මම හිතන්නේ, ව්‍යවහාරික වර්ෂ ක්‍රමය නිසා, ජනවාරි පළමුවැනිදා, කිසියම් ආරම්භයක් ලෙස සළකනු විනා, සැමරුමක් ලෙස සළකා කටයුතු කිරීම අපේ රටේ බොහෝ දුරට සිදුවන්නේ නැහැ. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද තමයි සැමරුමක් ලෙස වඩාත් තැනක් ලබන්නේ. එතැනදී නම් චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැනක් ලැබෙනවා. චාරිත්‍ර වාරිත්‍ර කියන්නේ කලයුතු දේ සහ නොකර වැළකී සිටියයුතු දේ කියන එකනේ. ඒවා අනුගමනය කිරීම හොඳයි. බාල පරපුරත් ඒ වෙත යොමුකිරීම හොඳයි. හැබැයි එය අන්ධානුකරණයක් නොවියයුතුයි. අද ඉන්න ළමයි තර්කානුකූලව විමර්ශනශීලීව ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න මේ චාරිත්‍ර වාරිත්‍ර ගැන වියහැකියි.
මට මතක් වෙනවා බොහොම කාලෙකට ඉහත මා දුටු පුවත්පත් කාටූනයක්. මගුල් ගෙදරකට ගිය කුඩා දරුවකු (අර හැමදේම ගැන නොකඩවා ප්‍රශ්න අහන වයසක් තියෙන්නේ. අන්න ඒ වයසේ ළමයෙක්. මම දැකලා තියනවා හරකුන්ටත් වඩා පහළ මට්ටමේ මොළයක් තියන දෙමවුපියෝ, එවැනි ළමයින්ට තරවටු කර කටවසා, ඒ ළමයා සදාකාලික මොට්ටයෙක් කරන හැටි) තමන්ගේ පියාගෙන් විමසනවා 'අර මොකද තාත්තේ අර මනමාලයාගෙයි මනමාලිගෙයි ඇඟිලි දෙක එකට අල්ලලා බැඳලා තියෙන්නේ' කියලා. තාත්තා කියනවා 'ඒ පුතේ අර කුඹුරේ හානකොටත් ගොන්නු දෙන්නා එකට බඳින්න එපායැ. අන්න ඒ වගේ තමයි' කියලා. :D
හොඳයි, දැන් කොහොමද අළුත් අවුරුද්ද කියන එක හැමදාම තියාගන්නේ? ජනවාරි පළමුවැනිදාත් වෙනදා වගේම ඉර පායලා බැහැලා යනවා. ආයෙ අපට පුළුවනෑ ඒක අතින් අල්ලලා නවත්තන්න. අතින් අල්ලලා නවත්තන්න බැරි නම් අපි කරන්න ඕනේ හිතින් අල්ලලා නවත්තගන්න එක. ඔය බොහොමයක් දේවල් තියෙන්නේ අපේ හිතේනේ. අපි නිතර හිතෙන අලුත් වෙනවානම් (වෙන්න පුළුවන්නම්) අළුත් අවුරුද්ද අපේ හිතේ දිගටම තියනවා. ඒ කියන්නේ උදාවන හැම දවසම අලුත් දවසක් කියනඑක අඩු ගානේ උදේ වරුවටවත් හිතේ ධාරණය කරගන්න පුලුවන්නම් එය අපේ සාර්ථකත්වයට හේතුවක් වෙනවා. ඔව්වා කරන්න ආය මේ ධනාත්මක චින්තන පාඨමාලා කරන්න අවශ්‍ය නැහැ. හොඳයි, දැන් මම ඔබට පුංචි යෝජනාවක් කරන්නයි හදන්නේ. මොකක්ද දන්නවද? මම පහත සඳහන් කරනවා කරුණු දහයක්. හිතලා බලන්න මේ දේවල් හාරන්න පුලුවන්ද බැරිද කියලා. ඉස්සරවෙලාම කරුණු දහය කියන්නම්කො.
1. දිනපතාම වගේ දකින (පාරේදී/බස් නැවතුමේදී/කෝච්චියේදී/කාර්යාලයේදී) එහෙත් තරහත් නැති, යාළුත් නැති කෙනෙකුට, සුබ උදෑසනක්/අද පරක්කු වුනා නේද/අද බස් නැද්ද/එපාවෙන වැස්සනේ/ වගේ වචනයකින් සංග්‍රහ කරන්නකෝ.
2. ඔබේ රැකියාව අභියෝගයක් කරගන්න. එය ජයගන්නට උත්සාහ කරන්න. දවස අවසානයේ සතුටුවියහැකි කාර්යභාරයක් අවසන් කරන්න. අද කොහොමහරි ඉවසීමෙන් වැඩ කරනවා. ඔෆිස් එකේදී කේන්ති ගන්නේ නැතුව ඉන්නවා කොච්චර වැඩ ආවත්. ඔන්න ඔයවගේ සිතුවිල්ලක් දෙකක් දෙකක් දිනපතාම හිතේ ඇතිකරගන්නකෝ.
3. උදේට වැඩට යන්න පෙර හෝ රාත්‍රියේ නිදාගන්න යන වෙලාවටවත් තමන්ගේ ආගම සිහිකරන්නකෝ. (මහා කැලේ ගස් යට කූඩාරම් වල ඉඳගෙන යුද්ද කරන සෙබළු බොහොමයක් දිනපතා ආගම අදහන්නේ ජීවිතයට තියන බය නිසා නෙවෙයි. භික්ෂූන් වහන්සේලා යුද බිමට ඇවිත් කළ ධර්මදේශනා ඇසීමෙන්) මම රෑ වෙනතුරු පරිගණකයේ එල්ලිලා ඉඳලා, නිදාගන්න යන්නේ, අපේ ගෙදර තැන්පත් කර තිබෙන බුදු පිළිමය පසුකරගෙනයි. ඉතින් අනිවාර්යයෙන්ම මතකයට එනවා ආගම සිහිකරන්න, නිදාගන්නට පෙර.
4. අද මම මෙන්න මේ හොඳ දේවල් කළා කියලා මතක්කරන්න නින්දට පෙර.
5. විනාඩි පහක්වත් වෙන්කරගන්න සිරුර සැහැල්ලුවෙන ව්‍යායාමයක් කරන්න. (වෙහෙසවී වැඩ කරන අයටත් තියනවා සිරුරට සහනය දෙන එවැනි ව්‍යායාම)
6. ඔබ නිතර ලියන කෙනෙක් නෙවෙයිනම් දිනපොතක හෝ හැමදාම මොනවාහරි සටහන් කරන්න. විශේෂයෙන් තමන්ගේ සිතුවිලි සටහන් කිරීම සිත සැහැල්ලු කරගැනීමේ එක සාර්ථක ක්‍රමයක්.
7. ලිවීම වගේම තමයි කියවීම. මමනම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ පොතක් කියවීමෙන් ලැබෙන වින්දනය බ්ලොග් කියවීමෙන් ලැබෙනවා කියා. ඒ නිසා මුද්‍රිත පිටු කියවීමත්, දැනුම දියුණුවන, මනසට විවේකයක් දෙන, හොඳ ව්‍යායාමයක්.
8. ගෙදර තියන ප්‍රශ්න කාර්යාලයටත්, කාර්යාලයේ තියන ප්‍රශ්න ගෙදරටත්, ගෙනයාම/ගෙන ඒම වළක්වාගන්න සියළු උත්සාහ දරන්න.
9. දිනපතාම ඔබේ අසල්වැසියන්ගෙන් එක්කෙනෙකුටවත් කතාකරන්න. ඒ අසල්වැසියාට කරදරයක් නොවේනම් විනාඩි පහක්වත් ඒ ගෙට ගොඩවී කතාකරන්න. යටත්පිරිසෙයින් දුරකථනයෙන් වත් කතාකරන්න. ගෙදර හදන කෑමබීම වලින් මොනවාහරි ඉඳහිටවත් දෙන්න. ආපසු බලාපොරොත්තු නොවන්න.
10. ඔබේ දුර්වලතා හඳුනාගන්න. අනෙක් අය නිරීක්ෂණය කරන ඔබේ දුර්වලතා මගහරවා ගන්නට පැහැදිලි සැලැස්මක් හදාගන්න. (මම මේ දිනවල අධිෂ්ඨාන කරගෙන තිබෙන්නේ අන්‍යයන් උවමනාවට වඩා විශ්වාස කිරීමේ දුර්වලත්වය මගෙන් ඉවත් කරගැනීමටයි)
මම මෙතන කිව්වේ කරුණු 10 ක් පමණයි. තව කරුණු එකතු කරන්න පුළුවන්. නමුත් මම හිතුවේ 10 ක් පමණක් කියන්නයි. අපි හැමදෙනාටම හැමදාම මේ ඔක්කොම කරන්නට බැහැ. මෙය අපේ චර්යාවන් වෙනස්කරගැනීම සඳහා කිසියම් රුකුළක් කරගැනීම තමයි කරන්න පුළුවන්.
අධිෂ්ඨානය
බුද්ධිය
චිත්තධෛර්යය තුළින්
සුබ නව වසරක් උදාකරගැනීමට
ඔබට හැකිවේවා!