හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

27 July 2012

ඔයා බ්‍රිගේඩියර් ද, කමඩෝර් ද, ග්රූප් කැප්ටන් ද, (දෙවැනි කොටස) – Equal Ranks of Three Forces (Part Two)


  පසුගිය ලිපියෙන් ඔබට හමුදා නිල පිළිබඳව මූලික අවබෝධයක් ලැබෙන්නට ඇතැයි මා සිතනවා. එහිදී මා යුද හමුදාව විශේෂ කර කරුණු දැක්වුවත්, නාවික හමුදාව සහ ගුවන් හමුදාව සම්බන්ධයෙන්ද එම තත්වය බොහෝ දුරට එසේමයි. කෙසේ වෙතත් මේ ලිපියෙන් මම විශේෂ අවධානය යොමු කරන්නේ, ලිපියේ මාතෘකාවටද ගැලපෙන පරිදි ත්‍රිවිධ හමුදාවේ එක සමාන නිල මොනවාද යන්න පැහැදිලි කිරීමටයි. මෙහිදී මා සමහර නිල හැඳින්වීම සඳහා සිංහල නම් යොදා ඇතත්, වර්තමාන ව්‍යවහාරය ගැන සිතා ඉංග්‍රීසි නම්ද යොදා තිබෙන බව කාරුණිකව සලකන්න.
සෑම සන්නද්ධ සේවයකටම අලුතෙන්ම බැඳෙන ආධුනික නිලධාරීන් හඳුන්වන්නේ කැඩෙට් නිළධාරීන් (Officer Cadets) කියායි. මොවුන් අධිකාරියට පත්කරනතුරු ‘නිලධාරි’ (Officer) නමැති වර්ගීකරණයට වැටෙන්නේ නැහැ. ඒ නිසාත්, ඔබට ඔවුන් සාමාන්‍ය සමාජයේදී දකින්නට නොලැබෙන නිසාත්, ඔවුන්ගේ නිල ලාංඡන ගැන කතා නොකර මා ඔබට පෙන්වන්නේ අධිකාරි ලත් නිලධාරීන්ගේ (Commissioned Officers) ලාංඡන පමණයි. මුලින්ම බලමු යුද හමුදා නිලධාරීන්ගේ ලාංඡන. මේ ලාංඡන පිළිබඳව විශේෂ කරුණක් සඳහන් කල යුතුයි. මෙහි දැක්වෙන ත්‍රිවිධ හමුදා ලාංඡන මීට වඩා ඉතා අලංකාරයි. එහි ස්වභාවික පෙනුම සහිත මාධ්‍ය රූප සොයන්නට සෑහෙන වෙහෙසක් ගත්තත්, එය සාර්ථක වුයේ නැහැ. මෙහි දැක්වෙන ත්‍රිවිධ හමුදා ලාංඡන දක්වා තිබෙන්නේ ඒවා පළඳින නිල ඇඳුමේ උරහිසේ ඇති  රෙදි පටිය ද සහිතවයි. (එය හඳුන්වන්නේ ඇපලට් Epulette යන නමින්) යුද හමුදාවේ ඇපලට් එක හමුදා නිල ඇඳුමේ තිබෙන කොළපාටින් තිබිය යුතු බවත්, එම ලාංඡන, රිදී, රත්රන්, ක්‍රෝම් හෝ කළු පැහැයෙන් තිබිය යුතු බවත්, මතක තබාගන්න. එක් එක් නිලය හඳුන්වන නම් පැහැදිලි මදිනම් ඒ රූපය මත ‘ක්ලික්’ කර රූපය විශාල කර බලන්න. පිලිවෙලින් යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව දක්වා තිබෙන්නේ හමුදා ජ්‍යෙෂ්ඨතාවය අනුවයි. එසේම ත්‍රිවිධ හමුදාවේ එක් එක් නිලයට සමාන නිලය බලාගැනීමටත් එයින් ඔබට පහසු වනවා ඇතැයි සිතනවා. සෑම විටම අංක 1 යොදා තිබෙන්නේ පහලම නිලයට බවද මතක තබාගන්න.
ඉහත දැක්වෙන රූප සටහන් තුන දෙස හොඳින් බැලුවොත්, ඔබට පෙනෙනවා ඇති, යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීන් නිල 10 කට අයත් වන අතර, නාවික හමුදාවේ නිලධාරීන් අයත් වන්නේ නිල 9 කට පමණක් බව. එයට හේතුව මෙයයි. යුද හමුදාවේ 2 වැනි ලුතිතන් තනතුරට හෝ ගුවන් හමුදාවේ නියමු නිලධාරි තනතුරට හෝ සමාන නිලයක් නාවික හමුදාවේ  නැහැ. නාවික හමුදාවේ උප ලුතිතන් සමාන වන්නේ යුද හමුදාවේ ලුතිතන් සහ ගුවන් හමුදාවේ පියාසර නිලධාරි නිලයටයි. ඒ නිසා ඉහත රූප සටහන් බැලීමේදී, නාවික හමුදාවේ අංක 1 සමාන වන්නේ යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ අංක 2 ට බව මතක තබාගන්න.
මෙහිදී මා සිතුවා මේ සමගම පොලීසියේ නිළ පිළිබඳවත් රූප සටහනක් ඇතුලත් කරන්න. එය පහත දක්වනවා.
මා පසුගිය ලිපියේද සඳහන් කල පරිදි පොලීසිය යනු දෙපාර්තමේන්තුවක්. ඒ නිසා සන්නද්ධ සේවා සමග පොලීසිය සංසන්දනය කිරීම ඉතා අපහසු කාර්යයක්. මෙහිදී මා අදහස් කරන්නේ ඔබේ දැනුම වර්ධනය කිරීමට විනා එක් එක් ආරක්ෂක අංශයේ උසස් පහත්කම් සෙවීම නොවන බව අවධාරණය කරනවා.
ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ එක හා සමාන නිළ මොනවාද යන්න දැනගත් නිසා, නිලධාරීන් නොවන, සෙසු නිලයන්ගේ විස්තරත් සොයා බලමු. නිලධාරීන් නොවන අය හඳුන්වන පොදු නාමය තමයි සෙසු නිළ (Other Ranks) කියන්නේ. එයින් ලාන්ස් කෝප්‍රල් සිට බලලත් නිලධාරි 1 දක්වා පිරිස හඳුන්වන්නේ කොමිෂන් නොලත් නිලධාරීන් යනුවෙන්.(Non Commissioned Officers = NCO’s) මේ කොමිෂන් නොලත් නිලධාරීන් අතරින් මාණ්ඩලික සැරයන්, බලලත් නිලධාරි 2, බලලත් නිලධාරි 1 යන නිලයන් (Staff Sergeant, Worrent Officer Class II, Worrent Officer Class I) ජ්‍යෙෂ්ට කොමිෂන් නොලත් නිලධාරීන් ලෙස හඳුන්වනවා. (Senior NCO’s) ත්‍රිවිධ හමුදාවේම මේ ආකාරයට මේ වර්ග දෙක තිබෙනවා. අපි ත්‍රිවිධ හමුදාවේ නිලධාරීනේගේ ඒක සමාන නිළ මොනවාද යන්න බැලූ ආකාරයටම සෙසු නිලන්ගේ එක සමාන නිළ මොනවාද යන්න බලමු.
සාමාන්‍යයෙන් බලලත් නිලධාරියකු තම නිලයට අදාළ ලාංඡනය අඳින්නේ ඔරලෝසුවක් බඳින ආකාරයට, බකල් එකක් සහිත හම් පටියක සවිකර, සිය දකුණු අතෙයි. එහෙත් සමහර රෙජිමේන්තු වල බලලත් නිලධාරීන් තම නිළ ලාංඡනය අඳින්නේ නිළ ඇඳුමේ කමිසයේ දකුණු අතේ උඩ බාහුවෙයි.  නාවික හමුදාවේත් ගුවන් හමුදාවේත් එවැනි වෙනස්කම් තිබෙනවා.
ඔබ දැක ඇති යුද හමුදාවේ නිලධාරීන් මෙන්ම සමහර සෙසු නිලයන්ද යෂ්ටියක් (Batton) පාවිච්චි කරන බව. නිලධාරීන් සියලු දෙනාම සාමාන්‍ය රාජකාරි නිළ ඇඳුමෙන් සිටිනවිට යෂ්ටිය දැරිය යුතුයි. සෙසු නිලයන් අතරින් යෂ්ටිය දරන ප්‍රධාන නිලයා වන්නේ බල ඇණියක රෙජිමේන්තු සැරයන් මේජර් වරයායි. (Regimental Sergeant Major – RSM) ත්‍රිවිධ හමුදාවේම එම නිලයට සමාන නිලයන් එසේ යෂ්ටියක් පාවිච්චි කරන අතර එය තමයි හමුදා නිලයකු විසින් පාවිච්චි කරන විශාලතම යෂ්ටිය. එය අඟල් 1  1/2  ක පමණ විෂ්කම්බයකින් යුක්ත වන අතර අඩි 3  1/2 ක් පමණ දිගයි. එය හඳුන්වන්නේ කේන් මලයා (මලයා කියන්නේ මල්ලි නෙවෙයි මලයාව කියන රට) යන නමින්.
මේ හැර හමුදා සරඹ උපදේශකයන් (drill Instructor) පමණක් පාවිච්චි කරන විශේෂ යෂ්ටියක් තිබෙනවා. එය හඳුන්වන්නේ ෆේස් ස්ටික් (Phase Stick) යනුවෙන්. මෙය හරියට විශාල කවකටුවක් වගෙයි. තමන් ගමන කරන අතරම මේ ෆේස් ස්ටික් එකේ පාද දෙක ‘ටක් ටක්’ හඬින් පොළොවේ තබමින්, සරඹ උපදේශකයකු ගමන් කරන ආකාරය බලන්න ලස්සනයි. හමුදාවක සියලු සරඹ (ගමන් කරන්නේ කොහොමද, ආචාර කරන්නේ කොහොමද, ආදිය) පිලිබඳ සම්මත නීති රීති තිබෙනවා. ඒවා ලියා තිබෙන විශේෂ පොත් වර්ගයක් තිබෙනවා සරඹ උපදෙස් පොත් හෙවත් (Drill Pamphlets) යනුවෙන් . ඒවා උගන්වන්නේද ගුරුවරුන් පාසලේදී පාඩම් සටහන් සකස් කරනවාක් මෙන් (Lesson Notes) වලට අනුවයි. (සෑම අවියකටම වුවත් එවැනි උපදෙස් පොත් සහ පාඩම් සටහන් තිබෙනවා. T 56 අවිය උගන්වන්නේ පාඩම් පහකින්) පෙළපාලියක ගමන කිරීමේදී සොල්දාදු පියවරක පරතරය මෙපමණකැයි සම්මතයක් තිබෙනවා. ඒ ප්‍රමාණය මනින්නේ ෆේස් ස්ටික් එකෙන්. සරඹ උපදේශකයන් යනු විශේෂඥ පුහුණුව ලද පිරිසක්. නිලධාරීන් වන අපිවත් ඒ අය එක්ක සරඹ පිළිබඳව වාද කරන්න යන්නේ නැහැ. ඉස්සරනම් හොඳම සරඹ උපදේශකයකුට අවස්තාව ලැබුනා එංගලන්තයට ගොස් පුහුණුවන්න.
මේ ලිපියට ඇතුලත් වියයුතු තවත් රූප සටහන් ඇතත් ඒවා සොයාගැනීම තරමක් අපහසුයි. පහත දැක්වෙන්නේ එයට අදාළ කරුණුයි. යුද හමුදාවේ කර්නල් සහ ඊට ඉහල නිලධාරීන්ද, ගුවන් හමුදාවේ ග්රූප් කැප්ටන් සහ ඊට ඉහල නිලධාරීන්ද (නාවික හමුදාවේ නැත) තම නිළ ඇඳුමේ කොලරයේ දෙපස අඳින ලාංඡනයක් තිබෙනවා. එය හඳුන්වන්නේ ‘ජෝජට් පැච් - Gorjet Patch’ යනුවෙන්.
මේ ජෝජට් පැච් අඳින්නේ කොලරයේ දෙපැත්තේ. ඒ සමගම පෙන්වන්නම් ඒවා අන්දලා ඉන්න විට පෙනෙන්නේ කොහොමද කියලා. එපමණක් නෙවෙයි, උසස් නිලධාරියකුගේ නිළ ඇඳුමේ තියන තවත් විශේෂ ලක්ෂණ කීපයකුත් පහත දැක්වෙන රූපයෙන් බලන්න.
යුද හමුදාවේ කර්නල් නිලය හා ඊට ඉහල නිලයන්හි නිලධාරීන් ජෝජට් පැච් ඇන්දත්, නාවික හමුදා නිළ ඇඳුමේ එවැනි කොටසක් නැහැ.
ගුවන් හමුදා නිලධාරීන් යුද හමුදාව මෙන් ජෝජට් පැච් අඳිනවා.
තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ මේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අඳින හිස්වැස්මේද වෙනස්කම් තිබීමයි. මා මෙහිදී දක්වන්නේ යුද හමුදාවේ උදාහරණය පමණයි.
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් පිලිබඳ ඉතා සංක්ෂිප්ත විස්තරයකුයි මා ඉදිරිපත් කලේ. මේ කාරණය සම්බන්ධ සවිස්තරව කරුණු ඉදිරිපත් කරන්නේනම්, දීර්ඝ ලිපි තුනක්වත් ලියන්නට සිදුවන අතර, එය සමහරවිට ඔබට නීරස වන්නට පුළුවන්. එක් එක් හමුදාවල අවේනික ලක්ෂණ සහ එක් එක් එක් රෙජිමේන්තුවල අවේනික ලක්ෂණ පිළිබඳව වෙනමම ලිපියකින් විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා. අදට මේ ඇති නේද?
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }