මා දන්නවා ඔබ බලාසිටින බව ‘අපි දෙන්නේ සුන්නද්දූලි වෙලා යන්ඩ’ ලිපියේ ඊළඟ කොටස එනතුරු කියලා. නමුත් මේ දිනවල මා ගෙවන්නේ ඉතාම කාර්ය බහුල කාලයක්. ඒ නිසා ඉක්මනින්ම ඒ ලිපියේ ඊළඟ කොටස ඔබ වෙත ගෙනඒම අපහසුයි. මේක පුංචි කතාවක්. ඊයේ පෙරේදා අපේ ගමේ අවුරුදු උත්සවය තිබුනා. ‘ලංකාදීප’ පත්තරේ ඔන්න ලොකු විස්තරයක් තිබුනා මගේ නමත් එක්ක. අම්මෝ නූලෙන් බේරුනා මගේ නම ප්‍රචාරය නොවී. අපේ පන්සලේ හාමුදුරුවන්ගේ ගෝලයෙක් ඉන්නවා ‘ලංකාදීපේ’ ලොක්කෙක්. එයාට කියලා හාමුදුරුවෝ තමයි මට විදලා තිබුනේ. අවුරුදු උත්සව ගැන පත්තර වාර්තා කවුරුවත් කියවන්නේ නැති නිසා මගේ අනන්‍යතාව බේරුනා.
ඔන්න ඉතිං පුංචි කතාව මේකයි. අර දෙහි ගෙඩිය හැන්දේ තබාගෙන දිවීමේ මහා තරගය තියනවානේ. කාන්තා පක්ෂය බලාගෙන ඉන්නේ තරගයට සහභාගිවෙන්නනේ. මට හිතුනා අපේ ඉස්තිරියාවන්ගේ ‘හුර්ද ඉස්පන්දනය’ පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. මම මයික් ටයිසන් වගේ මයික් එක අරගෙන මෙහෙම කිව්වා. ‘මේ නිවේදනය දෙහි ගෙඩිය හැන්දේ තබාගෙන දිවීමේ තරගයට සහභාගීවීමට බලාපොරොත්තුවන තරගකාරියන්ටයි. සංවිධායක මණ්ඩලය සියලු උත්සාහ දැරුවා දෙහි සොයාගන්නට. (සම්පූර්ණ බොරු. දෙහි ගෙඩි ලෑස්තියි) නමුත් දෙහි සොයාගන්නට බැරිවූ නිසා ජම්බෝල සොයාගත්තා. නමුත් ජම්බෝල සාමාන්‍ය හැන්දක තැබිය නොහැකි නිසා, අපි තරගය වෙනස් කළා පොල්කටු හැන්ද මත ජම්බෝලය තබාගෙන දිවීමේ තරගය ලෙස’ බුදු අම්මෝ කාන්තා පක්ෂය එන්ඩ ගත්තා ආක්‍රමණශීලී විලාශයෙන්. හුහ්,…අපිට පුලුවන්ද පොල්කටු හැන්දක් කටේ තියාගන්ඩ? කවුද කිව්වේ ජම්බෝල ගේන්ඩ කියලා? අපිටනම් බෑ ඔය තරගෙට ඉන්ඩ කියලා මාව කන්ඩ හැදුවා. මම හිතුවා තව පොඩ්ඩක් අන්දන්ඩ. මම කිව්වා හරි හරි අපි පොල්කටු හැන්දේ මිට කොට වෙන්ඩ කපලා දෙන්නම් කියලා. අනේ මේ ඉස්තිරියාවෝ කැමති වුනානේ ඒ තීරණයට.
ඔන්න මමනම් බෝ පැලේ වගේ මොකුත් දන්නේ නෑ හොඳේ.
පින්තූරය Google Images වෙතින් ලබාගන්නලදී