හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

08 June 2013

අපේ තුවක්කු ඉහලම කාලතුවක්කු – (දෙවැනි කොටස) – The Artillery Gun – (Part Two)


 2013/06/09 දින නැවත සංස්කරණය කරන ලදී.    old-cannon
ආයුබෝවන්ඩ කොහොමද සැපදුක්?…….ගියපාර ලිපියෙන් මම දුන්න කාලතුවක්කුවෙන් වෙඩි තිබ්බැයි?……….(ඔන්න ඔහේ තිබ්බා කියන එක ගණන් ගන්ඩ එපා හොඳේ?….. Open-mouthed smile) ඉතිං ඒ කාලතුවක්කුවෙන් වෙඩි තියන්ඩ ගිහින් මොකුත් අතුරු ආන්තරාවක් එහෙම වුනේ නැහැනේ. හොඳයි. ඔන්න එහෙනම් මෙවර ලිපියෙන් කාලතුවක්කු පිලිබඳ ශාස්ත්‍රීය / තාක්ෂණික කරුණු ගොඩක් කියන්නයි යන්නේ. ඇත්තටම මේ මාතෘකාව ගැඹුරු සහ දීර්ඝ විස්තර සහිත වුනත්, හැකිතරම් කෙටියෙන් සහ සරලව කියන්නයි මම උත්සාහ කරන්නේ. මා හිතනවා මෙවරත් ඔබට සෑහෙන ප්‍රශ්න ගොඩක් මතුවෙයි කියලා. මාගේ දැනුමේ ප්‍රමාණයෙන් සහ කරුණු සොයාබැලීමෙන් පිළිතුරු දෙන්නම්.
   අපි මුලින්ම බලමුද  කාලතුවක්කුවේ ඉතිහාසය දිහා. කාලතුවක්කුව කියන නම එන්නට පෙර සිටම මිනිසාට අවශ්‍ය වුනා යුද්ධ කටයුතුවලදී දුර තිබෙන ඉලක්කයකට බර ද්‍රව්‍යයකින් දමා ගසන්නට. එහි ප්‍රාථමික අවධිය තමයි අතට ගලක් ගෙන දමා ගැසීම. එය ආදී මානවයන් විසින් පවා කර තිබෙන බවට සාක්ෂි තිබෙනවා. පසුකාලය වනවිට මිනිසා තම බුද්ධිය මෙහෙයවා, මෙලෙස බර දෙයක් දමාගසන්නට හැකි උපකරණ හදන්නට පටන් ගත්තා. එයින් කීපයක් පහත දක්වනවා.  ඔබ දන්නවානේ අපි කුඩා කාලයේදී පාවිච්චි කල කැටපෝලය. අනේ….මට අමතක වුනා. කුඩා වයසේදී කැටපෝලයක් පාවිච්චි කල අය දැන් අඩුයි. මමනම් මේ මෑතකදීත් කැටපෝලයක් හදාගෙන අපේ පොල්ගස් දෙකතුනට එන දඬු ලේනුන්ට විද්දා. බයකර පලවා හැරීමක් විතරයි. මොකද මම කැමති නැහැ ඔවුන් වෙනුවෙන් වායු රයිෆල් උණ්ඩයක් වැය කරන්න.slingshot
ඉතින් මේ කැටපෝලයත් ප්‍රාථමික කාලතුවක්කුවක් තමයි. මොකද කැටපෝලයකින් පුළුවන් ගල් කැටයක් පරාවලයාකාර මාර්ගයකින් ඈතට විදින්න. අපි මේකට කැටපෝලය කිව්වට, ඉංග්‍රීසි භාෂාවෙන් මෙයට කියන්නේ ‘ස්ලින්ග්ෂොට් slingshot’ කියලයි.
මේ ලිපිය ඊයේ (2013/06/08) පළවුනාට පස්සේ හීනලන්තයේ හරී මතක්කලා මෙවැනිම තවත් උපකරණයක් වූ ගල්පටිය ගැන. මෙතනින් බලන්න.
   ඉංග්‍රීසි භාෂාවේදී ‘කැටපල්ට් Catapult’ කියන්නේ මීටවඩා වෙනස් මීට වඩා විශාල උපකරණයකට.  ඒ උපකරණයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 400 තරම් ඈතට දිව යනවා. පැරණි ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරයන්හි, යාන්ත්‍රික උපක්‍රමයකින් (වෙඩි බෙහෙත් පාවිච්චියෙන් තොරව) ඊතල සහ ගල් වැනි දෑ ඈතට විදිය හැකි උපකරණ තිබුණු බව ඉතිහාස පොත්වල සඳහන්වෙනවා. ඒ විස්තර වලට නොගොස් අපි බලමු ඒ යුගයේ කැටපල්ට් එකක පින්තුරයක්. මෙහි තිබෙන ලී කඳ දුන්නක ආධාරයෙන් එක වරම ඉදිරියට ගස්සන්න පුළුවන්. නියමිත තැන ගලක් තියලා ලී කඳ පාත් කරලා එක වරම අතහැරියම අර ලොකු ගල උඩින්ම යනවා ඉලක්කයට.
Catapult
   මොකද හිතෙන්නේ……. අම්මපා මේකක් තියනවනම් ගමකට ගහන්න බැරියැ හදිස්සියකට Open-mouthed smile
  වර්තමානයේදීත් කැටපල්ට් පාවිච්චි කරනවා. ඔබ රූපවාහිනී වාර්තා වැඩසටහන්වල, ප්‍රවෘත්ති විකාශනවල, සමහර චිත්‍රපටිවල, දැක ඇති ගුවන්යානා ගෙනෙයන යුද නැව් වල සිට, ඒ ගුවන්යානා පිටත්වෙන හැටි. මෙහිදී, ඒ ගුවන් යානයට, තනිවම, තම බලයෙන් ගුවන් ගතවන්න බැහැ. එයට හේතුව, නැවේ තට්ටුව, ගුවන් යානය අහසට නැගීම සඳහා, පොලොව මතදී ධාවනය කලයුතු අවම දුර තරම්, දිග නැති වීමයි. මේ නිසා ගුවන් යානය සිය උපරිම ජවය යොදා, නැව් තට්ටුව දිගේ ඉදිරියට ධාවනය කරන අතරම, නැවේ තියන කැටපල්ට් එකෙන්ද ගුවන් යානාව වේගයෙන් ඉදිරියට තල්ලු කරනවා. බලන්න පහත පින්තුරය.
shuttlehookup
   හොඳයි, ඒ වගේම තවත් උපකරණයක් තමයි මේ. මේකේ නම ‘ඔනෙජර් – Onager’ මේ අවියත් පාවිච්චි කර තිබෙන්නේ කිසියම් බර ද්‍රව්‍යයක් ඈතට විසිකරන්නයි.
OnagerPic

   මෙයත් කැටපල්ට් එක වගේම යාන්ත්‍රික ශක්තියෙන් ක්‍රියා කලේ. මේවා ගැන දිග විස්තර කියන්න ගියොත් ලිපිය අනවශ්‍ය ලෙස දිග වැඩි වෙනවා.  ඊළඟ අවිය තමයි, ‘ට්‍රෙබුෂේ – Trebuchet’ මේක ප්‍රංශ වචනයක්. ඔන්න බලන්නකෝ පින්තුරේ.
Trebuchet
   කොහොමද හොඳද? අපරාදේ අපි කෝටි ගණන් දීලා කාලතුවක්කු ගන්නේ නැතුව, මේවා 25 ක් 30 ක් ගෙනල්ලා, කළුගල් කොරියක් ළඟ හයිකර ගත්තනම් අරුන්ට දෙන්න තිබ්බා (ඔන්න කිව්වා තිබ්බා කියලා ) රටේ නොහිට දුවන්න. නැද්ද මං අහන්නේ? මේ වගේ කුඩා කැටපල්ට් උපකරණ, පළමුවැනි ලෝක යුද සමයේදී, යුද අගල් වල සැඟවී සිටිමින්, සතුරා වෙත අත්බෝම්බ යැවීම සඳහා පාවිච්චි කර තිබෙනවා. මේ තිබෙන්නේ එවැනි අවස්ථාවක පින්තුරයක්. 
French_grenade_catapult
   අපි ඊළඟට යමු ලෝකයේ පැරණිම කාලතුවක්කු වෙත. පසුගිය ලිපිය කියවලසෙන්නා අහලා තිබුනා අර ලොකු යකඩ බෝල දාලා වෙඩි තියන කාලතුවක්කු ගැන. ඇත්තවශයෙන්ම ඒ තමයි මුල් යුගයේ කාලතුවක්කු. ඒවා 16 වැනි ශතවර්ෂයේදී පමණ තමයි මුලින්ම නිපදවා තිබෙන්නේ. මෙන්න ඒ වගේ එකක්. වෙඩි තියන හැටි මම විස්තර කරලා තියනවා ඒ පින්තුරයේම. මෙය පළමුවැනි පරම්පරාවේ කාලතුවක්කුවක්. 
1st Generation Artillery Gun
  පළමුවැනි පරම්පරාවේ කාලතුවක්කුවක් 1862 දී ඇමරිකානු කාලතුවක්කු හමුදාව විසින් පාවිච්චි කල අවස්ථාවක් පහත පින්තුරයෙන් දැක්වෙනවා.
1862-24pdr-Ft-Corcoran-Arlington-Va-4th-NY-Hvy_Med
  ඒ වගේම තමයි ලෝකයේ සුප්‍රසිද්ධ ඓතිහාසික කාලතුවක්කු තියනවා. ඒවාගෙන් සමහරක් දැක්කම පුදුම හිතෙනවා එතරම් ඈත අතීතයේදී මෙවැනි නිර්මාණ කලාද කියා. එයින් එකක් තමයි රුසියාවේ තිබෙන සාර්ගේ කාලතුවක්කුව. මේ කාලතුවක්කුව නිපදවා තිබෙන්නේ ක්‍රි.ව.1586 තරම් ඈත කාලයකදී. මේ කාලතුවක්කුව මීටර් 5.94 ක් හෙවත් අඩි 19.5 ක් දිගයි. හැබැයි එකක් මතක තියාගන්න. විද්‍යාත්මක පර්යේෂණ වලින් ඔප්පුවෙලා තියනවා මෙය එකම එක වරකට වඩා පාවිච්චි කර නැති බව. මේ කාලතුවක්කුව හුදෙක්  ප්රෞඪත්වය පෙන්වීම සඳහා කළ නිර්මාණයක්. මෙය ලෝකඩ වලින් සාදා තිබෙන්නේ. අදත් මෙය ක්‍රෙම්ලීනයේ ප්‍රදර්ශනය කරනවා.
tzar cannon
  මෙවැනිම කාලතුවක්කුවක් ඉන්දියාවේත් තියනවා. හැබැයි ඒ තුවක්කුව නම් යුද්ධ කරන්න පාවිච්චි කරපු එකක්. පහත දැක්වෙන්නේ ඒ කාලතුවක්කුවයි. එය හැඳින්වෙන්නේ ‘ජායිවානා කාලතුවක්කුව’ කියලයි. ක්‍රි.ව. 1720 දී නිපදවන ලද මේ තුවක්කුව ‘දෙවැනි මොහොමඩ් ෂා’ නමැති මෝගල් අධිරාජයාගේ සමයේදී තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අදත් මෙය ඉන්දියාවේ ජායිපූර් නගරයේ ‘ජායිගාර්ත්’ නමැති පැරණි බලකොටුවේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. මෙය සාදවා තිබෙන්නේ, 1720 කාලයේ, එම බලකොටුවේ අධිපතියා ලෙස, ඒ ප්‍රදේශය පාලනය කල, ‘දෙවැනි ජායි සිං’ නමැති ප්‍රාදේශීය පාලකයා විසින්. තුවක්කුවේ විස්තර මෙහෙමයි.
  තුවක්කු බටයේ දිග මීටර් 6.15 යි (අඩි 20.2 යි) එහි බර ටොන් 15 යි. බටයේ අග වටප්‍රමාණය මීටර් 2.2 යි (අඩි 7.2 යි) බටයේ පසුපස කොණේ වටප්‍රමාණය මීටර් 2.8 යි (අඩි 9.2 යි) තුවක්කු බටයේ ඇතුළත විෂ්කම්බය සෙ.මී. 28 යි. (අඟල් 11 යි) තුවක්කු බටයේ ඉදිරිපස කෙළවර ඝනකම සෙ.මී. 21.6 යි (අඟල් 8.5 යි) පසුපසට යනවිට ඒ ඝනකම වැඩි වෙනවා.  මේ තුවක්කුවේ උන්ද සහ වෙඩි තැබිය හැකි දුර ගැන විවිධ මූලාශ්‍රවල විවිධ තොරතුරු තියෙන්නේ. පිළිගතහැකි තොරතුරුයි මේ. එක වරකට (එක වෙඩිල්ලකට)  වෙඩි බෙහෙත් කි.ග්‍රෑ. 100 ක් පමණ යොදවා තිබෙනවා. කි.ග්‍රෑ. 50 ක් පමණ බර යකඩ බෝල උණ්ඩයක් තමා පාවිච්චි කරලා තියෙන්නේ. මේ තුවක්කුවෙන් කි.මී. 35 ත් 40 ත් අතර දුරක් වෙඩි තියන්න පුළුවන් වුනා කියලා ඉතිහාස පොත්වල සඳහන් වෙලා තියනවා. රෝද හතරක සැකිල්ලකට සවිකර තිබුන මේ තුවක්කුව අදින්න, හරවන්න, ඇතුන් හතර දෙනෙක් අවශ්‍ය වුනාලු.
jaivana 1Jaivana 2
  ඊළඟට බලමුද ලෝකයේ මෙතෙක් නිපදවන ලද විශාලතම කාලතුවක්කුව. මේකනම් දැක්කම බයත් හිතෙනවා. විශ්වාස කරන්නත් බැරි තරම් විසාලයි. දෙවැනි ලෝක යුද සමයේදී ජර්මන් ආඥාදායක හිට්ලර්ගේ නාසි ජර්මනියේදී තමයි මේ තුවක්කුව නිපදවලා තියෙන්නේ. පින්තුර බලලා විස්තර කතාකරමු.
PM504376A
ගුස්ටාව් 2
WAR & CONFLICT BOOK ERA:  WORLD WAR II/WAR IN THE WEST/GERMANY
ගුස්ටාව් 4
  මේ තුවක්කුව ගැන පොඩි වීඩියෝ එකකුත් බලලම ඉම්මු ඈ.




කොහොමද වැඩේ? මල් හතයි ඈ Open-mouthed smile  ඔබට මතක ඇති, මීට පෙර මා ඔබට හඳුන්වා දුන්නා, දෙවන ලෝක යුද සමයේදී, ජර්මනියේම නිපදවන ලද බිස්මාර්ක් නැව. මෙයින් පෙනෙනවා ජර්මන් ජාතිය කොයිතරම් දක්ෂ යුද්ධායුධ නිෂ්පාදකයන්ද කියා. අතීතයේදී එක් කාලතුවක්කු වර්ගයක් සාදා තිබෙනවා, ඒ තුවක්කුව වෙනුවෙන්ම විශේෂයෙන් සැකසු දුම්රිය එන්ජිමක් සහිත ගැලකට සවි කරන ලද. ඒවා හැඳින්වූයෙත් දුම්රිය කාලතුවක්කු Railway Gun කියලා. මේ තියෙන්නේ. 
railway_gun_Mk_II
  මම කල්පනා කරේ පහුගිය යුද්ද කාලේ අපටත් ඔයින් එකක් දෙකක් තිබ්බා (චඃ ) නම්, කොටුව දුම්රිය පොලේදී අපට මෙන්න මෙහෙම  නිවේදනයක් අහන්න තිබුනා. ‘දෙවැනි වේදිකාවට දැන් පැමිණෙන කාලතුවක්කුව, වවුනියාව බලා පිටත්වෙයි. අතරමගදී සතුරු ප්‍රහාර එල්ල නොවුනහොත්, එය  නොනවත්වාම වවුනියාව බලා ධාවනය කරනු ඇත’ Open-mouthed smileOpen-mouthed smile මීට වඩා වෙනස් නිවේදන ඔබේ හිතට එනවා නම් ලියන්ඩ ඈ.
  හැබැයි මතකතියාගන්න, මෙව්වා නිකම් සුදු අලි. මොකද දන්නවද? මේ තුවක්කුවකට අති විශාල කාර්ය මණ්ඩලයක් ඕනේ. වෙඩි තැබීමේ වේගය (විනාඩියකට/පැයකට/ තැබිය හැකි වෙඩි ගණන) බොහොම සීමිතයි. මේ තුවක්කුව ගෙනියන්න වෙනමම රේල් පාරවල් ඕනේ. තුවක්කුව විශාල නිසා බෝම්බ දාන ගුවන්යානා වලට පහසුවෙන් ඉලක්ක වෙනවා. නඩත්තුව බොහොම වියදම් අධිකයි. අර වීඩියෝ එකෙත් ඒ බව සඳහන් වෙනවා. ඒවා විශේෂයෙන් පාවිච්චි කර තිබෙන්නේත්, දේශසීමා අතර සටන් සඳහායි.
    හොඳයි මෙන්න ඉහත දැක්වූ හිට්ලර්ගේ කාලයේ තුවක්කුවේ විස්තර.
  තුවක්කුවේ නම ‘ගුස්ටාව් ගන්’. නිපදවන ලද්දේ 1941 දී. නිර්මාතෘ ‘ෆ්‍රීඩ්‍රික් කූප්’. කූප් පවුලේ ශ්‍රේෂ්ඨ නිර්මාපකයකු වූ ‘ගුස්ටාව්’ නමින් තුවක්කුව නම් කළා. මෙවැනි තුවක්කුවක් හදන්න හිට්ලර් උනන්දු වුනේ, ඒ කාලයේ ප්‍රංශය විසින් සිය දේශසීමාවන්හි ඉදිකර තිබුණු ‘මැගිනොට් ලයින් ෆෝර්ට්’ නමැති බංකර් ක්‍රමය විනාශ කරන්නයි. මේ ජාතියේ තුවක්කු දෙකයි හදලා තියෙන්නේ. (හිට්ලර් තුවක්කු තුනක් ඇණවුම් කළා. තුන්වැනි තුවක්කුව ඉවර කරන්න කලින් ජර්මනිය යුද්දෙන් පැරදුණා. 1945 දී බ්‍රිතාන්‍ය හමුදා ඒ වනවිට හදමින් තිබුන තුන්වැනි තුවක්කුව කම්හලේදීම විනාශ කළා) පළමුවැනි එක එහි නිර්මාතෘගේ වියදමින් හැදුවලු. දෙවැනි එකට ජර්මන් මාර්ක් මිලියන හතක වියදමක් ගිහින් තියනවා. දෙවැනි තුවක්කුව එහි නිර්මාතෘගේ බිරිඳගේ නමින් ‘ඩෝරා’ කියලා නම් කරලා තියනවා. හිට්ලර් පැරදීගෙන එද්දී, මේ දෙකම පුපුරවා විනාශ කරලා තියනවා.
  මෙන්න විනාශ වූ ඩෝරා කාලතුවක්කුව.
doraq1
  එක තුවක්කුවක් ක්‍රියාකරවන්නට 500 ක හමුදා පිරිසක් සිටි අතර, තුවක්කුව භාර අණදෙන නිලධාරියා මේජර් ජෙනරල් නිලයේ නිලධාරියෙක්. තුවක්කුවේ බර (ඇන්ජිම, චැසිය, බටය, ඔක්කොම තමයි) ටොන් 1344 යි. තුවක්කුවේ කැලිබරය මිලි මීටර් 800 යි (අඟල් 31.5 යි) මේ තුවක්කුවෙන් වර්ග දෙකක උණ්ඩ වෙඩි තබා තිබෙනවා. එම උණ්ඩ වෙඩි තැබීම සඳහා එක වරකට වෙඩි බෙහෙත් කිලෝ ග්‍රෑම් 1360 ක් සහිත චාජර් එකක් (චාජර් ගැන පස්සේ කියනවා. අර ගෙවල්වල ලස්සනට තියාගෙන ඉන්න පිත්තල කොපු තමයි චාජර් කියන්නේ. තවත් ක්‍රම තියනවා) යොදවන ලද අතර කිලෝ ග්‍රෑම් 4800 සහ කිලෝ ග්‍රෑම් 7500 යන වර්ග දෙකේ උණ්ඩ වෙඩි තබා තිබෙනවා. මේ තුවක්කුවෙන් කිලෝමීටර් 29 ක පමණ දුරකට වෙඩි තියන්නට හැකියාව තිබුනලු. මේ උණ්ඩ කොයි තරම් ප්‍රබලද කියනවානම්, කිලෝ 4800 උණ්ඩය මගින් අඩි 30 ක විෂ්කම්බය තිබෙන අඩි 30 ක් ගැඹුරු ආවාටයක් හැදෙනවාලු. එමෙන්ම අඩි 264 ක් ඝනකම කොන්ක්‍රීට් එකක් විනිවිද යන්න පුළුවන්ලු. උණ්ඩය තුවක්කුවෙන් පිටවෙන්නේ තත්පරයකට අඩි 2750 ක වේගයෙන්. මෙන්න උණ්ඩ වල පින්තුර. අර වීඩියෝ එකේදිත් ඔබ මේ උණ්ඩ දකින්න ඇති.
Dora_shell
  ලංකාවේ කාලතුවක්කු ඉතිහාසය ගැන මීළඟට කතා කලොත් හොඳයි කියා මා හිතනවා. මේ ලිපිය ලිවීම සඳහා කරුණු අධ්‍යයනය කරද්දී මගේ පුස්තකාලයෙන්ම ඊට ආධාරයක් ලැබුනා. ඒ තමයි රැල්ෆ් පීරිස් මහ වියතාණන් විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලදුව, කේ.ඒ.ඩී.පෙරේරා මහතාණන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති, ‘සිංහල සමාජ සංවිධානය – මහනුවර යුගය’ නමැති ඉතා අගනා ග්‍රන්ථය. (මේ පොත ගැන වෙනම ලිපියක් ලියන්නට සිතා සිටිනවා) එම පොතේ සඳහන් වෙනවා, ලංකාවේ කාලතුවක්කු නිෂ්පාදනයට මුල පිරුනේ, 16 වැනි සියවසේදී, පෘතුගීසීන් සමග පැවති සටන් වලින් ලද අද්දැකීම් අනුව යමින්, යාන්ත්‍රික උපක්‍රම මගින් යුද්ධ කිරීමේ අවශ්‍යතාව, තදින්ම දැනීමේ ප්‍රතිඵලයක් ලෙස, දේශීය කාලතුවක්කු නිපදවුනා කියලා. දේශීය කාලතුවක්කු දකින්න කැමතිද? ඔන්න පහළින් තියනවා පින්තුර.
sinhala-cannon
sinhala-light-artillery-piece
  මේ තුවක්කුවල තාක්ෂණික විස්තර නම් ලබාගන්නට නැහැ. හැබැයි තව විස්තර බලන්න පුළුවන් මෙන්න මේ තැන් දෙකෙන්.
  ලංකාවේ කාලතුවක්කු ගැන කතා කල නිසා අපේ කාලතුවක්කු හමුදාව ගැන මෙතනදීම කතා කරමු. අපේ කාලතුවක්කු හමුදාවේ අතීතය කිව්වොත් ඔබට අදහාගන්නත් බැරිවෙයි. අපේ කාලතුවක්කු හමුදාව බිහිවුනේ අපි බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පවතිද්දීයි. එනම් ක්‍රි.ව. 1888 අප්‍රේල් මස 12 වැනි දින දී, පළමුවැනි ලෝක යුද සමයට අදාලවයි. එය බ්‍රිතාන්‍ය රාජකීය කාලතුවක්කු හමුදාවට අයත් ස්වේච්ඡා කාලතුවක්කු බතරොයියක් ලෙස පිහිටවූ අතර, ‘ලංකා ස්වේච්ඡා කාලතුවක්කු හමුදාව’ ලෙස නම් කෙරුනා. ඔවුන් නගර ආරක්ෂක කාලතුවක්කු හමුදාවක් ලෙස සේවයේ යෙදවුනා. 1918 දී ‘ලංකා ආරක්ෂක සේනා කාලතුවක්කු හමුදාව’ පිහිටවූවා. මේ ආකාරයට වර්ධනය වූ කාලතුවක්කු හමුදාව 1949 අංක 17 දරන යුද හමුදා පනතින් නිදහස් ලංකාවේ යුද හමුදාව යටතේ ‘ලංකා කාලතුවක්කු හමුදාව’ නමින් පිහිටවනු ලැබුවා. 1972 දී ශ්‍රී ලංකා ජනරජය බිහිවීමෙන් පසු ‘ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව’ යනුවෙන් නම් කෙරුනා. ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව සිය 125 වැනි සංවත්සරය අභිමානවත් ලෙසින් පසුගිය අප්‍රේල් මාසයේදී සමරනු ලැබුවා. ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව ජනාධිපති වර්ණ ලාභී රෙජිමේන්තුවක්. ඔබ දන්නවනේ අපේ යුද හමුදාව බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ආභාෂයෙන් පිහිටුවන ලද බව. තවමත් එහි යම් යම් ලක්ෂණ අපේ හමුදාවේ තියනවා. බ්‍රිතාන්‍ය කාලතුවක්කු හමුදාවේ ධජය සහ අපේ කාලතුවක්කු හමුදාවේ ධජයත්, බ්‍රිතාන්‍ය කාලතුවක්කු හමුදාවේ ලාංඡනය සහ අපේ කාලතුවක්කු හමුදාවේ ලාංඡනයත්, බොහෝදුරට එක සමානයි. මේ බලන්න.
gb-raa
army_0008_badge_royalartillery
Uniform Specialities

  ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සියලුම නිලයන් අඳින්නේ දුඹුරු පැහැති සමෙන් නිමකළ බූට්ස්. වෙනත් කිසිදු රෙජිමේන්තුවක් එවැනි බූට්ස් පළඳින්නේ නැහැ. එමෙන්ම කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් නොවන සෙසු සියලුම නිලයන්, තමන්ගේ සම්මාන නිළ ඇඳුමේ පළඳින, විශේෂ පළඳනාවක් තිබෙනවා. එය හඳුන්වන්නේ ‘බැන්ඩලියර් - Bandelier’ යනුවෙන්. ඉහත රූපයේ එයද පෙන්වා තිබෙනවා. බැන්ඩලියර් එක පැහැදිලිව පෙනෙන්නේ නැත්නම් මේ රූපයෙන් බලන්න.
join_the_gunner
  එමෙන්ම බලන්න මේ සෙබළුන් පැළඳ සිටින හිස් වැස්ම. එය හඳුන්වන්නේ ‘ස්කාලට් – Scarlet’ යනුවෙන්. ලෝකයේ ඕනෑම යුද හමුදාවක, එක් එක් රෙජිමේන්තුවල ඒ ඒ රෙජිමේන්තුවට විශේෂවූ, නිළ ඇඳුම්, පළඳනා, චාරිත්‍ර විධි තිබෙනවා.  අපේ කාලතුවක්කු හමුදාවේත් තවත් එවැනි විශේෂතා තිබෙනවා. නමුත් පසුව එක් එක් රෙජිමේන්තු ගැන වෙනම ලිපියක් ලියන්නම්.
  ඉහත මා සඳහන් කළා, අපේ කාලතුවක්කු හමුදාව වර්ණ ලාභී රෙජිමේන්තුවක් බව. මේ තිබෙන්නේ ඒ අවස්ථාව.
Colours Awarding colour_gun
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අදාළ ඡායාරූප ලබාගත්තේ එම රෙජිමේන්තු වෙබ් අඩවියෙන්
  හරි හරි මම දන්නවා……….. ප්‍රශ්න දෙකක් තියනවනේ.
1. වර්ණ දෙනවා කියන්නේ මොකක්ද?
2. වර්ණලාභී කාලතුවක්කුව කියන්නේ මොකක්ද?
පිළිතුරු:-
1. ඕනෑම රටක ත්‍රිවිධ හමුදාවට ඒ රටේ සේනාධිනායකයා විසින්, ඒ ඒ රෙජිමේන්තුවේ / හමුදාවේ සේවය ඇගයීමක් වශයෙන් වර්ණ ප්‍රදානයක් කරනවා. එහිදී රටේ ජාතික ධජය මුල් තැනට තබා, සේනාධිනායකයා විසින් තීරණය කරනු ලබන වෙනත් වර්ණ සහ සංකේත, රෙජිමේන්තුවට ආවේනික වර්ණ සහ සංකේත ඇතුලත් විශේෂ ධජයක් නිමවා (ලංකාවේදී මෙය වෙනස්වූ අවස්ථා තිබෙනවා) එය විශේෂ පෙළපාලියක් Colours Awarding Parade පවත්වා ප්‍රදානය කරනවා. එවැනි පෙළපාලි, සමහරවිට රාත්‍රී කාලයේදී, ඉතා අලංකාරවත් ආලෝක ධාරා යොදවමින් කරනවා. සාමාන්‍යයෙන් වර්ණ ලබාගැනීම සඳහා යොදවන්නේ රෙජිමේන්තුවේ විශේෂ දක්ෂතා දැක්වූ කනිෂ්ඨ නිලධාරියෙක්. ඉහත රූපයේ, එවැනි නිලධාරියකු, ජනාධිපතිතුමාගෙන් වර්ණ ලබාගන්නා අකාරය පෙනෙනවා.
2. කාලතුවක්කු හමුදාවකට වර්ණ ප්‍රදානය කිරීමේදී රෙජිමේන්තුවේ ඉපැරණි, තවමත් හොඳින් රැකගෙන තිබෙන කාලතුවක්කුවකටද වර්ණ ප්‍රදානය කරනවා. එවිට ඒ තුවක්කුව අධිකාරි ලත් නිලධාරියකු හා සමාන ගරු සැළකිලි ලබනවා. සියලු නිලයන් විසින් රෙජිමේන්තු වර්ණ වලට සහ වර්ණ කාලතුවක්කුවට ආචාර කලයුතුයි. (ඕනෑම රෙජිමේන්තුවක වර්ණ වලට හමුදාවේ වෙනත් ඕනෑම රෙජිමේන්තුවක අය ආචාර කලයුතුයි) මෙම වර්ණ සහ වර්ණ කාලතුවක්කුව ඉතා ගරු සැලකිලි සහිතව ඒ වෙනුවෙන්ම වෙන්වූ විශේෂ ස්ථානයක තැන්පත් කරනවා. විශේෂ පෙළපාලි වලදී (නිදහස් උත්සවය වැනි) ප්‍රදර්ශනය කරමින් පෙළපාලියේ රැගෙන යනවා. ඔබ දැක ඇති හමුදා පෙළපාලි වලදී විශේෂ අමුත්තා පෙළපාලිය පිළිගන්නා විට මේ වර්ණ ධජය අතැති නිලධාරියා එය අමුත්තා සිටින පැත්තට පහත් කරනවා. අමුත්තා නිළ ඇඳුම් අඳින අයකු නම්, ධජයට ආචාර කලයුතුයි. රාජ්‍ය නායකයකු වැනි අයකු නම්, හිසනමා ආචාර කරනවා. පහත දැක්වෙන වීඩියෝව බලන්න. එහිදී බ්‍රිතාන්‍ය මහ රැජිණ සහභාගිවන හමුදා පෙළපාලියකදී වර්ණ ධජය පහත් කරනවා. රැජිනට ගෞරව දැක්වීමට.  එවිට රැජින හිස නමා වර්ණ ධජයට ආචාර කරනවා.

අදට ඇති නේද? ඉතින් බනින්න එපා, ‘තවම පඳුරු තලනවා’ කියලා. ඇයි අද කියපුවා වැදගත් නැද්ද? නැහැ නැහැ, මම හිතාගත්තේ ඊළඟ ලිපියෙන් කෙලින්ම කාලතුවක්කු යුද්දෙට බහින්න. කන්දෙකේ ඇබ ගහගන්න වෙයි ඔන්න ඊළඟ ලිපියේදී කාලතුවක්කු වෙඩි සද්දෙට හොඳද?
  ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා වෙබ් අඩවියෙන් ලබාගත් ඡායාරූප හැර අනෙකුත් සියලුම ඡායාරූප Google Images  වෙතින් ලබාගන්නා ලදී.  
My Signature for Blog2013 ජූනි මස 08 වැනි දින 2328 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }