හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

25 August 2013

කේළමා, අවලමා, ඔත්තුකාරයා, මිනීමරුවා, (දෙවැනි කොටස) – The Drone (Part Two)


  drones-1කේළමා, අවලමා, කතාවේ පළමුවැනි කොටසට ඔබෙන් සෑහෙන පිරිසකගේ අවධානය යොමුවී තිබීම ගැන සතුටු වෙනවා. මේ එම ලිපියේ දෙවැනි කොටසයි. මේ කොටසේදී Drone යානා පිළිබඳව විශේෂ කරුණු රැසක් ඔබ සමග සාකච්ඡා කරන්නට මා බලාපොරොත්තු වෙනවා. මේ කොටස මීට කලින් ඔබ වෙත ගෙන එන්නට සිතා සිටියත් පසුගිය දිනවල බලාපොරොත්තු රහිත ලෙස මා අධික කාර්ය බහුළ තත්වයක පත්වුණා.(පින්තූරය ගත්තේ මෙතනින්)
  කේළමා කියන වචනය, හමුදාවේ යොදාගන්නා රහස් සංකේත නාමයක් බව මම දැනගත්තේ 1980 දශකයේ මැද භාගයේදීයි. ඒ කාලයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාවිච්චි කරන නියමුවන් රහිත යානය හඳුන්වන ලද රහස් පදය Code Name වුනේ ‘කේළමා’ කියන වචනයයි. එය හරියටම ගැලපෙනවා නේද? ඔත්තු බලාගෙන ඒවා සජීවීව අපට කියන එකත්, (පාලක මධ්‍යස්ථානය වෙත එවන සජීවී පින්තූර සහ දත්ත) එමෙන්ම පටිගත කරගෙන ඇවිත් ආපහු කියන එකත් නේ මේ කේළමා කරන්නේ.  
    මම පසුගිය ලිපියෙන් කිව්වනේ යාන්ත්‍රික කේළමෙකු, අවලමෙකු, ඔත්තුකාරයකු, මිනීමරුවකු හඳුන්වා දෙනවා කියලා. ඔන්න දැන් කේළමා සහ ඔත්තුකාරයා හඳුන්වා දුන්නා. ඊළඟට ඉන්නේ අවලමා සහ මිනීමරුවා. drone යානයක සවිකර තිබෙන කැමරා පද්ධතිය ඉතා තියුණු හා සංවේදී රූප ලබාගතහැකි ආකාරයටයි සකසා තිබෙන්නේ. අධෝරක්ත කිරණ ඡායාරූප/වීඩියෝ පවා ලබාගන්න පුලුවන්. කණාමැදිරි ආලෝකයක් තිබුණත් ඉතා විශිෂ්ඨ ගණයේ ඡායාරූප/වීඩියෝ ගන්න පුළුවන්. ඉතින් ඒ කැමරා පාවිච්චි කර, ඔබේ නිවසට ඉහළ අහසේ සිට පෑන්ලයිට් එක තුළින් ඔබේ නාන කාමරයටත්, යන්තම් විවරවී ඇති කවුළුවකින් හෝ ග්‍රිල්/ලැටිස් අතරින්, ඔබේ නිදන කාමරයටත් ‘එබී බලන්නට’ මේ ‘අවලමාට’ පුළුවන්.  එමෙන්ම තමන්ගේ තටුවල යට සවිකර ඇති මිසයිල් එකක් දෙකක් යොදවා ‘මිනීමරුවකු’ බවට පත්වන්නටත් පුළුවන්. දැන් පේනවා නේද drone යානයක තරම.
Drone Camera System
  medusa1මේ මහා මාරක ඔත්තු බැලිල්ල දැන් කොයිතරම් දියුණුද කියන එකට උදාහරණයක් කියන්නම්. ඇමරිකා එක්සත් ජනපදය විසින් වැඩි දියුණු කර තිබෙන Drone යානා වර්ගයක් තිබෙනවා. එහි තිබෙන කැමරා පද්ධතියෙන්, ඉතා විශාල ප්‍රදේශයක් එකවර නිරීක්ෂණය කර, දත්ත ලබාගෙන, මහා ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන්. මේ ආකාරයට කැමරා පද්ධතියෙන් කරන නිරීක්ෂණය හඳුන්වන්න ඔවුන් යොදාගෙන තියන නම, පැරණි ග්‍රීක මිථ්‍යා කතාවක් පදනම් කරගෙනයි සකස් කරගෙන තියෙන්නේ එයට කියන්නේ ගෝගන් ස්ටෙයා -  Gorgon Stare කියලයි. වර්තමානයේදී එය අති සූක්ෂ්ම නිරීක්ෂණ කැමරා පද්ධතියක් වුනත්, ඒ සම්බන්ධ ග්‍රීක මිථ්‍යා කතාව මෙහෙමයි. ක්‍රිස්තු පූර්ව එක්දහස් ගණන්වල ග්‍රීසියේ හිටියලු මහා භයානක මන්තර බලයක්, ශාප කිරීමේ හැකියාවක් සහ යම් කිසිවකු දෙස රවා බලා ඒ පුද්ගලයාව ගලක් බවට පත්කිරීමේ හැකියාවක් ඇති සහෝදරියන් තිදෙනෙක්. එයාලගේ නම් තමයි,  Medusa මෙඩුසා,Stheno ස්හීනෝ(ශීනෝ) සහ Euryaleයුරාලේමේගොල්ලන්ගේ හිසේ කෙස් වෙනුවට ඉඳලා තියෙන්නේ ඉතා විෂකුරු සර්පයන්. මේ කතාව කෙටියෙන් කියනවානම් අනික් සහෝදරියන් දෙන්නා මරණයට පත්වුණා. ජීවත්ව හිටියේ මෙඩුසා පමණයි. Perseus පර්සියස් නමැති, දේව බලයෙන් යුත් වීරයා, මෙඩුසාගේ හිස කඳෙන් වෙන් වෙන්න කඩු පහරක් දුන්නාලු.
  දැන් පෙන්නන්නම් ඇමරිකානු ගෝගන් ස්ටෙයා එක. ඇමරිකන් කාරයා මේ drone යානා නිරීක්ෂණ ක්‍රමයට ගෝගන් ස්ටෙයා කියලා නම දැම්මේ මේ නිරීක්ෂණ පද්ධතියෙන් ලබාගන්න තොරතුරු ආධාර කරගෙන මාරාන්තික ප්‍රහාර එල්ල කළහැකි නිසයි. එයත් හරියට අර මෙඩුසා ගේ ශාපය වගේ. 


gorgon_stare

බලන්න සිදුවනදේ. කැමරා 12 කින්, එකවර ලබාගන්නා ඡායාරූප/වීඩියෝ දර්ශණ, වෙන වෙනම හෝ, අංශක 360 ප්‍රදේශයක් ආවරණය වන, එක වීඩියෝවක්/රූපයක් ලෙස සකසා, පාලක මැදිරියට යවනවා. නැත්නම් පාලක මැදිරියේදීත් අවශ්‍ය සැකසුම් කරගන්න පුළුවන්. එම පින්තූර, යුදබිමේ සිටින සෙබළාගේ හෙල්මට් එකේ තිබෙන, විශේෂ වීඩියෝ දර්ශන තිරයකට වුනත් යවන්න පුළුවන්. එවිට, තම අවට භූමියේ, තමන්ට නොපෙනෙන ප්‍රදේශවල සිදුවන දේ ගැන අවබෝධයක්, සෙබළාට ලැබෙන අතර, ගතයුතු ක්‍රියාමාර්ගය ක්ෂණිකව ගතහැකි වෙනවා. එපමණක් නෙවෙයි යුදබිමේ තිබෙන යුද ටැංකි සහ කාලතුවක්කු අණදීමේ ප්‍රධානීන් වෙතත්, මේ පින්තූර ලබාදීමෙන් නිවැරදිව ඉලක්ක ලබාගැනීමට හැකිවෙනවා. 
  Drone යානා හදන්න ලෝකය මෙතරම් උනන්දු වෙන්නේ ඇයි? ඔබ දන්නවා නේද එක්තරා කියමනක් තියනවා, අඬුව තියෙද්දී අත පුච්චාගන්නේ මොකටද කියා. එහි වාච්‍යර්ථය වන්නේ, රත්වූ යමක් අල්ලන්න අඬුවක් තිබියදී, එය අතින් අල්ලා අත පුච්චා ගැනීම, මෝඩ වැඩක් බවයි. භාවාර්ථය වන්නේ, තමන්ට හානියක් නොවී, බේරී සිටිමින් කළහැකි ක්‍රියාවක් වෙනුවෙන්, අනවශ්‍ය අනතුරුදායක බවකට අත පෙවීම මෝඩකමක් බවයි. ඒ කියන්නේ, නියමුවන් රහිත යානයකින් ගතහැකි ප්‍රයෝජනය සඳහා, නියමුවන් සහිත යානයක් යොදවා, ඒ නියමුවන්ගේ ජීවිතය අනතුරේ හෙලීම මෝඩකමක් බවයි. ප්‍රහාරක ගුවන් නියමුවකු පුහුණු කරන්න අති විශාල ධනස්කන්ධයක් මෙන්ම වටිනා සම්පත් සහ කාලය වැය වෙනවා. දක්ෂ ප්‍රහාරක ගුවන් නියමුවකු කියන්නේ මිළ කළ නොහැකි සම්පතක්. එවැනි නියමුවකු අහිමි වීම, කියන්න බැරිතරම් පාඩුවක්. මේ නිසා හැකි සෑමවිටම නියමුවන් රහිත යානා යොදාගැනීම ප්‍රඥාගෝචරයි.
Drone යානයකින් ප්‍රහාරයක් එල්ල කරන්නේ කොහොමද?
  ලොකු විස්තරයක් ලියනවාට වඩා පහසුයි පහත දැක්වෙන වීඩියෝ එක බලන එක.(මේ ලිපියේ තිබෙන සියලුම වීඩියෝ ඉතා කෙටි ඒවා බව අවධාරණය කරනවා.)


පේනවා නේද ඉහළ අහසේ ඉඳලා ඉලක්ක ගන්න හැටි. මේ සජීවීකරණයෙන් බලන්න, ඒ ප්‍රහාරය සඳහා යොදාගන්නා මිසයිල් Drone යානයකින් නික්ම යන හැටි.



 දැන් පෙනෙනවානේ Drone යානාත් එක විදිහක මාරයෙක් කියන එක.
Drone යානා විවිධ කටයුතු වලට යොදාගන්නා නිසා වර්ගීකරණයකට ලක්කර තිබෙනවා. හැබැයි ඒ වර්ගීකරණය හරිම සංකීර්ණයි. මේ යානා වර්ගීකරණය සඳහා යොදාගන්නා නිර්ණායක ගණනාවක් තිබෙනවා. ඒ මෙන්න මෙහෙමයි.
  • යානයේ බර
  • දරාසිටීමේ හැකියාව සහ එක වරකට යාහැකි දුර
  • යා හැකි උපරිම උස
  • බර ඉසිලීම සඳහා යානයේ තටු වලට ඇති හැකියාවේ ප්‍රමාණය
  • එන්ජිමේ වර්ගය
  • යානයේ ගුවන්ගතවීමේ බලය
මෙන්න මේ සාධක පදනම් කරගනිමින්, ප්‍රධාන වශයෙන් මේ යානා වර්ග කරන්නේ මෙහෙමයි.
  • ඉලක්ක ලබාදීමේ සහ ඔත්තු සැපයීමේ යානා – Target and decoy සතුරු මිසයිල, සතුරු ගුවන්යානා, ආදිය පිළිබඳව පොළොවේ පිහිටවා ඇති තම කාලතුවක්කු, ගුවන්යානා නාශක තුවක්කු, මිසයිල් මධ්‍යස්ථාන වෙත තොරතුරු ලබාදීම.
  • නිරීක්ෂණ කටයුතු පමණක් කරන යානා – Reconnaissance පහළ භූමියේ ස්වභාවය සජීව වීඩියෝ/නිශ්චල ඡායාරූප මගින් පාලක මධ්‍යස්ථානය වෙත වාර්තා කිරීම.
  • ප්‍රහාරක යානා – Combat role UAVs නියමුවන් සහිත යානා යෙදවීම දැඩි අවදානම් සහිත තත්ත්වයන්හිදී සාර්ථක විකල්පයක් ලෙස ප්‍රහාර සඳහා යොදවන යානා.
  • කාර්ය සම්පාදන යානා – Logistics UAVs  භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා පමණක් යොදාගන්නා යානා.
  • පර්යේෂණ හා වැඩිදියුණු කිරීම් සඳහා යොදාගන්නා යානා – Research and development අනාගත වැඩිදියුණු කිරීම් පිලිබඳ පර්යේෂණ සඳහා පමණක් යොදාගන්නා යානා.
  • සිවිල් සහ වාණිජ කටයුතු සඳහා යොදාගන්නා යානා – Civil and Commercial UAVs කාලගුණ දත්ත සෙවීම, භූමි සිතියම් සැකසීම, වැනි සිවිල් කටයුතු හෝ විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි සන්නිවේදන, ප්‍රවාහන, ප්‍රචාරක කටයුතු සඳහා යොදාගන්නා යානා.
  අනික් යානා පැත්තක තබා එක ප්‍රහාරක යානයක් අරගෙන බලමු.
UAV_Drone_InfoGraphic_MQ-9_Reaper
මේ යානය පොළොවේ පිහිටි පාලක මධ්‍යස්ථානයේ සිට හසුරවන්නේ ප්‍රහාරක ගුවන් යානා නියමුවකු විසින්. ඒ සඳහා චන්ද්‍රිකා තාක්ෂණය පවා යොදවා ගන්නවා.  මෙවැනි යානා 30 ක් පමණ ඇමරිකාව සතු යයි උපකල්පනය කරනවා.
පොළොවේ සිට මේ යානා පාලනය කරන්නේ කොහොමද?
  ඔබ දැනටමත් දන්නවා, මේ යානා, දුරස්ථපාලක remote control ක්‍රමයටයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. මේ යානයක් පාලනය කරන්නට, පාලක මධ්‍යස්ථානයක් අවශ්‍යයි. ඒ මධ්‍යස්ථාන ප්‍රධාන වශයෙන් වර්ග තුනක් තිබෙනවා.
1. ස්ථාවර පාලක මධ්‍යස්ථාන – Main Groud Conrtol Stations මේවා පොළොවේ ස්ථිර ගොඩනැගිලිවල සවිකර තිබෙන (සමහරවිට බංකරයක හෝ පොලොව යට කුටියක විය හැකියි) පාලක මධ්‍යස්ථාන.  මේ තියෙන්නේ එවැන්නක්. මේවායෙන් 99% කට චන්ද්‍රිකා පණිවිඩ හුවමාරු පද්ධතිවල සහයත් ලැබෙනවා.
38756144
  2. අර්ධ ස්ථිර (උපක්‍රමික) පාලක මධ්‍යස්ථාන – Tactical Ground Control Stations මේවා කන්ටේනරයක සවිකර තිබෙන්නේ. අවශ්‍ය විටකදී ගළවා ඉවත්කරගෙන ගොස් තවත් තැනක නැවත සවිකළ හැකියි. වාහන ගමන් කිරීමට අපහසු ප්‍රදේශවලට, හෙලිකොප්ටරයකින් ඔසවාගෙන ගොස් තැබිය හැකියි.
GCS1-cropped
3. ජංගම පාලක මධ්‍යස්ථාන - Mobile Stations මේවා ස්ථිරවම විශේෂයෙන් සැකසු වාහනයක/නැවක/බෝට්ටුවක/තවත් ගුවන්යානයක/ සවිකර තිබෙන්නේ. අවශ්‍ය තැනකට ගමන්කර එහිසිට තම කාර්ය භාරය ඉටුකළ හැකියි. 
30
මේ වගේ පොඩි වාහන වලිනුත් කරන්න පුළුවන්.
SONY DSC
  ඒ විතරක් නෙවෙයි. අතේ (කරේ එල්ලගෙන) ගෙනයන ප්‍රමාණයේ (Man Portable) කුඩා පාලක මධ්‍යස්ථානත් තියනවා හදිසි මෙහෙයුම් සඳහා මෙන්ම,  ප්‍රධාන පාලක මධ්‍යස්ථානයට ආධාර වශයෙන් යොදාගතහැකි.
t-images_table1180B-36
ලෝකයේ තත්වය ඔහොමයි. අපේ තත්වය කොහොමද?
  අපිටත් නියමුවන් රහිත ගුවන් යානා තිබෙන බව ඔබෙන් සෑහෙන පිරිසක් දන්නවා. හැබැයි අප සතුව තිබෙන්නේ නිරීක්ෂණ යානා පමණයි ප්‍රහාරක යානා නැහැ. අම්මෝ ප්‍රහාරක යානයක මිළ ඩොලර් මිලියන 10.5 ක් කියලා අර ඉහත තිබෙන, ‘ඇමරිකානු ඩ්‍රොන් යානා මෙන්න මෙහෙමයි’ කියන රූපයේ පහළින් තියනවා. එය 132 න් වැඩි කරලා රුපියල් වලින් ගණන හදාගන්න. අපේ ගුවන් හමුදාව ‘කේළමා’ලා වර්ග දෙකක් පාවිච්චි කරනවා. මෙන්න එක වර්ගයක්. හැබැයි අමතක කරන්න එපා. මේ යානා වලින් පසුගිය එල්.ටී.ටී.ඊ. යුද්ධයේදී සිදුවූ සේවය වචනයෙන් විස්තර කරන්න බැරිතරම්.
429732652_5c6ecce892
  1980 දශකයේදී, ඊශ්‍රායලයේ නිපදවා වැඩි දියුණු කර ඇති මෙම යානය, රටවල් ගණනාවකම පාවිච්චි කරනවා. වැඩිදුර විස්තර මෙතන තියනවා. අපේ රටේ පාවිච්චි කරන අනෙක් යානා වර්ගය වන්නේ මෙහි දෙවැනි මෝස්තරයයි Searcher II මේ යානාවල තාක්ෂණික තොරතුරු පහත දක්වනවා.
  • වර්ගීකරණය – නියමුවන් රහිත
  • ගෙනයාහැකි බර – කිලෝග්‍රෑම් 68 යි
  • යානයේ ඉදිරිපස සිට පසුපසට දිග – මීටර් 5.85 යි
  • එක තටුවක කෙළවරේ සිට අනෙක් තටුවේ කෙළවරට දිග – මීටර් 8.54 යි
  • යානයේ උස – මීටර් 1.25 යි
  • යානයේ දළ බර – කිලෝග්‍රෑම් 500 යි
  • එන්ජිමේ බලය – කිලෝ වොට් 35 යි (අශ්ව බල 47 යි)
  • උපරිම වේගය - පැ.කි.මී. 200 යි
  • ගමන් කළහැකි උපරිම උස -  මීටර් 6100 යි (අඩි 20000 යි)
  • ගුවනේ රැඳී සිටිය හැකි උපරිම කාලය – පැය 18 යි
  මේ සම්බන්ධ තවත් විශේෂ තොරතුරක් ඔබට කියන්නට තිබෙනවා. මොරටුව විශ්ව විද්‍යාලය මගින් නියමුවන් රහිත යානා පිළිබඳව යම් යම් අත්හදා බැලීම් කර සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. ඒ පිළිබඳව විස්තර මෙතනින් සහ මෙතනින් බලන්න පුළුවන්. ඇත්තෙන්ම එය සතුටක්. එමෙන්ම ඒ පර්යේෂණ වැඩි දියුණු තත්වයකට ගෙන ඒමට රජයේ විශේෂ උනන්දුව සහ සහයෝගය ලැබිය යුතුයි. එහිදී ප්‍රමුඛත්වය දියයුත්තේ යුද කටයුතු ගැන නොවෙයි. කාලගුණ තොරතුරු සෙවීම, සුනාමි, ගංවතුර වැනි ස්වභාවික විපත්වලට ගොදුරුවූවන් ගැන සොයාබැලීමේ කටයුතු සඳහා, වෙරළාරක්ෂක/මුහුදු සීමාරක්ෂක/ගුවන් සීමාරක්ෂක/ කටයුතු සඳහා, සිතියම් සැකසීම සඳහා, වැනි කරුණු වලටයි. 
නියමුවන් රහිත යානාවල අනාගතය කෙබඳු වෙයිද?
  අපට හිතාගන්නවත් බැරි තරම්, සියුම්, සංකීර්ණ, විවිධ සතුන්ගේ වෙස්ගත් යානා ගැන දැනටමත් සාර්ථක අත්හදා බැලීම් කර තිබෙනවා. එක ලොකු යානයක් ගුවනට ගිහින්, ඒ යානයේ සිට පිටත් කර හරින ඉතා කුඩා යානා Micro UAV (MAV) මගින් හෝ තනිවම ගමන් කළහැකි කුඩා යානා මගින් විශ්මය ජනක දේවල් කළහැකි බව දැනටමත් තහවුරුවී තිබෙනවා. (ඔන්න අරයත් එක්ක ඩේටින් වලට රස්තියාදුවේ යන්න එපා. ඔයාගේ ගෙදරින්, රහස් පරීක්ෂක පුද්ගලික සමාගමකට කතා කරලා, Micro UAV එකක් කුලියට අරගෙන ‘ඔක්කොම දේවල්’ වීඩියෝ කරගනියි.) :D
micro-air-vehicle-mav
UAV යානා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බල ශක්තිය සූර්ය බලය මගින් ලබාගෙන, යානය ‘සදාකාලිකවම’ ගුවනේ රඳවා තබාගතහැකි බව න්‍යායාත්මකව ඔප්පුකර තිබෙනවා. මේ හේතුව නිසා භූ ස්ථායි චන්ද්‍රිකා (Geostatic Satellites) වලින් කෙරෙන කාර්ය භාරය මෙවැනි යානා වලට පැවරීමෙන්, චන්ද්‍රිකා සඳහා වැයවන ඉතා අධික පිරිවැය, විශාල ලෙස අඩු කරගැනීමටත්, එමගින්, චන්ද්‍රිකා දුරකථන, අන්තර්ජාල, සහ අනෙකුත් දුරකථන, රූපවාහිනී, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු සේවා සඳහා අයකෙරෙන ගාස්තු, විශාල වශයෙන් පහළ දැමීමටත්, හැකිවනු ඇතැයි විශ්වාස කරනවා.
solar-drones-0813-mdn
UAV-Helios-Zephyr
නියමුවන් රහිත යානා වලට ගහන්න බැරිද?
  පුළුවන්. හැබැයි හිතන තරම් ලේසිත් නැහැ. වියදම අධිකයි. මොකද එන්ජිමේ උෂ්ණත්වය හොයාගෙන ගිහින්‍, ගුවන්යානා වලට ගහන මිසයිල් Heat Seeking Missile මෙව්වට හරියන්නේ නැහැ. එහෙම හරියනවනම් ‘අපේ එව්වා’ වලට ‘අරුන්’ ඒ කාලෙදිම වැඩේ දෙනවා. එක්කෝ වෙන සාමාන්‍ය ගුවන් යානයකින්/ප්‍රහාරක ගුවන් යානයකින්/හෙලිකොප්ටරයකින් ගිහින් අහසේදී ගහන්න ඕනේ. එහෙම නැත්නම් මේ ජාතියේම නියමුවන් රහිත ප්‍රහාරක යානයක් යොදවන්න ඕනේ. ඒ දෙකම ලේසි නැහැ. අපේ ‘බජාර් එකට’ (ගුවන් සීමාවට) පිටින් එකෙක් ආව ගමන්, අපේ රේඩාර් වලට අහුවෙනවා. අපේ UAV එකටත් අහුවෙනවා. ඉතින් ඒ පිටින් ආපු එකාට වැඩි වෙලා අපේ බජාර් එකේ සෙල්ලම් දාන්න ලැබෙන්නේ නැහැ. නිකං නහිනවා විතරයි. අපි වෙන බජාර් වල අවලමේ යනවානම් :D :D  අපිට ගහන්න එන එවුන්ගෙන් බේරෙන්න සන්නද්ධව (Combat UAV) සිටිය යුතු අතර, සපෝටර්ලා (close air support by normal combat aircrafts) තියෙන්න ඕනේ. (මෙහෙම ඉංගිරිසි කෑලි දදා ලියනකොට මාව අර ‘දියවෙන’ පත්තරේට ලියන ‘වර්ණ කූරු’ ජෝකරයා වගේ පෙනෙනවද? :D ) ඔන්න ඉතින් කොහොමෙන් කොහොමහරි, ඇමරිකන් කාරයා, මේ යානා වලට වැඩේ දෙන්න ක්‍රමයක් හොයාගෙන තියනවා. ඒ යකා මෙව්වට ගහන්නේ ලේසර් කිරණ මගින්. ඔන්න බලන්න ගහන හැටි.


 ඒ විතරක් නම් මදෑ. මේ ලේසර් තුවක්කු ගුවන් යානා වලටත් හයි කරලා තියනවා. මෙන්න බලන්න. මේක හදලා තියෙන්නේ නම් මිසයිල් වලට ගහන්න. ඉතින් මිසයිල් එකක වේගෙට වඩා බොහොම අඩු වේගෙකින් යන UAV එකකට ගහන එකත් කජ්ජක්ද?




දැන් ඔබේ හිතට එන්නේ, නියමුවන් රහිත යානා පාවිච්චි කිරීම වාසිදායකද අවාසිදායකද කියන හැඟීමනේ. මෙන්න තියනවා දෙපැත්තටම කියන්න තියන කරුණු.
වාසි හෙවත් හොඳ පැත්ත;
  • ජීවිත අනතුරු අවම කරගැනීම – යුද්ධයේදී මියයන සොල්දාදුවන් ගණන අඩු කරගන්න විවිධ ආකාරයෙන් සහාය වෙනවා. ගුවන් නියමුවන්ගේ ජීවිතද අනතුරෙන් ගැලවෙනවා.
  • වියදම – සාමාන්‍ය ප්‍රහාරක ගුවන් යානයකට හෝ තොරතුරු සොයා බලන ගුවන් යානයකට වඩා නිෂ්පාදන සහ නඩත්තු වියදම ඉතා අඩුයි.
  • දේපල හානිය අඩුයි – සාමාන්‍ය ප්‍රහාරක යානයකට අලාභහානි සිදුවුනොත් හෝ විනාශ වුනොත් බරපතල දේපල හානියක් සිදුවෙනවා. නමුත් මේ යානයකට සිදුවන  එවැනි හානියක ප්‍රමාණය සාපේක්ෂව අඩුයි.
  • ක්‍රියාත්මකව තබන (ගුවනේ සිටින) කාලය – සාමාන්‍ය ප්‍රහාරක හෝ තොරතුරු සොයන යානයක් ගුවනේ සිටියහැකි කාලයට වඩා ඉතා දිගු කාලයක් මේ යානයකට ඉන්න පුළුවන්. නියමුවන් වෙහෙසවීම්ක් නැහැ. ඉන්දන නැවත පිරවීමක් අවශ්යනහ ඉතා දිගු වෙලාවක් යනතුරු. ස්වයංක්‍රීය පාලනය (Auto Pilot) ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්. එසේ පාලනය මාරුකිරීම ඉක්මනින් කරන්න පුළුවන්.
  • ඉලක්ක හඳුනාගැනීමේ නිරවද්‍යතාව – සාමාන්‍ය ගුවන්යානයකට වඩා මේ යානයක ඉලක්ක හඳුනාගැනීමේ හැකියාව බොහොම ඉහලයි. මේ නිසා, මිත්‍ර හමුදා භටපිරිස් වලට සහ සාමාන්‍ය ජනතාවට වැරදීමකින් එල්ලවිය හැකි ප්‍රහාර ඉතා අවම තත්වයක පවතිනවා.
  • මාරාන්තික බව – මේ යානයකින් කිසිදු සැකයකින් තොරව ගොඩබිම් සහ ගුවන් ඉලක්ක වෙත මාරාන්තික ප්‍රහාර එල්ල කලහැකියි.
  • ඔත්තු බැලීමේ හැකියාව – මෙම යානා සංග්‍රාමික කටයුතු වලට යෙදවීමට පෙර අත්හදා බැලුණු අවස්ථාවේ සිටම නිරීක්ෂණය, විමර්ශනය, සාමාන්‍ය ඔත්තු බැලීම යන කටයුතු වලදී ඉහල දස්කමකින් යුක්ත වීම.
  • යෙදවීමේ හැකියාව – ලෝකයේ ඕනෑම දේශගුණික කාලගුණික රටාවන් තුළ කිසිදු අපහසුවකින් තොරව යෙදවීමට හැකිවීම.
අවාසි හෙවත් නරක පැත්ත;
  • සීමිත හැකියාවන්ගෙන් යුක්තවීම – භූමියේ සිටින මහජනතාව සමග අදහස් හුවමාරු කරගන්න බැහැ. ගුවන් නියමුවෙකුට පුළුවන් යානය පහතට අරන් අතින් පයින් හෝ ජංගම දුරකථනයකින් හෝ පොළොවේ ඉන්න අයත් එක්ක කතාකරන්න. මේ යානාවලට ඒ හැකියාව නැහැ. ඒ වගේම යානය බිමට බාලා සැකකරුවන් අල්ලගන්න, ඔවුන් දමාගිය වැදගත් දේවල් අල්ලගන්න, අවට එකින් එක ස්ථාන පරීක්ෂා කරන්න, මිනිසෙකු මෙන් සිතා ක්‍රියාකරන්න බැහැ. නියමුවෙකුට පමණයි එහෙම කරන්න පුළුවන්.
  • අත්වැරදීම් නිසා බොහෝවිට සිවිල් ජනතාවට හානිවීමේ ප්‍රවනතාවක් තියනවා. හේතුව මේ යානා වලින් ලබාදෙන තොරතුරු 100% ක් ම නිවැරදිව තේරුම්ගන්න පාලක මධ්‍යස්ථානයේ ඉන්න අයට නොහැකිවීමයි.
  • බලාපොරොත්තු රහිත සහ අස්ථාවර ප්‍රතිඵල ලැබීම – තවමත් ලෝකයේ බහුතර සිවිල් ජනතාවගේ මතය මෙව්වා මහා අවිශ්වාස සහගත, කරදරකාරී, ආක්‍රමණශීලී, මාරක, යානා බවයි. එය කිසිසේත් බලාපොරොත්තු නොවුණු තත්වයක්. මේ නිසා සිවිල් ජනතාව හිතන්නේ UAV යානා තමන් හමුදා සෙබළුන් ලෙස දකිමින් කටයුතු කරන, තම පෞද්ගලිකත්වය වනසන, ආගමික සහ සංස්කෘතික නිදහස වනසන, දේපල හානි ඇතිකරන කරදරකාරී යක්කු වගයක් ලෙසයි.
  • උවමනාවට වඩා පහසුවීමේ විපාකය – මේ යානා පාලනය කරන පාලක මැදිරියේ සිට යානා හැසිරවීම හරියට වීඩියෝ ගේම් එකක් ගහනවා වගේ. රූපවාහිනී තිරයකින් බලාගේනනේ කරන්නේ. ඒ නිසා පොළොවේ සිටින අයගේ ජීවිත සහ දේපල ගැන එතරම් තැකීමක් නොකර කූඹි මරනවා වගේ ‘ඔන්න ඔහේ දීලා අදිනවා’ කියන හැඟීමෙන් අර යානා පාලකයන් ක්‍රියාකරන්නට පෙළඹෙනවා.
  • සටන් කිරීම සහ සාමාන්‍ය ජීවිතය යන දෙක සමතුලිත කරගැනීමේ අපහසුව -  මේ යානා ක්‍රියාත්මක කරවන නියමුවන් හෝ ශිල්පීන් සෑමවිටම එක්තරා පීඩනයක සිටින බැවින් සටන්කාරී තත්වය සහ සාමාන්‍ය ජීවිතයේ කටයුතු යන දෙක අතර මානසිකව වෙනස්වීම ඉතා අවම තත්වයට පත්වීමේ අවදානමක් තිබෙනවා.
  • ඉතාම භයානක අවාසිදායක තත්වය වන්නේ මේ යානයක් හෝ පාලක මධ්‍යස්ථානයද ඇතුළුව යානා සමූහයක් සතුරන්ගේ පාලනයට යටත් වුනොත් සිතන්නට පවා අපහසු භයානනක තත්වයක් ඇතිවීමට ඉඩකඩ තිබීමයි.
  මේ වාසි අවාසි කොහොම වෙතත්, UAV යානා හැදීමේ තරගය තවමත් බොහොම තදින් ලෝකය පුරා පවතිනවා. ‘යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ’කියලා පැරණි කියමනක් තියනවානේ. එහි භාවාර්ථය වන්නේ, අවදානම සහ භයානකත්වය දැන දැනම තමයි, යම්කිසි අභියෝගයක් බාරගන්නේ කියන එකයි. UAV යානා විනාශ කිරීමට කොයි තරම් ප්‍රබල අවි නිපදවුවත්, නවීන, අති ප්‍රබල යානා, නිපදවීම දිගටම කෙරෙනවා. අනාගත ලෝකයේ යුද්ධයකදී, සොල්දාදුවන් වෙනුවට රෝබෝ යන්ත්‍ර සහ ගුවන් යානා වෙනුවට drone යානා යොදාගැනීම පුදුමයක් නොවනු ඇති. මේ බලන්න අලුත්ම ප්‍රහාරක drone යානා දෙකක හැටි.
dvd-157-2A-660x527
x-47a-660x417
  ඉහත සඳහන් යානා දෙකම අති ප්‍රබල යානා ලෙසයි සැලකෙන්නේ. විස්තර මෙතනින්සහ මෙතනින් බලන්න පුළුවන්. ප්‍රහාරක ශක්තිය අතින් ඉතා ඉහළ මේ යානා දෙකටම අඩි 40,000 ක උසකින් පැ.කි.මී. 500 කට වැඩි වේගයකින් පියාසර කලහැකි අතර, ගුවනේ සිට වෙනත් ගුවන් යානා වලට මෙන්ම භූමියේ පිහිටි ඉලක්ක වෙත ප්‍රබල ප්‍රහාර එල්ල කළහැකි අවි පද්ධති වලින් සමන්විතයි.
  UAV නමැති මාතෘකාව ඔස්සේ මා ඔබ සමග පැවැත්වූ මේ දීර්ඝ සාකච්ඡාව, තවත් කොටස් කරා ගෙනයාහැකි නමුත්, මෙතෙකින් අවසන් කරන්නට සිතනවා. මෙයට සම්බන්ධ වෙනත් මාතෘකා අනාගතයේදී ඉදිරිපත් කරන්නට සිතා සිටිනවා. මෙයින් ඔබ යම් දැනුමක් ලැබුවානම් එය මට මහත් සතුටක් බව විශේෂයෙන් සඳහන් කරනවා. මා සතුව විවිධ විෂයයන් යටතේ මෙවැනි ලිපි රාශියක් ලිවීමට තරම් තොරතුරු ඇතත්, එවැනි ලිපි ලිවීම තරමක් වෙහෙසකර අභ්‍යාසයක් බවද කියන්නට කැමතියි.
My Signature for Blog
 2013 අගෝස්තු මස 25 වැනි දින 0821 පැය
මූලාශ්‍ර;
(ප්‍රධාන වශයෙන් තෝරාගත් මූලාශ්‍ර පමණි)
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }