යුද බිමේදී ඇයි දේවල් පෙනෙන්නේ ලිපියේ පළමුවැනි කොටසෙන්, ඔබ මූලික අවබෝධයක් ගන්නට ඇති, අප අවට පරිසරයේ තිබෙන විවිධ වස්තු, අපට දෘශ්‍යමාන වීමට බලපාන හේතු සාධක මොනවාද කියා. අද අපි ඒ මූලික කරුණු තරමක් විස්තරාත්මකව සලකා බලමු. මේ ලිපි මා විශේෂයෙන් ලියන්නේ මූලික හමුදා දැනුමක්වත් නැති අය ඉලක්ක කරගෙනයි. ඒ නිසා හැකි තරම් සරල වචන යොදාගන්නට සෑමවිටම උත්සාහ කරනවා. හොඳයි. එහෙනම් පසුගිය ලිපියෙන් මා ඔබට හඳුන්වාදුන් 5 SM සවිස්තරව දක්වන්නම් මෙතැන්සිට.
1. හැඩය – SHAPE
අපේ අවට පරිසරයේ තිබෙන විවිධ දේ, අපි යන්තම් බහ තෝරණ වියේ සිට හඳුනාගැනීමට බලපාන, එක සාධකයක් වන්නේ, එහි හැඩයයි. පුටුවක්, මේසයක්, ගෙයක්, මිනිහෙක්, කාර් එකක්, වැනි විවිධ වස්තු මතක තබාගැනීමට, හැඩය ඉවහල් වෙනවා. ඉතින් යුද බිමේදීත් ඒ හේතුව එලෙසම බලපැවැත්වෙනවා. ඉදිරි භූමිය කල්පනාකාරීව නිරීක්ෂණය කිරීමේදී, යම් යම් වස්තු හඳුනා ගැනීමට, හැඩය නමැති සාධකය බලපාන්නේ එහෙමයි.
මෙවැනි හැඩතල ලක්ෂ ගණනක් වුනත් අපේ මතකයේ ඇති. ඒ මතකය යුද බිමේදී අපට මහත් රුකුලක් වෙනවා. අපි ඉන්න යුද භූමිය මහා කැලෑවක් කියා හිතන්න. ඉතින් අපි දන්නවා කැලෑවක දැකිය හැකි හැඩතල මොනවාද කියා. ඉහත රූප වල ඇති හැඩයේ යමකට ආසන්න හැඩයක් කැලෑවක දුටුවොත් අපට සැක කරන්න පුළුවන් එය සතුරාට අයත් යම් අසාමාන්‍ය වස්තුවක් බව ( අර රූපයේ ඉන්න ගෑණු ළමයට නෙවෙයි වස්තුව කිව්වේ) භූමිය නිරීක්ෂණය කිරීම හොඳින් පුහුණු වූ පසුව මෙවැනි හැඩයකින් කොටසක් (උදාහරණය:- කොළ අතු වලින් වසා තිබෙන යුද ටැංකියක, ඉහලට එසවී තිබෙන ප්‍රධාන තුවක්කුවේ බටය) දුටුවත් හඳුනාගන්න පුළුවන්.
2. සෙවනැල්ල – SHADOW
අපට කවදාවත් අපේ සෙවනැල්ලෙන් ගැලවෙන්න බැහැනේ. ඒකනේ බුදුහාමුදුරුවොත් දේශනා කලේ ‘ඡායාව අනපායිනී’ (සෙවනැල්ල පුද්ගලයා පසුපස එන්නේය) කියලා. මගේ ඥාති සහෝදරයෙක් එයාගේ දියණියට නම දාලා තියෙන්නේ ‘අනපායිනී’ කියලා (පසුපස එන්නී) ඔය සමහරු කියන්නේ මම ආත්ම සීයක් ගියත් ඔයාගේ හෙවනැල්ල වගේ එනවා කියලා.
හාපෝයි……සමහර ඒවානම් එහෙම ආවොත් ‘අබ සරණං’ තමයි
යුද බිමේදී අපිව අමාරුවේ දාන එක බලවත් සාධකයක් තමයි අපේ සෙවනැල්ල. ඒ නිසා අපේ සෙවනැල්ල සතුරාට නොපෙනෙන විදිහට සිටීම ඉතා වැදගත්. ඒ විතරක් නෙවෙයි සතුරා යුද බිමේ සඟවා ඇති කාලතුවක්කු, යුද ටැංකි වැනි දේවල හෙවනැල්ල සමහරවිට භූමිය හොඳින් නිරීක්ෂණය කළොත් දැකගන්න පුළුවන්.
යුද බිමේදී අපි සැලකිලිමත් විය යුතුයි ඒ පරිසරයට නොගැලපෙන සෙවනැලි තිබෙනවාද කියා. අපි දන්නවා කඳු ගැටයක සෙවනැල්ල, ගසක සෙවනැල්ල, වැනි දේවල්. ඒ අස්සේ ඒ සෙවනැල්ලට හේත්තුවී අර සෙවනැල්ලේ ආකාරයට අදාළ නොවන වෙනත් සෙවනැලි ඇත්නම්, එමෙන්ම ඒවා වරින්වර පෙනී නොපෙනී යන්නේ නම්. ඒ සතුරු ඡායාවක් බව අනුමාන කලහැකියි.
3. දිලිසීම – SHINE
‘දිලිසෙන සියල්ල රන් නොවේ’ කියන කියමන ඔබ සියලුදෙනාම අසා ඇතිනේ. නමුත් යුද බිමේදි නම් කියන්න වෙන්නේ, ‘දිලිසෙන සියල්ල සැක කලයුතු වේ’ කියලයි. යුද බිමේදී අපි දකින දිලිසෙන වස්තු බොහොමයක් යුද උපකරණ, වාහන, වාහන වල පැති කන්නාඩි, දුරදක්න වල ඉදිරිපස වීදුරුව, සතුරාගේ ඇඳුමේ කොටස්, ආදිය විය හැකියි. දැන් ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ ඇයි සොල්දාදුවන් යුද බිමේදී වෙස්වලාගන්නේ කියලා. දිලිසෙන දේවල් සහිතව යුද බිමේ සිටීම ‘ඒයි හතුරෝ……….මං මෙතන ඉන්නේ’ කියලා කෑ ගහලා කිව්වා හා සමානයි.
මතකයි නේද ‘ස්නයිපර්ලා‘ කොයි තරම් වෙස්වලාගනීමක් කරනවද කියලා.
ලෝකයේ සෑම රටකම පාහේ රයිෆල් රෙජිමේන්තු නමින් හඳුන්වන රෙජිමේන්තුවල සාමාජිකයන් දිලිසෙන කිසිවක් තම නිල ඇඳුමේ අඳින්නේ නැහැ. අපේ රටේ තිබෙන එකම රයිෆල් රෙජිමේන්තුව වන්නේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවයි. සිංහ රෙජිමේන්තු සාමාජිකයන්, තමන්ගේ සියළුම නිළ ලාංඡන, නිළ ඇඳුමේ බොත්තම් පවා අඳින්නේ කළු පාටෙන්. ඉතින් ඔබට පහසුවෙන් හඳුනාගන්න පුළුවන් මීට පස්සේ සිංහ රෙජිමේන්තුව.
4. පරතරය – SPACING
යම් යම් දේ භූමිය මත නිර්මාණය කිරීමේදී එක සමාන පරතරයක් සහිතව එවැනි නිර්මාණ කරන්නේ මිනිසා පමණයි. ස්වභාව ධර්මය ඉතාම කලාතුරකින් තමයි එවැනි දේ නිර්මාණය කරන්නේ. හිතන්න අපිට ගස් පේලියක් හිටවන්න අවශ්‍ය වුනා කියලා. අපි කවදාවත් යක්කු දත් හිටෙව්වා වගේ එක එක පරතරයකට ඒවා හිටවන්නේ නැහැනේ. නමුත් ස්වභාවිකව පිහිටි ගස් පෙළක පරතරය අසමමිතිකයි. යුද බිමේදී එකම පරතරයක පිහිටි වස්තු කීපයක් දුටුවොත් අපි වහාම සැක කල යුතුයි ඒ සතුරාගේ ඉදි කිරීමක්, සතුරා විසින් වෙස්ගැන්වූ යුද ටැංකි හෝ කාලතුවක්කු සූදානම් කර තැබීමක්, එසේත් නැතිනම් එවැනි වෙනත් සංවිධානාත්මක ඉදිකිරීමක් ලෙස. එමෙන්ම අපිත් යුද බිමේදී අපේ යුද ටැංකි, කාලතුවක්කු, යුද අගල් වැනි දේවල් සෑමවිටම එක සමාන පරතරයකින් නොතැබීමට වග බලාගන්න ඕනේ.
5. පසුබිම තුළ/පසුබිම මත කැපී පෙනීම හෙවත් ‘සිලුවට්’ – SILHOUTTE
සිලුවට් යන්න තනි වචනයකින් කියන්න මම දන්නේ නැහැ. දන්නා කෙනෙක් ඉන්නවානම් ඉතා කාරුණිකව ඉල්ලනවා කියාදෙන ලෙස. ඔබ දන්නවා සුදුපාට බිත්තියක් ඉදිරිපිට සිටින පුද්ගලයෙක්, හරකෙක්, බල්ලෙක්, වැනි සතෙක්, නැත්නම් වාහනයක් ඉතා දුරට කැපී පෙනෙන බව. එයට හේතුව පසුබිමට වඩා වෙනස් (විරුද්ධ) ස්වභාවයෙන් සිටීමයි. ඒ වගේම ක්ෂිතිජය තුලින් ඉල්පී පෙනීමද සිලුවට් යන සාධකයට අයත් වෙනවා.
6. චලනය – MOVEMENT
අප සාකච්ඡා කරන 5SM වල අවසාන සාධකය හෙවත් M අකුරෙන් පටන්ගන්නා සාධකය මෙයයි. චලනය වන සෑම වස්තුවක්ම පාහේ අපේ නෙත්වලට බොහෝදුරට ලක්වෙනවා. ඒකනේ ප්‍රියා සූර්යසේන කියන්නේ, ‘සුදු පරෙවි රෑනසේ පියා සලා - පාසල නිමවී යොවුන් කුමරියන් - පෙළින් පෙළට එයි – ඈ තාම නෑ’ කියලා. ඒ කියන්නේ ඇගේ ගමන් විලාශයෙන් හෙවත් චලනයෙන් වෙන්න ඇති ඔහු ඇයව ඈත තියා හඳුනාගන්නේ. නමත් ‘චලනි’ ද දන්නේ නෑ. . ඔබ යුද චිත්‍රපටිවල දැක ඇති සොල්දාදුවන් කොළ අතු වලින් වෙස්වලාගෙන බඩගාමින් යුද බිමේ යන හැටි. නමුත් ඒ චලනය බොහෝවිට දුර සිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා අපේ චලනයන් හැකිතරම් සෙමෙන් සිදු කිරීමත්, (අවස්ථාව සහ අවශ්‍යතාව අනුව) සීමා කරගැනීමත් වැදගත් වෙනවා.
හොඳයි, ඔන්න අපි තවත් හමුදා දැනුම ලිපියක අවසානය දකිනවා. පැහැදිළිව මතක තබාගන්න. මා ඔබට විස්තර කරන්නේ මූළික කරුණු පමණයි. මේ කරුණු ඉතා සවිස්තරව, ගැඹුරින් සහ විවිධ තර්ක ඔස්සේ විස්තර කල හැකි නමුත්, එවිට ලිපියේ ඇති සරල බව නැති වෙනවා. මීට වඩා කොටස් වලට කැඩුවොත්, පාඨක අවධානය ගිලිහෙනවා. මෙවැනි තවත් ලිපි ඉදිරියේදී පල කෙරෙන බව සඳහන් කරමින්, ලිපිය අවසන් කරනවා.