මේ සිදුවීම් කීපයට මා මුහුණ දුන්නේ 2002 දී පමණ බවයි මගේ මතකය.එවකට මා සේවය කලේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොටසකුත්, මුලතිවු දිස්ත්‍රික්කයේ කොටසකුත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කොටසකුත් අයත්වනලෙස පිහිටවා තිබුන බලසේනා මූලස්ථානයකයි. මේ මූලස්ථානයේ කඳවුරු ආරක්ෂාව සඳහා කාන්තා බලකායට අයත් භට ඛණ්ඩ දෙකක් යොදවා තිබුනා. ඒ සාමාන්‍ය පාබල සොල්දාදුවන් විසින් කරන ලද කඳවුරු ආරක්ෂක මුරයට අමතරවයි. කෙසේ වෙතත් කාන්තා සෙබළියන්ට දී තිබුනේ දිවා කාලයේ මුරය සහ රාත්‍රී කාලයේ සූදානමින් සිටීම පමණයි.
කාන්තා සෙබලියන් සිටීම පිරිමි සෙබළුන්ගේ චිත්ත ධෛර්යය, වික්‍රමාන්විත බව, රාජකාරි උනන්දුව වැඩිවීම, කෙරෙහි බලපාන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැනේ. ඒ උනන්දුව සීමාව ඉක්මවා යාම නිසා යම් යම් ප්‍රශ්න කාලීනව ඇතිවූ අතර, යුදහමුදා නීතිය සහ මානුෂීය ගුණධර්ම යන දෙකම සංකලනය කරගනිමින් ඒ ප්‍රශ්න නිරාකරණය කර ගන්නට අපට හැකි වුනා.
එක් වරක් බලසේනාවට අයත් යුද හමුදා ඒකක අතර ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කෙරුනා. නොකඩවා යුද්ධයේම යෙදී සිටින සොල්දාදුවන්ට කිසියම් මානසික සහනයක් ලබාදී ඔවුන්ගේ ආතතිය දුරු කිරීමටයි එවැනි දේ සංවිධානය කෙරෙන්නේ. මේ තරගාවලියේදී බලසේනා මූලස්ථාන කණ්ඩායමට ආධාරයක් වශයෙන් ඔවුන්ගේ චිත්ත ධෛර්යය, නැංවීමට ජයඝෝෂා කණ්ඩායමක් (Cheering Squad) ලෙස කාන්තා බලකායේ සෙබලියන් කණ්ඩායමක් ද නම් කෙරුනා. අවාසනාවකට මෙන් ක්‍රිකට් කණ්ඩායම සහ ජය ඝෝෂා කණ්ඩායම ගමන්ගත් යුද හමුදා ට්‍රක් රථය අතරමගදී පෙරලුනා. කිසිවෙකුටත් බරපතල තුවාල සිදුවුනේ නැහැ. සුළු සීරීම් තැලීම් පමණයි. මේ සිද්ධිය අලලා අනෙකුත් බලඇණි විසින් ‘කාඩ්’ ගහන්නට පටන් ගත්තා . මොකද ඔවුන්ට එවැනි ජයඝෝෂා කණ්ඩායමක් නොසිටි නිසා. ට්‍රක් එක පෙරලෙන්නට පෙර සෙබලියන් සහ සෙබළුන් ගමන් ගත්තේ ට්‍රක් එකේ පසුපස කොටසේ එකිනෙකට මුහුණලා ඇති ආසන පේලි දෙකෙයි. ට්‍රක් එක පෙරලුනේ සෙබලියන් උඩුබැලි අතට සිටිනසේ. එවිට සෙබළුන් කෙලින්ම ඔවුන්ගේ ඇඟ මතට වැටෙනවා. සමහර සෙබළියන්ට තැලීම් තුවාල ඇතිවී තිබුනේ ඒ හේතුවෙන්. හොඳම ‘කාඩ් එක’ මේකයි. ඔන්න ඉතින් දැන් ට්‍රක් එක පෙරලිලාලු. සෙබළු සෙබළියන්ගේ ඇඟ උඩලු. සෙබලියෝ කෑගහනවලු ‘අනේ අයින් වෙන්න, අපිව බේරගන්න’ කියලා. එතකොට සෙබළු කියනවලු, ‘හා හා එහෙම කරන්න බැහැ. යුද හමුදා නීතිය අනුව යුද හමුදා පොලීසියෙන් එනතුරු, අනතුරට සම්බන්ධ කිසිවක් වෙනස් කිරීම තහනම්, ඒ නිසා ඔහොම ඉන්න’ කියලා. (නමුත් එය ඇත්තක් නොවන බව ඔබේ දැනගැනීමට මෙහි සඳහන් කරනවා)
යුද්ධය දරුණු ලෙස පැවති අවධියේදී භටපිරිස් උපරිම ලෙස සටනට යොමු කරන්නට සිදුවුනා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රාත්‍රී මුරයටද කාන්තා සෙබලියන් යෙදවීමට සිදුවුනා. ඔවුන්ට ලබා දුන්නේ වඩාත් අඩු සතුරු තර්ජනයක් සහිත බංකර් 7 ක්, මේ කාලයේ මට ඒ කඳවුරේ කඳවුරු සේනාවිධායක (Camp Commandant) වගකීම පැවරුණා. මෙහිදී කඳවුරු ආරක්ෂක මුරය පිලිබඳ වගකීම දැරිය යුතුයි. ඒ නිසා ම වඩාත් අවධානය යොමු කලේ රාත්‍රී මුරය උපරිම මට්ටමෙන් පවත්වාගනීමටයි. රාත්‍රී මුරය පරීක්ෂා කිරීමට යාමේදී කාන්තා සෙබලියන් සිටින බංකර් පරීක්ෂාකිරීම එක්තරා පිළිවෙතකට අනුව සිදු කල යුතුයි. මා තනිව එහි යාම නීතිය උල්ලංඝනය කිරීමක් මෙන්ම අනවශ්‍ය ‘ලෙඩ’ දාගනීමක් වෙනවා. ඒ නිසා සෙබළියන්ගේ බංකර් පරීක්ෂා කිරීමට මා ගියේ කාන්තා සෙබලියන් භාර නිලධාරිනිය, ඇගේ සහයිකාව සහ කඳවුරේ රෙජිමේන්තු සැරයන් මේජර් සමගයි. එක් දිනක් මෙසේ රාත්‍රී මුරය පරීක්ෂා කිරීමට සෙබළියන්ගේ බංකර් දෙසට අප හතරදෙනා යනවිට පළමුවැනි බංකරයට මීටර් 15 ක් පමණ තිබියදී ඉතා තද සුවඳ විලවුන් සුවඳක් දැනුනා. රෙජිමේන්තු සැරයන් මේජර් සහ මම ඒවා පාවිච්චි කර සිටියේ නැහැ. අනික් දෙන්නා කාන්තාවන් නිසා ඔවුන්ගෙන් ඇසුවා සුවඳ විලවුන් ගල්වාගෙනද ඉන්නේ කියා. ඔවුන් නැහැ කිව්වා. මෙය දැන් විශාල ගැටළුවක්. අපි හෙමි හෙමින් පළමුවැනි බංකරය ලඟට අවා. එහි එවෙලේ රාජකාරියේ යදී සිටි සෙබළිය යුද හමුදා පිළිවෙත අනුව අභියෝග කර අපිව නවතා, හඳුනාගැනීම කළා. ඇය අසලට යනවිටයි අපට වැටහුනේ සුවඳ වහනය වන්නේ ඇයගෙන් බව. ඇය රාත්‍රී මුරයට ඒමට පෙර නෑමෙන් පසු සුවඳ විලවුන්ද නා, පැමිණ ඇති බව අපට තහවුරු වුනා. එපමණක් නොව ඒ බංකරයේ සිටි තවත් සෙබලියක්ද එලෙසම විලවුන් නාගෙන සිටින බව වැටහුනා. එහි වැරැද්ද කුමක්ද? හොඳ විමර්ශනශීලී සතුරකු මේ අසල ප්‍රදේශයට ආවොත් පහැදිලි වෙනවා මෙහි ඉන්නේ කාන්තා සෙබලියන් බව. මොකද ඒ සුවඳ වර්ගය අනුව එය පිරිමි සුවඳක් නොවේ. ඉතින් මට සිදුවුනා අර සෙබලියන් දෙදෙනාව නැවත නාවා විලවුන් රහිතව මුරයේ යොදවන්නට. සෙබලියන් භාර නිලධාරිනිය එය අකුරටම ඉටුකර තිබුනා.
තවත් දිනක එලෙසම මුරය පරීක්ෂාවට යාමේදී එක බංකරයකින් ‘කරකරස්’ ගා කොලයක් ඉරන හඬක් ඇසුනා. අපි මොහොතක් නැවතී කන්දීගෙන සිටිනවිට යමක් හපනවාක් මෙන් ‘කරුස් කුරුස්’ හඬක් ආවා. සොයාබැලීමේදී දැක්කේ මුරයේ සිටින සෙබළිය බිස්කට් එකක් අනුභව කරන බවයි. යුදහමුදාවේ සියලු දෙනාට පෝෂණ විශේෂඥයන් ගේ උපදෙස් අනුව සැකසු ඉතා හොඳ අහාර ඕනෑතරම් ලැබෙනවා. බංකරයක මුරයේ සිටින කෙනෙක් සෑම විටම සම්පූර්ණයෙන් නිශ්ශබ්දව විමර්ශනයේ යෙදිය යුතුයි. ඉතින් මේ සෙබළිය කලේ විශාල වරදක්. මම එවෙලේම දඬුවම දුන්නා. අපි බලාසිටියදීම සම්පූර්ණ බිස්කට් පැකට්ටුවම කා නිම කිරීමයි දඬුවම. ඇය හඬමින්ම දඬුවම වින්දා.
අපේ සෙබලියන් අවශ්‍ය තැනදී සටනට නොබියව එක්වන හැටි මා මුල්වරට දුටුවේ මේ කඳවුරට එල්.ටී.ටී.ඊ. කාලතුවක්කු ප්‍රහාරයක් එල්ලවූ දවසෙයි. සතුරු කාලතුවක්කු ප්‍රහාරයෙන් කඳවුරට තරමක හානියක් සිදුවුනා. තුවාලත් සිදුවුනා. ඔය අතරේ කඳවුරේ තිබුණු මිලිමීටර් 130 කාලතුවක්කු වලින් සතුරාට ප්‍රතිප්‍රහාර දීම ඇරඹුනා. සෙබළුන් ඉදිරියට ගිය පසු කඳවුරේ ආරක්ෂාවේ වැඩි වගකීම සෙබළියන්ට පැවරුණා. ඔවුන් නොබියව බංකර් වලට ගොස් සූදානමින් සිටියා. ඒ අතර, කාලතුවක්කු වලට අවශ්‍ය උණ්ඩ අවසන් වෙමින් පැවති නිසා, පොලොව යට පිහිටි ගබඩාවකින් ඒවා රැගෙන, කාලතුවක්කු තිබුන තැනට යැවිය යුතු වුනා. මිලිමීටර් 130 කාලතුවක්කු උණ්ඩයක්, ඒ උණ්ඩය යොදා වෙඩි තැබීම සඳහා යොදන ‘චාජරය’ නමැති කොටසත් සහිතව කිලෝග්‍රෑම් 30 කටත් වඩා බරයි. ඒ වගේම විශාලයි. (පිත්තලෙන් සෑදු මේ කොටස අලංකාරය සඳහා හමුදාවේ අයගේ නිවෙස්වල තබා තිබෙනු ඔබ දැක ඇති.) අපේ සෙබලියෝ සතුරු ප්‍රහාරය මැදම මේවා කර ගසාගෙන ගොස් අවශ්‍ය තැනට ලබාදුන්නා.