රන බළලුව නමැති අගනා ළමා නව කථාව හඳුන්වාදෙමින් මා ලියන ලද ලිපියේ පළමුවැනි කොටස ඔබේ අවධානය ග්‍රහණය කරගැනීම පිළිබඳව මා බෙහෙවින් සතුටු වෙනවා. ඇත්තටම අන්තර්ජාලයේ ලිපි කියවීමට වඩා තවමත් බොහෝ දෙනෙකු කැමති වෙන්නේ මුද්‍රිත ලිපි කියවීමට බව රහසක් නොවෙයි. මේ ලිපියේ පළමුවැනි කොටසේදී මා සඳහන් කළා, රනබළලුව කතාවේ, අපූරු දේශපාලන සහ සමාජ තොරතුරු විවරණයක්ද ගැබ්වී ඇති බව. අද මා ඔබට ඒ තොරතුරු ගෙන එන්නයි අදහස් කරන්නේ. එදා 1960 දශකයේදී ලියවුනු මේ කතාවේදී, කතුවරයා ඉතා සියුම්ව ඇතුළත් කර ඇති දේශපාලන ප්රහසනයන්, අදටත් වලංගු බව, මේ කතාව කියවද්දී පෙනීගිය අතර, එයින් මා තරමක් විශ්මයට පත්වුයේ, අපේ රටේ හැමදාමත් දේශපාලනය එකම රටාවේ පවතින්නක් නොවේද යන්න පසක් කිරීමෙනුයි.
ඒ දේශපාලන ප්‍රහසනය පටන්ගන්නේ මෙහෙමයි. බරණැස් නුවර රජකම් කළ චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට අවශ්‍ය වෙනවා, වේදේහ රජ්ජුරුවන්ට අයත් මියුලු නුවර යටත් කරගන්න. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ දන්නවා වේදේහ රජ්ජුරුවෝ ගෑණු පෙරේතයෙක් බව. ඒ නිසා පොඩි උගුලක් අටවනවා. ඒ තමයි, බ්‍රහ්මදත්ත රජුගේ දියණිය වන, අතිශයින් රූමත්, පංචාලචණ්ඩි කුමාරිකාව, වේදේහ රජ්ජුරුවන්ට අගමෙහෙසිය ලෙස සරණපාවා දීමට යෝජනාවක් කරලා, පණිවිඩ පතක් සමග රාජ දූතයකු මියුලු නුවරට යැවීම. වේදේහ රජ්ජුරුවෝ නිකම් මොකක්ද මොකක්ද වෙලා යනවා, මේ යෝජනාව ගැන කොපමණ සතුටට පත්වුනාද කියනවනම්. හැබැයි එක දෙයක් තියනවා මනමාලයාගේ මිනිබිරියකගේ වයසේ තමයි මනමාලිය ඉන්නේ. කොහොමද වැඩේ? වේදේහ රජ්ජුරුවෝ වහාම තමන්ගේ කැබිනට් එක රැස් කරනවා, වහාම මංගල්‍යය සූදානම් කරන්න. (හිල්ටන් එකේද දන්නේ නෑ :D) ඔන්න බලන්නකෝ අදාළ පිටු ටික.
ටිකක් හිතලා බලන්න. මෙහි යටිපෙළ අරුත එදාට වගේම අදටත් වලංගුයි නේද? අන්න ඒ නිසයි, මේ අගනා ග්‍රන්ථය, සර්වකාලීන වටිනාකමක්, වලංගුභාවයක්, ඇති ග්රන්ථ රත්නයක් ලෙස හඳුන්වන්නට, මා පසුබට නොවන්නේ. කතාවේ දෙවැනි භාගයේදී, පැරණි වැඩවසම් රදළ සමාජයට හොඳ අතුල් පහරක් එල්ල කරන්නත්, මේ අති දක්ෂ කතුවරයා අමතක කර නැහැ. මෙන්න ඒ කොටසේ ආරම්භය.
මහෞෂධ පඬිතුමා, විද්‍යාඥයන් ගේ ආධාරයෙන්, රන්වන් කෙඳි සහිත බළල්ලු ඔක්කොම, අඟහරු ලෝකෙට යවනවා. නැත්නම් වේදේහ රජ්ජුරුවෝ උන්ව අල්ලාගෙන මරලා, කෙඳි අරන්, පංචාලචණ්ඩි කුමාරිකාවට තෑගි දෙන්න සළුවක් වියයි කියලා. ඔන්න ඉති රන්වන් බළල්ලු අඟහරු ලෝකේ හොඳින් ඉන්නවා.
ඔන්න ඉතින් මගුල් කපුවා යනවා සූර්ය දිවය රාජයා හොයාගෙන. ගිහින් නොයෙක් ආකාරයෙන් අර බැළලි ගැන වර්ණනා කරලා, පින්තූරෙකුත් පෙන්නලා, අන්තිමට යෝජනාව ඉදිරිපත් කරනවා. එතකොට සූර්ය දිවය රාජයා මොකද කිව්වේ කියලා බලන්න, පහළින් දක්වා ඇති පිටුවෙන්.
කපුවා යනවා වස්සවළාහකයා හොයාගෙන. ගිහින් යෝජනාව ඉදිරිපත් කරනවා. මොකද වෙන්නේ.............?
දැන් ඉතින් කපුවා යනවා වාතවලාහකයා හොයාගෙන. ගිහිල්ල ඉදිරිපත් කරනවා මංගල යෝජනාව.
දැන් ඉතින් පලයල්ලකෝ හුඹහක් හොයාගෙන. කපුවා වැඩේ අතාරින්නෙ නැහැ. යනවා හුඹහක් හොයාගෙන. ගිහිල්ල ඉදිරිපත් කරනවා මංගල යෝජනාව.
කපුවා ලිස්සගෙන ගිහින් නවතිනවා ගොනා ළඟ. ගොන් මනමාලයා මොකක් කියයිද?
මොනවා කරන්නද කපුවා අමාරුවෙන් මහා කැලේට ගාටනවා කොටියා හොයාගෙන. කොටියට බොහොම ආදරෙන් මංගල යෝජනාව ඉදිරිපත් කරනවා.
මේ රදළ පවුලේ තිබුණු උද්ධච්ඡ කම එයින් වත් නතර වෙන්නේ නැහැ. 'තමන්ගේ තත්වයට ගැලපෙන විදිහට වැඩ කරනු' යනුවෙන් මේ කතාවෙන් දෙන ආදර්ශය ඔවුන් තේරුම් ගන්නේ නැහැ. ඔවුන් අඟහරු ලේකෙට යවනවා කාපුවැව රත්තරන් බළල් මනමාලයකු හොයන්න.
පොත අවසන් වෙන්නේ, කතානායකයා හමුවීමට පැමිණි බලලා, අඟහරු ලෝකයේ ඉන්න බළලුන්ගේ රෝග සුවකිරීම සඳහා, ලංකාවෙන් සොයාගත් කුප්පමේනිය ටිකකුත් රැගෙන, ආපසු අඟහරු ලොව බලා යාමෙන්.
මා හිතනවා ඔබට මේ අගනා කෘතිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි කියා. මා මුලින් හිතුවේ පොතේ සෑම පරිඡේදයක්ම කොටස් වශයෙන් පල කරන්නටයි. නමුත් පරිඡේද 13 ක් තිබෙන නිසා දීර්ඝ කාලයක් ගතවන බැවින් මෙලෙස හැකිතරම් සංක්ෂිප්ත කොට ඉදිරිපත් කළා. ඇත්තවශයෙන්ම මෙය සොයාගෙන කියවන්නට වටිනා පුස්තකයක්. රන බලලුව පිලිබඳව කොටස් දෙකකින් ලියන ලද ලිපිය මෙතෙකින් අවසන් වෙනවා.