අප ජීවත්වන ලෝකය පාලනය කරන ස්වභාව ධර්මයේ බලවේග වලට, අප සැම, සෑමවිටම යටත්ව සිටිනවා. ස්වභාව ධර්මයට අනුකූලව ජීවත් වනවා මිස, එය වෙනස් කරන්නට යාම විනාශයට මුලයි. ගුරුත්වාකර්ෂණය යනු ස්වභාව ධර්මයේ එවැනි වෙනස් කල නොහැකි බලවේගයක්. අප පොළොවේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී ගුවනට නැග්ගත් අප උපදවාගත් බලය කවදා හෝ අවසන් වෙනවා. එවිට ආපසු අපව පොලොව වෙත ඇද ගන්නවා ගුරුත්ව බලයෙන්. තුවක්කුවකින් පිටවන වෙඩි උණ්ඩයක් පවා මේ ස්වභාව ධර්මයේ නීති රීති වලට යටත්. අපි සාමාන්‍යයෙන් මේ මහ පොලොව මත දකින විවිධ වස්තූන් අපේ ඇස විසින් හඳුනාගන්නේ සියයට සියයක් නිවැරදිව නොවේ. සමතලා භූමියක අප ඈතින් දකින වස්තුවක් වෙත ඇති දුර නිශ්චය කිරීම බොහෝවිට සාර්ථක වුනත්, කඳු මුදුනක ඇති වස්තුවක් වෙත හෝ කඳු මුදුනක සිට පහල භූමියේ ඇති වස්තුවක් වෙත හෝ දුර නිශ්චය කිරීමේදී, අපේ ඇස දෘෂ්ටි මායාවන්ට හසු වෙනවා. ඒ නිසා අප වෙඩි තැබීම සඳහා ගන්න ඉලක්ක බොහෝවිට වැරදීයාමට ඉඩ තිබෙනවා.
තුවක්කුවකින් පිටවන උණ්ඩයක් එය පිටවූ මොහොතේ පටන්ම ගුරුත්වාකර්ෂණය විසින් පොලොව දෙසට ඇදගනිමින් පවතිනවා. මේ නිසා එය ගමන් කරන්නේ අප සිතා සිටිනාවක් මෙන් සරල රේඛාවක නොවේ. ක්‍රමයන් පොලොව දෙසට පහත් වන වක්‍ර රේඛාවක් දිගෙයි උණ්ඩය ගමන් කරන්නේ. මේ නිසා ඉලක්කයක් ගැනීමේදී මේ වක්රතාව (tajectory) ගැන විශේෂයෙන් සැලකිලිමත් වියයුතුයි.
මේ හේතු නිසා අපි සෑම විටම ඉලක්කයක් ගැනීමේදී, තුවක්කුව ඉලක්ක කලයුත්තේ, ඉලක්කයට මදක් ඉහලින් සිටින ආකාරයටයි. වම් පැත්තේ ඇති රූපය බලන්න. එහි මැද කොටසේ ඇත්තේ පොළොවට සමාන්තරව වෙඩි තැබීමේදී කලයුතු නිවැරදි පිළිවෙතයි. වෙඩි තබන්නාට ඉලක්කය පෙනෙන ආකාරය කොළ පාටින්ද, තුවක්කුවේ බටය යොමු කලයුතු ආකාරය නිල් පාටින්ද, උණ්ඩයේ ගමන් මග රතු පාටින්ද, පෙන්වා තිබෙනවා. නිල් පාටින් පෙන්වා ඇති ආකාරයට ඉලක්කය නොගෙන, කොළපාටින් දක්වා ඇති ආකාරයට ඔබ ඉලක්කය දකින විදිහටම තුවක්කුව යොමු කලොත් අර එළුවාගේ පාමුල ඔබේ උණ්ඩය වදිනවා. එවිට එළුවා හිටියාටත් වඩා හොඳින් (අපිට පස්ස පැත්තද පෙන්නා) දුවනවා. කඳු මුදුනක සිට පහල දෙස හෝ පහල භූමියේ සිට කඳු මුදුන දෙස බැලීමේදී අප දෘෂ්ටි මායාවකට හසුවෙනවා. ඒ නිසා අප මතක තබාගත යුතුයි, ඒ අවස්ථා දෙකේදීම, ඉලක්කය තිබෙන්නේ අපි හිතනවාට වඩා ආසන්නයෙන් බව. උදාහරණයක් වශයෙන් ඔබ හිතනවානම් ඉලක්කය තිබෙන්නේ මීටර් 200 ක් දුරින් කියා, ඔබ රයිෆලයේ දුර සැකසීමේ ඇණය කරකැවිය යුත්තේ මීටර් 170 ක පමණ දුරකට වෙඩි තබන ආකාරයටයි. එමෙන්ම ඉලක්කයට වඩා ඉහලින් සිටිනසේ තුවක්කුව අල්ලන කෝනයද සමතලා භූමියකදී වෙඩි තබනවිට එසේ ගන්න කෝණයට වඩා වැඩි විය යුතුයි.
දැන් බලන්න දකුණු පස ඇති රූපය දෙස. එහි පෙන්වා තිබෙන්නේ, වෙඩි උණ්ඩයක් තුවක්කුවෙන් පිටවූ පසු, ගුරුත්වාකර්ශනයට හසුවීම නිසා, ක්‍රමයෙන් එය පොළොවට පහත්වන ආකාරය. එහි පෙන්වා දෙන්නේ තත්පරයකට අඩි 3200 ක වේගයෙන් තුවක්කුවකින් පිටවන උණ්ඩයක් යාර 400 ක් දුර ගමන් කරන විට අඟල් 30 ක පමණ ප්‍රක්ෂිප්ත පථයක ගමන් කරන බවයි. ඉතින් දැන් ඔබට වැටහෙන්නට ඇති වෙඩි තැබීමත් විශේෂයෙන් ප්‍රගුණ කලයුතු ශිල්පයක් බව.
ප්‍රශ්නයට පිළිතුරු දුන් සියල්ලන්ට හද පත්ලෙන්ම ස්තුති කරන අතර නිවැරදි පිළිතුර ලෙස තේරුනේ හරී ලබාදුන් පිළිතුරයි. එය සියලුම න්‍යායාත්මක කරුණු තාර්කිකව පදනම් කර ගනිමින් ඉදිරිපත් කර තිබුනා. හරී, තෑග්ග හැටියට .303 රයිෆලයක් එවන්නද? සමහර අය අනුමානයට ලබාදුන් පිලිතුරුත් හොඳයි.
පසුව එකතු කිරීම. හරී මතක් කරලා තිබුනා මගේ අවසාන ප්‍රශ්නයට පිළිතුර දීලා නැහැ කියලා. ඇත්තටම මම හිතුවේ අර දෘෂ්ටි මායාව ගැන කිව්වම සියලු දෙනා තෙරුම්ගනියි කියලා උත්තරේ. හොඳයි, මේකයි. නැවත කියනවානම්, කන්ද පහල සිට උඩටත් උඩ සිට පහළටත් වෙඩි තැබීම එකසේ දුෂ්කරයි. හේතුව අර මා විස්තර කල දෘෂ්ටි මායාව හෙවත් දුර නිශ්චය කිරීමේදී ඇතිවන තත්වය. සහ ප්‍රක්ෂිප්ත වෙනසේ ඇති විශාලත්වය. දැන් හරිද හරී?