හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

24 January 2012

බෙරේ නම් නැහැ කේස් එක තියනවා


  නවක සොල්දාදුවන්ට, යුද හමුදාවට බැඳුනු පසු, තම බඩු බාහිරාදිය දමාගැනීම සඳහා, සිලින්ඩරාකාර හැඩයකින් යුත්, කැන්වස් රෙද්දෙන් මැසූ, විශාල බෑගයක් ලැබේ. සිංහලෙන් ‘ඔලොගු කට්ටලය’ ඉංග්‍රීසියෙන් (Duffle Bag) යනුවෙන් හැඳින්වෙන මෙය අලියකුගේ පාදයේ පහළ කොටස මෙන් පෙනෙන නිසා, ‘අලි කකුල’ යන ජනප්‍රිය නාමයෙන්, යුද හමුදාවේ සියලු දෙනා අතර ප්‍රචලිතය. මෙය කොතරම් විශාලද යත්, උඩරට ගැට බෙරයක් එහි පහසුවෙන්ම දැමිය හැකිය. එමෙන්ම සොල්දාදුවකු පළඳින එක් හිස්වැස්මක් වන්නේ ‘බෙරේ’(Beret) යනුවෙන් හැඳින්වෙන හිස්වැස්මයි. (සමහර නිලධාරීන් පවා මෙය ‘බෙරෙස් එක’ යනුවෙන් හඳුන්වන්නේ නොදන්නාකම නිසාය. නිවැරදි නම වියයුත්තේ ‘බෙරේ එක’ යන්නය.) සමහර අවස්ථා වලදී, සොල්දාදුවකු සතුව, මෙසේ යුද හමුදාවෙන් නිකුත් කරන සියළු උපකරණ තිබේද යන්න, පුහුණුකිරීම් භාර උපදේශකයන් විසින් පරීක්ෂා කරනු ලැබේ. මේ එවැනි එක් දිනයකි. සියළු දෙනා පෙළගස්වා, පරීක්ෂණය සිදුවෙමින් පවතින අතරතුර, එක් උපදේශකයෙක් ‘කෝ තමුන්ගේ බෙරේ එක?’ කියා ආධුනික සොල්දාදුවකුගෙන් විමසීය. බෙරයක් ගැන ඔහුට හාන්කවිසියක් නැත. නමුත් බෙරයක් වුවත් දැමිය හැකි මල්ලක් තිබෙන බව මතක් විය. සොල්දාදුවා වහාම පිළිතුරු දුන්නේය. ‘බෙරේ නම් ලැබුනේ නැහැ කෝප්‍රල්, එත් බෙරේ දාන කේස් එකනම් ලැබුනා’ ඔහු තම ඔලොගු කට්ටලය පෙන්වමින් කීය.

23 January 2012

නිළ ඇඳුමෙන් සිටි කාලේ 7

Quantcast


  නුවරඑළිය යුද හමුදා කඳවුර පිහිටුවා ඇත්තේ 1969 වර්ෂයේදී බව මීට පෙර කොටසේ සඳහන් කළා ඔබට මතක ඇති සිතමි. මේ භූමියේ මුලින්ම පිහිටුවා තිබෙන්නේ ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව පවතී සමයේදී නුවරඑලිය ප්‍රදේශයේ තිබුණු තේ වතුවල සේවය කල බ්‍රිතාන්‍ය ජාතික වතු පාලකයන්ගේ දරුවන් සඳහා පාසලකි. ඒ 1940 දශකයේය. ඒ පාසල හඳුන්වා ඇත්තේ ‘හිල් ස්කූල්’ (Hill School) යනුවෙනි ඒ නාමය කොතරම් ස්ථාවරවී තිබේදැයි කිවහොත් අදටත් හිල් ස්කූල්, නුවරඑළිය යන ලිපිනයට එවන ලිපි නොවැරදීම කඳවුරට ලැබේ. ඒ කාලයේ පාසල් දරුවන් පාසල් භූමියේ සිටින ආකාරය දැක්වෙන ඡායාරූප තවමත් කඳවුරේ ඇත.

  1990 දශකයේදී පවා බ්‍රිතාන්‍යයේ සිට සංචාරකයන් ලෙස පැමිණි මේ පාසලේ ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් මම දැක ඇත්තෙමි. ඔවුන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් විශේෂ අවසරය මත මෙහි පැමිණ කඳවුරු භූමිය පුරා ඇවිදිමින්, ‘මේ අපේ පන්තිය තිබුණු තැන, මේ අපි ක්‍රීඩා කල තැන’ ආදී වශයෙන් එක් එක් ස්ථාන පෙන්වන අතර සමහරු සමුගන්නේ කඳුළු පිරි දෙනෙතිනි. නුවරඑළිය යුද හමුදා කඳවුර ශ්‍රී ලංකාවේ යුද හමුදා කඳවුරු අතරින්, ස්ථානගතවීම අනුව, ඉතාම අලංකාර ලෙස ස්ථාන ගතවී ඇති කඳවුරක් බව අවධාරණය කල යුතුය. මෙහි ඇති රෝස උයන ශ්‍රී ලංකාවේ ඇති රෝස උයන් අතරින් සුවිශේෂී රෝස උයනකි. සෑම වසරකම නුවරඑළියේ පැවැත්වෙන වසන්ත උත්සවයේදී මේ රෝස උයනට, රාජ්‍ය අංශයේ රෝස උයන් තරගයෙන් පළමුවැනි ස්ථානය ලැබුණු වාර ගණන බොහෝය.

  මෙහි උයන්පාලක ලෙස සේවය කළේ ඒ විෂයය පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති ‘වේලු’ නමැති ද්‍රවිඩ ජාතිකයෙකි. උදේ පාන්දරින්ම මොන කාලගුණ තත්වයක් තිබුනත් ඔහු කඳවුරට පැමිණෙයි. වැඩ අධිකනම් ඔහු සිය බිරිඳ හා දරුවන්ද ඇත උදව්වට කැටුව එයි. රෝස මල් ගැන ඇති දැනුම මෙන්ම ඔහුගේ ඉංග්‍රීසි දැනුමද විශිෂ්ඨය. උයනේ ඇති රෝසමල් පිළිබඳව ඔහු කරන විස්තර අප පුදුමයට පත්කරන අතර උද්‍යාන පාලනය ගැන කිසිදු උසස් අධ්‍යාපනයක් නොලබා ප්‍රයෝගික දැනුමෙන් හා මතකයෙන් ඔහු මේ උයන නඩත්තු කරන ආකාරයද විශ්මයජනක විය. මේ උතුම් මනුෂ්‍යයා අද ජීවතුන් අතර නැත. 1991 වර්ෂයේදී මෙම උයනට රාජ්‍ය අංශයේ තරගයෙන් ප්‍රථම ස්ථානය ලද අවස්ථාවේදී අපගේ බල ඇණියේ අණදෙන නිලධාරී වරයා නියෝජනය කරමින් මම ජය සංකේතය භාර ගතිමි. වේදිකාවෙන් බසින විට මා දුටුවේ ලස්සන සුදු සරමකින් සහ අළු පැහැති ජර්සියකින් සැරසී කුඩා දරුවකු මෙන් සතුටින් අත්පොලසන් දෙන වේලු ය.


මම වහාම ජය සංකේතය ඔහුගේ අතට දුනිමි. ඔහු සතුටු කඳුළු හෙලනු මම දුටිමි.


වේලු මෙන්ම අපගේ නිලධාරීන් අතර වඩාත් ප්‍රියතම පුද්ගලයකු විය. ඒ නිලධාරී නිවස්නයේ ප්‍රධාන සූපවේදියා වූ ‘ෂෙල්ටන්’ ය. ඉතා නිහඬ පුද්ගලයකු වූ ඔහුගේ ඉවුම් පිහුම් ගැන වර්ණනා කරන්නට මට හැකියාවක් අැතැයි මම නොසිතමි. අපේ බලඇණිය වවුනියාව ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටි අවධියේදී ඔහු වරක් විදේශීය අමුත්තන් පිරිසක් වෙනුවෙන් සකස් කල භෝජන, එම විදේශිකයන් විශ්මයට පත් කළේ, එවැනි ප්‍රදේශයකදී එවැනි ආහාර වර්ග කෙසේ සැකසූයේද යන්න සිතාගත නොහැකිවය. මේ විශිෂ්ටයාද අප අතරින් 2008 වසරේදී සමුගත්තේය. මීළඟ කොටසෙන් තවත් විස්තර. . . .

දන්නවද මම කවුද කියලා


අලුතෙන් හමුදාවට බැඳුනු සොල්දාදුවන් පුහුණුවට ආවේ තරමක් උස මහත, එමෙන්ම දරදඬු, සාජන්ට් වරයෙකි. සොල්දාදුවන් සරඹ පිටියේ පෙළ ගැස්වූ ඔහු, නවක සොල්දාදුවන්ට තමාව හඳුන්වා දුන්නේ මෙසේය. ‘මම සාජන් ‘ගල්ගෙඩියාන’. හොඳට මතක තියාගන්නවලා, මම මගේ නමටත් වැඩිය තදබල මිනිහෙක්’ ඉන්පසු ඔහු එක් එක් සොල්දාදුවන්ගේ නම විමසමින් පේලිය දිගේ ගියේය. පුංචි කැහැටු සොල්දාදුවෙක් පේලිය කෙලවරේම සිටියේය. ‘මොකක්ද ළමයා තමුන්ගේ නම? සාජන්ට් විමසුවේය. බයෙන් ගැහෙමින් ඔහු තමන්ගේ නම කිව්වේය. මම ආධුනික සෙබල ‘ගල්කඩුව’ සාජන්.

22 January 2012

ඉස්කෝලේ යන කාලේ 7

Quantcast

ඉස්කෝලේ යන කාලේ 6 වැනි කොටසෙන් මා ඔබට කිව්වේ අපේ නගරයේ තුබුණු මාර ගසක් (පච ගහ) පිලිබඳ මගේ මතකයන්ය. මෙවැනි පච ගස් තුනක් අපේ නගරයේ තිබුණි. එයින් පළමුවැන්න පසුගිය ලිපියෙන් මම ඔබට හඳුන්වා දුනිමි. දෙවැනි පච ගස තිබුනෙ මේ නගරයේ පැරණි රෝහල් භූමියේය. අද එම භූමිය අධිකරණ සංකීර්ණය බවට පත්ව ඇත. 1960 දශකයේදී අපේ නගරයට නව රෝහල් සංකීර්ණයක් ලැබූනි. අද එය ශික්ෂණ රෝහලකි. එම රෝහල විවෘත කරන ලද දිනයේ පාසල් සිසුන් විසින් ඉදිරිපත් කල ආචාර පෙළපාලියේ අපේ පාසල් ඛණ්ඩය අණ දුන්නේ ගරු මම තුමා විසිනි. පැරණි රෝහල් භූමිය තවත් විශ්මලන්තයකි.

ඇත්තෙන්ම මම ඒ භූමියට මුලින්ම පිවිසුනේ මගේ මව මට බාලම සහෝදරයාට උපත දීම හේතුවෙනි. අම්මා නැතිව දින දෙක තුනක් මා ගතකලේ දැඩි වේදනාවකිනි. අලුත උපන් රෝසපාට පුංචි එකාද සහිතව අම්මා ගෙදර එනු මට අද වගේ මතකය. හැබැයි ඒ පුංචි එකා අපි හැම හඬවා 2002 දී හදිසි අනතුරකින් අප හැර ගියේය. මේවා දකින්නට ඒ වනවිට මගේ දෙමවුපියන් ජීවතුන් අතර නොසිටීම ඔවුන්ගේ වාසනාවකි. රෝහලේ පච ගහ ළඟ ‘රටේ වෙද්දු’ පිරී සිටියහ. එකල්හි ඔවුන් නොකළේ ශල්‍යකර්ම පමණි. සර්වාංග රෝග විශේෂඥයන් වූ ඔවුන් අත ඕනෑම රෝගයකට ප්‍රත්‍යක්ෂ ඔෳෂධ තිබුණි. මේ ඔෳෂධ වෛද්‍ය වරුන්ට හොරෙන් තම රෝගීන්ට දීම හේතුවෙන් කී දෙනෙක් රැකුනේද නැසුනේද යන්න මම අදටත් නොදනිමි. තුන්වැනි පච ගස තිබුනේ අද පොලිස් ස්ථානය පිහිටා තිබෙන, එකල අධිකරණ සංකීර්ණය වූ භූමියේය. එහි වැඩිපුරම සිටියේ අධිකරණය වෙත ‘ඔප්පු කිරීම’ සඳහා පෙත්සම් ලියන අයවලුන් (ටයිප් රයිටරයක් කුඩා බංකු කැබැල්ලක් මත තබාගෙන සිටින මොවුන් දිවුරුම් පෙත්සම් ආදිය ටයිප් කර දීමෙන් අහිංසක ගැමියන් ගසා කෑවේ නිර්දය ලෙසිනි.) ‘ගොඩ පෙරකදොරුවන්’ සහ නීතීඥයන්ගේ තැරැවුකරුවන් ය. ඒ සමග අත බලා සාස්තර කියන අයවලුන් මෙන්ම තවත් ‘සේවා’ සපයන්නන්ද වූ බව මා දැනගත්තේ පාසලෙන් අස්වූ පසුවය.
එකල ‘කළු ජේන්’ නමින් කුප්‍රකට කාන්තාව විසින් මුදල් පොලියට දීමට අමතරව, ගංජා සුරුට්ටු, කසිප්පු, පමණක් නොව ගණිකාවන්ද අවශ්‍ය අයට සැපයූ බව ම දැනගත්තේ, මගේ විමර්ශනශීලී මිතුරන්ගෙනි. ඇගේ ‘අතීසාර’ මිතුරියක් වූ ‘රැසිලින්’ එකල කුප්‍රසිද්ධ ගණිකාවක් වුවද, කිසි දිනක පොලිස් අත්අඩංගුවට පත්වූ බවක් මා අසා නැත. රැසිලින් වර්ණයෙන් කළු වුවද අතිශයින් ‘දැකුම්කළු’ බව මට හොඳට මතකය. (එකල මගේ වයස අවුරුදු 16 ක් වුවද ‘රස වින්දනය’ ඉහල මට්ටමක පැවතුන බව සහතික කල හැකිය) උසාවිය ළඟ පච ගස අරක්ගත් සාස්තර කාරයන් අතර අපේ ගෙදර අය විසින් ‘ශාස්ත්‍රම්’ නමින් හැඳින්වුණු පුද්ගලයකු විය. ඔහු කිසියම් ස්නායු රෝගයකින් පෙළුණු අතර ගමන් කළේ අඩි දෙකතුනකට වරක් මග නවතිමිනි. ඔහුගේ බිරිඳ ඔහුගේ අතින් අල්ලාගෙන ගමන් කළාය. පච ගස යටදී ඔහු තරම් දක්ෂ ශාස්ත්‍රඥයෙක් මෙලොව නොවීය.

මම මීට පෙර ලිපියෙන් කියූ පච ගස අසල තිබුණු සිනමා ශාලාව අද පෙම්වතුන් අතර වඩාත් ජනප්‍රියය. එයට සුවිසේශී හේතුවක් ඇත. මුල් කාලයේදී මේ සිනමාහලට බැල්කනියක් නොතිබුණි. 1970 දශකයේදී බැල්කනියක් ඉදිවූ අතර එම සිනමා ශාලාවේ ප්‍රක්ෂේපණ යන්ත්‍රය පිහිටා ඇත්තේ බැල්කනියට පහළිනි. මේ නිසා චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරන විට බැල්කනිය සම්පූර්ණයෙන් අඳුරුය. ඒ නිසා මේ සිනමාහල පෙම්වතුන් අතර ඉතා ජනප්‍රියය. තවත් විස්තර පසුව. . . . ..

21 January 2012

නිළ ඇඳුමෙන් සිටි කාලේ 6


යුද හමුදාවට බැඳී, පුහුණු පාසලකින් මූලික පුහුණුව ලබා, කිසියම් යුද හමුදා රෙජිමේන්තුවකට එක්වන සොල්දාදුවන්ට, පශ්චාත් මූලික පුහුණුවක් ලබා දෙන බව, මීට පෙර මා, නිළ ඇඳුමෙන් සිටි කාලේ ලිපියකදී සඳහන් කළා ඔබට මතක ඇතැයි සිතමි. මූලික පුහුණුව පමණක් ලැබූ සොල්දාදුවකු කිසි විටකත් යුද බිමේ සටන් සඳහා එක වරම යොමු කරන්නේ නැත. තව දුරටත් ඔහුගේ චිත්ත ධෛර්යය, ආත්ම විශ්වාසය සහ පාබල සොල්දාදුවකු තුල තිබිය යුතු සුවිශේෂී ගුණාංග වර්ධනය කෙරීම සඳහා කෙරෙන පාඨමාලාවකින් පසුව පමණකි, ඔවුන් සටන් බිම වෙත යැවෙන්නේ.
එහිදීද මුලින්ම යොදවන්නේ පළපුරුදු අයගේ දැඩි අධීක්ෂණය යටතේය. මේ නිසා පශ්චාත් මූලික පුහුණු පාඨමාලාව දිවා රාත්‍රී අභ්‍යාස රාශියකින් යුත් අති සංකීර්ණ පාඨමාලාවක් වෙයි. කාන්තා බලකායට වූවද මෙය මෙසේමය. කෙසේ වෙතත් කාන්තා බලකාය කෙලින්ම සටන් බිමේ ඉදිරියට ගොස් පහර දීමේ රාජකාරි සඳහා යොදවන්නේ නැත. එහෙත් සතුරු ප්‍රහාර වලදී ඔවුන් නොබියව සටන් කල අයුරු මම කීප විටක්ම දැක ඇත්තෙමි. නුවරඑලිය ප්‍රදේශය පශ්චාත් මූලික පුහුණුව සඳහා යොදා ගන්නේ මා අයත්ව සිටි රෙජිමේන්තුව පමණක්ම නොවේ. කොමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය වැනි රෙජිමේන්තුද මේ ප්‍රදේශයේ අභ්‍යාස සඳහා වරින්වර පැමිණෙයි. පශ්චාත් මූලික පුහුණු පාඨමාලා කීපයකම උපදේශක නිලධාරියකු ලෙස මා සේවය කල අතර ඒ පාඨමාලා හා බැඳුනු ඉතා රසවත් අත්දැකීම් රාශියක් මා සතුවෙයි.
මාර්ග බාධකයක් දමා මගීන් සහ වාහන පරීක්ෂා කරන ආකාරය පුහුණු කිරීම, පුහුණුවේදී සොල්දාදුවන්ට උගන්වන, එක වැදගත් කාර්යයක් වෙයි. ඔබ සියලු දෙනා ජීවිතයේ එක්වරක් හෝ ආරක්ෂක හමුදා මාර්ග බාධකයක් හරහා ගොස් ඇතැයි සිතමි. මේ මාර්ග බාධකයක් යොදවන්නේ මෙහි විස්තර කල නොහැකි, සංග්‍රාමික මූලෝපාය (battle tactics) පදනම් කරගෙනය. එය නිකම් ආවාට ගියාට කලොත් ප්‍රතිඵලයද ආවාට ගියාට ප්‍රතිඵලයක් වෙයි. ඒ නිසා සියලු උපදෙස් සෑම විටම අකුරට පිළිපැදිය යුතු අතර, එක උපදෙසක්වත් අඩුවෙන් හෝ වැඩියෙන් ඉටු නොකිරීමට වග බලාගත යුතුය.
පුහුණු උපදේශක මණ්ඩලයට අයත් කාර්යක්ෂම එමෙන්ම සෙබළුන්ට තරමක් අනුකම්පා විරහිතව සැලකූ කෝප්‍රල් වරයෙකි ‘කෝප්‍රල් වික්ටර්’. ඔහු සියල්ල අකුරට කරන නියම පාබල සොල්දාදුවෙකි. එක්තරා පාඨමාලාවක දී මාර්ග බාධකය පිලිබඳ මූලධර්ම ඇතුලත් දේශනය අවසන් කල මම, එහි ප්‍රායෝගික කොටස, නවක සොල්දාදුවන්ට කරවීම සඳහා, සියල්ල සූදානම් කරවූයෙමි. කෝප්‍රල් වික්ටර් සහ අනෙකුත් උපදේශක මණ්ඩලය මේ සඳහා යුහුසුළු වූහ. ‘තමන් දන්නා කෙනෙක් වුනත් මාර්ග බාධකය හරහා යන්න අවොත් පරීක්ෂා කරන්න ඕනේ හරිද?’ එතකොට යාලු මිත්‍රකම් දැන හැඳුනුම්කම් මොකවත් නැහැ. මහත්මයා කවුද, කොහෙද යන්නේ එහෙම තමයි අහන්න ඕනේ හරිද?’ කෝප්‍රල් වික්ටර් උපදෙස් දෙනු මම අසාගෙනය. ‘හරි කෝප්‍රල්’ කියා සිසුන් සියලු දෙනා එකවර මහා හඬින් කියූහ. ඒ ඔවුන් එක අණක් යටතේ ක්‍රියා කිරීම සඳහා හැඩගස්වන එක ක්‍රමයකි. කෝප්‍රල් වික්ටර් මාර්ග බාධකය යෙදෙව්වේ නුවරඑලිය නගරයේ වැව අසළ පිහිටි වයි අකුරේ හැඩයට තිබෙන ‘වයි’ හන්දියේය. මමද එහි ගොස් පුහුණුව පරීක්ෂා කරමින් සිටියෙමි. සියල්ල ඉතා හොඳින් සිදුවේ. ‘යුද හමුදා අභ්‍යාසයකි’ යන දැන්වීම් පුවරු යොදා තිබුනත්, සාමාන්‍ය මාර්ග බාධකයක මෙන් සියල්ල සිදුවූ අතර මහජනතාවගෙන්ද වාහන රියදුරන්ගෙන්ද අවශ්‍ය සහාය නොමඳව ලැබුණි. ඔය අතරේ මා ලඟට පැමිණි කෝප්‍රල් වික්ටර් ‘සර් මම ටක් ගාලා සිවිල් ඇඳුමක් ඇඳගෙන බස් එකක එල්ලිලා එන්නම්, බලමු මුන් මාව චෙක් කරන හැටි’ කිව්වේය. ‘ඒක හොඳයි, බලමු, අපි කිව්වනේ මාර්ග බාධකයකදී දැන හැඳුනුම්කම් නැහැ කියලා’ මම කිව්වෙමි. ඔහු වහාම නොපෙනී ගියේය. විනාඩි 10 කට පමණ පසුව වැලිමඩ බලා යන බස් රථයක් මාර්ග බාධකය වෙත පැමිණි අතර සොල්දාදුවෝ කඩිනමින් නිසි පිළිවෙතට අනුව මගීන් හා බස් රථය පරීක්ෂා කරන්නට විය. සිවිල් ඇඳුමෙන් සැරසුන කෝප්‍රල් වික්ටර් බස් රථයෙන් බැස්සේ මේ වේලාවේදීය. ඔහු දුටු ගමන් එක් සොල්දාදුවෙක් ‘ගූඩ් ආෆ්ටර්නූන් කෝප්‍රල්, කොහෙද යන්නේ’ කියා විමසීය. ‘යනවා. . . . . . . . . . . . . . . . (දන්නවනේ, මෙතන ලියන්න බැහැ)’ කියූ කෝප්‍රල්, ‘මට සමාවෙන්න සර්, මගේ වචන වලට. මටනම් තේරෙන්නේ නෑ සර් කොහොම කියලා දෙන්ඩද කියලා’ යනුවෙන් පවසා ඉවතට ගියේය. මට මගේ සිනහව සෑහෙන වෙලාවක් යනතුරු නවත්වා ගත නොහැකි විය.

එහෙනම් සර් . . . . .

Quantcast

මම ඒ කාලයේ සිංහල විෂයය ඉගැන්වූයේ අ.පො.ස.සාමාන්‍ය පෙළ පන්ති වලටයි. එක දිනක් විදුහල්පතිතුමා හදිසියේම ගුරුවරුන්ගේ විවේක කාමරයට ආවේ මාව හොයාගෙන. ‘අනේ බලන්නකෝ මිස්ට . . . . . .අර හය බී පන්තියේ . . . . වතී ටීච අද ඇවිල්ලා නැහැනේ’. ‘අනේ මේ පීරියඩ් එකේ තියන සිංහල පාඩම කවර් කරලා දෙන්න පුළුවන් නේද? විමසීය. අපේ විදුහල්පතිතුමා ඔලුව උදුම්මාගත් පාලකයකු නොවේ. ඔහුගේ කාරුණික ඉල්ලීම් අපි කිසිවකුත් කවරදාකවත් ප්‍රතික්ෂේප නොකළෙමු. නියෝග වශයෙන් දිය හැකි දේ පවා ඔහු ඉදිරිපත් කලේ කාරුණික ඉල්ලීම් හැටියටය. මේ නිසා ඔහුට අපගේ පූර්ණ සහයෝගය ලැබීම පාසලේ දියුණුවට හේතු විය.
‘හය බී’ පන්තියට මා ආසාවෙන් ගියේ පොඩි එවුන්ට පාඩමක් කියාදීම කෙසේ වෙතත්, කතන්දරයක් හෝ කියාදී ඔවුන් පන්තිය තුළ නිහඬව තබා ගැනීමටයි. පන්තියට ගිය මා විමසූයේ අද මොනවද කරන්නේ කියාය. පුංචි පන්තියකින් ප්‍රශ්නයක් ඇසුවොත් මුළු පන්තියම වහලයේ උළු උඩ යන තරම් මහා හඬින් සියලුදෙනා එකවර පිළිතුරු දෙයි. ‘ඊයේ ගෙදරදී කරපු දේවල් ලියාගෙන එන්න කිව්වා’ කන් පැලෙන හඬින් පිළිතුරු ලැබුණි. නැවත ප්‍රශ්න නොඇසිය යුතුයි සිතාගත්තේ අහල පහල පන්ති වලට බාධා නොකිරීම සඳහාය. ඉදිරි පෙලේ සිටින හුරුබුහුටි පැටික්කියක් මට ඇයගේ අභ්‍යාස පොත දිගු කරගෙන සිටී. ‘කෝ ගෙන්න බලන්න ඔයාගේ පොත’ මම කිව්වෙමි. කෙල්ල තප්පරයකින් මා ලඟට ආවාය. ඊයේ කල දේවල් ලස්සනට ලියලාය. නමුත් අන්තිම වාක්‍යයේ වැරැද්දක් තිබේ. ඇය ලියා තිබුනේ ‘මම ඊයේ රෑ අම්මා ළඟ නිදා ගත්තාය’ කියායි. ‘එහෙම නෙවෙයි ළමයෝ මම ඊයේ රෑ අම්මා ළඟ නිදා ගත්තෙමි’. මම කිව්වෙමි. කෙල්ල පුදුමව මාදෙස බැලුවාය. ‘ආ එහෙනම් මට නින්ද ගියාට පස්සේ සර් එන්ඩ ඇති’ එක වරම කිව්වාය.

20 January 2012

මෙහෙම ගිහින් කොහෙද යන්නේ 2

මෙහෙම ගිහින් කොහෙද යන්නේ ලිපි මාලාවේ පළමුවැන්න මා අවසන් කලේ, සමහරු, භාෂාව ස්කොෂ් පන්දුවක් මෙන් භාවිත කරන බව හා ‘එදාවේල ක්‍රමයට’ භාෂාව යොදාගන්නා බවද සඳහන් කරමිනි. භාෂාව නමැති මෙවලම පන්දුවක් මෙන් පහරදෙන හෝ දමා ගසන දෙයක් නොකරගෙන, වයලීනයක් මෙන් වැයීමෙන්, ඉමිහිරි වින්දනයක් ගෙනදෙන මෙවලමක් බවට පත්කරගැනීමට, අප සියලුදෙනා එක්ව ක්‍රියා නොකළහොත්, එහි අනිටු පල විපාක අත්විඳින්නේ අනාගත පරපුරයි.
කිසියම් පුද්ගලයකුට තම උපත සහ පරම්පරාව ගැන පැහැදිලි විස්තරයක් කල නොහැකිනම්, අවුලට පත්වන්නේ ඔහුගේ අනන්‍යතාවයි. සමාජ තත්වය දෙවනුව සමහර විට අවුල් විය හැකිය. මොහොතකට සිතන්න, උපතේ ප්‍රශ්නයක් නිසා උප්පැන්න සහතිකයක් ලබාගත නොහැකි පුද්ගලයකුට, තම ජීවිත කාලය පුරාවට කෙබඳු විඳවීම් රැසකට මුහුණ දීමට සිදුවේද? කිසියම් භාෂාවක් එහි මූලාරම්භය වැනසෙන පරිදි වර්ධනය වූවොත්, එම භාෂාවේ අනන්‍යතාවද එලෙසින්ම වැනසී යයි.
සෑම භාෂාවකටම කාලීන අවශ්‍යතා අනුව හෝ දේශපාලනමය බලපෑම් (යටත් විජිතයක්ව පැවතීම වැනි) නිසා හෝ වෙනත් භාෂාවල වචන එක්වෙයි. හොඳම උදාහරණය වන්නේ සිංහල භාෂාවට එක්වී ඇති පෘතුගීසි, ලන්දේසි සහ දෙමළ වචනය. දීර්ඝ කාලයක් භාවිතයේ පවතින එම වචන නිසා සිංහල භාෂාවේ හෝ සිංහල ජාතියේ අනන්‍යතාවට එතරම් හානියක් සිදුවී ඇති කිව නොහැකිය. මන්ද භාෂා ව්‍යවහාරය මෙන්ම සාහිත්‍ය නිර්මාණ තුලින්ද එම අනන්‍යතාව මනාව සුරකින බැවිනි. එහෙත් භාෂාව සහ සාහිත්‍යය ව්‍යවහරිකයන්, අයාලේ යන්නේනම්, තම භාෂාවේ මූලාරම්භය අමතක කරන්නේනම්, ඕනෑම යෙදුමක් ‘අපිට හොඳනම් පාවිච්චි කලාට මොකද’ යන සංකල්පය තුළ පිහිටා ක්‍රියා කරන්නේනම්, ඒ භාෂාව සතු සුවිශේෂී අනන්‍යතා ලක්ෂණ තවදුරටත් රැඳෙයිද? එසේ නොරැඳීම ඒ භාෂාව විකෘති වීමට සහ වෙනත් භාෂාවල ලක්ෂණ ඉස්මතුවී පෙනීමෙන් ඒ ජාතියේ අනන්‍යතාවට පවා හානි වීමට ඉඩ ඇති බව නොපිළිගත හැකිද? ලෝකයේ සමහර භාෂා ලියන්නට අකුරු නැත.
උදාහරණයක් වශයෙන් ෆිලිපීන භාෂාව ලිවීම සඳහා යොදාගන්නේ ඉංග්‍රීසි අකුරුය. ෆිලිපීනය කෙරෙහි බලපෑ විදේශ බලවේගයන්හි තරම එයින් පිළිබිඹු වෙයි. එය භාෂාව සහ සංස්කෘතිය කෙරෙහි ඇතිකළ බලපෑමේ ප්‍රතිඵල ෆිලිපීනය අද අත් විඳින්නේ ඒ ආකාරයෙනි. අපි අද සිංහල භාෂාව ව්‍යවහාර කිරීමේදී ඉංග්‍රීසි වචන කලවම් කරමින් කතා කරන්නේ සිංහල වචන හිගයක් නිසා නොවේ. පුහු සමාජ තත්වයක් පෙන්නුම් කිරීමටය. එසේ කතාකරන්නන්ගෙන් බහුතරය, ඉංග්‍රීසි භාෂාව සතුටුදායකව හැසිරවිය හැකි අයවළුන් හෝ පැහැදිලි සිංහල භාෂාවෙන් කතාකල හැකි අයද නොවෙති. මේ ‘අච්චාරු’ භාෂා විලාශයේ අනිටු ප්‍රතිඵල මොනවාද? භයානකම ප්‍රතිඵලය නම් බාල පරපුර එය අනුකරණය කිරීම හා එය නිවැරදි භාෂා විලාශය බව විශ්වාස කිරීමයි. ඉදින්, මෙලෙස තව එක පරම්පරාවක් ගතවූවොත්, සිංහල භාෂාව යනු, ඉංග්‍රීසි බසින් බිඳී අවෙකැයි යමෙකු නිගමනය කළද, එහි දොසක් දැකීමට නොහැකි වන්නේය.

සිංහල පුවත්පත් කලාව විකාශය වී ඇති ආකාරය සලකා බැලීමේදී තවමත් බස රැකෙන තත්වය සතුටුදායක මට්ටමක ඇතැයි කිව හැකිය. එහෙත් ජනප්‍රියත්වය, පාඨක ආකර්ෂණය, තකා කුණු සිංහල පද යොදන පුවත්පත් නැතුවාම නොවේ. කුඩු සමග දෙන්නෙක් ‘මාට්ටු’, ‘වයිෆ්’ ට හොරෙන් ‘ෆිල්ම්’ බලන්න ගිහිල්ලා, ‘මොබයිල්’ එකෙන් ‘ලව්’ කරද්දී ‘අතේකෝට්’, මේ පසුගිය කාලයේදී මා දුටු පුවත් සිරස්තල කීපයකි. මෙලෙස සිරස්තල යොදන්නෝ, පාඨක අවධානය ගැන පමණක් සිතා, තම මඩිය තරකර ගැනීමට දත කන අමනයන් විනා, පුවත්පත් කලාවේදීහු නොවෙති. වාර්තාකරුවෝද නොවෙති. වර්තමානයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්තියක සිංහල උගන්වන ගුරුවරයකු සමග සාකච්ඡා කර බලන්න.
සැලකිය යුතු ළමුන් පිරිසක් මේ කුණු සිංහල නිවැරැදි සිංහල ලෙස සිතා සිටින බව පැහැදිලි වේ. ළමා මනස කා දමන්නට බලපෑ ප්‍රධානතම සාධකයක් ලෙස ජනප්‍රිය ව්‍යවහාරයේ ‘මල් පත්තර’ යනුවෙන් හැඳින්වුන අවර ගණයේ පුවත්පත් දැක්විය හැකිය. එම පුවත්පත් වලින් භාෂාව හා සංස්කෘතිය වෙත කරන හානිය සුළු පටු කොට තැකිය නොහේ. කෙසේ වෙතත් අද ඒවායේ ජනප්‍රියත්වය අඩුවනු දැකීම, ජාතියේ වාසනාවක් මෙන්ම ඒවා පිටු දකින්නට දරන ලද විවිධ උත්සාහයන් මල්ඵල ගැනීමකි. එහෙත් ඒ ගිනිදැල්ල වෙනත් වේශයකින් එනම් බහුමාධ්‍ය ජංගම දුරකථන සහ අන්තර්ජාල පහසුකම් තුලින් හිස ඔසවා තිබෙන්නේ මහා ව්‍යසනයක පෙරනිමිති පෙන්වමිනි. වර්තමානයේදී දිනපතා පුවත්පත් කියවන පාඨක සංඛ්‍යාව අඩු යයි සිතීම උගහටය.
මෑත කාලය තුළ දිනපතා සිංහල පුවත්පත් කීපයක්ම බිහිවිය. පුවත්පතක් පාඩුවට පවත්වාගෙන යා නොහැකිය. එහෙත් ඒ සෑම පුවත්පතකම පාහේ වැඩි නැඹුරුවක් ඇත්තේ ‘ඉල්ලන දේ’ දීමට බව පෙනීයයි. මෙය එතරම් හොඳ ප්‍රවණතාවක් නොවේ. විශ්ව විද්‍යාල සිසුන් පවා බාහිර කියවීම් වලින් ඈත්ව සිටින යුගයක පාසල් සිසුන් ඒ සඳහා යොමු කරවීම එතරම් පහසු නොවේ. කඩඉම් පැනීමේ අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව ගවේෂණශීලී අධ්‍යාපන ක්‍රමයක් එනතුරු සමස්ත ජීවන සෝදාපාළුව මගහරවා ගැනීම සිහිනයක් පමණකි.

19 January 2012

ඇත්ත කියලත් මමද වැරදිකාරයා


ඊයේ පෙරේදා දවසක කොළඹ ගියේ අත්‍යවශ්‍ය වැඩ කටයුතු රාශියක් කරගෙන එන්නයි. ජීවිතේ එපාවෙනතුරු මෙතනින් අතෙන්ට, එතනින් ඊළඟ තැනට, ආදී වශයෙන් දවසම රස්තියාදු වෙලා, වැඩටිකත් කරගෙන, ගෙදර එන්න බස් එකකට ගොඩවුනා. අයිනේ සීට් එකක් අල්ල ගත්තේ හොඳ නින්දක් දාගෙන එන්නයි. ටිකට් එක ගන්නවා විතරයි මතක. මට හොඳටම නින්ද ගියා. අතරමග කොහේදී හරි තැනකදී, කවුරු හරි මගේ කකුලකින් අදිනවා දැනිලා ඇහැරුනා. මගේ ළඟ ඉඳගෙන හිටිය තරුණ පහේ, නාකිත් නැති, නෝනා කෙනෙක් මගේ කකුලෙන් අල්ලා හොලවමින් ඇහුවා, ‘මේ කොයි හරියද’ කියලා. මම කිව්වා ‘මේ මගේ කලවා හරිය’ කියලා. මෙන්න බොලේ ‘වනචර මිනිහෙක්’ කිය කියා මට බැන බැන ඒ නෝනා නැගිටලා වෙන සීට් එකකට ගියා.

18 January 2012

ඉස්කෝලේ යන කාලේ 6


පාසල ඇරී ගෙදර බලා යන අතරමග, අපි නොවරදවාම නවතින එක තැනක් වෙයි. එනම් ‘බේත් තෙල් කාරයන්’ ලෙස අපේ වැඩිහිටියන් විසින් හැඳින්වුණු විවිධ ඔෳෂධීය තෙල් වර්ග කල්ක හා ගුලි වර්ග, කුඩු වර්ග (දැන් කාලේ කුඩ්ඩන් පාවිච්චි කරන කුඩු නොවේ) විකුණන වෙළෙන්දන් සිටින එක්තරා දැවැන්ත මාර ගසක් යට ය. (අතීතයේදී කොළඹ – මහනුවර මාර්ගයේ සිටුවන ලද මේ මාර ගස් වලින් සමහරක් දැවැන්ත ගස් ලෙස අදටත් ශේෂව පවතී. සමහර ගස් එසේ තිබෙන්නට හැරීම අනතුරුදායක වන්නේ පාරේ යන වාහන වලට බාධා වීම, පාරට කඩා වැටීමට ඉඩ තිබීම යන හේතු නිසාය.) මා මෙහි සඳහන් කරන මාර ගසද අද ඉවත් කර ඇත්තේ නගරය පුළුල් කිරීමේ හේතුවෙනි. මේ මාර ගස තිබුනේ නගරයේ සුප්‍රසිද්ධ අදටත් හොඳින් ක්‍රියාත්මක සිනමා ශාලාවක් ඉදිරිපිටය. මේ ගස යටට එක එක දිනවල විවිධාකාරයේ බේත් තෙල් කාරයෝ පැමිණෙති. එයින් අපේ සිත් වඩාත් පැහැරගත් තැනැත්තා වූයේ විවිධ සර්පයින් විශාල ගණනක් එකවර ප්‍රදර්ශනය කරමින්, සර්ප විෂනාෂක තෙල් විකිනූ වෙළෙන්දාය. මුලින්ම ඔහු මාර ගසට පිටුපා සිටගෙන, ඔහු ඉදිරිපිට අඩි 10 ක පමණ විශ්කම්භයකින් යුත් අඩ කවයක සර්පයන් සහිත පෙට්ටි තබා ඒවා විවෘත කරයි. එයින් එලියට එන නානාප්‍රකාර සර්පයන් හඳුන්වාදෙන විට අපි හොඳින් අසා බලා ඉගෙන ගනිමු. ඇත්තෙන්ම එය පසු කාලයේදී සර්පයන් හඳුනා ගැනීමට ඉවහල් වූ ප්‍රායෝගික පාඩමක් වූ බව නොකියාම නොහැකිය. මේ ඉදිරිපත් කිරීමේදී එම සර්පයන්ගේ නම් පමණක් නොව, ඔවුන්ගේ හැසිරීම, අහාර රටාව, ආදී තොරතුරුද ඔහු කියයි.

කෙසේ වෙතත් නිදි මාපිලා නමැති සර්පයා ගෙදරක නිදන කාමරයේ වහලයේ එල්ලී එකකුගේ වලිගය තවකෙකුගේ මුවින් ඩැහැගෙන ලනුවක් මෙන් ඇඳට පහත්වී නිදා සිටින අයගේ ඇස මුලට දෂ්ඨ කොට ඔහු මිය යනතුරු ලේ සියල්ල උරා බොන බව අසන අපි පුදුමයට පත්වන අතර, සමහර කාන්තාවන් භීතියෙන් ඇලලී යන බව ඔවුන්ගේ මුහුණු දෙස බැලීමෙන් පෙනීයයි. එහෙත් එය ‘ටොන් පචයක්’ බව තේරුම් ගත්තේ තරුණ වියට එළඹීමෙන් පසුවය. මීළඟට එන්නේ මේ ඉදිරිපත් කිරීමේ උච්චතම අවස්ථාවයි මෙහිදී ඔහු, රැවුල බාන රේසර් තලයකින්, තම දිව, දිග අතට කීප තැනකින් පලා ගනියි. එය කිරීමට පෙර ඔහු, ඉතා භයානක දෙයක් පෙන්වන බවත්, එබැවින් කාන්තාවන් හා ළමුන් වහා එතනින් (මාර ගස යටින්) වහා ඉවත්විය යුතු බවත් පවසයි. කාන්තාවන් සිහි නැති වුනොත් වග නොකියන බවද කියයි. මේ සියල්ල, අද කාලයේදී ‘ළමයින්ට සුදුසු නැත’ ආදී වශයෙන් ඔවුන් වඩාත් ආකර්ෂණය කරගැනීම සඳහා රූපවාහිනී නාලිකාවක යොදන දැන්වීමක් වැන්න. පලාගත් දිවෙන් ගලන ‘ලේ’, ඔහු තම නිරුවත් පපුව මත වැටෙන්නට සලස්වයි. ඇත්තෙන්ම මේ අවස්ථාවේදී සමහර කාන්තාවෝ ‘අනේ අපොයි’ කියමින් එතනින් ඉවත්ව යති. එහෙත් නොමිලේ ලැබෙන මේ ත්‍රාසය අත්හැර යන්නට අපිනම් සූදානම් නැත. අපි දිගටම බලාගෙන හිඳිමු. ඉන්පසු ඔහු එක පෙට්ටියකින් දැවැන්ත පිඹුරෙක් එලියට ගනී. ඔහු පිඹුරාගේ හිස තමන්ගේ පපුවේ ඇති ‘රුධිර දහරා’ වෙත යොමු කලවිට පිඹුරා අනලස්ව ඒවා ලෙවකා දමයි. අවසානයේදී ඔහු තමන් සතු මහා බලසම්පන්න තෙල් කුප්පියක් අතට ගනී එයින් ස්වල්පයක් මුවට හලාගන්න ඔහු මුඛය වසාගෙන මොහොතක් සිට ඉතිරි තෙල් බින්දු කීපයක් මුවින් බිමට හලයි. අනතුරුව ප්‍රේක්ෂකයන් වෙත තම දිව දික්කර පෙන්වන ඔහු එක කැපුම් තුවාලයක් හෝ ඇත්නම් පෙන්වන ලෙස කියයි. ඇත්තෙන්ම ඔහුගේ දිවට කිසිදු හානියක් වී නැත. ඔහු මේ පෙන්වූවේ අති දක්ෂ ඇස්බැන්දුමක් බව, එකල අපට තබා අපේ වැඩිහිටියන් බොහොමයකට නොවැටහුනි. එහි ප්‍රතිඵලය වූයේ අර මහත් ඵල මහානිසංස තෙල් උණු කැවුම් මෙන් විකිණී යාමය. තවත් කතා පසුවට . . . . . . . .

17 January 2012

මෙහෙම ගිහින් කොහෙද යන්නේ 1

සිංහලෙන් බ්ලොග් ලිවීම අන්තර්ජාලයට එක්වී එතරම් කළක් ගතවී නැත. එහෙත් ඒ කෙටි කාලය තුල, සිංහල බ්ලොග් කරණය ලබා ඇති දියුණුවනම් අති උත්කෘෂ්ටය. භාෂා ඥානයද තාක්ෂණික ඥානයද සම සමව යොදා ගනිමින් කරන මේ හරඹය, එදා තල් කොළ කපා, තම්බා, වියළා, නිසි දිග පළලට සකසා, අවශ්‍ය ශිල්ප ඥානය මෙහෙයවා පන්හිඳක් සාදාගෙන, පුස්කොළ ලියා, කළු මැද, දුම්මල ගල්වා, ලීයෙන් පොත් කවර සාදා බැඳීම, දක්වා කළ හරඹය මෙන්ම, කාලානුරූපව කෙරෙන ශිල්ප දැක්වීමකි. අනාගතයේදී මළ භාෂාවක් බවට පත්වේද යන තර්කයෙහි දෝලනය වෙමින් පවතින අපේ මව් භාෂාව, නොනැසී පවත්වාගෙන යන්නට ගන්නා ලද, කාලීන හා මනොඥ පියවරක් ලෙස ද, සිංහල භාෂාව අන්තර්ජාලයට එක් කිරීම හැඳින්විය හැකිය. එබැවින් මේ සද්කාර්යය සාක්ෂාත් කරගැනීමෙහිලා පෙරගමන්කරුවන් වූ සියලුදෙනාට අපගේ භක්ත්‍යාදර පූර්වක ප්‍රණාමය හිමිවිය යුත්තේමය.
කිසියම් මෙවලමක් භාවිත කරන්නකුට, සිය කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, ඒ මෙවලම සබැඳි මූලධර්මානුකූලව එය පාවිච්චි කිරීමට සිදුවෙයි. කියත, මිටිය, යතු කැටය, පිහිය, කතුර, වැනි මෙවලම්, ඒවාට නියමිත මූලධර්ම අනුව පාවිච්චි නොකළහොත් මෙවලමට හානි වීම, පාවිච්චි කරන්නාට අනතුරු සිදුවීම, කරන කාර්යයෙන් නිසි ප්‍රතිඵල නොලැබීම, ප්‍රතිඵල වෙනස්වීම හෝ විකෘති වීම පමණක් නොව, තමන් එම මෙවලම් නිසි පරිදි පාවිච්චි කිරීමට නොදන්නා පුද්ගලයකු බව ලෝකයාට අනාවරණය වීමද සිදුවෙයි. ඉන්පසු ඔහු අසමත් හෝ දුර්වල හෝ නුසුදුසු යන ගණයකට වැටීම වැළක්විය නොහැකිය. භාෂාවක් සම්බන්ධයෙන්ද ඉහත කී කරුණු එසේම බලපවත්වන බව අමුතුවෙන් කිවයුතු නොවේ. මන්ද, භාෂාව කිසියම් ජන කොට්ඨාශයකගේ සංස්කෘතික අනන්‍යතාව මොනවට පිළිබිඹු කරන, අති ප්‍රබල මෙවලමක් බැවිනි.
භාෂාවක් යනු එක තැන පල්වෙන වතුර වළක් නොවේ. එය නව දිය දහරා වලින් පෝෂණය වෙමින් නිබඳ ගලා බසින, එහි පහස ලබන්නන් සනහන, පෝෂණය කරන ප්‍රවාහයකි. එහෙත් එයට එක්වන නව දිය දහරාවන්ගෙන් බහුතරය කුණු වළවල් වලින් ඇරඹෙන්නේ නම් අර ප්‍රධාන ප්‍රවාහයට සිදුවන්නේ කුමක්ද යන්න ඉතා පැහැදිලිය. වර්තමානයේදී සිංහල භාෂාව තරම් විවාදාත්මක තත්වයනට ලක්වී තිබෙන වෙනත් භාෂාවක් ලොව ඇත්දැයි වරෙක සිතේ. සමහර පණ්ඩිතයෝ සිංහල භාෂාවේ උරුමක්කාර, පොල්මඃකාර, අද්මිනිස්ත්රාත් බල කඩදාසි කාරයෝය. ඔවුන්ට අනුව භාෂාවේ කිසිදු වෙනසක් සිදුවියයුතු නොවේ. නව තාක්ෂණ පදයක් නිර්මාණය වීම කෙරෙහිද ඔවුන් බලන්නේ කුණුහරුපයක් දෙස බලන ඇසිනි. අනෙක් වර්ගය සිටින්නේ අනෙක් අන්තයේය. ඒ ‘කාපල්ලා බීපල්ලා, ජොලි කරපල්ලා වර්ගයේ බාසා …………ය. (කියවන්නෝ කැමති පදය දා ගනිත්වා) ඕනෑම කසිකබල් සක්ක පදයක්, ඕනෑම කාපිරි මුඩුක්කුවකින් ඇසෙන හරුපයක්, කඩදාසි වල සහතිකය පමණක් ඇති භාෂා විෂයය ගැන හරවත්, ගවේශනාත්මක, විශ්ලේෂනාත්මක දැනුමක් නැති, විද්‍යුත් මාධ්‍ය කුක්කන් හා කික්කියන් විසින් කිසිදු රීතියකට අනුකූල නොවී යොදන අතර, පැරණි ගීතයක කොටස් හෝ එහි අන්තර් වාදය ඛණ්ඩය මූලික තනුව ලෙස යොදාගනිමින්, නැත්නම් ‘මරිජුවානා රටක’ කුඩ්ඩන් විසින් ගයන ගෝත්‍රික ගායන කොටස්, විශිෂ්ට අන්තර්ජාතික සංගීතයකැයි සිතා එය එලෙසම මේ රටේ පැලපදියම් කරන්නට දත කන අමනයන්ද, පෙරකී සක්ක පද හා අඩ කුණුහරප යොදාගනිමින්, ‘මේ අපේ භාෂාව’ යයි ලොවට කියති.
ජනප්‍රිය පුවත්පත් කලාව, ජනප්‍රිය ගීත රචනා කලාව, ජනප්‍රිය නිවේදන කලාව, ජනප්‍රිය බ්ලොග් කලාව, ඈ කලාවන්හිදී, භාෂාව ‘ස්කොෂ්’ පන්දුවක් මෙන් පහර දී තල්ලු කරනු පෙනෙයි. එසේ කරන්නේ ඒ පන්දුව ඉදිරිපිට බිත්තියේ වැදී ඉල්පී වෙනත් කෝණයකින් තමාවෙත එන බව දන්නා නිසාය. මෙලෙස පහර දීමේදී අලුත් කෝණයක් සොයාගන්නෝ විරලය. වැරදියට හෝ හරියට අනුන් කොපි කරන්නෝ සුලභය. එහෙත් පන්දුව ගෙවෙමින් තමන් වෙහෙසට පත්වනු විනා ක්‍රීඩාවේ නව ප්‍රවණතා බිහි නොවේ.
අද බොහෝදෙනා කරන්නේද එදාවේල ක්‍රමයට භාෂාව යොදාගැනීම පමණක් නොවේද?
ඉදිරි පියවර වලදී ඉහතකී එක් එක් කලාවන් සබැඳිව විමසීමක් කරන්නට බලාපොරොත්තු වෙමි.
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }