විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ සුළඟ එනු පිණිස චිත්‍රපටිය, ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයට අවසර දී නැත. 2005 වර්ෂයේදී තිරගතවූ මේ චිත්‍රපටිය සඳහා IMDb වර්ගීකරණයේ 6.2 ක් ලැබී ඇත. මෙම චිත්‍රපටියේ කොටස් පහත දැක්වෙන පුරුක ඔස්සේ නැරඹිය හැකිය.
එමෙන්ම පහත දැක්වෙන පුරුක මගින් මෙම චිත්‍රපටිය ටොරන්ට් ගොනුවක් ලෙස බාගත කිරීමටද හැකිය.
[kat.ph]sulanga.enu.pinisa.aka.the.forsaken.land.2005
කෙසේ වෙතත් මේ චිත්‍රපටිය නරඹා ඇති අයට, ඒ ගැන අදහස් රැසක් හුවමාරු කර ගැනීමට ඇතැයි සිතන අතර, මට මේ චිත්‍රපටිය නැරඹීමට ලැබුනේ ඉතා මෑතකදී බැවින්, ඒ ගැන අදහස් දැක්වීමට සිතුවෙමි. මෙතෙක් මෙය නරඹා නැති අයට කිවයුත්තේ, මෙය, කිසිසේත් පවුලේ අය එකට සිට නැරඹිය නොහැකි චිත්‍රපටියක් මෙන්ම, සදාචාරය ඉහලින් අගය කරන අඹුසැමි යුවලකට පවා, නැරඹීමේදී යම් අපහසුතාවක් ඇතිවිය හැකි බවය.
මෙය කතාවක් කියන චිත්‍රපටියක් නොවේ. අධ්යක්ෂ වරයා කිසියම් සමාජ තලයක් නිරීක්ෂණය කිරීමෙන් හා ඇසුරු කිරීමෙන් උකහාගත් සිද්ධි මාලාවක් තිරය මත පතිත කිරීමකි සිදුවන්නේ. ඒ සඳහා ඔහු අපවෙත කැඳවාගෙන එන චරිත නිදහස්ව හා ස්වාධීනව හැසිරෙන බවක් පෙනෙයි. එහෙත් අනාදිමත් කාලයක සිට සමාජය තුල සැඟවී කෙරෙන ගනුදෙනු මෙතරම් එළිපිට, මෙතරම් කෙලින්, මෙතරම් නිර්භීතව, ඉදිරිපත් කිරීම, අපගේ සංස්කෘතික මිනුම් දඬු කඩා බිඳගෙන යන්නක් වූ බැවින් මේ චිත්‍රපටියට ලංකාව තුල ප්‍රදර්ශන අවසරය නොලැබුණු බව පෙනෙයි. මවිසින්ම ගණන් බලා ඇති ආකාරයට, මේ වනවිට මම, සිංහල චිත්‍රපටි 150 ක් පමණද, ඉංග්‍රීසි චිත්‍රපටි 300 ක් පමණද, හින්දි චිත්‍රපටි 100 ක් පමණද, නරඹා ඇත්තෙමි. ඒ හැර වෙනත් විදේශීය භාෂා වලින් නිපදවූ චිත්රපටිද නරඹා ඇත්තෙමි. මේ චිත්‍රපටි තුල ජනප්‍රිය, සම්භාව්‍ය, මෙන්ම හඩු චිත්රපටිද ඇත. ඒ චිත්‍රපටි අතර මේ චිත්‍රපටියට සුවිශේෂී ස්ථානයක් හිමි නොවන බව මුලින්ම කිවයුත්තේ මෙවැනි ආකාරයේ බටහිර චිත්‍රපට රැසක් මා නරඹා ඇති බැවිනි.
මෙහි මුලින්ම මා දකින විශේෂත්වය වන්නේ රූප රචනයයි. මා දැක ඇති බටහිර චිත්‍රපටි වල ඇති රූප රචනා කලාව මනාව උකහාගෙන නිසි සංකලනයකින් යුතුව ඉදිරිපත් කර ඇති අතර, සාමාන්‍ය සිංහල චිත්‍රපටියක දක්නට නොලැබෙන තාක්ෂණික ගුණාංග ද ඇතුලත්ව තිබේ. ඒ ගුණාංග මට සිහිපත් කරවූවේ මා නරඹා ඇති උසස් බටහිර චිත්‍රපට කීපයකි. අදාළ දර්ශනය තුලම තමන්ද සිටින බව ප්‍රේක්ෂකයාට දැනෙන තරමට මෙහි රූප රචනය හා සංස්කරණය ඉහල මට්ටමක පවතී. (මා මෙය නැරඹුවේ පුළුල් තිර රූපවාහිනියකිනි. එය මා විසින්ම අන්තර්ජාලයෙන් බාගත කරගත් පිටපතකි. සිනමා තිරයක නරඹන්නට ශ්‍රී ලාංකිකයන්ට තව කොපමණ කලක් බලා සිටින්නට වේදැයි නොදනිමි.)
සෑම සමාජ තලයකම, සඟවාගත්, නැතහොත් සීමා කළ, එසේත් නැත්නම් ප්‍රසිද්ධියේ කතා බහ නොකරන, කරුණු තිබේ.
පෙරදිග සමාජයේ, විශේෂයෙන් එසේ එළිපිට කතා නොකරන්නේ, ලිංගික චර්යාව පිලිබඳ කරුණුය. ඒවා එලියට එන්නේ සණ්ඩු සරුවල් වන අවස්ථාවන්හිදී පමණි. මේ චිත්‍රපටියේදී ඒ කරුණු කෙලින්ම ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒම ශ්‍රීලාංකික ප්‍රේක්ෂකයා විසින් කෙසේ බාරගනීද යන්න දැනගත නොහැක්කේ, එය බහුතර ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයා විසින් නරඹා නැති බැවිනි. කෙසේ වෙතත් මේ චිත්‍රපටිය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කළහොත්, හුදු ලිංගික දර්ශන නැරඹීමෙන් කාමුක තෘප්තියක් බලාපොරොත්තු වන්නන්ගෙන්, සිනමාහල පිරෙන බව නම් කිව හැකිය. සම්මතයට පටහැනි ලිංගික චර්යා නොමැති සමාජයක්, ලොව කොතැනකවත් නැත. අනාගතයේ ඇතිවන්නේත් නැත. එහෙත් පෙරදිග සමාජය ආගමික ශික්ෂණය කෙරෙහි ඇති නැඹුරුවත්, සාම්ප්‍රදායික චර්යා පාලනය පිලිබඳ අනුගමනය කිරීම් නිසාත්, ඉවසා වදාරන කරුණු, මෙලෙස උලුප්පා දැක්වීම, අනුමත වේයැයි සිතීම උගහටය. එය කුහක කමක්ය යන තර්කයේ පැවැත්ම ඇත්තේ 50 ට 50 මට්ටමේය.
අවසාන වශයෙන් සාමාන්‍ය ශ්‍රීලාංකිකයකු ලෙසද, හිටපු යුද හමුදා නිලධාරියකු වශයෙන්ද අදහස් කීපයක් දක්වමි.
- යුද්ධය පැවති සමයේ, එයට මැදිව සිටි සිංහල ගමක සිදුවන මෙවැනි සිදුවීම්, සටන් බිමෙන් එහාපැත්තේ තිබුණු දෙමල ගම්මාන වල සිදු නොවූවායයි, අධ්යක්ෂ වරයා සිතන්නේද?
- සිංහල දෙමල ජාතීන් දෙකම සම්මිශ්‍රණය කොට මේ නිර්මාණය කලානම් ප්‍රේක්ෂක ග්‍රහණය මීට වඩා වැඩිවීමට ඉඩ ඇති බව අධ්යක්ෂ වරයා නොසිතන්නේද?
- යුද හමුදාව හුදෙක් තම අධිපතිවාදය ගම්මුන් වෙත පටවාගෙන සිටි අතර යුද්ධය වෙනුවෙන් කල කිසි දෙයක් නැති බවත් අධ්යක්ෂ වරයාගේම වචන වලින් කිවහොත් ‘බඩු ගැහීම’ හැර වෙනත් යමක් නොකළ බව, ප්‍රේක්ෂකයාට හැඟෙන පරිදි මේ නිර්මාණය කිරීම, එක අතකට අසාධාරණ බව නොසිතේද?
- ග්රාමාරක්ෂක භටයා යනු, යුද හමුදාවේ ගැරහීමට පරිභවයට ලක්වන, යුද හමුදාවේ ඔනෑ එපාකම් ඉටු කිරීමට බැඳී සිටින ප්‍රවේනි දාසයෙක්ය යන සම්පූර්ණයෙන්ම වැරදි අදහස අධ්‍යක්ෂකගේ ඔලුවට දැම්මේ කවුද?
- යුද හමුදාව ග්රාමාරක්ෂකයන් ලවා මිනී මැරවූ බව කවුරුන් විසින් අධ්යක්ෂ වරයාට දුන් ‘ගොන්පාට්’ අදහසක්ද. (මරන්නට අවශ්‍යමනම්, මරන්නට කිසිම හමුදාවක් පැකිලෙන්නේ නැත. නොමරුවොත් සිදුවන විනාශය බරපතල නිසා. ඒ සඳහා ග්රාමාරක්ෂකයකු ලවා පොල්ලෙන් ගැස්සවීමට වඩා ‘දියුණු ක්‍රම’ යටත්පිරිසෙයින් තුනක්වත් අධ්යක්ෂවරයා දන්නවා ඇත.)
- සිනමානුරූපී සංකේතයක් ලෙස ගමේ සැරිසරන යුධ ටැංකිය මගින් හමුදා අධිපතිවාදය පෙන්වූවත්, දැන්කාලයේ මේ චිත්‍රපටිය මෙහි පෙන්වූවානම්, ත්‍රිවිධ හමුදාවේ කීදෙනෙක් මෙය බලා හූ කියයිද? හේතුව තනි යුද්ධ ටැංකියක් කිසි විටකත් මුර සංචාරයේ යෙදීම යුධ ටැංකි යෙදවීම පිලිබඳ මූලික න්‍යාය බිඳ දැමීමකි. එමෙන්ම ග්රාමාරක්ෂක භටයා පැළඳ සිටින නිල ඇඳුමේ ‘ලෙනියාඩ්’ එක ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නාහ සන්නද්ධ බලකායට අයත් එකකි. ග්රාමාරක්ෂක භටයන් අඳින වෙනම ලෙනියාඩ් එකක් තිබේ. යුද හමුදා භටයන් ඇඳ සිටින නිල ඇඳුම්ද සමහර විට පෙනෙන්නේ එල්. ටී. ටී. ඊ. නිල ඇඳුම් මෙනි. යුද හමුදාවෙන් උපදෙස් ගැනීම තම තත්වයට මදිකමක් යයි අධ්යක්ෂවරයා සිතුවාද?
- අධ්යක්ෂවරයා බොළඳ මනොලෝකයක සිටින්නකු බව පෙන්වන එක් සිද්ධියක් වන්නේ, හෙලිකොප්ටරයක ගමන්කිරීම, දෙයියෙකු තමන් සමග ගුද ලිංගික සංසර්ගයේ යෙදීම (චිත්‍රපටියේ දෙබස ලෙස ඇත්තේ මා මෙහි ලිවීමට අකමැති කුණුහරුපයකි) තරම් සැපක් යයි සොල්දාදුවා ග්රාමාරක්ෂකයාට කීමයි. අධ්යක්ෂවරයා මේ මෝඩ සිතුවිල්ලට ආවේ කොහෙන්ද? ඔබ යටත්පිරිසෙයින් සොල්දාදුවන් කීප දෙනෙකු සමගවත් සාකච්ඡා කලාද? යුද සමයේදී හෙලිකොප්ටරයේ යාම කිසිසේත් සතුටක් නොවේ. හෙලිකොප්ටර ප්‍රධාන වශයේ යොදාගත්තේ,
- 1. හදිසි ආධාර, අහාරද්‍රව්‍ය, ප්‍රවාහනය.
- 2. නිවාඩු යන/එන සෙබළුන් කෙටි දුර ප්‍රවාහනය. (මිසයිල් තර්ජන මැද මේ ගමන යාම අධ්යක්ෂවරයා කියන අහවල් සැප දෙන්නක් නොවේ.)
- 3. තුවාල ලැබූ සොල්දාදුවන් ක්ෂේත්‍ර රෝහල් වෙත ගෙනයාම සඳහාය. සොල්දාදුවන් හෙලිකොප්ටරවල හෝ ගුවන් යානාවල ගියේ විනෝද ගමන් නොවේ. ඇත්ත දන්නෝ දනිති. අධ්යක්ෂ වරයා එතනදීනම් හමුදාවට එල්ල කර ඇත්තේ සමාව දිය නොහැකි අපහාසයකි.
- චිත්‍රපටියේ ඇති දර්ශන වලට අදාලව නිරුවත් සහ ලිංගික සංසර්ගය දැක්වෙන දර්ශන ඇතුලත් කිරීම සාධාරනයි සිතිය හැකි වුවද වයසක ග්රාමාරක්ෂක භටයා නිරුවත් කරන්නේ කුමකටද?