මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා යුද හමුදාව මුහුණ දුන් ඉතා අවාසනාවන්ත සිදුවීමක් ලෙස රතුපස්වල සිද්ධිය ඉතිහාසයට එක්වෙනවා. මේ සිද්ධිය නිසා ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්ති නාමයට සිදුවූ හානියේ බරපතළකම වැටහෙන්නේ, ඉදිරි කාලයේදී, ඒ පිළිබඳව යුද හමුදාව විසින් මෙන්ම, සිවිල් අධිකරණය මගින්ද, ගනු ලබන ක්‍රියාමාර්ග (පින්තූරය ගත්තේ මෙතනින්) වලින් අත්වන ප්‍රතිඵල අනුවයි. එමෙන්ම අපේ රටවැසියන් මෙන්ම ජාත්‍යන්තර ප්රජාවද මේ පිළිබඳ දක්වන ආකල්ප, සෑහෙන බලපෑමක් එක් කරනවා. ඒ බව හොඳින්ම පැහැදිලි වුනා, එක්සත් ජාතීන්න්ගේ සංවිධානයේ මානව හිමිකම් පිලිබඳ නියෝජ්‍ය කොමසාරිස්, නවනීදන් පිල්ලේ මහත්මිය, ඊයේ (අගෝස්තු 31) ඇය ලංකාවෙන් පිටවයාමට පෙර පැවැත්වූ, ප්රවෘත්ති සාකච්ඡාවේදී, රතුපස්වල සිද්ධිය ගැන අප්‍රසාදය පළකිරීමෙන්.
හිටපු හමුදා සාමාජිකයකු ලෙස, මේ ලිපියෙන්, මම යුද හමුදාවට සුදුහුණු ගාන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් අපේ රටේ කොයි ක්ෂේත්රයේද මෙවැනි අකටයුතුකම් සිදු නොවෙන්නේ කියා අප සියළු දෙනාම දන්නවා. අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, ආගමන හා විගමන, වැනි නොයෙකුත් ක්ෂේත්‍ර වල සිදුවන අසාධාරණකම් ගැන ජනමාධ්‍ය ඔස්සේ නිතර අසන්නට දකින්නට ලැබෙනවා. ඒ සම්බන්ධව ගනු ලබන විනය ක්‍රියාමාර්ග/අධිකරණ ක්‍රියාමාර්ග, ගැනද තොරතුරු අපට ලැබෙනවා. ඒ වගේම අමතක නොකළයුතු දෙයක් තමයි, එවැනි විනය ක්‍රියාමාර්ග ගත් පසු, වෘත්තීය සමිති මගින්, රටපුරා උද්ඝෝෂණ පවත්වමින්, ඊට විරෝධය පළකිරීම මෙන්ම, සමහරවිට, දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ඔස්සේ, ඒ තීරණ අවලංගු කරගැනීම හෝ වෙනස් කරගැනීම ද දක්නට ලැබෙනවා. නමුත් ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ එවැනි උද්ඝෝෂණ කරන්නට බැහැ. වෘත්තීය සමිති පිහිටුවන්නත් බැහැ. සාමාන්‍ය සිවිල් පුරවැසියකු යටත් වන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වන සිවිල් නීතියට පමණයි. නමුත් හමුදා සාමාජිකයන් හමුදා නීතිය සහ සිවිල් නීතිය කියන දෙකටම යටත්. ඒ නිසා ඔවුන් ඉන්නේ දැඩි පාලනයක් යටතේ බව අප මුලින්ම මතක තබාගත යුතුයි. මේ රතුපස්වල සිද්ධිය පිළිබඳව, මීට පෙරද ලිපියක් මගින්, යුදහමුදා පිළිවෙත ගැන, මවිසින් ඔබ දැනුවත් කළා ඔබට මතක ඇති. එය නොකියවූ අය, මේ සබැඳියාවෙන් ගොස්, ඒ ලිපිය කියවන මෙන් ඉල්ලනවා.
දැන් මුළු රටම බලා ඉන්නවා, මේ සිද්ධියට සම්බන්ධ, දැනට ඔවුන් දරන ලද තනතුරු (appointment / designation) වලින් ඉවත් කරන ලද, මේ නිළධාරීන්ට ඊළඟට මොකද වෙන්නේ කියා. මේ ලිපියෙන් මා උත්සාහ කරන්නේ, ඊළඟට වන්නේ කුමක්ද යන්න, හැකි තරම් සරළව ඔබට පහදා දීමටයි. ඔබ දන්නවා, ශ්‍රී ලංකා යුද හමුදාව පාලනය වන්නේ, යුද හමුදා පනත මගින් බව. එය හඳුන්වන්නේ 1949 අංක 17 දරන යුද හමුදා පනත යනුවෙන්. එයින්ම ඔබට වැටහෙනවා ඇති මේ පනත කොපමණ පැරණි පනතක්ද යනවග. 1949 ට පෙරත් ලංකාවේ යුද හමුදාවක් තිබුණා. (ත්‍රිවිධ හමුදාවම තිබුණා) නමුත් එය බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන ක්‍රමය තුළයි පවත්වාගෙන ගියේ. 1948 දී අප නිදහස ලැබීමෙන් පසුව, අළුතෙන් පිහිටුවාගත්,ලංකා යුද හමුදාව (ශ්‍රී ලංකා වුනේ 1972 දී ජනරජයක් වීමෙන් පසුවයි) වෙනුවෙන් තමයි, මේ පනත සකස්කර තිබෙන්නේ.
දැන් මේ නිලධාරීන් ඔවුන් මෙතෙක් දැරූ තනතුරු වලින් ඉවත් කළේ කුමන පදනමක් යටතේද? ඒ සඳහා පදනම් කරගත්තේ යුදහමුදාව විසින්ම පත්කළ මූලික පරීක්ෂණ උසාවියේ – Court of Inquiry වාර්තාවයි.
මොකක්ද මේ මූලික පරීක්ෂණ උසාවිය කියන්නේ?
යුද හමුදා පනත අනුව ඒකක අණදෙන නිලධාරි වරයකුට, (Battalion Commanding Officer) බලසේනාධිපති වරයකුට, (Brigade Commander) සේනාංකාධිපති වරයකුට, (Division Commander) රෙජිමේන්තු ආඥාපති වරයකුට, (Regimental Commander) මෙන්ම ප්‍රධාන පෙළේ තනතුරු දරන නිලධාරීන්ට, (Other Principal Officers) බලය තිබෙනවා, තම විෂයය පථයට යටත් වන, තමන් දරන පත්වීම අනුව බලය තිබෙන, විෂයයන් උදෙසා, මෙවැනි පරීක්ෂණ මණ්ඩල පත් කරන්න.
උදාහරණ දෙකක් දෙන්නම්. අපි හිතමු මෙහෙම. එක යුද හමුදා සෙබළකු කඳවුරේ සිට නිවාඩු ලබා ගෙදර යනවිට හෝ නිවසේ සිට ආපසු කඳවුර වෙත පැමිණීමේදී, මාර්ග අනතුරකට මුහුණ දෙනවා. (යුද හමුදා පනත අනුව හමුදා සාමාජිකයා සෑමවිටම ඉන්නේ සක්‍රිය සේවයේ. ඔහුට නිවාඩුවක් නෙවෙයි විවේකයක් දෙන්නේ. ඒ නිසා ඒ කාලසීමාවත් රාජකාරියට අදාළයි. පුදුමයි නේද?) ඔහු බරපතළ තුවාල ලබා ගැලවෙනවා. ඒ නිසා, මේ සිද්ධියෙන් පස්සේ, ඒ සෙබළා අයත් ඒකකයේ අණදෙන නිලධාරියාට සිදුවෙනවා, මූලික පරීක්ෂණ උසාවියක් පත්කරන්න, ඇත්තටම මේ සෙබළා මාර්ග අනතුරකට මුහුණ දුන්නාද, නැත්නම් ඔහුගේ ගමේ පිළිකනු ගානේ රිංගන්න ගිහින් පොලු පාරක් කෑවාද කියා සොයාබලන්න. මොකද අපි දන්නේ, මේ සෙබළා කියන කතාව පමණයි. තව උදාහරණයක් කියන්නම්. එක කඳවුරක ඇඳුම් සහ රෙදිපිළි ගබඩාවේ තිබුණු, සොල්දාදුවන්ට නිකුත් කිරීමට නියමිත තුවා 50 ක් අතුරුදන් බව, ගබඩා පරීක්ෂණයකදී හෙළිවෙනවා. උපකරණ පාලක නිලධාරියා (Quarter Master = QM) මෙන්ම, උපකරණ පාලක සැරයන් මේජර් වරයාත් (Regimental Quarter Master Sergeant = RQMS) ප්‍රකාශ කරන්නේ තමන් මේ ගැන කිසිවක් නොදන්නා බවයි. දැන් ඉතින් කරන්න වෙන්නේ මූලික පරීක්ෂණ උසාවියක් පවත්වා ‘කොයි බහිරවයාද තුවා 50 ක් ගිල්ලේ’ කියා සොයා බැලීමටයි. (ඔන්න ඉතින් සෙබළියන්ට නිකුත් කරන අර…… අර පොඩි තුවා, අන්න හරි එව්වා තමයි, 50 ක් නෙවෙයි 100 ක් වුනත් ගිල්ලනම් අපි දන්නවා කවුද ගිල්ලේ කියලා ) ඉතින් මේ මූලික පරීක්ෂණ උසාවියේ වගකීම වන්නේ මේ සිදුවීම් පිළිබඳව කරුණු විමසා තම නිරීක්ෂණ, නිර්දේශ සහ නිගමන – (observations, recommendations and decisions/conclusions) මූලික පරීක්ෂණ උසාවිය පත්කිරීමේ නියෝගයේ, අදාළ වාර්තාව ලබාදිය යුතු යයි නියම කරන දිනයේදී හෝ ඊට පෙර ඉදිරිපත් කිරීමයි. මේ වාර්තාවේ විශේෂ ලක්ෂණයක් තිබෙනවා. එහි මුල් පිටපත අතින් ලිවිය යුතුයි. වැරදීම් කැපීම කෙටීම් සිදුවන සියලු තැන්වල, උසාවියේ සභාපති, අදාළ සාක්ෂිකරු, කෙටි අත්සන් තැබිය යුතුයි. අවශ්‍ය අනෙක් පිටපත්, ඡායා පිටපත් ලෙස ඉදිරිපත් කළ හැකියි. උදාහරණය:- ‘මෙම සෙබලා නිවාඩු ගොස් සිටියදී කොටු පැනීමේ අරමුණෙන්, අසල්වැසි නිවසක පිළිකන්නට ගොස් ඇති බව, උසාවිය නිරීක්ෂණය කරයි. මෙම සෙබළා යුද හමුදාව අපකීර්තියට පත්වන ආකාරයට හැසිරී ඇති බැවින්, ඔහුට විරුද්ධව යුදහමුදා පනතේ ……..ඡේදය (අදාළ ඡේදය හෝ ඡේද සඳහන් කළයුතුයි) යටතේ චෝදනාපත් නගා විනයානුකූලව ක්රියාකලයුතු බව උසාවිය නිගමනය කරයි. ඔන්න ඊට පස්සේ අර සෙබලාට චෝදනාපත් නගා විනයානුකූලව ක්‍රියා කරනවා. (එහෙම කරපු ලස්සන කතාවක් මම මීට පෙර ලියලා තියනවා. මෙන්න මෙතනින් ගිහින් බලන්න.)
නමුත් දැන් මේ රතුපස්වල සිද්ධියේදී චුදිත නිළධාරීන් යුද්ධාධිකරණයකට Court Martial ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බව පෙනෙනවා. එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ මේ නිළධාරීන් කර ඇති, වරද/වරදවල් වල බරපතළකම අනුව, ඔවුන්, යුද්ධාධිකරණයකින් විභාග කළයුතු තරම් බරපතළ වැරදි කර ඇති බව, අර මූලික පරීක්ෂණ උසාවියෙන් නිගමනය කර තිබුණොත් තමයි. ඉතින් මෙහෙම එක මණ්ඩලයක් තීරණ වලට අනුව විතරක් ක්‍රියාත්මක වීම අසාධාරණ නැද්ද? එක මණ්ඩලයක් නෙවෙයි. කිසිම මාධ්‍යයක පළ නොවන, අඩුගාණේ හමුදාවවත් නොකියන සාධාරණ පරීක්ෂණය කෙරෙන්නේ මෙන්න මෙහෙමයි. හමුදාවේ විනය පවත්වාගෙන යන්න ඉන්න ලොකුම පොලිස්කාරයා තමයි ‘විනයාරක්ෂාධිපති – Provost Martial’ (සැරයි නේද නම?) මෙය අධ්යක්ෂ මණ්ඩලයක් – Directorate ලෙසයි වර්තමානයේදී ක්‍රියාත්මක වන්නේ. ඉතින් මේ යටතේ තිබෙන යුද හමුදා පොලීසිය විසින්, ස්වාධීන වාර්තාවක්, කෙළින්ම යුද හමුදාපති වෙත ලබාදෙනවා, මෙවැනි සිදුවීම් වලදී. යුද හමුදා පොලීසියට බලය තිබෙනවා, රතුපස්වල වැනි සිදුවීමකදී, කොයි තරම් උසස් හමුදා නිළධාරියකුගෙන් මෙන්ම සාමාන්‍ය වැසියන්ගෙන් වුණත් කට උත්තර ගන්න.
එමෙන්ම රතුපස්වල සිද්ධිය ගැන මූලික පරීක්ෂණ උසාවියට පැමිණ සාක්ෂි දෙන ලෙස දැනුම්දීමක් කරන්න අර මූලික පරීක්ෂණ උසාවියට සම්පූර්ණයෙන් බලතල තිබෙනවා. රතුපස්වල වැසියන් ඒ සඳහා සහභාගී නොවීම, ඔවුන් කළ අණුවන ක්‍රියාවක්. ඔවුන්ට කරන්න තිබුනේ, නීතීඥයන් සමග ගොස්, එම නීතීඥ උපදෙස් යටතේ සාක්ෂි දෙන්නයි. එමෙන්ම තමන්ගේ ප්‍රකාශ වාර්තාකර තබාගැනීමට සහ මූලික පරීක්ෂණ උසාවියේ සිටි නිලධාරීන්ගේ විස්තරද තමන්වෙත ලබාගන්නයි. ඔවුන් හොඳ අවස්ථාවක් මගහැරියා කියලයි මමනම් හිතන්නේ. කවුරු හරි ගොඩ පෙරකදෝරුවෙක් තමයි, මිනිසුන්ව අධෛර්යවත් කරලා තියෙන්නේ, යන්න එපා කියලා. ඒ මණ්ඩලයට බැහැ මිනිසුන් කියන දේවල් විකෘති කරලා ලියන්න. මම ඒ බව වගකීමෙන් කියනවා.
දැන් යුද හමුදා පොලීසියේ වාර්තාව මෙන්ම මූලික පරීක්ෂණ උසාවියේ වාර්තාව යන දෙකම යුද හමුදාධිපතිතුමා වෙත ලැබෙනවා. එහිදී එතුමා තනි තීරණයක් ගන්නේ නැහැ. ඒ වාර්තා කියවා බලා, එතුමා ඒ වාර්තා යවනවා. යුද හමුදා නීති සේවා අධ්යක්ෂ මණ්ඩලයට – Directorate of Legal Services (ලින්ක් එකක් දීමට උත්සාහ කළත් සාර්ථක වුනේ නැහැ) එයින් බලාපොරොත්තුවන්නේ, එම වාර්තා, යුදහමුදා පනතේ සහ යුද හමුදා විනය රෙගුලාසි මාලාවේ නියමයන්ට අනුකූලව සකසා තිබේද යන්නයි.
එහිදී අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කොට නැවත සකසා යුද හමුදා මූලස්ථානයට නැවත යැවෙනවා. මොනවද වියහැකි අඩුපාඩු? සුළු වැරැද්දකට බරපතල දඬුවමක් නිර්දේශ කර තිබෙන්නට පුළුවන්. බරපතල වරදකට සුළු දඬුවමක් නිර්දේශ කර තිබෙන්න පුළුවන්. චෝදනාපත් නැගීමේදී අදාළ කරගත යුතු යුද හමුදා පනතේ නිවැරදි වගන්තිය වෙනුවට වැරදි වගන්තියක් යොදාගෙන තිබෙන්නට පුළුවන්. වරදල් කීපයක් කර තිබියදී එම වරදවල් සියල්ලට චෝදනා නොනගා අතහැරී තිබෙන්නට පුළුවන්. එහෙම වුනොත් චුදිතයාට ගැලවී යන්නට ඉඩ ලැබෙන්න පුලුවන්. දැන් පෙනෙනවා නේද, ඔය මාධ්‍ය වලින් කියන ආකාරයට හෝ දේශපාලන පාට කණ්නාඩි වලින් බලන ආකාරයට වඩා, විනිවිද භාවයක් මේ විනය ක්‍රියාමාර්ග පිළිවෙත තුළ තිබෙන බව. ඇත්තටම මම නෙවෙයි මේවා කියන්න ඕනේ. යුද හමුදාව තම වෙබ් අඩවියේ මේ තොරතුරු පළකළ යුතුයි කියලයි මම නම් හිතන්නේ.
ඉතින් මෙච්චර දේවල් කරනවානම් ඉස්සරවෙලා අර නිළධාරීන් යුදහමුදා අත් අඩංගුවේ නොතබන්නේ ඇයි?
ඇත්තටම එක අතකින් බැලුවොත් ඔවුන් අත් අඩංගුවේ ඉන්නවා වගේ තමයි. ඔවුන්ව නිවාස අඩස්සියේ තැබුවා හා සමාන දෙයක් තමයි බොහෝදුරට වෙන්නේ. හමුදාවේ තියනවා විවෘත සිර අඩස්සිය සහ පියව සිර අඩස්සිය Open Arrest and Close Arrest කියලා ක්‍රම දෙකක් යම් චුදිතයකු සිර කර තබන. විවෘත සිර අඩස්සියේ ඉන්න හමුදා සාමාජිකයාට තම නිවස්නයේ රැඳී සිටිය හැකි අතර එයින් පිටතට ආවත් හැම තැනම ඇවිදින්නට බැහැ. ඔහුගේ ආහාර ඔහුගේ නිවස්නයට එවන්නටත් ඉඩ තිබෙනවා. දවසේ යම්කිසි වාර ගණනක් ඔහු කඳවුරේ මුරහල වෙත හෝ දවසේ කාර්ය භාර නිලධාරියා Duty Officer වෙත පැමිණ තමන් කඳවුරේ සිටින බව තහවුරු කළයුතුයි. පියව සිර අඩස්සිය කියන්නේ ඉතින් කූඩුව ඇතුලේ සැපට ඉන්නවා කියන එක බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. නමුත් මේ සිද්ධියට සම්බන්ධ නිලධාරීන් විවෘත සිර අඩස්සියේ තබා නැති බවයි පෙනෙන්නේ. දැනට එහෙම අවශ්‍යතාවක් නැතුව ඇති. බොහෝවිට ඔවුන්ට නිවාඩු නොදෙන්න පුළුවන්. නිවස්නයේ අනෙකුත් නිළධාරීන් සමග ගැවසීම සීමා කරන්න පුළුවන්. නිළධාරි නිවස්නයේ බීමහලට ඇතුළුවීම තහනම් කරන්න පුළුවන්. කිසිදු යුද හමුදා පාඨමාලාවකට සහභාගිවීම, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා කටයුතු සඳහා යාම, ආදිය තහනම් කරන්න පුළුවන්. තමන් වෙනුවෙන් යුදහමුදාවෙන් ලබාදී ඇති වාහන තාවකාලිකව ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම ඉහත සඳහන් කිසිදෙයක් නොකර ඉන්නත් පුළුවන්.දැනට එම නිලධාරීන් තමන් මෙතෙක් දැරූ පත්වීමෙන් ඉවත් කොට ඔවුන්ගේ මව් රෙජිමේන්තුව වෙත යා කර තැබීමක් පමණයි සිදුවෙන්නේ. මේ කාලය තුළ ඔවුන්ට කිසිදු නිළ උසස්වීමක් නොලැබෙන අතර කිසිදු වැදගත් රාජකාරියකට සම්බන්ධ කරගන්නෙත් නැහැ. ඔවුන්ට තිබෙන්නේ ක.බො.නි. පමණයි (කනවා බොනවා නිදාගන්නවා) හැබැයි ඔවුන්ගේ හමුදා නිළය (බ්‍රිගේඩියර්, ලුතිතන් කර්නල්, ආදී නිළ) එසේම තිබෙනවා. ඊට පහළ සියළුම නිළයන් ඔවුන්ට මෙතෙක්කල් දැක්වූ ගෞරවය එළෙසම දැක්විය යුතුයි. ඔවුන්ට එරෙහිව තවමත් චෝදනා පත් - Charge Sheet ඉදිරිපත් කර නැහැ. ඒ නිසා ඔවුන් තවමත් චුදිතයන් නොවෙයි.
දැන් මේ නිළධාරීන් යුද්ධ හමුදා අධිකරණයකට ඉදිරිපත් කිරීම සඳහා මොනවද කරන්න ඕනේ?
පළමුවැනි දේ තමයි මේ නිළධාරීන්ට එරෙහිව සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් – Summery of Evidence හදන්න ඕනේ. ඒ සඳහා මණ්ඩලයක් පත්කරනවා යුද හමුදාපති විසින්. එහිදී අර මූලික පරීක්ෂණ උසාවියේ වාර්තාව, යුදහමුදා පොලීසියේ වාර්තාව, මෙන්ම සියල්ලට වඩා අතිශයින් වැදගත් වන සාක්ෂි ආඥා පනත – Evidence Ordinance පදනම් කරගත යුතුයි. දැන් පෙනෙනවා නේද මෙය බරපතල නීති කෘත්‍යයක් බව. මේ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව පදනම් කරගනිමින් චුදිතයන්ට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම තමයි යුද්ධාධිකරණයකදී සිදුවන්නේ.
යුද්ධාධිකරණයක් කියන්නේ මොකක්ද?
සාමය පවතින කාලයක වුනත්, යුද්ධයක් පවතින කාලයක වුනත්, යුද්ධාධිකරණයක් පත්කිරීමේ බලය සේනාධිනායකයාට, (අපේ රටේ නම් ජනාධිපති තුමාට) මෙන්ම හමුදාපතිවරයාට ද තිබෙනවා. හමුදාවේ පැවැත්වෙන වෙනත් විනයශාලාවකට Charge Room වඩා යුද්ධාධිකරණයක බලය ඉතා ඉහළයි. යුද්ධාධිකරණයකටමරණ දඬුවම පැමිණවීමේ බලය තිබෙනවා. අපේ රටේ අවසාන වතාවට, යුද්ධාධිකරණයක් මගින් මරණ දඬුවම පනවා තිබෙන්නේ, අපි බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතී සමයේදියි. අපේ ජාතික වීරයකු වන, කපිතන් විලියම් හෙන්රි පේද්රිස්මැතිතුමාවයි එසේ මරණීය දණ්ඩනයට ලක් කළේ. ඔබ දන්නවාද යුද්ධයක් පවතින කාලයක, හමුදාව හැරදමා පැනයන අයටත්, මරණීය දණ්ඩනය නියම කළහැකියි. එසේම ඔබ හොඳින් දන්නවා, ත්‍රිවිධ හමුදාවෙන් පැනගිය අයවලුන්, නොයෙක් අකටයුතුකම් වල යෙදෙමින්, හමුදාව අපකීර්තියට පත්කරනවා මෙන්ම, මහජනතාවට මහත් හිරිහැරයක් බවට පත්ව සිටින බව. ඉතින් මේ පසුගිය කාලයේ, අපි යෙදී හිටිය යුද්ධයේදී, පැනගිය පළමුවැනි සෙබළා අල්ලාගෙන ඇවිත්, යුද්ධාධිකරණය වෙත පමුණුවා, මරණ දඬුවාම ලබාදුන්නා නම්, ඊට පස්සේ, කවුරුවත් පැනයන්නේ නැහැ නේද? ඒ නිසාම පැනගිය සෙබළුන් කියා වර්ගයක් නැති නිසා, මහා බරපතළ ප්‍රශ්නයක් ඇතිවීමත් වළකිනවා නේද?
මෙසේ මරණ දඬුවම ප්‍රකාශයට පත්කළාම එය ක්‍රියාත්මක කරන හැටි මෙන්න මෙහෙමයි. කඳවුරෙන් පිටත, අප්‍රසිද්ධ ස්ථානයකට, විත්තිකරු රැගෙන යනවා. වෙඩි තැබීමේ කණ්ඩායම, තමන් එම කණ්ඩායමට අයත් බව දන්නේ, ඒ ස්ථානයට ගියපසු තමන්ට ලැබෙන නියෝගයක් අනුවයි. වෙඩි තැබීමේ කණ්ඩායම හත් දෙනෙකු නම්, තුවක්කු හතක් කළින් සූදානම් කරනවා. ඒ තුවක්කු වලින් එකකට විතරක් ජීව උණ්ඩ දමන අතර, අනික් තුවක්කු හයේම තියෙන්නේ පුහු පතරොම්. අතනට ගියාට පස්සේ තමයි වෙඩි තැබීමේ කණ්ඩායම අතට තුවක්කු ලැබෙන්නේ. මේ නිසා කණ්ඩායමේ කවුරුවත් දන්නේ නැහැ, තමන් අතේ තියෙන්නේ, ජීව උණ්ඩ සහිත තුවක්කුවද නැද්ද යනබව. විත්තිකරුගේ ඇස් බැඳ, සිටගෙන හෝ පුටුවක් වාඩිකර තබනවා. වෙඩි කණ්ඩායම, ඔහුට පහසුවෙන් වෙඩි තැබිය හැකි දුරකින්, ඔහුට මුහුණලා, හරස් පෙළක් ලෙස සිට ගන්නවා. ඔවුන්ට අණදෙන නිලධාරියා ‘තුවක්කු කණ්ඩායම, සූදානම්වනු’ කියන අණ දුන්නාම, ඔවුන් විත්තිකරු වෙත ඉලක්කය ගන්නවා. ‘වෙඩි තබනු’ යන අණ නිකුත්වීමත් සමග වෙඩි තබනවා. මෙය මා අසා ඉගෙනගත් දෙයක් මිස, කවදාවත් දැක නැති දෙයක් බව, අවධාරණය කරනවා. (පින්තූරය ගත්තේ මෙතනින්)
යුද්ධාධිකරණ ප්‍රධාන වශයෙන් වර්ග තුනක් තිබෙනවා. ඒ තමයි;
- 1. මහා යුද්ධාධිකරණය – General Court Martial
- 2. ක්ෂේත්‍ර යුද්ධාධිකරණය – Field General Court Martial
- 3. දිස්ත්‍රික් යුද්ධාධිකරණය – District Court Martial
මහා යුද්ධාධිකරණයක් පත්කරන්නේ සේනාධිනායකයා විසින් හෝ ඔහුගේ බලය ලත් ජ්‍යොෂ්ඨතම (සාමාන්‍යයෙන් යුද හමුදාපති) නිලධාරියා විසිනුයි. ශ්‍රී ලංකා යුදහමුදා නීතියට යටත් ඕනෑම නිළයක පුද්ගලයකු සක්‍රිය සේවයේ යෙදි සිටින අතර, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී කරනු ලබන සිවිල් හෝ හමුදා වැරදි සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ බලය මේ අධිකරණයට තිබෙනවා. මෙහි විනිශ්චය මණ්ඩලය ජ්‍යොෂ්ඨ හමුදා නිලධාරීන් පස්දෙනෙකුගෙන් සමන්විතයි.
සම්පූර්ණ යුද්ධ හමුදාවම සක්‍රිය සේවයේ නැති අවස්ථාවක හෝ යුද හමුදාවෙන් කොටසක්, ලංකාවෙන් පිට ස්ථානයක සේවයේ යෙදී සිටින විට, ඇතිවන විනය ප්‍රශ්න වලදී, මහා යුද්ධාධිකරණයක් කැඳවීමට ඉඩ නොලැබෙන අතර, ඒ සඳහා උපයෝගී කරගන්නේ ක්ෂේත්‍ර යුද්ධාධිකරණයයි. විනිශ්චය මණ්ඩලය තුන්දෙනෙකුගෙන් සමන්විතයි. විනිශ්චය මණ්ඩලයේ සියල්ලන්ම එකඟවන්නේ නම් පමණක්, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට මේ අධිකරණයට බලය තිබෙනවා. මෙය පත්කරන්නේ හමුදාපති හෝ ඒ ප්‍රදේශයේ සිටින ජ්‍යොෂ්ඨතම ප්‍රාදේශීය අණදෙන නිලධාරියා Formation Commander විසින්.
දිස්ත්‍රික් යුද්ධාධිකරණයක් පත්කරන්නේ, නොපමාව විනිශ්චයට භාජනය කළයුතු, එමෙන්ම කිසියම් හමුදා බල ප්‍රදේශයකට සීමාවූ, විනය ක්‍රියාමාර්ග ගැනීම පිණිසයි. මෙහිදී, ප්‍රාදේශීය අණදෙන නිලධාරියා විසින්, එම අධිකරණ මණ්ඩලය පත්කරන අතර, එය තිදෙනෙකුගෙන් සමන්විත වියයුතුයි. මෙම අධිකරණයට මිනීමැරුම් සම්බන්ධ නඩු ඇසීමේ බලයක් නැති අතර අධිකාරිලත් නිළධාරියකුට එරෙහිව Commissioned Officer නඩු ඇසීමේ බලයක්ද නැහැ.
යුද්ධාධිකරණ ගැන මා මෙතනදී කර තිබෙන්නේ යන්තම් හැඳින්වීමක් පමණයි. මෙය දීර්ඝව විස්තර කළයුතු කරුණක් වුනත්, ලිපිය අනවශ්‍ය ලෙස දික්වීම වළක්වා ගන්නයි, මෙලෙස ඉතා කෙටි හැඳින්වීමක් කළේ.
මහා යුද්ධාහිකරණයකට ඉදිරිපත්වන විත්තිකරුවකුට, තමන් වෙනුවෙන්, නීතීඥයන්ගේ සහාය ලබාගැනීමට අවස්ථාව තිබෙනවා. එමෙන්ම, සිවිල් අධිකරණයකින් නඩු අසා, ලබාදී ඇති දඬුවමක් වෙනස් කරන්නට හෝ, එම කාරණය සම්බන්ධව, නැවත නඩු අසා දඬුවම් කරන්නත්, යුද්ධාධිකරණයකට බලය නැහැ.
මා හිතනවා මේ විස්තරය ඔබව සෑහීමකට පත්කරයි කියා. ප්‍රශ්න තිබෙනවානම් අහන්න. මගේ දැනුමේ හැටියට පිළිතුරු දෙන අතර, නොදන්නාදේ සොයා බලා කියන්නට උත්සාහ කරන්නම්. මේ සියලුම තීන්දු තීරණ කුමක් වුවත්, ඒ සියල්ල ක්‍රියාත්මක කිරීම හෝ අත්හිටුවීම හෝ වෙනස් කිරීමේ සුවිශේෂී බලය, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, ජනාධිපති වරයාට ලැබී තිබෙන බව ද විශේෂයෙන් සඳහන් කරනවා.