මගේ සහෝදරියක රෝහල් ගතවී දින කීපයක් ගත වුනත්, ඇය බැලීමට යාමට නොහැකි වූයේ, අධික වර්ෂාපතනය මැද වාහනයක් පදවාගෙන යාම, මටනම් අතිශයින්ම අප්‍රසන්න කාර්යයක් වන බැවිනි. කෙසේ වෙතත් අද දිනය තරමක් පැහැපත් වූ නිසා, අපේ භාර්යා තොමෝ උදේ ඇඳෙන් නැගිට්ටේ, ‘අදවත් අක්කා බලන්න යන්නේ නැද්ද?’ කියා අසාගෙනය. අපේ නෝනා, ඇගේ නෑනලාට ආදරේ වීම මා ලද මහත් භාග්‍යයකි. ඒ නිසා, එයාගේ පාර්ශ්වයේත්, මගේ පාර්ශ්වයේත්, නෑදෑකම් පැවැත්වීම නමැති මහා භාරදූර කාර්යය මම ඇයටම පවරා තිබෙන්නේ මගේ ගැලවීම පිණිසමය. ඕව්වා මහා භයානක වැඩය. පොඩ්ඩ වැරදුනොත් නවතින්නේ මහා කිරිමේල් එකක් වෙලාය. ඒ නිසා කිරිමේල් වලට නොපැටලී සිටීම ඇඟට ගුණය. ඔන්න ගන්නවානම් නෝනලා හරි හරි දැන් කතාවට බහිමුකෝ.
මග දිගට, ඇගේ රිය පැදවීමේ උපදෙස් ඉතා ඉවසීමෙන් අසාගෙන, (හිත යටින් දත්මිටි කමින්) හරියටම අද දහවල් 12.00 ට මහනුවර මහ රෝහල වෙත ආවෙමු. අප්පොච්චියේ……… මහනුවර මහ රෝහල පැත්ත පළාතේ කොතනකවත් වාහනයක් නවත්තන්නට ඉඩක් නැත. ඒ ගැන උකටලීව ඉන්නා අතර මගේ සිත පස්වණක් නොව එකසිය පස්වණක් ප්‍රීතියෙන් පිනා ගියේ, නිල්පාට පසුතලයේ ඇඳි සුදුපාට P අකුරක් හදිසියේම දැකීමෙනි. වහාම එතනට වාහනය එබුවෙමි. අඳෝමැයි, එතන ඇත්තේ පර්චස් 20 කටත් අඩු භූමියකි. (පෞද්ගලික අයිතියක් යටතේ ඇති වාහන නවතුම්පොලකි) නමුත් ඒ ස්ථානයේ පාලනාධිකාරිය උත්සාහ කරන්නේ, කොහොම හරි වාහන හැකි තරමක් ගාල් කරගෙන කල දුටු කළ වල ඉහ ගැනීමටය. (මගේ වාහනය ආපසු ගන්නට ගිය වෙලාවේ තවත් වාහන හතරක් එහාට මෙහාට තල්ලු කොට යන්තම් ඉඩක් ලබාදීමට ඔවුන්ට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය)
මොනවා කරන්නද. යන්තම් වාහනයේ දොර අල්ලාගෙන, එය අනික් වාහනයක වැදීම වළක්වාගෙන, වාහනයෙන් එළියට බඩගෑවෙමි. ඔන්න අපේ නෝනා වගේ ‘පෝටබල් සයිස්’ අයට නම් එවැනි තැන්වලදී කරදරයක් නැතුව වාහනයෙන් බසින්නට පුළුවන. ( මගේ බඩ වාහනයෙන් එලියට ගන්න එකනේ වැඩේ. දවසක් යාළුවෙක් කිව්වා, එයා, එයාලගේ ගෙදර ගේට්ටුව දිහා බලා ඉන්නකොට දැක්කලු, බඩක් ඇතුල් වෙනවා ගේට්ටුවෙන්. ඉතින් ඒ බඩ ඇවිල්ලා ඇවිල්ලා, අන්තිමට මම ආවලු ගේට්ටුවෙන් ඇතුළට )
හරි හරි තවම නෝනයි, වාහනයයි, බඩයි. නෑ නෑ ඔන්න කතාව. ඔන්න ඉතින් ඉස්පිරිතාලේ ඇතුළට ගිය කියමුකෝ. වාට්ටුව මොකක්ද කියලා දැනගත්තේ එතන ඉඳලා රෝගියාට දුරකථන ඇමතුමක් දීලයි. අක්කා කිව්ව මං සළකුණු අනුව, බාහිර රෝගී අංශය පසු කරගෙන, අපි දෙන්නා යායුත්තේ අංක 26 වාට්ටුවටය. ඒ හරියේ නම් 26 වාට්ටුවට යන මං සළකුණක් දැක්කේ නැත. බොහෝ රෝහල් වල වාට්ටු අංක හා ඒවාට යන මාර්ගය පෙන්වන ඊතල, අපි වැනි වයසක පුද්ගලයන්ගේ පහසුව සඳහා පොල්ගෙඩි සයිස් එකෙන් ලියා ඇතත්, මෙහිදීනම් මම එවැන්නක් නොදුටිමි. පසුව අවබෝධ කරගත් කරුණක් වූයේ, සායන වලට පැමිණි රෝගීන්, බාහිර රෝගී අංශයට පැමිණි මහජනතාව, රෝගීන් බැලීමට පැමිණෙන අය, වැනි මහා ජන ගංගාවක් එතනින් ගලන බැවින්, බිත්තිවල යමක් ලියා ඇත්නම්, ඒ කිසිවක් නොපෙනෙන බවයි. 26 වාට්ටුවට යාම සඳහා මහල් තුනක් පහළට බැසිය යුතුය. නේස් මිසීලාගෙන් ඇහුවම කියන්නේ ඔහොම යන්න, මෙහෙම යන්න, අරෙහෙම යන්න කියාය. අන්තිමට හමුවූ රෝහල් සේවක මහතකු, අලුතෙන්ම පැමිණි අයකු නිසා, කිසිවක් දැන නොසිටියේය. මහල් තුන පහළට බහිද්දී, මට එක්වරම මතකයට ආවේ, එල්.ටී.ටී.ඊ. නායක ප්රභාකරන්ගේ බංකරයයි. (ඔබෙන් සෑහෙන පිරිසක් යුද ජයග්රහණයෙන් පසු, එහිගොස් එය නරඹා ඇතැයි සිතමි) ඒ බංකරයට ද ඇතුළු විය යුත්තේ මෙලෙස පහළට බැසීමෙනි. එමෙන්ම ඒ බංකරය අඳුරුය. මේ මහල් තුන බැස පතුළටම ගියවිට ආලෝකය බෙහෙවින් අඩු වෙයි. අන්තිමේදී 26 වාට්ටුව සොයාගැනීමට තරම් අපි වාසනාවන්ත වීමු.
නමුත් අපි දෙදෙනාම මහත් දුකටත්, කම්පනයටත්, කළකිරීමටත් පත්වුයේ ඒ වාට්ටුව ඇතුළට ගිය පසුය. ඒ වාට්ටුවට කිසිසේත් ආලෝකය හෝ වාතාශ්‍රය නොලැබෙයි. එහි ඇති විදුලි පහන් දොළොස්මහේ පහන්ය. ඒවා පැය 24 ම ක්‍රියාත්මක කර නොතිබුනොත් වාට්ටුව ඝන අඳුරක ගිලී යනු ඇත. දිවා ආලෝකය දැක ගැනීම, එහි සිටින රෝගීන්ට, සිහිනයක් පමණි. විදුලි පංකාද අනිවාර්යයෙන් නොකඩවා ක්‍රියාත්මක කර තිබිය යුතුය. නැතහොත් ඒ රෝගීන් පාන්ගෙඩි මෙන් තැම්බී යනු ඇත. මේ වාට්ටුව පමණක් නොව ඊට යාබද වාට්ටුවද මේ තත්වයේම බව දුටිමි. මේ වාට්ටුවේ හෙද කාර්ය මණ්ඩලය සිටින ස්ථානයට රෝගීන් නොපෙනේ. ඒ නිසා රෝගීන්ගේ තත්වය නිරීක්ෂණය කිරීම කෙබඳු මට්ටමකින් සිදුවේද යන්න ගැටලුවකි. මේ ගැන විමසීමට යාම කිසිසේත් පළක් ඇති දෙයක් නොවන බව වැටහුණේ, රෝහල් කාර්ය මණ්ඩලයෙන් මෙය විමසීම විහිළුවක් වන බැවිනි. මේ රෝගීන්ගේ මානසික තත්වය කෙබඳු වේද? දිවා රාත්‍රිය ගැන අවබෝධයකින් තොරව මේ බංකරය තුළ ඔවුන් ලබන ප්‍රතිකාර, ඔවුන්ට කෙබඳු අයුරකින් බලපායිද? දීර්ඝ කාලයක් මෙහි රැඳී සිටින රෝගියකු, කෘත්‍රිම ආලෝකයේම සිටීම නිසා, ඔවුන්ගේ ඇස් පෙනීමට කෙබඳු බලපෑම් එල්ලවේද? මේ ගැන අසන දකින සොයන කෙනෙක් මේ සිරි ලංකාවේ තවම පහළ වුනේ නැද්ද? අනේ දළදා හාමුදුරුවනේ………………………