අලුත් අවුරුද්දේ දෙවැනි දවසේදීම සාක්කි කාරයෙක් වෙන්න උනානේ මට. මීට කලිනුත් මේ වගේ සාක්කි කාරයෙක් වෙලා තියනවා. අම්මපා මේ සාක්කිය අර උසාවියේ සාක්කි කීම තරම් වැදගත් විදිහට නොසැළකුවත්, මොකක් හෝ නීති හුටප්පරටක් වුනොත් එහෙම කපෝතියි නේද? ඒ නිසා ඔය කිව්ව පලියට සාක්කි කාරයෙක් නොවී, කරුණු සොයා බලා සාක්කි කාරයෙක් වීම තමයි ණුවනට හුරු. නෑ මම මේ කිව්වේ, අද මම ගියා දඹුල්ල ප්‍රදේශයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකට. ඒ මංගල්‍යයේදී මනමාලයාගේ පාර්ශ්වයේ සාක්ෂිකරු ලෙස අත්සන් කරන්නටත් සිදුවුනා මට.
(මේ දැන් මතක් වෙච්චි පොඩි රහසක් කියන්නද මගේ විවාහ සහතිකයේ තිබෙන අත්සන අද මා පාවිච්චි කරන අත්සනට සමාන නැහැ. කාටද අප්පා පුළුවන් අවුරුදු 32 කට කලින් අත්සන් කරපු විදිහටම අදත් අත්සන් කරන්න. නෑ මේ මම කියන්න හැදුවේ මේ තියෙන්නේ මගේ අත්සන නෙවෙයි කියලා අද මට උසාවියකදී කියන්න බැරිවෙයිද දන්නේ නෑ. හපොයි මේ ටික ලිව්වේ පස්ස හැරී හැරී බලබලා බැරිවෙලාවත් ලොක්කි මේ පැත්තට එයිද කියලා)
මේ මනමාලියි මනමාලයයි විශ්ව විද්‍යාල පෙම්වත්තු. මනමාලි කැකිරාවේ. මනමාලයා කෑගල්ලේ. (කැ කෑ) මනමාලි රැකියාව කරන්නේ කැකිරාවේ, මනමාලයා රැකියාව කරන්නේ කොරියාවේ. (කැ කො) අනේ ඒ කොල්ලාට ප්‍රමාණවත් නිවාඩුවක් දීලා නැහැ කොරියාවෙන්. ආයේ ගියාම එන්නේ අවුරුදු තුනකින්ද කොහෙද. ඒ එනකොට අවුරුදු තුනක දරුවෙක් හිටියොත්? එකා මරහඬ තියයි මේ මොකාද ආවේ කියලා. මෙන්න මේ තියෙන්නේ මුන් දෙන්න අමාරුවේ වැටිච්ච තැන.
අපේ උන්දැගේ එක අක්කා කෙනෙකුගේ පුත්තරයත් සාර්ථකව ඒ වැඩේ කරලා තියනවා. ඌ මැද පෙරදිග රැකියාවක. මෙන්න මෙහෙ උගේ ඇඹේණිය නලවනවා ඌ තවම දැකලාවත් නැති දරුවා. (පින්තූරනම් යවන්න ඇති)
අද තිබුණු මංගල්‍යයේ දෙන්නම මගේ ලොකු දුවගේ විශ්වවිද්‍යාල සගයෝ. (සගයා කිව්ව්වට සගයී කියන්නේ නැහැ නේද?) මනමාලී පහුගිය කාලේ කීප වතාවක් අපේ ගෙදර ආවා, මංගල්‍ය උත්සවයට අවශ්‍ය අඩුම කුඩුම ගන්නයි, තව ඔය එක එක විච්චූරණ වලටයි. අපේ දෝණියන්දෑ තමයි නගරයට එක්ක ගිහින් අතේ තියන සේසතම ඉවරවෙන සාප්පු ඒ ළමයට පෙන්නුවේ. අනේ ඉතින් ඒ දැරිවිත් අරාධනා කොලේ නැතැයි, ඔක්කොම වරෙල්ලා කියලා අපේ පවුලටම. හොඳ වෙලාවට අපේ චූටි දුවට තවම අවසාන විභාගේ පැවැත්වෙනවා වෙද ඉස්කෝලේ. ඒ නිසා එයා අවේ නැහැ. හතරදෙනාම සූරයෝ වගේ ගියානම් සෑහෙන්න වටිනා ත්‍යාගයක් දෙන්න වෙනවා. ඒ නිසා තුන්දෙනා ඩබල්දාලා නෑ නෑ තුන්දෙනා ගියා. දැන් කාලේ අමාරුයි අනේ. එක දිගට මගුල් ගෙවල් හතර පහකට යන්න වුනොත්, ඒ ජෝඩු ඔක්කොටම සිද්දවෙනවා, හිඟමනට වැටී මියගිය මගේ මළ ගෙදරට එන්න.
මේ ඉන්නේ මෙව්වට උල්පන්දම් දෙන සැට් එකක්.
හනේ මන්දා, මගුලක් කන එකත් පණ යන වැඩක් කියලා හිතෙන්නේ මෙව්වට තමයි. අම්මපා ජම්පිං ගොයිං ලාබයි කියලා හිතෙන්නේ ඔන්න ඔය වෙලාවට. රෑ දෙකටලු මනමාලිටයි මනමාලයාටයි අන්දන්න පටන්ගත්තේ. හරී සනීප ඇති අර උඩරට ඇඳුම ඇඳගෙන රෑ දෙකේ ඉඳන් හවස හතර පහ වෙනකල් ඉන්නකොට. ඇයි දෙයියනේ ඔය ජාම වෙලාවට යක්කු පෙරේතයොත් බැල්ම හෙලනවානේ. අනේ අම්මෝ ඔව්වට අපි මොකවත් කියන්න යන්න හොඳ නෑ. පොන්ත නෝනගේ කොන්ඩේ බඳින්නේ පොන්ත නෝනට ඕනේ විදිහටයි කියනවලුනෙ. හැබෑටම මනමාල මනමාලියන්ට ඇන්දවීම/රූපාලංකාර කටයුතු, ඡායාරූප ගැනීම, කේක් හැදීම, ඇඳුම් මැසීම ආදී මෙකී නොකී දහසකුත් එකක් දේවල් නිසා තම බඩවියත රැකගන්න (අහිංසකයන් හූරාකන) කී දාහක් අද මේ රටේ ඇද්ද? යන්නන් වාලේම නොගිහින්, තමන්ට ගැලපෙන විදිහට තමන්ගේ මංගල්‍යය සැලසුම් කරගන්නේ කීයෙන් කීදෙනාද? හැබැයි මේ ජෝඩුවත් අනවශ්‍ය විච්චූරණ කරලා තිබුනේ නැහැ. සරලව එහෙත් අලංකාරව සියල්ල සිදුවුනා. ඉතින් මම සිහිවටනයක් වශයෙන් මගේ ජංගම දුරකතනයෙන් ලබාගත් පහත දැක්වෙන පින්තූරයත් සමගින් මේ දෙන්නට සුබ පතනවා.