ලෝකයේ සෑම ජාතියකටම අයත් සියළු දෙනාටම, තම මව් භාෂාව විශිෂ්ඨ ලෙස භාවිත කිරීමට හැකියාවක් නැහැ. ඒ ධර්මතාව, මේ ලිපිය ලියන මටත්, ලිපිය කියවන ඔබටත් පොදුයි. කෙසේ වෙතත්, සාක්ෂරතාව අතින් ගතහොත්, අපේ රට, ලෝකයේම වුනත් ඉහළ තැනක තිබීම සතුටක්. සාක්ෂරතාව ඉහළින් තිබුණත්, භාෂා ඥානය අතින්, යම් කෙනෙකු, එතරම් විශිෂ්ඨ තත්වයක නොසිටින්නට පුළුවන්.
භාෂාව ඉගෙනගැනීම ගණිතය ඉගෙන ගන්නවා හා සමානයි කියා මා ප්‍රකාශ කළොත්, සමහරවිට ඔබ එකඟ වන්නේ නැති වන්නට පුළුවන්. නමුත් එය සිංහල භාෂාවට පමණක් නොව, ලෝකයේ සෑම භාෂාවකටම පාහේ පොදු ලක්ෂණයක්. භාෂාවක ඇති ව්‍යාකරණ රටා, යෙදුම්, රීති, වාග් කෝෂය, ආදිය පිළිබඳව, හසළ දැණුමක් ලබාගැනීම, එතරම් පහසු කටයුත්තක් නොවෙයි.
මතකද ඉස්කෝලේ ගිය කාලේ සමහරවිට බැණුම් අහමින් ඉගෙනගත්තා ව්‍යාකරණ? අම්මෝ.....එපාම වුන දෙයක් නේද? සමහර ගුරුවරු සිංහල උගන්වන්නේ ආයේ ජීවිතේටම සිංහල එපාවෙන විදිහට. ඒ විතරක් නෙවෙයි, අපි තවමත් භාෂාව ඉගැන්වීම සඳහා පාවිච්චි කරන්නේ, ඉතා පැරණි ව්‍යාකරණ නීති රීති හා පොත්පත්. නමුත් ඒ පොත්පත් අහක දැමීම නොවෙයි කලයුත්තේ. ඒවා පදනම් කරගනිමින්, අද කාලෙන් උදාහරණ ගෙනහැර පාමින්, උගන්වන්න පුලුවන්නම්, ළමයි හරිම ආසාවෙන් හා ඉක්මනින්, භාෂාවේ රටාව අල්ලා ගන්නවා.
'හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී'
මෙම වාක්‍ය ඛණ්ඩයේ ඇති උපමාව හා උපමේය පහදන්න.
'කිසි වාසියක් නෑ හාමතේ නැත්නම් අතේ සල්ලී'
'අතේ සල්ලි නැත්නම් හාමතේ' යන්නෙහි ව්‍යංගාර්ථය කුමක්ද?
මෙන්න මේ වගේ, අද කාලේ අහන්න දකින්න ලැබෙන දේ වලින් උදාහරණ අරගෙන උගන්නන්න බැරි මොකද කියලා මටනම් තේරෙන්නේ නැහැ.
ඒ වගේම තමයි අද කාලේ කරන ධර්ම දේශනා. තවමත් කියන්නේ 'ඉතිං පින්වත්නී, මේ වඳුරා කියනවා වටුවාට.................ආදී වශයෙන්, ඇයි කියන්න බැරි, 'පින්වත්නි, මේ ප්‍රේමවන්තයා යවනවා එස් එම් එස් එකක් තම පෙම්වතියට, අදම මාව හමුවෙන්න කියලා. පෙම්වතිය කියනවා බැහැ කියලා, අන්තිමට ප්රශ්නය කෙළවර වෙන්නේ, පෙම්වතා පෙම්වතියව ඝාතනය කිරීමෙන්. මෙන්න පින්වත්නි කාම තන්හා, භව තන්හා, විභව තන්හා'.
ටිකක් හිතලා බලන්න, මම කියන්නේ බොරුද කියලා. අද කාලයෙන් බණ කිව්වොත් තමා, මිනිස්සු අද කාලයෙන් හිතලා අවබෝධ කරගන්නේ. බුදුහාමුදුරුවොත් කළේ, අද කාලයේ බණ කීමයි. (ඒ කාලයේ සිදුවීම් අළලා) අපේ හාමුදුරුවරු හිතන්නේ, ඒ විදිහටම, අදත් ඒ පැරණි කතා වලින් බණ කියන්න ඕනෙ කියලයි. ඒකෙන් වෙන්නේ මිනිස්සුන්ට ආගම එපා වීමයි. මොකද හැමදාම එකම කතා. හැබෑටම මොකද කවදාවත්, 'නලිනි ජාතකය' පදනම් කරගෙන බණ කියන්නේ නැත්තේ?
පුංචි කතාවක් කියන්නද? හැබැයි අන්තිමට බනින්න එපා, 'හුහ්....පේනවා නේද මේ නාකියාගේ තරම. මේකා ප්‍රසිද්ධියේම හාමුදුරුවරුන්ට අපහාස වන විදිහේ කතාවක් කිව්වා නේද?' කියලා. ඕකනේ කියන්නේ, වැරදි විදිහට බැලුවොත් ඔක්කොම වැරදියි. මේවා එදිනෙදා කියන කතා විතරයි. ලොකුවට හිතන්ඩ එපා. මේකයි කතාව.
ඈත පිටිසර දුප්පත් ගමක ගොවියෙක්, දුක්මහන්සියෙන් හරි හම්බ කරගත් මුදලින්, පොඩි ගෙයක් හැදුවා. සියලුම වැඩ අවසන් නොකළත්, ගෙට විදුලිය බලය ලබාගන්නත්, ගොවි මහතා වාසනාවන්ත වුණා. ඔහු හිතුවා, ගෙට ගෙවැදීමට අදාළව, ගමේ හාමුදුරුවෝ වඩම්මවලා, බණක් කියවීම සුදුසුයි කියලා. ඔන්න ඉතිං, සියල්ල සූදානම් කරලා, හාමුදුරුවා වැඩැම්මුවා. හාමුදුරුවන්ට අසුන් පනවන්න තරම් සුදුසු පුටුවක්, මේ ගෙදර තිබුණේ නැහැ. ඒ නිසා, කොට්ට කීපයක් එක මත එක තබා, ඒවා ඇඳ ඇතිරිල්ලක ඔතා, සකසාගත් 'ආසනයක්', බිත්තියක් අසළ පනවා තිබුණා. හාමුදුරුවෝ ඒ ගැන සැළකීමක් කළේ නැහැ. දුප්පත් දායකයන් වෙත බණ කීමයි වැදගත්. දැන් හාමුදුරුවෝ බොහොම ලස්සනට බණ කියාගෙන යනවා. හාමුදුරුවෝ, අර බිත්තියට පිටුපාලා තමයි අසුන්ගෙන ඉන්නේ.
විශාඛා සිටු දියණිය ගැන කියමින්, හාමුරුවො මෙන්න මෙහෙම කියන්න පටන් ගත්තා. 'ඉතිං පින්වත්නී............මේ විශාඛා සිටු දියණියගේ'........නමුත් මේ ටික කියනකොටම, එකවරම, මහ හඬින්, හාමුදුරුවන් අතින්, මෙවැනි අවස්ථාවකට කිසිසේත් නුසුදුසු, වදන් කීපයක් කියවුණා. මෙන්න මෙහෙම. 'ඉතිං පින්වත්නී............මේ විශාඛා සිටු දියණියගේ.......අම්මට *%$#@' කියලා හාමුදුරුවන්ට කියවුණේ. මුළු බණගෙදරම කලබලයට පත්වුණා. බණ අහමින් සිටි උපාසක අම්මලා ගෙදරින් එළියට දිව්වා. අපෙ අම්මෝ...........කියාගෙන.
අර ගොවි මහතා තුෂ්නීම්භූත වුණා මේ මොකක්ද වුණේ කියලා. හාමුදුරුවෝ ඇහුවා 'ඇයි උපාසක මහත්තයෝ මට මෙහෙම කළේ' කියලා. ගොවි මහතා කෝපයෙන් කෑගැහුවා, 'මම, හුහ්, මම මොනවද කළේ, ඔබවහන්සේනේ මෙතන කුණුහරප කිව්වේ' කියලා. හාමුදුරුවෝ අමාරුවෙන් නැගිට්ටා. 'මෙන්න බලන්න උපාසක මහත්තයා කරලා තිබුණු දේ' කියලා පෙන්නුවා. මොකක්ද වෙලා තිබුණේ? හාමුදුරුවෝ පිට හේත්තු කළ බිත්තියේ, විදුලි කෙවෙණියක් සවිකිරීම සඳහා රැහැන් ඇද තිබුණා. ඒ සඳහා අවශ්‍ය අර, කුඩා ප්ලාස්ටික් ගිල්ලුම් පෙට්ටිය සවිකර තිබුණත්, කෙවෙණිය සවිකර තිබී නැහැ. එතන තිබුණු විදුලිය සහිත රැහැනක නිරාවරණ අග්‍රය, හාමුදුරුවන්ගේ පිටේ ගෑවිලා. විදුලිය බලය විසින්, හාමුදුරුවන්ට නොකියවෙන දේ කියවන්නට සළස්වලා.
ඔන්න ඕකයි කතාව. හරි හරි ආපහු යමුකෝ ලිපියට.
සිංහල බ්ලොග් ලෝකයේ, කාලීනව පළවන, භාෂා විෂයයික ලිපි බොහොමයකදී සිදුවන්නේ, ප්‍රතිචාර වෙනුවට, සම්ඵප්‍රලාප වැලකින් ප්‍රතිචාර කොටස පිරීයාම පමණයි. මෙහිදී බහුළවම දකින්නට ලැබෙන අදහස්, නිල් පැහැයෙන් දක්වන අතර, ඒ පිළිබඳ මා සිතන ආකාරය, රතු පැහැයෙන් දැක්වෙනවා.
මා කියනදේ, ඔබට වැටහෙන්නේ නම්, භාෂාවකට තවත් නීති කුමකටද?
ඔබ මා සමග සංවාදයේ යෙදෙන්නේ, ඔබට ආවේනික, ප්‍රාදේශික, ඔබගේ සීමිත සමාජ තලයේ (යම්කිසි පලාතක්, දිස්ත්‍රික්කයක්, ආයතනයක්, විශ්ව විද්‍යාලයක්, එකට පුහුණුව ලබන කණ්ඩායමක් වැනි) යොදන වාග් මාලාවකින් නම්, එය මට නොවැටහෙන බව ඔබට නොතේරේද?
හැමදාමත් එකතැන පල්නොවී වෙනස්වීම, භාෂාවක පොදු ලක්ෂණය බව නොදන්නේද?
වෙනස්වීම සිදුවන්නේ කුමන රීතියක් පදනම් කරගෙනද? ඉංගිරිසියේ Fried Rice යන්න ෆයිඩ් රයිස්, ප්‍රයිඩ් රයිස්, (අභිමානවත් බත්?) ලෙස යොදා, අද නිකම්ම රයිස් කියා යෙදීම, ත්‍රිරෝද රථයට ත්‍රීරෝද රථය කියා කීම/ලිවීම, Trishaw, නමැති ඉංග්‍රීසි පදයට, සිංහලටත් නැති ඉංගිරිසියටත් නැති, 'ත්‍රීවීල්' වැනි යෙදුමක් සැකසීම සහ අද වනවිට, ලැජ්ජා නැතුව, 'වීල් එක' කියා කීම, (දැනට මේ උදාහරණ ඇති) කුමන රීතිය යටතේ කළ, වදන් සැකසුමක්ද? ඉංගිරිසි භාෂාව මේ ආකාරයට වෙනස් නොවන්නේ ඇයි? එහි තිබෙන වදන් සැකසුම් රීති, තමන්ට අවැසි පරිදි වෙනස් නොකරන්නේ ඇයි?
කටවහර සහ ලිඛිත වහර ලෙස දෙකක්, සිංහලයට අනවශ්‍යය.
ඕනෑම භාෂාවක කෙටි යෙදුම් තිබේ. ඒයි, වරෙන්, ඕයි, දුප්, ඉජුඃ, වැනි යෙදුම් මෙන්ම, ප්‍රාදේශීය ව්‍යවහාර විධි, (බත් වියනවා, පොල් ඔයනවා, වැනි) යෙදුම්ද තිබේ. මෙය අප රටට පමණක් සීමාවූවක් නොවේ. සෑම භාශාවකම ප්‍රාදේශීය ව්‍යවහාර ඇත. එහෙත්, පොදු සමාජයේදී භාවිත කළයුතු බවට, සමාජ සම්මත ව්‍යවහාර භාෂාව, තම අභිමතය පරිදි විකෘති කිරීම, භාෂාව පිළිබඳ තම නිදහස පාවිච්චි කිරීමක් නොව, නොදන්නාකම පෙන්වීමකි.
විෂයය කුමක් වුවත්, බ්ලොග් ලිපි ලිවීමේදී, තම අභිමතය පරිදි, සිංහල, ඉංග්‍රීසි, දෙමළ, වැනි භාෂා කීපයක් මිශ්‍ර කර ලිවීමෙහි වරදක් නැත.
මෙය තීරණය වන්නේ, මා කියන දේ ඔබට වැටහෙන්නේ නම්, ප්‍රශ්නයක් නැහැ නේද යන සංකල්පය මත ය.
(ආමි එකේ තියන ඩිරෙක්ටරේට්ස් වලින් වැඩ අමාරුම එකක් තමයි ඔප්ස් ඩිරෙක්ටරේට් එක. ඩී ඔප්ස් කියන්නේ ලොකු ස්ට්‍රේන් එකක් කරගහන කෙනෙක්. බැට්ල් ටෑන්ක් එකක තියන කෲ ෆැටීග් එක තමයි අමාරු. හැබැයි ආටි වලදී මෙටා ඩේටා අරන් ගන් එක අලයින් කරාට පස්සේ බැට්රි කමාන්ඩර් කියන විදිහට ෆයර් එක දෙනවා)
මෙහෙම කියන අය මා දැක/අසා තිබෙනවා. මෙතැනදී මම ලිව්වේ, මගේ විෂයයට අදාළව. නමුත් මෝටර් යාන්ත්‍රික විද්‍යාව, විදුලි සහ/හෝ විද්‍යුත් විෂයයන්ට අදාළව හෝ වෙන එකක් තියා, තමන්ගේ මෝටර් වාහනය අලුත්වැඩියා/සේවා කිරීම සඳහා රැගෙන ගියවිට, අදාළ ආයතනයේ කාර්මිකයන් කියනදේ, කට ඇරගෙන බලා ඉන්න අයත් දැකලා තියනවා. නමුත් ඉතාම කලාතුරකින් තමයි අහන්නේ, අර වචනයේ තේරුම මොකක්ද? මේ වචනයේ තේරුම මොකක්ද කියලා? මොකද තමන්ගේ නම්බුවට අඩු ලුහුඬුවක් වෙයි කියලා. මෙලෝ සංසාරයක් නොතේරුණත්, තේරුණා වගේ ඉන්නවා. ඉතින් කොහොමද කියන්නේ, මම කියනදේ ඔබට තේරෙනවානම් ප්‍රශ්නයක් නැහැ කියලා? මොකද මම කතාකරන්නේ, මට ආවේනික වාග් මාලාවකින්. එය හැම තැනටම වලංගු නොවන බව, මා තේරුම් ගත යුතුයි.
සමහර බ්ලොග් ලිපිත් එහෙමම තමයි.
දැණුම යාවත්කාලීන වෙනවානම් භාෂා ප්‍රශ්න නැත.
ඔව් එකඟයි. නමුත් දැණුම යාවත්කාලීන වන්නේ පොදු ව්‍යවහාරය පදනම් කරගෙනද? එසේ නැතහොත් සීමිත සමාජ තලයක් ඇසුරු කිරීමෙන්ද? බ්ලොග් කියවීමෙන් භාෂා දැණුම වර්ධනය නොවේ. ලෝකය පුරාම, බ්ලොග් ලියන්නේද, භාෂා දැණුම වර්ධනය කරවීම සඳහා නොවේ. සරල වින්දනය සඳහාය. එහෙත් එය භාෂා ඥානය මොට කරවන, විකෘති කරවන, විනාශ කරවන, බලවේගයක් නම්, පාඨකයන් වෙත, එහි ඇති අණිටු ඵලවිපාක පෙන්වා දියයුතුය. මන්ද, බාල පරපුරද, බහුළ වශයෙන් බ්ලොග් කියවන නිසා. බ්ලොග් ලියන භාෂා විලාශය, එදිනෙදා සමාජයේ සෑම කටයුත්තක් සඳහාම, සෑම තැනටම පොදුය, යන වැරදි වැටහීම ඇතිවීම වැලැක්වීම, බ්ලොග් ලියන අප සියළුදෙනාගේ වගකීමක්ද වන්නේය.
ජාතියක අනන්‍යතාව පෙන්වන වැදගත් මෙවලමක් වන්නේ භාෂාවයි. එය අයාලේ යන්නට ඉඩදීම, තම මව අයාලේ යැවීම වැනිය. මන්ද, එය මව් භාෂාව කියා හඳුන්වන්නේද, මවට තරම් ආදරයක්, ගෞරවයක්, සැළකීමක්, තිබියයුතු බැවිනි. තම විචාර බුද්ධියට ගෝචර වන, හරවත් සංවාද වලට ඇහුම්කන්දීම, භාෂා ඥානයෙන් හෙබි පුද්ගලයන් සමග සංවාදයේ යෙදීම සහ හරවත් පොත්පත් ලිපිලේඛන කියවීම තුළින් පමණක්, භාෂා ඥානය දියුණු කරගත හැකිය.
'භාෂාව යනු, විභාගය සමත්වීම සඳහා ඉගෙනගතයුතු, තවත් එක විෂයයක් පමණි' යන සංකල්පයේ සිට, භාෂාව උගන්වනතුරු/ඉගෙනගන්නාතුරු, භාෂාවේ පිරිහීමක් මිස, දියුණුවක් ඇති නොවේ.
බුද්ධිමය සංවාදයකට තුඩුදෙන අදහස්, ඉහළින්ම අගය කරන අතර, ප්‍රස්තුතයට අදාළ නොවන සහ අපහාසාත්මක අදහස්, ඉවත් කරනු ලැබේ.
2015 ජූනි මස 03 වැනි දින 2343 පැය