මෙලොව තුල අතීතයේදීත් තිබුණු, වර්තමානයේත් තිබෙන, අනාගතයේත් අනිවාර්යයෙන්ම තිබෙනු ඇතැයි සිතෙන යුද්ධ කිරීම, මානව වර්ගයා මෙලොවෙන් තුරන් වනතුරුම පවතීයැයි සිතිය හැකියි. සමහරවිට ලෝකය විනාශ වන්නේද එවැනි යුද්ධයකින් නොවෙයි කියා කිව හැක්කේ කාටද? බොහෝ දෙනෙකු සිතන්නේ නවීන යුද ගුවන් යානා, යුද ටැංකි, යුද නැව්, විශාල භට පිරිස් තිබේනම් යුද්ධය පහසුවෙන් ජයගත හැකිවෙයි කියායි. එහෙත් ඇත්ත තත්වය එය නොවේ. යුද්ධයක ජයග්‍රහණය රඳා පවතින්නේ යුද්ධයට එළඹුන දෙපාර්ශවය හෝ ඊට වැඩි පාර්ශව ගණන යුද මූලධර්ම කොතෙක් දුරට සාර්ථකව අනුගමනය කරන්නේද යන්න මත ය.
යුද්ධයක ජයග්‍රහණය බලාපොරොත්තු රහිතව ගිලිහෙන අවස්ථා මෙන්ම පහසුවෙන් ලඟා කරගන්නා අවස්ථාද ඇත. එහෙත් හොඳින් කරුණු සොයා බැලුවොත් ඒ සෑම අවස්ථාවකදීම සංග්‍රාමික මූලධර්ම (Principles of War) බලපා ඇති බව පැහැදිලිව පෙනීයයි.
සාමාන්‍යයෙන් යුද මූලධර්ම යන්න ලෝකයේ එක් එක් ප්‍රබල රටවල් අනුගමනය කරන්නේ තමන්ගේ අත්දැකීම් හා පළපුරුද්ද පදනම් කරගෙන, තමන් විසින්ම සකසාගත්, අචාරධර්ම පද්ධතියක් ලෙසය. ලොව ප්‍රබල රටවල් වන ඇමරිකාව, ජර්මනිය, ප්‍රංශය, වැනි රටවල් සාමාජිකත්වය දරන නේටෝ (NATO)සංවිධානයටවත් ඒ සියළු රටවල් එක්ව පිළිගන්නා පොදු සංග්‍රාමික මූලධර්ම මාලාවක් නැහැ. ඉදින් මේ සංග්‍රාමික මූලධර්ම යනු මොනවාද? එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඒ කරුණු විස්තර කිරීමටයි මා සූදානම් වන්නේ.
මෙහිදී ඔබට එක කරුණක් පැහැදිලිව කිව යුතුයි. මේ ලිපිය ඉදිරියට කියවාගෙන යද්දී, නීරස යැයි සිතෙන්නේ නම්, වහාම කියවීම නවත්වන්න. පසු අවස්ථාවක නැවත කියවන්න. එවිටත් එය නීරසනම් නැවත කිසිවිටකත් කියවන්න එපා. මේ කරුණු යුද කලාවේ (Art of War) තරමක් ගැඹුරු කරුණු ලෙසයි සැලකෙන්නේ.
නවීන විද්‍යාවෙන් යුද්ධයට කොතරම් විශාල පිටුබලයක් ලැබුනත්, යුද්ධයක් සැලසුම් කිරීම, කළමනාකරණය කිරීම සහ මෙහෙයවීම, අප සිතන තරම් පහසු දෙයක් නොවේ. ඒ සඳහා අත්දැකීම් බහුල, අතිශූර චින්තනයකින් යුත්, උපක්‍රම විශේෂඥයන්ගේ (Tactician) ක්‍රියාකාරී දායකත්වය අනිවාර්ය වෙයි. යුද උපක්‍රම යනු හුදෙක් බලය පාවිච්චි කිරීම පමණක් නොවේ. ත්‍රිවිධ හමුදාවේ සේවය කරන සෑම දෙනා තුලම ‘හමුදා දැනුම Military Knowledge’ අඩු වැඩි වශයෙන් තිබේ. එහෙත් සංග්‍රාමයක් මෙහෙයවන මහ සෙනෙවියකු තුළ තිබිය යුතු සුවිශේෂී ගුණාංග, දැනුම, නායකත්වය ඉතාම තීරණාත්ම සාධක වෙනවා. එවැනි මහ සෙනෙවියකු ගන්නා එක් වැරදි තීරණයකින් භටපිරිස් රාශියකගේ ජීවිත අහිමිවී, වටිනා යුද උපකරණද සතුරා අතට පත්විය හැකියි. එවැනි වර්ගයේ සෙනෙවියන්ද අපේ හමුදාවේ සිටි අතර ඔවුන් ගත් මෝඩ තීරණ නිසා අපේ හමුදාවට බරපතල හානි සිදුවුනා. ශ්‍රී ලංකාව තුලදී මෙතෙක්, කැපී පෙනෙන ලෙස, නියම නායකත්ව ලක්ෂණ, සංග්‍රාමික සැලසුම් සැකසීමේ හැකියාව, සාර්ථක ඉදිරි දැක්මක් තිබීම, ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද යන්න ගැන අවබෝධයක් තිබීම, වැනි ලක්ෂණ මා දැක ඇත්තේ, මහ සෙනෙවියන් දෙදෙනෙකු තුළ පමණි.
ඒ ලුතිතන් ජෙනරල් ඩී. එල්. කොබ්බෑකඩුව සහ ජෙනරල් ජී. එස්. සී. ෆොන්සේකා යන මහ සෙනෙවියන් දෙදෙනාය.
යුද්ධය වර්තමානය වනවිට බොහෝ දුරට මුහුණට මුහුණලා කරන සටන් වලට වඩා දුර සිට කෙරෙන පහරදීම් වලට සහ සැඟවී සිට කෙරෙන පහරදීම් වලට සීමාවී ඇත. අද ලෝකයේ බොහෝ දුරට දක්නට ලැබෙන්නේ සාම්ප්‍රදායික යුද්ධ (Conventional Wafare) වලට වඩා සාම්ප්‍රදායික නොවන (Unconventional Warfare) යුද්ධසහ සන්විධානාත්මක ත්‍රස්තවාදී සටන් මැඩලීම සඳහා කෙරෙන ප්‍රති ත්‍රස්තවාදී (Counter Terrorism) හෝ ප්‍රති විප්ලවවාදී සටන් (Counter Revolutionary Warfare) ය. මෙහිදී මා ඒ සටන් ක්‍රම ගැන විස්තර කිරීමට නොයන්නේ ඒවා ඉතා දීර්ඝ විස්තර බැවිනි. කෙටියෙන් කියතොත් සාම්ප්‍රදායික යුද්ධ සිදුවන්නේ යටත්පිරිසෙයින් රටවල් දෙකක් හෝ කීපයක් අතරය. ත්‍රස්තවාදී හෝ විප්ලවවාදී සටන් එක රටක් තුළ වුවද සිදුවියහැකි බව, ලංකාවේ මෑත ඉතිහාසය ගැන දන්නා ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ.
ලෝකයේ එක් එක් ප්‍රබල රටවල් සංග්‍රාමික මූලධර්ම Principles of War වශයෙන් පිළිගන්න කරුණු එක සමාන නොවේ. තම අත්දැකීම්ද, චින්තනයද පදනම කරගනිමින් සැකසුනු විවිධ මූලධර්ම අනුව කටයුතු කිරීමට ඒ ඒ රට පුරුදුවී සිටී. ලෝකයේ මුලින්ම සංග්‍රාමික මූලධර්ම පිලිබඳ මතවාද ප්‍රකාශ කළ අය අතරින් චීන ජාතික මහ සෙනෙවියකු මෙන්ම යුද කලාවේ දාර්ශනිකයකු වශයෙන් සැලකෙන වන‘සුන් සු Sun Tzu’ හට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. මා මෙම ලිපියෙන් ඔබට හඳුන්වාදීමට යන්නේ, ලෝකයේ රටවල් බහුතරයක් විසින් සංග්‍රාමික මූලධර්ම ලෙස පිළිගන්නා කරුණු 10 පිළිබඳවයි.
පුංචි කතාවක්:-
කලකට ඉහත අපේ රටේ හිටියා රැස් විහිදෙන නියෝජ්‍ය ආරක්ෂක ඇමති කෙනෙක්. බොහොම කෙටි කලකට සීමාවූ හමුදා සේවයකුත් ඔහුට තිබුන අතර, ඉතා ඉහල හමුදා නිලයක් ඔහුට ලැබී තිබුනේ දේශපාලනය තුලින් ලැබුණු ඥාති සංග්‍රහය නිසයි. දෙවැනි ලුතිතන් සිට එක වරම ලුතිතන් කර්නල් නිලය දක්වා, උසස්වීම් ලැබූ මොහු, ඉතා අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වුනා. මොහු තරමක් දැඩි පාලකයෙක්. මොහු වරක් යුද හමුදාවේ කර්නල් වරයකුට කිසියම් ක්‍රියාන්විතයක් කරන ලෙස අණ දුන්නා. එවකට ඒ කර්නල් වරයා හිටියේ සබරගමුව පළාතේ දකුණු කොටස භාරවයි. ඔහු, දැනට ගුරු වෘත්තියේ සිටින, දක්ෂ ජනප්‍රිය ගායිකාවකට, ගී පද රචනා කීපයක් කරදුන් බවද මතකයි. මා දන්නා තරමින් අද ඔහු ඕස්ට්‍රේලියාවේ ජීවත්වනවා. කර්නල් වරයාට ලැබුන නියෝගය, දේශපාලන අදහස් මත ගත් අසාධාරණ නියෝගයක්. ඒ නිසා ඔහු එය ඉටු කිරීම ප්‍රතික්ෂේප කළා. අර ඇමතිවරයා ඔහුව දුරකතනයෙන් අමතා ඇසුවා ‘ඇයි මගේ නියෝගය ඉටු නොකළේ’ කියා. එවිට අර කර්නල් වරයා කිව්වා, එය ඉතා අසාධාරණ නියෝගයක් බවත්, ඔහුට පිළිපදින්නට හැකි යුද හමුදාපතිගෙන් ලැබෙන නියෝග පමණක් බවත්. එයින් කෝපයට පත් ඇමති වරයා කිව්වා, ‘අයිසේ මමත් කර්නල් කෙනෙක්’ කියා. එවිට අර කර්නල් කිව්වා ‘ඇත්තද, එහෙනම් කර්නල් මට කරුණාකරලා කියනවද යුද්ධයේ මූලධර්ම 10 මොනවද කියලා’. . . . . . . . . සංවාදය එතැනින්ම නැවතුනා. අර කර්නල් දැන සිටියා, පිනට උසස්වීම් ලද මේ පින් කර්නල්, හමුදා දැනුම අතින් පුස්සෙක් බව. එමෙන්ම කර්නල්ට වැටහුනා, තමන්ගේ මේ ප්‍රකාශය නිසා, තමන් බරපතල පළිගැනීමකට ලක්වන බව. ඒ නිසා ඔහු, පහුවදාම ලිඛිත ඉල්ලීමක් කර, සිය කැමැත්තෙන් හමුදාවෙන් ඉල්ලා අස්වුණා. ඉන්පසු පිට රටකට ගියා ජීවිතය බේරාගන්න. මේ රටට හොඳ සෙනෙවියෙක් අහිමි වුනා.
සංග්‍රාමික මූලධර්ම 10 පණ දාගෙන කටපාඩම් කළයුතු යුගයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ හැම හමුදා නිලධාරියාටම එනවා. ඒ ලුතිතන් සිට කපිතන් දක්වා උසස් කිරීමේ විභාගය සහ කපිතන් සිට මේජර් දක්වා උසස් කිරීමේ විභාගයට මුහුණදීම සඳහායි. (නිලධාරියකුට තියෙන්නේ ඒ විභාග දෙක පමණයි. එතනින් එහා උසස්වීම් ලැබෙන්නේ සුදුසුකම් අනුවයි) හොඳයි, මෙතැන්සිට අපි බලමු මොනවද මේ සංග්‍රාමික මූලධර්ම කියන්නේ කියලා. හොඳින් මතකතබාගන්න හමුදාවේදී උගන්වන්නේ යුද්ධය විද්‍යාවක් නොව කලාවක් කියලයි. ‘Art of War’
සංග්‍රාමික මූලධර්ම Principles of War
1. සටනේ අරමුණ තෝරාගැනීම සහ එම අරමුනෙහිම එල්බ සිටීම.
Selection and Maintenance of the Aim.
සංග්‍රාමයක අරමුණු තිබිය නොහැකියි. එක අරමුනයි තිබිය හැක්කේ. මේ මුලධර්මය සංග්‍රාමික මූලධර්ම අතරින් ප්‍රධානතම මුලධර්මය වන අතර සටනේ මුල්ගල ලෙසද සැලකෙනවා. කලින් කලට වෙනස් වෙන වැනෙන අරමුණක් සහිතව සංග්‍රාමයක් පවත්වාගත නොහැකියි. ඒ නිසා ඉතා හොඳින් සිතා බලා තම සටනේ අරමුණ තෝරාගත යුතුයි. එක කාලෙකට කියනවා එල් ටී ටී ඊ යට ගහලා පරාජය කරනවා කියලා. තව කාලෙකදී කියනවා සාකච්ඡා කරනවා කියලා. ඒවා වැනෙන අරමුණු. එයින් ලැබුණු අයහපත් ප්‍රතිඵල ඔබට නැවත කියන්න අවශ්‍ය නැහැනේ. අන්තිමට අපි තීරණය කරා ගහනවාමයි කියලා. ඒ අරමුණ පවත්වාගෙන ගියා මොන ප්‍රශ්න ආවත්. ඒ නිසා සටන දිනුවා.
2. චිත්ත ධෛර්යය (ආත්ම විශ්වාසය) පවත්වාගැනීම - Maintenance of Morale
සංග්‍රාමයක් දිනන්නට හමුදාවේ සියලු දෙනා තුළ උනන්දුව, ඕනෑකම, අවබෝධය, හිතේ හයිය අවශ්‍යමයි. සොල්දාදුවන් සටනට එළඹෙන්නේ, ඔවුන් තුල, රටේ දේශපාලන නායකත්වය මෙන්ම, යුද හමුදා නායකත්වය පිළිබඳව ඇතිවන විශ්වාසය හේතුවෙන් සිදුවන, ස්වයං පෙළඹවීමක්ද සහිතවයි. එවැනි නායකත්වයන් තුළ, සංග්‍රාමයේ අරමුණ, හරය, වටිනාකම, පිළිබඳව සොල්දාදුවා තුළ කිසියම් අභිමානයක් ජනිත වෙනවා. එකා පිට එකා මැරී වැටුනත් ඉදිරියට යනවා කියන හැඟීම ඇතිවන්නේ, සොල්දාදුවාගේ සිත තුළ, ඉහත සඳහන් හේතු නිසා ඇතිවන චිත්ත ධෛර්යය විශාල බලපෑමක් ඇති කරන නිසයි. එයින් සොල්දාදුවා ’මේ මගේ හමුදාව’ නමැති කණ්ඩායම් හැඟීම වර්ධනය කරගන්නවා. එමෙන්ම තමන්ට හමුදාවෙන් ලැබෙන සහයද තේරුම් ගන්නවා. මේ නිසා චිත්ත ධෛර්යය සටනක තීරණාත්මක සාධකයක්.
3. ආක්‍රමණශීලී ක්‍රියා - Offensive Action
තමන් යෙදී සිටින ක්‍රියාන්විතය, ජයග්‍රහණය තහවුරු කරගන්නා තුරු නොකඩවා පවත්වාගෙන යාම සඳහා, හමුදා අනදෙන්නෙකු විසින් තම හමුදාව නිබඳවම ආක්‍රමණශීලී කටයුතු සඳහා යොමු කරනවා. එයින් අවසන් අරමුණ තහවුරු කරගැනීම සඳහා අවශ්‍යවන අඩිතාලම වැටෙනවා. අපි යුද පෙරමුණේ නිකම් බලා ඉන්නවාට වඩා එක අඟලක් ඉදිරියට යාම වැදගත්. රාත්‍රියේදී, බඩගාගෙන ඉදිරියට ගොස්, සතුරු බංකර් දෙක තුනක් වැනසුවොත්, අපේ ඉදිරි ගමනට රුකුලක්. එය සම්පූර්ණ යුද්ධයේ ඉතා සුළු කොටසක් වුවත්, ඉදිරියට යාමට මග පාදා ගැනීමක්.
4. ආරක්ෂාව - Security
ආරක්ෂක හමුදා වලටත් ආරක්ෂාව අවශ්‍යයි. කිසියම් ක්‍රියාන්විතයක (Operation) යෙදීමේදී, ඒ සඳහා යොදවන භටපිරිස් වලට, බාධා වලින් තොරව තම කාර්යය කරගෙන යාමට නම්, සතුරු බලවේග වලින්, බලාපොරොත්තු සහගත නොවන ලෙස එල්ලවන ප්‍රහාර වලින්, ක්‍රියාන්විත කණ්ඩායම් ආරක්ෂා කලයුතුයි. ඒ සඳහා අවශ්‍ය තරම් භට පිරිස් වෙනමම යෙදවිය යුතුයි. ඔවුන්, ප්‍රධාන ක්‍රියාන්විතයේ සිටින භට පිරිස් වලට ආරක්ෂාව සපයන අතර, අවශ්‍ය වෙලාවට සතුරාට ප්‍රති ප්‍රහාර දෙමින්, ප්‍රධාන ක්‍රියාන්විතයේ අරමුණ නොබිඳී පවත්වාගෙන යාමටත්, ඉලක්ක අත්පත් කරගැනීමටත්, අවස්ථාව උදා කර දිය යුතුයි.
5. විශ්මයජනක බව - Surprise
විශ්මයජනක ලෙස හෙවත් සතුරා පුදුමයට පත් කරමින් එල්ල කරන ප්‍රහාර වල වාසිය, තමන්ට අයිතිවීමේ ප්‍රතිඵලය වන්නේ, ක්‍රියාන්විතයේ ඉදිරි ගමන සාර්ථක වීමයි. මෙය ක්‍රියාන්විතයක සාර්ථකත්වය කෙරෙහි බෙහෙවින්ම බලපාන මූලධර්මයකි. කලින් සැලසුම්කල ප්‍රහාරයක් වුවද, හදිසියේ සැලසුම්කල ප්‍රහාරයක් වුවද, සතුරා බලවත් කම්පනයටත්, භීතියටත්, පත් කරමින්, කලයුත්තේ කුමක්ද යන්න සිතාගත නොහැකිවන පරිදි, අවුලකට පත් කරමින්, බලාපොරොත්තු රහිත වෙලාවක, බලාපොරොත්තු රහිත දිශාවකින්, බලාපොරොත්තු රහිත උපක්‍රම යොදවා පහරදීමෙන්, විශ්මය ජනක බව රැකගත හැකිය.
6. බල සංකේන්ද්‍රණය – Concentration of Force
තම අරමුණ උපරිම මට්ටමෙන් ඉටු කරගැනීම සඳහා, අවශ්‍ය අවස්ථා වලදී, අවශ්‍ය ස්ථානයකදී හෝ ප්‍රදේශයකදී (සංකල්පමය වශයෙන්ද, භෞතික වශයෙන්ද, චිත්ත ධෛර්යය වශයෙන්ද) යෙදවිය හැකි බලය, තීරණාත්මකව සහ හැකි උපරිමයෙන් එකට සම්මිශ්‍රණය කර ඒ බලය ක්‍රියාන්විතය වෙත යොමු කිරීමයි, මේ මුලධර්මයෙන් අදහස් කෙරෙන්නේ. එල්.ටී ටී. ඊ. සංවිධානය සමග කළ අවසන් සටනේදී අපේ ත්‍රිවිධ හමුදාවම එක අණදීමක් යටතේ එකම හමුදාවක් ලෙස ක්‍රියා කිරීම උදාහරණයක් ලෙස දැක්විය හැකියි.
7. ප්‍රයත්නය අරපිරිමැසුම්දායක වීම – Economy of Effort
කිසියම් ක්‍රියාන්විතයක් සඳහා යොදවන භටපිරිස් ප්‍රමාණය, යුද්ධෝපකරණ ප්‍රමාණය, යොදවන බලයේ ප්‍රමාණය, අදාළ අරමුණ සාර්ථකව ඉටුකරගැනීම සඳහා ප්‍රමාණවත් බව අණදෙන්නා විසින් සාධාරණ ලෙස සිතා බලා පූර්ව නිගමනයකට එළඹිය යුතුය. භට පිරිස් බිල්ලට දීම, යුද්ධායුධ විනාශවීම හෝ සතුරා අතට පත්වීමට ඉඩදීම නොකළ යුතුය. තමන් යුදවන බලය සතුරාට පමණක් සහ සිවිල් ජනතාවට අවම හිරිහැර වන පරිදි යෙදවිය යුතුය.
තවත් පුංචි කතාවක්:-
මම කපිතන් නිලයේ සිට මේජර් නිලය දක්වා උසස් කිරීමේ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණයට මුහුණ දුන්නේ, අනුරාධපුරයේ තිරප්පනේ ප්‍රදේශයට ආසන්න තලගුරු රජමහා විහාරය අසල පිහිටි කඳු මුදුනක සිටයි. මෙහිදී මට ප්‍රහාරක සැලැස්මක් සාදා, එය විශාල කොලයක ඇඳ, ඒ ප්‍රදේශයේ සිතියමට අනුව, භූමියේ ඒ ඒ තැන්, කඳු මුදුනේ සිට, පරීක්ෂණ මණ්ඩලයට පෙන්වමින්, විස්තර කිරීමට සිදුවුනා. මට තිබුනේ පහල භූමියේ ඈතින් තිබුන කුඩා නිවසක් එල්.ටී.ටී.ඊ. පිරිසක් සැඟවී සිටින ස්ථානයක් ලෙස සලකා 50 – 60 පමණ භට පිරිසක් යොදවා පහරදී, ඒ සතුරු පිරිස විනාශ කිරීමයි. මෙහිදී මට අපේ හමුදාවේ ප්‍රබලම කාලතුවක්කුව වන මිමී 130 කාලතුවක්කු සහාය (කි මී 27 ක් දුරට වෙඩි තැබිය හැකියි) සහ යුද ටැංකි දෙකක සහාය ඇති බව පරීක්ෂණ මණ්ඩලය කිව්වා. මම ඒවා ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා. ‘මොකද ඔයා මේ අලුත්ම ආයුධ පාවිච්චි කරන්නේ නැත්තේ’ කියා මණ්ඩලය මගෙන් ඇසුවා. මම පෙන්වා දුන්නා, ප්‍රහාරක භට පිරිස ඒ ස්ථානයට යන්නට පෙර කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කර, එය වැරදුනොත්, සතුරු පිරිස අනිවාර්යයෙන්ම පැන යන බවත්, ප්‍රහාරක භට පිරිස් ඒ ස්ථානයට ළඟාවී සිටියදී, කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කලොත්, අපේ භට පිරිස්ද ඊට ගොදුරු වියහැකි බවත්. එමෙන්ම මා පෙන්වා දුන්නා යුද ටැංකි දෙක ඒ නිවස දෙසට ගියොත්, යුද ටැංකිවල අධික ශබ්දය නිසා සතුරා පැන යන්නට හොඳටම ඉඩ කඩ ඇති අතර, ඒ කැලෑ ප්‍රදේශය තුළ, යුද ටැංකි රියදුරාට හරි හැටි ඉදිරිය නොපෙනෙන නිසා, යුද ටැංකි නාශක ආර්.පී.ජී (Rocket Propelling Grenade = RPG) ප්‍රහාරයකට ලක්විය හැකි බව. ඒ ස්ථානයේ සතුරන් හතත් පහළොවත් අතර ප්‍රමාණයක් ඉන්න බවටයි ප්‍රශ්නයේ සඳහන්ව තිබුනේ. ඉතින් ප්‍රයත්නයේ අරපිරිමැසුම්දායක බව සලකා, මා ගත් තීරණය නිවැරදි නිසා, මා පරීක්ෂනයෙන් සමත් වුනා. මතක තබාගන්න අරමුණ. ඒ සතුරන් විනාශ කිරීමයි අරමුණ. එයයි කලයුත්තේ. කාලතුවක්කු හෝ යුද ටැංකි යොදවා ඔවුන් පලවා හැරීම නොවෙයි.
8. නම්‍යශීලී බව – Flexibility
යුද්ධයකදී පවතින වාතාවරණය කොයි මොහොතේ කුමන අතකට හැරේද යන්න පූර්ව කථනය කිරීම, අතිශයින්ම අපහසුය. සමහර විට කොහෙත්ම කිව නොහැකිය. මෙහිදී අණදෙන්නා මෙන්ම භටපිරිස්ද තත්වානුරූපව ක්ෂණිකව අනුවර්තනය විය යුතුය. ඒ අනුවර්තනය අවම කාලයක් තුළ, උපරිම වේගයෙන්, විශ්වසනීයත්වයෙන්,කඩිසරව සහ ඉතා බුද්ධිමත්ව කළ යුතුය. නව තත්වයට නිසි ප්‍රතිචාර දැක්විය යුතුය. මෙතෙක් කරගෙන ආ ක්‍රියා මාර්ගය අතහැර, ක්ෂණිකව නව ක්‍රියාමාර්ගය අනුගමනය කලයුතුය.
9. සහයෝගය – Cooperation
සංග්රාමයකදී භටපිරිස් අතර සහයෝගය තිබීම අතිශයින් වැදගත් වෙයි. භටපිරිස් පොදු හැඟීමෙන් තොරව ඒකක, රෙජිමේන්තු, බලසේනා, ආදී වශයෙන් බෙදී සිටියහොත්, යුද බිමේදී විනාශ වීමට ඇති ඉඩකඩ බොහෝය. මේ නිසා යුද භූමියේ තමන්ගේ යාබද පෙරමුණුවල සිටින භටපිරිස් අතර අවබෝධය සහ සහයෝගය අනිවාර්යයෙන් තිබිය යුතුය. හදිසි අවස්ථාවකදී තමන්ගේ සහාය සහෝදර භටපිරිස් වෙත ලබාදිය යුතුය. අණදෙන්නන් තුළ ඒ පිලිබඳ පූර්ව අවබෝධයක් තිබිය යුතුය. සංග්‍රාමයේ සෑම අවස්තාවකදීම කණ්ඩායම් හැඟීමෙන් යුතුව ජීවිත තර්ජනය, අනතුරුදායක බව, පැටවෙන බර දරා ගැනීම, වැනි අවස්ථාවලදී සහයෝගයෙන් ක්‍රියා කිරීම වැදගත්ය.
10. නොකඩවා පැවතීමේ හැකියාව – Sustainability
යුද හමුදාවක ඇති ස්වාධීනව සිටිමින් බලය පවත්වාගෙන යාමේ අරමුණ ඉටුවන්නේ, අවශ්‍ය පිටුබලය ලබාදී ඒ හමුදාව නොකැඩී නොබිඳී පවත්වාගෙන යාමෙනි. එය කිසි විටක දැනට තිබෙන තත්වයෙන් ඉහලට මිස පහලට නොපැමිණිය යුතුය.
මා ඔබට මේ ඉදිරිපත් කලේ ලෝකයේ රටවල් බොහොමයක් අනුගමනය කරන සංග්‍රාමික මූලධර්මයි. දැන් මා ඔබට කියන්නේ වෙනස් දෙයක්. හොඳින් බලන්න. නැවත කියවා බලන්න. මේ මූලධර්ම අපේ සාමාන්‍ය ජීවිතයටත් යොදාගත හැකියි. ජීවිතයත් සටනක්. මෙහිදී කලයුත්තේ මේ මූලධර්ම යුද්ධය වෙනුවට ජීවිතය යන්න ආදේශ කොට නැවත ඒ ඔස්සේ සිතා බැලීමයි. එය ඔබට බාරයි. ඔබ මේ ලිපිය අවසානය දක්වා කියෙව්වානම් ඔබේ ඉවසීමද ඉහල බව ප්‍රශංසා මුඛයෙන් කියනවා.