හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

16 August 2013

කේළමා, අවලමා, ඔත්තුකාරයා, මිනීමරුවා (පළමුවැනි කොටස) – The Drone (Part One)


485464,1302695287,3  ඉහත මාතෘකාවේ සඳහන් වචන වලින් අපි යමෙකු අමතනවානම්, එසේ කරන්නේ, පහන් හැඟීමකින් නොව හෙළා දැකීමේ, ගර්හා කිරීමේ, අපහාස කිරීමේ, අදහසින්. වාග් මාලාව අතින් අපේ භාෂාව කොතරම් පොහොසත් ද යන්න හිතාගන්නට බැරි තරම් විශාලයි. එහෙත්, කණගාටුවට කරුණ වන්නේ, අපේ රටේ අද මව් භාෂාව දෙවැනි තැන්හි ලා සළකන, කටයුතු කරන, පිරිසක් බිහිව සිටීමයි. මෙයට හේතු කීපයක් මා දකිනවා.
  • වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ සිංහල භාෂාව උගන්වන ආකාරය.
  • ඉංග්‍රීසි භාෂාවේ බලපෑම නිසා, සංසන්දනාත්මකව සිතා, සමාජයේ බලපෑමට යටත්ව, ස්වාධීන චින්තනය පසෙකලා, ඉංගිරිසිය වඩා උසස්යයි සිතීම.
  • අද්‍යතන, ඒකාකාරී, වෙහෙසකර, සීඝ්‍රගාමී, දැඩි තරගකාරී, ජීවන රටාව තුළ, බහුළව භාවිත කෙරෙන ඉංගිරිසි කෙටි යෙදුම්, ඇමතීමේ, හැඳින්වීමේ, විස්තර කිරීමේ, යෙදුම් (verbal phrases) ආදිය, සමාජ සම්මතයන් බවට පත්කරගැනීම සහ/හෝ ඒවාටම ආවඩන පිරිසක් වර්ධනය වීම.
  • ‘සිංහල භාෂාව යනු, අ.පො.ස. සාමාන්‍ය පෙළ/උසස් පෙළ  විභාග සඳහා ඉගෙනගතයුතු විෂයයකි’ යන හැඟීමෙන් පමණක් භාෂාව ඉගෙන ගන්නා පිරිස වැඩිවීම.
  • භාෂාවට සමගාමීව සාහිත්‍යය ඉගෙන නොගැනීම නිසා ‘සීනි නැති තේ’ බවට පත් මානසිකත්වයක් ඇතිවීම. ඒ හේතුව නිසාම භාෂාවේ රීතිය, රටාව, පදනම නොදත්, ඕනෑම භාෂා උගුඩුවකු විසින් හදන, සූකර වසුරු හා සමාන අවජාතක වචන, හඳුන් කල්ක මෙන් නළලේ උලා ගැනීම.
  • මව් භාෂාව යනු තම මව හා සම්පූර්ණයෙන් සමාන වස්තුවකි යන්න අවබෝධ කරගත් පිරිස ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පැවතීම.

  • බාහිර කියවීම්, පුස්තකාල පරිහරණය, භාෂා විෂයයික සංවාද, පර්යේෂණ, ඈ ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි නැඹුරු නොවීම.
  මේ නිසා තමයි අර අපේ ජනප්‍රිය භාෂාවෙන් කියනවානම්, ‘කෂඩ’ වචන හා යෙදුම් අපේ භාෂාවට එකතුවී සම්මතයන් බවට පත්වී තිබෙන්නේ. බොහෝ දෙනා හිතන්නේ ඕනෑම වචනයක් ඕනෑම අතකට අඹරවා, කරකවා, හදන සක්ක වචන, කාලීන භාෂා විකාශය ලෙසයි. ඒ අනුව බලනවානම්, අපේ භාෂා විශාරදයන් වියයුත්තේ, ‘සොකට් සෝබර්’, ‘චිං පින්’, ‘වීල් බ්‍රෂ්’, ‘වීල් එලයිමන්ට්’, ’ත්‍රී වීල්’, ‘ටෑර්’, ‘වෑර්’, ‘ඩෙක් එක’, ‘කැසට් පීස්‌’, ‘සෝටීස්’, ‘ප්‍රයිඩ් රයිස්’, වැනි වචන නිර්මාණය කළ කාර්මිකයන්/බාස් උන්නැහේලා ය.  භාෂා කතන්දරය එතෙකින් නවතා විෂයයට බහිමු.
  Dec. 17 airpower summary: Reapers touch enemy forcesකේළමා කියන්නේ තැන් තැන් වල ගිහින්, අනුන්ගේ අඩු පාඩු, අතපසුවීම්, දුර්වල තැන් හොය හොයා, එවැනි තොරතුරු, ඒ ඒ පුද්ගලයාට හානියක්, පාඩුවක්, අපහාසයක්, අමාරුවේ දැමීමක්, කිරීම සඳහා, තවත් කෙනෙකු වෙත වාර්තා කරන පුද්ගලයා බව ඔබ හොඳින්ම දන්නවා. මම අද ඔබට ඒ වගේ යාන්ත්‍රික කේලමෙකු ගැන කියා දෙනවා. අවලමා කියන්නේ අරමුණක් ඇතුව හෝ නැතුව ඔහේ හිතුන හිතුන අතේ රස්තියාදුවේ සහ වනචරකමේ යන පුද්ගලයානේ. මම අද ඔබට එවැනි නවීන අවලමෙකු ගැන කියා දෙනවා. ඒ වගේම මේ කේළමා, අවලමා, මිනීමරුවකු වෙන අවස්ථාත් තියනවා. ඒ ඔක්කොම කරුණු සහිතව අපි කතාකරමු, වර්තමානයේ ලොව කළඹන, නියමුවන් හෝ මිනිසුන් රහිත ගුවන් යානා හෙවත්, UAV හෙවත්, DRONE යානා ගැන. කැමතියි නේද?
  මේ දිනවල වරින්වර අසන්නට දකින්නට ලැබෙනවා මේ drone යානා මගින් ඇමරිකානු හමුදාව විසින් මැදපෙරදිග කළාපයේ ඇෆ්ඝනිස්ථානය, පාකිස්ථානය, වැනි රටවලදී ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව. අනාගත ලෝකය බොහෝවිට රෝබෝ යන්ත්‍ර මගින් යුද වදින තත්වයකට පත්වීමට හොඳටම ඉඩ තිබෙන බව ඔබ බොහෝදෙනෙක් දන්නවා ඇති. මිනිසුන් රහිත ගුවන් යානා සම්බන්ධ මේ ලිපිය ලිවීම සඳහා මා අන්තර්ජාලය ඇසුරෙන් කරුණු සෙවීම ආරම්භ කළේ දැනට මාස කීපයකට උඩදීයි.  එහිදී මා විශ්මයට පත්කළ තොරතුරු ඉතා විශාල ප්‍රමාණයක් දැනගන්නට හැකිවුනා. මේ සම්බන්ධ ලිපි 50 කට වැඩි ප්‍රමාණයක් දකින්නට ලැබුන අතර එයින් වඩාත්ම වැදගත් යයි හැඟුණ ලිපි 35 ක් පමණ කියවීමෙන් අනතුරුවයි මේ ලිපිය ලියන්නේ. ඇත්තටම මෙය ගැඹුරු විෂයයක් වන අතර සමහර ලිපිවල අඩංගු යම් යම් රහසිගත කරුණු මා මෙහි ඇතුළත් කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ.   
  UAV කියන යෙදුමේ තේරුම නම් ඔබ බොහෝ දෙනෙක් දන්නා බවට සැකයක් නැහැ. නොදන්නා අයත් ඇතිනේ.  UAV කියන කෙටි යෙදුමෙන් කියන්නේ Unmanned Aerial Vehicle කියන එකයි. එයින්ම පැහැදිළි වෙනවානේ, මේ යානය මිනිසුන් රහිත එකක් බව. එතකොට DRONE කියන්නේ මොකක්ද? ඔබ දන්නවානේ මීමැසි සමූහයක විවිධ මී මැස්සන් සිටින බව. රජ මැස්සිය, වැඩකාර මී මැස්සෝ, පැණි හොයන මැස්සෝ, ආදී වශයෙන්. ඔය අතර ඉන්නවනේ මොකූත් වැඩක් නොකර රජ මැස්සියගේ ඇසුර පතමින්ම ඉන්න මැස්සෝ.  :D උන් සෑමවිටම මී වදය ආශ්‍රිත ප්‍රදේශය වටා ගුවනේ කැරකෙමින් ඉන්නවා. අන්න උන්ට කියනවා Drone කියලා. මේ නම ශබ්ද කළයුත්තේ ‘ඩ්‍රොවුන්’ යන හඬට ආසන්නවයි. දුරස්ථ පාලක ක්‍රමයකින් ක්‍රියාත්මක වන මිනිසුන් රහිත ගුවන්යානය කියන තේරුම සඳහා තමයි අද Drone යන වචනය බහුලව යොදාගන්නේ. ඒ කියන්නේ, එක් පාලන මධ්‍යස්ථානයකින් දෙන සංඥා ඔස්සේ, කිසියම් සීමිත ප්‍රදේශයක් තුළ ගමන්කරණ යානය යන අදහසින්. හරියටම අර මීමැස්සා වගේ. මුල් කාලයේදී මේ යානා, RPV’s = Remotely Piloted Vehicles, RPA = Remotely Piloted Aircraft  යන නම් වලින්ද හඳුන්වා තිබෙනවා.
   image සෑම දේකටම ඉතිහාසයක් තියනවනේ. අපි බලමු මේ යානාවල ඉතිහාසය මොන වගේද කියලා. ගුවන් යානා නිපදවීම පිලිබඳ දැනුම දියුණු වීමෙන් අනතුරුව, මිනිසා ඉටුකරගැනීමට උත්සාහ කළ ඊළඟ අරමුණක් වුයේ මිනිසුන් රහිත ගුවන් යානා නිපදවීමයි. මේ සඳහා දරන ලද මුල්ම උත්සාහයන් දකින්නට ලැබෙන්නේ, 17 වැනි ශතවර්ෂයේදී පමණ යයි කිව්වොත් ඔබ පුදුමයට පත්වන්නටත් පුළුවන්. ඇත්තෙන්ම ඒවා නියමුවන් රහිත ගුවන්යානා කියන්නට බැහැ. නමුත් මිනිසුන් රහිතව, යුද කටයුතු සඳහා, ගුවනින් බෝම්බ දැමීමට ගත් උත්සාහයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒ සිද්ධිය මෙන්න මේකයි. 1849 දී ඔස්ට්‍රියාව විසින් ඉතාලියේ වෙනිස් නගරයට ප්‍රහාරයක් එල්ල කරලා තියනවා බැලූන් වල එල්ලන ලද බෝම්බ මගින්. ඉතින් ඒවා ගුවන් යානා නොවුනත්, මිනිසුන් රහිතව බෝම්බ ගුවනින් යැවීමක්නේ. බැලූන් කිව්වට ඒවා එකක විෂ්කම්බය අඩි 23 ක් විතර වෙලා තියනවා. මේවා පාවිච්චි කරලා තියෙන්නේ කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමට අපහසු, කඳු වලින් වටවූ ප්‍රදේශ සහ, කළපු වැනි ප්‍රදේශ වලට බෝම්බ දැමීමටයි. (පින්තූරය ගත්තේ මෙතනින්)
  ඉන් අනතුරුව 19 වැනි සියවසේදී තමයි ගුවන් යානය නමැති සංකල්පයට අනුකූලවූ මිනිසුන් රහිත යානා නිපදවීම ආරම්භ වුනේ. විශේෂයෙන් පළමුවැනි ලෝක යුද්ධයෙන් පසුව එවැනි යානාවල අවශ්‍යතාව දැනෙන්නට පටන්ගත් නිසා ඒ ඔස්සේ විවිධ පර්යේෂණ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1916 දී පමණ ඒ කියන්නේ පළමුවැනි ලෝක සංග්‍රාමය ආරම්භක යුගයේදී එංගලන්තයේ නිපදවුනා ‘ඒරියල් ටාගට්’ නමින් දුරස්ථ පාලන ක්‍රමයකින් බෝම්බයක් යැවීමේ උපක්‍රමයක්. එය වැඩි දියුණු කළ අවස්තාවක් ලෙස සඳහන් කළහැකි වන්නේ පසුව නිපදවන ලද ‘ඒරියල් ටෝර්පිඩෝ’ නමැති උපක්‍රමය සාර්ථක වීමත් සමගයි. හැබැයි මේ කිසිවක්, අද තිබෙන UAV කියන වර්ගීකරණයට ඇතුළත් කරන්න අමාරුයි. ඒවා වඩාත් සමීප වුයේ ‘මිසයිල්’ සංකල්පයටයි. ඒරියල් ටොර්පිඩෝව ගුවන්විදුලි තරංග මගින් පාලනය කෙරුණත්, මුලින්ම ගුවනට නැංවීම සඳහා ගුවන් යානයක ආධාරය අවශ්‍ය වුනා. 1920 – 1940 කාලය තුළ ඇමරිකාවත් බ්‍රිතාන්‍යයත් අතර රහසිගත තරගයක් ඇතිවුනා, නියමුවන් රහිත ගුවන්යානා නිපදවීම පිළිබඳව. විවිධ අත්හදා බැලීම් රාශියක් තුළින් මේ රටවල් දෙකම ඒ පිළිබඳ සෑහෙන සාර්ථකත්වයක් අත්පත් කරගත්තා.
  MarilynMonroe_-_YankArmyWeeklyදෙවැනි ලෝක යුද සමයත් සමග මේ තරගයේ උච්ඡතම අවස්ථාවක් ඇතිවුණා. 1940 පමණ වනවිට බ්‍රිතාන්‍යය මේ තරගයේ පෙරමුණ ගත්තා. ඒ කාලයේ බ්‍රිතාන්‍යයේ තිබුණු Radio plane Company නමැති ආයතනය විවිධ මාදිලියේ දුරස්ථ පාලක කුඩා යානා අත්හදා බැලුවා. මේ කාලයේ තවත් වැදගත් සිදුවීමක් වුනා. අර සමාගමේ වැඩ කටයුතු ගැන වාර්තාවක් සකසන්නට පැමිණි යුද හමුදා ඡායාරූප ශිල්පියකු දුටුවා, ඒ සමාගමේ වැඩ කරන එක්තරා රූමත් තරුණියක්. ඇය දුටු පමණින් මේ ඡායාරූප ශිල්පියාට අවබෝධවුණා, නිරූපිකාවක් වශයෙන් ඇයට ඉතා දිගු ගමනක් ගියහැකි බව. ඇගේ නම නෝමා ජීන් - Norma Jeane ඔබ අහලා තියනවාද එහෙම නමක්? මමත් අහලා නැහැ. එහෙනං මොන…… :D ………..ද කිව්වේ? පොඩ්ඩක් ඉන්න. ඉතින් මේ ඡායාරූප ශිල්පියාගේ මේ නවතම සොයාගැනීම, පසු කාලයේ ලොව හෙල්ලූ, එමෙන්ම ලොව කම්පනයට පත්කරමින් අකල් මරණයකට ගොදුරුවූ, අග්‍රගණ්‍ය සිනමා නිළියකගේ/නිරූපිකාවකගේ/ගායිකාවකගේ/කාම ධේනුවකගේ  පහළවීම බවට පත්වුණා. ඇය තම නම වෙනස් කරගනිමින් තමයි සිනමාවට එක්වුණේ. ඇය තමයි මැරිලින් මොන්රෝ - Marilyn Monroe.(පින්තුරය ගත්තේ මෙතනින්)
   1950 - 1970 කාලය තුළ නියමුවන් රහිත ගුවන් යානා නිපදවීමේ තරගය බොහොම සීඝ්‍රයෙන් සිදුවුණා. රුසියාවත් මේ වැඩේට ‘හොට දැම්මා’ :D මේ කාලයේදී ඇමරිකාව වැඩිදියුණු කළ ඒරියල් ටෝර්පිඩෝ වර්ගයේ යානයක් ගැන විස්තර පහත දක්වනවා. 1930 දශකයේදී ජෙට් එන්ජිම සොයාගැනීමත් මෙවැනි යානා නිපදවීමට රුකුළක් වුණා. ඒ පහසුකම ආධාර කරගනිමින් 1960 දශකයේදී නිපදවන ලද, එමෙන්ම පල්ස් ජෙට් – Pulse Jet  ක්‍රමය මගින් ක්‍රියාත්මකවන, දුරස්ථ පාලක ඒරියල් ටාගට් යානයක් ලෙස, මෙය හැඳින්විය හැකියි. BQM-74 Chukar III යනුවෙන් තමයි මේ යානය හැඳින්වුයේ. මේ යානය අද තිබෙන යානා සමග සසඳා බැලීමේදී ඉතා ප්‍රාථමික මට්ටමේ යානය. නමුත් ඒ කාලයේදී මෙය මාරක, අති භයානය යානයක් ලෙසයි සැළකුණේ.
Twuav021
space 2800px-BQM-74E_launch
space 2
800px-MQM-74C_Chukar_II_floating
space 2
BQM-74E_Diagram
  1950 දශකයේ අග භාගයේ සිට 1960 දශකයේ මැද භාගය වනවිට ඇමරිකා එක්සත් ජනපදය විවිධ වර්ගවල දුරස්ථ පාලක යානා මෝස්‌තර කීපයක් සාර්ථකව අත්හදා බලා තිබුණා. එමෙන්ම සාමාන්‍ය යුද ගුවන් යානා වලට ගුවන්විදුලි දුරස්ථපාලක ක්‍රම සවිකරඉතා සාර්ථකව ගුවන්ගතකරනු ලැබුවා. දෙවැනි ලෝක යුද සමය වනවිට ඇමරිකාව නියමුවන් රහිත ගුවන් යානා තරගයේ මුල්තැන ගෙන තිබුණා. ඉන්පසු ඇමරිකාව බහුළ ලෙස නියමුවන් රහිත ගුවන්යානා යොදවාගත්තේ වියට්නාම් යුද්ධයේදීමේ සඳහා ඇමරිකාව යොදාගත්තේ ඉතා කුඩා ගුවන් යානා විශේෂයක් වන අතර, ඒවා යොදාගත්තෙත් ඔත්තු බලන යානා වශයෙන්. එමෙන්ම ඒවා ගුවන්ගත කළේහර්කියුලිස් ප්‍රවාහන යානා  වල තටු දෙකේ එල්ලා යවා ඉහළ අහසේදී මුදා හැරීමෙන්. නියමිත කාර්යයයෙන් පසුව පැරෂූට් මගින් පොළොවට පහත්වන මේ යානා, හෙලිකොප්ටර් යවා සොයා බලා ‘ඇහිඳගෙන’ ආවා. :D මේ ක්‍රමය එතරම් සාර්ථක නොවුනේ, වියට්නාම් හමුදාව එයින් බොහොමයකට ‘වැඩේ දුන්න’ :D  නිසයි.
  ඇත්ත වශයෙන්ම නියමුවන් රහිත ගුවන්යානා නිපදවීමේ පෙරළියක් ඇතිවුනේ 1970 දශකයෙන් පසුවයි. මෙහිදී ඇමරිකා එක්සත් ජනපදය අබිභවා යන්නට වෙනත් කිසිම රටක් සමත්වුනේ නැහැ. ඉතා වෙහෙසකර, දීර්ඝ පර්යේෂණ රාශියකින් පසු නිපදවන ලද, මුල්ම, සාර්ථක, නියමුවත් රහිත, තොරතුරු සෙවීමේ යානය වුනේ, 2001 වර්යේදී නිපදවන ලද, එහෙත් නිළ වශයෙන් 2007 දී එළිදැක්වූ,  MQ-9 Reaper නමැති යානයයි.  මේ යානය යොදාගත්තේ වෙරළාරක්‍ෂක කටයුතු සහ ස්වභාවික විපත් වලදී තොරතුරු සොයාබැලීම පිණිසයි.
MQ-9-Reaper
MQ-9_Reaper_CBP

මා හිතනවා මේ ලිපියේ පළමුවැනි කොටස මෙතෙකින් අවසන් කළයුතුයැයි කියා. නියමුවන් රහිත යානා ගැන තවත් විස්තර ඊළඟ කොටසෙන් ඉදිරිපත් කරනවා. මා දන්නවා ඔබට ප්‍රශ්න රාශියක් ඇති මගෙන් අහන්න. සමහරක් ප්‍රශ්න වලට ඊළඟ කොටසේදී පිළිතුරු ලැබෙයි. මෙවැනි ලිපියක් සැකසීම තරමක් වෙහෙසකර කටයුත්තක්. ඒ නිසා කාලය ලබාගෙන ඊළඟ කොටස ගෙන එන්නම්.
My Signature for Blog2013 අගෝස්තු මස 16 වැනි දින 2322 පැය

12 August 2013

“ප්‍රභාකරන් සාධකය” සහමුලින්ම පරාජය කිරීම – වෛද්‍ය රුවන් එම් ජයතුංග


  වෛද්‍ය රුවන් එම් ජයතුංග, ඔහු විසින් කලකට ඉහතදී ‘සිංහලයා පුවත් අඩවිය’වෙනුවෙන් ලියන ලද, ‘ප්‍රභාකරන් සාධකය සහමුලින් පරාජය කිරීම’ නමැති ලිපිය, ඊ මේල් මගින්, මා වෙත එවා තිබුණා. එය කියවූ පසු මා හිතුවා, එය ඔබේ අවධානයටත් ලක්කළයුතු බව. මේ සඳහා වෛද්‍ය ජයතුංගගේ අනුමැතිය ලබාගැනීමෙන් පසුවයි, මෙසේ ඔබවෙත මේ ලිපිය ගෙන එන්නේ. මෙහිදී එක් කරුණක් විශේෂයෙන් සඳහන් කලයුතු වෙනවා. මේ ලිපිය ගැන ඔබ දක්වන අදහස් වලට පිළිතුරු දීමට මට හැකියාවක් නැහැ. එයට හේතුව මේ ලිපිය මගේ නිර්මාණයක් නොවීමයි. මටද කලහැක්කේ ඔබ සමග එක්වී අදහස් දැක්වීම පමණයි. කෙසේවෙතත්, මෙය කියවීමට තරම් වටිනාකමක් ඇති ලිපියක් බව නම් පෙනීයනවා. හොඳයි, එහෙනම් මෙතැන්සිට ඒ ලිපිය කියවා බලන්න.
 prabhakaran_ltte_terrorist-300x265ප්‍රභාකරන්ගේ තිස් වසරක යුදමය ක්‍රියාදාමය පරාජය කිරීම ශ්‍රී ලංකාව ලත් සුවිසේෂි ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණය ලබා ගත්තේ දහස් ගණනක ජිවිත පරිත්‍යාගයෙනි. මෙම යුද්දය නිසා කායික සහ මානසික වශයෙන් ආබාධිත වූ සංඛ්‍යාව සටනින් මියගිය ප්‍රමාණයටත් වඩා අධික ය. එසේම එල්.ටී.ටී.ය විසින් ආර්ථික මර්මස්ථාන වලට කරන ලද පහර දීම් සහ සිදුකල විනාශයන්, යුද්දය සඳහා සිදු කල වියදම් මෙන්ම යුද්දය විසින් ඇති කළ ආර්ථික අවපාතය නිසා ගතවූ කාලය තුල ලංකාවට අහිමි වූ මුදල අතිශයින්ම විශාල ය. එම නිසා යුද්ධය ශ්‍රී ලංකාවට කළ විනාශය අති දැවැන්ත බව පැහැදිලි කරුණකි. මේ හේතුවෙන් තිස් වසරක යුද්දයක ශාපයෙන් ශ්‍රී ලංකාව මිදීම යනු, මේ රටේ සිංහල දෙමල, මුස්ලිම් ජනතාව ලත් ජයග්‍රහණයකි.
  ශ්‍රී ලංකාව තුල ඇතිවූ යුද ගැටුම සමහරු අර්ථකථනය කරන්නේ ජනවාර්ගික ගැටලුවක් ලෙසට ය. සමහරු එය ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ලෙස දකිති. ඇතැමෙකු එය ඉන්දියානු ව්‍යාප්තවාදයේ අතුරු එලයක් ලෙස පෙන්වා දෙති. කුමන අර්ථකථන තිබුන ද යුද්දය සෑම ජන වර්ගයකටම විනාශයක් වූ බව ඇස් පනාපිට ඔප්පුවූ කරුණකි. දෙවන ලෝක මහා යුද්දයෙන් පසු ආසියානු කලාපයේ රටක දැවැන්ත ගරිල්ලා යුද්දයක් ඇති වුයේ කෙසේද යන්න අධ්‍යනයට, විමර්ශනයට සහ විශ්ලේෂණයට බඳුන් කළ කරුණක් වුවද ඊලාම් යුද්දය වාර්තාකරණය මිස හැදෑරීම පසුගිය දශක තුන පුරා ලක් කොට නොමැත. එය හැකි ඉක්මනිම සිදු කළ යුතු කර්තව්‍යකි.
  සමාජ විද්‍යාත්මක කෝණයෙන් බලන විට අවිහිංසාව ගරු කළ උතුරේ දෙමල සමාජය තුල හිංසනය සහ ත්‍රස්තවාදය පැන නැගුනේ කෙසේ ද යන පැනයකි. පෘතුගීසි යුගය දක්වා ඉතිහාසය බලන විට දමිල ප්‍රජාව අතර රණකාමීන්ට සිටියේ සන්කිලියන් පමණි. සියවස් ගණනාවක් පුරා උතුරේ ද්‍රවිඩ සමාජය තුල ප්‍රචණ්ඩත්වය සඳහා හිතකර උපස්තරයන් නොවිය. නමුත් 1976 පමණ කාලය වන විට මෙම තත්වය උඩු යටිකුරු වන්නේය. මහාචාර්ය රාජන් හූල් පෙන්වා දෙන අන්දමට 1970 දශකයත් සමග ද්‍රවිඩ ප්‍රජාව තුලින් ප්‍රජාතන්ත්‍රවාදී පරමාර්ථ ක්‍රමක් ක්‍රමයෙන් ගිලිහි යාමට පටන් ගනියි. මේ සඳහා දකුණේ දේශපාලන ක්‍රියාකාරකම් ද ඉවහල් වූ බව නොරහසකි.
ප්‍රභාකරන් සාධකය:

ප්‍රභාකරන් සාධකය යනු නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතලම අර්බුදය විය. ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සහ සමාජ ගමන් මග වෙනස් කිරීමට ප්‍රභාකරන්ට හැකි විය. ඔහුගේ මරණින් පසුවද ප්‍රභාකරන් සාධකයේ තර්ජන අවසන් වී නැත. ප්‍රභාකරන් යනු ශ්‍රී ලංකික මිලිටරිවාදය විසින් ඇති කරන ලද්දක් බව මහාචාර්ය දයා සෝමසුන්දරම් ඔහුගේ Sacred Minds කෘතියෙන් පවසයි. නමුත් මෙය මුළුමනින්ම නිවැරදි ප්‍රකාශයක් නොවන බව මගේ වැටහීමයි. 2006 වසරේ මම ඇමරිකාවේ කැන්සාස් හි වොෂ්බර්න් සරසවියේ යුද ආතතිය පිලිබඳ ආරාධිත දේශනයකට ගියෙමි. එම දේශනයේදී එක් මහාචාර්යවරයෙකු මගෙන් මෙම ප්‍රශ්නය ඇසීය. මගේ අදහස අනුව ප්‍රභාකරන් යනු සාධක රැසකින් ජනනය වූ විනාශකාරී බලවේගයකි. සිංහල සහ ද්‍රවිඩ ජාතිවාද විසින් ප්‍රභාකරන් නමැති ප්‍රපංචය නිර්මාණය කරන ලදී. ඔහු තමන්ගේ ජනතාව පවා අනතුරේ හෙළුවේය. ඔහු ද්‍රවිඩ සමාජයේ අධ්‍යාත්මය විනාශ කළේය. ද්‍රවිඩ ඩයස්පෝරාව විසින් උපයන මිලියන ගණනක මුදල් සහ එකී මුල්‍යමය වාසි නිසා ඇතැමෙකු ප්‍රභාකරන් සාධකයේ පැවති විනාශකාරී පාර්ශවය ගැන කතා නොකල ද යම් දිනක ද්‍රවිඩ ජනතාව විසින් ම ඔහු පිළිබඳව විනිශ්චයක් දෙනු ඇත.
  ප්‍රභාකරන් තුල ව්‍යාථවේදී පෞරුෂ සාධක දක්නට ලැබුණි. නමුත් මේ ගැන කතිකාවට බඳුන් වී ඇත්තේ ඉතාම අඩුවෙනි. 2004 වසරේ ප්‍රභාකරන් දේශපාලනමය සහ යුදමය වශයෙන් ඉතා බලවත්ව සිටි අවදියේ දී ඔහුගේ පෞරුෂ සාධක හෙළි කරමින් කරමින් ප්‍රභාකරන් සාධකය පිලිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් යන කෘතිය මම එළි දැක්වුයෙමි. එම ගවේෂණාත්මක කෘතිය මගින් ළමා ප්‍රභාකරන් චර්යාත්මක අක්‍රමතාවයකින් (Conduct Disorder) පෙළුණු බවත් පසුකාලීනව වැඩිහිටි දිවියේදී ඔහු තුල සමාජ විරෝධී පෞරුෂ ලක්ෂණ (Antisocial Personality Disorder) තිබෙන බවද ඔහුගේ ජිවිත කතාව සහ චර්යාව මගින් පෙන්වා දුනිමි. මේ මතය ඇතැම් වියතුන්ගේ විවේචනයට ද ලක් විය. නමුත් 2011 වසරේ මම යාපනය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ මහාචාර්ය දයා සෝමසුන්දරම් මහතා අමතමින් 2004 වසරේ ප්‍රභාකරන් පිළිබඳව මගේ අධ්‍යනයන් ගැන තතු පැවසුවෙමි. වේලුපිල්ලේ ප්‍රභාකරන් සමාජ විරෝධී පෞරුෂ ලක්ෂණ වලින් යුතු පුද්ගලයෙකු බව මහාචාර්ය දයා සෝමසුන්දරම් ද පිලිගත්තේ ය.
  ප්‍රභාකරන් තුල දැඩි ආත්ම කේන්ද්‍රියතාවක් (self centered) තිබුණි. ඔහු සංවෘත (introverted) පෞරුෂ ලක්ෂණ දැරිය. එසේම ධ‍්‍රැවගත සහ ඒකාකෘති චින්තනයකින් යුක්ත විය. හීන වූ සහකම්පනිය අවබෝධයක් සහිත නාසිස්ටික නිව්රෝසියතාවයේ (Narcissistic Neurosis) ලක්ෂණ ඔහු කෙරෙන් දැක ගත හැකි විය. (හීන වූ සහකම්පනිය අවබෝධය නට්සීන් තුලද තිබු බව හර්මන් ගෝරිඞ් ඇතුළු නට්සි නායකයන් මනෝවිද්‍යාත්මකව විශ්ලේෂණය කළ ගුස්ටාව් ගිල්බර්ට් පෙන්වා දෙයි) ඔහු මරණයට බිය විය. (මේ පිළබඳව ද්‍රවිඩ කවියෙකු වූ කාසි ආනන්දන් පවා කියා තිබේ) එම නිසා මරණය කල්ට් වන්දනාවක් ලෙස කරමින් මරණය උත්කර්ෂයට පත් කරමින් මරණය වන්දනා කරන කළු කොටි සංකල්පය ඔහු බිහි කළේය.
  හිංසනය ප්‍රතික්ෂේප කල සම්ප්‍රදායික දමිල සමාජය උඩු යටිකුරු කරමින් සයනයිඩ් සංස්කෘතියක් ඇති කළේය. ළමා සොල්දාදුවන් ඇති කිරීම මගින් ද්‍රවිඩ සමාජයේ අනාගතය ද විනාශ කළේය. මේ සියලු විනාශකාරී ක්‍රියා සිදු කළමුත් නාභිගතවූ චින්තනයක් සහිත වූ ප්‍රභාකරන් දැඩි ආත්ම ශක්තියකින් යුක්ත විය. පුරා වසර 30 ඔහු ලංකාණ්ඩුවට එරෙහි ව්‍යාල යුද්දයක නිරත විය.
ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීම:

ප්‍රභාකරන් යනු හුදු එක පුද්ගලයෙක් පමණක් නොවිය. දෙස් විදෙස් බලවේග ඔහු වටා තිබුණි. එවැනි බලවේගයක් පරාජය කිරීම සුළු පටු ක්‍රියාවක් නොවිය. නමුත් ත්‍රිවිධ හමුදාවට ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීමට හැකි විය. වර්තමානයේ ප්‍රභාකරන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම ගැන බොහෝ වාද විවාද පවතී. ජයග්‍රහණයට පියවරු රැසකි. දේශීය මෙන්ම විදේශීය බලවේග ප්‍රභාකරන්ට සහය දීමට සිටියහ. ඔහු අපරාජිත බව යුද ප්‍රවීණෝපදේශකයන් පුන පුනා කිහ. නමුත් අවසානයේදී ප්‍රභාකරන් පරාජය කිරීමට ත්‍රිවිධ හමුදාවට හැකි විය.

එවැනි බලවේගයක් පරාජය කිරීමට හැකි වුයේ කෙසේද?
  2002 වසරේ සිට 2006 දක්වා මම ශ්‍රී ලංකා යුද හමුදාවේ සංග්‍රාම ආතති ප්‍රතිකාර අංශයේ සංග්‍රාම විඩාවට ලක් වූ සොල්දාදුවන්ට සහ නිලධාරීන්ට ප්‍රතිකාර කලෙමි. මේ වකවානුව තුල හමුදාවේ උසස් නිලධාරීන් තුල පවා එල්.ටී.ටී.ය යුදමය වශයෙන් පරාජය කිරීමට නොහැකි බවට පොදු මතයක් තිබෙන බව මට වැටහුණි. මා සමග අදහස් හුවමාරුවේ යෙදුනු හිටපු යුද හමුදාපතිවරයෙක් පවා මේ අදහස දැරීය. යුදමය සහ දේශපාලන අනාවැකි සාර්ථකව කීමේ හැකියාව තිබු දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස නම් දරා සිටි හිටපු ගුවන් හමුදාපති හැරී ගුණතිලක මහතා පවා දැරුවේ මේ අදහසයි. එතුමාගේ රණවිරු වැන්දඹුවන් ගේ සුභ සාධන කටයුතු වලදී උපදේශන වැඩසටහන් පැවැත්වීමට මට ආරාධනා කර තිබු අතර හැරී ගුණතිලක මහතා සමග මම දිවයිනේ බොහෝ පළාත් වලට ගියෙමි.
  එතුමාගේ මරණයට දින 5 පමණ පෙර (2008 අප්‍රේල් මාසයේදී) අප අනුරාධපුරයට ගියෙමු. එම චාරිකාවේදී ද එල්.ටී.ටී.ය යුදමය වශයෙන් පරාජය කිරීමේ අසීරුතාවය ගැන එතුමා මට කිවේය. නමුත් 2009 මැයි මාසය වන විට ගුවන් හමුදාපති ව සිටි එතුමාගේ පුත්‍රයා ඇතුළු යුද සහ නාවික හමුදාපතිවරුන් එල්.ටී.ටී.ය යුදමය වශයෙන් සහමුලින්ම පරාජය කළහ. මෙවැනි අසීරු ඉලක්කයක් සපුරා ගැනීමට හැකි වීමට හේතු කවරේද යන්න අපගේ සාකච්ඡාවට බදුන් විය යුතුය. අවසන් යුද මෙහෙයුම වන 2001 අග්නිකීල මෙහෙයුමෙන් පසුව සොල්දාදුවන් තුල පොදුවේ කලකිරීම්, සහ හීන වූ සටන්කාමිත්වයක් දක්නට තිබුණි.
  ආබාධිත වූ සොල්දාදුවන්ගේ සුභසාදනය අක්‍රමවත් විය. 2001 – 2006 අතර කාලයේ සොල්දාදුවන්ගේ පුනරුත්ථාපන නිසි ලෙස සිදු නොවුනි. අබාධිත සොල්දාදුවන්ගේ නිදහස් ගමන් බලපත්‍ර පවා කපා දමන මට්ටමට නිලධාරිවාදය නරුම වී තිබුණි. මේ නිසා සටන් ඒකක වල සිටි සොල්දාදුවන් පවා යලි යුද්දයක් ඇති වුවහොත් ජිවිත අවදානමට පත් නොකර ගන්නා සෙයක් තිබුණි. යුද්දයේ දස්කම් දැක්වූ නිලධාරීන් වෙනුවට යුද්දයේදී බියගුළු වූ සහ සොල්දාදුවන් අතරමං කොට පලා ගිය නිලධාරීන්ට උසස්වීම් ලැබුණි. යුද ශිල්පය මනාව දත් නිලධාරීන් වෙනුවට අංජනම් බලන, අපල උපද්‍රව වලට සෙත් කවි කියන, ප්‍රභාකරන් පැරදීමට නම් හනුමා කෝවිල් තැනිය යුතු බව කියන නිල ඇඳුම ඇඳි අරිට්ඨ කී වෙන්ඩු ලා හමුදාපතිවරුන්ගේ උපදේශකයන් වුහ. මෙවැනි විකාරරූපී තත්වයක් තිබු හමුදාව 2009 වන විට ලෝකයේ අති දක්ෂ ප්‍රහාරාත්මක හැකියාවක් තිබු හමුදාවක් බවට පත් විය. මේ සඳහා නායකත්ව සාධක අනිවාර්යෙන්ම හමුදාවට බලපෑවේය.
  ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට චන්ද්‍රිකා මැතිනිය දක්වා සිටි ජනාධිපතිවරුන් යුද්දයට නිසි දේශපාලන නායකත්වයක් දුන්නේ නැත. ඔවුන් විදේශ ඇඟිලි ගැසීම් හමුවේ පසුබා ගියහ. නැතහොත් යුද්දයට දේශපාලන ඉලක්කයන් ගාවාගෙන යුද මෙහෙයුම් අඩාල කළහ. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්දය පැවති සමයේ දුන් දේශපාලන නායකත්වය මිට ඉහත සිටි කිසිදු ජනාධිපතිවරයෙකු ලබා දී නොමැත. එම සාර්ථක දේශපාලන නායකත්වය මත යුද්දය ජයග්‍රහණය කර ගෙන යාමට ත්‍රිවිධ හමුදාවට හැකි විය. නමුත් පශ්චාත් යුද සාමය වන විට මෙම තත්වය වෙනස් වී ගිය බව පෙනී යයි. යුද සමයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙන්වන ලද කුසලතා පරිපුර්ණ නායකත්වය පශ්චාත් යුද සමයේදී ද පෙන්වන ලද්දේ නම් වර්තමානයේ අන්තර් ජාතික වශයෙන් ලංකාව කොටු කර ගැනීමට බටහිර රටවල් ඇතුළු ද්‍රවිඩ ඩයස්පෝරාව දරණ වෑයම නිශේදනය කිරීමට හැකිව තිබිණි.
  ජනාධිපතිවරයා විසින් දුන් දේශපාලන නායකත්වයට අමතරව ආරක්ෂක ලේකම්වරයා යුද්දයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. ආරක්ෂක ලේකම් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද සමයේදී පෙන්වන ලද කාර්යක්ෂමතාව ලඝු කළ හැක්කේ දේශපාලන විරුද්ධවාදියෙකුට පමණි. එතුමාට පෙර සිටි ආරක්ෂක ලේකම්වරුනට යුද හමුදාවක විවුහය ගැන කිසිම අවබෝධයක් නොතිබුණි. එක් ආරක්ෂක ලේකම්වරයෙකු පුලිදේවන්ට මචන් පුලි යැයි කීමට පවා දීන විය. හමුදා නිලධාරියෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව මහතා සමග වඩමාරච්චි මෙහෙයුමේ නිරත වූ අත්දැකීම් බහුල නිලධාරියෙකු විය. ඔහුට හමුදාව සටන් කරන අන්දම, භට සම්පාදනය ගැන අවබෝධයක් තිබුණි. යුද සමයේදී තිවිධ හමුදාපතිවරුන් සමග මනා සබඳතාවක් ගෙන යමින් යුද්ධය කාර්යක්ෂමව කරගෙන යාමට ඔහු සමත් විය.
  යුද හමුදාපතිවරයා වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ යුදමය නායකත්වයද ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා අනවතරයෙන් බලපාන ලදී. ඊලාම් යුද්දය ජය ගැනීමට ඔහු දුන් දායකත්වය අති විශාලය. ජෙනරාල් සරත් ෆොන්සේකා සම කළ හැක්කේ ජෙනරාල් ජෝජ් පැටන් වැනි කඪෝර නමුත් යුද්දයේ දක්ෂ සේනා හසුරුවීමෙහි සමර්ථ සෙන්පතියෙකුට ය. ඔහු උතුරේ යුද මෙහෙයුම් මනාව දැන සිටියේය. කනිෂ්ට නිලධාරින්ට මෙහෙයුම් වලදී ඔහුට බොරු කිරීමට නොහැකි විය. ඔහු ප්‍රභාකරන්ගේ මර්මස්ථාන බිඳ දමන ක්‍රමය දැන සිටියේය. ඔහුගේ යුද උපක්‍රම ප්‍රභාකරන්ට විනාශය ගෙන ආවේය. යුද්දය ජය ගැනීමට ගුවන් හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිසිය, ජාතික ආරක්ෂක බලමුළුව විසින් දෙන ලද දායකත්වය ද අති විශාලය. මනා සහයෝගිතාවයකින් සහ විශිෂ්ට සම්බන්ධීකරණයකින් යුතුව ප්‍රභාකරන් සාධකය පරාජය කිරීම සඳහා ආරක්ෂක හමුදාවෝ ක්‍රියා කළහ.
පශ්චාත් යුද සමයේදී ප්‍රභාකරන් සාධකය ඉස්මතු වීම:

වේලුපිල්ලේ ප්‍රභාකරන් ශාරීරිකව විනාශ කලද ඔහු විසින් ලෝකය පුරා පතුරවා හරින ලද බෙදුම්වාදය නිශේදනය කිරීමට අසමත් වීම ශ්‍රී ලංකාව විසින් කරන ලද එක් වරදකි. ද්‍රවිඩ ඩයස්පෝරාව මුල්‍යම වශයෙන් ශක්තිමත් අතර දේශීය දේශපාලකයන්, සමාජ ක්‍රියාධරයන් මෙන්ම බටහිර රටවල මන්ත්‍රීවරු පවා ඔවුන් මිලට ගෙන තිබේ. මේ නිසා අද බෙදුම්වාදය ජිවන මාර්ගයකි. එබැවින් පශ්චාත් ප්‍රභාකරන් සාධකය පරාජය කිරීම සඳහා ලංකාණ්ඩුව විසින් සාර්ථක මූලෝපායන් භාවිතා කල යුතුය.
  ඩයස්පෝරාව විසින් ලංකාව කොටු කර ගැනීම සඳහා ක්‍රියා කරති. මේ තත්වයට මුහුණ දීමට නම් මනා රාජතාන්ත්‍රික සබඳතාවන් අනෙකුත් රටවල් සමග පවත්වා ගනිමින් ප්‍රභාකරන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදු කල විනාශයන් පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කල යුතුය. අවාසනාවකට මෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය සිදු කල ජන ඝාතන ගැන අන්තර්ජාතික ප්‍රජාව නියමාකාර ලෙසින් දැනුවත් වී නොමැත. මේ නිසා ඊලාම් යුද්දයේ වග උත්තරකරුවන් අනියම් ලෙසින් ලංකාවට චෝදනා එල්ල වේ. නමුත් ඊලාම් යුද්දයේ සැබෑ ඉතිහාසය සොයා බැලුවහොත් මෙය ලංකාව මත පැටවූ යුද්දයක් බව පෙනී යයි. බෙදුම්වාදීන්ට ආයුධ පුහුණුව ලබා දෙන ලද්දේ ඉන්දියාව විසිනි. එසේම ඇතැම් බටහිර රටවල් විසින් ද එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආයුධ මෙන්ම තාක්ෂණය ලබා දෙන ලදී.
  පුරා දශක තුනකට අධික කාලයක් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් උතුරේ සහ දකුණේ සිදු කල විනාශය සහ ද්‍රවිඩ ජනතාව 20,000 අධික ප්‍රමාණයක් මරා දැමීම ගැන ගැන නියමාකාරයෙන් අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කලේ නම් ලංකාව කොටු කර ගැනීම සඳහා ඩයස්පෝරාව දරණ වෑයම ප්‍රතිවර්තන කිරීමට ලංකාණ්ඩුවට හැකියාවක් තිබුණි. නමුත් මේ සඳහා යුද්දයෙන් පසු වැඩපිළිවෙලක් නොවිය. එය ලංකාවට අවාසිදායක විය. යටත් පිරිසෙයින් ඉදිරි කාලයේදී ඊලාම් යුද්දය සහ ප්‍රභාකරන් සාධකයේ විනාශකාරී මුහුණුවර විද්‍යාත්මක වශයෙන් අධ්‍යනය කිරීමට ලංකාවේ මධ්‍යස්ථානයක් ඇති කල යුතුය. පොල්පොට් විසින් කරන ලද සමාජ වියසනය ගැන අධ්‍යනය කිරීමට කම්පුචියාවේ මෙවැනි මධ්‍යස්ථානයක් ඇති අතර එම මධ්‍යස්ථානයට විදේශීය සරසවි වලින් පවා පිරිස පැමිණෙති.
  මෙවැනි මධ්‍යස්ථානයක් ලංකාවේ තිබුනේ නම් ප්‍රභාකරන් සාධකය ශක්තිමත් කරවමින් ද්‍රවිඩ ඩයස්පෝරාව විසින් මුදල් පොම්ප කරමින් උතුරේ කල භෞතික සහ සංස්කෘතික විනාශය ගැන පැහැදිලි චිත්‍රයක් අන්තර්ජාතික ප්‍රජාවට ලබා දීමට තිබුණි. මේ නිසා ප්‍රභාකරන් සාධකය අධ්‍යනය කිරිමටත් එහි විනාශකාරීභාවය ගැන දෙස් විදෙස් ප්‍රජාව දැනුවත් කිරීමත් අත්‍යවශයෙන්ම සිදු කල යුතු කර්තව්‍යකි. මේ හැර යලිත් මෙවැනි විනාශකාරී යුද්දයක් ලංකා භුමියේ යලි පැන නොනැගීමට අවශ්‍ය ප්‍රාග්ඥානයක් මෙවැනි අධ්‍යනයක් තුලින් සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවට ලබා දිය හැකිය. එමගින් බෙදුම්වාදය මුල් කොට ගත් ප්‍රභාකරන් සාධකය සහමුලින්ම පරාජය කිරීමට අවශ්‍ය දැනුම සහ ශක්තිය ලැබෙනු ඇත.
සිංහලයා පුවත් ඒජන්සිය වෙනුවෙන්,
වෛද්‍ය රුවන් එම්. ජයතුංග

07 August 2013

හමුදා පොතේ කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි…….. – The Crowd Dispersal


 මේ ලිපිය, තමන්ගේ නිර්මාණයක් ලෙස සංස්කරණය කොට පළකළ එක්තරා බ්ලොග් අඩවියක, මේ ලිපියට සබැඳියාවක්වත් දක්වා නැති නිසාත්, තවත් පුවත් වෙබ් අඩවියක ද ලිපිය තමන්ට අයිති එකක් සේ සලකා සංස්කරණය කොට පළකර, අගට මගේ බ්ලොග් නම කුඩා අකුරුවලින් දක්වා, කිසිදු සබැඳියාවක් පෙන්වා නැති නිසාත්, ඒ ගැන මා එම අඩවියේ දැමු කමෙන්ට් එකවත් පළකර නොමැති අතර, මගේ කතෘත්වය සනාථ කරනමෙන් දන්වා යවන ලද  ඊ මේල් පණිවිඩයටවත් මෙතෙක් පිළිතුරක් නැති නිසාත්, මෙසේ යළිත් නව ලිපියක් ලෙස පළකරමි. ඔය උන්නැහේලා එක්ක මට ගණුදෙනු කිරීමට අවශ්‍යතාවක් නැත. ලජ්ජා නැතිකම බ්ලොග් ලිවීමටත් වඩා ලොකුයිලු. :D :D
 සංස්කරණය කරන ලදී 2013/08/07
 මෙම ලිපියේ මගේ නිරීක්ෂණ වලට, තවත් අලුත් කරුණු දෙකක් ඇතුළත් කර, මෙසේ නැවත පළකරන බව කාරුණිකව සළකන්න.
 DSCF8789  පසුගිය දිනවල, වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම, අප හැමදෙනාගේම සිත්වල බලවත් කම්පනයක් ඇතිකළ බව නොරහසක්. මේ සිද්ධිය නිසා, සමස්ත ශ්‍රී ලංකා යුද හමුදාව කෙරෙහිම,  පින්තුරය ගත්තේ මෙතනින් මහජනතාව තුළ කිසියම් අප්‍රසාදයක් ඇතිවීමත් නොරහසක්. දැන් මේ සිද්ධිය පිළිබඳව විවිධ පාර්ශව විසින් විවිධ දෘෂ්ටි කෝණ වලින් අදහස් දැක්වීම් සිදුකෙරෙනවා. මා දුටු ආකාරයට මේ පිළිබඳව වැඩිම පාඨක ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබී තිබුණේ මාතලන් ගේ අඩවියේ  පළවූ ලිපියටයි. ඒ වගේම තහනම් වචන අඩවියේත් සෑහෙන්න වලංගු තාර්කික කරුණු දක්වා තිබුනා. මගේ හදවත කම්පනයට පත්කරමින්, මේ ලිපිය ලියමින් සිටින මේ මොහොතේ (2013/08/04 දින 1326 පැය) රතුපස්වල සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සිවිල් පුද්ගලයකු ජාතික රෝහලේදී මියගිය බව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ නිවේදනය කෙරුනා.  මේ වනවිට තිදෙනෙකු මරණයට පත්වී ඇති මේ සිද්ධිය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කර සුදුසු පියවර ගැනීම, රජයේ වගකීම බව මේ රටේ මිනිස්කම හඳුනන සියලු දෙනාගේ එකම පැතුම බව, අමුතුවෙන් කිවයුතු නැහැ. නමුත් ඉතා අවාසනාවන්ත ලෙස, අපේ රටේ නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවන බවට ඇති උදාහරණ අපමණයි. අර යකඩ හොරා, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් තිබියදීත්, ජනාධිපතිතුමා සමග එකට සිට මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමෙන් නිරූපණය වන්නේ, කාගේ ලැජ්ජානැතිකම ද යන්න හිතාගැනීම ඔබටම බාර කරනවා.
  මේ ලිපියෙන්, මම රතුපස්වල ගැන පශ්චාත් මරණ පරීක්ෂණයක් තියන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මා බලාපොරොත්තු වෙන්නේ මෙවැනි තත්වයකදී හමුදාව ක්‍රියා කළයුත්තේ කෙසේද කියා, හමුදා පුහුණුවේදී උගන්වන ආකාරය පිළිබඳව, හැකිතරම් කෙටියෙන් ඔබ සමග සාකච්ඡා කිරීමයි.
  කිසියම් කුඩා ජන කොට්ඨාශයක්, කිසියම් කාර්යාලයීය/කම්හල්/වතු සේවක පිරිසක්, කාලයක් තිස්සේ විඳවන ප්‍රශ්නයක් කෙරෙහි, ප්‍රමාණවත් අවධානයක්, රජය විසින් ලබා නොදීම නිසයි මෙවැනි තත්වයන් ඇතිවන්නේ කියා, ඔබ හොඳින්ම දන්නවා. මේවා අද ඊයේ දේවල් නෙවෙයි. ඉතා ඈත අතීතයේ පවා සිදුවූ අදත් සිදුවන, අනාගතයේදීත් සිදුවන් දේවල්. සුභසාධක රාජ්‍ය ක්‍රමයක් ක්‍රියාත්මකවන අප වැනි රටවල මෙවැනි සිදුවීම් බහුලයි. මේ ප්‍රශ්නයේදී රතුපස්වල ජනතාව ගත් ක්‍රියාමාර්ගය අසාධාරණයයි කියන්නට කොහොමවත් බැහැ. ජනමාධ්‍ය ඔස්සේ ඔවුන් දැක්වූ අදහස් වලින් එය පෙනීයනවා. නීති පොතේ භාෂාවෙන් කියනවා නම් යුතු ජන රාශියක්, අපිට තේරෙන භාෂාවෙන් කියනවානම් මිනිස්සු පක්ෂ පාට ජාති කුලමල භේදයකින් තොරව පොදු කරුණක් උදෙසා කරන උද්ඝෝෂණයක් වලක්වන්නට අයිතිය තිබෙන්නේ කාටද? අධිකරණයට පමණයි. අධිකරණය එවැනි තීරණයක් ගන්නේ පොලීසිය විසින් ඉදිරිපත් කරන වාර්තා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවෙනවානම් පමණයි. ඒ කියන්නේ මේ උද්ඝෝෂණ ව්‍යාපාරය නිසා සමාජයේ අනෙකුත් බහුතරය දැඩි පීඩාවකට ලක්වන බව පොලීසිය විසින් අධිකරණයට කරුණු ඔප්පුකර පෙන්විය යුතුයි. විනිශ්චයකාර වරයාත් අධිකරණයට යන පොලිස් නිලධාරියත් රජයේ එහෙයියන් නම් එතැනදී සාධාරණයක් ඉෂ්ඨවන්නේ නැහැ. ඒ එක පැත්තක්.
  මේ වගේ ප්‍රශ්න වලට හමුදාව මැදිහත් වෙන්නේ ඇයි? මැදිහත් වියයුත්තේ ඇයි? එහි සීමාවන් මොනවාද? කවුද වගකීම දරන්නේ? එයින් ඇතිවන ප්‍රතිඵල වලට වගකිවයුත්තේ කවුද? අපි මේ කරුණු ටිකක් සවිස්තරාත්මකව බලමු. යුදහමුදාවක් සංග්‍රාමික කටයුතු වලදී යෙදෙන ප්‍රධාන භූමිකා (role) දෙකක් තිබෙනවා.
  • සාම්ප්‍රදායික සංග්‍රාම – Conventional Warfare – CW
  • ප්‍රතිවිප්ලවීය සටන් – Counter Revolutionary Warfare – CRW
  මේ ප්‍රධාන භූමිකා දෙක යටතේ තවත් උප කොටස් තිබෙනවා. ඒවා පසුවට තබා, රතුපස්වල සිද්ධියට අදාළ කොටස විතරක් එළියට ගන්නම්. ඒ උප කොටස් වලින් එකක් හඳුන්වන්නේ, අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි – Internal Security Duties = IS Duties කියලයි.  මොනවද IS Duties කියන්නේ? මෙන්න මේවගේ දේවල්.
  • හමුදා භටයන් හෝ අවි ආයුධ පතරොම් වැනි දේ එක තැනක සිට තව තැනකට වාහන වලින්, දුම්රියෙන්, (යුද්ධයක් නැති ප්‍රදේශයක වුනත්) ආරක්ෂිතව ප්‍රවාහනය සංවිධානාත්මකව, ආරක්ෂිතව, හමුදා පිළිවෙත අනුව සිදුකිරීම. (ඒ සඳහා රජයේ චක්‍රලේඛ වගේ හමුදාවේ තියනවා කාලයෙන් කාලයට පනවන ස්ථාවර නියෝග – standing orders)
  • වැදගත් පුද්ගලයන්ට – VVIP/VIP සහ මර්මස්ථාන - Vulnerable Points – VP වෙත ආරක්ෂාව සැපයීම. (උදාහරණ; ලොකු දෙස්පාලුවන්ට, කාලීනව ආරක්ෂාව අවශ්‍යයි කියලා රජය විසින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන වෙනත් පුඟුලන්ට, රූපවාහිනී/ගුවන්විදුලි මධ්‍යස්ථාන, තෙල් පිරිපහදු/තෙල් ගබඩා/විදුලිබලාගාර/ජලාශවල වේලි ආදී බරපතළ හානි සිදුවියහැකි ස්ථාන.)
  • යුද්ධයක් නොවන, අභ්‍යන්තර කැරළි කෝලාහල, සන්නද්ධ කණ්ඩායම් වලින් කරන මිනීමැරුම්, මංකොල්ලකෑම්, ජන පීඩන ක්‍රියා, මැඩපැවැත්වීම සඳහා පොලීසියට සහාය වීම.
  ඔන්න ඔයවගේ රාජකාරි ලැයිස්තුවක් තමා අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි කියලා කියන්නේ.
  ඔන්න අපේ කට්ටිය පොට වරද්දාගත්තේ, මෙන්න මේ පොලීසියට සහාය දීමේ වැඩේ කරන්න ගිහින් තමයි. අපි බලමු යුදහමුදා පුහුණුවේදී මේ පිළිබඳව තිබෙන න්‍යාය/පිළිවෙත/නියෝග/ මොනවාද කියා. ඔබෙන් සමහර අය හිතාගෙන ඇති යුද්ධයකදී විශාල සේනා සංවිධානය කර, ‘ඔයගොල්ලෝ මෙහෙන් යන්න, ඔයාලා මෙහෙන් ගිහින් මෙහෙම කරන්න’ ආදී වශයෙන් තමයි යුද්ධ කරන්නේ කියා. නැහැ. ආරක්ෂක විද්‍යාව කියන්නේ ලෝකයේ බොහොමයක් රටවල (ලංකාවද ඇතුළුව) විශ්වවිද්‍යාල උපාධි ලබාදෙන ඉතා ගැඹුරු විෂයයක්. සාමාන්‍ය නිළධාරි පුහුණුවේදී පවා මේ විෂයය අවශ්‍ය තරම් ගැඹුරට හදාරනවා. සොල්දාදුවන්ටත් ඔවුන්ගේ මට්ටමට ගැලපෙන පුහුණුවක් දෙනවා. සංග්‍රාමයක් පවතින්නේ සංග්‍රාමික මූලධර්ම මත බව, මම මීට පෙර ඔබට කියාදී තිබෙනවා මතකද? මේ අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි ඉටුකිරීම පිළිබඳව තිබෙන හමුදා ප්‍රකාශන වල ඇති කරුණු, එලෙසින්ම ගෙනහැර දැක්වීම හමුදා නීතියට පටහැනි නිසා, මා ඔබට ඒ ඇසුරෙන් පමණක් කරුණු පැහැදිළි කරන්නම්.
  මේ වගේ වැඩකට භටපිරිස් යොදවන්න කළින් පහත දැක්වෙන කරුණු ගැන සිතා බැලිය යුතුයි කියලයි පොතේ තියෙන්නේ. වෙනත් වචන වලින් කියනවානම් මූලධර්ම ලෙස සැලකියයුතු කරුණුයි මේවා.
  • තමන් කරන ක්‍රියාවේ සාධාරණ සහ යුක්තිසහගත බව – Justification
  • වැළක්වීමේ ක්‍රියාවක් ලෙස පමණක් යෙදවීම – Prevention
  • සෑමවිටම අවම බලය යෙදවීම – Minimum Force
  • හමුදා නීතියට මෙන්ම සිවිල් නීතියටද සම්පූර්ණයෙන් අනුකූලව ක්‍රියාකිරීම – Legal Obligations
  • අහිංසක, නීති ගරුක, සිවිල් වැසියන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු වන පරිදි ක්‍රියාකිරීම – Safeguarding Loyal Citizens
  • තමන් (හමුදාව) කෙරෙහි ඇති මහජන විශ්වාසය පළුදු නොවන ආකාරයට ක්‍රියාකිරීම – Maintenance of Public Confidence
  • තමන් කරන සෑම ක්‍රියාවකම සාධාරණත්වය සාක්‍ෂි සහිතව ඔප්පු කිරීමට හැකිවනසේ ක්‍රියාකිරීම – Evidence
  මා හිතනවා, මේ සිද්ධිය ගැන පරීක්ෂා කරන හමුදා පරීක්ෂණ කණ්ඩායම, තම පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම, Land Operations නමැති මහා හමුදා පොතේ, Counter Revolutionary Operations යන කොටස යටතේ එන, Internal Security යන දීර්ඝ පරිච්ඡේදය නැවත කියවා බලනු ඇතැයි කියා.
  මීළඟට මා ඔබව කෙළින්ම ගෙනයන්නේ රතුපස්වල වැනි සිද්ධියකදී කලයුතු දේ පිළිබඳව හමුදා පොතේ කියා තිබෙන්නේ මොනවාදැයි සොයාබැලීමටයි. මේ සම්බන්ධව ඇති ඉතා දීර්ඝ කරුණු රාශියක් හැකිතරම් සංක්‍ෂිප්තකොට කියන්නම්. නැත්නම් ඔබට මේ ලිපිය නීරස වෙනවා. ඒ වගේමයි හමුදාවේ රහසිගත classified තොරතුරුත් මෙහි ඇතුළත් කරන්නට හැකියාවක් නැහැ.

  පොතේ කියන්නේ මේ වගේ තත්වයන් ඇතිවිය හැකි බව ඒ ඒ රටේ හමුදා ප්‍රධානීන්ගේ අවධානයට ලක්වූ වහාම ඒ පිළිබඳව ඉතා සැළසුම් සහගත පූර්ව සූදානමක් තිබියයුතු බවයි. (එදා රතුපස්වලදී මෙහෙමම වුනා කියලා මම කියන්නේ නැහැ. නමුත් මොහොතකට මෙහෙම හිතන්න. කොළඹ නගරය පුරා කුළීකරුවන් මෙන් දවස පුරා වෙහෙසෙන සෙබළුන් ඉන්නේ හිත සතුටෙන් නොවේ. තමන් පාර හදන කම්කරුවකුගේ අත්වැඩ දෙන්නෙකු බව, තම නෑ දෑ හිතවතුන් දැක්කම, ඔහුට මොනවද හිතෙන්නේ? ඉතින් මෙහෙම වැඩ කර කර ඉන්න අතරේදී එකවරම, ‘ටක් ගාලා යුනිෆෝම් එක දාගෙන, වෙපන් එකත් අරන් වරෙන්, කචල් එකක් තියනවා නවත්තන්න’ කියලා මේ සෙබළාගේ කෝප්‍රල්/සැරයන්/නිළධාරියා කිව්වොත්, ඔහු යළිත් හිතෙන් බැණ බැණ එනවා. ඒ එන්නේ අර මිනිස්සුන් එක්ක කෝපයෙන් වෛරයෙන්. ‘මේ %$#^ගේ පුතාලා නිසා අපට නිවනක් ඇත්තෙම නෑනේ යකෝ. අපි මේ උදේ ඉඳන් දවස පුරා කුළීකාරයෝ වගේ නැහෙනවා, මුන් කාලා බීලා තෙල මෝරලා එනවා රට පෙරළන්න’  යන හැඟීමෙන් තමයි ඔවුන් අර මිනිස්සු දිහා බලන්නේ. ඒ නිසා, ‘අපිව කන්ඩ එන කාලකන්ණි හැත්ත, හිටපියවූ තොපිට දෙන්නම්……….’ යන හැඟීමෙන් ක්‍රියාකරන්නට හොඳටම ඉඩ තිබෙනවා.) ඒ නිසා තමයි පූර්ව සූදානම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මේ සඳහාම වෙනමම විශේෂයෙන් පුහුණුකළ භටපිරිස්, වෙනත් රාජකාරිවල නොයොදවා සූදානම්ව තැබිය යුතුයි.
    මෙලෙස හමුදා මැදිහත්වීමක් කරන්නට පෙර, හමුදා ප්‍රධානීන් උසස් පොලිස් ප්‍රධානීන් සමග තත්ත්ව සමාලෝචනයක අනිවාර්යයෙන්ම යෙදිය යුතුයි. එහිදී, පොලීසිය පැහැදිළිව පෙන්වා දිය යුතුයි, මෙය හමුදා සහායෙන් තොරව, තමන්ට තනිවම පාලනය කළ නොහැකි තරමට වර්ධනය වෙමින් පවතින තත්වයක් බව.  හමුදාව සිද්ධියට මැදිහත් වුනාට පස්සේ අණ දීමේ බලය තියෙන්නේ හමුදා නිළධාරියා අතේ. ඊට පස්සේ පොලීසියේ මොන ජගතාටවත් බැහැ හමුදාව නවත්වන්න. (අර වලං කඩේට පැන්න මීහරකාගේ ලොකු අප්පච්චි වගේ ඉන්න ඩී.අයි.ජී. හිතනවා ඇති හමුදාවටත් අණදෙන්න. මම හිටියානම්………………….) ඒ සඳහා අණ දියයුත්තේ ඒ පිරිසට අණදෙන හමුදා නිළධාරියාමයි. එහෙම නොවුනොත් ඔක්කොම අවුල් ජාලයක් වෙනවා.
  මෙතැන් සිට පොතේ විස්තර කරන්නේ ප්‍රහාරක සැළසුම් විධි සහ උපක්‍රම. මා මෙහිදී ඒවා විස්තර නොකරන්නේ රහසිගත තොරතුරු නිසයි. මෙන්න මේ කරුණ කෙරෙහි ඔබේ විශේෂ අවධානය යොමු කරනවා. පොතේ සඳහන් පරිදි, පොලීසිය, මේ සඳහා හමුදාවේ සහාය ලබාගැනීමේදී, අනුගමනය කළයුතු වැදගත් කරුණු කීපයක් තිබෙනවා.  පිරිස විසුරුවා හැරීමට උසාවි නියෝගයක් ලබාගෙන තිබිය යුතුයි. පොතේ කියන්නේ මහේස්ත්‍රාත් වරයා පිරිස විසිරවීමට යොදන හමුදා කණ්ඩායම සමග සිටිය යුතුයි කියලයි. ඒ හමුදා කණ්ඩායම සිද්ධිය වන ස්ථානයට ගිහින් හිටගත යුත්තේ හරි හතරැස් හැඩයකට box formation සෙබළුන් සිටින පරිදියි. බලන්න මේ සමග ඇති පින්තූරය සහ පහත දැක්වෙන සටහන.
img034
img036
  ඉහත පින්තූරයෙන් ඔබට පැහැදිලි වෙනවා ඇති  හමුදා භට පිරිස සංවිධානයවී ඇති ආකාරය. පහත සටහනේ තිබෙන සෑම කොටුවකින්ම එක් පුද්ගලයකු නිරූපණය වෙනවා. (35 ක් ඉන්නවා) ඉහත පින්තූරය බැළුවම ඔබට පෙනෙනවා වටේට ඉන්න සෙබළු, (දෙදෙනෙකු හැර) සියළු දෙනාම පිටතට මුහුණලා ඉන්නේ කියලා. පහත සටහනේ එක් එක් කොටුව අසළ ඇති ඊතලයෙන් පෙන්වන්නේ ඒ ඒ පුද්ගලයා මුහුණ දා සිටින පැත්තයි. මේ කණ්ඩායමේ ඇතුළත එක් එක් පුද්ගලයාට නියමිත තැනක් තිබෙනවා. මා ඒ තැන් කොටු වලින් ලකුණු කර ඇතත්, ඒ ඒ ස්ථානයේ ඉන්නේ කවුද කියා ලකුණු නොකරන්නේ, ඒවා රහසිගත තොරතුරු නිසා. නමුත් ඉන්න පිරිස කියන්නම්. හමුදා ඡායාරූප/වීඩියෝ වාර්තාකරු, මහේස්ත්‍රාත්වරයා, භට පිරිසට අණදෙන හමුදා නිළධාරි, ඛණ්ඩය භාර හමුදා සැරයන්, නිවේදක, බැනර් අල්ලන්නන් දෙදෙනයි, හමුදා ගුවන්විදුලි පණිවිඩ හුවමාරුකරු, බියුගල් නලාකරු, පොලිස් නිළධාරියා, සීමා ලණු අදින්නන් දෙදෙනයි, ගිලන්මැසිකරුවන් දෙදෙනයි, ප්‍රථමාධාරකරු.
  මොනවද අප්පච්චියේ මේගොල්ලෝ කරන්නේ. ඡායාරූප/වීඩියෝ වාර්තාකරු සෑම මොහොතක්ම පටිගත/ඡායාරූපගත කළයුතුයි. මහේස්ත්‍රාත් නිරීක්ෂණය කරනවා නීතියට යුක්තියට අනුව සියල්ල සිදුවන්නේදැයි කියා. නළාකරු ඉස්සර හිටියා. ඔහු තමයි මුලින්ම බියුගල් නළාව පිඹලා කළහකාරී පිරිසේ අවධානය ගන්නේ. එවිට බැනර් කරුවෝ දෙන්නා කලහකාරීන්ට පෙනෙන්න බැනර් එකක් අල්ලනවා ඉහළට ඔසවලා. එහි භාෂා තුනෙන්ම ලියලා තියනවා අයුතු ජන රාශියකි වහාම විසිරයනු නැතහොත් වෙඩි තබනු ලැබේ කියලා. ඊළඟට නිවේදක තමන් අතේ ඇති මෙගෆෝන් එකෙන්, භාෂා තුනෙන්ම කියනවා අයුතු ජන රාශියකි, වහාම විසිර යනු, විසිර නොගියොත් වෙඩි තබනු ලැබේ කියලා. සීමා ලණු අදින්නන් මේ භට පිරිස සහ අර කලහකාරීන් අතර මැද ප්‍රදේශයේ, ලණුවක් හෝ කටු කම්බියක් වැනි යමක් එළනවා. ඉන්පසු නිවේදනය කරනවා, එම සීමාව පසු කළොත් වෙඩි තබනවා කියලා.  ඊළඟට ඉතින් අපෙන් වෙඩි තැබීමක් සිදු වුනොත්, කිසිදු තුවාල කරුවකු අර පිරිසට රැගෙන යන්න දෙන්නේ නැහැ. ඔවුන් අපේ ගිලන් මැසිවල තබාගෙන, අපේ පැත්තට ගෙනත්, ප්‍රථමාධාර දී, වහාම පොලිස් ආරක්ෂාව යටතේ, රජයේ රෝහලකට ඇතුළත් කරනවා.
  ඔන්න දැන් ඉතින් මට කියන්න එපා, එදා රතුපස්වල වුනේ මෙහෙම නෙවෙයිනේ කියලා. අර කියමනක් තියනවනේ පොන්ත නෝනගේ කොන්ඩේ බඳින්නේ පොන්ත නෝනට ඕනේ විදිහට කියලා. සමහරුන්ට හිතෙයි මේ පොත පරණයි කියලා. කොහෙත්ම නැහැ. අර නලාකරු, බැනර්කරුවන් වගේ අය නැතත්, මේ ක්‍රමයම තමයි අදත් කරන්නේ (අනිවාර්යයෙන් කළයුත්තේ) එදාට වඩා 500% ක් සාර්ථකව අද මෙය කරන්න පුළුවන්. දැන් පෙනෙනවානේ, හමුදාව රබර් උණ්ඩ අරන් එන්නේ නැහැ. හමුදාව කියන්නේ හමුදාව. අහවල් එක තියාගෙන අහවල් එකෙන් කොරන්න හමුදාව දන්නේ නැහැ. ඒ නිසයි අවසාන අවස්ථාව දක්වා ඉවසාගෙන ඉන්නේ.  පොලීසියට හොඳටම ඉඩ තිබුනා තමන්ගේ අහවල් එකෙන් කොරන්න හමුදාවේ එකෙන් කොරවාගන්නේ නැතුව.
  ඔන්න පොතේ දේවල් කියන්න පුළුවන් උපරිම දුරට කිව්වා. ඊළඟට රතුපස්වල ගැන මගේ නිරීක්ෂණ කියන්නම්.
  • මේ සිද්ධිය පැය කීපයකින් ඇතිවුන කුමන්ත්‍රණකාරී දෙයක් නොවේ. මේ ප්‍රශ්නය පිළිබඳව මිනිස්සු මුලින්ම අප්‍රසාදය පළකළ අවස්ථාවේදී, ඒ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට තිබුනා, මේ තත්වය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෙත, ප්‍රාදේශීය සභාව වෙත, වාර්තාකරන්න, වහාම සුදුසු පියවර ගන්න කියලා. කෝ ඉතින් කරලා නැහැනේ.
  • ප්‍රාදේශීය සභාවේ බරපතළ වගකීමක් තමයි,මේ තත්වය ආරම්භවූ කාලයේදීම කරුණු සොයාබලා සුදුසු පියවර ගැනීම. එහෙම දෙයක් වෙලා නැහැ.
  • මේ රටේ තියනවානේ විවිධ පරිසර සංවිධාන මානව හිමිකම් සංවිධාන. ඒවායේ පිංපඩි ගන්න උන්නැහේලා, දිනපතා මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය කියවමින්, අසමින්, බලමින් සොයමින් (අසමි දකිමි සොයමි) :D සිටිය යුතුයි රටේ මොනවද වෙන්නේ කියා. (ඒගොල්ලන්ගේ මාධ්‍ය, දිනමිණ, ඔරොප්පු වාහිනී, සහ නයි ටී එන්, විතරද දන්නේ නෑ)  :D  එහෙම වුනානම් මේ ප්‍රශ්නයේ මුල්ම අවධියේදී මෙයට මැදිහත්වෙලා සුදුසු ක්‍රියාමාර්ග ගන්න තිබුනා. ඔය කියන විදිහට ගම් 10 ක ජනතාවට මෙය බලපානවා කියා අධිකරණ නියෝගයක් අරන් අර කම්හල වහන්නත් ඉඩ තිබුනා.
  • ඔය පැත්තේ පොලීසියේ අය, ක.බො.නි. න්‍යාය (කනවා බොනවා නිදාගන්නවා) අනුව ක්‍රියා කරන අයදැයි මා දන්නේ නැහැ. ගොනා හැරෙන්නේ පොල්පැලේ කන්න බව, පොඩි පොඩි විරෝධතා යනකොට උන්නැහේලාට තේරුනේ නැද්ද? පොලිස් බුද්ධි අංශය ගමට රිංගවලා, මොකද වෙන්න යන්නේ කියා හොයා බලා, ඉහළට වාර්තා කරන්න, උකුණු පුකක් තරම් මොළයක් තිබුනේ නැද්ද?
  • ඔය පැත්තේ සෑහෙන්න ඉන්නවා කතෝලික ජනතාව. මොකද හාමුදුරුවරු විතරක් උපවාසෙට ආවේ? කතෝලික පියතුමන්ලා වචනෙකින්වත් සහයෝගය නොදෑක්වුවේ ඇයි?  මා කතාකරන්නේ උන්වහන්සේලාට විරුද්ධව නොවේ. ඇත්ත කුමක්දැයි දැනගැනීමටයි.
  • වැඩේ හුඟක් බරපතළ බව කල්තියා පෙණුනානම්, ජාතික රහස් ඔත්තු සේවය, හමුදා බුද්ධි අංශය යොදවා කරුණු සෙව්වානම්, අර අපේ හමුදා ප්‍රකාශක තුමා රූපවාහිනියට කියපු, මහජනතාව අතරට රිංගලා හිටිය තුන්වැනි ද හතරවැනි ද බලවේගය හොයාගන්න තිබුනා නේද?
  • ඔය ගම් දහයේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයන්ගේ පවුල් කීයක් ඇද්ද? නිකම් දැන ඇඳුනුම්කම් මත, අයියේ, මල්ලියේ, මාමේ, බාප්පේ, මචං, මොකද වෙන්න යන්නේ කියලා ඇහුවනම්, වෙන්න යනදේ කල්තියා දැනගෙන, අර හතරවෙනි බලවේගේත් හොයාගෙන, මේ නැතිවුණු ජීවිත තුන රැකගන්න තිබුනා නේද?
  • පොලීසියේ ජල ප්‍රහාරක යන්ත්‍ර සද්දන්ත කුලේ ඒවාද? ඒවා කොළඹ තියන උසස් උද්ඝෝෂණ වලට විතරද යොදවන්නේ? මේ ගමේ බයියෝ මැරුණට කමක් නැති නිසාද එදා ඒවා නොයෙදුවේ? එකක් ගෙනත් ඒ වතුරට එක පොලිස් කාරයෙකුගේ කක්කා ටිකක් දියකරලා ගැහුවානම් අර මිනිස්සු පටස් ගාල විසිරෙනවා නේද?  ඇයි යකෝ මිරිස් මෝලකින් මිරිස්කුඩු ටිකක් අරන් දිය කරලා ගැහුවනම් මිනිස්සු නොමැරී, තුවාල නොවී, හමුදාවේත් පොලීසියේත් නම්බුව රැකී, උද්ඝෝෂණය අවසන් වෙනවා නේද?
  • පොලිස් අශ්වයෝ දෙන්නෙක් ගෙනත්, මිනිස්සු මැදට අරන් ගියානම් බයවෙනවා. ඒක අදටත් බොහෝ රටවල කරනවා. ලවුඩ්ස්පීකර් හයිකරපු හෙලිකොප්ටරයක් ගෙනත්, හොඳටම පාත් කරලා, විසිරයනු නැතහොත් වෙඩි තබනු ලැබේ කිව්වනම්, මිනිස්සු බයවෙලා විසිරෙනවා.
  • T 56 තුවක්කුවක ක්‍රියාකාරී ලක්ෂණ, characteristics ඔය ආව එක ලොක්කෙක්වත් දන්නේ නැද්ද? මීටර් 100 කට අඩු දුරකදී, මිනිහෙකුට, කෙළින්ම වදින හෝ වෙනත් ඝන වස්තුවක වැදී, හැරී ඇවිත් වදින, T 56 උණ්ඩයකින් මොකද වෙන්නේ කියලා, ගමේ වින්නඹු අම්මා වුනත් දන්නවා නේද?
  • T 56 තුවක්කු වෙනුවට පොලීසිය සතු පතරොම් තුවක්කු හෝ රිපීටර් පතරොම් තුවක්කු Shotguns or Repeater Shotguns මේ පිරිස විසුරුවන්න යොදාගන්න තිබුනා. ඒ තුවක්කු වලට නොම්මර 4 පතරොම් යොදා වෙඩි තැබුවානම් ඉතා සුළු තුවාල සිදුවන්නේ. නමුත්, ඔන්න වෙඩි තියනවා කියන හැඟීම ඇතිවන මිනිස්සු බය නිසා වහාම විසිර යනවා.
  • මේ ක්‍රියාන්විතය සඳහා යොදාගත් සෙබළු මානුෂික මෙහෙයුමේ අවසන් අදියරේ මෙන්ම සෑහෙන කාලයක් එල්.ටී.ටී.ඊ. යුද්ධයට සම්බන්ධව සිටි අය නම්, ඔවුන් මේ අවස්ථාවේදීත් අර කලබලකාරී පිරිස දෙස බලන්නේ ත්‍රස්තවාදීන් දෙස බැලූ ආකාරයටම වෙන්න ඉඩ තියනවා. මේ මිනිස්සු ගිනිඅවි වලින් සන්නද්ධ නැති බවත්, ඔවුන් සතුව ඇත්තේ ගල් මුල් පමණක් බවත්, සෙබළුන්ට නොපෙනීයන්න ඉඩ තිබෙනවා, ඔවුන් තවමත් අර යුද මානසිකත්වයේ සිටින නිසා. ඒ නිසා ඔවුන් උපරිම බලය යොදන්න ඉඩ තිබෙනවා. මෙහිදී යුද හමුදා පිළිවෙත වන්නේ, ක්‍රියාන්විතයට පැමිණීමට පෙර ඔවුන් සියලුදෙනාට ක්‍රියාන්විතයේ ස්වභාවය සහ, අවම බලය යෙදිය යුතු බවට දැඩිව උපදෙස් දීමයි. එසේ කළාද යන්න විශේෂයෙන් සොයාබැලිය යුතුයි.
  • මේ සඳහා කොපමණ පරීක්ෂණ කළත්, ඒවාගෙන් කාට හෝ දඬුවමක් ලැබෙයි කියා හිතන්න අමාරුයි. සමහරවිට, රතුපස්වල කීපදෙනෙක් හිරේ යන්න ඉඩ තියනවා.
  මෑතක සිට රජය උද්ඝෝෂණකරුවන් මරා දැමීමේ/ආබාධිත තත්වයට පත්කිරීමේ ප්‍රවණතාවක් ඇතැයි සිතෙන්නේ, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කළාපයේ සහ තවත් ස්ථානවල උද්ඝෝෂණ වලදී, ආරක්ෂක අංශ වෙඩි පහරින් මිනිසුන් මියයාම නිසයි. රජය කියන්නේ උඹලාට හෙට මැරෙන තරම් බරපතළ ප්‍රශ්න තිබුනත්, හිඟන්නන් මෙන් බැගෑපත් වෙයල්ලා උද්ඝෝෂණ කරන්න බැහැ කියලාද?
My Signature for Blog2013 අගෝස්තු මස 06 වැනි දින 0120 පැය

04 August 2013

වදන් බලය 2 – Word Power 2


මෙම ලිපියේ 10 වැනි ප්‍රශ්නය වැරදීමකින් නිසි ලෙස මුද්‍රණය වී නොතිබුන අතර පාඨකයන් විසින් පෙන්වාදීමෙන් පසු නිවැරදි කරන ලදී.  
මා කලින් හිතාගෙන හිටියේ, අද ඔබ වෙත, හමුදා තොරතුරු සහිත ලිපියක් ගෙන එන්නටයි. අවසන් කළ ලිපි හතරක පළමුවැනි කොටස් සූදානම්ව තිබුනත්, මේ ඊයේ පෙරේදා, වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ ඇතිවූ සිද්ධියත් සමග, හමුදාවේ ක්‍රියාකළාපය විවේචනයට ලක්වෙමින් පවතින අතරේ, මම හමුදා ලිපියක් ඉදිරිපත් කලොත්, ඔබෙන් සෑහෙන්න පිරිසක් කියන්න පුළුවන් අර සිද්ධිය ගැන තමුසෙට කිසි හැඟීමක් නැද්ද මේ අස්සේ මේවා ලියන්නේ කියා. ඒ නිසා හමුදා තොරතුරු ලිපි පසුවට තබා, වදන් බලය ලිපි පෙලේ තවත් කොටසක් මෙලෙස ඉදිරිපත් කරනවා. සුපුරුදු පරිදි මෙය උපුටාගත්තේ ‘සිව්දෙස’ සඟරාවෙන් බව විශේෂයෙන් සඳහන් කරනවා. ඒ වගේම වෙනදා මෙන් මා ඔබෙන් ඉල්ලන්නේ එක් එක් වචනයට අදාළ පිළිතුර බැලීමට ලිපියේ පහලට නොගොස්, ඔබේ පිළිතුරු කඩදාසි කොලයක සටහන් කරගෙන පසුව එකවර පිළිතුරු බලන ලෙසයි. හොඳයි එහෙමනම් පටන් ගනිමු අද වදන් බලය.
1
2
3
පිළිතුරු බලන්න යන්න
img157img157
img157
4
My Signature for Blog 2013 අගෝස්තු මස 05 වැනි දින 0005 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }