හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

15 December 2013

අවුරුදු දෙකයි, පියවර දෙසීයයි, ලක්ෂ එකහමාරයි! - Oh! Dear..... Two years have gone eh!.......

 walking_alone_on_long_road-other-e1343172538576-226x226පුද්ගලයකුගේ හෝ ආයතනයක ප්‍රගතිය පිළිබඳව මනින්න කොපමණ මිණුම් දඬු තිබෙනවාද? ඒ හැම මිණුම් දණ්ඩකටම වඩා හොඳම මිණුම් දණ්ඩ වන්නේ, ඒ පුද්ගලයා හෝ ආයතනය සතු මානව සබඳතා කියලයි, මටනම් හිතෙන්නේ. මා හිතුවේ, විශ්‍රාම දිවිය ඇරඹු පසු, මගේ මානව සබඳතා බොහොමයක් ගිලිහීයනු ඇති කියායි. මොන බොරුද. අදත් යුද හමුදාවේ බොහෝ දෙනෙක්, නොකඩවා මා සමග මිත්‍ර සබඳතාව පවත්වාගෙන යනවා. මා හොඳින් ඉන්නවාදැයි අමතන දුරකථන ඇමතුම් දෙක තුනක්වත්, එක සතියකට ලැබෙනවා. හමුදා කඳවුරුවල තිබෙන උත්සව වලට නිරතුරු ආරාධනා ලැබුනත්, ඒ සියල්ල පිළිනොගන්නේ, සෞඛ්‍ය තත්වය ගැන සිතා බලා. "මට මහළු වයසේ - බැරිය වෙණ ගායනා පෙරසේ" කියන්නේ නිකමටයැ. ලබන අවුරුද්දේ පෙබරවාරි මාසයේදී මම හැටවන වියට පාතබන්න සූදානමින් ඉන්නවා, ඒ අල්ලපනල්ලේ මොකුත් අතුරු ආන්තරාවක් සිදු නොවුනොත්.
  2011 දෙසැම්බර් 15 වැනිදා පටන්ගත් මේ වැඩේට, එහෙනම් අවුරුදු දෙකක් ගතවුනා ඈ. අනේ මන්දා, මටනම් හිතෙන්නේ ඊයේ පෙරේදා වගේ. මොනවද ඉතින් නිදාගන්න ගියාම මොකක්හරි කාරණයක් ඔළුවට එනවා. පහුවදා උදේම පොඩි කෙටුම්පතක් ලියනවා. (දැනට අවසන් නොකළ කෙටුම්පත් අටක් තියනවා) ඔන්න ඔහොමයි මේ ලියවිල්ල දිගට දිගට ඇදීයන්නේ. හැබැයි ලියන්න නම් දේවල් තව මහා ගොඩක් ඔළුවේ තියනවා. බලමුකෝ,  ඉඩ ලැබෙන විදිහට ලියමු. මම මොහොතකට ඔබේ අවධානය යොමු කරන්න කැමතියි, මගේ පළමුවැනි වර්ෂ පූර්ණ ලිපියට. වෙලාවක් තියනවනම් මෙතනින් ගිහින් බලන්නකෝ. 
  එදා මම ඔබට කිව්වා මම කොහොමද බ්ලොග් ලිවීමට පෙළඹුනේ කියලා. අම්මපා දැන්නම් අබිං කෑවා වගේ තමයි. මොනවාහරි නොලියා ඉන්නම බැහැ. ඒ වගේම බ්ලොග් නොකියවා ඉන්නත් බැහැ. බ්ලොග් ලියන කෙනෙකුගෙන් ඇහුවොත් ඇයි ලියන්නේ කියලා, නොයෙකුත් පිළිතුරු ලැබෙන්න පුළුවන්. අපි කාටවත් මේ සමාජයේ තනිවී ඉන්නට බැහැ. අපේ චිත්තාවේග පිට නොකර ඉන්නට බැහැ. අනෙකුත් සෑම ලේඛන සහ ප්‍රකාශන මාධ්‍යවල යෙදෙන්නන් කරන්නේත් එයමයි. ඉතින් බ්ලොග් ලියන අපිත්, අනෙකුත් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වලට වඩා පෞද්ගලිකත්වය විදහා දක්වමින්, චිත්තාවේග පිටකරමින් ලියන එකයි කරන්නේ කියලයි මමනම් හිතන්නේ.  
  අපේ උන්දැට පෙන්නන්න බැරි වැඩක් තමයි මම කොම්පියුටර් කොටන එක. මෙන්න උදාහරණයක්.
මම පණ කඩාගෙන මගේ සිතුවිලි පරිගණකයේ ලියමින් ඉන්නවා...........
අපේ උන්දැ මගේ ළඟට එනවා............ (මම හරිම අකමැතියි මම බ්ලොග් ලිපි ලියන වෙලාවට කවුරුහරි මට බාධා කරනවානම්. මොකද අර සිතුවිලි සහ හිතෙන් හදාගත් සැළැස්ම අවුල් වෙනවා)
අපේ උන්දැ:- "මොනවද දවල්ට උයන්නේ"............
මම:- "මොනවද තියෙන්නේ"........... 
අපේ උන්දැ:- "ඕනේ දෙයක් තියනවා".........
මම:- "එහෙනම් ඔය හැම්, බේකන්, චිකන්, බීෆ්, මට්න්, ඔක්කොම හදන්ඩකෝ"......
අපේ උන්දැ:- "අනේ මේ, විකාර කරන්නේ නැතුව කියනවද මොනවද උයන්නේ කියලා. ඔය මගුල බදාගත්තම ඔයාට මෙලෝ සිහිය නෑ." ............
මම:- "හරි ඔයා ගිහින් බත් එක උයන්ඩ පටන්ගන්ඩකො මම ටක් ගාලා එනවා"........(නමුත් එය කවදාවත් වෙන්නේ නැත. මේකේ එල්ලිලා ඉන්නකොට ඔරලෝසුව කැරකෙන්නේ විදුලි පංකාවක වේගයෙන්දැයි සිතෙන්නේ, ටිකක් වෙලා ලියා නවත්වා වෙලාව බැලූවිටය. සමහර දිනවර රාත්‍රී එක පසුවී ඇති බව දැක්කාම, වහාම මේ මගුල නිවා දමා, හමුදා පුහුණුවට පින්සිද්ද වෙන්න, ගෙදර කිසිදු ලයිට් එකක් නොදමා, හොර පූසා වගේ, සද්ද නැතුව ගිහින් ඉතා සෙමෙන් ඇඳේ වැතිරෙමි. ඊට පෙර, හඬ නොනැගෙන ලෙස රාත්‍රී විදුලි බුබුල නිවමි. මොන පිස්සුද, අපේ උන්දෑ තප්පරයෙන් ඇහැරී, 'බලන්ඩ වෙලාව කීයද කියලා. හැබෑටම ඔයාට හිතෙන්නේ නැද්ද ඔයා ඔයවැඩේට ඇබ්බැහි වෙලා කියලා ඈ' කියා අසනවිට, මම දෙතොල් තදකර ගනිමි. සතියකට දින දෙකක් හෝ තුනක් විතරයි මම කුස්සියේ වැඩට සහාය වෙන්නේ........කවදා කාපු ටකරං ද?....... ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ කිව්වලුනේ ....හමුදාවේ අතට පයට සියල්ල තියාගෙන ඉඳලා, පැන්සොන් ගත්තම තමයි රඟේ තේරෙන්නේ)
  සමහර දවස්වල කන්න ගියාම මම ටිකක් අකමැති දේත් තිබේ. "මේ මොනවද" කියා ඇසුවොත්, "ඇයි මම අහනකොට ඔයාමනේ හා කිව්වේ" යන පිළිතුර ලැබෙයි. මම ගොළුවෙමි. බ්ලොග් කෙළිය නිසා, ඇය, "මොනවද උයන්නේ" කියන ප්‍රශ්නය ඇහුවම, බේරෙන්නට මොකක් හෝ කියා ඇතිබව පසක්වන්නේ, කෑම කන විටදී ය. මම රෑට බත් කන්නට අකමැතිය. ඒ හමුදාවේ පුරුද්දය. ඒ වගේම, නූඩ්ල්ස් වගේ දේවල් කන්න මට 'ආයුධ සැට් එක' ඕනෑය. එව්වා මේසෙට තියලා නොතිබ්බොත් මම කරන්නේ බුකවාගෙන ඉඳීමය. එවිට ටක් ගාලා එව්වා ලැබේ.
හැබැයි අපේ ඇත්තී අතින් හැදෙන දිව්‍ය භෝජන ගැන ආයේ කියන්ඩ දෙයක් නැතිය. මට තිබෙන්නේ බැට් කිරීම පමණි. රසට උයන්න පිහන්න පුළුවන් බිරිඳක් ලැබීමත්, මිනිහෙකුගේ පූර්ව කුසළ කර්ම පලදීමක් කියලයි මට හිතෙන්නේ. 
hippo2BM_468x312
නමුත් ඇගේ මූණ ටිකක් හරි මදිය. මම කුස්සියට ආවේ නැති නිසාය. අපේ ගෙදර ඉන්නේ අපි දෙන්නා පමණි.
Wife quarrels with her husband in the kitchen
(නාකි ලව් එක නැගලා යන්නේ ඔන්න ඔහොම වෙලාවටය)
portrait-senior-old-couple-lost-love-8816400
  ලොකු දුව ගෙදර එන්නේ සති අන්තයට පමණි. චූටි දුව මාස කීපයකට වරකි. දැන්නම් "වෙද ඉස්කෝලේ" අන්තිම විභාගයත් ඉවර වෙන්න ආසන්නයි. බලමුකෝ ඊට පස්සෙවත් මේ ළමයා ටික දවසකටවත් ගෙදර එයිද කියලා. 

  අපේ ගෙදර ඉන්න පූසා සහ බල්ලා (බැල්ලී) පුදුම වාසනාවන්තයෝය. අපි දෙන්නාගේ තනියට ඉන්න උන් දෙන්නා, දැන් පවුලේ සාමාජිකයන් වගේය. උන්ට වෙනම කෑම උයන්න අවශ්‍යයි. "සැබී" අපේ සුරතල් බැල්ලී,  කන දේවල් අපේ පූසා "මිෂිකා" කන්නේ නැත. ඉතින් පොළට ගියාම, මාළු කඩේට ගියාම, උන්ට වෙන වෙනම දේවල් ගන්න ඕනෑය. මට පවු කියා හිතෙන්නේ, මම කොම්පියුටර් කොටන අතරේ, අපේ ඇත්තී, මේ දෙන්නා එක්ක කතා කරමින් කුස්සියේ වැඩ කරන එකටය. ඒ වගේ වෙලාවට මම කොම්පියුටරය නිවා නොදමාම කුස්සියට ගොස් ටිකවෙලාවක් හිඳිමි. 
DSC00483aaaDSC00667a
ඇත්තටම උන් දෙන්නාත් කතා නොකරනවා විතරය. උන්ගේ හැඟීම් දැන් අපට හොඳින් දැනේ. මේ කියන්නේ මොකක්ද කියා අපට පහසුවෙන් වැටහේ. සැබීට හොරෙන් අපේ ගෙදර ගේට්ටුවට අත තියන්නටවත් කාටවත් බැරිය. සමහර වෙලාවට ඌ බුරනවිට අපට පුදුම හිතෙන්නේ ඒ මොහොතේම කවුරුන් හෝ අපේ ගේට්ටුව අසල සිට අපට කතාකරනු ඇසීමෙනි.  මිෂිකා ගෙවල් ගානේ රස්තියාදුවේ ගියත්, සැබී කවදාවත් ගෙදරින් එළියට යන්නේ නැත. අපේ දුවලා දෙන්නා ගෙදර ආවාම, උන්ට ඊට වඩා දෙයක් නැත. උන්ට රජ සැළකිලි ලැබෙන්නේ එවිටය. මුන් දෙන්නා දවසපුරා දකින්නට නැත්නම්, අපි දෙන්නාටම පාළුව තවත් තදින් දැනෙනු ඇත. ජීවිතේ හැටි ඔහොම තමයි. හැමදාම පවුලේ හැම දෙනාම එකට බදාගෙන ජීවත්වෙන්න ලැබෙන්නේ නැත. ජීවිතය කියන්නේ එක්වීම් සහ වෙන්වීම් ගොඩක් නේද? එය අවබෝධ කරනොගත්තොත් පිස්සු හැදෙනවා.
  මම බ්ලොග් ලියන්නට පටන්ගත්තේ, වර්ඩ්ප්‍රෙස් ක්‍රමයට බව, මේ අඩවිය කියවන ඔබෙන් බොහෝ දෙනෙකු දන්නවා. මුල් කාලයේදී මගේ බ්ලොග් කෙළියට ගුරුහරුකම් දුන්නේ හීනලන්තයේ හරී. සෑහෙන කලක් තිස්සේ වර්ඩ්ප්‍රෙස් ක්‍රමයට හුරුවී සිටි නිසා, මට එය පහසුයි. බ්ලොගර් මෙන් නොව එහි සියළු දේ තිබෙන්නේද සිංහලෙන්. මේ බලන්න. 
Screenshot_2013-12-9 20.40.34
  වම් පැත්තේ කළුපාට තීරුවේ තිබෙන සුදු අකුරු සහ දකුණු පැත්තේ සුදුපාට තීරුවේ තිබෙන කළු අකුරුද කියවා බලන්න. සියළු සැකසුම් සඳහා උපදෙස් 99%ක් තිබෙන්නේ සිංහලෙන්. එමෙන්ම වර්ඩ්ප්‍රෙස් වලදී ලැබෙන කමෙන්ට්ස්, සංස්කරණය කරන්න පුළුවන්. සමහරවිට අනවශ්‍ය දේ ලියලා තිබුනොත්, ඒ කොටස් ඉවත්කර, කමෙන්ට් එක පළකරන්නට හෝ අකුරු/වචන වැරදියට ටයිප් කර තිබුනොත්, ඒවා පවා නිවැරදිව යළි ටයිප් කර පළකරන්න පුළුවන්. කමෙන්ට්ස් වලට එතනදීම පිළිතුරු ලියන්නට හැකිවීමත් පහසුවක්.  පහත දැක්වෙන්නේ ප්‍රතිචාර පිටුවකින් කොටසක්.
Screenshot_2013-12-9 21.36.13
  ඒ වගේම, බ්ලොගර් පාලකයන්, විසින් කාලීනව පොඩි පොඩි සම්මාන දෙනවා. මේ පහත දක්වන්නේ ලිපි 25, 50, 100, ආදියටත්, පළමුවැනි වර්ෂ පූර්ණයටත්, කියවන්නන් විසින් තරු ලකුණු ලබාදීම පිළිබඳවත්, මගේ අඩවියේ තත්ත්ව තොරතුරු (statistics) පිටුවේ, මාවෙත පිරිනමා ඇති සම්මානයි. තවත් තොරතුරු මෙතනින් සහ මෙතනින් බලන්න පුළුවන්. Untitled 1
  සාමාන්‍යයෙන් මා ලියන ලිපියක් එක දිනකදී 200 ක පමණ පිරිසක් කියවනවා. ඊට වඩා අතිශයින් වැඩි පාඨක පිරිසක් කියවන සිංහල බ්ලොග් අඩවි ඇති බව, මා දන්නවා. නමුත් මට ලැබෙන පාඨක ප්‍රතිචාර ප්‍රමාණය ගැන, මා අතිශයින් තෘප්තිමත් වෙනවා. මා විශ්වාස කරන්නේ, මා ලියන දේවල යම් හරයක් ඇති නිසා, ඒ ප්‍රේක්ෂක අවධානය මේ අඩවිය වෙත යොමුවන බවයි. යුද හමුදාව සහ විවිධ අවි ආයුධ සම්බන්ධ තොරතුරු, මෙතරම් ආකර්ෂණයක් ඇතිකරනු ඇතැයි මා මුලදී සිතුවේ නැහැ. නමුත් මා බලවත් විමතියට පත් කරමින්, සෑහෙන පාඨක පිරිසක් මේ අඩවියට පැමිණෙනවා. මෙතෙක් මා ලියන ලද ලිපි වලින්, අදටත් නොකඩවා වැඩිම පිරිසක් කියවන ලිපිය ලෙස, දත්ත වාර්තාවේ සටහන් වන්නේ, "රිවෝල්වරය පිස්තෝලය මොකක්ද වෙනසයනුවෙන්, මා ලියන ලද ලිපියටයි.
Screenshot (3)
  හුදු ජනප්‍රියත්වය ලබාගැනීම උදෙසා, හරසුන්, අසභ්‍ය, අශ්ලීල, දේ ලිවීම, මට තරම් නොවන බව, මා බ්ලොග් ලිවීම අරඹා, ඉතා කෙටි කලකින් වටහාගත්තා. බොහෝ දෙනෙකුට සිතන්නටවත් අපහසු, එවැනි කරුණු කන්දරාවක් මතකයේ ඇතත්, ඒ සියල්ල සදාකාලයටම සඟවන්නට මා තීරණය කළා. ඒවා ලිව්වානම්, අද මගේ අඩවිය දිනකට 200ක් නොව 2000ක් බලනු ඇති. එහෙත් ඒ මට්ටමට වැටෙන්නට මට ඇවැසි නැත. සමහර අඩවිවල, මා දන්නා එවැනි කතාවල, කටින් කට ගොස් ශේෂවූ කොටස්, තමන්ගේ නිර්මාණයක් මෙන් ලියා තිබෙනු දකින මට, අනුකම්පාවක් සමග සිනහ පහළවන්නේ, එහි මුල් කතාව ඒ රචකයා දන්නේනම්, කෙළෙස ලියයිද කියා සිතීමෙනි.  අසභ්‍ය දෑ නොලියා සිටීමේ තීරණය ගන්නට තවත් හේතුවක් වුනේ, මගේ මිත්‍රයකු සමග මේ ගැන සාකච්ඡා කරද්දීය. 'හොඳයි, කවදාහරි කොහොම හරි, ඔයාගේ දරුවෙක් දැනගත්තොත්, මේවා ලියන්නේ ඔයා කියලා, එදාට ඔයා මොකද කරන්නේ?' යනුවෙන් ඒ මගේ මිතුරා විමසන ලද පැනය, මට මහත් මගපෙන්වීමක් වුනා. ලියන අය ලියන්න. ඒ ගැන විරුද්ධවීමට හෝ නැවැත්වීමට, බලයක් හෝ අයිතියක්, මට කිසිසේත් නැත්තේමය.  
  ඉතින් මේ විදිහට ලියමින් යන මම, මේ ඊයේ පෙරේදා ලිපි 200ක් ලියා සම්පූර්ණ කළා. වෛද්‍ය ජයතුංග ගේ කාව්‍ය නිර්මාණ ගැන ලියන ලද ලිපියත් සමගයි ලිපි 200 සම්පූර්ණ වුණේ. ඒ සමගම මතක්වුණා, හෙට අනිද්දා ද්විවර්ෂ පූර්ණය එළඹෙනවා නොවේදැයි කියා. ඒ නිසා ඒ නිමිති දෙකම එක්කර මේ ලිපිය ලියන්නට හිතුවා. 'අවුරුදු දෙකයි පියවර දෙසීයයි' කිව්වේ ඒ නිසයි. එතකොට ලක්ෂ එකහමාර? ඒ තමයි කාරුණික, ආදරණීය, ඔබ සැමදෙනා. අද මේ මොහොත වනවිට මේ අඩවිය වෙත පැමිණි පාඨක සංඛ්‍යාව 166,250 ක්. ඒ ධනය මා ලැබුවේ, ඔබේ ආදරයෙන්, හා සහයෝගයෙන් බව, ඔබ සැමවෙත, කෘතවේදීව, ශීර්ෂ ප්‍රණාමය පුදකරමින් ප්‍රකාශකර සිටිනවා.
  පාටියක් දාන්න වටිනවා නේද? දැන් මොන පාටිද අනේ මේ නාකි මට. ඔන්න පරණ පාටියක පින්තූරයක්. මේක බලලා හිතෙන් ඒ පාටියට ආපහු ගියාම ඇති. 
img058
  හැමදාම හංගගෙන ඉන්න මගේ මූණ පෙන්නන්නත් හිතුවා. ආය මොකටද හැමදාම හැංගෙන්නේ. ඔන්න එහෙනම් බලාගන්නකෝ ඔය පාටිය තිබුන කාලෙම ගත්ත පින්තූරයක් තමා මේකත්.
img060
  පසුගිය දිනවල මට අපහසුතා දෙකකට මුහුණ දෙන්න සිදුවුණා. පළමුවැන්න මම එතරම් ගණන්ගන්නේ නැහැ. ඒ තමයි, විවිධ රටවලින් මගේ වර්ඩ්ප්‍රෙස් අඩවිය වෙත පැමිණෙන අමුත්තන්ගේ, රටවලට අයත් ධජය පෙන්වන දර්ශකය, හදිසියේ ක්‍රියාවිරහිත වීම. එහි ඒ වනවිට රටවල් 95 ක ධජ සටහන්ව තිබුණා. එය නැවත ක්‍රියාත්මක කළමුත්, කලින් සටහන් වූ සියල්ල මැකීගොස් තිබුණා. මේ වනවිට නැවතත් රටවල් කීපයකින් අමුත්තන් පැමිණ තිබෙනබව එහි සටහන් වෙනවා.
  දෙවැන්න නම් බරපතළයි. මට වළක්වාගත නොහැකි තාක්ෂණික දෝෂයක් නිසා, වර්ඩ්ප්‍රෙස් අඩවියේ ලිපිවලට ලැබෙන පාඨක ප්‍රතිචාර ලිවීමට ඇති කවුළුව, වැසීගියා. සති තුනක් පමණ පැවති මේ තත්වය, මා තුළ බලවත් සිත්වේදනාවක් ජනිත කළා. 'ළිඳට වැටුණු මිනිහා ළිං කටෙන්ම ගොඩ එන්නේ ඕනේ' කියලා කියමනක් තියනවනේ.  ඒ නිසා මම www.wordpress.com අඩවියේ අස්සක් මුල්ලක් නෑර සොයා බැලුවා. අවසානයේ අද තමයි විසඳුම ලැබුණේ. අනාගතයේදී මේ අර්බුදයට යම්කිසි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් රචකයකු මුහුණ දුන්නොත්, මෙන්න විසඳුම. මේ සඳහා මග පෙන්වීමක් කර තිබුණු පොඩ්ඩිටත් ස්තුතිවන්ත වෙනවා. 
  1. Go to the Posts -> All Posts screen in your blog dashboard.
  2. Select the posts you would like to modify or check the box next to “Title” column at the top to select all posts on that page.
  3. Select Edit from the Bulk Actions drop down menu.
  4. Click the Apply button.
  5. Change the options for Comments and Pings to Allow or Do not allow.
  6. Click the Update button.
  7. Repeat with your Pages.
   සෑහෙන කලක සිට මට පාඨකයන් වෙතින් දැනුම්දීම් ලැබුණා, වර්ඩ්ප්‍රෙස් අඩවියේ ප්‍රතිචාර දැක්වීම ඉතා අපහසු බවත්, සමහරවිට අඩවියට ඇතුළුවීම පවා අපහසු බවත්. බොහෝ දෙනා කිව්වේ, බ්ලොගර් අඩවියක් පටන්ගන්නා ලෙසයි. මේ ගැන සිතමින් දෙගිඩියාවෙන් සිටින කාලයේදී තමයි වර්ඩ්ප්‍රෙස් සහ බ්ලොගර් දෙකෙන්ම වැඩ කරන හෙන්රිගේ ඩෙනිම ගැන මගේ අවධානය යොමුවුණේ. කලක් තිස්සේ එය අධ්‍යයනය කිරීමෙන් පසු, 'බ්ලොගර් ගඟට' පනිම්දෝ නොපනිම්දෝ කියා සිතමින් සිටිනවිට, මාව ඒ ගඟට තල්ලු කළේ, අටම්පහුරේ අටමාය. ලක්මාල්, පසුගිය මාස දෙකතුන තුළ, බ්ලොගර් කෙළිය ගැන මට දුන් අවවාද සහ උපදෙස් නොවන්නට, මට බ්ලොගර් අඩවියක් පටන්ගන්නට ලැබෙන්නේ නැත. ඇත්තටම මගේ බ්ලොගර් අඩවියේ ඔය තියන වැඩකෑලි ගොඩක් කියලා දුන්නේ ලක්මාල්ය.  
  සමහර දිනවල දුරකථනයෙන් සම්බන්ධවී, පැයගණන් මා ලවා මගේ බ්ලොගර් අඩවියේ වෙනස්කම් කරවමින්, එය ගොඩදාගන්නට අවශ්‍ය සියළු ගුරුහරුකම්, කිසිදු ගුරුමුෂ්ටියකින් තොරව ලබාදුන්, ලක්මාල් කන්දෙවිදානේ ට, මගේ විශේෂ ගෞරවය පුදකරන්නට මෙය අවස්ථාව කරගන්නට කැමතියි. 

  මේ වැකිය වර්ඩ්ප්‍රෙස් අඩවිය බලන අයට පමණයි. මා, මෙයට සමගාමී බ්ලොගර් අඩවියක් ආරම්භ කළබව, ඔබෙන් සමහරකු තවමත් දන්නේ නැති නිසා, එහි ලිපිනය මේ සමග දක්වනවා. http://wicharaka.blogspot.com 

  පාඨක සබඳතා වැඩිදියුණු කරගැනීම සඳහා, මූණු පොතට මෙන්ම Google +, Twitter, Linkedin, වෙත, සම්බන්ධවන ලෙස, සමහර පාඨකයන් ඉල්ලාසිටි නිසා, දැන් ඒ සියල්ල වෙත සම්බන්ධවී සිටිනවා. ඉදිරි කාලයේදී විවිධ මාතෘකා රැසක් ඔබවෙත ගෙන එන්නට, මා සැළසුම්කර තිබෙනවා. හමුදාව සම්බන්ධ වැදගත් ලිපි ඒ කෙටුම්පත් අතර තිබෙනවා. 
  සාමාන්‍යයෙන් මා ලියන ලිපියකට, මාධ්‍ය රූප රාශියක් අවශ්‍ය වෙනවා. වීඩියෝ දර්ශන අවශ්‍ය වෙන අවස්ථාත් බොහොමයි. ඒ නිසා මා ලියන්නේ සෙමින්. ලිපියක මාධ්‍ය රූප සංස්කරණයත් තරමක වෙහෙසකර කාර්යයක්. කෙසේවෙතත්, ඔබේ දැණුමට යමක් එක්කරණ, තවත් දෑ බොහොමයක්, ඔබවෙත ගෙන ඒමේ අභිලාශය පෙරදැරි කරගනිමින්, මෙතෙක් විවිධාකාරයෙන් මට මගපෙන්වූ, සියලු ජ්‍යොෂ්ඨ බ්ලොග් කරුවන් වෙත ප්‍රණාමය පුදකරමින්, පාඨක ඔබ සැමදෙනා වෙත ද, මගේ භක්ත්‍යාදර පූර්වක ප්‍රණාමය පුද කරමින්, ලිපිය අවසන් කරනවා. 
my-signature-for-blog[1]
 2013 දෙසැම්බර් මස 14 දින 2149 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }