මේ කතාවේ නම් අපේ විචාරකතුමා නෑ. මගේ පාසලේ අත්දැකීමක්. පසුගිය දවසක අන්තර්ජාලයේ තිබුණා පිනා කියලා ප්‍රින්සිපල්ට කිවුවා කියලා විද්‍යාලයක ප්‍රින්සිපල් කෙනෙක් පැය 4ක් ළමයින්ට දඬුවම් කළ බව එය සවනට වකෙද්දී මට මෙය මතක් උණා. 2001 අවුරුද්දේ මා උසස් පෙළ කරද්දී තමයි මෙය සිදුවුණේ.
එවකට මම 12 වසර කලා බි පංතියේ ඉගෙනුම ලැබුවෙමි. මගේ හොඳම යෙහෙළිය වූයේ ධනුෂ්කාය. අගේ පියා විදුහල්පතිවරයෙකු වූ අතර මව අපේ පාසලේ සිංහල ගුරුවරියක් වූවාය. මගේ කතාවේ කතා නායිකාව ඇයයි . මිශ්‍ර පාසලක් වූ අපේ පාසල පැරණි මධ්‍ය විද්‍යාලවලින් එකකි. සුන්දර පරිසරයකින් පිහිටි මෙය ඉතා අලංකාරය . අප විසින් අපේ විදුහල්පතිතුමාට දමා තිබූ නම "නැපෝලියන් " යන්නයි. එය කෙටි වූ විට කොල්ලන් කතා කරන්නේ "නැපා" කියාය. එයට හේතුව ඔහු වරදට දඬුවම් කරන්නේ හිත පිත් නැතිව අතර, ගුටි කන්නේ වරද කර එකා නොව වෙනත් අය වීමද විශේෂත්වයකි. හැබැයි පරම සත්‍ය නම් සියලු දෙනා ඔහුට බිය වීමයි . එය ගෞරවයට වඩා ගුටි කෑමට ඇති බියයි .
සිද්ධිය මෙසේය .
දිනක් දහවල් විවේක කාලය නිමවී සීනුව නාද විය. එහෙත් අපේ වර්ගයාට නම් එය ගානක් නොවිණි. තවමත් පන්තියේ තැන තැනත් කොරිඩෝවලත් කථාවේ ඉවරයක් නොතිබුණි. ප්‍රේම කථා, ලියුම් ගනුදෙනු , චන්ඩි කථා නිමක් නොමැත.( මං ඕවට නෑ. ඔය කාටත්වඩා මා මගේ පියාට බියෙන් කටයුතු කළ අයෙකි . ) අපේ පංතියේ අය වෙනත් වෙනත් පංතිවලය. වෙනත් අය අපේ පංතියේය. විදුහල්පතිතුමාගේ කාර්යාලයට යාබදව පිහිටි අපේ ගොඩනැගිල්ලේ පන්ති කාමර 5 ක් තිබූ අතර එය ආරම්භ වන්නේ පාසලේ පිහිටි දන්ත ශල්‍යාගාරයෙනි. විදුහල්පති කාමරයේ සිට දිගු කොරිඩෝවක් හා පඩි පෙලකින් මෙය එකිනෙක සම්බන්ධ වේ . එම අවස්ථාවේ අපට තිබුනේ ඉතිහාසය විෂය වුවත් විෂය භාර ගුරුතුමිය එදින පැමිණ නොතිබුණි. එය අපි දැන සිටියෙමු. විවේක කාලය නිමවී විනාඩි 5 ක් පමණ ගතවී තිබුනත් එම පන්ති පහේ ගුරුවරුන්ගෙන් පැමිණ සිටියේ එක ගුරුවරියක පමණි . එයට හේතුව ගුරු විවේකාගාරය හා අපේ පංති අතර යම් දුර ප්‍රමාණයක් තිබීමයි.
කෙසේ වෙතත් පංති හතරක කොල්ලො කෙල්ලන්ගේ ශබ්දය විදුහල්පතිතුමා හෙවත් අපේ නැපාතුමා එළියට බැස්සවීමට සමත් විය. ඔහු කාර්යාලයෙන් පිටතට පැමිණි විට අපේ පංති සමූහයට හොඳින් දර්ශනය වේ . එකෙනෙහිම කොල්ලෝ ටික නැපා එනවා බං කියා දුවගොස් පංතියේ වාඩිවුණි. එය සිනහ උපදවන්නේ පංතියේ පිරිමි හා ගැහැණු ළමුන්ගෙන් ඇතැම් දෙනා අපේ පංතියේ නොව පිට පංතිවල අයය . අපේ පංතියේ වුන් අතුරුදහන්වෙලාය . කෙසේ වෙතත් හෙමින් හෙමින් පියවර තබමින් නැපාතුමා අප පන්ති දෙසට පැමිණෙන බව දුටහ. මේ වනවිට මුළු ගොඩනැගිල්ලම මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්දය.කට හඬ ඇසෙන්නේ ගුරුවරිය සිටින පංතියේ ඇය උගන්වන හඬයි.
සෙමෙන් සෙමෙන් අපේ පන්ති කාමරයේ කොරිඩෝව අසළින් ගමන් කරද්දී කිසිවෙකුත් නොසිතූ පරිදි මා අසළ සිටි මගේ මිතුරිය උරුවම් බෑවාය. මගේ සියොලඟම වෙවුලා ගිය අතර මම අතින් ඇගේ වැලමිටට පහර දුන්නෙමි. එකෙනෙහිම විදුහල්පතිතුමාගේ දැඩි අවදානය පංතියට යොමු වුවත් එය පහව ගියේ ඇය උරුවම් බෑම නැවත්වූ නිසාය. එහෙත් විදුහල්පතිතුමා තවම අපේ පංතිය අසලින් ගමන් කරමින් සිටියේය. එකෙණෙහිම ඇය නැවත වරක් ශබ්ද නගිමින් උරුවම් බෑවාය. විදුහල්පතිතුමා ඉද්ද ගැසුවාක් මෙන් නැවතුණි . අපේ කොරිඩෝවට යාබදව සිටියේ පිරිමි ළමුන්ය . විදුහල්පතිතුමාගේ කෝපයෙන් දිලිසෙන නෙත් සඟල දුටුවිට මට ඉහිලුම් නැතිවිය.( හොඳට හෝ නරකට මා පංතියේ නායිකාව විය.)
පිරිමි ළමුන් දෙසට නෙත් යොමු කල ඔහු එක්වරම මහා හඩින් කෑ ගසන ලදී .
විදුහල්පතිතුමා - නැගිටපල්ලා ඔක්කොම
පිරිමි ළමයි - සියලුදෙනා නැගිටුණ අතර ඔවුන් අප දස බලා රවන්නට පටන් ගත්තේ තොපි හින්දා අද කන්න වෙනවා යන හැගීමෙනි .
විදුහල්පතිතුමා - මොකාද ? දැන් උරුවම් බෑවේ ...........................
පිරිමි ළමයි - ( අප දෙස බලමින් ඔරවමින් හා රවමින් ) සර් ... අපි නෙවෙයි සර් ...
මේ සිදුවීම යන අතර මා මගේ යෙහෙළියට පැවසුවේ ඔයා වරද බාර ගන්න නැත්තන් අද කොල්ලෝ ඔක්කොම ගුටි කන බව ෂුවර් කියාය. අනෙක් ගැහැණු ළමයින් ද එය අනුමත කළහ.
විදුහල්පතිතුමා - අපි නෙවෙයි .... අපි නෙවෙයි නම් කවුද යකෝ ...........
ඒ අවස්ථාවේ අපි සියලු දෙනා පුදුමයට පත් කරමින් මගේ යෙහෙළිය පංතිය ඉදිරියට ගියාය .
ධනුෂ්කා - සර් .................. සර්...........
විදුහල්පතිතුමා - (රළු ස්වරයෙන් ) ඔව් මොකද ?
ධනුෂ්කා - ඇය අතේ හාෆ් ෂීට් කොලයක් රෝල්කරගෙන සිටියාය . ඊලඟට ඇය කියා සිටියේ පුදුම හේතුවකි .
සර් ....සර් ............ මං උරුවම් බෑවේ නෑ සර් මං මේ කොලේට පිම්බා
ම්....අදට සමාව දෙනවා . ආයේ අහුවෙන්න එපා .............
විදුහපතිවරයා පවසන ලදී . විදුහල්පතිවරයාගේ කෝපය හමාරවී ඔහු සිනාවුන අතර එකෙනෙහිම මුළු ගොඩනැගිල්ලේම ළමයින්ගේ සිනහව රැවුදුණි.
විචාරක දියණිය 7.30 පැයට