ඉස්කෝලේ යන කාලේ 6 වැනි කොටසෙන් මා
ඔබට කිව්වේ අපේ නගරයේ තුබුණු මාර ගසක් (පච ගහ) පිලිබඳ මගේ මතකයන්ය. මෙවැනි පච ගස්
තුනක් අපේ නගරයේ තිබුණි. එයින් පළමුවැන්න පසුගිය ලිපියෙන් මම ඔබට හඳුන්වා දුනිමි.
දෙවැනි පච ගස තිබුනෙ මේ නගරයේ පැරණි රෝහල් භූමියේය. අද එම භූමිය අධිකරණ සංකීර්ණය
බවට පත්ව ඇත. 1960 දශකයේදී අපේ නගරයට නව රෝහල් සංකීර්ණයක් ලැබූනි. අද එය ශික්ෂණ
රෝහලකි. එම රෝහල විවෘත කරන ලද දිනයේ පාසල් සිසුන් විසින් ඉදිරිපත් කල ආචාර
පෙළපාලියේ අපේ පාසල් ඛණ්ඩය අණ දුන්නේ ගරු මම තුමා විසිනි. පැරණි රෝහල් භූමිය තවත්
විශ්මලන්තයකි.
ඇත්තෙන්ම මම ඒ භූමියට මුලින්ම පිවිසුනේ මගේ මව
මට බාලම සහෝදරයාට උපත දීම හේතුවෙනි. අම්මා නැතිව දින දෙක තුනක් මා ගතකලේ දැඩි
වේදනාවකිනි. අලුත උපන් රෝසපාට පුංචි එකාද සහිතව අම්මා ගෙදර එනු මට අද වගේ මතකය.
හැබැයි ඒ පුංචි එකා අපි හැම හඬවා 2002 දී හදිසි අනතුරකින් අප හැර ගියේය. මේවා
දකින්නට ඒ වනවිට මගේ දෙමවුපියන් ජීවතුන් අතර නොසිටීම ඔවුන්ගේ වාසනාවකි. රෝහලේ පච ගහ
ළඟ ‘රටේ වෙද්දු’ පිරී සිටියහ. එකල්හි ඔවුන් නොකළේ ශල්‍යකර්ම පමණි. සර්වාංග රෝග
විශේෂඥයන් වූ ඔවුන් අත ඕනෑම රෝගයකට ප්‍රත්‍යක්ෂ ඔෳෂධ තිබුණි. මේ ඔෳෂධ වෛද්‍ය වරුන්ට
හොරෙන් තම රෝගීන්ට දීම හේතුවෙන් කී දෙනෙක් රැකුනේද නැසුනේද යන්න මම අදටත් නොදනිමි.
තුන්වැනි පච ගස තිබුනේ අද පොලිස් ස්ථානය පිහිටා තිබෙන, එකල අධිකරණ සංකීර්ණය වූ
භූමියේය. එහි වැඩිපුරම සිටියේ අධිකරණය වෙත ‘ඔප්පු කිරීම’ සඳහා පෙත්සම් ලියන අයවලුන්
(ටයිප් රයිටරයක් කුඩා බංකු කැබැල්ලක් මත තබාගෙන සිටින මොවුන් දිවුරුම් පෙත්සම් ආදිය
ටයිප් කර දීමෙන් අහිංසක ගැමියන් ගසා කෑවේ නිර්දය ලෙසිනි.) ‘ගොඩ පෙරකදොරුවන්’ සහ
නීතීඥයන්ගේ තැරැවුකරුවන් ය. ඒ සමග අත බලා සාස්තර කියන අයවලුන් මෙන්ම තවත් ‘සේවා’
සපයන්නන්ද වූ බව මා දැනගත්තේ පාසලෙන් අස්වූ පසුවය.
එකල ‘කළු ජේන්’ නමින් කුප්‍රකට කාන්තාව විසින්
මුදල් පොලියට දීමට අමතරව, ගංජා සුරුට්ටු, කසිප්පු, පමණක් නොව ගණිකාවන්ද අවශ්‍ය අයට
සැපයූ බව ම දැනගත්තේ, මගේ විමර්ශනශීලී මිතුරන්ගෙනි. ඇගේ ‘අතීසාර’ මිතුරියක් වූ
‘රැසිලින්’ එකල කුප්‍රසිද්ධ ගණිකාවක් වුවද, කිසි දිනක පොලිස් අත්අඩංගුවට පත්වූ බවක්
මා අසා නැත. රැසිලින් වර්ණයෙන් කළු වුවද අතිශයින් ‘දැකුම්කළු’ බව මට හොඳට මතකය.
(එකල මගේ වයස අවුරුදු 16 ක් වුවද ‘රස වින්දනය’ ඉහල මට්ටමක පැවතුන බව සහතික කල
හැකිය) උසාවිය ළඟ පච ගස අරක්ගත් සාස්තර කාරයන් අතර අපේ ගෙදර අය විසින් ‘ශාස්ත්‍රම්’
නමින් හැඳින්වුණු පුද්ගලයකු විය. ඔහු කිසියම් ස්නායු රෝගයකින් පෙළුණු අතර ගමන් කළේ
අඩි දෙකතුනකට වරක් මග නවතිමිනි. ඔහුගේ බිරිඳ ඔහුගේ අතින් අල්ලාගෙන ගමන් කළාය. පච ගස
යටදී ඔහු තරම් දක්ෂ ශාස්ත්‍රඥයෙක් මෙලොව නොවීය.
මම මීට පෙර ලිපියෙන් කියූ පච ගස අසල තිබුණු
සිනමා ශාලාව අද පෙම්වතුන් අතර වඩාත් ජනප්‍රියය. එයට සුවිසේශී හේතුවක් ඇත. මුල්
කාලයේදී මේ සිනමාහලට බැල්කනියක් නොතිබුණි. 1970 දශකයේදී බැල්කනියක් ඉදිවූ අතර එම
සිනමා ශාලාවේ ප්‍රක්ෂේපණ යන්ත්‍රය පිහිටා ඇත්තේ බැල්කනියට පහළිනි. මේ නිසා
චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරන විට බැල්කනිය සම්පූර්ණයෙන් අඳුරුය. ඒ නිසා මේ සිනමාහල
පෙම්වතුන් අතර ඉතා ජනප්‍රියය. තවත් විස්තර පසුව. . . . ..