අපේ පාසලත්, එයට අහස් දුරින් නම්, මීටර් 200 ක් සහ නියමිත ගමන් මාර්ගයෙන් මීටර් 400 ක් පමණ දුරින් පිහිටි, බාලිකා විද්‍යාලයත් අතර, විවිධාකාර සබඳතා තිබුණි. (විවිධාකාර කියන්නේ විවිධාකාර) එහෙත් වාර්ෂික මහා ක්‍රිකට් යුද්ධය වන ‘බිග් මැච්’ එකේදී අපේ කට්ටිය සුහද ආරාධනා කරමින්, තාප්ප ආරාධනා පත්‍ර ලියන්නේ කිලෝ මීටර් එකහමාරක් පමණ දුරින් පිහිටි කන්‍යාරාමයේ තාප්පයේය. කන්‍යාරාමය කෙලින්ම පාරේ අනික් පැත්තේ පිහිටි කතෝලික බාලක පාසලේ අපේ ප්‍රතිවාදියෝද පැමිණ, බාලිකා විද්‍යාලයේ තාප්පය එලෙසම ආරාධනා වලින් පුරවති. බිග් මැච් දවසට අපි ගොන් කරත්තයක් කුලියට ගන්නේ, ඉතා අමාරුවෙන් එකතු කරගත් රුපියල් පහකිනි. අපේ රටේ කොහෙත් සිදුවන ආකාරයට, විකාර ඇඳුම් ඇඳගෙන, බෙර ගසමින් නලා පිඹිමින් නගරය පුරා ‘හැට් කලෙක්ෂන්’ සොයමින් ගිය කාලය අද සිහිනයකි. (ඒ නගරයේ අද මම මගේ කාරය එලවාගෙන යන්නේ පටු වීදි නිසා ඇති තදබදයට සාප කරමිනි.) හැබැයි එක දෙයක් නම් දිවුරා ප්‍රකාශ කල හැකිය. අපි කිසි දිනක පාසල් වියේදී මත්පැන් පානය කර නැත්තෙමු. එක වරක් හෝ දෙවරක් සිගරට් උගුරක් ඇද ඇත්තෙමි. හැට් කලෙක්ෂන් වලින් සොයාගත් මුදල් වලින් කලේ එකල ඉහල පෙලේ නමක් තිබුණු හෝටලයකින් බඩ පුරා කෑමය.
අපේ පාසලේ ප්‍රේක්ෂකාගාරය උස් බිමක පිහිටා ඇත. එයට ඉතා අලංකාර සඳළුතලයක්ද ඇත. ඒ දවස්වල අපේ අයියලාගේ පන්තිවල සිටි සමහර ලොකු අයියලා පාසල් විවේක කාලයේදී මේ සඳළුතලයේ සිට මහා හඬින් කතා පවත්වති. එවැනි එක අයියා කෙනෙක් හැඳින්වූයේ එවකට අප්‍රිකානු රටක ජන නායකයකුව සිටි ‘ෂොම්බේ’ යන නමිනි. මේ කතාවල පදනම, 1971 කාලයේදී ඇතිවූ කැරැල්ලේ මූල බීජ අවස්ථාව බව මට අවබෝධ වූයේ, ඊට සෑහෙන කලකට පසුවය. අපේ පාසලේ ශිෂ්‍යභට ඛණ්ඩය, එවකට දිවයිනේ සුප්‍රසිද්ධ ඛණ්ඩයක් විය. ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ඉතා ඉහල නිලයන් හොබවන විරුවන් රැසක් බිහිකළ, අදටත් බිහිකරන පාසලක් බව නොකියාම බැරිය. ශිෂ්‍යභට පුහුණුව තුලින් අප ලද විනය හා කාර්යක්ෂම භාවය වචනයෙන් කිව නොහැකි තරමේ වටිනා ධනයකි.
මගේ අක්කලා තිදෙනාම ගියේ පෙර කී බාලිකා විද්‍යාලයටය. හැබැයි අපේ විද්‍යාලයේ (මම මීට පෙර පළකර ඇති කොටසේ සඳහන්) පාලම යටින් යනවිටනම්, පොඩි පොඩි කියමන් වලට ලක්වීමට සිදුවෙයි. ‘අප්පා කොයි කඩේ හාල්ද කන්නේ’ ‘බත් කන පිඟාන අපට දෙන්ඩ බැරිද’ වැනි කියමන් වලට අක්කලා ලක්වන්නේ තිදෙනාම ‘ පිටි මුට්ට මෙන් කෙට්ටු’ නිසාය. මේ කරදරය අක්කලා විසින් තාත්තාට පැමිණිලි කිරීම නිසා මට අලුත් රාජකාරියක් තාත්තාගේ ස්ථාවර නියෝග යටතේ පැනවුනි. (තාත්තාද විදුහල්පති වරයෙකි) එනම් අක්කලාට ‘ගාඩ්’ එකක් දීගෙන හෙවත් ‘එස්කොට්’ කරගෙන යාමය. මල වාතයකි. මට මගේ ‘බජාර් එකේ’ කට්ටිය සමග විඳින්නට තිබෙන උදෑසන සොමිය ඉවරය. මොනවා කරන්ඩද. හැබැයි අක්කලාට විවිධ දේ කියන කොල්ලන්ට අපේ අයියා, අයියාගේ ‘බජාර් එකේ අයියලා’ මගින් පොඩි තර්ජනයක් දී තිබුණි. අක්කලා පාලම අසලට එනවිටම, ‘ඒයි . . . . .ගේ නංගිලා එන්නේ මොකවත් කියන්ඩ එපා’ යන අවවාදය අයියලාගෙන් ලැබෙයි. මේ නිසා මට එස්කොට් ඩියුටියෙන් ගැලවීමට හැකිවීම ගැන දෙවියන්ට පින් දුනිමි. හැබැයි කරුමය පල දුන්නේ ඉන් පසුවය. බාලිකා විද්‍යාලයත් අපේ පාසලත් ඇරී දෙවර්ගයාම එකට පාරේ යනවිට විවිධ දේ සිදුවෙයි. ඉඟි බිඟි , ඇතුලේ සෙනෙහෙ කොළ සහිත පොත්පත් හුවමාරු, ටොෆී, ලොසින්ජර, වෙරළු, හුවමාරු සිදුවෙයි. (දැන් වගේ එස් එම් එස් ලව් නොතිබීම කොච්චර හොඳද?) තවත් ජරාම කොල්ලන් පිරිසක් බාලිකාවන් පිලිබඳ තමන්ගේ නිරීක්ෂණ ඔවුන්ට ඇහෙන්ඩම කියති. (කොටයි, මහතයි, කලුයි, වගේ) අපේ අක්කලාගේ පසුපසින් පැමිණි කොල්ලන් පිරිසක් ‘හා බයවෙන්ඩ එපා අයියා පිටුපසින් එනවා’ යන අදහස දෙපිට කැපෙන කුණුහරුපයකින් කියා තිබුණි. එහි තේරුම නොදත් අක්කලා එදා රෑ එම වචන වලින්ම එය අම්මාට කියනු තාත්තාටත් අයියාටත් ඇසුනි. එය මටද හොඳින් තේරෙන බව අයියා දනී. ඔහු රහසින් මට සංඥා කලේ ගෙදරින් එලියට එන ලෙසය. එළියේදී මගේ කන අතගෑ ඔහු, ‘මීටපස්සේ යනකල් එනකල් උඹේ කොල්ලොත් එක්කම අක්කලා ලඟින්ම පලයන්’ කියා නියෝග කළේය. හැබැයි එවැනි ප්‍රශ්න එයින්ම නැතිවී ගියේය.
මගේ අක්කලා තිදෙනාගෙන් බාලම අක්කාගේ පන්තිභාර ගුරුවරිය ලෙස කටයුතු කලේ එවකට සිංහල සිනමාවේ සිටි ජනප්‍රිය සුරූපී නිලියකි. (ඇයගේ දියණියන් දෙදෙනාගෙන් එක් අයකු සිනමාවේ හා රූපවාහිනියේ ඉතා ජනප්‍රිය නිළියකව සිටි අතර අනෙක් දියණියද ටෙලි නාට්‍යයක රඟපෑ බව මතකය.) හැබැයි මේ නිළිය කිසි දිනක ගුරු වෘත්තීය හා සිනමාව පටලවාගත් බවක් නම් මම අසා නැත. කෙසේ වෙතත් ඇය පසු කලකදී ගුරු වෘත්තියෙන් සමු ගත්තාය. සමහර දිනවලදී ඇය හමුවන්නට එවකට අතිශයින් ජනප්‍රිය, හැබැයි බොහොම මහත, සිනමා නළුවකු ෆියට් වර්ගයේ කාරයකින් ආවා මට මතකය. (ඒ කාලයේ චිත්‍රපටියක කොල්ලා සහ කෙල්ල ලෙස රඟන්නේ වයස 35 – 40 පමණ තරුණ තරුණියන්ය) තවත් කොටසක් පසුව.. . . .