මම 1979 සිට 2000 දක්වා පදිංචිව සිටියේ සබරගමු පළාතේ, කෑගල්ල දිස්තිරික්කයට අයත්, රුවන්වැල්ල ප්‍රදේශයේ. අදටත් ඒ ප්‍රදේශය සමග තියන සබඳතා පෙර ලෙසම පවතිනවා. අවම වශයෙන් මාස දෙක තුනකට වරක්වත් ඒ පැත්තේ යැවෙනවා. වෙන එකක් තියා, මගේ ජංගම ගිණුම තවම තිබෙන්නේ, රුවන්වැල්ල ලංකා බැංකු ශාඛාවේ. ඔබ දන්නවා ඇති රුවන්වැල්ල කියන්නේ ඓතිහාසික කෝට්ටේ, සීතාවක, මහනුවර යන රාජධානි සමයයන්හිදී බොහොම ප්‍රචලිත නගරයක් බව. කෝට්ටේ රාජධානියේ සිට සීතාවක හරහා කන්ද උඩරටට යන මාර්ගය වැටී තිබුනේ මේ අසළින්. මේ නගරය ආශ්‍රිතව කැළණි ගඟේ තිබෙන ඓතිහාසික තොටුපොළ අතීතයේදී කැළණි ගඟ ඔස්සේ ගමන් කල යාත්‍රා නැවැත්වීමේ ප්‍රධාන තොටුපොළ වුනා. ලන්දේසීන් පවා එය පාවිච්චි කර තිබෙනවා. ඒ වගේම රුවන්වැල්ල නගරයේ අද පොලිස් ස්ථානය සහ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල අතර ප්‍රදේශයේ තිබෙනවා, ඉපැරැණි ලන්දේසි බළකොටුවක කොටස්. ක්‍රි.ව. 1817 දී තමයි මෙය ඉදිකර තිබෙන්නේ. රුවන්වැල්ල ගැන සංක්ෂිප්ත විස්තරයක් මෙතනින් බලන්න පුළුවන්. මේ පින්තුරයේ පෙනෙන්නේ බලකොටුවේ දොරටුවයි.
රුවන්වැල්ල නගරය අසළින් ගලා බසින කැළණි ගඟ, නගරයට එක්කරන්නේ, වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සිරියාවක්.
ඊයේ මගේ ලොකුදුවට හදිසි රාජකාරි අවශ්‍යතාවක් පැන නැගුනා, රුවන්වැල්ලට යන්න. ඉතින් අද (2013/05/15) මමත්, බිරිඳත්, ලොකු දුවත්, රුවන්වැල්ලට ගියා. ලොකු දුවගේ අවශ්‍යතාව ඉටුවනතුරු නගරයේ රැඳී සිටි මම, හිතවතුන් සමග කතාකරමින් නගරය පුරා ඇවිද්දා.
ප්‍රධාන පාර පළල් කිරීම සඳහා, (සබරගමු පළාතේ ප්‍රධාන නගර දෙක වන රත්නපුර සහ කෑගල්ල නගර දෙක යා වෙන මාර්ගය) නගරයේ වෙළඳසල් සහ වෙනත් ගොඩනැගිලි රාශියක් කඩා ඉවත් කර තිබෙනවා. මේ කඩා බිඳ දැමීම් රුවන්වැල්ල බලකොටුවට බලපෑමක් වේදෝ යන හේතුව නිසා ඒ පැත්ත කැඩීම අත්හිටවා තිබෙනවා. මේ තියෙන්නේ ඊට අදාළ ප්රවෘත්ති වාර්තාවක්.
තමන්ගේ කඩ කැඩීම නිසා දුකට පත්, මා හඳුනන කඩ මුදලාලිලාගේ අෙඳා්නා වලටත් ඇහුම්කන් දෙමින්, මහජන පොළ ළඟට පැමිණිවිට, මගේ පැරණි හිතවතකු හමුවුනා. ඔහු සමග පිළිසඳරේ යෙදෙමින්, ගඟ දෙසට ඇවිදිමින් සිටියදී තමයි, මේ එල්ලෙන පාළම නෙත ගැටුනේ. අපි කුඩා කාලයේදී නම් මෙවැනි පාළම් වලට කිව්වේ, ‘සංගිලි පාළම’ කියලයි. මා උපන්, කෑගල්ල දිස්ත්‍රික්කයේ, උඳුගොඩ, මොරදන, ගම ආශ්‍රිතව මෙවැනි පාළමක් තිබුනා මතකයි. මට එක වරම මතක් වුනේ ඔබ සැමදෙනා. ඒ නිසා මම හිතුවා ඔබටත් එය පෙන්වන්න.
මේ පාලම අඩි 550 ක් දිග බව එහි සමරු ඵලකයේ සඳහන් වෙනවා. අද මෙය ලංකාවේ දිගම එල්ලෙන පාලම (Suspension Bridge) ලෙස සැළකෙන බවයි මගේ මිතුරා මට කිව්වේ. මේ පාළම 2007 වර්ෂයේදී සබරගමුව පළාත්සභාව විසින් ඉදිකරන ලද්දක්. මා සොයා බැලුවා ලංකාවේ එල්ලෙන පාළම් ගැන වෙනමම තොරතුරු ඇද්ද කියා. නමුත් එය සාර්ථක වුනේ නැහැ.
පාළමෙන් එගොඩවෙන ප්‍රදේශය හඳුන්වන්නේත් ‘පාලංගමුව’ කියලයි. ඊට එහා තියෙන්නේ නිකවලමුල්ල, කුරුපැත්ත වැනි ගම්මාන. ගම්පොල කඳුවැටි ආශ්‍රිතව උපත ලබන ගුරුගොඩ ඔයත් ශ්‍රීපාද කඳු පන්තිය ආශ්‍රිතව උපත ලබන කැළණි ගඟත් රුවන්වැල්ලේදී එක්වෙනවා. (මට මතක්වෙනවා ඉන්දියාවේ අලහබාද් නගරය. එහිදී මා දුටුවා ගංගා සහ යමුනා නදී දෙක එක්වන ස්ථානය. හින්දු විශ්වාසයේ හැටියට පියවි ඇසට නොපෙනෙන සරස්වතී නදියත් එතැනදී අනෙක් ගංගා දෙකට එකතු වෙනවාලු) මෙතනින් එහාට කතා නෑ පින්තුර විතරයි.
රුවන්වැල්ල බලකොටුවේ පින්තුරය Google Images වෙතින් උපුටාගන්නා ලදී.