පොඃ .....................අම්මපා මේක පුදුම මගුල් සක්වලක්නේ. මගුල්, මගුල්, මගුල්, බැලූ බැලූ පැත්තේ මගුල්. කවුරුත් දන්නවානේ අපේ පවුලේ මගුලක් කාලා හුස්මක් ගත්තේ මේ ඊයේ පෙරේදා කියලා. අප්පොච්චියේ ඒ රස්නේ යන්ඩත් කලින් මෙන්න තව මගුලක් ආවේ නැතෑ. මේ මගුලට ආරාධනා පත්තරේ ඇවිත් තිබුණේ අපේ දුවගේ මගුලටත් කලින්.
හිතාගන්ඩ පුලුවන්ද මේ කවුද කියලා?
වෙන කවුරුවත් නෙවෙයි අනේ;
මදෑ, ඉඳලා ඉඳලා මූත් වැටුනනේ අමාරුවේ. මක්කා කොරන්ඩද ඉතිං. මෙව්වා කාලීන අවශ්‍යතා නේ. අප්පේ මූණ බලන්ඩ එපායැ අද ජෝඩුවගෙම. වෙසක් එකට තොරණේ බැලුප් දැම්මා වගේ ඕං දිස්නේ. හෙහ් හෙහ්.........අම්මපා ඇස්වහක් කටවහක් නෑ, නියමෙට ගැලපෙන ජෝඩුවක් කියලා කට ඇරලා කියන්ඩ පුළුවන්.
හරියා වැඩකරන කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන්ම තමා, මනමාල පොඩ්ඩිව හොයාගෙන තියෙන්නේ. හරියා නං ඉතින් ජාඇල පැත්තෙනේ. මනමාලි බණ්ඩාරවෙල. පොඃ මූට පුළුවන්, 'පැණි හඳ' සඳහා බණ්ඩාරවෙල බලා ගුවන්ගත වෙන්ඩ. ජාඇල තියන ගිනි රස්නේ වගේද බණ්ඩාරවෙල තියන සොමිය.
දැනට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා තමයි මේ ජෝඩුව මුලින්ම අපේ ගෙදර ආවේ. අනේ.....හරියට අයියයි නංගියි වගේ. ඒ කාලේ මම හිතුවේ, මුන් දෙන්නා තව අවුරුදු දෙකතුනක්වත් ඔන්චිල්ලා පැද පැද ඉඳියි කියලා. කොහෙද මුන්ට ඕනෙවෙලා ඉක්මනටම ගැටේ ගහගන්ඩ.
ඔන්න අද (2015/04/30) තමා දෙන්න නොලිහෙන්ඩම ගැටේ ගහගත්තේ. මමත් ඉතින් උදේ පාන්දරම ගියා හරියාගේ ඉහේ මල් පිපීම බලන්ඩ. ඔන්න ඉතිං මංගල ශාලාව ඇතුලට ගියාම තමයි දැක්කේ, හරියාගේ 'වැඩින් කේකය' ඇන්න ඇවිත් තියෙන්නේ අස්ස කරත්තෙකින් කියලා.
ඔන්න ඉතිං ඔය කේකය රටපිට එකක්ද? ලංකාවෙද? සඳලංකාවෙද? ආදී වශයෙන් කරුණු හොයාබලමින් ඉන්නකොට, 'ජස්ට් වැඩඩ්' ජෝඩුව, පල්ලියේ සිට ශාලාවට සැපත් වුණා. ආව ගමන්, පහන් දැල්වීම තමයි කළේ.
හරියා ළඟ ඉන්නේ හරියගේ අම්මයි තාත්තයි.
උදේ ඉඳලම මොකුත් කෑවේ නෑ, ඒ නිසා කේක්වත් කමු කියලා, ඔන්න ජෝඩුව කේක් කරත්තේ ලඟට ආවා.
අපෙ හරිය මෙන්න - නෝන සමග - කේක් කරත්තේ
ඔන්න ඉතිං මෙව්වා බලලා මමත් ගිහිං මේසෙක වාඩිවුණා. හත් ඉලව්වට ගහපු හාරත හේරයි කිව්වලු. මෙන්න බොලේ සුදු ජෝඩුවක් ඇවිත් මගේ මේසෙම වාඩිවුණේ නැතැයි. ඇයි දෙයියනේ මේ මොකෑ වෙන්ඩ යන්නේ? කවුද මුන් දෙන්නව මෙතනට එව්වේ? අනුමානයක් නෑ හරියා තමා මේක කොරන්ඩ ඇත්තේ.
හරි හරි පුතෝ, අහුවෙයන්කෝ මටත් කවදා හරි උඹව. දෙඤ්ඤං පොලියත් එක්කලාම කියලා හිතනකොටම, සුද්දා මට කොටන්ඩ පටන්ගත්තා.
හෙහ් එව්වා කොහෙද මා එක්ක? මමත් අතෑරියේ නෑ වැඩේ. දෙන්ඩ ගත්තා කාලතුවක්කු බතරොයියක් වගේ. හෙහ් හෙහ් එතනින් එහා සුදා සහ සුද්දී මට වැඩිය කතාකොලේ නැහැ. මොකද උන්ට අපේ බොහොම උසස් ඉංගිරිසි තේරෙන්නේ නෑ. උන් දන්නේ නිකං දෙකයි පනහේ ඉංගිරිසි. අපි එහෙමද? ගෙඩි රුපියල් වලින්ම හැට හුටහමාරකට වැඩිය වියදං කොල්ලා ඉගෙනගත්තු එව්වනේ. මේන් ඉන්නවා සුදු ජෝඩුව මනමාලිත් එක්ක. බලනකොට මේ මනමාලිගේ සේවා ස්ථානයේ ලොක්කලු.
ඔන්න ටික වෙලාවක් යනකොට අර 'හොරෙන් චූස්' බීලා, වැඩින් කේක් කාලා, හමාරවුන ගමන්, මෙන්න බොලේ මෙසේටම ගෙනත් තිබ්බේ නැතැයි, කිලෝ බයිට්, මෙගා බයිට්, ගිගා බයිට්, ආදී වශයෙන් ඔක්කොම බයිට් ජාති. ඉස්සර වෙලාම, දිදාලයක් තරම් වීදුරුවකට, මොනවද වක්කරලා බෙදාගෙන ගියා.
චැඃ යකෝ මෙච්චරද දෙන්නේ? නිකං කටේ තොලේ ගෑවෙන්නවත් මදිනේ. නෑ නෑ ඒක අර සුබපැතීමට විතරක් දෙන වයින් එකලු. වයින් බැරිනම්, බැටරි කෑලි ගලගාපු වයින් ඉස්පිරිට් වුනත් කමක් නෑ කියලා, වේටර් මල්ලියෙකුට කියන්න හදනකොටම බඩු ඇන්න ආවා. එතනින් එහාට කියන්ඩ ඕනේ නැහැනේ.
බොහොම රසවත් දිවා ආහාර වේලකුත් රසවිඳින්නට ලැබුණා. කෑමෙන් ටික වෙලාවකට පස්සේ, කාපු බීපු තැන් වල සතා සරුපයාවත් ඉන්නෑ කියලා කිව්වා වගේ, මමත් නව යුවළට සුබ පතා ආපසු හැරුණා.
හරී - සසිඳු, ඔබ දෙපළට සුබ මංගලම්!
2015 අප්‍රේල් මස 30 වැනි දින 2342 පැය