මම ඒ කාලයේ යුද හමුදාවේ ‘තනි තරුවේ’ කියාගෙන හිටිය කාලේ. පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ ‘පූනානි’ කියන ප්‍රදේශයේ තමයි මම සේවය කලේ. ඒ දිනවල එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය බලය තහවුරු කරගන්නට ආරක්ෂක හමුදා සමග නිතර සටන් වැදුනා. එයින් බොහොමයක් සැඟවී සිට එල්ල කරන ප්‍රහාර. මේවා මැඩපැවැත්වීමට ආරක්ෂක හමුදා ද ඉතා සූක්ෂ්මව හා සංවිධානාත්මකව සටන් කළා.
1985 මාර්තු මස 7 වැනිදා එවකට මා සිටි කඳවුරේ අණදෙන නිලධාරි වරයාගෙන් නියෝගයක් ලැබුනා, මා අණදුන් භට ඛණ්ඩය, (Platoon) සතුරා ගමන් කරනු ඇති බවට බුද්ධි තොරතුරු ලැබී තිබුණු, කැළෑබද අඩි පාරක යොදවා, රාත්‍රී කාලයේදී රැකසිට පහරදීමක් කරන ලෙස. එදින සවස 2 සිට සවස 4 වනතුරු මා මේ පිළිබඳව කෙටි පුනරීක්ෂණ පුහුණුව සහ අනෙකුත් උපදෙස් මගේ ඛණ්ඩයට ලබා දුන්නා.
මට හිටිය ඛණ්ඩ භාර සැරයන් ඇත්තටම දක්ෂයෙක්. ඒ කාලයේ අපි තරුණ නිලධාරින් ලෙස, තවම යුද හමුදාවට අලුත් නිසා, බොහෝ දේවල් ගැන අසා දැනගන්නේ අත්දැකීම් බහුල, කෝප්‍රල් වරුන්ගෙන්, සැරයන් වරුන්ගෙන්, සැරයන් මේජර් වරුන්ගෙන්.
එදින රාත්‍රී 7 ට පමණ මා මගේ ඛණ්ඩයද රැගෙන රැකසිට පහරදීම සඳහා පිටත් වුනා. රාත්‍රී 8.30 වනවිට අපි සතුරා බලාපොරොත්තුවෙන් පහරදීම සඳහා ස්ථානගත වුනා. රැකසිට පහරදීමකදී ඉතා දැඩි විනයක් අවශ්‍යයි. හයියෙන් හුස්ම ගැනීම පවා නොකළ යුතුයි. එයත් සතුරාට ඇහෙන්නට පුළුවන්. (අපි පුහුණු වෙන කාලේ මගේ ‘අතීසාර’ මිත්‍රයෙක් රැකසිට පහරදීම පුහුණුවට ගිහිල්ලා, අඹේවෙල ප්‍රදේශයේ මහ රෑ මර හීතලේ ඉන්න ගමන් දන්නෙම නැතුව නින්දට වැටුනා. ටිකකින් මේකා ‘ලී ඉරනවා’ අඹේවෙල කැළෑව දෙවනත් වෙන්ඩ. පුහුණුවේදී අපේ සතුරන් හැටියට එන්නේ අපේ පුහුණු උපදේශකයෝ. සද්දේ ඉවසන්ඩම බැරි තැන මම කිව්වා ‘ගොරවන්නැතුව බුදියගනින් . . . .කෝ’ කියලා. මුගේ ගෙරවිල්ලයි මගේ ගොරනාඩුවයි ‘සතුරන්ට’ ඇහුනා. සතුරෝ ඇවිත් අපේ කණ්ඩායමම සීතල වතුරෙන් නෑව්වා.)
ඉතින් එදා පූනානි වලදී මම හිතාගත්තා ‘අදනම් ආවොත් දෙනවා ඕකුන්ට කුඩු යන්ඩ’ කියලා. මුළු රෑම රැකගෙන හිටියත් බල්ලෙක්වත් ආවේ නැහැ. (සමහර විට දවස් ගණන් රැකගෙන ඉඳලා සාර්ථකව වැඩේ දීපු අවස්ථා තියනවා) ඔන්න අපි එලිය වැටීගෙන එනකොට ආපහු එන්ඩ පිටත් වුනා. මීටර් 500 ක් විතර එනකොට නිදිමත නිසා මම ‘සරාගොයියා’ වගේ තුවක්කුව කරේ තියාගෙන එහි බටයේ අග්ගිස්සෙන් අල්ලාගෙන තමයි ආවේ. ඉදිරියෙන්ම ගියේ සැරයන්. ඊළඟට අපේ කොල්ලෝ දෙන්නෙක්. ඊළඟට මම.
එක පාරටම පට පටාස් ගාලා සද්දයක් ආවා. මගේ කන ලඟින් ඉතා උණුසුම් වායු ධාරා කීපයක් යනවා දැනුනා. ඒවා මගේ ජීවිතය පැහර ගන්නට එල්ලවූ සතුරු වෙඩි උණ්ඩ බව තේරුනේ පසුවයි. (තේරුනේ. . . දැන් තමයි) මට හිතාගන්න බැරිවුනා මොකක්ද වෙන්නේ, මොකද කරන්නේ කියලා. සැරයන් කෑගැහුවා ඩවුන් ඩවුන් (වහාම බිම දිගාවෙන්න) කියලා. මම ඩවුන් යනකොට සැරයන්ගේ මල පූනානි වලටත් උඩින් පැනලා. ‘සර් මොන ප .. . . ද කරන්නේ වෙඩි තියන්ඩ’ කියලා සැරයන් කෑගැහුවා.
තුවක්කුව වෙඩි තැබීමේ ඉරියව්වට ගත්ත ගමන් මා දුටුවේ වෙඩිතබාගෙන අප දෙසට දුවගෙන එන කළු ඇඳුම් ඇඳගත් හත් අට දෙනෙකු පමණ පිරිසක්. ඔවුන් සිටියේ අපට මීටර් 100 කටත් අඩු දුරකින්. ඒ සතුරාගේ තොරතුරු සෙවීමේ මුර සංචාරයක්. (Reconnaissance Patrol) මම වහාම වෙඩි වැලක් (burst) මගේ ටී 56 තුවක්කුවෙන් මුදා හැරියා. ඉදිරියෙන්ම ආ සතුරෙකුගේ මුහුණට වැදුණු මගේ වෙඩි වලින් ඔහුගේ ඔලුව කුඩුවෙනු මම හොඳින්ම දැක්කා. වෙඩි හුවමාරුව විනාඩි 5 ක් වත් තිබුනේ නැහැ. සතුරන් 4 දෙනෙක් මියගොස් සිටියා. තුවාලවී සිටි දෙන්නෙක් අල්ලාගත්තා. අපේ දෙන්නෙකුට සාමාන්‍ය තුවාල තිබුනා. මම වහාම කඳවුරට ගුවන්විදුලි මගින් කතාකලා. අධාරක භට පිරිස් පැමිණ කඳවුරට අපව කැටුව ආවා. මට තිබුනේ සීරීම් තුවාල පමණයි. සැරයන්ට කිසිම තුවාලක් නැහැ.
කඳවුරට එනතුරුත් අර දර්ශනය මගේ හිතේ හොල්මන් කරන්න වුනා. ‘ෂිහ්. . . මම මිනිහෙක් මැරුවනේ’ යන සිතුවිල්ල මට මහා වදයක් වුනා. එදා දවසම මම කිසිම දෙයක් කෑවේ නැහැ. වතුර විතරයි බිව්වේ. මගේ හමුදා සගයින් මට නොයෙක් ආකාරයෙන් කරුණු කිව්වත් මගේ හිතේ අවුල එලෙසම තිබුනා. බැරිම තැන මගේ සගයින් මෙය කඳවුරේ අණදෙන නිලධාරි තුමාට වාර්තා කර තිබුනා.
රාත්‍රී 9 ට පමණ මට පණිවිඩයක් ලැබුනා සාමාන්‍ය (සිවිල්) ඇඳුමකින් සැරසී අණදෙන නිලධාරි තුමාගේ පෞද්ගලික නිවස්නයට (chalet) පැමිණෙන ලෙස. ‘මොකද්ද යකෝ මේ වෙන්ඩ යන්නේ’ කියා සිතමින් මා එහි ගියා. සීරුවෙන් සිට ‘ගුඩ් ඊවිනින්ග් සර්’ කියා ගෞරව දැක්වුවා. ‘හායි යන්ග් මෑන්, කම් කම්’ කියා ඔහු මා කැඳවාගෙන අමුත්තන් පිළිගන්න සැටියේ වාඩි වෙන්නට කිව්වා.
අපි ඒ කාලේදී අණදෙන නිලධාරි තුමාට තියන ගෞරවය අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මම වාඩි නොවුන නිසා ඔහු මා අල්ලා වාඩි කෙරෙව්වා. ඔහුත් ඒ සැටියේ අනික් කොනේ වාඩි වුනා. වේටරයෙක් බීම ට්‍රොලියක් තල්ලු කරගෙන ආව. එහි විස්කි, බ්‍රැන්ඩි, ජින්, වොඩ්කා, අරක්කු, සියල්ල තිබුනා. ‘කම් ලෙට්ස් හෑව් අ ඩ්‍රින්ක්’ ඔහු කිව්වා. සාමාන්‍යයෙන් එය නියෝගයක් ලෙසයි සැලකිය යුත්තේ.
‘සර් ඉෆ් යූ ඩෝන්ට් මයින්ඩ් අයි ඈම් නොට් ඉන් අ මූඩ් ටු ඩ්‍රින්ක්’ මම කිව්වා. ‘ඕ කමෝන් මෑන් ඩෝන්ට් බී සිලි’ කිව් අණදෙන නිලධාරි තුමා වීදුරුවකින් බාගයක් පිරෙන්න විස්කි වත්කර, ‘නවු අයි ඈම් ඕඩරින්ග් යූ ටු ඩ්‍රින්ක්’ කිව්වා. ඔහුගේ හඬේ ස්වරය නිසාම බයවූ මම ගුඩුස් ගා ‘බොටම් අප්’ එකක් කළා. ගිනි ගුලියක් වගේ විස්කි ටික බඩට ගියා.
ඔහු මට කරුණු පැහැදිලි කරන්නට පටන් ගත්තා. ‘අයිසේ, තමුසෙවත් මමවත් මේ ආමි එකට බැඳුණේ, මම අර මිනිහා මරනවා, මම මේ මිනිහා මරනවා, කියලා හිතලා නෙවෙයිනේ. අනික යුද්ධ කරනවා කියන්නේ මොකක්ද මිනිහෝ, දෙපැත්තකට බෙදිලා මරාගන්න එක නෙවෙයිද? තමුසේ ආමි එකට බැඳුණේ ආමි එකේ කොල්ලන්ට බනිස් බෙදන්ඩද? මතක තියාගන්නවා යුද්ධයේදී දෙවෙනි ස්ථානයක් ඒ කියන්නේ අනු ශූරතාවයක් නැහැ. ඉස්සර වෙච්ච එකා දිනුම්. අද තමුසේ ඉස්සර වුන නිසා තමුසෙගෙ පවුලේ අයට තමුසෙව ඉතුරු වුනා. ආමි එකට තමුසෙව ඉතුරු වුනා. ටිකක් හිතලා බලනවා’. ආදී වශයෙන් පැයක් පමණ මට අවවාද කර මා පිටත් කලේ රාත්‍රී ආහාරයද ලබා දීමෙන් පසුවයි.
එතුමාගේ මේ අවවාදය මා අණදෙන නිලධාරියකු වූ පසුව මට මහත් ආදර්ශයක් වුනා.