ඔයා කොහොමද සෙනග ගොඩක් මැද්දේ ඉන්න ඔයාගේ අර, ‘අරයව’ ඔයාගේ යාලුවෙකුට පෙන්වන්නේ? ඉහත මාතෘකාවේ කියලා තියන විදිහට නේද? හැබැයි ඉතින් ‘අර මල් මල් ගවුම ඇඳලා ඉන්නේ, කළු කලිසම ඇඳලා ඉන්නේ’ වගේ කිව්වොත්, යාලුවගෙන් හොඳ හරුප තමා අහගන්න වෙන්නේ. මොකද පිරිසක් මැද මල් මල් ගවුම්, කළු කලිසම් විශාල ගණනක් තියෙන්න පුළුවන්. ඒ අතරින් අර නිශ්චිත පුද්ගලයා සොයාගන්න අමාරුයි ඔහුගේ මුහුණුවර නොදන්නා කෙනෙකුට.
අපේ ජීවිතයේ බොහෝවිට අපට කරන්නට සිදුවන දෙයක් තමයි පරිසරයේ පිහිටි, ස්ථිර වස්තු හෝ චලනය වන වස්තු එහෙමත් නැත්නම් දුර සිටින පුද්ගලයන්, තවත් කෙනෙකුට පෙන්වාදීම. එමෙන්ම ඒ දේවල් පිහිටා තිබෙන්නේ ඔබ සිටින තැන සිට කොපමණ දුරකින්ද කියන එක අනුමානයෙන් සිතාගැනීම හෝ ප්‍රකාශ කිරීම. මෙහිදී අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් සමාජ සම්මත ක්‍රම විනා, ශාස්ත්‍රීය/තාක්ෂණික පදනමක් අනුව සැකසූ ක්‍රමවේදයක් නොවෙයි. නමුත් යුද බිමේදී ‘අර ඉන්නේ යකෝ’ ක්‍රමය හරියන්නේ නැහැ. ඒ නිසා 100% ක් නිවැරදි ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා, යුද බිමේදී යම් දෙයක් (ඉලක්කයක්) පෙන්වාදීම සඳහා. එය හඳුන්වන්නේ ‘දුර නිශ්චය කිරීම සහ ඉලක්ක පෙන්වීම’ හෙවත්, ‘Judging Distance and Target Indication’ යනුවෙන්. අද අපි කතා කරන්නේ, එය කරන්නේ කොහොමද කියන එක ගැනයි.
මේ මොනවද කියන්නේ, ඉලක්කයට ඇති දුර පෙන්වන දුර දක්න, ‘Range Finders’ චන්ද්‍රිකා තාක්ෂණය ‘Global Positioning System = GPS’ වැනි අති නවීන ක්‍රම තිබෙන නිසා, පැරණි ක්‍රම මොකටද? කියා ඔබ සිතන්නට පුළුවන්. නමුත් හොඳින් මතකතබාගන්න. ඔය යන්තර සූත්තර කොයි මොහොතේ අවුල් වෙයිද, ක්‍රියා විරහිත වෙයිද, කියලා සක්කරයාගේ පුතා වයිමාට වත් (අර අපේ අධ්‍යාපනය කන එක්කෙනා නෙවේ ) කියන්න බැහැ. යුදබිම මැදදී, රේන්ජ් ෆයින්ඩර් එකක හෝ ජී.පී.එස්. එකක බැටරි බැස්සොත්, ‘පොඩ්ඩක් හිටපං බැටරි දාගෙන එනකං’ කියලා සතුරාට ‘වච්චිල්’ එකක් දෙන්න බැහැනේ. ඒ නිසා තමන්ගේ මොළය පාවිච්චි කර, දුර නිශ්චය කිරීමේ ක්‍රම සහ ඉලක්ක පෙන්වීමේ ක්‍රම, අදටත් ලෝකයේ සෑම හමුදාවකම පාහේ උගන්වනවා. මේවා ඉගෙන ගැනීම ඔබටත් ප්‍රයෝජනවත්. හිතන්න ඔබ වනයේ සංචාරයක ගියා කියලා. ඒ වගේ අවස්ථාවක ඇතිවියහැකි සිදුවීම් මොනවාද? මම විස්තර කරන්නේ නැහැ. ඈතින් ඉන්න අලියෙක් ඔබේ පිරිසේ ඉන්න අනික් අයට පෙන්වීමේ සිට, ඔබ අතරමං වුනොත් ඉදිරි භූමියේ ඈතින් පෙනෙන භූමි ලක්ෂණ වලට ඇති දුර නිශ්චය කරගැනීම දක්වා, සියල්ල ගැන සිතාබලන්න.
මේ ලෝකයේ තිබෙන වඩාත්ම විශ්මයජනක දේ මොකක්ද කියා, කවුරුහරි මගෙන් ඇහුවොත්, මම නම් දෙන උත්තරේ ‘මිනිස් මොළය’ කියන එකයි. මොළය පාවිච්චි කරලා නොවැ ඔය යන්තර සූත්තර ඔක්කොම හදලා තියෙන්නේ. ඉතින් ඒ මොළයෙන් ඉතා හොඳින් හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. මොළයෙන් කල්පනා කරලා තමයි ලෝකයේ තියන අති විශිෂ්ඨතම තුවක්කුව හදන්නේ. නමුත් ඒ තුවක්කුවට බැහැනේ හිතලා වෙඩි තියන්න. ඒ තුවක්කුව පිටිපස්සේ ඉන්න හොඳ මොලයක් හා හොඳ පුහුණුවක් තියන සොල්දාදුවා තමයි ඒ තුවක්කුවේ නිසි ප්‍රයෝජනය ගන්නේ.
කොහොමද ඉතින් ඈත තියන දේ වලට ඇති දුර මැනගන්නේ?
ඒ සඳහා ක්‍රම කීපයක් තියනවා. අපි එකින් එක ගෙන බලමු. හැබැයි මෙතැනදී මම හමුදා පොතේ තියනදේ ඒ විදිහටම කියන්නේ නැහැ. නමුත් මූලික සිද්ධාන්තය වෙනස් කරන්නෙත් නැහැ. ඔබට ගැලපෙන විදිහට සුළු වෙනස්කම් පමණයි කරන්නේ. මුලින්ම කියාදිය යුතු කරුණු කීපයක් තියනවා. භූමියේ පිහිටි යම් යම් වස්තු (වස්තූන් නෙවෙයි වස්තු/හේතූන් නෙවෙයි හේතු) නිරීක්ෂණය කිරීමේදී ඒවා වෙත ඇත්තවශයෙන්ම ඇති දුර අඩුවී හෝ වැඩිවී (ඈත්වී හෝ ළංවී) පෙනීමට බලපාන යම් යම් සාධක තිබෙනවා. මේ නිසා මුලින්ම ඒ සාධක ඔබට පැහැදිලි කරදීම සුදුසුයි මා හිතනවා. පහත දැවෙන්නේ ඒ සාධක.
(1) යම් වස්තුවක් ළංවී පෙනීමට බලපාන සාධක.
- ඉතා දැඩි ආලෝකයක් එම වස්තුව මත පතිතවී තිබීම සහ/හෝ සූර්යයා නිරීකෂකයාට පසුපසින් දීප්තිමත්ව පිහිටා තිබීම.
- අප නිරීක්ෂණය කරන වස්තුව, එය පිහිටි පරිසරයේ හාත්පස පිහිටි අනෙක් වස්තු වල විශාලත්වයට වඩා සාපේක්ෂව, විශාල එකක් වීම.
- එකී වස්තුව නිරීක්ෂකයා සිටින ස්ථානයට වඩා උස් භූමියක පිහිටා තිබීම.
(2) යම් වස්තුවක් ඈත්වී පෙනීමට බලපාන සාධක
- ආලෝක තත්වය දුර්වලවීම හෝ සූර්යයා නිරීක්ෂකයාගේ මුහුනට (දෙනෙතට) ආලෝකය වැටෙනසේ පිහිටීම.
- අප නිරීක්ෂණය කරන වස්තුව, එය පිහිටි පරිසරයේ හාත්පස පිහිටි අනෙක් වස්තු වල විශාලත්වයට වඩා සාපේක්ෂව, කුඩා එකක් වීම.
- නිරීක්ෂකයා නිම්නයක් වැනි භූමියක් හරහා හෝ කෙලින් පිහිටි වීදියක ඈත කොණ වැනි ස්ථානයක පිහිටි දෙයක් නිරීක්ෂණය කිරීම.
- නිරීක්ෂකයා බිම දිගාවී සිට අදාළ වස්තුව නිරීක්ෂණය කිරීම.
1. ඉඳුරාම දුර ප්‍රකාශ කිරීම – Direct Method
ඇත්තටම අපි පාවිච්චි කරන සාමාන්‍ය සරළ ක්‍රමය හමුදා කටයුතු වලදීත් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපේ අනුමාන කිරීමේ හැකියාව යොදාගනිමින්, කෙලින්ම හිතෙන දුර මැනගනීම. මෙතන ඉඳලා අතනට මීටර් මෙච්චරක් ඇති කියලා අපි හිතන්නේ. අන්න ඒ ක්‍රමය. නමුත් මේ ක්‍රමය හමුදාවේදී පාවිච්චි කිරීමට නම් ඒ දුර 99% ක් වත් නිශ්චිත විය යුතුයි. ඒ දුර කලින් මැනබලා තිබේනම් හෝ එහි තිබෙන යම් වස්තුවකට මෙතන සිට ඇති දුර මෙපමණකැයි කලින් දන්නේනම් පමණක් තමයි මේ ක්‍රමය භාවිත කරන්නේ සහ සාර්ථක වන්නේ. මේ ක්‍රමය බොහෝවිට යොදාගන්නේ ස්ථිරව පිහිටවා තියන කඳවුරක ආරක්ෂක බංකරයක්, ස්ථිරව පිහිටුවා තිබෙන මාර්ග බාධකයක්, එවැනි හමුදා ස්ථානයක්, (Military Installation) ආරක්ෂා කරගැනීම සඳහායි. සාමාන්‍යයෙන් අපේ ඉදිරිපිට භූමිය එතරම් බාධක වලින් තොරව තිබේනම් අංශක 180 ක කෝණයක් ඔස්සේ ඉදිරි භූමිය දැක ගන්න ලැබෙනවා. අපි මේ ආකාරයට දකින්නට ලැබෙන ඉදිරි භූමිය (අංශක 180 ක් හෝ ඊට අඩු වුනත්) ’වෙඩි චාපය – arc of fire’ ලෙස නම් කරනවා. මේ ස්ථානයේ සන්නද්ධ ආරක්ෂක සෙබළකු යොදවන විට ඔහුට මුලින්ම ඔහුගේ වෙඩි චාපය කුමක්ද යන්න කියා දෙනවා. නැතහොත් ඒ ස්ථානයේ අදාළ විස්තර දැක්වෙන කාඩ් පතක් සවිකර තිබෙනවා. එහි පෙන්වනවා මේ ස්ථානයේ සිට භූමියේ තිබෙන වෙනස් නොවෙන වස්තු (ලොකු තනිගහක්, තනිව පිහිටි නිවසක්, ඇන්ටෙනා කුළුණක්, වැනි) වෙත ඇති දුර කොපමණද කියා. ඉතින් මේ භූමියේ සතුරක දුටුවොත් අපිට පුළුවන් අර ස්ථිර වස්තුවකට ඇති දුර අනුව සතුරා සිටින තැනට ඇති දුර ඉතා ආසන්න වශයෙන් මැනගන්න.
ආසන්න ස්ථාන දෙකක සිටින සෙබළුන් වෙත, වෙඩි චාපය ලබාදීමේදී, එම වෙඩි චාප වල වම් සහ දකුණු සීමා, ඊළඟට සිටින සෙබලාගේ වෙඩි චාපයෙන් කොටසක් සමග එක මත එක වැටෙනසේ (උපරිපතනය -Overlap) සකස් කරනවා. එවිට මුළු ඉදිරි භූමියම වෙඩි වලින් ආවරණය වෙනවා. ඔබ දන්නවා ඇති රාත්‍රී කාලයේදී ක්‍රීඩා පිටියක් ආලෝකවත් කිරීමේදී එක විදුලි පහනකින් ලැබෙන ආලෝක කවය ඒ වටා පිහිටි අනෙක් විදුලි පහන් වල ආලෝක කවය සමග උපරිපතනය වන ආකාරයටයි සකසන්නේ. වෙඩි චාපයත් ඒ වගේ. හැබැයි වෙඩි තැබීමේදී හඳුනාගත යුතුයි මේ යන වෙඩි ඊළඟ මුර සෙබළාගෙන්ද නැද්ද කියා. නැත්නම් ඔහේ හිටු කියලා දෙන්නා දෙන්නාට වෙඩි තියාගන්නවා. පහුගිය ඊලාම් යුද්ධයේ මුල් අවස්ථා වලදී එහෙම වුනා. පස්සේ පුහුණු කටයුතු වැඩි දියුණුවීමත් සමගම ඒ තත්වය මග හැරුනා. දැන් අපි බලමු මේ වෙඩි චාපය තුළ පිහිටි විවිධ වස්තු අනුව ඉලක්කයට ඇති දුර ප්‍රකාශ කරන හැටි.
ඉහත රූපයේ ඔබට පෙනෙනවා වෙඩි චාපයේ එක් එක් සීමාවන් නම් කර ඇති ආකාරය. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති, එහිදී වමට සහ දකුණට කාල, භාගය, තුන්කාල, ලෙස සීමා ලකුණු කර තිබෙනවා. එමෙන්ම කලින් දුර මැන සලකුණු කරගත් ස්ථිර වස්තු ද තිබෙනවා. ඒ ස්ථානයක සතුරකු සිටියොත් කෙලින්ම ඉලක්කය ප්‍රකාශ කරන්න පහසුයි. මේ රූපයේ ඇන්ටෙනා කුළුණක්, ගෙයක් සහ ගසක් තිබෙනවා. ඒවාට ඇති දුර ද සඳහන් වෙනවා. දැන් මෙන්න මෙහෙමයි ඒ එක් එක් ඉලක්කය ප්‍රකාශ කරන්නේ. මුලින්ම තමාගේ ඉදිරි අක්ෂය (Axis of Fire) කුමක්ද යන්න පැහැදිළි කළයුතුයි. ‘මා මුහුණ යොමුකර සිටින අක්ෂය මගේ ඉදිරි අක්ෂයයි’ යන වැකිය කිව යුතුයි. එහි සිට තමයි වම් සීමාවේ සිට දකුණු සීමාව දක්වා සියල්ල තීරණය වන්නේ. එවිට තමයි ඔබ පෙන්වන ඉලක්කය වෙනත් අය විසින් තේරුම් ගන්නේ.
1. දෙසීයයි, (මීටර් කියලා කියන්නේ නැහැ) අඩක් වම, ඇන්ටෙනා කනුව, සතුරා.
2. තුන්සීයයි, කාලක් වම, තනි ගෙය, සතුරා.
3. දෙසිය පනහයි, අඩක් දකුණ, තනි ගස, සතුරා.
හොඳයි ඉතින් සතුරා හරියටම ඔය තැන් වලටම එන්නේ නැහැනේ. වෙඩි චාපයේ අනෙක් තැන් වලත් ඉන්න පුළුවන්නේ. එතකොට මොකද කරන්නේ? ප්‍රශ්නයක් නැහැ. අපි හිතමු ඉදිරි අක්ෂය සහ කාලක් දකුණ අතර තමයි සතුරා ඉන්නේ කියලා. ඉතින් එතකොට අර තනි ගස අනුව දුර හිතන්න පුළුවන්, ඉදිරි අක්ෂය සහ කාලක් දකුණ අතර කියලා කිව්වාම හරි. මේක ගස්කොලන්, කුඩා ගල් කඳු, හුඹස්, විශාල පඳුරු, වැනි දේවල් සහිත පරිසරයක් බව අමතක කරන්න එපා. ඒ අනුව ආසන්න වශයෙන් ඉලක්කය ප්‍රකාශ කිරීම අමාරු නැහැ.
එක්තරා ආධුනික සෙබළුන් පිරිසකට මේ පුහුණුව පිලිබඳ දේශනය අවසන් කර, ප්‍රායෝගික කොටස සඳහා භූමිය වෙත ගෙනගියා. මෙහිදී කෝප්‍රල්, සැරයන්, වගේ නිළ වල අය තමයි ප්‍රායෝගික කොටස් මුලින්ම කියාදෙන්නේ. වරදිනකොට දෙක තුනක් වදිනවා. නැත්නම් පිනුම් ගස්සනවා (forward roll) එක ආධුනිකයෙක් ටිකක් බයට සහ කලබලයට පත්වෙලා හිටියේ. ඔහු තමන්ගේ උපදේශක කෝප්‍රල්ට ඇහෙන්න ඉලක්කය කිව්වා. දුර, දිශාව කිව්වා. පඳුරක් තිබුණා, ඒ පඳුරේ සතුරා ඉන්න බව කියන්න ඕනෙවුනේ. අර ආධුනික සෙබළා මහ හඬින් කිව්වා……………’සතුරේ පඳුරා’ කියලා.
මීට වඩා දුරට ගියොත් ටිකක් නීරස වෙනවා. ඒ නිසා ඉතිරි කොටසට ගිහින් අනෙක් ක්‍රම ඉගෙන ගනිමු.