බස්නාහිර මහ ඇමතිතුමා කියනවා ගුරුවරියන්ගේ බුරිය පෙනෙන ලෙස ඇඳුම් ඇඳීම තහනම් කියලා. නැටුම් වලදී සිසුවියන්ගේ බුරිත් එපාලු. ඌව මහ ඇමති කියනවා, ගුරුවරුන්ට පාසල් වෙලාව තුළ, ජංගම දුරකථන පාවිච්චිය තහනම්ලු. පාවිච්චි කළොත් මාරුවීමක් දෙනවලු.
ඉතුරු පළාත්වල මහා ඇමතිතුමන්ලාත්, දැන්ම තම තමන්ගේ තහනම් නියෝග ටික ගුරුවරුන්ට දුන්නානම් හොඳයි. එතකොට අධ්‍යාපන අමාත්‍යංශයට පුළුවන්, ඔය ඔක්කොම නියෝග එකතු කරලා, සහිඳ ලුණු, සීනක්කාරම්, ගොරෝචන, කුංකුමප්පු, ගල් නහර, අතිවිඩයන්, ආදී මෙකී නොකී දේත් එකතුකොට, පත අට එකට සිඳවා, සියලුම ගුරුවරුන් එක පෙළට සිටුවා, ඔවුන්ගේ කටට එම කසාය වක්කොට, අනුපානය ලෙසින්, ඒ ඒ මහඇමති තුමාගේ සුළුදිය ස්වල්පයක් එකතුකොට, දෙහි ඇඹුල්, සීනි මීපැණි දමා, බොන්නට දෙන්න.
ඒ වගේම අනික් පළාත්වල මහ ඇමැතිවරුත්, ඉක්මනින්ම තම තමන්ගේ 'ගුරු තහනම් නියෝග' එළිදක්වනවා නම් හොඳයි. එතකොට ගුරුවරුන්ට පුළුවන් තහනම් නියෝග අඩු පළාතකට මාරුවක් ගැනීම සඳහා, අර නියෝග වල සඳහන් වැරදි වැඩ ටිකක් කරන්න. මෙන්න උදාහරණ; උතුරු පළාතට එන ගුරුවරියන්, අනිවාර්යයෙන් නළලේ තිලකය තබා, කොණ්ඩයේ මල් ගවසා පැමිණිය යුතුයි. නැගෙනහිර පළාතේ ගුරුවරියන්, පර්දාව පැළඳිය යුතුයි, දකුණු පළාතේ ගුරුවරුන්, මාතර භාෂාවෙන් කතාකල යුතුයි, සබරගමු පළාතේ ගුරුවරුන් බුලත්විට කෑ යුතුයි.
මට හිතෙන්නේ ඔය කොණ්ඩයා වගේ එවුන් හැදෙන්නේ, ඔය ගුරුවරියන්ගේ බුරිය දැකලා. සිසුවියන් නටනකොට බුරිය දැකලා. නැත්තං ඔය වගේ වල් වනචර දේවල්, ආයේ අපේ ටී වී චැනල් වල පෙන්නනවා කියලයැ. ඒවායේ පැය 24 ම පෙන්නන්නේ, ආගමික සහ සදාචාර වර්ධන වැඩසටහන් නේ. කී දෙනෙක් නම් මේ වෙනකොට සෝවාන් ඵලයට ඇවිත් තියනවද, ඔය ටී වී චැනල් බලලා. ඒ උතුම් මෝක්ෂ මාර්ගයට යන අපේ මිනිස්සුන්ව කන්ඩ ආපු, තන්හා රතී රඟා වගේ, මාර දූවරු පිරිසක් තමයි, ඔය ගුරුවරියෝ. මහා චිංචිමානවිකාවෝ ජාතියක් උන්. අම්මපා උන්ව බුරියෙන් එල්ලන්න ඕනේ ප්‍රසිද්ධියේ. හොඳම තැන ඉස්කෝලේ පිට්ටනිය. එතනට ගෙනිහින් තමා ඕකුන්ව බුරියෙන් එල්ලන්න ඕනේ.
දැන් ඔය පාසල්වල ඉන්නවා වැඩිහිටි ගුරුවරියෝ. ඒ ගොල්ලෝ තරුණ කලේ තිබුණේ 'ඔබේ තීරය' විතරයි. ඔබේ තීරය අඟල් 8 ක් තිබුණත්, ඒ කාලේ හිටිය (මහ ඇමති කියන සත්ව කොට්ඨාශය ඒ කාලේ හිටියේ නැහැ) අධ්‍යාපන ඇමතිවරු, පළාත නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඒ ගුරුවරියන්හේ ඔබේ තීරය අතින් පහළට ඇදලා, කොට කරන්න ගියේ නැහැ. ගුරුවරියන් දණගස්සන්න ගියේ නැහැ. ඒ මැති ඇමති වරුන්ට, රට වෙනුවෙන් කරන්න දහසකුත් එකක් වැඩ තිබුණා.
මට මතක් වෙනවා, අපි කුඩා කාලයේ, කෑගල්ලේ කෑගලු බාලිකා විද්‍යාලයේ, විදුහල්පතිනිය වශයෙන් ක්‍රියාකළ, ඉතාම ආදර්ශවත් විදුහල්පතිනියක් ලෙස හැඳින්විය හැකි, අනුලා උදලාගම මැතිනිය. එතුමිය පාසලට අඳින්නේ නිල් පැහැති ඔසරියක් නම්, (එතුමිය ඇන්දේ ඔසරි) එතුමියගේ තොල් ආලේපන, නියපොතු ආලේපන, අත් බෑගය, මාලය, සෙරෙප්පු, ඔක්කොම නිල් පාටයි. නමුත් ඒ සියල්ල, සරල සහ චාම් විදිහට තිබුණා. විශේෂ කැපී පෙනීමක් නැහැ. නමුත් ඒ විදුහලේම, ඒ කාලයේම සේවය කළ වෙනත් ගුරුවරියන්, එහෙම ඇන්දෙත් නැහැ. එයට තහනමක් තිබුනෙත් නැහැ කියලා, ඒ කාලයේ ඒ පාසලේ ඉගෙනගත්, මගේ අක්කලා තුන්දෙනාත් ඒ පාසලේ සේවය කළ, සමකාලීන ගුරුවරියනුත් (ඒ පාසලේ සේවය නොකලත්, ගුරුවරියක වූ, මගේ මවගේ සමකාලීන ගුරුවරියන්) කියනවා, මම අහලා තියනවා. ඒ කාලයේ ඒ පාසලේ ගුරුවරියක ලෙස සේවය කළ, සුප්‍රසිද්ධ සිනමා නිළි, තලතා ගුණසේකර මහත්මියවත්, (සිනමා/රූපවාහිණී නිළි, නදීකා ගුණසේකරගේ මව) ඒ ආකාරයට විලාසිතා සහිතව අඳිනු මා දැක නැහැ. (පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙලේදී හෝ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවයේදී හැර)
ඒ කාලෙත් කොල්ලෝ කෙල්ලෝ ලව් කළා, දැන් වගේ SMS, Chat, Skype, Viber, නොතිබුන නිසා, ලියුම් ලිව්වා, පිචෑර්ස් බැලුවා, බලන ගමන් රසපහස වින්දා, පැනලා ගියා, විවාහ වුනා, පන්සලේ මල්වට්ටි වෙන්දේසිය දවසෙත් රස පහස වින්දා. ඒ මොකද කිව්වොත්, එදත් අදත් ඉන්න කොල්ලෝ කෙල්ලෝ කියන්නේ, අනිකුත් මිනිසුන් වගේම, ලේ මස් ඇට නහර සහ හොඳ මනසක් තියන ජීවීන් කොට්ඨාශයක් නේ. උන්ගේ කලවයස එනකොට, චර්යාව වෙනස්වෙනවා. කොයි ජගතාටවත් බැහැ ඒවා සම්පූර්ණයෙන් නවත්තන්න.
සමහර උන්නැහේලා හිතන්නේ, එක වරදක් දැක්කම ඒකට නීතියක් දානවා, ඒ වරද වෙනත් විදිහකට කලාම, ඒකටත් නීතියක් දානවා කියලා. මෙහෙම නීති දදා ඉන්න ගියොත්, අන්තිමට නීති විතරයි ඉතුරුවෙන්නේ. මිනිස්සු ඉතුරුවෙන්නේ නැහැ කියලා, මේ අමන මරි මෝඩ තකතීරු උන්නැහේලට තේරෙන්නේ නැහැ. අනේ මන්දා මුන්නැහෙලා පුංචි කාලේ, කොස් ගස් යට කොස් ඇට ගණන් කර කර ඉඳලා, ලංකාවේ ලේසිම රස්සාව වන දේශපාලනය තෝරාගෙන තියනවා කියලයි මටනම් හිතෙන්නේ.
බුරි ප්රශ්නය ගැන වෙනත් අඩවි කීපයකම ලියවුන නිසා මම ඒ ගැන වැඩිදුර කතාකරන්නේ නැහැ. නමුත් මෙන්න මේ ටික කිවයුතුයි. බුරි තහනම දැමූ මහ ඇමතිතුමා හිතනවාද, ගුරු බුරිය නිසා තරුණ සිසුන් නොමග යනවා කියා? ගුරු බුරිය නිසා සභ්‍යත්වයට හානිවූ අවස්ථා, උදාහරණ ලෙස දැක්වීමට එතුමාට හැකිද? අඩි උස සපත්තු දැමීම නිසා හෝ, ස්වභාවයෙන්ම පිහිටි නාරි ලාලිත්‍යය නිසා වැනෙන, ගුරුවරියකගේ නිතඹ නිසා, තරුණ සිසුන් නොමග යන්නේ යයි, මහ ඇමතිවරයා තවම උපකල්පනය කර නැද්ද? එසේ උපකල්පනය කර ඇත්නම්, ඒ සඳහා විසඳුම ලෙස, එවැනි ගුරුවරියන්ගේ නිතඹ වෑයක් මගින් රැහීම කළයුතුයැයි සිතන්නේද?
ළමයා දවසේ පැය කීයක්ද ගුරුවරිය දකින්නේ. ඉතුරු පැය ගණනේ දී, බාහිර සමාජය තුළ, ළමයා දකින දේවල් ගැන, මහ ඇමෑත්ත තුමාට අවබෝධයක් තිබේද? මට මෙහෙම දේකුත් හිතෙනවා. දැන් ඉන්න වැඩිහිටි ගුරුවරියන් තුළ, යම් සියුම් වේදනාවක්, ඊර්ෂ්‍යාවක්, ඇතිවෙනවාද දන්නේ නැහැ, අද ඉන්න තරුණ ගුරුවරියන් අඳින පළඳින විදිහ දැකලා, 'අනේ අපිට බැරිවුනානේ මෙහෙම අඳින්න' කියලා. ඉතින් ඒ නිසා, මේ නීති ගෙන ඒමට, ඔවුන් විශාල දායකත්වයක් දෙනවාදෝ කියා හිතෙනවා.
දැන් බලමු මේ 'ටෙලිෆෝනියාව' ගැන.
ඌව මහ ඇමති තර්ජනය කරනවා ගුරුවරුන්ට, පාසල් කාලය තුළ ජංගම දුරකථන පාවිච්චි කරලා අහුවෙන්න එපාලු. මාරුකරනවාලු වෙන කොහාට හරි. ඉතින් ඌව පළාතේ ඉන්න ඔක්කොම ගුරුවරු, පාසල් වෙලාව තුළ, ළමයින්ගේ අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි, ජංගම දුකථන පාවිච්චි කළොත්, ඒ ඔක්කොම ගුරුවරු මාරුකර යවන්නේ, මහ ඇමෑත්ත තුමාගේ ...........ද? ජාතික පාසල් මහ ඇමෑත්ත තුමාගේ පාලනයෙන් තොරයි නේද? එතකොට රටේ අධ්‍යාපන ඇමති කිව්වොත්, ජාතික පාසල්වල ගුරුවරුන්ට ජංගම දුරකථන පාවිච්චි කලහැකියි, නමුත්, ජංගම දුරකථන පාවිච්චි කළහැක්කේ, ගුරු විවේකාගාරය තුළ පමණයි කියලා, ඌව මහ ඇමෑත්ත තුමා මොකෑ කොරන්නේ?
අපේ රටේ අතීතයේ පටන්, නිතර නිතර වෙනස්වන, විවිධ නීති රීති වලට, පහසුවෙන් යටත් කරගන්නා, අමුතුම සත්ව කොට්ඨාශයක් තමයි, ගුරුවරු කියන්නේ. ඔවුන්ගේ පූරුවේ කරුමය කොතෙක් මහතදැයි කිවහොත්, හෙදියන්ට, වෛද්‍යවරුන්ට, බස් කොන්දොස්තරලාට, ධීවරයන්ට, තිබෙන ආකාරයේ, හොඳ බලසම්පන්න වෘත්තීය සමිති එකක්වත් ඔවුන්ට නැත. එයට එකම හේතුව, මේ සත්ව කොට්ඨාශය තුළ, සමගිය නමැති, උසස් ගති ලක්ෂණය දකින්නට නොමැතිවීමයි. තමන්ගේ උපාධිය, විෂයය, වර්ගය, පන්තිය, වැනි අටෝරාසියක් ප්‍රාථමික ලක්ෂණ නිසා, ඔවුහු, භේද භින්න වී සිටීම ම, මේ සත්ව සමූහය, දේශපාලුවන්, අධ්‍යාපන නිලධාරීන්, විසින් ඔවුන්ව පහසුවෙන් දැක්කීමට පිටිවහලක් කරගෙන තිබෙන බව, ඔවුහු තවමත් අවබෝධ කරගෙන නැත්තේය.
සමහරවිට, මේ බුරි නීති, ටෙලිෆෝන් නීති දාන මහ ඇමෑත්ත වරු, අධ්‍යාපන සංවර්ධනය යනුවෙන් විෂයයක් තම වගකීම යටතේ ඇති බව, වැරදීමකින්වත් අසා ඇද්ද යන්න සැක සහිතය. පහසුම රැකියාව වන දේශපාලනය තුළින්, මහ ඇමැතිකමට එන්නට පෙර, කොස් ඇට අහුලා කා ජීවිතය රැකගත් එකා, 'අත්ලට සිඟාවත් රස නැති කැවිලි කකා' කවිය අසා නැතුවාදෝ යි සිතේ. නීති පනවා අධ්‍යාපන සංවර්ධනය ඇති කල නොහැකි බවත්, ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනය යනු විශාල බුද්ධිමතුන් පිරිසකගේ සාමූහිහ දායකත්වයකින් මෙන්ම ප්‍රයත්නයකින් සහ, ගුරුවරුන් තුළ පෙළඹවීමක් ඇති කිරීමෙන් කළයුතු, මහා ව්‍යායාමයක්ය යන්න, මුන්නැහේලා නොදන්නා බව, මෙවැනි අමනෝඥ ප්‍රකාශ වලින්ම හෙළිවෙයි.
දුෂ්කර ප්‍රදේශවල තිබෙන පාසල්වල ඇති අධ්‍යාපන ගැටළු මේ මහ ඇමතිවරුන් දන්නවාද? අධ්‍යාපන බලධාරීන් සමහ ඉහළ පෙළේ සාකච්ඡා පවත්වනවා වෙනුවට, අහඹු ලෙස තෝරාගන්නා සාමාන්‍ය ගුරුවරුන් සමූහයක්, සාකච්ඡාවකට කැඳවා, ඔවුන්ට විවෘතව අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව දුන්නොත්, මහ ඇමතිවරුන් උඩ විසිවන ආකාරයේ, අධ්‍යාපනය පිළිබඳ, අමු නිරුවත්, කාලකන්ණි, දුක්ඛිත, අවාසනාවන්ත, තොරතුරු දැනගතහැකි බව, මේ 'ඇමති මහයන්' දන්නවාද? නැතහොත් ඒ බව දැන දැනත්, මේ අපිට 'බබා පාට්' දානවාද?
ගුරුවරුන් පාලනය කළයුත්තේ නීතිරීති වලින් නොවේ. ගුරු පුහුණුව උසස් මට්ටමකට ගැනීමෙනි. ගුරු වෘත්තියට යොමු කෙරෙන පිරිස, සාමාන්‍ය පෙළ විභාගය වැනි විභාගයකින් තෝරාගෙන, ඉන්පසු ඔවුන්ව හුදෙක් ගුරු වෘත්තීය සඳහාම හැඩගැස්වෙන දීර්ඝකාලීන පාඨමාලාවකට යොමුකොට, උපාධි, පශ්චාත් උපාධි, පරිපාලන උපාධි දක්වා යන, මහා පරිමාණ ආයතනික වැඩපිළිවෙලක් තුළින්, දැනට අවාසනාවන්ත තත්වයක සිටින මේ සත්ව කොට්ඨාශය යහමගට ගැනීම සහ, අනාගතයේදී වෘත්තීයවේදය අතින් අගතැන්පත් ගුරුවරුන් බිහිකරගැනීමට මග පෑදෙනු ඇත.
2015 නොවැම්බර් මස 15 වැනි දින 1237 පැය