හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

14 August 2014

අර ටැංකි, මේ ටැංකි, එව්වා අස්සේ මේං එනවා යුද්ද ටැංකි (තුන්වැනි කොටස) The Battle Tank (Part Three)


    යුද්ධ ටැංකි ගැන ලියන මේ ලිපි මාලාව ඉදිරිපත් කිරීමත්, යුද්ධයක් කරනවා වගේ වැඩක්. මොකද, මේ සඳහා ලිපි විශාල ගණනක් කියවන්න වෙනවා. ඒ ලිපි වලින් අවශ්‍ය කොටස් තෝරාගෙන, පරිවර්තනය කරලා, සංස්කරණය කරලා, අවශ්‍ය පින්තූර සහ වීඩියෝ හොයාගෙන, ඒවත් සංස්කරණය කරලා, අවසාන පිටපත හදනවා කියන්නේ, ඉතිං යුද්ධයක් තමයි. මොනවා කරන්නද බැඳගත්ත බෙරේ ගහන්නත් ඕනෙ කියලා කතාවක් තියනවනේ. මේ ලිපි මාලාවේ පළමුවැනි කොටසටත්දෙවැනි කොටසටත්, ඔබෙන් ලද දිරිගන්වන සුළු ප්‍රතිචාර වලට, මගේ කෘතඥතාව පළ කරන අතර, තුන්වැනි කොටසද ඔබට මෙලෙස පිළිගන්වනවා.

  මේ කොටස තරමක් ප්‍රමාද වුණේ, ඉහළට ඉගෙන ගන්නා ඥාති දියණියකට, නිබන්ධනයක් සැකසීම සඳහා, විශේෂ වෙහෙසක් දරා, දිවා රෑ නොබලා අන්තර්ජාලයෙන් සොයා, කරුණු කියාදීමටත්, පරිගණකයෙන් ලේඛනගත කොට, ඉන්පසු අවශ්‍ය 'පවර්පොයින්ට්' ඉදිරිපත් කිරීමේ පිටපතද සකසා දීමටත්, සිදුවුණ නිසයි. පිටු සියයකට වඩා ටයිප් කිරීමත්, පින්තූර සංස්කරණයත්, හරිම වෙහෙසකර වුණා. 

   අදනම් වැඩිය චූර්ණිකා නැතුව කෙළින්ම කතාවට බහිනවා. විස්තරය ටිකක් දීර්ඝ නිසා. අද මම මුලින්ම ඔබ සමග සාකච්ඡා කරන්නේ යුද්ධ ටැංකි වර්ගීකරණය ගැනයි. මතකද අපි කාලතුවක්කු ගැන කතා කරද්දීත්මැෂින් තුවක්කු ගැන කතා කරද්දීත්, ඒවාගේ වර්ග කිරීම් ගැන කතාකළා. ඒ අවස්ථා දෙකේදීම අපි දැක්කේ, ප්‍රධාන වශයෙන්,
  • සැහැල්ලු,
  • මධ්‍යම ප්‍රමාණයේ, සහ
  • බර, හෙවත් විශාල ප්‍රමාණයේ,
   යනුවෙන් කාලතුවක්කු මෙන්ම මැෂින් තුවක්කුද වර්ගීකරණය කරන බවයි. ඇත්ත වශයෙන් මේ ආකාරයට යම් යම් උපකරණ, යන්ත්‍ර, ආයුධ, වැනි දෑ පමණක් නොව, විවිධ විෂයයන් යටතේ ගැනෙන වර්ගකිරීමත් එක්තරා ශාස්ත්‍රයක්. එය වර්ගීකරණ විද්‍යාව taxonomy  යනුවෙන් හැඳින්වෙනවා. යුද්ධ ටැංකි සම්බන්ධයෙනුත් ඒ න්‍යාය ඒ ආකාරයෙන්ම තමයි පාවිච්චි කරන්නේ. එහිදී යුද්ධ ටැංකියේ ප්‍රමාණය size පමණක්ම නෙවෙයි වැදගත් වන්නේ, එහි ප්‍රහාරක ශක්තියත් assault capability ඉතා වැදගත්. මෙය හඳුන්වන්නේ යුද ටැංකි වර්ගීකරණය - Battle Tank Classification යනුවෙන්. විශේෂයෙන්ම යුද ටැංකියක බර සහ විශාලත්වය අනුව සැහැල්ලු, මධ්‍යම, බර, යනුවෙන් වර්ගීකරණය මුලින්ම ඇරඹුණේ පළමුවැනි ලෝක යුද සමයේදී. දෙවැනි ලෝක යුද සමයේදීත් ඒ ක්‍රමයම අනුගමනය කළා.

   අපි දැන් වර්තමානයේදී යුද ටැංකි වර්ගීකරණය කරන ආකාරය සළකා බලමු. හැබැයි අද තත්වය තරමක් සංකීර්ණයි. නමුත් මම ඔබට ඒ සියල්ල කියන්නේ ඉතා සරලව. අද යුද ටැංකි වර්ග කිරීමේදී ටැංකියේ ස්වභාවය සහ ඉටුකරන කාර්යභාරය යන කරුණු දෙකම් එකසේ සලකා බලනවා. අපි ඒ ඔස්සේ කෙටියෙන් කරුණු සලකා බලමු.


භටපිරිස් ප්‍රවාහනය, මුර සංචාර,
  වැනි කටයුතු සඳහා යොදන සන්නද්ධ රථ
  APC / APV / BTR

    යුද පිටියේදී, පාබල හමුදා භටපිරිස්, පයින්ම ගමන් කරන්න ගියොත් සමහර අවස්ථා වලදී, ඉතා අවාසිදායක වෙන්න පුළුවන්. ඒ නිසා යුද ටැංකියක් වැනි, ඝන තහඩු ආවරණයකින් යුත් රථයක ආරක්‍ෂාකාරීව දමා භටපිරිස් යැවීම වාසි සහිතයි.  ඒ විදිහට සන්නද්ධ රථවලින් ගිහින් සටන් කරන පාබල හමුදාව හඳුන්වන්නේ 'යාන්ත්‍රික පාබල හමුදාව' - Mechanized Infantry කියලයි. අපේ රටෙත් තියනවා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවක්. එය බිහිකිරීමේ ගෞරවය ලැබෙන්න ඕනෙ, හිටපු හමුදාපති, ජෙනරල් සරත් ෆොන්සේකාටයි.

   ඒ ඒ රටේදී සහ ඒ ඒ හමුදා න්‍යායන් අනුව මේ සන්නද්ධ රථ, විවිධ නම් වලින් හැඳින්වුවත්, කරන්නේ එකම රාජකාරිය.

i   Armoured Personnel Carrier =  APC
ii  Armoured Personnel Vehicle = APV
iii бронетранспортер = BTR මෙය රුසියානු නමක්. ඉංග්‍රීසි තේරුම armoured transporter කියන එකයි. මම පෙන්නන්නම් අපේ හමුදාව පාවිච්චි කරන මේ වගේ රථයක්. 

BTR-80A_(3)

   මෙය BTR 80 මෝස්තරයේ සන්නද්ධ රථයක්. තඩි තුවක්කුවකුත් තියනවා වටේටම වනන්න පුළුවන්. මේක ඇතුළේ හුඟක් දෙනෙකුට යන්න බැහැ. නමුත් ඉතිං මෙව්වා එකක් නෙවෙයිනේ යන්නේ එක වරකට. අනික මෙව්වට වතුර පාරකින්, ජලාශයකින් ගොඩ යන එක එහෙම කජු කනවා වගේ වැඩක්. මේකේ පසුපස තියනවා බෝට්ටුවක වාගේ පොඩි තල බමන දෙකක්. මෙහි දොරවල් වැහුවම ජලරෝධක හෙවත් water seal වෙනවා. අන්න ඒ වෙලාවට තමයි මෙව්වගෙ වටිනාකම තේරෙන්නේ.

BMP-2-Satluj during Ex-Pine Prahar

btr-4_wheeled_armoured_personnel_carrier_Morozov_Ukrainian_Ukraine_rear_back_side_view_001

   පිටින් ප්‍රහාර එල්ල වෙන්නේ නැති වෙලාවට මේක ඇතුළේ යන අයට අමතරව, මේක උඩ නැගලත් යන්න පුළුවන් සෑහෙන භට පිරිසකට. මේ රෝද වලට වෙඩි වැදුණත්, බිම් බෝම්බයකට අහුවුනත්, සෑහෙන දුරක් යන්න පුළුවන් ආපදාවක් නැතුව. සාමාන්‍ය ෆෝ වීල් රථයක් 4 x 4 කියනවා වගේ, මේ රථය 8 x 8 රථයක්. තාක්ෂණික විස්තර කෙටියෙන් මෙහෙමයි.
  • වර්ගීකරණය : භටපිරිස් ප්‍රවාහන සන්නද්ධ රථය Armoured Personnel Carrier = APC
  • නිෂ්පාදිත රට : එදා සෝවියට් සමූහාණ්ඩුව අද රුසියාව
  • නිෂ්පාදනය : 1984 අද දක්වා සේවයේ යොදවා ඇති සන්නද්ධ රථයකි.
  • බර : මෙට්‍රික් ටොන් 13.6  යි
  • දිග : මීටර් 7.7 යි
  • පළල : මීටර් 2.9 යි
  • උස : මීටර් 2.41 යි
  • කාර්ය මණ්ඩලය : 3 යි
  • කාර්ය මණ්ඩලය හැර, යාමට හැකි භට පිරිස : 7 යි
  • ප්‍රධාන තුවක්කුව : මිලිමීටර් 14.2 KPVT
  • දෙවැනි තුවක්කුව : මිලිමීටර් 7.76 PKT
  • එන්ජිම : අශ්වබල 260 ඩීසල් එන්ජිමකි
  • සම්පූර්ණයෙන් තෙල් පුරවා යාහැකි උපරිම දුර : කි.මී. 600 යි
  • උපරිම ධාවන වේගය : ගොඩබිමදී පැ.කි.මී 80 - 90 පමණ. ජල තරණයේදී පැ.කි.මී. 10 යි
 
 
 
සටන් කිරීම සඳහා යොදවන සන්නද්ධ රථ (ටැංකි) 
     Armoured Fighting Vehicles

     මේ වගේ සන්නද්ධ රථ යොදවන්නේ යුද බිමේ තිබෙන විවිධ වර්ගයේ සතුරු වාහන, යුද ටැංකි ආදියට ප්‍රහාර එල්ල කරන්නයි. අපේ හමුදාව පාවිච්චි කරන මෝස්තරයක්ම පෙන්නන්නම්.  BMP stands for Boyevaya Mashina Pekhoty (Russion Боевая Машина Пехоты =  БМП) meaning "infantry fighting vehicle"

Bmp-1-DMSC9112086_JPG

තාක්ෂණික විස්තරය;
  • වර්ගීකරණය : පාබල හමුදා සටන් වාහනය (Infantry Fighting Vehicle)
  • නිෂ්පාදිත රට : සෝවියට් රුසියාව
  • මුල් වරට නිෂ්පාදනය කල වර්ෂය : 1966 (දැන් තියෙන්නේ අලුත් මෝස්‌තර)
  • බර : මෙට්‍රික් ටොන් 13.6 යි
  • දිග : මීටර් 6.735 යි
  • පළල : මීටර් 2.94 යි
  • උස : මීටර් 2.068
  • ක්‍රියාකරුවන් ගණන : 3 යි
  • ආවරණ සන්නාහයේ ඝනකම : මිලිමීටර් 6 සිට 33 දක්වා
  • ප්‍රධාන තුවක්කුව : මි.මී. 73 2A28 GROM. (යුද ටැංකි නාශක රොකට් බෝම්බ)
  • අවශ්‍ය විට යුද ටැංකි නාශක මිසයිල් විදිනයක් සවි කල හැකියි.
  • දෙවැනි තුවක්කුව : මිලිමීටර් 7.62 x 51 බර මැෂින් තුවක්කුව
  • එන්ජිම : සිලින්ඩර් 6, සිව්පහර, ඩීසල්, අශ්ව බල 300, ජලයෙන් සිසිල් වන එන්ජිමකි. 2600 rpm
  • වරකට පිරවිය හැකි ඉන්ධන ප්‍රමාණය : ලීටර් 462 යි
  • සම්පූර්ණ ඉන්ධන පුරවා යා හැකි උපරිම දුර : කි.මී. 600 යි
  • සාමාන්‍ය භූමියක උපරිම වේගය : පැ.කි.මී. 65 යි
  • රළු භූමියක උපරිම වේගය : පැ.කි.මී. 45 යි
  • ජලයේදී වේගය : පැ.කි.මී. 7 - 8 අතර
 
   පොහ්......... පිස්සු හැදෙනවානේ? හැබැයි කතන්දරේ මෙතනින් ඉවර නැහැ.




සැහැල්ලු/මධ්‍යම පරිමාණ යුද ටැංකි
   Light/Medium Battle Tanks

   අපි පාවිච්චි කරන ජංගම දුරකථන වල තියනවා නේද 1G, 2G, 3G, ආදී වශයෙන්? යුද්ධ ටැංකි වලත් දැන් තියෙන්නේ 3G. ඒ කියන්නේ තුන්වැනි පරම්පරාවේ යුද්ධ ටැංකි. මීළඟට අපි බලමු තවත් වර්ගීකරණයක්. ඒ තමයි සමහර අවස්ථා වලදී සැහැල්ලු යුද ටැංකි යනුවෙනුත්, තවත් සමහර අවස්ථා වලදී මධ්‍යම පරිමාණ යුද ටැංකි යනුවෙනුත් හඳුන්වන ඒවා. මේ වර්ගීකරණයට වැටෙන, අපේ යුද හමුදාව පාවිච්චි කරන මෝස්තරය තමයි T 63 වර්ගයේ යුද්ධ ටැංකිය. මේවා විශේෂයෙන් යොදවාගන්නේ, වේගයෙන්, යුදබිමේ අහුමුලු වල රිංගා, බලාපොරොත්තු රහිත ප්‍රහාර එල්ල කිරීම පිණිසයි. 

TYPE-63A_40406

තාක්ෂණික විස්තර;
  • වර්ගීකරණය : උභයචර සැහැල්ලු/මධ්‍යම යුද ටැංකිය Amphibious Light/Medium Tank
  • නිෂ්පාදිත රට : මහජන චීන ජනරජය 
  • පළමුවැනි වරට නිෂ්පාදනය : 1963 දී
  • බර : මෙට්‍රික් ටොන් 19.83 යි
  • දිග : මීටර් 8.44 යි
  • උස : මීටර් 3.122
  • ක්‍රියාකරුවන් ගණන : 4 යි අණදෙන්නා, තුවක්කුකරු, පතරොම් දමන්නා, රියැදුරු
  • බඳෙහි සැකසුම : මි මී 10 සිට 14 දක්වා ඝන යකඩ තහඩු වලින්
  • ප්‍රධාන තුවක්කුව : මි මී 85 ප්‍රමාණයේ 62-85TC වර්ගය
  • දෙවැනි තුවක්කුව : මි මී 12.7 ගුවන් යානා නාශක බර මැෂින් තුවක්කුව
  • එන්ජිම : මෝස්තරය 12150 L, සිලින්ඩර් 12, ඩීසල්, ජලයෙන් සිසිල්වන, අශ්ව බල 450
  • වරකට පිරවිය හැකි ඉන්ධන ප්‍රමාණය : ඩීසල් ලීටර් 545 යි
  • සම්පූර්ණයෙන් ඉන්ධන පිරවූ පසු : සාමාන්‍ය භූමියේ කි.මී. 370 ක්, රළු භූමියේ කි.මී 340 ක්, ජලයේ කි.මී. 120 ක්, යා හැකියි.
  • වේගය : සාමාන්‍ය භූමියේ පැ.කි.මී. 64 යි, රළු භූමියේ පැ.කි.මී. 30 යි, ජලයේ පැ.කි.මී. 12 යි.
 
 
 
 
 
මහා පරිමාණ යුද ටැංකි
   Main Battle Tanks (MBT)

   ඊළඟ යුද්ධ ටැංකි වර්ගය තමයි, මහ යුද්ධ ටැංකි හෙවත්, Main Battle Tank = MBT කියන වර්ගීකරණයට වැටෙන ඒවා. මෙයින්, 'මහාම මහා එව්වා' :D (Super Heavy Tanks) අපේ රටේ නැහැ. ගෙනල්ලා ඇති වැඩකුත් නැහැ. එව්වා ගැලපෙන්නේ, කිලෝමීටර සිය ගණන් විහිදුණු, මහ විශාල යුද භූමි ප්‍රදේශ තියන රටවලට. අපේ රටට ගෙනාවත්, හිඟන්නා අලියෙක් ගත්තා වගේ තමා නඩත්තු වියදම. (හුටා..............අපේ රටේ හිඟන්නෝ අපිට වඩා පෝසත් නේද? :D ඔය පත්තරවල තියෙන්නේ විස්තර) මේ යුධ ටැංකි මහා පරිමාණ යුද ටැංකි යනුවෙන්, මෙහෙම එක නමකින් තිබුනාට, ලෝකයේ ඒ ඒ රටවල නිපදවා ඇති විවිධ ප්‍රමාණයේ ටැංකි, බලසම්පන්න බව අතින් එකිනෙකට බොහොම වෙනස්. ලෝකයේ තිබෙන සමහර ටැංකි, කෙබඳු ආකාරයක ඒවාද යන්න තවමත් රහසක්. අපේ අසල්වැසියා වන ඉන්දියාවත්, 'අර්ජුන්' නමින්, මහා බලසම්පන්න ටැංකියක් හදලා තියනවා. ලෝකයේ දැනට තිබෙන හොඳම, මහා පරිමාණ යුද ටැංකි 10 ගැන මෙතනින් විස්තර බලන්න පුළුවන්. අපේ යුද හමුදාව, T 55, T 55 AM2, සහ T 69 යන වර්ග තුනට අයත්, මහා පරිමාණ යුද ටැංකි පාවිච්චි කරනවා. අපි බලමු T 69 යුද්ධ ටැංකිය කොහොමද කියලා.

Type_69_China_SUDB_001

තාක්ෂණික විස්තර;
  • වර්ගීකරණය : මහා පරිමාණ යුද ටැංකිය MBT
  • නිෂ්පාදිත රට : මහජන චීන ජනරජය
  • සැලසුම් කිරීම : 1963 - 1974 කාලයේදී
  • සේවයේ යෙදවීම  : 1982 දී
  • බර : මෙට්‍රික් ටොන් 36.7 යි
  • දිග : මීටර් 6.24 යි
  • පළල : මීටර් 3.3 යි
  • උස : මීටර් 2.8 යි
  • ක්‍රියාකරුවන් ගණන ; 4 යි අණදෙන්නා, තුවක්කුකරු, පතරොම් දමන්නා, රියැදුරු
  • බඳ සාදා ඇති සන්නාහ තහඩුවේ ඝනකම : මි.මී. 203 යි
  • ප්‍රධාන තුවක්කුව මි.මී. 105 තුවක්කුව
  • දෙවැනි තුවක්කු : මි.මී 7.62 සහ 12.7
  • එන්ජිම : අශ්ව බල 580 ඩීසල්
  • උපරිම ගමන් දුර : කි.මී. 440 යි
  • වේගය : පැ.කි.මී. 50 යි
 
   ලිපිය අවසන් කරන්නට මත්තෙන් ඔබට කරුණු කීපයක් අවධාරණය කරන්නට කැමතියි. මා මෙහි දක්වා ඇත්තේ ඉතා සරල විස්තරයක්. යුද ටැංකි වර්ගීකරණය මීට වඩා අතිශයින් සංකීර්ණයි. ඒ සියල්ල දැක්වීමට නම් ලිපි හත අටක් වත් ලියන්න වෙනවා. නමුත් එය අනවශ්‍ය ක්‍රියාවක්. මේ පිළිබඳව සාමාන්‍ය දැණුමක් ලබාගන්නට මේ විස්තර ඇති. ඊළඟ ලිපියෙන් අපි ලෝකයේ තියන සුපිරි යුද ටැංකි බලමු. ඒ වගේම යුද ටැංකි පාවිච්චි කරන හැටිත් ඉගෙන ගනිමු.
 
my-signature-for-blog[1]   2014 අගෝස්තු මස 14 වැනි දින 0027 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }