හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label සංචාරක සටහන්. Show all posts
Showing posts with label සංචාරක සටහන්. Show all posts

23 February 2014

අපේ වාර්ෂික සංචාරේ

  UNITYමම මීට කලිනුත් ලිපි දෙකක් ලියලා තියනවා, අපේ වාර්ෂික සංචාරය ගැන. පළමුවැනි ලිපිය මෙතනින් සහ දෙවැනි ලිපිය මෙතනින් බලන්න පුළුවන්. සෑම අවුරුද්දකම, පෙබරවාරි හතර වැනිදා, ඒ කියන්නේ ජාතික නිදහස් දිනයේදී, අපේ පුංචි ජනාවාසයේ ඉන්න මහජනතාවගේ, සුබසිද්ධිය වෙනුවෙන් පවත්වාගෙන යන, සුබසාධක සංගමයෙන්, චාරිකාවක් යනවා. මේ රූපයේ තියෙන්නේ අපේ සමිතියේ ලාංඡනය. සමිතියේ නම, එක්සත් සුබසාධක සමිතිය. 
  මෙහි අය කිරීම් බොහොම සාධාරණයි. මෙවර, එක පවුලකින් (කීදෙනෙක් ආවත්) අයකළේ, රු 1500/- යි. ඒ මුදලට උදේ දවල් රාත්‍රී ආහාරයත් ඇතුළත්. නමුත් ඒ මුදල මදි අවශ්‍ය වියදම් පියවන්න. ඒ නිසා ඉතිරි වියදම් සියල්ල දරන්නේ සමිති අරමුදලෙන්. වාර්ෂිකව ලොකු පොලියක් ගන්න හොඳ ස්ථිර තැන්පතුවක් අපේ සමිතියට තියනවා. ඒ නිසා මෙවැනි සුබසාධනයක් කරන්න පුළුවන්.
   දැනට අපේ සමිතියේ වයස අවුරුදු 10 යි. නමුත් අපි පොදු සේවා රැසක් සපයනවා. 5 වසර, අපොස සා පෙළ, උසස්පෙළ, ඉහළින් සමත්වන අපේ සාමාජික පවුල්වල දරුවන්ට, ශිෂ්‍යාධාර ලබාදෙන අතර, සමස්ත ලංකා මට්ටමෙන්, ක්‍රීඩා, නර්තන, නව නිර්මාණ, ආදී කටයුතුවලින් විශේෂ දක්ෂතා දක්වන, අපේ සාමාජික පවුල්වල දරුවන්ටත්, විශේෂ මුදල් ත්‍යාග පිරිනමනවා.
   මේ හැර අපි රු 35000/- ක අවමංගල්‍යාධාරයක්, සාමාජිකයකුගේ දෙමවුපියන්ගෙන් අයකුගේ මරණය, ඔහු/ඇය ගේ කලත්‍රයා ගේ මව හෝ පියාගේ මරණය, වෙනුවෙන් ගෙවන අතර තම දරුවන් සහ තමන්ගෙන් යැපෙන අය වශයෙන් සමිතිය විසින් පිළිගන්නා අය වෙනුවෙන්ද රු 35000/- ක අවමංගල්‍යාධාරයක් පිරිනමනවා. සාමාජිකයකු මියගියවිට, ඔහුගේ කලත්‍රයාට හෝ ප්‍රතිලාභියා ලෙස කලින් නම්කර තිබුන අයට, රු 35000/- කුත්, ඔහුගේ/ඇයගේ විවාහක දරුවන්, එක් අයකුට වඩා වැඩි ගණනක්, වෙනමම සාමාජිකයන් ලෙස සමිතියට බැඳී සිටිත් නම්, ඔවුන් අතර සමසේ බෙදීයන පරිදි තවත් රු 35000/- කුත් ලබාදෙනවා.  (මේ ආධාරයට අමතරව කොඩි, පුටු, කූඩාරම්, අවමංගල්‍යය දිනයේ දිවා ආහාරය, ආදියද සැපයෙනවා) 
   මේ හැර අපි මහා පරිමාණයෙන් අවුරුදු උත්සවයක්, පොසොන් සමයේදී අනුරාධපුර වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් බත් දන්සලක්, පවත්වන අතර, සංවත්සර උත්සවයද සංගීත ප්‍රසංගයක් සහිතව මහ ඉහළින් පවත්වනවා. අපේ සමිතියටම වෙන්වූ ක්‍රීඩා පිටියක් සහිත, හොඳ සමිති ශාලාවක්ද අපිට තියනවා. අපේ සමිතියේ මාසික සාමාජික මුදල රු 100/- ක් පමණයි. අපි දැනට රු ලක්ෂ 45 ක පමණ පානීය ජල ව්‍යාපෘතියක් සැළසුම්කර තිබෙනවා. ඔන්න අපේ සමිතියේ චූර්ණිකාව.
   සාමාන්‍යයෙන් අපි වාර්ෂික සංචාරය යන්නේ පෙබරවාරි 4 වැනිදා වුනත්, මෙවර ඊට පසුදිනය වැඩ කරන දිනයක් වූ නිසා පෙබරවාරි 8 වැනි සෙනසුරාදා තමයි සංචාරය යන්න සිදුවුණේ. ඔන්න ඉතින් කතාව ඉවරයි මෙතන ඉඳලා පින්තූර බලමු. මෙවර අපේ සංචාරයේ ප්‍රධාන අරමුණ වුණේ මාදු ගඟේ පරිසර සවාරියක් යාමයි. බෝට්ටු වලින් ගිය මේ සවාරියට පැය 4 ක පමණ ගතවුණා.
හපෝ..........මේ පාන්දර 5 ට නෝනලා තම රැහැයි කටහඬවල් අවදි කල ආකාරය. 
1
කුරුණෑගල ඉඳලා, පස්යාල, කිරිඳිවැල, හංවැල්ල, හෝමාගම, පහුකරගෙන කොට්ටාවෙන් රිංගුවා අධිවේගී මාර්ගයට.  හයිවේ ද බුරුල්වේ ද මම දන්නෑ හැම වාහනයක්ම දිව්වේ, පස්සෙන් කවුරුහරි පන්නනවා වගේ. මම ප්‍රථම වතාවට අධිවේගී මාර්ගයේ බස් එකේ හිටගෙන ගියා පින්තූර ටිකක් ගන්න.
2
මේ පින්තූරයේ වම්පැත්තේ පෙනෙන ආකාරයේ ඉඩකඩ සහිත ස්ථාන කීපයක් තිබෙන බව මේ පාරේ යන අය දන්නවා ඇති. මම මෙවර පැහැදිළිව දැක්කා (බස් එකේ ඉදිරිපස දොර ළඟ හිටගෙන ගිය නිසා) හොරෙන්ම එළියට යන්න පුළුවන් තැනක් තියනවා. අපි ගිය බස් දෙකෙන් එකක රියදුරා උපතින්ම ඇඟ පුරාම මොලය තියන කෙනෙක්. ඒ බස් එකේ ගිය අයගේ කීම නොඅසා දොඩම්ගොඩින් එලියට යන්න තියෙද්දී මෙයා ගාල්ලටම යන්න තියන පිවිසුමට දාලා ආයෙත් බස් එක රිවස් කළා. ඒ වරද වෙනුවෙන් රු 1500/- දඩයක් ගෙවන්නත් මෙන්න මෙතනට වෙලා පැයක් විතර රස්තියාදු වෙන්නත් සිදුවුනා. එයින් සිදුවුණේ උදේ කෑම ගැනීම 10 ට විතර කරන්න සිදුවීමයි. 
3
පුංචි කවීෂාට නම් මෙව්වා ගානක්වත් නැහැ. අනාගතේදී මෝස්‌තර නිරූපිකාවක් වෙන්නද දන්නේ නෑ මේ ඉරියව්වෙන් ඉන්නේ.
4
පිට මාදු ගඟේ සවාරිය සඳහා බලපිටියට යන්න තිබුණත්, උදේ කෑම ගන්න ස්ථානය තිබුනේ දොඩම්ගොඩ නිසයි, අධ්වේගී මාර්ගයෙන් එළියට ආවේ. ඔන්න ඉතින් මාදු ගඟටත් ආවා කියමුකෝ. එක බෝට්ටුවක් රු 4000/- ගානේ, මහ විසාල බෝට්ටු 5 ක් ඕනේ වුණා, අපේ මුළු නඩේම ගෙනියන්න.
5
හැබැයි, බෝට්ටුවට දුන්න සල්ලි කිසිම පාඩුවක් නැහැ කියලා හිතුණේ, දකින්නට දුර්ලභ, අලංකාර, කඩොලාන පරිසරය තුළින්, අපේ බෝට්ටු හෙමින් හෙමින් ඇදීයනවිටයි.
6
මේ ජාකොටු ගැන අපේ පිරිසේ හිටිය පාසල් ළමුන් ප්‍රශ්න කෝටියක් අහන්න පටන්ගත්තා. අපේ බෝට්ටුවේ ක්‍රියාකරු, ඔවුන්ට සියළු කරුණු කියාදුන්නා.
7
පි මුලින්ම ගොඩබැස්සේ, විශාලතම දූපතට. එහිදී අපිට ලස්සන පරිසරයක් දකින්නට ලැබුණා.
8
මේ තියෙන්නේ ලස්සන මලක්. ඇත්තටම මෙය හොඳ ඖෂධයක්. සෙංගමාලය රෝගීන්ට මේ කොළ වලින් කැඳ හදලා බොන්න දෙනවා. මේ තමයි හීන් බෝවිටියා. කවුරුහරි පිටරටක එකෙක් දැනටමත් මේකේ පේටන්ට් අයිතිය අරන්ද දන්නේ නෑ.
9
ඒ විතරක් නෙවෙයි. වයඹ පළාතේ අපිට දකින්නට නොලැබෙන දෙයක් වන, කුරුඳු තැලීම කරන්නේ කොහොමද කියලා බලන්නත් ලැබුණා.
10
පි මෙව්වා බලන අතරේ තවත් කට්ටියක් වෙනත් වැඩක නිරතවුණා. ඒ තමයි මාළුවන්ට කියලා තමන්ගේ දෙපා පිරිසිදු කරගැනීම. මේ සඳහා එක්කෙනෙකුගෙන් රු 50/- ක් අයකළා. නමුත් විදේශීය සංචාරකයකුගෙන් නම් ඊට වඩා මහ ඉහළ ගණනක් අය කරන බව දැනගත්තේ, අපේ නඩයේම සිටි, අපේ එක සාමාජිකයකු මේ තැන් හොඳට හඳුනන, සංචාරක මගපෙන්වන්නකු වීම නිසයි.
11
මේ ඉන්නේ ඒ මාළු. මටනම් දුකයි මේ වගේ ලස්සන මාළුන්ට කියලා කකුල් පිරිසිදු කරගන්න. ඒ නිසා මම කළේ මේවා නැරඹීම පමණයි.
12
ඊළඟට අපි ගියේ තවත් දූපතක පිහිටා තියන කොත්දූව රජමහා විහාරය වන්දනා කරගන්නටයි.
13
ශාන්ත නිසසල පරිසරයක පිහිටි මේ විහාරස්ථානය, ඇත්තෙන්ම, සෑම දෙනා තුළම, බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිකරනවා.
14
කොත්දූව පන්සල බලන්න ඇවිත් හිටිය පුංචි සුද්දියෙක් අපේ කණ්ඩායමේ පුංචි කල්ලියෙක් එක්ක බෝ මළුවේ සෙල්ලම් කළා.
15
මාදු ගඟේ සංචාරය ඉවර කරලා එනගමන් කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් බලන්නත් ගියා. හැබැයි සුදු කැස්බෑවන් නම් දකින්න ලැබුනේ නැහැ. මේ ඉන්නේ කුඩා කාලයේ දී අනතුරකට ලක්ව, කටුව කැඩී ගිය කැස්බෑවෙක්.
15a
කොස්ගොඩට ගොඩබැස්සේ, හෝ ගාන පොකුණෙන් නාගන්නයි.
16
මම අපේ ඇත්තිට  මේ ගමන එන්න කලින්ම කිව්වා,  ඉස්සර කැළණි ගඟේ දිය කෙළියේ යෙදුනු ආකාරයට, (අපි දෙන්නා විවාහවූ අලුත දිනපතා නෑවේ කැළණි ගඟෙන්) අදත්, බලා ඉන්න අයට ආදර්ශයක් වශයෙන්, දිය කෙළියේ යෙදෙමු කියලා. ගෙදරදී, අනේ මට බෑ ඔය මිනිස්සු ගොඩේ නාන්න කියලා කියපු ගෑණි, මෙන්න බොලේ  මටත් හොරෙන්ම ඇඳගෙන හිටිය ඇඳුම් පිටින් මූදට බැහැලා.
17
තවම දාසයයි මාසයයි වගේ පෙණුම ......නේද?
අනේ මමනම් බහියි අපේ නඩේ ගෑණු බලා ඉන්දැද්දී. ඊටත් වැඩිය මං වගේ සත්පුරුසයෙකුට එතන කොහොමවත් නාන්න බැහැ. සිල් බිඳෙනවා. මෙන්න මෙව්වා පිරිලා.
IMG_2611
මම අර අපේ කට්ටියට උදව් කළා, වැටකෙයා පඳුරු හෙවණේ අර අරවා කටේ වක්කරගන්න. 12 ක් ඉවරයි කියනවා වගේ යන්තම් මතකයි. කාටද අප්පා ඔව්වා ගණන් මතක තියෙන්නේ. ඔය අතරේ අර මෙව්වා එකක් ආවා එතනින් යන්ඩ. අනේ ඒක පැදන් ආපු හාදයාට කීයක්ද අත මිටමොලවලා ටිකවෙලාවකට අපේ පොඩිඑවුන් ඒකෙ නැගලා විනෝද වුණා.
18
සමහරුන් පණපිටින් වැලලෙන්න ගියා.  
19
 ඕනෙ මගුලක් කරගනින් කියලා අපි යන්න යනකොට මෙන්න නැගිටලා එනවා. 
නීල මහා යෝධයාගේ මල්ලිත් අපිත් එක්ක සංචාරයට ආවා.
IMG_2615
සැන්දෑවට ගලන්න ඉඩ දෙමින් අපි වෙරල තීරයෙන් සමුගත්තේ ආපහු ගෙදර එන්න හිතාගෙනයි.  
20
රෑ වුණා කියලා බලන්නේ නැතුව පටන් ගත්තේ නැතැයි සාජ්ජේ.
22
ඒ වුනාට කොහෙද 13 වෙනි එක ඇරියේ ආපහු එනගමන්. අනේ ඇත්තට මෙහෙමත් .......................
23
ඔන්න ඔහොමයි අපි 2014 වසර වෙනුවෙන් සංචාරයේ යෙදුනේ. ඔක්කොගෙම කැමරා වලින් ගත්ත පින්තූර හාරසිය ගණනකින් තෝරගත්ත ඒවා තමයි මේ දාලා තියෙන්නේ.
my-signature-for-blog[1]2014 පෙබරවාරි මස 23 වැනි දින 0031 පැය

16 May 2013

ලංකාවේ දිගම, එල්ලෙන (සංගිලි) පාලම – The Longest Suspension Bridge in Sri lanka


  Ruwanwella Dutch Fortමම 1979 සිට 2000 දක්වා පදිංචිව සිටියේ සබරගමු පළාතේ, කෑගල්ල දිස්තිරික්කයට අයත්, රුවන්වැල්ල ප්‍රදේශයේ. අදටත් ඒ ප්‍රදේශය සමග තියන සබඳතා පෙර ලෙසම පවතිනවා. අවම වශයෙන් මාස දෙක තුනකට වරක්වත් ඒ පැත්තේ යැවෙනවා. වෙන එකක් තියා, මගේ ජංගම ගිණුම තවම තිබෙන්නේ, රුවන්වැල්ල ලංකා බැංකු ශාඛාවේ. ඔබ දන්නවා ඇති රුවන්වැල්ල කියන්නේ ඓතිහාසික කෝට්ටේ, සීතාවක, මහනුවර යන රාජධානි සමයයන්හිදී  බොහොම ප්‍රචලිත නගරයක් බව. කෝට්ටේ රාජධානියේ සිට සීතාවක හරහා කන්ද උඩරටට යන මාර්ගය වැටී තිබුනේ මේ අසළින්. මේ නගරය ආශ්‍රිතව කැළණි ගඟේ තිබෙන ඓතිහාසික තොටුපොළ අතීතයේදී කැළණි ගඟ ඔස්සේ ගමන් කල යාත්‍රා නැවැත්වීමේ ප්‍රධාන තොටුපොළ වුනා. ලන්දේසීන් පවා එය පාවිච්චි කර තිබෙනවා. ඒ වගේම රුවන්වැල්ල නගරයේ අද පොලිස් ස්ථානය සහ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල අතර ප්‍රදේශයේ තිබෙනවා, ඉපැරැණි ලන්දේසි බළකොටුවක කොටස්. ක්‍රි.ව. 1817 දී තමයි මෙය ඉදිකර තිබෙන්නේ. රුවන්වැල්ල ගැන සංක්ෂිප්ත විස්තරයක් මෙතනින් බලන්න පුළුවන්. මේ පින්තුරයේ පෙනෙන්නේ බලකොටුවේ දොරටුවයි.
රුවන්වැල්ල නගරය අසළින් ගලා බසින කැළණි ගඟ, නගරයට එක්කරන්නේ, වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සිරියාවක්.
  ඊයේ මගේ ලොකුදුවට හදිසි රාජකාරි අවශ්‍යතාවක් පැන නැගුනා, රුවන්වැල්ලට යන්න. ඉතින් අද (2013/05/15) මමත්, බිරිඳත්, ලොකු දුවත්, රුවන්වැල්ලට ගියා. ලොකු දුවගේ අවශ්‍යතාව ඉටුවනතුරු නගරයේ රැඳී සිටි මම, හිතවතුන් සමග කතාකරමින් නගරය පුරා ඇවිද්දා.
  ප්‍රධාන පාර පළල් කිරීම සඳහා, (සබරගමු පළාතේ ප්‍රධාන නගර දෙක වන රත්නපුර සහ කෑගල්ල නගර දෙක යා වෙන මාර්ගය) නගරයේ වෙළඳසල් සහ වෙනත් ගොඩනැගිලි රාශියක් කඩා ඉවත් කර තිබෙනවා. මේ කඩා බිඳ දැමීම් රුවන්වැල්ල බලකොටුවට බලපෑමක් වේදෝ යන හේතුව නිසා ඒ පැත්ත කැඩීම අත්හිටවා තිබෙනවා. මේ තියෙන්නේ ඊට අදාළ ප්‍රවෘත්ති වාර්තාවක්.


තමන්ගේ කඩ කැඩීම නිසා දුකට පත්,  මා හඳුනන කඩ මුදලාලිලාගේ අෙඳා්නා වලටත් ඇහුම්කන් දෙමින්, මහජන පොළ ළඟට පැමිණිවිට, මගේ පැරණි හිතවතකු හමුවුනා. ඔහු සමග පිළිසඳරේ යෙදෙමින්, ගඟ දෙසට ඇවිදිමින් සිටියදී තමයි, මේ එල්ලෙන පාළම නෙත ගැටුනේ. අපි කුඩා කාලයේදී නම් මෙවැනි පාළම් වලට කිව්වේ, ‘සංගිලි පාළම’ කියලයි. මා උපන්, කෑගල්ල දිස්ත්‍රික්කයේ, උඳුගොඩ, මොරදන, ගම ආශ්‍රිතව මෙවැනි පාළමක් තිබුනා මතකයි. මට එක වරම මතක් වුනේ ඔබ සැමදෙනා. ඒ නිසා මම හිතුවා ඔබටත් එය පෙන්වන්න.
  මේ පාලම අඩි 550 ක් දිග බව එහි සමරු ඵලකයේ සඳහන් වෙනවා. අද මෙය ලංකාවේ දිගම එල්ලෙන පාලම (Suspension Bridge) ලෙස සැළකෙන බවයි මගේ මිතුරා මට කිව්වේ. මේ පාළම 2007 වර්ෂයේදී සබරගමුව පළාත්සභාව විසින් ඉදිකරන ලද්දක්. මා සොයා බැලුවා ලංකාවේ එල්ලෙන පාළම් ගැන වෙනමම තොරතුරු ඇද්ද කියා. නමුත් එය සාර්ථක වුනේ නැහැ.
  පාළමෙන් එගොඩවෙන ප්‍රදේශය හඳුන්වන්නේත් ‘පාලංගමුව’ කියලයි. ඊට එහා තියෙන්නේ නිකවලමුල්ල, කුරුපැත්ත වැනි ගම්මාන.  ගම්පොල කඳුවැටි ආශ්‍රිතව උපත ලබන ගුරුගොඩ ඔයත් ශ්‍රීපාද කඳු පන්තිය ආශ්‍රිතව උපත ලබන කැළණි ගඟත් රුවන්වැල්ලේදී එක්වෙනවා. (මට මතක්වෙනවා ඉන්දියාවේ අලහබාද් නගරය. එහිදී මා දුටුවා ගංගා සහ යමුනා නදී දෙක එක්වන ස්ථානය. හින්දු විශ්වාසයේ හැටියට පියවි ඇසට නොපෙනෙන සරස්වතී නදියත් එතැනදී අනෙක් ගංගා දෙකට එකතු වෙනවාලු)    මෙතනින් එහාට කතා නෑ පින්තුර විතරයි.
Ruwanwella
1
2
3
4
5
6
රුවන්වැල්ල බලකොටුවේ පින්තුරය Google Images වෙතින් උපුටාගන්නා ලදී.
My Signature for Blog2013 මැයි මස 16 වැනි දින 0018 පැය

15 February 2013

අපේ වාර්ෂික සංචාරය

අපේ ප්‍රදේශයේ මහජනතාවගේ සුබ සිද්ධිය සඳහා පිහිටුවාගෙන තිබෙන ‘එක්සත් සුබසාධක සංගමය’ සෑහෙන තරම් සේවයක් ඉටු කරනවා. අවමංගල්‍ය සඳහා පමණක් ආධාර කරන වෙනත් සමිති මෙන් නොව (අවමංගල්‍යයකදී රු 30000 ක් ගෙවනවා) 5 වැනි ශ්‍රේණිය, අ.පො.ස. (සා.පෙ.) සහ (උ.පෙ.) ඉහලින් සමත්වන දරුවන්ටද ශිෂ්‍යාධාර ලබාදෙනවා. තවත් විවිධ ව්‍යාපෘති රැසක් මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

සෑම වසරකම පෙබරවාරි මස 4 වැනිදා (නිදහස් දා) සාමාජික පවුල්, විනෝද සංචාරයක යෙදෙනවා. එය සහන මිලකට සිදුකෙරෙන්නේ. මෙවර සංචාරයේදී එක පවුලක් (පවුලේ කීදෙනෙක් හිටියත්) සඳහා ගමන් ගාස්තුව සහ උදේ, දවල්, රාත්‍රී ආහාරද ඇතුලත්ව රුපියල් 1000 යි.
පසුගිය පෙබරවාරි 4 වැනිදාට යෙදුණු මෙවර සංචාරයේදී මගේ කැමරා ඇස ගියතැන් කීපයක් පහත දක්වනවා. රිටිගල වනෝද්‍යානය, විජිතපුර, අවුකන, කලාවැව, රාජාංගනය, වැනි ප්‍රදේශ අපේ සංචාරයේදී නරඹන්නට හැකිවුනා.  
1
2
  රිටිගලට ගියාට පස්සේ ලස්සන වැඩක් වුනා. ඉහත රූපයේ තියන සංචාරක මධ්‍යස්ථානයේ සිට රිටිගලට කි.මී. 2 ක් යා යුතුයි. නමුත් වනජීවී නිලධාරීන් කිව්වා අත දරුවන්ද රැගෙන ඒ දුර පයින් යාම අනතරුදායකයි එයට හේතුව පාර දෙපස වල් අලි ගැවසෙන නිසා කියලා. ඒ දුර බස් රථවලට යන්න බැරි, පසුගිය මහා වැසි කාලයේදී පාර අබලන් වීමයි. 4 x 4 ජවය සහිත වාහන වලට යා හැකියි. ඒ නිසා අපි තීරණය කළා, ඒ අනතුරුදායක ගමන නොගොස්, සංචාරක මධ්‍යස්ථානයේ නිලධාරියකුගේ දේශනයකට සවන්දීමට සහ රිටිගල ගැන සැකසූ වීඩියෝ චිත්‍රපටියක් නැරඹීමට.
3
රිටිගලින් පිටත්වූ අපි ඊළඟට නැවතුනේ කළා වැව අසළයි
4
කළා වැව අසල සෑහෙන වෙලාවක් ගතකළා. ඉන්පසු අවුකන වෙත ළඟා වුනා.
5
6 a
මටනම් අවුකන පිළිම වහන්සේ දිහා දවසක් බලා හිටියත් මදි වගේ.
රාජාංගණයට යනතුරු පිරිස හිටියේ බොහොම නොඉවසිල්ලෙන්.
6
7
8
9
10
11
12
13
IMG_2981
14
15
16
17
14 b1819
18 a
මේ වාර්ෂික සංචාරයේදී සෑම දෙනාගේම කැමරා වලින් ලබාගන්නා ඡායාරූප එකතුකර DVD Slide Show එකක් නිර්මාණය කිරීමත් මගේ සිරිතක්. අපේ සමහර අය ඒකට කියන්නේ ‘මඩ ඩී.වී.ඩී. එක’ කියලා. හැබැයි ඒ කවුරුවත් අමනාප නැහැ එහෙම කරනවාට. පහත දැක්වෙන්නේ මෙවර ඒ සඳහා සැකසෙමින් පවතින රූප රාමු වලින් කීපයක්.
2021
2425
  සියලුම කැමරා වලින් ලබාගත් පින්තූර ගණන 500 කට වැඩියි. ඒවා තෝරලා බේරලා සංස්කරණය කරලා ඉවරවෙන්න තව සෑහෙන දවසක් යයි. පුළුවන් වුනොත් ‘මඩ ඩී.වී.ඩී’ එක දාන්න බලන්නම්.
  සමහරවිට මේ පින්තූර වල ඔබ හොඳින් දන්නා හඳුනන අයත් ඇති. අනේ වඳිඤ්ඤං, මේ පින්තුරේ ඉන්නේ අරයා නේද? අර පින්තුරේ ඉන්නේ මෙයා නේද? කියලා පුද්ගල නාම වලින් අහන්න නම් එපා.
26
My Signature for Blog2013 පෙබරවාරි මස 15 වැනි දින 2245 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }