මම හීනෙන්වත් නොසිතු විදිහට ආයේ සැරයක් ලියන්න වුනානේ අනේ මගේ පළවෙනි එකලිපියට තවත් කොටසක්.‘සිතුදේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා’ කියලා පරණ සිංදුවකුත් තියෙන්නේ. අර මම කලින් ලියපු අනේ මගේ පළවෙනි එක වගේම, මේ ලිපියත් ලියන්න, අහම්බෙන් තමයි නිමිත්ත පහළ වුනේ. පසුගිය ලිපිය ලියන්න හේතු සාධක වුනේ මගේ පින්තූර ඇල්බම් එකක තිබුන ඡායාරූපයක්නේ. මේ සැරේනම් අදාළ උපකරණයම ලැබුණා. (පින්තූරය ගත්තේ මෙතනින්)
මගේ ළඟ තිබෙනවා, යුද හමුදාව පාවිච්චි කරන, අත් බෝම්බ අසුරා එවන, ප්ලාස්ටික් කන්ටේනර් 10 ක් 15 ක් විතර. ඒවායින් සමහරක අසුරා තිබෙන්නේ මගේ ළඟ තිබෙන නොයෙකුත් ආකාරයේ විදුලි හා විද්‍යුත් උපකරණ කොටස්. තවත් සමහරක පොත්පත්. අපේ ගෙදර කුස්සියේ තියනවා මේ ජාතියේ පෙට්ටි කීපයක්, හාල්, අල, ළූණු, මිරිස්, පිටි, සීනි, ආදිය දමන. ඔබ දන්නවද මේ පෙට්ටියක වතුර පුරවලා තියන්න වුනත් පුළුවන්. තරමක් ඝන ශක්තිමත් ප්ලාස්ටික් වලින් සාදා තිබෙන්නේ. මේ පෙට්ටියක් බෝම්බ අසුරා තිබෙද්දී වතුරට වැටුනත් මොකුත් වෙන්නේ නැහැ. මේ පෙට්ටියේ පියන, වාහනයක ගෑස් කට් එක වැනි සීල් එකකින්, සීල් කරලයි එවන්නේ. මෙන්න පහළින් තියනවා. එවැනි පෙට්ටියක්. මගේ ලට්ට ලොට්ට ගබඩාවෙන් එළියට අරගෙන, පිහදාන්නේවත් නැතිව පින්තූරය ගත්තේ. හොඳින් බලන්න, එහි කහපාට අකුරු වලින් කෙටි යෙදුම් කීපයක් දැක්වෙනවා, බෝම්බ වර්ගය කුමක්ද කියා. එහි ලියා තිබෙන්නේ 50 Rounds Grenade Hand Fragmentation යන්නයි. බෝම්බ වර්ගය තමයි ඊට පහළින් SFG 87 යනුවෙන් සඳහන් වන්නේ. (එතන ලේබලය ඉරිලා තියෙන්නේ) ඔබෙන් සමහරෙක් මේ පෙට්ටි දැකලත් ඇති. සමහරුන්ගේ ගෙවල් වලත් ඇති. ඒ කාලේ නම් මේ පෙට්ටි කිලෝ ගානට හොයාගන්න තිබුණා, නිතර බෝම්බ පාවිච්චි කළ නිසා. අදනම් මේ පෙට්ටියක් එළියට එන්නේ එක් පුහුණු පාඨමාලාවකට දෙක තුනක් තරම් අඩුවෙන්. ඒ තරම් අඩුවෙන් නේ අද අත් බෝම්බ පාවිච්චි කරන්නේ. ඒවාත් කඳවුරේම මොනවා හෝ ගබඩා කරන්න යොදාගන්නා නිසා, කාටවත් ගෙදර ගෙනියන්න ලැබෙන්නේ නැහැ. අත් බෝම්බයක් හදලා ගහන හැටි කියලා දෙන්නද? අම්මෝ……………… ගිය හිනාව. පස්සේ බලමු ඈ. මේ සුදුවෑන් ටිකක් අඩුවුනාම බලමු. මේ පෙට්ටි ගෙදරක තබාගන්න තහනම් නැහැ. හිස් පෙට්ටියක්නේ.
ඉතින් මේ පෙට්ටියක බෝම්බ 50 ක් අසුරා එවනවා. මේ පෙට්ටියක් අඩි දෙකක් දිගයි. පළල සහ උස අඟල් 13 බැගින්. තරමක ඉඩකඩක් තියනවා. යම්කිසි දෙයක්, සුළං නොවදින, තෙතමනයට, දූවිල්ලට, ආවරණය නොවන ආකාරයට, ගබඩාකර තබන්න පුළුවන්. බලන්න ලොක් වෙන හැටි. එවැනි ලොක් හයක් තියනවා. ඉතින් මේ පෙට්ටිය ඇතුළේ බෝම්බ ටික නිකම්ම දාලා එවනවද. නැහැ නැහැ. එක් එක් බෝම්බය වෙන වෙනම කුඩා ප්ලාස්ටික් ඇසුරුමක එවන්නේ. මේ බලන්න, වර්ග දෙකක ඇසුරුම් තියනවා.
වම් පැත්තේ තියෙන්නේ M 75 වර්ගයේ අත් බෝම්බයක ඇසුරුම. දකුණු පැත්තේ තියෙන්නේ SFG 87 වර්ගයේ අත් බෝම්බයක ඇසුරුම. මම මේ ඇසුරුම් පාවිච්චි කරන්නේ, විද්‍යුත් පරිපථ අමතර කොටස්, විවිධ ඇණ වර්ග, ආදිය අසුරා තබාගන්නයි. මේ ඇසුරුමේ පියනේ සම්පූර්ණ ජලරෝධක රබර් වළල්ලක් පවා තිබෙනවා. ඒ නිසා බෝම්බය මේ ඇසුරුමේ තිබියදී වතුර යට තිබුණත් මොකුත් වෙන්නේ නැහැ.බෝම්බය නොසෙල්වෙන පරිදි තැබීම සඳහා පියනේ සහ පතුලේ ස්පොන්ජ් කෑලි දෙකක් පවා තිබෙනවා.
ඔන්න පඳුරු තැලිල්ල ඉවරයි. දැන් බහිමු කතන්දරේට. අද මම මේ පෙට්ටි කීපයක් විවෘත කරමින් හෙව්වා, මා ළඟ තියන පවර් පැක් එකක්. එය ඩී.සී. වෝල්ට් 1.5 සිට 24 දක්වා ලබාගතහැකි එකක්. මෙය හොයමින් ඉන්න අතර, අනේ මගේ අතට වැඩියේ නැතෑ මෙන්න මෙයා.
කොහොමද? ලස්සනයි නේද? අනේ……………….දැක්කම දුකේ බැරුවා. ඔන්න මෙයාගේ ඉතිහාසය මෙන්න මෙහෙමයි. මේ තමා මගේ ජීවිතයේ මුලින්ම මිලදීගත් ජංගම දුරකථනය. (ඒකනේ ආයෙත් වතාවක් අනේ මගේ පළවෙනි එක ලියන්න වුනේ) මෙයාව ගත්තේ 1998 දී විතර. බිල්පත, උපදෙස් පොත, මාසික බිල්පත් ඔක්කොම තිබුණා. කොහේ දාලද මන්දා. ගත්තේ ගෙඩි පිටින්ම රුපියල් අටදහස් ගණනකට බවත් මතකයි. මුලින් 5000/- දීලා, ඉතුරු ටික ගෙවන්න දුන්නා, ආරක්ෂක හමුදා සාමාජිකයන්ට. එවකට තිබුණු ‘සෙල්ටෙල්’ සමාගමෙන්මයි කෙළින්ම මිළදීගත්තේ. මේ දුරකථනයේ විශේෂතා කීපයක් තිබෙනවා.
- මේ දුරකථන මෝස්තරයට සිම් පතක් සවිකළ නොහැකියි. සමාගම විසින්, දුරකථනය පරිගණකයකට සම්බන්ධ කර, අදාළ දත්ත දුරකථන මතකයේ ගබඩාකර, පාරිභෝගිකයාට දුරකථනය ලබාදෙනවා.
- මෙහි තිරය, දැන් තිබෙන, වර්ණ නැති, දුරකථන තිරයකටත් වඩා, අඩු ගුණාත්මක මට්ටමක එකක්. ඒ කියන්නේ dot matrix තිරයක් තමයි මෙහි තියෙන්නේ. ඒ තිරයේ තියෙන්නෙත් අකුරු පේළි දෙකක් පමණයි.
- මෙහි උස් පහත් කළහැකි ඇන්ටෙනාවක් තියනවා.
- මෙය digital නොව analog සංඥා අනුව ක්‍රියාකරන දුරකථනයක්.
- මෙහි බැටරිය බැස ඇති අවස්ථාවක, නැවත ආරෝපණය කීරීමට (charge) පහසුකම් නැත්නම්, AA ප්‍රමාණයේ (පෙන්ලයිට්) බැටරි කෑලි 4 ක් යොදවා ක්‍රියාකරවන්න පුළුවන්. ඒ නිසා දුෂ්කර ප්‍රදේශ වල පාවිච්චියට ගැලපෙනවා.
- පිටතින් යොදන ඇන්ටෙනාවක් (ඔබ දැක තිබෙනවද රූපවාහිනී ඇන්ටෙනා වලට බොහෝ දුරට සමාන, ජංගම දුරකථන ඇන්ටෙනා තිබුනා ඒ කාලේ. ලංකාවේ කාර්මිකයන් හදපුවා) සවි කිරීමට සොකට් එකක්, මේ දුරකථනයේ තියනවා.
- මේ දුරකථනයේ බැටරිය සම්බන්ධවන contact points කොලපාට මළකඩ බැඳී ඉක්මනින්ම දුර්වල වෙනවා. ඒ කාලේ සෙල්ටෙල් සමාගමෙන් පමණයි ඒවා අලුත්වැඩියා කරගැනීමට පහසුකම් තිබුණේ. අප්පච්චියේ………අර පුංචි පිත්තල පින් දෙක දාලා දෙන්න රු 600/- ක් ගත්තා.
- බැටරියේ ආයු කාලය, අද තිබෙන ජංගම දුරකථන බැටරි වලට සාපේක්ෂව, බොහොම අඩුයි. ඒ වගේම බැටරියේ මිල අධිකයි.
- Digital දුරකථන පැමිණීමත් සමගම මේවා අභාවයට ගියා.
- මේ දුරකථනයේ බැටරි චාජරය මා මෙතෙක් දැක ඇති ඉතාම ඉහළ මට්ටමේ බැටරි චාජරයක්. දැනට වසර 4 ක පමණ සිට, අපේ ගෙදර කුස්සියේ තියන කුඩා කැසට් රේඩියෝව ක්‍රියාකරන්නේ මේ දුරකථනයේ බැටරි චාජරයේ බලයෙන්.
මෙන්න තවත් පින්තූර
මේ දුරකථනයේ බැටරිය අද මගේ ළඟ නැහැ. ඒ නිසා බැටරියේ පින්තූරයක් හොයාගත්තේ අන්තර්ජාලයේ පිහිටෙන්.
දැනට නම් මතක තියෙන්නේ ඔච්චරයි. ඔබ අතර ඇති මට වඩා බොහොම හොඳින් මේ ගැන විස්තර කියන්න දන්නා අය. එවැනි අයගේ අදහස් ඉතා ආදරයෙන් බලාපොරොත්තු වෙනවා.
මේ දුරකථනය පාවිච්චි කළ ආකාරයත් බොහොම රසවත්. මේ දුරකථනය මිළදීගත් කාලයේ මා සේවය කළේ වවුනියාවේ. ඒ කාලේ අපි හිටිය කැලෑ අස්සේ මොන දුරකථනද? ඒ කාලේ, සමහර යුද හමුදා සාමාජිකයන්, ඉඩක් ලද වහාම, වවුනියාව නගරයට පැමිණ, පෞද්ගලික දුරකථන ඇමතුම් ලබාදෙන කඩවලින්, මුදල්ගෙවා ඇමතුම් ගත්තා, තම තමන්ගේ ගෙවල් වලට, නෑ දෑ හිතවතුන්ට, මල් කුමාරිලාට ඉතින් ඔය වෙලාවට මොනවා කියවෙනවාද කියලා දන්නේ නැහැනේ. අර අපේ අටම් ගේ, අත පිච්චුන කතාවේ, බාසාවෙන් ලියනවානම්, ‘මම ඉක්මනට ඔයා බලන්න එන්නම් මගේ සත්තලං පැටියෝ……..අපි මේ දවස්වල ඕමන්තේ පැත්තේ අරුංගේ කෑම්ප් වලට ගහන්නයි යන්නේ. උන්ට වැඩේ දීලා මම එන්නම්කෝ……… මගේ සුදු චූටි පටියාවත් එක්ක කොහේ හරි යන්න……….’. කියලා කියනවා. සුද්ද සිංහලෙන් කියනවානම් ඔන්න වැඩේ ‘කෙළවාගන්න’ තැන. සිංහල තේරෙන කොටි ඔත්තුකාරයෝ ඕනේ තරම් හිටියා වවුනියාව නගරයේ. උන් එකෙක් අහගෙන හිටියානම්, අපේ ක්‍රියාන්විත රහසක් නිකම්ම උන්ගේ අතේ. ඔන්න ඔය නිසා ත්‍රිවිධ හමුදාවේ කිසිදු නිළයකුට, වවුනියාවෙන් දුරකථන ඇමතුම් ගැනීම තහනම් කරන්න සිදුවුණා. උසස් නිලධාරීන්ට පවා අවවාද කළා, දුරකථන මගින් වෙනත් කඳවුරු සමග හෝ ක්‍රියාන්විත තොරතුරු කතා නොකරන ලෙස.
ඔන්න ඉතින් මෙව්වා ගත්තට පස්සේ ආය ඉතින් මොකාටද බය කියලා හිතුණා. කිරි අප්පට බල්ලෝ පැනපි. අලියා ගත්තට පස්සේ තමයි දැණුනේ හෙණ්ඩුව දිග මදි කියලා. වවුනියාව නගරයට දකුණෙන් ඇති තැන් දෙක තුනකට හැර, නගරයෙන් උතුරට සංඥා ලැබෙන්නේ නැහැ. වවුනියාව ප්‍රදේශයේ අළුතෙන් සංඥා කුළුණු හදන්නත් තහනම් අර සමාගමට හෝ වෙනත් කිසිම සමාගමකට, (ඒ කාලේ තිබුණේ, සෙල්ටෙල් සහ ඩයලොග් පමණයි කියායි මතක තියෙන්නේ) ආරක්ෂක හේතු නිසා. ‘ඉතින් මොකේදැයි දන් වළඳන්නේ’ කිව්වලු. අපේ කට්ටිය ගිහින් ‘අනුරාජපුරෙන්’ ඇන්න ආවේ නැතෑ බාහිර ඇන්ටෙනාවක්. ‘ඇමතුම් ගන්න ඕනේ එකා, ඇන්ටෙනාව වෙත පැමිණ ඇමතුම් ගණු’ කියා ඔක්කොටම දැනුම්දී තිබුණා. (මගේ ලොකු දුව පුංචි කාලේ ඇන්ටෙනා එකට කිව්වේ, ‘ඇන්ටි නාන එක’ කියලා ) ඔන්න ඉතින් කැලෙන් ළී කපාගෙන ඇවිත් මහා පළුගහක් මුදුණේ, උණගස් දෙකක් විතර ‘උහට’ බැඳලා, දැම්මා ඇන්ටෙනාව. ඇන්ටෙනා වයරයේ කොණ, පහසුවෙන් අතින් අල්ලගන්න පුළුවන් වෙන විදිහට, පහළට දැම්මා. ඒ වයර් එකේ කොණ, දුරකථනයේ පිටිපස්සේ තියන අර සොකට් එකට තිබ්බම වැඩේ හරි. එහෙම දාලත් එන්නේ අර සංඥා මට්ටම පෙන්නන කණු දෙකයි උපරිම. හැබැයි කොහොමහරි ඇමතුමක් ගන්න පුළුවන්. දැන් ඉතින් කට්ටිය එකසිය ගානට ඇමතුම් ගන්නවා. අමතක වුනා කියන්න, ඒ කාලේ පිටතට් ගන්න ඇමතුමකට විනාඩියකට රු 8 ක් විතර අයකළා. ලැබෙන ඇමතුම් වලටත් මුදල් අය කරනවා. එව්වා කවුද ගණන්ගන්නේ. ඒ වගේද ‘යුදබිමේ සිට මල් කඩනකොට දැනෙන සොමිය’
ඉතිං ඔන්න ඔහොම ඔය ආකාරයට, දැහැමෙන් සෙමෙන් මලක් දෙකක් කඩාගෙන ඉන්නකොට, මෙන්න යකෝ එල්.ටී.ටී.ඊ. මෝටාර් වෙඩි එනවා, එක දවසක් මහ දවාලේ, හරියටම අපේ ඔලුවට. බොහොම අමාරුවෙන් පොළොව යට බංකර් වලට රිංගලා බේරුනා. දෙතුන් දෙනෙකුට ටිකක් තුවාල වුණා. මමනම් හිතුවේ එල්.ටී.ටී.ඊ. එකෙක්, හොරෙන්ම අපේ පැත්තට රිංගලා, ගහකට නැගලා හැංගිලා, රේඩියෝ පණිවිඩ මගින් එහා පැත්තට කියනවා ඇති කියලා, අපේ කඳවුර ගැන. මොකද එහෙම නැතුව අපි ඉන්න තැන හොයන්න බැහැ. ගුවන් යානයකටවත් නොපෙනෙන ආකාරයට මහ ඝන වනයේ කඳවුර තිබුණේ. ඊට පහුවදා මේ සිද්ධිය බලන්න බලසේනාධිපති තුමා ආවා. ඒ සමග ඇවිත් හිටියා බලසේනාවේ සංඥා නිලධාරියා. එයා අර අපේ පූජනීය, ආදරණීය, රමණීය වගේම මරණීය ඇන්ටෙනාව දැක්කා. මිනිහා හෙමීට මගේ ළඟට ඇවිත් කිව්වා, ‘සර්ලට පිස්සුද අරවගේ ඇන්ටෙනාවක් දාන්න? ඔය ඇන්ටෙනාව කිලෝමීටරයක්වත් ඈතට පෙනෙනවා. අරුන් ඔය ඇන්ටෙනාව ටාගට් එකට තියාගෙන තමයි මෝටාර් ගහන්නේ, ලොක්කා (බලසේනාධිපති) දැක්කොත් සර්ටත් සමන්වයි මම කියන්නේ නැහැ ලොක්කට, දැන් අපි මෙහෙන් ගිය ගමන්, ඔය මගුල ගලවලා දාන්න’ කියලා. කොහොමද අපේ ටිකිරි මොළෙන් කෙළවා ගත්ත කෙළිය. අනේ ඉතිං දෙවෙනි වතාවටත් ‘ඉතින් මොකේදැයි දන් වළඳන්නේ’කියලා, ඇන්ටෙනාව ගැලෙව්වා. හැබැයි ඊට පස්සේ හොයාගත්තා නියම ‘කෙරමේ’, මොකක්ද දන්නවද? කළුවර වැටුණට පස්සේ උස්සනවා. පාන්දරම බස්සනවා. ඇන්ටෙනාව ඇන්ටෙනාව………. නැත්තං වෙන අහවල් කෙන්ගෙඩියද? (පසු කාලයේදී එල්.ටී.ටී.ඊ. කඳවුරු අල්ලා ගත්තාට පසු, ඒවායේ තිබී හමුවුනා, මේ දුරකථන බාහිර ඇන්ටෙනා කීපයක්. බලනකොට අයියලාත් අපි වගේම රෑට උස්සන පාන්දර බස්සන සෙල්ලම කරලා තියනවා. එක වල්ලේ පොල් ) හැබැයි මම පසුව විශාල සොයාගැනීමක් කරා. (මෙච්චර විශාල සොයාගැනීමක්, ගිනස් පොතට නොගිය එකත්, ජාත්‍යන්තර සම්මානයක් නොලැබීමත්, ගැන අම්මපා හිතට දුකයි මට) එක ළඟ තිබුන ගස් තුනක් අල්ලලා පොළොවට අඩි 30 ක් විතර උඩින් ගැහුවා අට්ටාලයක්. අට්ටාලයට නගින්න හොඳ ලී ඉනිමගකුත් හැදුවා. (මම නෙවෙයි ඉතින් ගෝලයෝ තමයි මගේ මේ මහා ක්‍රියාන්විත සැළැස්ම ක්‍රියාත්මක කරන්නේ) පොහ්………මල් හතයි ඈ. අට්ටාලේ උඩටත් ‘කණු දෙකක’ සිග්නල් එකක් එනවා. ඉඳා අප්පා……….. මෙන්න අට්ටාලෙන් බහින්නේ නැතුව මල් කඩනවා කට්ටිය. සාජන් මේජර් අට්ටාලේ පාමුලට ගිහිං සැමැන්නුවාට පස්සේ තමයි සමහර එවුන් අට්ටාලෙන් බහින්නේ. අට්ටාලේ කොහාටවත් පෙනෙන්නේ නැහැ. රූස්ස ගස් අස්සේ තියන නිසා. එයවු අස්සේ, මැදි වයසේ ඉන්න මාණ්ඩලික සැරයන් කෙනෙක් දවසක් මගේ ළඟට ඇවිත් කියනවා, ‘බලන්නකෝ සර් මේ ෆෝන් එක. මම මේ කොල්ලෙක්ගෙන් හදිස්සියට ඉල්ලගත්තේ, ඒ වුනාට ඒක කැඩිලා වගේ, කණට තියලා බැලුවා ඩයල් ටෝන් නැහැ’ කියලා. හැබෑටම ඔව්වා ඉතින් අපි කාටත් වෙන්න පුළුවන් දේවල්නේ. විනාඩි 15 ක විතර ‘ලැච්චර් එකක්’ දීලා කියලා දුන්නා, මොබයිල් දුරකථන හෙවත් ජංගම ෆෝන් ගැන
අම්මෝ……….ඡේද තුන හතරකින් කියන්න හිටිය කතාව, වචන 1500 ත් ඉක්මවලා ගිහින්. හරි හරි, ඔන්න මම මෙතනින් නවතිනවා. ඉතින් දැන් ඔබ කියන්න මට, ඔබේ ජීවිතයේ පළමු වතාවට මිලදීගත් ජංගම දුරකථනය සහ ඒ සම්බන්ධ වැදගත්, රසවත්, දුක්බර, සිදුවීම් ඔක්කොම.