මේ පරණ කාර් ලිපි මාලාව මෙතරම් ජනප්‍රියවේ යයි මා මුලින් සිතුවේ නැහැ. නමුත් බොහොමයක් දෙනා මේ ලිපි මාලාව අගය කර තිබෙන අතරම, තමන්ගේ දැණුමද, ලිපි වලට දක්වන ප්‍රතිචාර ලෙස එක්කිරීම නිසා, ලිපි මාලාවට ආලෝකයක් ලැබුණා. මීට කලින් ලියවුන කොටස් තුන කියවා නැති අයට, පළමුවැනි කොටස මෙතැනින්ද, දෙවැනි කොටස මෙතැනින්ද, තුන්වැනි කොටස මෙතැනින්ද, කියවන්න පුළුවන්. ඉතා දීර්ඝ ලිපි මාලාවක් ලෙස ඉදිරියට ගෙනයා හැකි නමුත්, මේ කොටසින් මේ ලිපි මාලාව අවසන් කළයුතුයැයි මා සිතනවා.
අද ලිපිය ආරම්භ කරන්නේ, එදත් අදත් ජනප්‍රිය වාහන වර්ගයක් වන අපේ කටට හුරු උච්ඡාරණයෙන් කියනවා නම් පර්ජෝ Peugeot (මෙය Google translation එකේදී කියවුනේ 'පජියෝ' යනුවෙන්) ප්‍රංශයේ නිෂ්පාදනයක් වන මේ වාහන වර්ගයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. බොහොම අභිමානවත් හා ශක්තිමත් වාහනයක් ලෙස මේ වාහන වර්ගය ප්‍රසිද්ධයි. මුලින්ම බලන්න පර්ජෝ ලාංඡනය කාලීනව වෙනස්වී ඇති ආකාරය.
පර්ජෝ වාහන වල මට මතක තිබෙන පැරණිම මෝස්තරය වුණේ පර්ජෝ 203 මොස්තරයයි. පර්ජෝ වාහනන ඒ කාලයේ සිටම ලංකාවේ පොලිස් සේවය හා සම්බන්ධයි. මට මතකයි මේ 203 මෝස්තරය සහකාර පොලිස් අධිකාරි වරුන්ගේ නිළ රථය වශයෙන් ලබාදී තිබුන බව.
පර්ජෝ වාහන වල මෝස්‌තර අංකය එක්තරා රටාවකට අනුවයි සකසා තිබුණේ. ඒ රටාව අද දක්වා විකාශනය වී තිබෙනේ මේ පහත දැක්වෙන ආකාරයටයි.
104, 106, 107, 108 (නමුත් මුලින්ම හැදුවේ මේ මෝස්‌තර නෙවෙයි 201 සිට ඉදිරියට ඇති මෝස්‌තර)
මේ රටාව අනුව යමින් ; 201, 202, 203, 204, 205, 206, 207 208
ඊළඟට; 301 සිට 309 දක්වා, සහ 401 සිට 408 දක්වා,
ඉන්පසු; 504, 505, 508
නැවත; 601,604,605, 607
අටසීය කාණ්ඩයේදී; 806 සහ 807
ඉන්පසු; 905, 907, 908
අවසාන වශයෙන්; 1007, 2008, 3008, 4007, 4008, 5008
මේ සෑම මෝස්‌තර අංකයක්ම පින්තූර වලින් මෙහි දැක්වීමට මා අදහස් කරන්නේ නැහැ. ඒ කාලයේ ජනප්‍රිය වී තිබුණු මෝස්‌තර කීපයක් පහත දක්වනවා. මතකතබාගන්න මේ පහත මා දක්වන සෑම මොස්තරයක්ම පාහේ පොලීසියේ උසස් නිළධාරීන්ගේ නිළ වාහන ලෙස යොදාගැණුනා.
දැන් ඉතින් පර්ජෝ ගැන කතාකලා ඇති. අපි මීළඟට බලමු ෆියට් වාහන ගැන. ඉතාලියේ නිෂ්පාදිත ෆියට් වාහන ලංකාවේ අතිශයින් ජනප්‍රිය වී තිබුණා. ඒ අතින් වඩාත් ජනප්‍රිය මෝස්තරයක් වුණේ සාමාන්‍ය ව්‍යවහාරයේදී බග් ෆියට් Bug Fiat යනුවෙන් හැඳින්වුන මෝස්තරයයි. මා මෙහි දක්වන්නේ, 1960 දශකයේදී දකින්නට ලැබුණු මෝස්‌තර පමණයි. මේ වාහන වලත් අර ෆොක්ස්වැගන් වාහන වල වගේ එන්ජිම තිබුණේ පිටිපස්සේ. ෆියට් 1100 නමැති මෝස්තරයේ එන්ජිම තිබුණේ ඉදිරි පස.
ඔබ දන්නවා ඇති බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ මරණය සිදුවුණේ වාහන අනතුරකින් බව. එදා ඩයනා කුමරිය ගමන්ගත් වාහනය සමග ෆියට් වර්ගයේ වාහනයක් ගැටුන බව වාර්තා වුණා. ඒ ෆියට් යූනෝ (ඌනෝ?) වර්ගයේ සුදු පැහැති වාහනයක් බව කියවුණත්, ඒ වාහනය සොයාගැනීමට නොහැකිවුන බවත් වාර්තාවුනා. මේ පහත දක්වන්නේ ඒ වර්ගයේ වාහනයක්. මේ මෝස්තරය ලංකාවේ තවමත් එකක් දෙකක්වත් ඇති.
ප්‍රංශයේ නිෂ්පාදිත රේනෝ Renault වාහන වලට අපි කිව්වේ 'රෙනෝල්ට්' කියලයි. මේ වාහන වර්ගයේ නව මෝස්‌තර 1980 දශකයේදී පවා ලංකාවට ආවා. නමුත් මා මෙහි පෙන්වන්නේ 1950 - 60 කාලයේදී අපි දුටු, රේනෝ ඩව්ෆින් Renault Dauphine (අපි කිව්වේ රෙනෝල්ට් ඩෝපින් කියලා)
1980 දශකයේ ආව රේනෝ 4 නමැති කාර් (පෙනෙන්නේ වෑන් එකක් වගේ) මෝස්තරයේ ගියර් දැමිල්ල හිනායන වැඩක්. හරියට කුඩ මිටක් වගේ තමයි ගියර් පොල්ල තිබුණේ. ඒක පස්සට ඇදලා අදාළ ගියරයට අනුව වමට හෝ දකුණට කරකවලා ආපසු දැමීම තමයි කරන්න තිබුණේ. හරි අමාරුවෙන් පින්තූරයක් හොයාගත්තා ඒ විකට ගියර් දැමිල්ල පෙන්වන.
මීළඟට මගේ මතකයට එන වාහන වර්ගය වන්නේ වොක්ස්හෝල් Vauxhall නමැති වාහන වර්ගයයි. මේ වාහන වර්ගයේ කුඩා ප්‍රමාණයේ වාහන නම් මට මතක නැහැ. මහ සද්දන්ත වාහන තමයි තිබුණේ. වෝක්ස්හෝල් ලාංඡනය සහ මගේ මතකයේ තිබෙන එම කාර් මෝස්‌තර දෙකක් මෙහි දක්වනවා.
පසුගිය කොටසේදී රවී සහ තවත් නිර්නාමික එක් අයෙක් මට මතක් කරලා දුන්නා තවත් වාහන දෙවර්ගයක් ගැන. ඒ තමයි ස්කෝඩා Skoda වාහන සහ DKW වාහන. මේ වාහන වර්ග දෙකම අපි කුඩා කාලයේදී දුටුවා මතකයි. චෙකොස්ලොවේකියා ජනරජය තමයි ස්කෝඩා වාහන වල ජන්ම භූමිය. ස්කෝඩා ලාංඡනය සහ වාහන පහත දක්වනවා.
DKW වාහනයේ ජන්ම භූමිය ජර්මනියයි. ඔබ අද දකින අවුඩි Audi වාහන දක්වා පරිනාමය වූයේ මේ DKW වාහන තමයි. ලංකාවේ ඒ කාලයේ දකින්න ලැබුනේ එක මෝස්තරයක් පමණයි.
ට්‍රයම්ප් Triumph වාහන ලංකාවේ බොහොම ජනප්‍රියව තිබුණා. වඩාත් ජනප්‍රියව තිබුණේ ට්‍රයම්ප් මෝටර් බයිසිකල්. අපි දැකපු මෝටර් බයිසිකල් ගැන කරුණු හොයාගන්න ලැබුණොත්, පසුව ලියන්නම්. ට්‍රයම්ප් හෙරල්ඩ් සැලූන් නමැති මෝස්තරය තමා බහුලවම දකින්න ලැබුනේ. පහත දක්වන්නේ ඒ මෝස්තරය. මේ වර්ගයේ රථයක් අගමැති ඩඩ්ලි සේනානායක මහතා පාවිච්චි කල බව මට මතකයි.
කාර් ගැන කතා කරනකොට ජීප් ගැන නොකියා බැහැ. අපි ඒ කාලේ ප්‍රධාන වශයෙන් දැකපු ජීප් වර්ග දෙකක් තිබුණා. එකක් තමයි ලෑන්ඩ් රෝවර් Land Rover ජීප්. අනික් වර්ගය විලීස් willys ජීප්. මෙයින් ලෑන්ඩ් රෝවර් රථ මුලින්ම ආවේ පොලීසියේ ප්‍රයෝජනය සඳහා සහ වතු අධිකාරී වරුන්ගේ ප්‍රයෝජනය සඳහා. ඇත්ත වශයෙන්ම ලෑන්ඩ් රෝවර් රථ පෞද්ගලික අයිතියේ තිබුණේ බොහොම ටිකයි. නමුත් විලීස් ජීප් රථ සෑහෙන ගණනක් පෞද්ගලික අයිතියේ තිබුණා. ජීප් Jeep යන වචනය හැදුනේ කොහොමද කියා විවිධ මත තිබෙනවා. නමුත් සාමාන්‍යයෙන් පිළිගන්නා මතය වන්නේ General Purpose Vehicle > G.P. Vehicle> GP = Jeep වූ බවයි. ජීප් රථයක විශේෂත්වය වන්නේ එහි අනිවාර්යයෙන්ම රෝද හතරටම බලය යෙදවීමේ හැකියාව තිබීම බව ඔබ දන්නවා ඇති. ඒ වගේම ලෑන්ඩ් රෝවර් ජීප් හදන්නේ එංගලන්තයේ බවත්, විලීස් ජීප් හදන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ බවත් ඔබ දන්නවා ඇති.
1960 දශකයේ මුල් භාගයේදී තමයි මා පළමු වරට දැක්කේ ලංකාවට ගෙනා ජපන් වාහනයක්. ඒ කාලේ ජපන් වාහන එතරම් ජනප්‍රිය වුණේ නැහැ. ජපන් වාහන ජනප්‍රිය වීමේ අඩිතාලම දැම්මේ හොඳා මෝටර් සයිකල් කියලයි මමනම් හිතන්නේ. ඉතින් මා දුටු මුල්ම ජපන් වාහනය ඩැට්සන් බ්ලුබර්ඩ් වර්ගයේ රථයක්. එය ඒ කාලේ රුපියල් 5000 ක් පමණ වූ බවයි මගේ මතකය. පැරණි ඩැට්සන් ලාංඡනය සහ මා මුලින්ම දුටු කාර් මෝස්තරයේ පින්තූරයක් පහත දක්වනවා.
මා හිතනවා මෙතෙකින් මේ ලිපි මාලාව අවසන් කළයුතුයැයි කියා. පහත දැක්වෙන පින්තූර දෙස ඔබේ අවධානය යොමු කරමින් ලිපිය අවසන් කරනවා.
1970 මුල් භාගයේදී ලංකාවේ දර්ශනයක්