සාමාන්‍යයෙන් මා, අද කාලයේ නිපදවෙන සිංහල චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය බලන්නේ ඉතා සීමාසහිතවය. එයට හේතු කීපයක් දැක්විය හැකිය. අද කාලයේ කතා බොහොමයක් මගේ මනෝ භාවයන් පුබුදුවන්නට සමත් නොවීම ප්‍රධාන හේතුවයි. මම බ්‍රහ්මයකු නොවෙමි. අද කාලයේ නිපදවන සියලු සිංහල චිත්‍රපටි සහ ටෙලිනාට්‍ය මාගේ බ්‍රහ්ම සුඛයට තරම් නොවේයැයි නොකියමි. මගේ මනෝභාවයන් පුබුදුවන නිර්මාණ අද ද කලාතුරකින් අසමි, දකිමි. එමෙන්ම සොයමි. එමෙන්ම මගේ ජීවිත කාලය තුළ, ‘සම්භාව්‍ය’, ‘ජනප්‍රිය’, ‘හඩු හෙවත් පහත්’ යන වර්ගීකරණයන් වෙත, සමාජය විසින්ම ඔසවා තබන ලද හෝ ඇද දමන ලද සිංහල, ඉංග්‍රීසි, හින්දි, චිත්‍රපටි, එක් එක් භාෂාවෙන් සිය ගණනක් නරඹා ඇත්තෙමි. සිංහල ටෙලිනාට්‍ය 1980 පමණ සිට 2005 පමණ වනතුරු ඉඩ ලැබෙන සෑමවිටම නැරඹු අතර, පසුව බිහිවූ ටෙලිනාට්‍ය වලින් අති මහත් බහුතරයක දුටු නීරසභාවය නිසාම, එයින් ඈත්වුනෙමි. අද මා සිටින්නේ එයින් සම්පූර්ණයෙන් ඈත්වන තැනකය. මොකක්දෝ කරුමයක් නිසා ‘වැඩට ගොස් මහන්සිවී ගෙදර එන අයට විනෝදය සපයන’ වර්ගයේ ටෙලිනාට්‍ය මට අල්ලන්නෙම නැත. එදා යුදබිමේ මාස ගණන් රැඳී සිට ගෙදර ආවාට පසු වුවත්, මට ඒ වර්ගයේ නාට්‍ය වලින් කිසිදු රසයක් නොලැබෙයි. එදා ජයවිලාල් විලේගොඩලාගේ පටන් මෙදා ගාමිණී සුමනසේකරලා දක්වා විචාරකයන් විසින් අපට කියාදී (ලේ වලටම උකහා දී) ඇති ප්‍රමිතිය, කොපමණ වෙහෙසකර අවස්ථාවක නරඹන නිර්මාණයක වුවද දකින්නට නැත්නම්, අපේ මොළයේ ‘පටස්’ ගා විදුලියක් කොටනවාක් මෙන් දැනවෙන්නේ, ‘නොදෝකිං මේ රඟපෑම්/ආලෝකකරණය/අංග රචනය/පසුතල නිර්මාණය/සංගීතය/ හඬ පටිගත කිරීම/ ආදී සමස්තය, බල්ලෝ බත් කන්නැති ගාණයිනේ’ යන අදහසයි. මගේ ප්‍රියතම නළු නිළියන්ගේ/ගායක ගායිකාවන්ගේ/ සංගීතඥයන්ගේ/ වුනත්, ‘දෙකයි පණහේ කෑලි’ මම කිසි දිනක ප්‍රිය නොකරමි. මෙසේ නිර්මාණයක පරිපූර්ණත්වය හැරපියා, නළුවකුගේ රැවුළ, නිළියකගේ කොණ්ඩය, වෙනත් ජෝකරයකුගේ අඩ කුණුහරප වචන, පමණක් රසවිඳීම, මටනම් චොකලට්ටුව විසිකර ඊයම් කොලය කෑම හා සමානය.
මේ ලිපිය ලියන්නට නිමිත්ත වුයේ, මෑතකදී ජාත්‍යන්තර සම්මානයෙන් පුද ලද, සැබැවින්ම භාග්යවන්තවුත්, දක්ෂවුත්, ජගත් චමිල, සිය රංගන වින්‍යාසයේ කූටප්‍රාප්තිය සළකුණු කරමින්, ශ්‍රී ලංකාව වෙත අප්‍රමාණවූ කීර්තියක් හා අභිමානයක් ළඟාකරදීමේ උත්කර්ෂවත් භාවයයි. මේ තරුණ නළුවා මෙසේ ජයගන්නට යෙදුනේ සෙසු පටු අභියෝගයක් නොවේ. ඔහු ජය ලැබුවේ, රංගනය පිළිබඳ කුදු මහත් අභ්‍යාසයන්, උපදේශනයන්, උපාධි, ඩිප්ලෝමා, සියල්ල නොමඳව ලැබෙන, ජාත්‍යන්තරය පිලිබඳ මනා වැටහීමක් හා අවබෝධයක් පමණක් නොව, සකලවිධ රංගෝපක්‍රම පිලිබඳ පරිචයකින්ද යුත්, මහා සිනමා සම්ප්රදාය සහිත රටවල සිටින, අත්දැකීම් බහුල, මහා නළුවන් සමග කරට කර රංගන සංග්‍රාමයක යෙදීමෙන් පසුව බව, කිසිසේත් අමතක කළ නොහැක්කේය. ඔහු සමග මේ සම්මානය සඳහා තරග වැදුණු අනෙක් නළුවන් කෙබඳුදැයි මේ සබැඳියාවන්ගෙන් බලන්න.
අපේ රටේ මෙවන් අංකුර, තවත් සිය ගණනින් කෙසේ වෙතත්, දහ පහළොවක්වත් ඇති බව අවිවාදිතය. ඒ අංකුර හඳුනාගන්නේ කෙළෙසද? වඩා වර්ධනය කරගන්නේ කෙළෙසද? එයින් ඇති ඵලය කිම? ලෝක රූප සුන්දරිය හෝ ඔලිම්පික් පදක්කම් ලාභීන් මෙන් කලින් කලට ලෝක සම්මාන ලබා ගැනීමටද? ලෝක රූප සුන්දරිය සැබෑ වාසනාවන්තියකි. ඇයට වසරක් පුරා ලැබෙන තෑගිබෝග වරප්‍රසාද අපමණය. අවුරුද්දකට පසු ඉන්නේ කොහේදැයි කියාවත් කවුරුවත් නොසොයති. (සිනමාවටවත් පැනගෙන නොරැකුණොත් මිස) ඔලිම්පික් පදක්කම් ලාභියා සැබෑ දක්ෂයෙකි. (තහනම් උත්තේජක චෝදනා වලට හසු නොවනතුරු. සැමදෙනාම නොවේ) කාලාන්තරයක් මතකයට නැගේ. ආදර්ශයට ගනී. හැබැයි ක්‍රීඩා ලෝලීන් අතර පමණි. නළුවා එසේ නොවේ. සිනමා පටයක්, ටෙලි නාට්‍යයක්, වේදිකා නාට්‍යයක්, නරඹා ඇති යාචකයාගේ පටන් මහරජා (අපේ උන්නැහේ නෙවෙයි) දක්වාම, කිසිදු සමාජ, වර්ණ, ජාති, ආගම්, භාෂා, කුල, භේදයකින් තොරව, සියල්ලන්ගේ සිත්හි සදාකල් රැඳෙන්නට ඔහුගේ එක රංගනයක් සමත්වන්නේය. ඒ රංගනය තුළින් ඔහු ලෝකයාගේ සිත්හි ඇති කරවන්නාවූ ප්‍රකම්පනය, ජීවිත කාලය පුරා පවතින්නේය. ලෝකය ගැන සිතන්නට ප්‍රේක්ෂකයා පොළඹවන්නේය. මිනිසාගේ ඇති රුදුරු ගති මෘදු ගති බවට පත්කරන්නේය. තම ජීවිතය ඒ ඒ චරිත හා බද්ධ කර බැලීමෙන්, ජීවිතයේ කිසියම් පරිණත භාවයක් ළඟා කරගන්නට ප්‍රේක්ෂකයා පොළඹවන්නේය. ‘ලෝකයේ යථාර්ථය මේයැ’යි සිතන්නට උද්දීපනයක් ඇති කරන්නේය.
එදා 1960 දශකයේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් නමැති ශ්‍රී ලාංකික සිනමා විප්ලවවාදියා සිංහල සිනමාව තුළ ඇතිකළ ‘ගම්පෙරළිය’ ලෝකයම හඳුනාගත්තේ (අද ආගිය අතක් හොයාගන්නට නැති) රණමයුර සම්මානය ලැබීමෙන් පසුවය. ඉන්පසු ආසියාව පුරා අපේ නම රඳවන්නට මහා නළු ජෝ අබේවික්‍රම මහතා සමත්වූයේ ‘පුරහඳ කළුවර’ චිත්‍රපටියෙනි. එදා පටන් ජගත් චමිල දක්වාවූ සියළු දෙනා මේ රංගන ප්රාතිහාර්යයන් දක්වන්නේ කිසිදු විද්‍යා පීඨයකින් ලද උපාධි, ඩිප්ලෝමා, ලැබීමෙන් තොරව බව අපි අමතක නොකළයුතු වන්නේය. ජගත් චමිල තවමත් තරුණ වයසේ නිසා, ඔහුට තව බොහෝ දුරක් යන්නට හැකි, යන්නට වෙන බව ඔහු මතක තබාගත යුත්තේය. මේ සම්මානය ලැබීමෙන් පසු, ඔහුට ලංකාවේ ජනාධිපති හමුවූ අවස්ථාවේදී, ‘හැමදාම කියන සිනමා ඇකඩමි, සංරක්ෂණාගාර, කෝ’ කියා අහන්නට අමතක වන්නට ඇත. මෙලෝ රහක් නැති, ජිල්බෝල හොද්දක් වැනි, කාටවත් පහසුවෙන් යන්නට බැරි දුරක තිබෙන, කීප දෙනෙකුට රස්සා දීමේ ආයතනයක්වූ, ‘රන්මිණි තැන්නෙන්’ ඇති ඵලේ මොකක්ද කියා අහන්න අමතක වන්නට ඇත. එහෙත් යටත්පිරිසෙයින් රේගු බද්දෙන් නිදහස්ව පටල පටියක් ගෙන එන්නට බැරි මේ රටේ, මෙවැනි නිර්මාණ කරන්නවුන්ට(පක්කලිකම් කර, ජිල්මාට් ඡන්ද වැඩ හා සියළු අකටයුතුකම් වලට ආවඩා, පෝළිමෙන් පිට පැන, අනියමින් මුදල් කන්දරාවල් උපයන කාලකන්ණි නොවේ) මල් තියා වඳින්නට නොවටීද? ජගත් චමිලව මෙතනට ගෙන එන්නට ‘සැමීගේ කතාවේ’ අධ්යක්ෂවරයා මොනතරම් වෙහෙසක් දරන්නට ඇද්ද? ජගත් චමිල තුළ ‘සැමී’ ඉන්න බව හඳුනාගැනීමම කොපමණ දක්ෂතාවක්ද?
දැන් ඉතින් මා හැරෙන්නට හදන්නේ රැවුල සහ කොණ්ඩය වෙතයි. අද අපේ සිනමා/ටෙලිනාට්‍ය නළුවන්ගෙන් අතිමහත් බහුතරය කොණ්ඩා කාරයන් සහ රැවුල් කාරයන් බවට පත්වී ඉන්නේ ඇයි? නළුවකු වන්නට ඔයදෙක නැතුවම බැරිද? ජගත් චමිලත් රැවුළෙකි, කොණ්ඩයෙකි, නමුත් මේ මහා සම්මානය ලබන්නට ඒ රැවුල හෝ කොණ්ඩය ආධාර වුවේද? නැත්තේමය. ටෙලි නාට්‍ය නළුවකු ලෙස ජගත් චමිල මෙතෙක් රඟපෑ චරිත ගණනාව අතර ගැඹුරක් දකින්නට හැකිවූ චරිත ප්‍රමාණය අතළොස්සකි. අනෙකුත් බොහෝ ටෙලි නළුවන් (රැවුල නැතත් ඇතුවාසේ අවිචාරයෙන් රඟන නිළියන්ද මෙයට ඇතුළත් බව සළකන්න) අරබයාද ඒ තත්වය එසේමය. මේ පරපුර තුළ සැඟවුණු කුසළතා මෙසේ මොටවී යන්නේ ඇයි? ඇත්තවශයෙන්ම එය ගැඹුරින් සළකා බැලිය යුතු කරුණක් වන්නේය.
රූපවාහිනිය අප රටට ලැබුණු මුල් අවධියේ තිබුනේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය නාලිකා දෙකක් නිසාත්, ඒ දෙකෙහිම නාට්‍ය අංශය, රංගන කලාව ගැන අවබෝධයක්, පරිචයක් ඇති පුද්ගලයන් අත තිබුන නිසාත්, නිර්මාණ කාර්යයක ඇති වගකීම සහ ගැඹුර ගැන ඔවුන් තුළ පෘථුල අවබෝධයක් තිබුන නිසාත්, එකල්හි කෙරුණු නිර්මාණ අතරින් බහුතරය, කිසියම් සැබෑ නිර්මාණාත්මක බවකින් යුක්තවුවාසේම, වේදිකා නාට්‍යයෙන් පන්නරය ලද ප්‍රවීණයන් සමග, රූපවාහිනියට තෝරාගත් ආධුනිකයන් සංකලනය කිරීමෙන්, කරන ලද අපූර්ව ඉදිරිපත්කිරීම් විය. ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය සිහිනෙනුදු නොසිතූ අභියෝගයක් එල්ල වුනේ පෞද්ගලික රූපවාහිනී නාලිකා බිහිවීමත් සමගය. එල්ලවූ අභියෝගය වුයේ අමු කුණු දහජරාව,(ඉන්දියාවෙන් මෙට්‍රික් ටොන් ගානට ගෙනා වදුරු වසංගත අද ‘සම්බාවිය’ වෙලාය. අනේ මුන්ගේ බාව කොට කරන්න කවුරුවත් නැති හැටි) ගෝනි කණක්කුවේ, රෑට රෑට, ප්‍රේක්ෂකයාගේ නිවස තුළට ගෙනැවිත්, කිසිදු හිරිකිතයකින් තොරව අතහැරීම නිසා, එතෙක්කල් යස අගේට වැඩ ඇරිලා ඇවිත්, අර යහ ගුණයෙන් යුත් ටෙලිනාට්‍ය නැරඹු ලාංකික ප්‍රේක්ෂකයා, හැන්දෑවට ‘වෙලේ සුදා’ ගෙන් කසිප්පු අඩ්ඩක් ගහන වරාය කම්කරුවාගේ තත්වයට වැටීමය. ඒ කියන්නේ, අර ‘වෙහෙස නිවන මල්පැණි පොද’ වර්ගයේ ‘නාට්ටි’ වලට හුරුවීමය. ජීවිතයේ යථාර්ථය පසෙකලා, මොහොතකට හීනලෝකයේ සැරිසැරීමය. පොඩි එවුන්ද ඒ දහජරාවටම හුරු කිරීමය. මෙහි ඊළඟ ප්‍රතිඵලය වුයේ, එලෝ කෝටියට ‘ලලු ලිලියන්’ බිහිවීමය. (ඔවුන්ගෙන් කීප දෙනෙකුට හැර අනෙක් අයට ‘නළු නිලියන්’ කීම අපහසුය)
නළුවා නිළිය කියන්නෙත්, අපි අතරම ඉන්න මිනිස්සු මිස, අඟහරු ලෝකයෙන් පැමිණි අය නොවේ. ඔවුන්ගේ සිතුම් පැතුම්ද අපේ සිතුම් පැතුම් හා සමගාමීය. නමුත් ඔවුන් කිසියම් ආගමික කල්ලියක (cult) සාමාජිකයන් මෙන් බොහෝදුරට එක හා සමාන රැවුල් වවාගෙන සිටිනවිට, බොහෝදුරට එක හා සමාන කොණ්ඩා වවාගෙන සිටිනවිට, ඔවුන් තුළින් රංගනයේ විවිධත්වයක් දකින්නේ කෙසේද? ඔවුන් දිනපතා එකම සරඹයක් කරන (drill) හමුදා භට ඛණ්ඩයක සාමාජිකයන් හා සමාන නොවේද? නිළියන්ගෙන් අති මහත් බහුතරය, හැකි සෑම අවස්ථාවකදීම, කොණ්ඩය කඩාගෙන ඉන්නේ ඇයි? අද ටෙලි නාට්‍ය බොහොමයක තිබෙන්නේ ‘චීත්ත ගවුම් චරිත’ සහ ‘ඩෙනිම් ජීන්ස් චරිත’ නොවේද? එයින් පිට රංගන පරාසයක් මොවුන්ට නැතිද? මා කියන්නේ, සියළුම නළුවන් අදම වහාම කොණ්ඩය කොටට කපා රැවුල සම්පූර්ණයෙන් බුගෑ යුතුය. නිළියන් කොණ්ඩය තනි කරලකට හෝ කරල් දෙකකට ගෙතීම කලයුතුය. නැතිනම් කොණ්ඩය බැඳිය යුතුය. කියා නොවේ. එසේ කියන්නේ නම්, මම වහාම, මනෝ වෛද්‍ය වරයකු ලවා, මගේ මොළය පරීක්ෂා කරගත යුතුය. මුහුණ පුරා රැවුළ වවාගෙන සිටින අයකුට, සමීප රූප වලදී හැර, මධ්‍යම රූප වලදී, මුහුණෙන් සියුම් හැඟීම් නිරුපණ තරමක් අපහසු වෙයි. සැමදාම රැවුළ වවාගෙන ඉන්නේනම්, සැමදාම රඟපාන්නට වන්නේ රැවුළෙකුගේ චරිතයක් පමණි. නවීන විලාසිතා රැවුල් මෝස්තරයක් සහිත අයකු නම් ඔහු ගැලපෙන්නේ අර ‘දෙකයි පණහේ චිත්‍රපටි/ටෙලි නාට්‍ය’ වලට මිස හරවත් නිර්මාණයකට නොවේ. ජගත් චමිලට ‘සැමී’ වීම සඳහා රැවුල කපා කොණ්ඩයක් දාගන්නට වුනේ ඒ නිසාය. ‘ඉතින් ඕක මහලොකු වැඩක් නෙවෙයිනේ. අද ඕනෑතරම් කොන්ඩ තියනවා, වේශ නිරුපණ ශිල්පය දියුණුයි. නළුවා/නිළිය කොහොම හිටියම මොකද?’ කියා ඔබ මගෙන් විමසන්නට පුළුවන. මමත් කියන්නේ එයමයි. හැම නාට්‍යයේම එකම රැවුලෙන්, එකම කොන්ඩයෙන් ඉන්නේ ඇයි? කම්මැළිකමද? නොදන්නාකමද? අතිපණ්ඩිතකමද? මමනම් හිතන්නේ ඒ සියල්ලම සහ එදාවේල ක්‍රමයට ජීවත්වීමට හුරුවීම කියාය. අද අපි දකින්නේ එදාවේල ක්‍රමයට, කෑලි ගණනට ගහන, දවස් පඩි ලබන, ’නාට්ටි කෑලි’ නේ. ඒවා ‘අගමුල නැති වැල්’ ලෙස ඇදෙනවා විනා, කිසිදු නිර්මාණාත්මක වටිනාකමක් ඇති ඒවා නොවේ. හොල්මන් සහ බූතයන්ද දෙබස් කියමින්ම රඟපානවා මෑතකදී දුටුවෙමි. කට්ටඩි අත්තම්මා නාට්‍ය පසුතලයටත් වඩා විශාල තම ස්ථුල ශරීරය, අමාරුවෙන් හසුරවමින්, හති දමමින්, දෙවැනි වරටත් එකම චරිතයේ දෙබස් කියනු පෙනේ.(ජේ.කේ. රෝලින්ග්ස් ගේ අද්භූත උල්පතද හිඳී ගියේය. මිනිස්සුන්ට ඒවා එපාවෙන එක පුදුමයක් නොවේ) හැබැයි ඒ අයනම් සාමාන්‍ය ජීවිතයේදීත් ඒ බූතයන් වගේම අය බව පෙනෙයි. මෙසේ කෑලි නාට්ටි වල රඟපාන තමන්, රංගධරයකු නොව, නිකම්ම නිකම් ‘කෑලි බාස්’ කෙනෙකු බව මොවුන්ට නොවැටහෙන්නේ, මොවුන්ව තම ග්‍රහණයට නතු කරගෙන සිටින, ඊනියා ටෙලි නාට්‍ය ‘අධි යක්ෂ’ වරුන්ගේ බලපෑම නිසාද? මේ විදිහට ගියොත්, මේ කෑලි නාට්ටි ගැහිල්ල, මීටත් වඩා මිල අඩුවෙන් කරන්නට, අර ‘අධි යක්ෂයන්’ පෙළඹෙනවා සිකුරුය. ඒ කියන්නේ පරිගණක මගින් ත්‍රිමාන රූප මවා, මේ නාට්‍ය නිපදවීමට ඔවුන් පෙළඹෙනු ඇති. එදාට මේ නළුනිළි පරපුරට වෙන්නේ, වීදි නාට්‍ය පෙන්වා බඩවියත රැකගැනීමටය.
ජගත් චමිල රංගනය හදාරා ඇද්දැයි මම නොදනිමි. නමුත් තම නිසග ප්‍රතිභාව, අධ්‍යක්ෂකගේ මගපෙන්වීම හා ශික්ෂණය යටතේ ප්‍රදර්ශනය කිරීමෙන්, ඔහු ලෝක සම්මානයට පාත්රවිය. ජගත් චමිලලාගේ පරම්පරාවේ කීදෙනෙක් රංගනය හදාරා ඇද්ද යන්නත් මම නොදනිමි. එහෙත් මේ ඒ සඳහා ඒ පරපුර යොමුවියයුතු කාලයයි. රංගනය ගැන ඉගෙනීමට ඇත්තටම ආසාවක් තිබේනම්, ආයතන මෙන්ම පොත්පත් ද තිබේ, ඒවා පසෙක දමමු. මේ පරපුර සිය රංගන කුසලතා වැඩි දියුණු කරගැනීමට ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ යටත්පිරිසෙයින් මසකට එකක්වත් නරඹනවාද? නැතහොත් රංගනය ගැන ලියැවුණු පොතක් පතක්, අවුරුද්දකට වරක්වත් බලනවාදැයි, මම නොදනිමි.
පොත්පත් කියවීමෙන්ද, ලිවීමෙන්ද, පරිවර්තනය කිරීමෙන්ද, විදෙස් කෘති අනවරතයෙන් පරිශීලනය කිරීමෙන්ද, වේදිකාවෙන් හා සිනමාවෙන් ලත් අත්දැකීම් සමුදාය සහ ආභාෂය හේතුවෙන්ද, මහා නළුවකු බවට පත්, ටෝනි රණසිංහ වැන්නකුගෙන්, මේ පරපුරට උගතහැකි දෑ, වචනයෙන් කිව නොහැකි තරම්ය. මේ පිරිසේ බහුතරය, සෝමලතා සුබසිංහ, ජයලත් මනෝරත්න, වැන්නවුන්ගේ පා සෙවනේ රංගනය හදාරන්නටවත් නොපෙළඹුණහොත්, අර දෙකයි පනහේ සීනිබෝල කෑලි පෙන්වමින් කෙටි කාලයක් රැඳී සිටිය හැකිය. ඉන්පසු, ගායනය, (තමන්ට ඇත්තටම බැරි වුනත්) නිවේදනය, මනාලියන් හැඩ ගැන්වීම, ටේලර් සාප්පු, කොත්තු කඩවල්, දමාගෙන යන්තම් ජාම බේරාගන්නට පුළුවන. දැන් ක්‍රමය ඒකනේ. නිළියන් ගැන වෙනම කියන්න ගියොත් මේ ලිපිය තව කොපමණ දිග්ගැස්සේදැයි නොදනිමි. අද නිළියන්, කොතරම් පැතලි චරිත වලට කොටුවී සරඹ කරනවාද යන්න දකිනවිට ඇතිවන්නේ අනුකම්පාවකි. බොහෝ නිළියන් හොයන්නේ, රූසපුව සහ විලාසිතා පෙන්වන චරිත විනා, යතාර්ථවාදී චරිත නොවන බව පෙනේ. ඔවුන් සමග කරන පුවත්පත් සාකච්ඡා වලදී, ඔවුන් කියන දෑ තුළින්, ඔවුන් ජීවත්වන්නේ කෙබඳු මනොලෝක වලද යන්න මොනවට පසක්වේ. ‘චාන්දනී සෙනෙවිරත්න’ වැනි නිළියක්, කොතරම් විවිධ චරිත පරාසයක් තුළ කටයුතු කලාද? ඒ සියලු චරිත වෙත ඇයගේ ප්රතිභාවේ ආලෝකය කොතරම් ඉහළින් වැටී තිබුනාද? යන්න, අද නිළියන් අධ්‍යයනය කරන්නේදැයි මම නොදනිමි. රූපවාහිනියෙන් විසිවුණ ගමන්, ‘සලොන් අධිපතිනියන්’ වූ කීදෙනෙක් ඉන්නවාද? ඒ තමයි ඔවුන්ගේ රංගනයේ කූටප්ප්රාප්තිය. අඳොමැයි. එහෙමත් නැත්නම් අර ලෝකෙට පරකාසේ ’බාල්දිය තංගුස්’ මෙන්, කොත්තු විකුණන, එසේත් නැතහොත්, කොපි කරන්නට බටහිර තනු නැතිවීම නිසා, නට්ටං වී ගිහින්, අද ට්‍රැක්ටර්, සෙවිලි තහඩු, වතුර පයිප්ප, (කුප්‍රකට වේදිකාවල වෛශ්‍යාවන්ද) විකුණන උන්නැහේ ගේ තත්වයට වැටෙන්නට පුළුවන.
අපට තබා ලෝකයේ කිසිම රටකට සෑම වසරකම මහා ඉහළ ජාත්‍යන්තර සම්මාන ලබාගැනීමට නොහැකිය. එය, කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා මෙන් දුර්ලභ දෙයකි. උසස් නිර්මාණයකට ඇවැසි සියලු සාධක කැටිවූ නිර්මාණයක් බිහිවිය යුතුවා පමණක් නොව, එය සියළු බාධක කඩඉම් පසු කරමින් උපරිමාන්තයට ළඟාවිය යුතුය. ‘අපට නාට්‍ය වලින් හොඳට ගෙවනව නම්, අපි ජනප්‍රිය නම්, මේ තියන ‘ට්‍රෙන්ඩ් එක’ අද සමාජය ඉල්ලන එකනම්, මහන්සිවී රඟපෑම ඉගෙනගන්නේ මොන කෙහෙම්මළකටද?’ කියා මේ පරපුර කියන්නට හොඳටම ඉඩ ඇත. නමුත්, ජගත් චමිලව නිමිත්තක් කරගෙන සිතන ලෙස මම ඉල්ලමි. කෙටි කාලයක් ක්ෂේත්රයේ කරනම් ගසා, තවත් ඉල්ලුම නැති තැන, තම ආත්ම ගෞරවයද පසෙකලා, වෙළඳ ලෝකයේ එදිනෙදා විකිනෙන්නෙකු/යැපෙන්නෙකු බවට පත්වෙනවාද? කිසියම් හරවත් නිර්මාණයකට එක වරක් හෝ දායකවී රංගධරයා යන ගරුනාමයට නියම සුදුස්සකු වනවාද? යන්න, මේ පරපුර එක් වරක්වත් සිතා බැලිය යුතුය.
පින්තූර ගත්තේ මේ තැන් වලිනි