මේ සටහන තබන්නේ සතුටෙන් නෙවෙයි. කලකිරීමෙන්. මෙවැන්නක් ලියන්න මා හිතා හිටියේ නැහැ. අලුතෙන් ආරම්භ කළ, 'කරන්න දෙයක් නෑ' ලිපියේ ඉතිරි කොටස් සඳහා වෙහෙසෙමින් සිටින අතර, හදිසියෙන් මෙය ලියන්න සිදුවුණේ.
(පින්තූරය ගත්තේ මෙතනින් )
අපේ රටේ තිබෙන කාලකන්ණි දේශපාලන ස්වරූපය, කදිමට නිරූපණය කරන අවස්ථාවකට, අද මට මුහුණ දෙන්නට සිදුවුණා. කතාව හැකි තරම් කෙටිකර කියනවා නම්, මෙන්න මෙහෙමයි.
පෞද්ගලික අවශ්‍යතාවක් නිසා අද මට කොළඹ ගොස් එන්නට සිදුවුණා. ඉන්ධන වියදම් කරගෙන, ඒ මදිවට පාරේ යන වලවෙට්ටු ඩ්‍රයිවර්ලා සමග වෙට්ටු දමමින්, වාහනය පදවාගෙන, ලේ කෝප කරගෙන යනවාට වඩා, කෝච්චියේ ගිහින් එන්න හිතාගෙන හිටියේ, ඊයේ පෙරේදා ඉඳලා. නමුත්, දුම්රිය රියැදුරු වර්ජනයක් තිබෙන නිසා, ඊයේ (ඔක්තෝබර් 9) ගියේ නැහැ. දුම්රිය ගමන පහසුයි, ඉක්මන්. බස් එකේ යාම වෙහෙසයි. බස්වල දාලා තියන, සින්දු යනුවෙන් නම්කර ඇති, වමනේ යන වර්ගයේ ඝෝෂා, පිත කෝප කරවන සුළුයි. නමුත් අද වත් (ඔක්තෝබර් 10) නොගියොත්, මේ ගමන අනවශ්‍ය ලෙස කල් යනවා. එයින් තුන්වෙනි පාර්ශ්වයකට කරදරයක් සිදුවෙනවා. ඒ නිසා, අමාරුවෙන් හෝ බස් එකේ යන්න හිතාගෙන, ඊයේ නින්දට ගියා.
නමුත් මට පාන්දර ඇහැරුණා, කර්ණ රසායන හඬකින්. ඒ කියන්නේ පාන්දර 4.33 කෝච්චිය යන සුමධුර හඬින්. :e මම වහාම අපේ ජනාධිපතිනියට කිව්වා, 'මම බස් එකේ යන්නේ නැහැ. හතරහමාරේ කෝච්චිය ගියානම්, ඊළඟට හය සහ හයහමාර කොච්චි දෙකත් යයි. ඒ නිසා මම කෝච්චියෙම යනවා' කියා. ඔන්න ඉතිං ඇඳ පැළඳගෙන ගෙදරින් එලියට බැස්සා, දුම්රියපොළට යන්න බස් එකට නගින්න. මම කියලා ඇති මීට කළින් ලිපියක, මම වාසය කරන්නේ නියම 'පතිරූප දේශයක' කියලා. මීටර් 50ක් වත් යන්න ලැබුණේ නැහැ, මගේ මිත්‍රයෙක් මාව දැකලා ඇහුවා, කොහෙද යන්නේ කියලා. මම කිව්වා කොළඹ යන්න මේ ස්ටේෂන් එකට යනවා කියලා. 'ඔහොම ඔන්න, ඔහොම ඉන්න, මම කාර් එකෙන් ගෙනිහින් දාන්නම්' කියලා, බලෙන්ම වගේ මාව එතුමාගේ කාර් එකෙන් ස්ටේෂන් එකට ගෙනිහින් දැම්මා. මට විතරක් නෙවෙයි, උදේට පාරට බහින අපේ පැත්තේ බොහොමයක් අයට, මෙවැනි සත්කාර ලැබෙනවා. තමන්ගේ දරුවන් සේ සළකා, අනුන්ගේ දරුවන්ද තම වාහනයෙන් උදේට පාසලට ඇරලවීම, තමන්ගේ දරුවන් සමග ප්‍රමාද වෙමින්, අනුන්ගේ දරුවන් සිටින පාසල් වෙත ගොස්, ඔවුන්ද දමාගෙන ඒම, (ඔව්, හවසට වැඩ ඇරිලා එන අනුන්ගේ නෝනලාත් දාගෙන එනවා. තමන්ගේ නෝනා දකිනවා, අනුන්ගේ නෝනාව, ඒ නෝනාගේ ගෙදරටම ඇරලවා එන හැටි. නමුත් එතනින් එහා කිසිදෙයක් නැහැ) දිනපතා සිදුවෙනවා.
අම්මෝ......ස්ටේෂන් එකේ මහා සෙනගක් ඉන්නවා. දැන් මොකැයි කරන්නේ. ඔන්න ඔහේ එල්ලිලා හරි යනවා කියලා හිත හදාගත්තා. ටිකට් කවුන්ටරේ තවම වහලා, කෝච්චිය එන්ඩ තව විනාඩි 15ක් විතර තියෙන්නේ. වැඩ කරන කවුරුවත් පෙනෙන්න නැහැ. මම අඳුනන පොලිස් රාළහාමිලා දෙන්නෙක් ස්ටේෂන් එකේ ඉන්නවා නිළ ඇඳුමෙන්. මම එයාලගෙන් ඇහුවා, 'බලන්නකො ටිකට් කවුන්ටරේ වහලනේ කොහොමද ටිකට් ගන්නේ' කියලා, 'අද ස්ට්‍රයික් නේ මහත්තයා, ටිකට් දෙන්නේ නැහැ, අපි මෙතන ඩියුටි ඉන්නේ, ඔන්න ඔහේ කෝච්චියට ගොඩවෙලා යන්න' කියලා එයාලා කිව්වා. මේ වෙලාවේම, දිනපතා කෝච්චියේ කොළඹ යන මගේ යාලුවෙක් ආවා. මම මේ ප්රශ්නය එයාට කිව්වා. 'අයියෝ ......මහත්තයා, ඊයෙත් මිනිසු ආවේ ටිකට් නැතුව, අල්ලන්නේ නැහැ, බයනැතුව යන්න' කියලා එයා කිව්වා.
ඔබට දැකලා ඇති නේද, ස්ටේෂමක තියන අර සංඥා උපකරණයක් තියනවා, බෙල් එකක් වදිනවා, ඊට පස්සේ අර ටැබ්ලට් කියන පිත්තල කෑල්ල එලියට එනවා. ඒක අර වලල්ලේ දාලා එන්ජිමට දෙනවා, අද මෙව්වා මොකුත් නැහැ. හිටපු ගමන් රේල් ගේට්ටුව වැහුවා. ඒ වෙලාවට වදින බෙල් එක වැදුනෙත් නැහැ. කෝච්චිය ආව, හෝන් ගහන්නේ නැහැ. අනේ........වෙනදට කට කපලා එන කෝච්චියේ සෙනග නැහැ. ඒ නිසා වාඩිවෙන්නත් ඉඩ තිබුණා. ඔන්න ඉතිං ටික දුරක් යනකොට සෙනග නොහිටියේ කෝච්චියේ වහලයේ විතරයි. හැබැයි මට බයයි, ලැජ්ජයි, කොයි මොහොතේ හෝ ටිකට් පරීක්ෂකවරු එයි කියලා. නමුත් ආවේ නැහැ. මම හිතාගත්තා, මගේ හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත, ඔක්කොම පෙන්වනවා කොටුව දුම්රියපොළේදී. පෙන්නලා, ඇත්තම කියලා, ටිකට් එකකට මුදල් ගෙවනවා කියලා. නමුත්, මහා පුදුමයක්. කොටුව දුම්රියපොළේ ගේට්ටු හායි ගාලා ඇරලා දාලා. ටිකට් බලන අය පැත්ත පළාතේ නැහැ. ටිකට් කවුන්ටර් වහලා. මොනවා කරන්නද? මම එළියට ගියා.
මගේ වැඩ කටයුතු අවසන් කරගෙන, ආපහු පිටත්වෙන්න කළින්, මම අපේ ඇත්තිට ඇමතුමක් දුන්නා, 'මම දැන් ආපහු එන්න බස් නැවතුම්පොළට එනවා' කියලා. එයා උත්තර දුන්නා, 'නෑ නෑ මෙන්න රේඩියෝ එකේ කිව්වා, කෝච්චි 42ක් දිව්වා කියලා, ඒ නිසා කෝච්චියෙම එන්ඩ' කියලා බොහොම සතුටෙන් කොටුව දුම්රියපොළට ආවා. අනේ.........උදේ වගේම පාලුයි. ටිකට් කවුන්ටර් වහලා, ඔක්කොම ගේට්ටු ඇරලා, සමහර මගීන්, පිටවීමේ දොරටු වලින් ඇතුළට යනවා. ඇතුළුවීමේ දොරටු වලින් එළියට එනවා. කාර්ය මණ්ඩලය කියලා කවුරුවත් නැහැ. පොලීසියේ මහත්තුරු දෙන්නෙක් හිටියා. මම ඇහුවා 'කෝච්චි තියනවද?' කියලා. මගේ ගමනාන්තය අහලා, එයාලා කිව්වා, 'ඔය පළවෙනි වේදිකාවේ තියන කෝච්චිය, තව පැය බාගයකින් යනවා කියලා, දැනගන්න තියනවා' කියලා. (ලැයිස්කීපරෙත් වහලා) එයාලා ඒ බව දැනගත්තත්, මොකක් හෝ හේතුවක් නිසා, ස්ථිරව කියන්නේ නැති බව පෙනුණා. මම ඇහුවා, 'ටිකට් ගන්නේ කොහොමද?' කියලා. 'ටිකට් ප්‍රශ්නයක් නැහැ, මහත්තයා යන්න' කියලා කිව්වා. මොනවා කරන්නද, මම කෝච්චියේ නැගලා ගෙදර ආවා. කෝච්චියේ එන මගීන් බොහොමයකගේ හිත සතුටෙන් පිරිලා, හිනාවෙනවා ඔක්කොම, 'හැමදාම මේ වගේ නිකං යන්න තියනවනම් මරුනේ' කියලා එක මගියෙක් කිව්වා.
ඇත්තටම මේක සතුටට කාරණයක්ද? අපි ගමන් කළේ නිකං ද? මේ දින දෙක තුළ දුම්රිය දෙපාර්තමෙන්තුවේ පාඩුව මිලියන 100ක් විතර ඇතිලු. කවදා හෝ පොළියත් එක්ක ඒ ඔක්කොම ගෙවන්නේ, කෝච්චියේ යන නොයන, මේ රටේ මහජනතාව නොවේද? මිහින් ලංකා ගුවන් සේවයේ (සේවයේ?) මෙවර පාඩුව රුපියල් මිලියන 32000ක් කියලා අද පත්තරේක තිබුණා. දුම්රිය සේවකයෝ ඉල්ලන්නේ රු 1000 කට ටිකක් වැඩි වැටුප් වැඩිවීමක් ලු. ඇයි හත්ඉලව්වේ, මිහින් ලංකා එක මූදට තල්ලු කරලා, ඒ මකර කටට හැමදාම අයවැයෙන් ගිල්ලවන මිලියන් ගණන් සල්ලි වලින් කොටහක් දාලා, මේ ඉල්ලීම ඉටු කරලා, ස්ට්‍රයික් කරන එක දවසකට, දුම්රියෙන් වෙන මිලියන 50 කට වැඩි පාඩුව නවත්ත ගනිංකෝ.
දුම්රිය මගීන් දෙන්නෙක් පැමිණිල්ලක් ගොනු කරලා, අධිකරණ නියෝගයක් නිකුත් කරලාලු, වහාම ස්ට්‍රයික් එක අත්හිටුවනු, වැඩට එනු, ලබන 24 වැනිදා උසාවියේ පෙනීසිටිනු, කියලා. හොඳයි, අපි මොහොතකට මෙහෙම හිතමු, ස්ට්‍රයික් කාරයෝ කියනවා, 'අපිව හිරේ දමාපල්ලා, රස්සාවෙන් අස්කරපල්ලා, අපි එන්නෑ වැඩට' කියලා. ඉතිං උන්ව අල්ලාගෙන ගිහින් රිමාන්ඩ් කරනවා. නමුත් කොයි අප්පොච්චිගේ පුතාලා (නොදෝකිං, ඒ ....ගෙ පුතාලට පුළුවං අවලං වැඩ විතරනේ) දාලද කෝච්චි දුවවන්නේ. අනේ සාලේ............මේ එදාවේල හොයාගන්න බැරුව, ඔලුව ගිනි අරං දුවන මගීන්, උසාවිම යයි. අපි දන්නවනේ, බේකරි තියරියවත් හරියට බැරි 'වල් ගොම' කාරයා, මිනිහගේ හෙන්චයියලා දෙන්නෙක් යවන්න ඇති උසාවියට. නැත්තං 13 වෙනිදට යාපනේ කෝච්චිය දුවනවා බොරුයි. හොඳ හම්බන්තොට හුප්පද වලින් තමයි අහගන්න වෙන්නේ, ලොක්කාගෙන්. වල් ගොමයාට එන්.කුමාරිගේ ගවුම අස්සට තමයි රිංගන්න වෙන්නේ.
මතකද පහුගිය කාලේ ආණ්ඩුවෙන් නිවේදනයක් කරලා තිබුණා, විවිධ වෘත්තීන්හි නියැලෙන අය, යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට බඳවා ගන්නවා කියලා. ඔන්න ඒ වැඩේ වටිනාකම ආණ්ඩුවට තේරෙන්නේ, මෙන්න මේ වගේ වෙලාවටයි. මේ කෝච්චි කාරයෝ හමුදාවට බැඳිලා හිටියානම්, එක නියෝගයකින්, ඔවුන්ව හමුදා සේවය යටතේ කෝච්චි රාජකාරියේ යොදවන්න තිබුණා. මේ කපටියෝ ඒක දැනගෙන තමා, හමුදාවෙන් අමතර පඩියක් ගන්න පුළුවන්කම තියෙද්දිත්, හමුදාවට බැඳිලා නැත්තේ.
තම කුජීත දේශපාලන ක්‍රමය වෙත එල්ලවන අභියෝග, ඒකාධිකාරී බලය යොදවා මර්දනය කිරීම, හැමදාම කලහැකිවේයයි මේ මොට්ටපාලලා හිතනවාද?