කාම්බෝජය, කම්පූචියා, එසේ නැතහොත් ඉංග්‍රීසි බසින් කැම්බෝඩියා Cambodia යන රට ගැන ඔබෙන් බොහෝ දෙනෙක් අනිවාර්යයෙන්ම අසා ඇති. ඔබෙන් සමහරෙක් මේ රටේ සංචාරය කර හෝ සමහරවිට රැකියාවක් කළ/කරන අයකු වන්නටත් පුළුවන්. කාම්බෝජය ගැන මෑත ඉතිහාසයේ ලියවෙන වාර්තා බොහොමයක් එතරම් සුන්දර හෝ රසවත් ඒවා නොවෙයි. එයට හේතුව වන්නේ දිගු කලක් මේ රට වෙලී තිබුණු භීෂණකාරී සිද්ධි සමුදායක් තිබීමයි. ලෝක ඉතිහාසයේ සිදුවූ අතිශයින් දරුණු, අධම, මහා මිනිස් ඝාතන නිසා ‘කුප්‍රකට’ රටවල් අතර, කාම්බෝජයට හිමිවන්නේ කිසිදා නොමැකෙන අඳුරු කැළලක් සහිත ඉතිහාසයක්.
වෛද්‍ය රුවන් එම් ජයතුංග කාම්බෝජය සහ එහි අතීතය අළලා රචනය කල අගනා ග්රන්ථයක් මේ වසරේදී (2013) එළිදක්වනු ලැබුවා. මේ විග්‍රහය ඒ ග්‍රන්ථය පිළිබඳවයි. කෙසේ වෙතත් මුලින්ම එක කරුණක් කිවයුතුයි. මේ ග්‍රන්ථය ගැන බූන්දි අඩවියෙත් ලිපියක් පළවී තිබුණා. එහෙත් එම ලිපියේ ඇතුළත්ව තිබුනේ අචාර්ය ගාමිණි වියන්ගොඩ විසින් මෙම පොත සඳහා ලියා තිබුණු පෙරවදන පමණයි. මා මෙම ලිපියෙන් අදහස් කරන්නේ පොතේ සමස්තය සලකා බලා කෙටි විවරණයක් ඉදිරිපත් කිරීමටයි. එමෙන්ම මේ ලිපිය මා ලියන්නේ වෛද්‍ය ජයතුංග ගේ අවසරය ඇතුවයි.
මේ ග්‍රන්ථය තවමත් එතරම් දුරට පාඨකයන් අතරට නොගිය බවක් පෙනෙන නිසයි මා මෙලෙස ඔබට මේ ග්‍රන්ථය හඳුන්වා දෙන්නට සිතුවේ. වෛද්‍ය ජයතුංග මේ ග්‍රන්ථය එළිදැක්වීම සඳහා සෑහෙන තරම් කරුණු පර්යේෂණාත්මකව අධ්‍යයනය කර ඇතිබව පෙනීයනවා. මේ ග්‍රන්ථය මගේ සිත්ගන්නට හේතු වුනෙත් මෙයින් දෙන දේශපාලන පණිවිඩය අද කාලයට ඉතා උචිත බව පෙනීයන නිසයි. වෛද්‍ය ජයතුංග තම ග්‍රන්ථයේ අන්තර්ගතය පිළිබඳව සංක්ෂිප්ත හැඳින්වීමක් කර තිබෙන්නේ මෙහෙමයි.
බලකාමිත්වය නිසා අගතියට පත්වන දේශපාලකයන් ලෝකයේ සෑම මහාද්වීපයකින්ම පාහේ වාර්තා වෙනවා. එහෙත් ඔවුන්ගේ පැවැත්ම යම්කිසිදිනක කඩාවැටෙන්නේ, මහජනතාව ඔවුන්ගේ මිනී වළටත් කෙළ ගසන තත්වයට පත්වීමෙන් අනතුරුවයි. මුලින් ජනතාවාදී, ප්රජාතන්ත්රවාදී, වැනි ලේබල් අලවාගන්නා මේ පාලකයන්, අනතුරුව තම රහස් වැඩපිළිවෙල ක්‍රියාවට නංවන්නේ ජනතාවට රහසින්. පාලකයා කම්බා හොරෙක්, මිනීමරුවෙක්, දරුණු ලෙස පළිගන්නෙක්, බව ජනතාවට තෙරුම්යන්නේ පසුවයි. කාම්බෝජය ලේ විලක් කළ පොල්පොට්, ඊට කදිම නිදසුනක්. කාම්බෝජය සහ පොල්පොට් පාලනය කෙබඳු ද යන්න විස්තර කෙරෙන පිටු කීපයක් මේ පොතෙන් පහත උපුටා දක්වනවා. බොහෝවිට දරුණු පාලකයන් බිහිවන්නේ දීර්ඝ ඉතිහාසයක් ඇති රටවලින් වීම විශේෂත්වයක් ලෙසයි මා දකින්නේ. මෙන්න කාම්බෝජය ගැන කෙටි හැඳින්වීමක්.
පොල්පොට් පාලනය, කිසිදු මානුෂික ලක්ෂණයක් හෝ පිළිගතහැකි දේශපාලන න්‍යායයක් එසේ නැතහොත් සදාචාරයක් නැති හුදු ෆැන්ටසියක් බව, මේ ග්‍රන්ථයෙන් පෙන්වාදෙනවා.
කාම්බෝජය යනු මරණයේ දේශය යනුවෙන් හැඳින්වීමට හැකි බව මේ ග්‍රන්ථයෙන් මොනවට පැහැදිලි කර දෙනවා. කිසියම් දේශපාලන අත්දැකීමක් නැති, හුදු ෆැන්ටසියක සිරවුණු, කාලීනව තමන් විශ්වාස කරන, විවිධ දේශපාලන දර්ශන වලින් උපුටාගත් කොටස් සංකලනය කොට සකසාගන්නා, කිසිදු පදනමක් නැති, දේශපාලන අවජාතක සංකල්පයක, අවසාන ප්‍රතිඵලය කොතරම් දරුණුද යන්න වටහා ගැනීමට, පොල්පොට් පාලනය අංක එකේ උදාහරණයක් බව පැහැදිළි වෙනවා. පහත දැක්වෙන පිටු කීපය එයට සාක්ෂි දරනවා.
වෛද්‍ය රුවන් එම් ජයතුංග, සිය මූලික වෘත්තීයමය භූමිකාවෙන් මිදී, මෙලෙස, මානුෂික ස්වභාවය සහ සමාජ විද්‍යාව පිළිබඳව විග්රහ කෙරෙන ග්රන්ථ එළිදැක්වීම, අගය කළයුතු වන්නේ, එයින්, පාඨකයා තුළ කිසියම් කම්පනයක් ඇතිකොට, ඒ ඔස්සේ සිතන්නට, පාඨකයා පොළඹවන බැවිනි. පොතක් කියවීම, ක්ෂණිකව සාදන රසකැවිල්ලක් අනුභව කිරීම හා සම නොවන්නේය. කිසියම් ග්‍රන්ථයක ඇති සන්දර්භය, අප තුළ ඇතිකරවන්නාවූ භාවමය කුළුගැන්වීම්, ලෝකය දෙස අප බලන දෘෂ්ටිකෝණයේ, පුළුල් වෙනස් කිරීම් ඇතිකිරීමට හේතු වන්නේය. මිනිසත්භාවය පිළිබඳව, යළි සිතාබලන්නට අනුබල දෙන්නේය. මේ ග්‍රන්ථය, එවැනි ආකාරයේ, මනසට ආහාරයක් ලෙස හඳුන්වන්නට, මම කැමැත්තෙමි. පොතේ අවසන් කොටසේ පිටු කීපයක් ඔබවෙත දක්වමින්, මේ ලිපිය අවසන් කරමි.