අද උදේ මා කුරුණෑගල මහ තැපැල්හලට ගියේ, මගේ රෙජිමේන්න්තු මධ්‍යස්ථානයට අදාළ, සේවාමුක්ත භට සංගමය වෙනුවෙන්, මගේ වාර්ෂික අවමංගල්‍යාධාර සාමාජික මුදල්, තැපැල් මුදල් ඇණවුමකින් යැවීම සඳහායි. මුදල් ඇණවුම ලබාගෙන, එහි ඡායා පිටපතක්ද තැපැල් හලෙන්ම ලබාගෙන, ගෙදරදී පරිගණකයෙන් සකසා, මුද්‍රණය කරගෙන ගිය, ආවරණ ලිපියට, මුදල් ඇණවුම ‘ස්ටේප්ලර්’ කටුවකින් අමුණා, ලිපි කවරය අලවා, ලිපිය පරීක්ෂාකර, කිරා බලා, අදාළ මුද්දරද ලබාගෙන අලවා, ලියාපදිංචි කවුන්ටරයේ දිග පෝළිමට එක්වුනෙමි. (මම තැපැල් කාර්යාලය වෙත යන්නේ පෑන, කුඩා ගම් කුප්පියක්, ස්ටේප්ලරය, ඉතා කුඩා ‘සෙලෝ ටේප්’ රෝලක්, වැනි ‘ආයුධ වලින් සන්නද්ධවය.’) ඒ සියල්ල කුඩා පොලිතීන් කවරයක දමාගෙනයි යන්නේ. තැපැල් කාර්යාලයේ ඒවා නැතුවා නොවේ. අපොයි ඒ ගම් ……..වගේය. ගල් වෙලාය, ගඳ ය, අළුත් ගම් නැද්ද කියා ඇසීමෙන් පලක් නැත. අනික මගේම ‘අධාරක අවි’ තිබියදී, ඒවා තිබෙන තැන්වල අනවශ්‍ය ලෙස පෝළිමේ සිටීමට අවශ්‍ය නැත. හැබැයි තවත් දෙයක් තිබේ. මේ අවි ආයුධ ඇදගෙන, තැපැල්හල තුළ සටන් කරනවිට, ඒවා ඉල්ලන්නට අඩුම වශයෙන් දෙතුන් දෙනෙක්වත් එන එක, මොන සැක්කරයාටවත් වළක්වන්නට බැරිය. මොනවා කරන්නද, ඔන්න ඔහේ දීලා දමමි. හැබැයි ගම් කුප්පිය, ස්ටේප්ලරය, ටේප් රෝල, මතක ඇතුව ආපසු ඉල්ලාගනිමි. බැංකුවේදී සහ තැපැල්හලේදී, මම පෑන් කෝටියක් විතර දන් දී ඇතැයි සිතමි. අනේ ඔය රු 10 පෑන, අතින් අත ගොස් එනතුරු බලා සිටිනවාට වඩා, මට මගේ කාලය වටිනවාය. හැබැයි අපේ ‘ජනාධිපතිනිය’ හිටියොත්, මටත් බැනලා, අර මනුස්සයා පස්සෙන්ම ගොස්, පෑන ඉල්ලාගෙන එනවාය. (ලෝබ ගෑණි )
අම්මපා මේ ‘පඳුරු තැලීමේ රෝගය’ දැන් මටත් ‘භයානෙක’ විදිහට බෝවෙලා වගේය. හරි හරි මෙන්නේ……………. කියනවා කතාව. ඔන්න ඉතින් මම මගේ ලිපිය ලියාපදිංචි කරන තැනට ගියයි කියමුකෝ. තරුණ තරුණියෝ රැසක් පෝළිමේ සිටිති. හැබැයි ඔවුන්ගෙන් සමහරක්, බරපතළ ගැටළු වලට මුහුණදී ඇති සෙයක්, ඔවුන්ගේ මුහුණින් පිළිබිඹු වෙයි. ‘රෙජිස්ටර් කවුන්ටරේ නෝනා’ සැර ඇති. මම සිතුවෙමි. එහෙම එකක් පෙනෙන්න නැත. පෝලිමේ සිටින අයගෙන්, තුන් හතර දෙනෙකුට එක්කෙනෙක් පමණ, ආපසු හරවා යවන බවක් පෙනෙයි. දැන් කවුන්ටරේ නෝනා කියනදේ, මටත් ඇහෙන තරම් ළඟට, මමත් ආවෙමි. මෙන්න ඇය, අර ආපසු හරවා යවන අයට කියන දේවල්.
කෝ මේ ලියුමේ මුද්දර ගහලා නැහැනේ. (මුද්දර දෙන්නේ වෙනම කවුන්ටරයකිනි. ඒ තැන්වල ඉතා පැහැදිළිව, නෝටිස් හෙවත්, දැන්වීම්, හෙවත්, අහවල් ඒවා ප්‍රදර්ශනය කර ඇත. ලිපිය පරීක්ෂාකර, බර කිරා, මුද්දර ලබාගෙන, අලවා (ගම් කුප්පියක් නැත්නම් කෙල ගාලා හරි) රෙජිස්ටර් කවුන්ටරේට දුන්නම, ඒ නෝනා, ‘සුටුස් ගාලා’ ලියුම ලියාපදිංචි කර දෙනවාය.
කෝ මේ ලියුමේ තියෙන්නේ ලබන්නාගේ ලිපිනය විතරයිනේ. රෙජිස්ටර් ලියුමක යවන්නාගේ ලිපිනයත් ලියන්න ඕනේ.
- යවන්නාගේ සහ ලබන්නාගේ ලිපින ලියුමේ දෙපැත්තේ ලියන්න එපා එක පැත්තේ ලියන්න.
- ඉන්න ඉන්න මේ රිසිට් එක අරගෙන යන්න.
මගේ ලිපිය ලියාපදිංචි කර ආපසු හැරී එනවිට මම දුටු දෙයින් පුදුමයට පත්වීමි. ලියාපදිංචිය සඳහා මුද්දර ගැසූ ලිපියක් තැපැල් පෙට්ටියට දමන්නට තරුණයකු සූදානම් වෙයි. අහම්බෙන් දුටු නිසා, ඔහුගේ අතින් අල්ලා, එය වළක්වාලීමට මට හැකිවිය. මම ඔහුට සියල්ල විස්තර කර දුනිමි. ‘මගේ යාලුවෙක්ගේ ලියුමකුත් පෙට්ටියට දැම්මා’ ඔහු කීය. වහාම ඒ යාලුවා ගෙන්වා, තැපැල් ස්ථානාධිපති හමුවී කරුණු කියා, ඒ ලිපිය ආපසු ලබාගෙන, ලියාපදිංචි කරන්නට උපදෙස් දුනිමි. මේ තරුණ තරුණියන් සියල්ල පැමිණ සිටියේ, අපොස සාමාන්‍ය පෙළ සමත් අය වෙනුවෙන් ලබාදෙන, අභ්‍යාසලාභී තනතුරක් සඳහා ඉල්ලුම් කරන්නට බව, ඔවුන්ගෙන්ම දැනගතිමි.
මේ සියල්ල අවසානයේ මගේ සිතට දැනුනේ වේදනාවකි, දුකකි, කණගාටුවකි. අපි අටේ පන්තියේ ඉගෙනගනිද්දී, ලිපියක් ලියාපදිංචි කරන හැටි, මුදල් ඇණවුම් ඉල්ලුම්පත පුරවන හැටි මෙන්ම, වෙනත් බොහෝ රාජකාරි පිළිවෙත් දැන සිටියෙමු. (සිංහලෙන් මෙන්ම, 75% ක් පමණ සාර්ථකව, ඉංග්‍රීසියෙන්ද එවැනි කටයුතු කරන්නට දැන සිටියෙමු) ඒ අපේ ගුරුවර දෙමවුපියන්ට බුදුබව අත්වෙන්නටය. මා ඉහත කියන ලද විස්තරය, අතිශයෝක්තියක් නොව සත්‍යයක් බව, දිවුරා ප්‍රකාශ කරමි.
අද දරුවන්ට පාසලකින් ලැබෙන පැවරුම් අනන්තය, අප්‍රමාණය. (හැබැයි ඒ ඔක්කොම පැවරුම්, මැරීගෙන කරන්නේ දෙමවුපියන්ය. අනේ අනිච්චං….) අපොස සාමාන්‍ය පෙළ දක්වා උගත් මොවුන්ට ලිපියක් ලියාපදිංචි කරනහැටි කියාදෙන්නට කිසිවකු නොසිටියේද? නැතහොත් එවැනි දෑ ඉගෙන ගන්නට ඇති අකමැත්තද? එසේත් නැතහොත් උපතින්ම ගෙනා නුණුවන කමද? මේ මට ඇතිවුණු සිතිවිලි ය. හැබැයි මේ හැමදෙනාගේම ඇඳුම් පැළඳුම්, අතේ ඇති ජංගම දුරකථනය, ඔවුන් විචාර බුද්ධියෙන් යුත්තවුන් යයි නිරූපණය කෙරෙයි. මෙහෙම වෙන්නේ ඇයි? අධ්‍යාපනයේ වරදද? නැත්නම් මේ පරපුරේ වරදද? මේ අය අනාගතයේදී උප්පැන්න, විවාහ, මරණ, ඉඩම් ඔප්පු, වාහන පැවරුම්, සහ අනෙකුත් නීතිකෘත්‍ය වලදී, මොනතරම් අමාරුවේ වැටෙන්නට ඉඩ තිබේද? හැබැයි මේ කිසිවෙකුගේවත් මුහුණේ මේ අතපසුවීම් ගැන ලැජ්ජාවක් හෝ කණගාටුවක් නම් මම නොදුටුවෙමි.
පින්තුරය ගත්තේ මෙතනින්