආරම්භ කළ බවට සාක්ෂි හමුවී තිබේ. මෙය අක්ෂර ලිවීමේ පුරාණම සාධකය මෙන්ම ළදරුම අවස්ථාව ලෙස සැලකිය හැකිය . 



මෙහිදී  මුලින්ම ඔවුන් සිය අදහස්  ප්‍රකශ කරන ලද්දේ චිත්‍රයක්  ඇඳීමෙනි . එනම් දකින ලද දේ  නිරූපණය කළේ තවත් රූපයකිනි. මෙය  pictograph ලෙස හඳුන්වයි.  මේවා මුලින්ම සිදුකළේ මෙසපොතේමියාවේ ජිවත් වූ ප්‍රභූ ජනයා හෙවත් පූජක පන්තියයි. ඔවුන් සිය ආර්ථික කටයුතු  සටහන් කිරීම සඳහා  මේවා භාවිතා කරන ලදී . ආරම්භයේදී රූපයක් ලෙස දක්නට ලැබුනත් පසුව එය අක්ෂරයක් දක්වා වර්ධනය විය .



අක්ෂරයේ වර්ධනය අවදි 4 ක් යටතේ සිදුවූවා යැයි සැලකිය හැකිය .

  1. රූපයට රූපයක් ඇඳීම
  2. අදහසට රූපයක් ඇඳීම 
  3. රූපයට ශබ්දයක් ආරෝපණය කිරීම 
  4. රූපය අක්ෂරයක් බවට පත්වීම


ලෝකයේ පැරණි ශිෂ්ටාචාර භාවිතා කෙරුණු අක්ෂර පද්ධතීන් විවිධ ප්‍රදේශවලින් හමුවී තිබේ. ඒවා නම් Cunei Form , Indus , Runic , Rango Rango මෙසේ ආරම්භ වුණු අක්ෂර කලාව වර්තමානය දක්වා විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් විවිධ සංස්කෘතීන් අනුව හැඩ ගැසෙමින්  වර්ධනය වී ඇති බව දක්නට ලැබේ .


පොත පත ඇසුරින් හා උගත් මතකයෙනි. 



විචාරක දියණිය  21. 00 පැයට  


                                    

15 December 2017

හයේ පහරක් ගසමින් දැවීයාම



මගේ පියා මා පුංචි කාලයේ ක්‍රිකට් මැච් බලන විට මට ඇතිවන තරහා පාලනය කළ නොහැකිය. ඒ මන්ද යත් ඊට මගේ කිසිදු කැමැත්තක් නොමැති වීමයි. එහෙත්  මගේ පියා ඒ සඳහා මාව ඒ වෙත යොමු කරගැනීමට දැඩි ප්‍රත්නයක් දැරුවේය  .  කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් මා හා මගේ නැගණියද ක්‍රිකට් තරග නැරඹීමට යොමු වන්නේ ගහේ කටු උල් නොකළ යුතු නිසාය. අප තිදෙනා  එක්ව නරඹන ලද එවැනි එවැනි තරඟ මතක්වෙනවිට  නෙතට ඉබේ කඳුලක් නැගේ. ඔහු ලෙඩ ඇඳේ සිටද ක්‍රිකට් තරග නැරඹු අයෙකි. අවසන් කාල සීමාවල මා බෝඩිමේ සිටියදී  ක්‍රිකට් තරඟ මට නැරඹිය නොහැකි අවස්ථාවල මට දුරකථන ඇමතුම් දෙමින් ලකුණු හා ජය පැරදුම පවසන්නේ ඔහුය. ඇතැම් විට කාර්යාලයේ සිටියදී  පවා මැච් දවසට මට දුරකථන ඇමතුම් ලබා දේ . ඒ මතකය නිසාවෙන්ම ඔහු මිය ගිය දිනයේ සිට මට ක්‍රිකට් තරඟ නැරඹීම ඉතා අපහසු වී තිබේ. 


එහෙත් මගේ කතාව ක්‍රිකට් නොවේ . 



අද මේ බ්ලොගයේ 6 වැනි උපන් දිනයයි 


එහෙත් උපන් දිනයේ ප්‍රධාන  අමුත්තා  ජිවිත කෙළිබිමෙන් සමුගෙන ඇත.  ඔහු  මාව  විශාල ප්‍රේක්ෂකාගාරයක,  මහා පිට්ටනියක් මැද තනිවම තරඟ කිරීමට අතහැර ගොස් ඇත. 


2011  දෙසැම්බර් 15 වනදා වාක්‍ය  දෙකක ලිපියකින්  ප්‍රතිචාර 5 කින් ඔහු මේ ගමන මෙතරම් දුරක් රැගෙන ආවේය . ඔහුට අයත් ලිපි ගණන 438 කි.මේ ලිපි ලියන්නට ඔහු වෙහෙසුන හැටි මම සියසින් දැක ඇත්තෙමි . ඔහුට අවශ්‍ය වූයේ ඔහු සතු දැනුම අන් අය හා බෙදා හදා ගැනීම පමණි . ඔහුගේ පසු ගිය උපන්දිනයට  ප්‍රතිචාර  100 ක් ලැබී තිබුණි. ජිවිතයේ අනේක විද  දුක්ඛ දෝමනස්සයන් ඔහු මැදහත් සිතින් ඉවසූයේ කෙසේදැයි මම නොදනිමි . එහෙත් ඔහු ඒවාට අකුරුවලින් පණ දුන්නේය . 


ඔහු 6 වැනි දිනුම් කණුව පෙනී පෙනී ජිවිතයෙන් සමුගත්තේ ඇයිදැයි මා සැමදා  මගේ  ඇතුලාන්තයෙන් නගන ප්‍රශ්නයයි. උපන්දිනයක් වුනත් නෙත් දෙකේ කඳුළු වගුරවමින් මෙය මට ලිවීමට තබා ඔහු පැන ගියේ කොහිදැයි මම තවම සොයමි . 


අවසාන වශයෙන් දියණියක ලෙස මගේ පරම  හා එකම පැතුම වන්නේ 


පියාණෙනි............... ඔබ නැවත උපන්නොත්  අපාර  වූ මේ  සංසාරේ .................මගේ පියා වේවා ............................... ඔබ මගේ පියා වේවා ...........................





විචාරක  දියණිය  රාත්‍රි 23.00 පැයට 


26 December 2016

කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි

   කාලෝ ෆොන්සේකා මහතා, අපේ රටේ බිහිවූ විද්වතුන් අතර, එක්තරා ආකාරයක විප්ලවීය චරිතයක් බව, ඔබ හොඳින්ම දන්නවා ඇති. ඔහුගේ දේශපාලන දර්ශනය හෝ කාලීනව වෙනස්වන අනෙකුත් ප්‍රතිපත්ති කෙසේ වෙතත්, හේතුවාදී චින්තකයකු ලෙස, 1970 දශකයේදී, ඔහු ලාංකික ජනතාවගේ චින්තනයේ වෙනසක් කරන්නට සමත් වුණා. ඒ තමයි, ලාංකික සමාජයේ මුල්බැස තිබුන මිත්‍යාවක් වන ගිනි පෑගීම, කිසිදු අආගමික වතාවත් කිරීමකින් තොරව, කිසිදු දේව ඇදහිල්ලකින් තොරව, කිසිදු ආගමික හෝ දේව වරමකින් හෝ ආධ්‍යාත්මික බලයකින් තොරව, විද්‍යාත්මක සාධක පමණක් ආධාර කරගෙන,  ඕනෑම කෙනෙකුට කළහැකි බව ඔප්පුකොට පෙන්වීම. 

   මේ දිනවල මට කියවන්නට ලැබුන එක්තරා පොතක් නිසා, මගේ මතකය, 1970 දශකය වෙත ඇදී ගියා. හේතුවාදී චින්තනය පිළිබඳව, එවකට මූලිකත්වය ගෙන ක්‍රියාකළ පුද්ගලයකු වන්නේ, ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර්. ඒ මහතාද මිත්‍යාවට එරෙහිව ජනතාවගේ චින්තනය වෙනස් කරන්නට ඉමහත් වෙහෙසක් ගෙන ක්‍රියා කළා. එවකට පාසල් සිසුන්ව සිටි අප, මේ කරුණු ගැන පුවත්පත්වල පළවුණු ලිපි සෑහෙන ගණනක්,  විශාල උනන්දුවකින් කියවූවා මතකයි. ඒ මහතා ගැන පසුව වෙනම ලිපියක් ලියන්නට සිතා සිටිනවා. 

මට කියවන්න ලැබුන පොත මෙන්න මේකයි.


  මේ  පොත, අද වෙළඳපොලේ මිළදී ගැනීමට තිබෙනවාදැයි, මා දන්නේ නැහැ. නමුත්, බුද්ධි වර්ධනය සහ චින්තනයේ නව පැතිකඩක් විවෘත කරගැනීම සඳහා, අනිවාර්යයෙන්ම කියවියයුතු පොතක් ලෙස, මේ පොත මා නිර්දේශ කරනවා. 

   අද සොයාගන්නට නොහැකි තරම් දුර්ලභ කරුණු රාශියක් කැටිකොට, මේ පොත සැකසීම පිළිබඳව, එහි කර්තෘ, නීතීඥ ධර්මපාල සේනාරත්න මහතාට, මගේ විශේෂ ගෞරවය සහ ස්තුතිය පුදකරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා. 

   හොඳයි, කාලෝ ෆොන්සේකා මහතාගේ ගිනි පෑගිල්ල ගැන, පොතේ තිබෙන පරිච්ඡේදය, එහෙම පිටින්ම මෙහි ඇතුලත් කරන්නේ, එය කිසිසේත් සංස්කරණය කල නොහැකි නිසයි. සංස්කරණය කලොත්, එහි ඇති මූලික රසය විනාශ වෙනවා. ඒ නිසා, ඉවසීමෙන් යුක්තව, පහත දැක්වෙන ස්කෑන් රූප වල ඇති විස්තර කියවන මෙන්, ඔබෙන් කාරුණිකව ඉල්ලනවා. 














































   අද අපේ රටේ, මිත්‍යාව කොතරම් තදින් පැතිරී තිබේද නැද්ද යන්න, ඔබටම සිතාගැනීමට ඉඩ තබා, සමුගන්නවා.

2016 දෙසැම්බර් මස 26 වැනිදින 2315 පැය 

16 December 2016

පස්මහ බැළුම්




නෑ නෑ ඒ පස්මහ බැළුම් නෙවෙයි, මේ මගේ පස්මහ බැළුම්. වැඩේ කියන්නේ, ඊයේ තමයි මේ ලිපිය ලියන්න ඕනේ. නමුත්, අද රෑට රෑ වෙලා තමයි මතක්වුණේ. මොනවා කරන්නද, මතක්වෙච්ච වෙලාවේදි වත් ලියන්න එපායැ. ඈ.........? මොකක් ගැනද ලියන්නේ කියලද ඇහුවේ. අනේ වෙන මොකක් ගැන ලියන්නද පින්වතුනි, මේ මගේම බ්ලොග ගැන ලියනවා ඇර. 

හප්පොච්චියෙ සෙල්ලන්ද කොල්ලො කිව්වලු. මේ දෙසැම්බර පහළොස්වැනිදාට, මේ බ්ලොග් කෙරුවාව පටන් අරන්, අවුරුදු පහක් වෙනවා ඔන්න. මට මතක්වෙන්නේ, මම පළමුවැනි පියවර තැබූ ආකාරයයි. හිතේ කිසිම විස්වාසයක් තිබුණේ නැහැ වැඩේ හරියයි කියලා. ටික දවසක් ලිපි එක දෙක ලියවෙනකොට තමයි, තමුන්නාන්සේලාගේ 'පෙතිචාර' ලැබුණේ. එයින් ලද අහවල් දහිරියෙන් තමා, අද වනතුරු ලියන්නේ. 

මේ අවුරුදු පහ ඇතුළත ලද, සතුටුදායක, කණගාටුදායක සහ අප්‍රසන්න අත්දැකීම් බොහොමයි. සතුටුදායක වන්නේ හොඳ ප්‍රතිචාර ලැබීම සහ සම්මාන වලින් ද පිදුම් ලැබීමට වාසනාවන්ත වීමයි. කණගාටුදායක වන්නේ, සමහර බ්ලොග් සහෘදයන්, බ්ලොග් ලිවීම මෙන්ම කියවීමද අතහැර දමා ඇති නිසයි.  අප්‍රසන්න වන්නේ අමන පුද්ගලයන්, රිසි සේ බ්ලොග් ලෝකය පුරා තම දූෂිත සිත්වලින්, බ්ලොග් කමෙන්ට් වසුරු හෙලීමයි. තවත් සමහරු නිර්ලජ්ජිතව මගේ ලිපි සොරකම් කොට තමන්ගේ මෙන් පළකිරීමයි. 

මගේ බ්ලොග් ලිපිවල ලියන යුද තොරතුරු සඳහා කමෙන්ට් වලදී  පින්තූර සහ වීඩියෝ යෙදීමට අවශ්‍ය වෙනවා. නමුත් ඉතා මෑතකදී, ගූගල් සමාගම, එම පහසුකම අත්හිටුවීම මටනම් බලවත් පාඩුවක්. මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියේදී නම් ඒ හිරිහැරය නැහැ. 

ලියන්නට දේ දහස් ගණනක්, මා මනසේද, මගේ පුස්තකාලයේද, තිබුණත්, එකවර කෙටුම්පත් කීපයක වැඩ කලත්, සමහර වෙලාවට කම්මැලිකමක් දැනෙනවා ලියන්න. ඒ රෝගය කාලෙන් කාලෙට බ්ලොග් ලියන්නන්ට වැළඳෙන රෝගයක් වෙන්න ඇති. 

ඉතා දීර්ඝ විස්තර රාශියක් සිතට ආවත්, ඒ සියල්ල යටපත් කරගෙන, මෙතෙකින් නවතින්නේ, 'සිතේ සවිය සහ ගතේ සවිය තිබෙනතුරු, ඔබ වෙනුවෙන් ලියමි' යන සිතුවිල්ල පෙරදැරි කරගෙනයි. 

2016 දෙසැම්බර් මස 16 දින 0020 පැය.

13 December 2016

හාබර් එකේ වැඩ වැරුමකි මහ සද්දේ......................... නැව් හමුදාපතිඳු හිටගෙන යම යුද්දේ.............................



මේ දිනවල අපේ සමහර මාධ්‍ය, තම එදාවේල සරිකරගන්නේ, හම්බන්තොට වරායේ සේවා වර්ජිත සේවකයන්ට පින් සිදුවන්නට බව, රහසක් නොවේ. අනෙක් අතින්, හක්කෙන් හක්කට මාරු කරමින්, තලු මරමින්, සූප්පු කරමින්, සාරය උරා බොන්නට, නාවික හමුදාපති වරයා සිටින්නේය. 



හම්බන්තොට වරායේ සේවකයන් පිරිසක්, බලහත්කාරයෙන් රඳවාගෙන සිටි විදේශීය නැව් දෙකක් මුදාගැනීමට, නාවික හමුදාව විසින් දියත් කළ ක්‍රියාන්විතයේදී, රූපවාහිනී මාධ්‍යවේදියකුට, නාවික හමුදාපතිවරයා විසින් පහර දුන්නේය යන සිද්ධිය පදනම් කරගනිමින්, විවිධ මාධ්‍ය වාර්තා, විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ තවමත් ප්‍රචාරය වන අතර, මේ සම්බන්ධව, සිංහල බ්ලොග් ලිපි සෑහෙන ගණනක් මේ වනවිට පලවී තිබෙනවා. 



ඒ අතර මෙම සිද්ධිය සාධාරණීකරණය කරන ලිපි ද, නාවික හමුදාපති වෙත දැඩි විරෝධය පලකරන ලිපි ද, ඇතුළත්. ලිපි කියවා දහස් දක්වන අය අතර ද, සිද්ධියට පක්ෂ විපක්ෂ අය සිටිනවා. 



මේ ලිපියත් පදනම් වන්නේ, එම සිද්ධි දාමයටමයි. මා උත්සාහ කරන්නේ, හැකිතරම් කෙටියෙන් මේ ලිපිය අවසන් කර, ඔබේ අදහස් වලට ඉඩ දීමටයි. 




වර්ජනය සාධාරණ ද, අසාධාරණ ද?


සාධාරණ වෙන්නත් පුළුවන් අසාධාරණ වෙන්නත් පුළුවන්. 

ඔබට මතක ඇති පසුගිය දිනවල හමුදා සාමාජිකයන් පිරිසක් තමන්ට විශ්‍රාම වැටුප් ඉල්ලා. උද්ඝෝෂණයක, සත්‍යග්‍රහයක, උපවාසයක යෙදුණා. ඇත්තෙන්ම ඔවුන් ඉල්ලුවේ කිසිසේත් දැනට පවතින නීතිය යටතේ ලබාදිය නොහැකි ඉල්ලීමක්. ඔවුන් සටනේදී ආබාධිත තත්වයට පත්වූ පසු, ඔවුන් විසින්ම තීරණය කළා, වන්දි පමණක් ලබාගෙන හමුදාවෙන් ඉවත්වන බව. මෙහිදී ඔවුන්ට කීපවිටක් පැහැදිළි කර දෙනු ලබනවා, එසේ හමුදාව හැර ගියොත්, ඔවුන්ට ඉන්පසු කිසිදු වරප්‍රසාදයක් අහිමි වන බව. ඒ බව පැහැදිළිව අවබෝධකරගත් බවත්, ඉදිරියේදී තමන් හමුදාවෙන් කිසිවක් බලාපොරොත්තු නොවන බවත්, මෙම තීරණය කිසිවකුගේ බලපෑමකින් තොරව ගන්නා ලද ස්වාධීන තීරණයක් බවත්, ප්‍රකාශ කරන ලිපි පහක්, එක් එක් හමුදා සාමාජිකයාගෙන් ලබාගන්නවා. 

මේ විදිහට හමුදාවෙන් අස්වූ ඔවුන් අර විදිහට උද්ඝෝෂණ කළේ, මේ රටේ රාජ්‍ය මුදල් රෙගුලාසි, හමුදා පනත, කණපිට හරවා, තමන්ට පූර්ණ විශ්‍රාම වැටුප් ලබාදෙන ලෙසයි. පසුගිය රජයට මේ ප්‍රශ්නය පහසුවෙන් විසඳන්න තිබුණා. සර්වබලධාරී මහින්ද රාජපක්ෂ ජනාධිපති උතුමාණන් වහන්සේ, රණවිරුවන් පිරිවරාගෙන ඔවුන්ගේ දුක සැප විමසන, ඔවුන් සමග ආහාරගන්න, දැවැන්ත කටවුට් රටපුරා ගහන අතරේ මේ ප්‍රශ්නයත් විසඳූවා නම්, තවත් කටවුට් එකක් ගහගන්න තිබුණා.

නමුත්, තමන්ගේ වාසියට රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස්කල ඒ රජය, මේ පිරිස අමතක කර දමා, අද පාරාජිකාවී සිටින කුප්පීදු දෙස්පාලුවන්ගේ ප්‍රතිරූප නංවන්න, මේ සෙබළුන් පාවිච්චි කළා. ප්‍රතිඵලය වුණේ, දුරදිග නොබලා ක්‍රියාකළ එක් සෙබළකුගේ (යුද්ධයේදීත් රැකුණු දෙනෙතින්)  ඇසක් අහිමිවීමයි.

මේ හාබර් සෙල්ලමේ පසුපස ඉන්නෙත්, පාරාජිකාවූ දේශපාලුවන්මයි. වර්ජකයන් සියලුදෙනාම පාහේ, කිසිදු වෘත්තීය සුදුසුකමක් නැතිව, හුදු දේශපාලන පාක්ෂික භාවය මත බඳවාගත් අයයි. (ලංකාවේ කොයි පක්ෂයත් බලයේ සිටිනවිට ඒ වැරැද්ද කරනවා) අර රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට අවශ්‍ය ආහාරපාන සැපයූ ආකාරයට, මේ 'හාබර් විරුවන්ට' , අරක්කු, කෑම, උපදෙස් සපයන, වනචර දශකයට අයත් දේශපාලු තාත්තලා පුතාලා සෙට් එකක් ඉන්නවා. 

හාබර් විරුවන් විසින්, අර නැව් දෙක වරායෙන් පිටතට ගැනීම අවහිර කලාට අමතරව, තවත් බරපතළ හානි කර තිබෙනවා. වරායේ කාර්යාලයීය උපකරණ, නිරීක්ෂණ කැමරා, විවිධ විද්‍යුත් උපකරණ, ජල සැපයුම් පද්ධතිය, මෙලෙස බරපතළ හානියට ලක්කළ දේපොළ අතර තිබෙනවා. මා දුටුවා එක් හාබර් විරුවෙක් කියනවා, වරායේ ඇති ඉන්ධන ටැංකි පුපුරා ගියොත් ඔවුන් වග නොකියන බව. 

උද්ඝෝෂණයක් හේතුවෙන් ඉන්ධන ටැංකි පුපුරන්නේ කොහොමද? හාබර් විරුවන් කෑගහන ශබ්ද තරංග වැදී, ටැංකි පුපුරනවද? එහෙම නැත්නම්, ඒ ටැංකි වලට හානිකර, ඉන්ධන පිටතට ගලායාමට සලස්වා, ඒ ඉන්ධන වලට ගිනි තැබීමෙන් පුපුරවා හරිනවාද? එහෙම දෙයක් කරන එකාට කුමක් කලයුතු ද

මේ කියන්නේ කුමක්ද?

 'උඹලා දන්නේ නෑ අපේ තරම, අපිට හිතුනොත් වරාය පුපුරවනවා. අපේ ලොක්කගේ ප්‍රතිපත්තිය තමයි, අපි ගෙනියන්නේ. තමන්ට හැමදාම ඉහගෙන කන්න නැත්නම්, ඔක්කොම සුන්නද්දූලි කරනවා. ආයේ කාටවත් ප්‍රයෝජනයක් ගන්න ඉතුරු කරන්නේ නෑ

ඒ කතාව නේද මේ කියන්නේ? ලොක්කා බලා ඉන්නේ, මේ හාබර් විරුවන් එකෙක් දෙන්නෙක්, හමුදාව හෝ පොලීසිය අතින් මැරෙනතුරුයි. උන්ගේ මිනී උඩින්, ආපහු වලෙන් ගොඩ එන්නයි, ලොක්කා සහ ලොක්කගේ හැත්ත බලා ඉන්නේ. 

පොදු දේපල, රාජ්‍ය දේපල, මෙලෙස හානි කිරීමට කිසිදු වෘත්තීය සමිතියකට, අයිතියක් නැහැ. ඒ නිසා, දැනට සිදුවී තිබෙන හානිය වෙනුවෙන්, මේ ඊනියා හාබර් විරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලයුතුයි.




වර්ජකයන් කල හානිය කුමක්ද?


හානිය ජාතික මට්ටමෙන් සහ ජාත්‍යන්තර මට්ටමෙන් යන දෙආකාරයෙන්ම සිදුවී තිබෙනවා. රාජ්‍ය දේපොළ හානි කිරීම ජාතික මට්ටමෙන් සිදුවී තිබෙනවා. අර විදේශීය නැව් දෙකට අවහිරයක් ඇති කිරීම, ජාත්‍යන්තර මට්ටමේ අපරාධයක් බව, එදාවේල ක්‍රමයට ජොබ් කරන මේ හාබර් විරුවන් දන්නේ නැහැ. දැනගන්න ඕනෑ කමකුත් නැහැ. එච්චර දෙයක් හිටන්න තරම් මොලයකුත් නැහැ. (ඕනෙම ප්‍රශ්නෙකින් අපිව ගොඩදාන්න අපේ ලොක්කා සහ ලොක්කාගේ සොක්කා ඉන්නවනේ) 

අපි හිතමු මෙලෙස අවහිර කලේ ඇත්තටම විදේශීය යුද්ධ නැව් දෙකකට කියා. එසේනම්, ඒ තත්වය, එම රටවලට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමක් හැටියටයි සැලකෙන්නේ.  ඒ නැව් අයිති රටෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කළොත් නැව් දෙක නිදහස් කරදෙන්න කියා, එ.ජා.ස. කියනවා අපිට, වහාම නැව් නිදහස් කරන්න, නැත්නම් එ.ජා.ස. හමුදාවක් යොදවා නැව් නිදහස් කරන්නට කටයුතු කරන බව. 

අන්න ඒ ටික වෙන්න කලින් තමයි, මේ පියවර ගත්තේ. ඒ සඳහා සෑමවිටම යොදවන්නේ, නාවික හමුදාවයි. මෙය ගුවන් යානා දෙකක් වුනානම්, එසේ නැතහොත් ගොඩබිම් කොටසක් අල්ලාගැනීමක් වුනානම්, පිළිවෙලින්, ගුවන් හමුදාව, යුද්ධ හමුදාව තමයි යොදවන්නේ. 




නාවික හමුදාපති කොට කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් සැරසී ආවේ ඇයි?


බොහෝ මාධ්‍ය වාර්තා කළෙත්, සමහර බ්ලොග් ලිපිවල ලියවී තිබුනෙත්, නාවික හමුදාපති, නිකම් 'බජාර් එකේ අයියා කෙනෙක්' වගේ ආවා කියලයි. ඇත්තටම මේ කොට කලිසම සහ ටී ෂර්ට් එකත්, නිළ ඇඳුමක්. මෙය, 'වැඩ කණ්ඩායම් ඇඳුම' working dress කියා සිංහලෙන් කියන්න පුළුවන්. ත්‍රිවිධ හමුදාවටම මෙලෙස 'වැඩ ඇඳුමක්' තිබෙනවා. ලෝකයේ සෑම නාවික හමුදාවකටම එය පොදුයි. නාවික යාත්‍රාවල දී, මේ ඇඳුම පහසුවක්. 




නාවික හමුදාපතිම මේ සඳහා ආවේ ඇයි


එය සේනාධිනායකයාගේ තීරණයක් වියහැකියි. විදේශීය නැව් දෙකක් හිරකරගෙන ඉන්න අවස්ථාවක, ජාත්‍යන්තර වශයෙන් ඇතිවියහැකි අර්බුදකාරී තත්වයකදී, කරුණු පැහැදිලි කිරීමට, නාවික හමුදාපතිවරයාම යෙදෙව්වා වියහැකියි.




වර්ජකයන්ට හෝ මාධ්‍යවේදීන්ට පහර දීමට බලයක් තිබෙන්නේ කාටද?


කාටවත් නැහැ/තියනවා. මාධ්‍යවේදීන්, පොලිස්/හමුදා ක්‍රියාවන්ට බාධා/අවහිර/විරුද්ධවාදීකම්/ඇතිවන ආකාරයට ක්‍රියාකරන්නේ නම්, පළමුව එතනින් ඉවත්වන ලෙස කාරුණිකව දැනුම් දීමටත්, දෙවනුව තදින් නියෝග කිරීමටත්, තුන්වනුව බලය පාවිච්චිකොට ඉවත් කිරීමටත්, හැකියාව තිබෙනවා. ඉතින් කුමන රජයක් බලයේ හිටියත් එහෙම බලය පාවිච්චි කොට මාධ්‍යවේදීන් ඉවත් කලොත් කියනේ 'අපිට ගැහුවා' කියලනේ. නැත්නම් විකුනන්න ප්‍රවෘත්තියක් නැහැනේ. පාරාජිකා වෙච්චි දේශපාලුවන්ට, උන්ගේ ඇඟේ ඇලී, පතාබරියන් වගේ ඉන්න, කවදාවත් ස්වාධීනව නැගීසිටින්න බැරි දේශපාලන සෝම්බි වරුන්ටත්, මේවා රස කෑම. මේ සිද්ධියේදී කුමක් වූයේද යන්න, එක වීඩියෝ ක්ලිප් එකකින් පමණක් තීරණය කිරීම, ප්‍රඥාගෝචර නොවන බව, සියලුදෙනා අවබෝධ කරගත යුතුයි. 

කෙසේවෙතත් මේ සිද්ධිය සම්බන්ධව නාවික හමුදාපතිවරයා විසින් තම සේනාධිනායකයා වෙත වාචිකව සහ ලිඛිතව කරුනු පැහැදිළි කිරීම වඩාත් හොඳයි. ඉඳුරාම, මාධ්‍ය වෙත, තම නිදහසට කරුණු කියන්නට නාවික හමුදාපතිවරයා බැඳී නැහැ.




මාධ්‍යවේදියා යනු කවරකුද


අපි පාසල් යන කාලයේ හිටියේ 'පත්තරකාරයෝ' විතරයි. මාධ්‍යවේදීන් හිටියේ නැහැ. ඒ පත්තරකාරයෝ, මහා විශ්මයජනක දේවල් කළා.

 ඩී.බී.ධනපාල, ගුණදාස ලියනගේ, බෙනඩික්ට් දොඩම්පෙගම, එඩ්මන්ඩ් රණසිංහ, දෙල්තොට චන්ද්‍රපාල, ධර්මසිරි ගමගේ, පෙරමුණේ තිලක, එඩ්වින් ආරියදාස, වැනි පත්තරකාරයන්ගෙන් අප ලද දැනුම, ඇත්තටම අද ඉන්න සමහර 'මාජ්ජ වේජීන්' කියාගන්නා උන්නැහේලාට හිතන්නවත් බැහැ.   

අපේ රටේ ඊනියා මාධ්‍යවේදීන්  ගැන මට තිබෙන අප්‍රසන්නම අත්දැකීම වන්නේ, යුද්ධයේ අවසාන භාගයේදී, යුද වාර්තාකරණය සඳහා, පැමිණි සමහර විද්‍යුත්/මුද්‍රිත ජඩ මාධ්‍යවේදීන් ගේ හැසිරීමයි. ඔවුන්ව ඉතා පහසුවෙන් අරක්කු වලට, කෑම වලට, නම්මවා ගන්න පුළුවන්කම තිබුණා. සමහර සේනාංකාධිපතිවරුන්, හීන් නූලෙන්, තම ප්‍රතිරූපය නංවාගන්න මේ ජඩමාධ්‍යවේදීන් පාවිච්චි කළා. ඒ කියන්නේ, ඔවුන් ස්වාධීන මාධ්‍යවේදීන් නොවන බවයි. 

එමෙන්ම නිලධාරි නිවස්නයක නවාතැන් ලබාදුන් පමණින්, ඔවුන්ගෙන් සමහරක් අය, තමනුත් ශ්‍රී ලංකා යුද හමුදාවේ අධිකාරී ලත් නිළධාරීන් යයි සිතාගෙන කටයුතු කළා. සමහර ජ්‍යොෂ්ඨ නිලධාරීන්ට මචං කියා අමතන්නට ගොස්, හොඳ හරුප අහගෙන, බලුකුක්කන් තත්වයට වැටුණා. නිලධාරි නිවස්නයේ කාර්‍ය මණ්ඩලයේ සැරයන් මේජර් වරුන්ට, මාණ්ඩලික සැරයන් වරුන්ට, කෝප්‍රල් වරුන්ට, අණදෙන්න උත්සාහ කළා. සුළු සේවකයන්ට, 'ඒයි තමුසේ' බාසාවෙන් කථා කර, කාර්‍ය මණ්ඩලයෙන් බැනුම් අහගත්තා. යුද වාර්තාකරණය ලෙස ඔවුන් කළේ, ඒ ඒ සේනාංකයේ සිටින බුද්ධි නිලධාරීන් විසින් ලබාදෙන තොරතුරු, තමන්ගේ දෑසින් දුටු ආකාරයට පළකිරීමයි. 

මේ මාධ්‍යවේදීන් යුද වාර්තාකරණය ගැන පුහුණුවක් නොලැබූ අය නිසා, ඔවුන්ව ඉතා කලාතුරකින් පමණයි, පෙරමුණට ගෙනගියේ. ත්‍රස්තවාදීන්ගෙන් අල්ලාගත් ප්‍රදේශවල ආරක්‍ෂාව තහවුරු කලාට පසුව පමණයි, ඔවුන්ව ඒ තැන් වලට ගෙනගියේ. කිසිදු මාධ්‍ය ආයතනයක්, යුද වාර්තාකරණය ගැන තම මාධ්‍යවේදීන්ට පුහුණුවක් දෙන්න උත්සාහ කලේ නැහැ. 

සමහර මාධ්‍යවේදීන් එකිනෙකා සමග අසභ්‍ය වචනයෙන් බැනගත්තා, එක් අයකු දන්නා තොරතුරු, අනෙක් අය සමග බෙදාහදාගන්නේ නැතැයි කියා. මෙයින්, කරුණු කීපයක් ගම්‍ය වනවා. එකක්, තමන් මහන්සිවී තොරතුරු සොයන්න තරම්, සමහර මාධ්‍යවෙදීන් වෘත්තීයමය පරිචයක් ලබා නැති බව. අනුන්ගෙන් යැපීමෙන්, සමහරවිට තමන් අතින් ලියවෙන්නේ, සත්‍ය තොරතුරු නොවන බව සිතන්නට තරම්, සදාචාරයක් නැතිවීම. ඇත්ත නැත්ත කොහොම වෙතත්, අනෙක් මාධ්‍ය ආයතන වලට කලින්, උණු උණු (කුණු) පුවත් හැකිතරම් ඉක්මනින් මහජනතාව අතට පත්කිරීම.  

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කියන්නේ කවුද

අනේ මේ අයට නිදහසේ කතාකරන්න දුන්නොත්, උන් තමන්ගේ පාලකයන්ගේ හත්මුතු පරම්පරාවටම සාප කරනවා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වර්ග දෙකක්වත් ඉන්නවා, අවම වශයෙන්. එක් වර්ගයක් වන්නේ, යම්කිසි රැකියාවක යෙදෙන අතර, වාර්තාකරනයේත් යෙදෙන අය. අනික් වර්ගය වන්නේ පූර්ණකාලීනව මාධ්‍ය වාර්තාකරණයේ යෙදීම. එහෙම පූර්නකාලීනවකටයුතු කරන අය මාධ්‍ය ආයතන කීපයකට තොරතුරු සපයනවා. නැත්නම් හාමතේ මැරෙන්නයි වෙන්නේ. 

මේ අයගෙන් බහුතරය උපරිම වශයෙන් අපොස උසස්පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ අය. නමුත් බොහෝ දෙනෙකුගේ භාෂා හැකියාව කණගාටුදායක ලෙස දුර්වලයි. පුවත්පත් වාර්තා කියවීමේදී මොවුන් අතින් ලියවෙනදෙකොනින් හිනායන වාග්මාලා, යෙදුම්, ග්‍රාම්‍ය වචන, දකින්නට ලැබෙනවා. එමෙන්ම මොවුන් දින දෙකතුනකට වරක්වත් 'නැගලා යන' වර්ගයේ ප්‍රවෘත්තිය නොදුන්නොත් බලු බැණුම් අහන්න වෙනවා, තමන්ගේ මාධ්‍ය ආයතනයෙන්. සමහරවිට රැකියාව අහිමි වෙන්නත් පුළුවන්. 

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පමණක් නොව, මාධ්‍ය ආයතනවල සේවය කරන සමහර මාධ්‍යවේදීන්ගේ පවා සාමාන්‍ය දැනුම ඉතා පහල මට්ටමක පවතින්නේ. ඔවුන්ගෙන් අතිමහත් බහුතරය, තම රැකියාවට අදාළ ඒකාකාරී කාලසටහනක දිනපතා නියැලෙනවා විනා, මාධ්‍යවේදියකු ලෙස තම ඉදිරි දැක්මක් සහ දියුණුවක් ගැන උනන්දුවන්නේ නැහැ.

විශේෂයෙන් අන්තර්ජාතික මට්ටම කුමක්ද යන්න අධ්‍යයනය කරන්නේ නැහැ. එමෙන්ම එවැනි අයට තම වෘත්තීය දැනුම දියුණු කරගැනීමට සහ සාර්ථක වෘත්තීය මාධ්‍යවේදියකු වීමට මගපෙන්වන ආයතන නැතිවීමත් බලවත් අඩුවක්. ජනමාධ්‍යවේදී උපාධිය හෝ ඩිප්ලෝමාව පමණක් තිබීම සියල්ල කරන්නට ලැබුන බලපත්‍රයක් ලෙස සිතන අමනොඥ මාධ්‍යවේදීන් ද සිටිනවා. 

ඔනෑම සිද්ධියක් මැද්දට පැන, ඕනෑම රාජ්‍ය ආයතනයක් අස්සට රිංගා, (පෞද්ගලික ආයතන ඇතුලට රිංගන්න ඉඩ ලැබෙන්නේ නැහැ. එවිට ආඩාපාලි කියමින් පැත්තකට වෙනවා. හේතුව, කොහෙන් හෝ රිංගා, 'වාර්තාකොරණය' නොකිරීම ගැන, තම ලොක්කන්ගෙන් බැණුම් අහන්නට සිදුවීමයි)  හැරුණු හැරුණු අතේ පින්තූරගන්නට, විශේෂ අධිකාරි බලයක් තමන්ට ඇති බොහෝ මාධ්‍යවේදීන් සිතනවා. කොස්ගම පිපිරීම සිදුවෙමින් අවස්ථාවේ දී, මේගොල්ලන්ට ඇතුලට යන්න ඉඩ දෙන්නයි තිබුණේ, හොඳ අත්දැකීමක් ලබාගැනීම සඳහා. 

මාධ්‍යවේදීන් සෑම හමුදා නිලධාරියාවම දැන සිටිය යුතු නැහැ. නමුත් හමුදාපතිවරුන්ගේ නමවත් දැන සිටිය යුතුයි. ඒ ඒ විෂයය භාර ඇමතිවරුන්, රජයේ නිලධාරීන්, ( මහේස්ත්‍රාත්, ප්‍රාදේශීය ලේකම්, වෛද්‍ය අධිකාරි, අඩවි වන නිලධාරි, සුරාබදු නිලධාරි වැනි) පිළිබඳව ද දැනසිටිය යුතුයි. 

නාවික හමුදාපති සම්බන්ධ සිද්ධියේදී ඔහුට තිබුණා, ඒ නිලධාරියා දකිනවිටම, ඒ කවුද කියා නාවික හමුදා සාමාජිකයකුගෙන් අසා දැනගන්න. එහෙම කලානම්, මීටත් වඩා හොඳට නාවික හමුදාපතිවරයා යම් අකටයුත්තක් කලානම්, වාර්තා කරන්න තිබුණා. එකවරම ඔහුට බාධාවන පරිදි සිටීම නිසා, මාධ්‍යවේදියාට හොඳ අවස්ථාවක් මගහැරුණා. 

ගැටුම් වාර්තාකරණය යනුවෙන්, මාධ්‍යවේදයට අදාළ වැදගත් කොටසක් තිබෙනවා. මෙහිදී සාධාරණත්වය සහ අපක්ෂපාතිත්වයට ඉහල සැලකීමක් දියයුතුයි. මේ සිද්ධිය වාර්තා කරන්න හිරු මාධ්‍ය ජාලයේ වාර්තාකරුවකු පමණක් මෙලෙස අස්සට රිංගුවේ ඇයි? එය පෙර සූදානමකින් කල දෙයක්ද

ඊයේ පැවැත්වුණු රූපවාහිනී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, අර්ජුන රණතුංග ඇමතිවරයා ප්‍රකාශ කළා, තමා මේ සිද්ධියට පෙරදින එම ස්ථානයට ගියවිට, එක්තරා වියුත් මාධ්‍යවේදියකු, පසුදින ද පැමිනෙන මෙන් අමාත්‍යවරයාගෙන් ඉල්ලාසිටි බවත්, ඒ ඇයිදැයි විමසුවිට, එම මාධ්‍යවේදියාට වඩාත් වාසිවන ආකාරයට තොරතුරු වාර්තා කලහැකිවන්නේ, එලෙස පසුදිනත් පැමිණියහොත් බව, එම මාධ්‍යවේදියා ප්‍රකාශ කල බවත්. මෙයින් පෙනෙන්නේ, අපි නොදන්නා විවිධ සෙල්ලම් තිරය පසුපස සිදුවන බවයි. 

මේ ප්‍රශ්නය විසඳන්න කළයුතුව තිබුණේ කුමක්ද

මෙවැනි ගැටුමකදී ක්‍රියා කලයුතු ආකාරය මීට පෙර ද මා, රතුපස්වලසිද්ධිය ඇසුරෙන් ඔබට පැහැදිළි කර දුන්නා. ඇත්තටම මේ ප්‍රශ්නය විසඳන්න මට අවස්ථාවක් ලැබුනානම්, මා එය කරන්නේ, මෙන්න මෙහෙමයි. 

1. හමුදා/පොලිස් ඔත්තුකරුවන් යොදවා, වර්ජකයන්ගේ ප්‍රමාණය, ඔවුන්ගේ චිත්ත ධෛර්යයේ ප්‍රමාණය, හදිසියකදී ඔවුන්ට පිටතින් ආධාර ලැබෙන්නේනම් ඒ කාගෙන්ද කොහොමද කියා සොයා බැලීම. 

2. මේ පිරිස මර්දනය/අකර්මන්‍ය කිරීම සඳහා ජීවිත හානි නොවන ආකාරයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සහ, ප්‍රහාරක උපක්‍රම සලකා බැලීම. 

3. පොලීසිය යොදවා, වර්ජකයන්ගේ අවධානය පොලීසිය වෙත යොමු කරවාගනා අතර, එය දිගින් දිගට ඇදෙන රඟපෑමක් කරමින්, නාවික හමුදා ක්‍රියාන්විතයට අවශ්‍ය වෙලාව ලබාගැනීම. තවත් පොලිස් කණ්ඩායමක් යොදවා, වර්ජකයන්ට පිටතින් ලැබෙන ආධාර වලට ප්‍රහාර එල්ලකොට, පලවා හැරීම. මේ වෙලාවේ, ඒ ප්‍රදේශයේ සියලුම ජංගම දුරකථන සංඥා ක්‍රියාවිරහිත කිරීම.

4. ප්‍රහාරාත්මක තත්වයක් ඇතිවී තිබෙන බැවින්, ජීවිත වලට වගකිව නොහැකිවන නිසා, මාධ්‍යවේදීන්ට වහා එම ස්ථානයෙන් ඉවත්වන ලෙස දැන්වීම. ඉවත් නොවන මාධ්‍යවේදීන්ව ඡායාරූප ගතකර ගැනීම. පළිගන්න නෙවෙයි. වාර්තා තබාගන්න.

5. නාවික හමුදා කිමිදුම් කරුවන් සහ විශේෂ ප්‍රහාරක බෝට්ටු බලගණය Special Boat Squadron = SBS යොදවා, තුවාල සිදු නොවන, එහෙත් කම්පනයට සහ අධික තැති ගැන්මට ලක්වන, බෝම්බ ප්‍රහාරයක් Stun Grenade  එල්ලකොට වර්ජකයන් පලවා හැරීම. (මේ වෙලාවේදී පොලීසියට පුළුවන් පන්න පන්නා පහරදී, (රබර් උණ්ඩ, කඳුළු ගෑස්) තුවාල සිදු නොකොට ඔවුන්ව වරාය පරිශ්‍රයෙන් සම්පූර්ණයෙන් එලවා දමා, යළි පැමිණීමට නොහැකිවන ආකාරයට, පොලිස් ආරක්ෂාවක් යොදන්න) 

6. නාවික හමුදාව, අර නැව් දෙක නිදහස් කරගෙන, වරායෙන් පිටතට රැගෙන යාම. 

මතකතියාගන්න. එක්තරා කියමනක් තිබෙනවා, කේක් එක අතේ තියාගෙන ලස්සන බලන්නත්, කන්නත් දෙකම කරන්න බැහැ. එක්කෝ ලස්සන බැලිය යුතුයි, නැත්නම් අනුභව කලයුතුයි. You can't have the Cake and eat the Cake.

අසභ්‍ය වචන වලින් ඉදිරිපත් කරන කමෙන්ට්ස් කපාහරිනු ලැබේ.

2016
දෙසැම්බර් මස 13 වැනි දින 1148 පැය.
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }