අපි අහපු වෑර්ලස් ලිපි මාලාවට ඌන පූරණයකි.
මම ඔබෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අද කවුරු හරි රජයේ නිලධාරියෙක් හෝ, ඔබේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි හෝ, පොලීසිය හෝ, පැමිණ ඔබෙන් ඇහුවොත් කෝ රේඩියෝ ලයිසන් කෝ ටී.වී. ලයිසන් කියලා, ඒ පුද්ගලයාට දෙන ඔබේ පිළිතුර වන්නේ ළඟම රෝහලකට ගිහින් මොලය පරීක්ෂා කරගන්න කියන්න එක නේද. ඒ වගේම ඔබත් මම වගේම ඉවසීම ප්‍රගුණ කල කෙනෙක් නම් අර ප්‍රශ්නය අහපු කෙනාගේ දත් කීපයක් ගලවලා, ඔහුගේම අල්ලේ තියලා, යනකොට මේකත් අරන්යන්න කියන්න පුළුවන්. ඒ කොහොම වෙතත් 2000 වර්ෂයට පෙර කාලයේදී නම්, ඔබට එහෙම කියන්න කරන්න ලැබෙන්නේ නැහැ. එයට හේතුව ඒ කාලයේදී ඔබ අනිවාර්යයෙන් ඔබේ රේඩියෝව සහ රූපවාහිනිය වෙනුවෙන් වාර්ෂික බලපත්‍රයක් ලබාගත් යුතු වූ නිසයි. මේ තොරතුරු ලියන්න මා පෙළඹුනේ අපි අහපු වෑර්ලස් ලිපියේ හතර වැනි කොටසට අදාළව Padhmakumara මහතා විසින් දක්වා තිබුන අදහස් නිසයි. ඒ ගැන එතුමාට මගේ ස්තුතිය පිරිනමනවා.
ඉතින් මේ රේඩියෝ/ටී.වී. ලයිසන් සෙල්ලමෙන් මේ රටේ හුදී ජනයාව නිදහස් කරේ අතිගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය. එහෙම නොකලා නම් ඔබත් මමත් අදටත් මේ බලපත්‍ර ගාස්තු ගෙවනවා.
දෙයියෝ සාක්කි ! කට වරද්දාගත්තා නේද මම. ඇයි හත් දෙයියනේ තවත් අලුත් බද්දක් ගහන්නේ කොහොමද කිය කියා බලා ඉන්න, අර ජයසුන්දර ගොයියා මේ ලිපිය දැක්කොත්, බොලේ……….මේ තියෙන්නේ තවත් බද්දක්. හුහ්……ලැයිසොනුත් නැතුව තව රේඩියෝ අහනවා, ටී.වී. බලනවා, මදිවට මුන් අපටත් බනිනවා. ඔහේ හිටු කියලා රේඩියෝ එක උදේම දානවාට මෙච්චරයි, හවස වහනවාට මෙච්චරයි, ටීවී එක ළඟ පැයකට වඩා ඉන්නවනම් මෙච්චරයි, පවුලේ සියලු දෙනා එකට හිඳ වංගු වංගු මී බලනවානම් මෙච්චරයි, කියලා බදු දාන්ඩ හොඳටම ඉඩ තියනවා. එදාට ඉතින් කවුරුත් මගේ මැරිච්ච දෙමවුපියෝ සිහිකරයි, මේ යකා තමයි නිකං ඉන්ඩ බැරුව මේක මතක් කොරලා දුන්නේ කියලා.
ඇත්තටම ඔබට මතකද අපි රේඩියෝ/ටී.වී. වෙනුවෙන් බලපත්‍ර ගත්ත කාලය. මෙන්න මා ළඟ ඉතිරිවෙලා තියන සාක්ෂි. පෙරුම්පුරලා පෙරුම්පුරලා හොඳ රේඩියෝවක් ගත්ත රිසිට් එක මුලින්ම පෙන්නන්නම්කෝ. මේ තියෙන්නේ.
අනේ මේ රේඩියෝව ගන්න මම අවුරුදු තුනක් විතර සල්ලි එකතු කළා. අදටත් මෙය හොඳින් ක්‍රියාත්මකයි. මේ තියෙන්නේ.
මේ රේඩියෝවේ බලපත්‍රය ඔබේ පරීක්ෂාව සඳහා ඉදිරිපත් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. පේනවා නේද චන්ද්‍රිකා මැතිනිය හෝව්…..කියනතුරු ගෙඩි රුපියල් වලින්ම ගෙවලා තියන හැටි මේ ලැයිසොන් කඩදාසියට.
ඔන්න ඉතින් ඔහොම ඉන්න කාලේදී අපි බලපු කළු සුදු රූපවාහිනියට සමුදෙන්න කාලය ආවා. අපේ ‘ජනාධිපතිනියගේ’ අනුග්‍රහයෙන්, ආනුභාවයෙන්, වර්ණ රූපවාහිනියක් ගෙදරට වැඩැම්මෙව්වා. මට මතක හරියට ගෙඩි රුපියල් 25000 ක් විතර වෙන්න ඇති. මගේ මොකෝ. මගේ පොකැට්ටුවෙන් නෙවෙයිනේ. මෙන්න බඩු. අදටත් වැඩ කරනවා ඉතා හොඳින්. එක වරක් මෙහි I.F. Block නමැති කොටස ක්‍රියා විරහිත වුනා. මට හැකිවුනා එය බොරැල්ලේ සෝනි අලුත්වැඩියා මධ්‍යස්ථානයෙන් ගෙන සවිකරගන්න මගේ අතින්ම.
මෙන්න තියනවා මේ ටැලිවිසොන් පොජ්ජට ගත්ත ලැයිසොන් කඩදාසිය. පිට කවරේ නම් පැහැදිලි මදි. ඇතුල් පිටු බලන්ඩකො. දුකේ බැරුවා ගෙවලා තියන සල්ලි වලට.
ඔන්න ඔහොම ලෝස් නැතුව ගෙවලා තමයි අපි රේඩියෝ ඇහුවේ, ටී.වී. බැලුවේ. හරිද……….?
ඇත්තටම රූපවාහිනී/ගුවන්විදුලි යන්ත්‍ර සඳහා බලපත්‍ර ක්‍රමයක් තිබිය යුතුද නැද්ද? ඔබ මොකද හිතන්නේ?
තවත් එකක්, ඔබේ නිවසේ තිබෙන වටිනා කියන මෙවැනි භාණ්ඩ මිලදීගත් රිසිට් පත් සහ එම භාණ්ඩවල වර්ගය, මෝස්තරය, අනුක්‍රමික අංකය, වැනි විස්තර ඔබ සතුව තිබෙනවාද? එවැනි භාණ්ඩ හොරු ගෙනගියොත්, අර විස්තර ඉතා වැදගත් වෙනවා, පොලීසිය වෙත ඉදිරිපත් කිරීමට. ඔබට හැකිනම් ඒ ඒ භාණ්ඩයේ (ස්වර්ණාභරණ පවා) ඡායාරූපයක් ගෙන සුරක්ෂිතව තබන්න, එය ඉතා වැදගත් වෙනවා. මම මගේ නිවසේ එවැනි භාණ්ඩ සඳහා වෙනමම ලිපිගොණුව බැගින් සකසා තිබෙනවා.
ලිපියේ පළමුවෙන්ම ඉදිරිපත් කර ඇති ඡායාරූපය Googal Imeges වෙතිනි.