වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් රචිත, ‘සංග්‍රාමයට පසු’ නමැති කෘතිය ඇසුරෙන්, ‘යුද්දේ ඉවරයිනේ ඉතිං දැන් මොකටද ආමි කාරයෝ’ යනුවෙන්, මා පසුගිය අප්‍රේල් මාසයේදී ලිපියක් ඉදිරිපත් කළා, ඔබට මතක ඇති. ඒ ලිපිය, වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතාගේ දැඩි අවධානයට ලක්වී තිබෙනවා. ඒ පිළිබඳව අගයමින් එතුමා මට ඊ මේල් එකක් ඒවා තිබුන අතර, ඒ අනුව එතුමා සහ මා අතර පසුගිය කාලයේ ඊ මේල් පණිවිඩ ගණනාවකින් අදහස් හුවමාරුවක් සිදුවුනා. එතුමා මේ දිනවල යෝක් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳව පර්යේෂණාත්මක කටයුතුවල යෙදී සිටිනවා. එතුමා විසින් රචිත කතාවක් සහ පශ්චාත් යුද කළමනාකරණය පිළිබඳව එතුමා විසින් රචිත පොතක්ද, මා වෙත ඊමේල් මගින් එවා තිබුනා. ඉතින් මෙවැනි කතාවක් ඔබ සමග බෙදා හදා ගැනීම මගේ යුතුකමක් යයි හිතුන නිසා ඒ දිග/කෙටි කතාව කොටස් දෙකකට කඩා ඔබ වෙත ගෙන එන්නටයි මේ සූදානම. මේ සඳහා, වෛද්‍ය ජයතුංගගේ පූර්ව අනුමැතියද මා ලබා සිටින බව, මෙහි සඳහන් කරනවා. මේ කතාව කියවා ඔබ දක්වන අදහස් වලට, මේ අඩවියෙන්, වෛද්‍ය ජයතුංග පිළිතුරු දෙනු ඇතැයි මට සහතික කර කියන්නට බැහැ. අනික් කාරණය වන්නේ මට ද එතුමා වෙනුවෙන් පිළිතුරු දෙන්නට නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නැහැ. කතාවේ ඇති හමුදා තොරතුරු සම්බන්ධව යම් යම් පැහැදිළි කිරීම් පමණයි මට කළහැක්කේ. එහෙනම්, මෙතැන් සිට කියවන්න ඒ කතාවේ පළමුවැනි කොටස. මෙය මා විසින් කළ පරිවර්තනයක් නොව, වෛද්‍ය ජයතුංගගේම වචන බවද සඳහන් කරනවා.
යුද්ධයේ අතුරු කතාවක්
වෛද්‍ය රුවන් එම් ජයතුංග
මම බස්රථයේ වාඩි වී සිටියෙමි. මහා මාර්ගයේ ඇති වළවල් නිසා වරින්වර ගැස්සෙන බස් රථය තුළ සුව පහසු කම අඩු වූවත්, වෙහෙස නිසා මගේ දෙනෙත් පියවි‚ මම සැබෑ ලොවින් සිහින ලොවට පිවිසුණෙමි.
දැන් මා සිටින්නේ කෝප්‍රල් තේනුවර සමගයි. කෝප්‍රල් තේනුවර හොඳ සෙබලෙකු මෙන්ම හිත හොඳ මිනිසෙකි. අපි එකට අවි දරා සතුරා එනතෙක් සැඟවී සිටියෙමු. අපට ඉදිරියෙන් සාජන් මිත්‍රපාල සිටියි. ඈතින් දෙපස තවත් සෙබළු දෙදෙනෙකි. අප අතර තිබූ පරතරය නිසා කථා කිරීම හෝ සංඥා මගින් අදහස් හුවමාරුකර ගැනීම හෝ අසීරු කරුණකි. වෙනෙකක් තබා කථාකිරීම පමණක් නොව කිවිසුම් ඇරීම, කැහීම, නිදාගැනීම තහනම්ය. මේවා එකක් හෝ කර අසුවූවහොත් ලැබෙන දඩුවම සාජන් මිත්‍රපාලගෙන් කනේ පහර කෑමය.
කෙමෙන් කෙමෙන් අඳුර දැඩිවෙත්ම අපට දැණුනේ තනිකමකි. අවට මිත්‍ර කණ්ඩායමක් සිටින බව පවා දැණුනේ අඩු වශයෙනි. මදුරු කරදරය නිසා දෙකන් රතු වී ඇත. මුළු දවස පුරා බූට්ස් දමාගෙන සිටීම දෙපා රිදුම්කයි. මම LMG අවිය දරා සිටියෙමි. සතුරා පිළිබඳ අවිනිශ්චිතතාව නිසා නිදිමත දැණුනේ නැත. මම බිම වැතිරී පඳුරුවලට මුවා වී කැලය දෙස බලා සිටියෙමි. මට මීටර් විස්සකට පමණ පසුපසින් කෝප්‍රල් තේනුවර සිටියි. ඔහුට මා නොපෙණුනනද ඔහු මගේ පසු පස සිටීමත් මට අස්වැසිල්ලකි. ක්ලේමෝව අටවාගෙන ඉදිරියෙන් සිටින සාජන් මිත්‍රපාල මගේ සිතේ ඇඳුණි.
අපි පැය ගණනාවක් සතුරා එනතෙක් බලා සිටියෙමු. දැඩි පවස නිසා මා හෙමිහිට වතුර බෝතලයෙන් වතුර බිදක් බීවේ කිසිම හඬක් නොනැගෙන ලෙසටය. ශරීරය සෙලවීම ඉතා සෙමින් කළ යුතු බැවින් වතුර උගුරු කිහිපයක් බීමට කාලය වැඩිපුර ගතවිණි. වතුර තිබහ නිවී යත්ම මට මුත්‍රා බර ඇතිවිණි. මට කළහැකි දෙයක් නැත. මෙම ඇඳ සිටි කලිසමේම මුත්‍රා පහවීමට ඉඩ හැරියෙමි. මගේ යට ඇඳුමේ සිට දුඹුරු කොළ පැහැති නිල ඇඳුමේ කලිසම තෙමීයන පරිදි පිටවී ගිය මුත්‍රා පාර වියළී පස විසින් උරාගනු ලැබීය. මගේ නිල ඇඳුමෙන් දහඩිය හා මුත්‍රා මිශ්‍ර ගඳක් දැනේ. දිය නෑමට මා තුළ ඇතිවූයේ නොමද ආශාවකි. එහෙත්…………..
ක්‍රියාන්විතයේදී ආශාවන්ට තැනක් නැත. අපගේ තීරණය වන්නේ නියෝගයයි. එම නියෝගය මත ගල් පිළිමයක් සේ මම නිසලව සිටියෙමි. එහෙත් මගේ දෑත අවිය දරා සිටියි.
එදින සඳ නොමැති කළුවර රාත්‍රියකි. හොල්මන් හා අවතාර වලට මම බිය නැත. යුද්ධයේ දී මියගිය මගේ සගයන්ගේ භූතාත්ම මා වටා සැරිසරනවා විය හැක. එහෙත් ඔවුන්ට මා බිය නොවිමි. මා බියවූයේ සතුරාටය. එය සෑම සොල්දාදුවෙකුටම පොදු වූ බියකි. බිය නිසා අපි සතුරා කෙරෙහි විමසිලිමත්ව සිටිමි. එසේම සතුරා දුටුවිට පහර දෙමු.
ඒ මා සමඟ පුහුණුව නිම කළ ජගත්, සිල්වා, සරණපාල, උස්ගොල්ලෑව යනාදීන් අතරින් මා සමඟ එකට සිටින්නේ කෝප්‍රල් තේනුවර පමණි. ජගත් පේසාලේදී වෙඩි වැදී මිය ගියේය. සිල්වා මුහමලේ දී ආටි ප්‍රහාරයකට හසුවිය. බිම් බෝම්බයකට අසුව මියගිය සරණපාලගේ කැබලිවී ගිය සිරුරු කැබලි මම සියතින්ම පොලිතින් වලින් වැසුවෙමි. උස්ගොල්ලෑව ක්‍රියාන්විතයේදී අතුරුදහන් විය. තේනුවර සහ මම තවම නිරුපද්‍රිතව ක්‍රියාන්විතයේ සිටිමු.
පසුගිය නිවාඩුවට අප නුවර ගියේ එකටය. දිවා ආහාරය අප ගත්තේ චීන අවන් හලකිනි. හොඳට සප්පායම් වී සිටි අපි උස්හඬින් කථා කරමින් සිටියෙමු. මේ අතර ට්‍රේල් බයිසිකල් වලින් පැමිණි‚ තරුණයන් තිදෙනෙක් බියර් බොමින් සිටි අතර හදිසියේම මා සමග වාදයක පැටලූනේය. ඔවුහු අපට පඩත්තර සොල්දාදුවන් යැයි අපහාස කළහ. කලබලයක් වීමට පෙර මම තේනුවර සමගින් අවන්හලින් පිටතට ආවෙමි. එවිට එම කණ්ඩායමේ සිටි තරුණයන් දෙදෙනෙක් මට පහරදීමට පැමිණියහ. තේනුවර ඉදිරියට පැන ඔවුන් දෙදෙනාට පහරවල් දෙකක් දුන් අතර ඒ දෙදෙනා හතර ගාතයෙන් බිම වැටී කෙඳිරි ගාන්නට පටන්ගත්හ. අපි ත්‍රීවිලරයකට නැගගත්තෙමු. නුවර බස් නැවතුම්පළේ දී තේනුවර සමග වත්තේගම යන බස්රථයක් බලාපොරොත්තුවෙන් ඉදිරියට ඇදුනෙමි.
ජයසිකුරු ක්‍රියාන්විතයේදී මගේ කකුළට වෙඩි වැදුණි. ලේ ගලා යාම නිසා මා මිය යතැයි බියක් දැනුණි. තේනුවර මා කරට ගෙන කිලෝමීටර් දෙකකටත් වඩා ඈතින් පිහිටි වෛද්‍ය ඒකකය වෙත ගෙන ගියේය. ඔහු නොසිටින්නට මා මළවුන් අතර විය හැක.
වෛද්‍ය ඒකකයේ ඉටි කොළ මත තබා තිබුණ මළ සිරුරු දෙළහක් පමණ විය. ඉන් එක මළ සිරුරක් ස්ටාෆ් සාජන් පෙරේරාගේ බව මම හඳුනාගතිමි. වෙඩි ප්‍රහාරය නිසා ඔහුගේ හිස්කබල පැලී විශාල කුහරයක් සෑදී ඇති බව දුටිමි. එක ඇසක් දොට්ට පැන ඇත. ලේ වලින් නැහැවී තිබුණු මුහුනේ භයානක බැල්මකි. ඔහුගේ මුව ඇරිලාය. තොල්මත මැස්සෝ වසා සිටිති. ප්ලාස්ටික් බටයක් මුව තුළ රඳවා තිබුණු තවත් මළසිරුරක් මගේ නෙත ගැටිණි. ඔහුගේ මළ සිරුරේ කිසිම තුවාලයක් පෙනෙන්නට නැත. එහෙත් කොළ පැහැති හමුදා බැනියම වම් තනපුඩුව අසලින් ඉරී තිබේ. එතැනින් ලේ ස්වල්පයක් ගලා තිබිණි. ආටි ප්‍රහාරය නිසා විසිවී ගිය යකඩ කැබලි ඔහුගේ හදවත පසාරු කළා විය හැක. මෙවැනි මරණ මා යුද බිමේ දී දැක තිබේ. ලාබාල තරුණ සෙබලාගේ මුව තුළ තිබූ බටයේ වියලූණු ලේ දැකිය හැකි විය. ඔහුගේ තොල්වල කුහුඹුවන් පිරිලාය. තවත් මළ සිරුරක දෙපා සුණු විසුණු වී ගොසිනි. තුවාලවූ දෙපාවල මස් වැදලි එල්ලෙමින් තිබේ. කලවා යුගල පිලිස්සීම නිසා කළු පැහැවී තිබුනි.
මගේ තුවාලය පරීක්ෂා කළේ කපිතන් වරයෙකි. ඔහු මට එන්නතක් දී වේදනාව අඩුකොට කකුලට තිරිංගයක් දමා රුධිර වහනය නතර කළේය. අනතුරුව මා ඇතුළු තවත් සොල්දාදුවන් කීපදෙනෙක් ට්‍රැක්ටරයක නංවා පලාලි රෝහල වෙත යවනු ලැබීය. ට්‍රැක්ටරයේ ට්‍රේලරයේ වැතිර සිටින අප ගැස්සෙන විට ඇදුම්කන තුවාල නිසා ඉබේම කෙඳිරි ගෑවෙයි. එක් සෙබලෙකුගේ දෑස් බැන්ඩේජ් පටියකින් වෙලා තිබේ. ඔහුගේ මුහුණේ බෙල්ලේ පිළිස්සුම් තුවාළ තිබිණි. වේදනාව නිසා ඔහු පරුෂ වචනයෙන් කෑගැසීය. තුවාල ලැබූ බලලත් නිලධාරියෙකුගේ මුත්‍රා මාර්ගයට සවිකළ බටයක් සහ මුත්‍රා පිරුණු පිලාස්ටික් බෝතලයක් ඔහු අතින් අල්ලාගන සිටියි. මුත්‍රා බෝතලය පිරී ඇත්තේ ලේ වලිනි. ඔහුගේ මුහුණ මගහරිනු වස් මම ඉවත බලා ගතිමි.
තුවාලකරුවන්ගෙන් පලාලි රෝහල පිරී පැවතිණි. ශල්‍ය ඇඳුම් ඇඳ සිටි වෛද්‍යවරු කලබලයෙන් ඒ මේ අත දිවයනු පෙනෙයි. ඒ අතරවාරයේ තුවාල ලැබූ කර්නල්වරයෙකු ගිලන් රථයක තබා ගෙන ආවේය. මම රෝහලේ පඩියක් මත වාඩිවී සිටියෙමි. මගේ තුවාලයෙන් දැන් ලේ වහනය නොවන හෙයින්ද, මගේ තත්ත්වය දැන් බරපතල නොවන බව මට වැටහිණි. එහෙත් රෝහලේ සති තුනක් මා නවතා ගන්නා ලදි.
තුවාල ලැබූ මා කරගසාගෙන පැමිනීම ගැන තේනුවරට මේවනතුරු මා ස්තූති කර නැත. අපි සොල්දාදුවෝ වෙමු. එම නිසා අප එකිනෙකාට ස්තූති කිරීම අවශ්‍ය නැත. අවශ්‍ය ඕනෑම මොහොතකදී අප එකිනෙකා වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කිරිමට වුවද සූදානමින් සිටිය යුතුය.
කෝප්‍රල් තේනුවර අළුතින් සාදන නිවසේ වහලය ගැසීම ලබන සතියට යෙදී තිබේ. ඒ නිසා ඔහු නිවාඩු යාමට සිටින බව මට කියා තිබුණි. ඒ හේතුවෙන් ලබන සතියම කාන්සියන් ගෙවී යනු ඇත.
තේනුවර හා මම ජොනී බට්ටන්ට බියවීමු. එම නිසා අප තණකොළ මත පය තැබුවේ ප්‍රවේශමිනි. පයින් යන විට වාහන ගමන්ගත් ටයර් පාර උඩ පා තබන විට සුරක්ෂිත බවක් දැනේ. සතුරාගෙන් මුදාගත් භුමියේ ගමන් කරන විට අපි එකිනෙකාට අනතුරු අඟවා ගත්තෙමු. අපරික්ෂාකාරි ලෙස ගමන් ගත් නවක සොල්දාදුවෙකු ජොනී බට්ටෙකුට අසු වුයේ අප දෑස් ඉදිරිපිටදීය. කන් බිහිරි කරවන ශබ්දය හා දුමාරය සමග මස් වැදලි වලින් එල්ලෙන පාදය මම දුටුවෙමි. කම්පනය නිසා ඔහු නිහඩව වැතිර සිටියි. අවට බිම් බෝම්බ තිබිය හැකි නිසා අප ගියේ ප්‍රවේශමිනි. තේනුවර තුවාල ලත් සෙබලා ඔසවා ගත්තේය. මම ඔහුගේ අවිය අතට ගත්තෙමි. වසරකට පමණ පසුව අපගේ රෙජිමේන්තු මූලස්ථානයේ දී මම ඔහු දුටුවෙමි. කෘත්‍රීම පාදයක් පැළඳ සිටි ඔහු මා හඳුනා නොගත් බව මට සහතිකය.
ආටි වැටෙන විට අපි වහාම බිම දිගාවෙමු. එවිට ධුලි සහිත පස් අපගේ ශරීරය පුරා විසිරී යයි. පිපිරුම් හඬ නිසා කන් අඩියෙන් ලේ ගලන්නාක් මෙන් දැනේ. අවිය අතට ගෙන අප ඉදිරියේ සිටින සතුරාට වෙඩි තැබුවෙමු. එහෙත් නිශ්චිතව සතුරන් කොතනක සිටින්නේ දැයි අපට නොපෙනේ. එහෙත් අපි නොනවත්තාම වෙඩි තබමු.
වරක් ආටි ප්‍රහාරයකදී මට හා තේනුවරට පිහිට වූයේ විශාල නුග ගසකි. ආටිය වැටීම නිසා සීසීකඩ විසිර ගිය යකඩ කැබලි නුග ගසේ කඳට වැදී ගසේ පොතු පවා ගැලවී ගියේය. එහෙත් අප දෙදෙනා හිස පහත් කරගෙන නුග ගහ මුල ගුලිවී සිටියෙමු. මහා ධාරානිපාත වර්ෂාවක් මෙන් සතුරා මෝටාර් එවයි. තුවාල ලත් සොල්දාදුවන්ගේ කෙඳිරිලි හඬ යුද බිම පුරා පැතිරී ඇත. එහෙත් අපගේ වීර සෙබළු සතුරාට පහර දීමට ඉදිරියට යති. ආටි වැස්ස තුරල් වී ගිය වහාම අප දෙදෙනා සතුරා සොයා ඉදිරියට දිව ගියෙමු.
කිලාලි වලදී එල්. ටී. ටී. ඊ. කණ්ඩායමක් සැඟවී සිට අපට පහර දුණි. අපි පෙරලා ප්‍රහාර එල්ල කෙළෙමු. ප්‍රහාර වලට මුහුණ දිය නොහැකිව ඔවූහු පලා ගියහ. පසුව කළ සෝදිසි මෙහෙයුමකදී ටී 56 අවි දෙකක් හා පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් සමග තුවාල ලබා සිටි එල්. ටී. ටී.ඊ. ළමා සොල්දාදුවෙක් අපට හමුවිය. ඔහුගේ වයස අවුරුදු එකොළහක් පමණ විය. කොට කලිසමක් හා එල්. ටී. ටී.ඊ. නිළ ඇඳුමට අයත් කමිසයක් ඇඳ සිටි ඔහුගේ උදරයට වැදුණු වෙඩි පහරින්, බඩවැල් එළියට පැමිණ සිටි බව පෙනිණි. ළමයා දෙමලෙන් අපට යමක් කීය. එය, ‘මා මරන්නට එපා’ යන්න විය හැක. ළමයාගේ දෙනෙත් බියට පත් හාවෙකුගේ මෙනි. මම ඔහුගේ හිස පිරිමැද්දෙමි. තේනුවර තම සෙබල වතුර බෝතලයෙන් වතුර ස්වල්පයක් ළමයාගේ මුවට දැමීය. පිපාසයෙන් පීඩිතව සිටි ඔහු ජලය පානය කළේ ශබ්ද නගමිනි.
ඔහුගේ ජීවිතය බේරා දීමට අපට අවශ්‍ය වුවත් ඔහු ලබා ඇති බරපතල තුවාල අනුව ළමා සොල්දාදුවාට දින දෙකක්වත් ජීවත් විය නොහැකියැයි මට සිතිණි. ඔහුව රැගෙන අපට නගර් කෝවිල් දෙසට ගිය නොහැක. ලැබී ඇති අණ පරිදි එළුතුමඩුවාල් දෙසට ගමන් කළ යුතුව ඇත. නගර් කෝවිල් බලා යන ට්‍රැක්ටරයක් හෝ තිබුණේ නම් ළමයා වෛද්‍ය ඒකකය වෙත යැවිය හැකිව තිබුණි. අප සිටින්නේ ශුෂ්ක භූමි ප්‍රදේශයකය. පෙනෙන තෙක් මානයේ මිතුරු වාහනයක් නැත. ඔහුගේ උරයේ තිබුණු බර ඇති මල්ල මා සෙමින් මුදා හැරියේ ඔහුට හුස්ම ගැනීම පහසු වනු පිණිසය.
’මුගේ ඔළුවට එකක් තියලා යමු. මූට සනීප වුනොත් අපට ගහන්න RPG අරගෙන එයි’. නවරත්න කීය. නවරත්න හමුදාවෙන් පළාගොස් පොදු සමාව යටතේ පැමිණි අයෙකි. ලාන්ස් කෝප්‍රල් නිළයේ සිටි ඔහු දැන් නිළයෙන් පහත් කරනු ලැබුවෙකි. කෝප්‍රල් තේනුවර නවරත්නගේ වචන වලට කුපිත වූයේ අනපේක්ෂිත ලෙසිනි. ඔහු නවරත්න දෙසට තුවක්කුවේ මිට අමෝරාගෙන පැන්නේ ඔහුට පහර දීමට මෙනි. මම වහාම මැදට පැන තේනුවර අල්ලා ගත්තෙමි. එම පහර වැදුණේ නම් නවරත්නගේ හක්ක කැඩී යනු නොඅනුමානය.
මෙතැන සන්ඩුසරුවල් කරගන සිටිය යුතු තැනක් නොවේ. සතුරා විසින් අප වටකරනු නිසැකය. අපගේ කණ්ඩායමේ සිටින්නේ අට දෙනෙකු පමණි. සාජන් හේරත් කණ්ඩායමේ සිටින නායකයා වුවද ඔහු එතරම් පළපුරුදු ඇති අයෙකු නොවේ. එම නිසා කණ්ඩායමේ නිළ නොවන නායකත්වය තිබුණේ මා හා තේනුවර අතය. අපගේ අද්දැකීම්වලට ඔවුහු ගරු කළහ.
‘අපි දැන් යමු’ මම දැඩි තීරණයක් ගතිමි. තුවාල ලත් ළමයා තනිකොට අපි ඉදිරියට ගමන් කළෙමු. එල්. ටී. ටී. සාමාජිකයන් විසින් ළමයාට ප්‍රතිකාර කිරීම සඳහා ගෙන ගියාද? නැතහොත් තුවාල නිසා ඔහු එම ස්ථානයේම මිය ගියාද? මම නොදනිමි. එහෙත් ළමා සොල්දාදුවාගේ වේදනාත්මක දෙනෙත් මට අමතක කළ නොහැකිය.
ඊළඟ කොටස ළඟදීම බලාපොරොත්තු වන්න.