හින්දි සිනමාව කෙරෙහි මා ඇල්මක් දක්වන්නට පටන් ගත්තේ 1960 දශකයේ දීය. මගේ ඥාති සහෝදරයකු වූ විරාජිත් මහේන්ද්‍ර ආර්යසිංහ මේ සඳහා මට මග පෙන්වූ ප්‍රධානතම පුද්ගලයා යයි අනිවාර්යයෙන්ම මෙහිදී සඳහන් කළ යුතුය. ඔහු ගැන වචනයක් නොකියා මේ සටහන තැබිය නොහැක්කේය. භාෂාව, සාහිත්‍යය, වේදිකා නාට්‍ය, සිනමාව, (සිංහල/හින්දි/ඉංග්‍රීසි) කෙරෙහි මා යොමු කරන්නට ඔහු ගත් වෙහෙස අපමණය. ඔහු සාමාජික මුදල් ගෙවා කෑගල්ල මහජන පුස්තකාලයේ මට සාමාජිකත්වය රැගෙන දුන්නේ, මා පූර්ව ජ්‍යොෂ්ඨ පන්තියේ (Senior School Certificate Preparatory Class = SSC Prep;) ඉගෙනුම ලබමින් සිටියදීය. ශිෂ්‍ය ගුරුවරයකු ලෙස 1960 දශකයේදී රුපියල් 100 මාසික වැටුපට (සමහරු ඒ කාලේ ශිෂ්‍ය ගුරුවරුන්ට කිව්වේ 99.90 කියාය. හේතුව ඔවුන්ට තම මාසික වැටුප් පත්‍රිකාවේ, වැටුප ලබාගත් බවට අත්සන් කිරීමට, ශත 10 මුද්දරයක් අවශ්‍ය වූ (ඔවුන්ට විතරක් නොවේ රජයේ සේවකයන් බොහොමයකට) අතර, එහි වටිනාකම ගෙවා ගත නොහැකිව වැටුපෙන්ම එම ශත10 අඩු කරගත්තා යයි අපහාස කිරීමටය) මට වඩා වසර 10 කින් පමණ වැඩිමල් ඔහු කිසි දිනක මට ‘මල්ලී’ කියා අමතා නැත. ඔහු මට කතා කරන්නේ ‘මොකුත් නැති’ ආමන්ත්‍රණයකිනි. ‘ආ කොහොමද’ ‘කොහෙද යන්නේ’ ‘යමු චිත්‍රපටියක් බලන්න’ ආකාරයටය. කේන්ති ගියවිට ‘ඔය ළමයා’ කියයි. නැතහොත් මා සමග කතාබහක් නැතිව දවස් ගණනක් සිටියි. එය මට මහත් මානසික පීඩාවකි. ඔහු නැවත යාළු කරගන්නට කිසිසේත් නොහැකිය. කවදා හෝ දිනක ඔහුම යළි මට කතා කරනතුරු ඉවසා සිටින්නට සිදුවේ. ගැලරියේ සිට චිත්‍රපටි බලන්නට, ශත 10 ක් 15 ක් ගෙවා, තෝසේ කඩයකින්, බඩ පැළෙන්න කන්නට මට ඉගැන්නුවේ ඔහුය. හින්දි සහ බටහිර නළු නිළියන් ගැන මට කියාදුන්නේ ඔහුය. නවකතා, කෙටි කතා, කවි, රසවිඳින හැටි කියාදුන්නේ ඔහුය. ඔහු විදුහල්පති වරයකු ලෙස සේවය කොට, අද විශ්‍රාම ලබා, බියගම, දෙල්ගොඩ ප්‍රදේශයේ වාසය කරයි. ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. ඔහුගේ චිත්‍ර එකල පුවත්පත් වල නිතර පළවිය. 1960 දශකයේදී, වරක්, එකල ‘රිවිරැස’ පත්‍රයෙන් සංවිධානය කළ කාටූන් චිත්‍ර තරගයක ප්‍රථමස්ථානය ඔහුට හිමිවිය. කලා රසවින්දනයෙහි මා තුළ යම් පරිණත බවක් වේ නම්, කලා ක්‍ෂේත්‍රය පිළිබඳ ලිපි ලිවීමට මට හැකියාවක් ඇත්නම්, එහි පදනම ඔහුම වෙයි.
හොඳයි, ඒ චූර්ණිකාවෙන් පසුවයි, මා, අද දින, මේ කෙටි සටහනේ නිමිත්ත වෙත ඔබ ගෙනයන්නේ. හින්දි සිනමාවේ දුෂ්ඨ නළුවකු ලෙස ලෝක ප්‍රසිද්ධ ප්‍රාන් ගැන ඔබ අතරින් සෑහෙන දෙනෙකු අසා ඇතැයි මා සිතනවා. නව පරපුරේ සිනමා රසිකයන් නම් ඔහු ගැන දන්නේ නැතුව ඇති. ඔබට පුදුමත් හිතෙනවා ඇති ඇයි මා මෙලෙස හින්දි සිනමා නළුවකු වර්ණනා කරන්නේ කියා. ඇත්තේ එකම හේතුවකි. දක්ෂයා, ශ්‍රේෂ්ඨයා, ජාති, ආගම්, කුල, භේදයෙන් තොරවම දක්ෂයා, ශ්‍රේෂ්ඨයා ලෙස පිළිගැනීම, අපි, අප තුළ වඩවාගත යුතු, අගනා මිනිස් ගුණයක් බව මෙහිදී අවධාරණය කරන්නට සිදුවෙනවා. මේ නළුවා ගැන මා මෙසේ ඇගයීමක් කරන්නේ එහෙයිනි. මේ දක්ෂයා, මේ ශ්‍රේෂ්ඨයා, 93 වසරක් ආයු වළඳා පෙරේදා (2013/07/12) අප අතරින් සමුගත්තේය. මේ සටහන ඔහු වෙනුවෙනි.
1920 වර්ෂයේදී උපන් ‘ප්‍රාන් ක්‍රිෂන් සිකන්ද්’ සිනමාවේ දුෂ්ඨයකු වුවද, අනෙක් සෑම දුෂ්ඨ නළුවකු මෙන්, සැබෑ ජීවිතයේ දුෂ්ඨයකු නොවූ බව නොකිවමනාය. ඔහු, මෙතෙක් ලොව බිහිවූ, ශ්‍රේෂ්ඨතම දුෂ්ඨ නළුවායයි මම නොකියමි. එහෙත්, ඔහු තරම්, මුහුණෙන් හැඟීම් ප්‍රකාශ කිරීමේ පුදුමාකාර දක්ෂතාවක් ඇති දුෂ්ඨ නළුවකු, මා නුදුටු තරම්ය. දැන් ඉන්න සිල්ලර දුෂ්ඨ නළුවන්ගේ ‘වැඩ කෑලි’ සමග සසඳා බලනවිට, මෙවන් නළුවකු කොතරම් ශ්‍රේෂ්ඨද යන්න මනාව පසක්වෙයි.
ඔහුගේ විශේෂත්වය වන්නේ, හුදු දුෂ්ඨ චරිතයටම සීමා නොවී, මිනිස්කම විදහා දැක්වෙන චරිත වලටද පණ පෙවීමයි. එමෙන්ම සමහර චිත්‍රපටි වලදී ඔහු දැක්වූ විකට රංගන ප්‍රතිභාවද, අනෙකුත් විකට නළුවන්ට සැබෑ අභියෝගයක්ම විය. ඔහු මගේ සිතෙහි පැළපදියම් වුයේ, ‘මධුමතී’, ‘ජිස් දේශ් මෛන් ගංගා බෙහෙති හෛ’ වැනි චිත්‍රපටි වලින් බවයි මගේ මතකය. එතැන් සිට ඔහුගේ චිත්‍රපටි ලැයිස්තුව කියන්නට මේ අවස්ථාව නොවේ. ප්‍රාන් ගේ ‘අති දක්ෂ දුෂ්ඨකම්’ කොතරම් ඇගයීමට ලක්වුයේද යත්, සුප්‍රසිද්ධ ‘ස්ටාර්ඩස්ට් – Stardust’ සඟරාව, වර්ෂ 2000 දී ඔහු ‘සහස්‍රයේ දුෂ්ඨයා - Villain of The Millenium’ යන විරුදාවළියෙන් පිදීය. පහත දැක්වෙන වීඩියෝ වලින් ඔබට ඔහු ගැන මතකය අළුත් කරගන්නට හැකිවේයැයි සිතනවා.