මෙහෙම ගිහින් කොහෙද යන්නේ ලිපි මාලාවේ පළමුවැන්න මා අවසන් කලේ, සමහරු, භාෂාව ස්කොෂ් පන්දුවක් මෙන් භාවිත කරන බව හා ‘එදාවේල ක්‍රමයට’ භාෂාව යොදාගන්නා බවද සඳහන් කරමිනි. භාෂාව නමැති මෙවලම පන්දුවක් මෙන් පහරදෙන හෝ දමා ගසන දෙයක් නොකරගෙන, වයලීනයක් මෙන් වැයීමෙන්, ඉමිහිරි වින්දනයක් ගෙනදෙන මෙවලමක් බවට පත්කරගැනීමට, අප සියලුදෙනා එක්ව ක්‍රියා නොකළහොත්, එහි අනිටු පල විපාක අත්විඳින්නේ අනාගත පරපුරයි.
කිසියම් පුද්ගලයකුට තම උපත සහ පරම්පරාව ගැන පැහැදිලි විස්තරයක් කල නොහැකිනම්, අවුලට පත්වන්නේ ඔහුගේ අනන්‍යතාවයි. සමාජ තත්වය දෙවනුව සමහර විට අවුල් විය හැකිය. මොහොතකට සිතන්න, උපතේ ප්‍රශ්නයක් නිසා උප්පැන්න සහතිකයක් ලබාගත නොහැකි පුද්ගලයකුට, තම ජීවිත කාලය පුරාවට කෙබඳු විඳවීම් රැසකට මුහුණ දීමට සිදුවේද? කිසියම් භාෂාවක් එහි මූලාරම්භය වැනසෙන පරිදි වර්ධනය වූවොත්, එම භාෂාවේ අනන්‍යතාවද එලෙසින්ම වැනසී යයි.
සෑම භාෂාවකටම කාලීන අවශ්‍යතා අනුව හෝ දේශපාලනමය බලපෑම් (යටත් විජිතයක්ව පැවතීම වැනි) නිසා හෝ වෙනත් භාෂාවල වචන එක්වෙයි. හොඳම උදාහරණය වන්නේ සිංහල භාෂාවට එක්වී ඇති පෘතුගීසි, ලන්දේසි සහ දෙමළ වචනය. දීර්ඝ කාලයක් භාවිතයේ පවතින එම වචන නිසා සිංහල භාෂාවේ හෝ සිංහල ජාතියේ අනන්‍යතාවට එතරම් හානියක් සිදුවී ඇති කිව නොහැකිය. මන්ද භාෂා ව්‍යවහාරය මෙන්ම සාහිත්‍ය නිර්මාණ තුලින්ද එම අනන්‍යතාව මනාව සුරකින බැවිනි. එහෙත් භාෂාව සහ සාහිත්‍යය ව්‍යවහරිකයන්, අයාලේ යන්නේනම්, තම භාෂාවේ මූලාරම්භය අමතක කරන්නේනම්, ඕනෑම යෙදුමක් ‘අපිට හොඳනම් පාවිච්චි කලාට මොකද’ යන සංකල්පය තුළ පිහිටා ක්‍රියා කරන්නේනම්, ඒ භාෂාව සතු සුවිශේෂී අනන්‍යතා ලක්ෂණ තවදුරටත් රැඳෙයිද? එසේ නොරැඳීම ඒ භාෂාව විකෘති වීමට සහ වෙනත් භාෂාවල ලක්ෂණ ඉස්මතුවී පෙනීමෙන් ඒ ජාතියේ අනන්‍යතාවට පවා හානි වීමට ඉඩ ඇති බව නොපිළිගත හැකිද? ලෝකයේ සමහර භාෂා ලියන්නට අකුරු නැත.
උදාහරණයක් වශයෙන් ෆිලිපීන භාෂාව ලිවීම සඳහා යොදාගන්නේ ඉංග්‍රීසි අකුරුය. ෆිලිපීනය කෙරෙහි බලපෑ විදේශ බලවේගයන්හි තරම එයින් පිළිබිඹු වෙයි. එය භාෂාව සහ සංස්කෘතිය කෙරෙහි ඇතිකළ බලපෑමේ ප්‍රතිඵල ෆිලිපීනය අද අත් විඳින්නේ ඒ ආකාරයෙනි. අපි අද සිංහල භාෂාව ව්‍යවහාර කිරීමේදී ඉංග්‍රීසි වචන කලවම් කරමින් කතා කරන්නේ සිංහල වචන හිගයක් නිසා නොවේ. පුහු සමාජ තත්වයක් පෙන්නුම් කිරීමටය. එසේ කතාකරන්නන්ගෙන් බහුතරය, ඉංග්‍රීසි භාෂාව සතුටුදායකව හැසිරවිය හැකි අයවළුන් හෝ පැහැදිලි සිංහල භාෂාවෙන් කතාකල හැකි අයද නොවෙති. මේ ‘අච්චාරු’ භාෂා විලාශයේ අනිටු ප්‍රතිඵල මොනවාද? භයානකම ප්‍රතිඵලය නම් බාල පරපුර එය අනුකරණය කිරීම හා එය නිවැරදි භාෂා විලාශය බව විශ්වාස කිරීමයි. ඉදින්, මෙලෙස තව එක පරම්පරාවක් ගතවූවොත්, සිංහල භාෂාව යනු, ඉංග්‍රීසි බසින් බිඳී අවෙකැයි යමෙකු නිගමනය කළද, එහි දොසක් දැකීමට නොහැකි වන්නේය.
සිංහල පුවත්පත් කලාව විකාශය වී ඇති ආකාරය සලකා බැලීමේදී තවමත් බස රැකෙන තත්වය සතුටුදායක මට්ටමක ඇතැයි කිව හැකිය. එහෙත් ජනප්‍රියත්වය, පාඨක ආකර්ෂණය, තකා කුණු සිංහල පද යොදන පුවත්පත් නැතුවාම නොවේ. කුඩු සමග දෙන්නෙක් ‘මාට්ටු’, ‘වයිෆ්’ ට හොරෙන් ‘ෆිල්ම්’ බලන්න ගිහිල්ලා, ‘මොබයිල්’ එකෙන් ‘ලව්’ කරද්දී ‘අතේකෝට්’, මේ පසුගිය කාලයේදී මා දුටු පුවත් සිරස්තල කීපයකි. මෙලෙස සිරස්තල යොදන්නෝ, පාඨක අවධානය ගැන පමණක් සිතා, තම මඩිය තරකර ගැනීමට දත කන අමනයන් විනා, පුවත්පත් කලාවේදීහු නොවෙති. වාර්තාකරුවෝද නොවෙති. වර්තමානයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ පන්තියක සිංහල උගන්වන ගුරුවරයකු සමග සාකච්ඡා කර බලන්න.
සැලකිය යුතු ළමුන් පිරිසක් මේ කුණු සිංහල නිවැරැදි සිංහල ලෙස සිතා සිටින බව පැහැදිලි වේ. ළමා මනස කා දමන්නට බලපෑ ප්‍රධානතම සාධකයක් ලෙස ජනප්‍රිය ව්‍යවහාරයේ ‘මල් පත්තර’ යනුවෙන් හැඳින්වුන අවර ගණයේ පුවත්පත් දැක්විය හැකිය. එම පුවත්පත් වලින් භාෂාව හා සංස්කෘතිය වෙත කරන හානිය සුළු පටු කොට තැකිය නොහේ. කෙසේ වෙතත් අද ඒවායේ ජනප්‍රියත්වය අඩුවනු දැකීම, ජාතියේ වාසනාවක් මෙන්ම ඒවා පිටු දකින්නට දරන ලද විවිධ උත්සාහයන් මල්ඵල ගැනීමකි. එහෙත් ඒ ගිනිදැල්ල වෙනත් වේශයකින් එනම් බහුමාධ්‍ය ජංගම දුරකථන සහ අන්තර්ජාල පහසුකම් තුලින් හිස ඔසවා තිබෙන්නේ මහා ව්‍යසනයක පෙරනිමිති පෙන්වමිනි. වර්තමානයේදී දිනපතා පුවත්පත් කියවන පාඨක සංඛ්‍යාව අඩු යයි සිතීම උගහටය.
මෑත කාලය තුළ දිනපතා සිංහල පුවත්පත් කීපයක්ම බිහිවිය. පුවත්පතක් පාඩුවට පවත්වාගෙන යා නොහැකිය. එහෙත් ඒ සෑම පුවත්පතකම පාහේ වැඩි නැඹුරුවක් ඇත්තේ ‘ඉල්ලන දේ’ දීමට බව පෙනීයයි. මෙය එතරම් හොඳ ප්‍රවණතාවක් නොවේ. විශ්ව විද්‍යාල සිසුන් පවා බාහිර කියවීම් වලින් ඈත්ව සිටින යුගයක පාසල් සිසුන් ඒ සඳහා යොමු කරවීම එතරම් පහසු නොවේ. කඩඉම් පැනීමේ අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව ගවේෂණශීලී අධ්‍යාපන ක්‍රමයක් එනතුරු සමස්ත ජීවන සෝදාපාළුව මගහරවා ගැනීම සිහිනයක් පමණකි.
No comments :
Post a Comment