මේ දිනවල තිබෙන ජනාධිපතිවරණ උණුසුම මුළු සිංහල බ්ලොග් ලෝකයම වසාගනිමින් පැතිරෙන බව පැහැදිලිවම පෙනෙනවා. බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙන්නේත් දේශපාලන භූමිය තුළ කෙබඳු වෙනස්වීම් සිදුවන්නේද යන්න දැනගැනීමටයි.
මගේ බ්ලොග් ලිපි ලැයිස්තුවේ සංස්කරණය කරමින් පවතින ලිපි කීපයක් තිබුණත්, මේ දිනවල ඒ ලිපි වලට එතරම් පාඨක අවධානයක් යොමුවේයැයි සිතන්නට අමාරුයි. ඒ නිසා මා සිතුවා, පසුගිය කාලයේ එදිනෙදා ජීවිතයේදී මා දුටු/නිරීක්ෂණය කළ දේවල් සමහරක් පිළිබඳව මතකය අවුස්සා, ඒ මතක සටහන් ඔබ සමග බෙදාගන්නට. මේ සියල්ල සරළ වින්දනයක් සඳහායි ඔබවෙත ගෙන එන්නේ. එතනින් එහා හිතන්නට එපා. නමුත් සමහර කරුණු ගැනනම් සාකච්ඡා කරන්නට වටිනවා.
1. ඔබ ජංගම දුරකථනය පාවිච්චි කරන්නේ කොහොමද?
ජංගම දුරකථන පාවිච්චි කිරීම පිලිබඳ චර්යා ධර්ම ඔබ මටත් වඩා හොඳින් දන්නවා. නමුත් මෙතැනදී මම කියන්නේ අර හැමදාම කියන අචාර ධර්ම පද්ධතිය ගැන නෙවෙයි. ඔබ දැක ඇති, සමහර අය ඇමතුමක් ගන්නාවිට, කථාකරන අවස්ථාවේදී, දුරකථනයේ මයික්‍රෆෝනය තමන්ගේ මුව අසළට ගන්නවා. තමන්ට කියන්නට අවශ්‍ය දේ කියා අවසන් කළ වහාම, නැවත දුරකථනය කණට තියාගන්නවා.
මටනම් මෙය ලොකු ප්‍රහේළිකාවක්. ඉතාම බාල දුරකථන වල සහ, විවිධ දෝෂ සහිත දුරකථන වල නම්, යම් යම් බාධා මතුවෙනවා ඇති. එහෙත්, ඉතා නවීන ජංගම දුරකථන පාවිච්චි කරන අයත්, අර මා කියා ඇති ආකාරයට කතාකරනවා. එහෙම කරන්නේ ඇයි? දුරකථනය සාමාන්‍ය විදිහට කණට තියාගෙන කතා කරද්දී, දුරකථනයේ මයික්‍රෆෝනය තිබෙන්නේ ඔබේ මුවට ඈතින් වුනත්, ඒ අධි සංවේදී මයික්‍රෆෝනය, ඔබේ හඬ හොඳින් ග්‍රහණය කරගන්නවා නේද? නොඑසේනම්, දුරකථන නිෂ්පාදකයා උපදෙස් පත්‍රිකාවේ කියනවානේ, කතාකරන විට මයික්‍රෆෝනය පිහිටි ස්ථානය මුව අසළට ගන්න කියා. මේ පුරුද්ද තරමක් අවලස්සන සහ විකට ස්වරූපයක් ගන්නවා නේද?
2. මගුල් ගෙදරකටත් පෝළිම් ඕනෙද?
මේ අත්දැකීම මට බොහෝ වාර ගණනක් ලැබී තිබෙනවා. විවාහ මංගල්‍ය උත්සවයකට සහාභාගිවීමේදී, ආහාර ලබාගැනීමේ වෙලාව පැමිණිවිට, ආහාර පිළිගන්වන ස්ථානයේ ඉතා දිගු පෝළිමක් දකින්නට ලැබෙනවා. සමහර 'නෝනලා සහ මහත්තුරු' තමන්ගේ පවුලේ අය සහ දරුවන් ඇදගෙන දුවනවා මේ පෝලිමට. මෙතනට පෝළිමක් අවශ්‍යද? පෝළිමේ නොගියොත් කෑම නැද්ද? කෑම හදන්නේ ආරාධිතයන් සියල්ලටම සරිලන ප්‍රමාණයට නේද? මටනම් කවදාවත් විවාහ මංගල්‍යයකදී ආහාර නොලැබී ගිහින් නැහැ. ඒ වගේම හොඳ කෑලි ඉවරවෙලා කුණු හරිය හම්බවෙලත් නැහැ.
ඇයි මේ හදිස්සිය? මේ පෙන්වන්නේ අපේ චර්යාවේ දුර්වලකම් නේද? මේ සමග ඇති පින්තූරයේ තියෙන්නේ, ඊයේ මම සහභාගිවුණු විවාහ මංගල්‍යයක, අර වගේ තිබුණු පෝලිම. කෑම බෙදාගන්නා ස්ථානයේ සිට, ප්‍රධාන ශාලාව හරහා මේ පෝළිම දික්ව තිබුණා. මේ පෝළිමට යන්න ඉඩදෙමින්, මා හෙමින් හෙමින් මධුවිතක් තොල ගෑ අතර, ඉන්පසු කිසි කරදරයකින් තොරව ගොස්, මට කෑමට හැකි ප්‍රමාණයට, ගැලපෙන ආහාර ලබාගත්තා.
3. ප්‍රචාරණය හොඳයි, ගැලපෙනවානම්
මේ පින්තූරය මම මගේ ජංගම දුරකතනයෙන් ගත්තෙ, ලඟදි දවසක, සතොස වෙළඳසලකින් බඩු ගන්නට ගිය අවස්ථාවේදීයි. පොහ්....අපේ උන්දැගේ නිරීක්ෂණාක්‍ෂියට අහුවුණානේ, මම පොටෝ එකක් කෙළියා කියලා. සතොසෙන් එළියට ආව තැන ඉඳලා, මට ඔරවන්න ගොරවන්න පටන්ගත්තා. ගෙදර ඇවිත් පින්තූරේ පරිගණකයට දාලා, ලොකුකරලා පෙන්නලා මගේ අරමුණ පැහැදිලි කරලා දුන්නම තමයි, ගිනිකන්ද නිවුණේ. මට කියන්න තියෙන්නේ මේකයි, සෑම ව්‍යාපාරයකටම ප්‍රචාරණයක් අවශ්‍යයි. ප්‍රචාරණයක් නැති ව්‍යාපාර අසාර්ථකයි. නමුත් අපේ කමට ගැලපෙන විදිහට ඒ ප්‍රචාරණය කළයුතුයි. මේ බලන්න සතොසේ උදාන වාක්‍යය වන 'ඔබේම තැන' කියන එක කොහෙද සටහන් කරලා තියෙන්නේ කියලා.
4. මේවට හිනාවෙනවද අඬනවද?
අපි කවුරුවත් සර්ව සාධාරණ නැහැ. සම්පූර්ණයෙන් නිවැරදි නැහැ. මේ ලියන මා තුළත් කොපමණ ගතිගුණ ඇද්ද නිවැරදි කරගතයුතු. හදිස්සියට කලිසමේ සිප් එක දාගන්න අමතක වෙලා බස් එකට නගින අයත් ඉන්නවනේ. මේකත් අන්න එහෙම දෙයක්.
ඊයේ පෙරේදා දවසක, මමත් අපේ උන්දැත් ගියා, කළුතර දොඩංගොඩ ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා. දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් බැහැලා, මතුගම බස් එකකට ගොඩවුණා. අප්පොච්චියේ ඒ බස් එක ගිය ගොලුබෙලි වේගය නිසා මට හිතුනා, බැහැලා පයින් යන්න. හැබෑටම මුළු ලංකාවේම තියෙන්නේ මේ වගේ කාලකන්ණි (මිනිස්සුන්ගේ, රටේ, සමාජයේ, කාලය කා දමන) ප්‍රවාහන ක්‍රමයක් නේද? ඒ බස් එකට අතර මගින් කාන්තාවක් ගොඩවුණා. ඇය බස් රථයට නැග්ගේ කුඩා දියණියක්ද සමගයි. මහා පුදුම දෙයක් තිබුණා. ඇගේ හිසේ තිබුණා හිස පීරන පනාවක් සවි කරලා. හරියට අර තමන්ගේ ගායන නොහැකියාව පනාවෙන් වහගන්න හදන, ඊනියා 'ගායක පොජ්ජා' වගේ.
මට එකවරම වැටහුණා, ඇය වැරදීමකින් තමා මෙහෙම පනාව හිසේ තිබියදීම බසයට නැග්ගේ කියා. මා සිටියේ පසුපස ආසනයක. මා හිතුවා නැගිට ගොස් ඇයට කියන්න, පනාව තවම හිසේ තියෙන්නේ කියා. නමුත් ඇය මගේ ප්‍රකාශය කොහොම බාරගනීද? දුවන ගමන් පිස්තෝලය ඇදලා වෙඩි තියන්න දන්න මට, තත්පරයෙන් සීයෙන් එකකදී විතර, දුරකථනය ඇදලා අරං පොටෝ එකක් කෙළින්නත් පුළුවන්. මෙන්න පින්තූරේ. මෙය පළකරන්නේ මගේ කතාව සනාථ කිරීමට මිසක්, අර කාන්තාවට අපහාස කරන්න නෙවෙයි. මොකද මගේ බිරිඳට වුණත් මෙහෙම වෙන්න පුළුවන්.
පින්තූරය ගත් වහාම මම නැගිට්ටා ඇයට කියන්න මේ සිද්ධිය. නමුත් එවිටම වෙනත් කාන්තාවක් ඇයට ඒ බව කිව්වා. ඇත්තටම මෙය හිනාවෙන්න දෙයක් නෙවෙයි. අද අපි ඉන්න ලෝකයේ විවිධ ප්‍රශ්න ගොඩක් ඔලුවේ තියාගෙන තමයි අපි ගෙදරින් එළියට බහින්නේ. ඉතින් මේ ගෘහිණියටත් වෙන්න ඇත්තේ ඒකම තමා. නමුත් ගමනකට සූදානම් වෙලා, අවසාන මොහොතේ හදිසියෙන් ගෙදරින් එළියට බහිනවාට වඩා පෙරසූදානමකින් කටයුතුකිරීම හොඳයි නේද?
5. පනින්ට පෙර සිතා බලනු
ඊයේ පෙරේදා තවත් ආදී - පාද හමුවකට යන්නට මට අවස්ථාව උදාවුනා. ඒ ගැන පසුව ලියන්නම්. මතකයි නේද මම කලින් ලියපු ආදී - පාද හමුව? මේ ආදී - පාද හමුව පැවැත්වුනේ කොළඹින් බොහෝ ඈත. ඌව පළාතේ තැනක. එහෙ ගිහින් එනගමන් අපි කට්ටිය එක තැනක වහනය නැවැත්තුවා 'බර අඩුකරගන්න' මම කිව්වා ටිකක් වටපිට බලනවා හොඳයි අහළ පහළ ගෙවල් දොරවල් තියනවා, අනික මේ මහ දවාලේ කියලා. කිව්වා වගේම අහළ පහළට මේ වැඩේ නිරීක්ෂණය වුණා. ඒ මිනිස්සු මොකුත් කිව්වේ නැත්තේ, 'පොඩි කොල්ලෝ ටිකක් නිසා' වෙන්න ඇති. හැබැයි මගේ කැමරාවෙන් බේරෙනවා බොරුයි.
අදට ඇති නේද? තවත් තියනවා. බලමුකෝ පස්සේ වෙලාවක.