මම ඒ කාලයේ සිංහල
විෂයය ඉගැන්වූයේ අ.පො.ස.සාමාන්‍ය පෙළ පන්ති වලටයි. එක දිනක් විදුහල්පතිතුමා
හදිසියේම ගුරුවරුන්ගේ විවේක කාමරයට ආවේ මාව හොයාගෙන. ‘අනේ බලන්නකෝ මිස්ට . . . . .
.අර හය බී පන්තියේ . . . . වතී ටීච අද ඇවිල්ලා නැහැනේ’. ‘අනේ මේ පීරියඩ් එකේ තියන
සිංහල පාඩම කවර් කරලා දෙන්න පුළුවන් නේද? විමසීය. අපේ විදුහල්පතිතුමා ඔලුව
උදුම්මාගත් පාලකයකු නොවේ. ඔහුගේ කාරුණික ඉල්ලීම් අපි කිසිවකුත් කවරදාකවත්
ප්‍රතික්ෂේප නොකළෙමු. නියෝග වශයෙන් දිය හැකි දේ පවා ඔහු ඉදිරිපත් කලේ කාරුණික
ඉල්ලීම් හැටියටය. මේ නිසා ඔහුට අපගේ පූර්ණ සහයෝගය ලැබීම පාසලේ දියුණුවට හේතු
විය.
‘හය බී’ පන්තියට මා ආසාවෙන් ගියේ පොඩි එවුන්ට
පාඩමක් කියාදීම කෙසේ වෙතත්, කතන්දරයක් හෝ කියාදී ඔවුන් පන්තිය තුළ නිහඬව තබා
ගැනීමටයි. පන්තියට ගිය මා විමසූයේ අද මොනවද කරන්නේ කියාය. පුංචි පන්තියකින්
ප්‍රශ්නයක් ඇසුවොත් මුළු පන්තියම වහලයේ උළු උඩ යන තරම් මහා හඬින් සියලුදෙනා එකවර
පිළිතුරු දෙයි. ‘ඊයේ ගෙදරදී කරපු දේවල් ලියාගෙන එන්න කිව්වා’ කන් පැලෙන හඬින්
පිළිතුරු ලැබුණි. නැවත ප්‍රශ්න නොඇසිය යුතුයි සිතාගත්තේ අහල පහල පන්ති වලට බාධා
නොකිරීම සඳහාය. ඉදිරි පෙලේ සිටින හුරුබුහුටි පැටික්කියක් මට ඇයගේ අභ්‍යාස පොත දිගු
කරගෙන සිටී. ‘කෝ ගෙන්න බලන්න ඔයාගේ පොත’ මම කිව්වෙමි. කෙල්ල තප්පරයකින් මා ලඟට
ආවාය. ඊයේ කල දේවල් ලස්සනට ලියලාය. නමුත් අන්තිම වාක්‍යයේ වැරැද්දක් තිබේ. ඇය ලියා
තිබුනේ ‘මම ඊයේ රෑ අම්මා ළඟ නිදා ගත්තාය’ කියායි. ‘එහෙම නෙවෙයි ළමයෝ මම ඊයේ රෑ
අම්මා ළඟ නිදා ගත්තෙමි’. මම කිව්වෙමි. කෙල්ල පුදුමව මාදෙස බැලුවාය. ‘ආ එහෙනම් මට
නින්ද ගියාට පස්සේ සර් එන්ඩ ඇති’ එක වරම කිව්වාය.