හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

12 February 2014

ඔබ හමුදාවට බැඳෙන්න කැමතිද Would you like to join the Army

 recruitment_fallin    ඔබ සෑමදෙනාම පාහේ බලා සිටින්නේ සංග්‍රාමයේ පියසටහන් ඊළඟ කොටස එනතුරු බව මම දන්නවා. නමුත්, හිටපු හමුදා නිළධාරියකු වශයෙන්, ඉතා වැදගත් කරුණක් ලෙස සළකා, මේ විශේෂ ලිපිය ලියන්න හිතුනේ, කාලීන මාතෘකාවක් ලෙස එය ඉතා උචිත බව පෙනීගිය නිසයි. මේ දිනවල ආරංචියක් තියනවා, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට Sri Lanka Army Volunteer Force වෘත්තිකයන් බඳවා ගන්නවා කියලා. මමත් මේ ගැන දැනගත්තේ, අද උදේ සිරස රූපවාහිනියේ 'සිරස ප්‍රෙස් රිලීස්' වැඩසටහනෙන්, මේ ගැන, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය සමග, පැවැත්වුන සජීවී දුරකථන සංවාදය නැරඹීමෙන් / ඇසීමෙන් පසුවයි. සාමාන්‍යයෙන් වැඩිපුරම දකින්න අහන්න ලැබෙන්නේ යුදහමුදා නිත්‍ය සේවයට Regular Force පුද්ගලයන් බඳවාගැනීම නේ. නමුත් හමුදා ප්‍රකාශකවරයා කියපු ආකාරයට, මේ බඳවාගැනීමේ, එක්තරා කැපීපෙනෙන විශේෂත්වයක් තියනවා. එය කුමක්ද කියා කියන්නට කලින්, ඔබේ දැණුම සඳහා, යුද හමුදාවේ සංවිධානය ගැන කෙටියෙන් කියන්නම්. පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් බොහොමයක් රටවල යුද හමුදාව සංවිධානයවී තිබෙන්නේ මෙන්න මෙහෙමයි.
1. නිත්‍ය හමුදාව - Regular Force
2. නිත්‍ය උප සේවය - Regular Reserve
3. ස්වේච්ඡා හමුදාව - Volunteer Force
4. ස්වේච්ඡා උපසේවය - Volunteer Reserve
ඉතින් මොනවද මේ එක් එක් කොටසෙන් කෙරෙන්නේ?
  නිත්‍ය හමුදාව කියන්නේ ස්ථිරවම හැමදාම සේවයේ යෙදී සිටින හමුදාව. හමුදාවේ අය විශ්‍රාම ගියාට, අවශ්‍ය වුනොත්, ඔවුන් ආපසු සේවයට කැඳවීමට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන, යුද හමුදා පනතේ තියනවා. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බලය තියෙන්නේ, සේනාධිනාකයා/නායිකාව වන, ජනාධිපති/ජනාධිපතිනිය වෙතයි. ඉතින්, යුද හමුදාවේ (ත්‍රිවිධ හමුදාවේම) අය විශ්‍රාම යැවීමේදී, මෙන්න මෙහෙමයි කරන්නේ.
  අදාළ පුද්ගලයා නිත්‍ය හමුදාවේ කෙනෙක් නම්, ඔහු විශ්‍රාම යවන්නේ නිත්‍ය උප සේවය වෙත. එමෙන්ම ඔහු ස්වේච්ඡා බලසේනාවට අයත් නම්, ඔහු විශ්‍රාම යවන්නේ, ස්වේච්ඡා උප සේවය වෙත. සාමාන්‍යයෙන් නිත්‍ය උප සේවය සහ ස්වේච්ඡා උපසේවය ආපහු සක්‍රිය සේවයට කැඳවන්නේ නැහැ. ඉතා කලාතුරකින්, අපේ රටේ නිත්‍ය උපසේවයෙන්, නිළධාරීන් එක්කෙනෙක් දෙන්නෙක් කැඳවලා තියනවා. ස්වේච්ඡා උපසේවයෙන් කැඳවූ අවස්ථාවක් මගේ මතකයේ නම් නැහැ.නමුත් සේනාධිනායකයාට පුළුවන්, අවශ්‍යතාව පරිදි, ඔවුන්වත් සේවයට කැඳවන්න.
  සාමාන්‍යයෙන් ස්වේච්ඡා බලසේනාව සෑමවිටම සක්‍රිය සේවයට කැඳවන්නේ නැහැ. නමුත් අපේ රටේ ස්වේච්ඡා බලසේනාව, 1983 ජූලි කලබල මැඩපැවැත්වීම සඳහා සක්‍රිය සේවයට කැඳවු අවස්ථාවේ පටන්, අද දක්වා, නොකඩවා, නිත්‍ය හමුදාව සමග උරෙනුර ගැටෙමින්, අති විශිෂ්ඨ සේවයක් ඉටුකරනවා. උතුරු නැගෙනහිර සටන් බිමේදී, ඔවුන් දැක්වූ විස්කම් බොහොමයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ උසස්තම වීර පදක්කම වන, පරම වීර විභූෂණය පදක්කමත්, ප්‍රථම වරට පිරිනැමුණේ, ස්වේච්ඡා හමුදාවේ නිළධාරියකු වන, 3 වැනි ස්වේච්ඡා සිංහ රෙජිමේන්තුවේ කපිතන්, (මරණින් පසු) සාලිය අලදෙණිය වෙතයි. ස්වේච්ඡා හමුදා සාමාජිකයන්ටත්, දේශීය විදේශීය විශේෂඥ පුහුණු පාඨමාලා සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරි පවා ලබාදෙනවා.
  ඕනෑම රටක, ස්වේච්ඡා බලසේනාව වෙත බඳවාගන්නේ, නිත්‍ය හමුදාවට බඳවාගැනීමේ උපරිම වයස් සීමාවට වඩා, ඉහළ වයස් සීමාවන්හි අයවළුන්. එයට හේතුව, සාමාන්‍යයෙන් ස්වේච්ඡා බලසේනාවට බඳවාගන්නේ, කිසියම් රැකියාවක/වෘත්තියක දැනටමත් නියැලී සිටින අයවළුන් නිසයි. (යුද්ධය නිසා අපේ රටේ මේ ක්‍රමය අත්හිටවා රැකියා නැති අය බඳවාගත්තා/ගන්නවා) රාජ්‍ය අංශයේ අයට නම්, ඔවුන්ගේ සාමාන්‍ය රැකියාවේ වැටුප සහ සේවා උසස්වීම් ද ලැබෙන පරිදි, ආයතන සංග්‍රහයෙන් ප්‍රතිපාදන සළස්වා තිබෙනවා. ඊට අමතරව, යුදහමුදා වැටුප් හා දීමනා රෙගුලාසි අනුව වැටුප් හා දීමනා ලබාදෙනවා. පෞද්ගලික අංශයේ අයවළුන්ටත් බොහෝවිට ඒ ආකාරයෙන්ම පහසුකම් ලැබෙනවා. යුද හමුදාවෙන් වැටුප් ගෙවන්නේත් අනෙකුත් පහසුකම් ලබාදෙන්නෙත්, සක්‍රිය සේවයේ යෙදෙනවානම් පමණයි.
   මා, මේ විස්තරය කිව්වේ, මෙතනින් එහා කියවෙන දේ ගැන, සාධාරණව සිතා බැලීමට, ඔබට අවස්ථාවක් දීමටයි. හමුදා ප්‍රකාශක විසින් අද කිව්වේ මෙන්න මෙහෙමයි. වයස අවුරුදු 18 ට වැඩි, 55 ට අඩු, කිසියම් වැදගත්/රටට ප්‍රයෝජනවත්, වෘත්තියක දැනට නියැලී සිටින අයවළුන්ට, යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ, ස්වේච්ඡා උප සේවයට බැඳෙන්නට පුළුවන්. ඔවුන්ට මූලික පුහුණුවක් දෙනවා.  අවශ්‍ය අවස්ථා වලදී පමණක්, සේවයට කැඳවනවා. මෙතනින් එහාට, හමුදා ප්‍රකාශකගෙන්, සිරස නිවේදකයන් දෙදෙනා ඇසු ප්‍රශ්න සහ පිළිතුරු කීපයක් මෙසේයි.
ප්‍රශ්නය; මේ හදිස්සියේ හමුදාවේ බලය වැඩි කරන්න යන්නේ ඇයි?
පිළිතුර: මෙය හමුදාවේ බලය වැඩි කිරීමක් නොවේ. අවශ්‍යතා සඳහා පමණක් යොදාගැනීමට, වෘත්තිකයන් බඳවාගැනීමක් පමණයි.
ප්‍රශ්නය; කුමන වෘත්තිකයන්ද බඳවාගන්නේ?
පිළිතුර; හමුදා රාජකාරි සඳහා වැදගත්වන සෑම දෙනාවම. මාධ්‍යවේදීන්ට වුනත් බැඳෙන්න පුළුවන්.
ප්‍රශ්නය; අපි දන්නවා, හමුදා පුහුණුව දෙන්න ගිහින්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්, මේ ඊයේ පෙරේදත් මියගියා. ඉතින් මෙහෙම බඳවාගන්නා අයටත්, දැඩි පුහුණුවක් දෙනවද? වයස 55 ට ආසන්න කෙනෙක්, කොහොමද ඒ පුහුණුව දරාගන්නේ?
පිළිතුර; අපි, ඒ අය මුලින්ම වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරනවා. බඳවාගැනීමට පෙර. ඒ ඒ වයසට ගැලපෙන පුහුණුවක් දෙන්නේ. එමෙන්ම පුහුණුවේදී උගන්වන්නේ නිල ඇඳුම් ඇඳීම, සරඹ කිරීම, ආචාර සමාචාර කිරීම වැනි දේවල් පමණයි.
ප්‍රශ්නය; අවි පුහුණුවක් දෙනවාද?
පිළිතුර; දැනට එහෙම අවශ්‍යතාවක් නැහැ. මොවුන් සක්‍රිය සේවයට කැඳවූවොත් යොදවන්නේ, ඔවුන්ගේ සාමාන්‍ය වෘත්තියට අදාළ රාජකාරිවල.
ප්‍රශ්නය; හමුදාවෙන් පැනගිය සෙබළුන් ඉතා විශාල ගණනක්, නිදැල්ලේ හැසිරෙමින් සිටින අතර සමහරු අපරාධ වලටත් සම්බන්ධ වෙනවා. ඔවුන් අල්ලාගැනීමට ක්‍රියා කරන්නේ නැද්ද?
පිළිතුර; ඔවුන් අල්ලාගැනීමේ මෙහෙයුම් දිගටම කරනවා.
ප්‍රශ්න සහ පිළිතුරු එතනින් අවසන්. 
ඉතින් මොකද ඔබ හිතන්නේ?
සුභවාදීව බැලුවොත්;
  රටේ බොහොමයක් දෙනාට හමුදා පුහුණුවක් ලැබුනොත් ඔවුන්ගේ කාර්යක්‍ෂමතාව ඉහළට ගන්න පුළුවන්, වැඩ සංවිධානය කිරීම/කරගැනීම අතින්, නව ආකල්ප වර්ධනය කරගැනීමෙන්. පෞද්ගලිකව, තම දෛනික කටයුතු මීට වඩා ප්‍රතිඵලදායී ලෙස කරගැනීමේ හැකියාව ලැබෙනවා. පිළිවෙලකට වැඩ කිරීම, කලට වෙලාවට වැඩ කිරීම, ආදිය දැනට වඩා හොඳින් කළහැකි වෙනවා. තම පොද්ගලික සෞඛ්‍යය පවා දියුණු කරගන්න අවස්ථාව ලැබෙනවා.
army-recruitguy-illustration
අසුභවාදීව බලුවොත්;
  ආණ්ඩුව මේ හදන්නේ රටේ වෘත්තීය ක්‍රියාමාර්ග යටපත් කරන්නයි. එමගින් කම්කරු අයිතිවාසිකම් පැහැරගන්නයි. මේකට බැඳුනොත්, අනිවාර්යයෙන් හමුදා සේවයට යන්න වෙනවා, කතාකරපු ගමන්. එතකොට කෝ වෘත්තීය සමිති සාමාජිකයෝ කොහෙද ඉතුරු වෙන්නේ? 

වෙන මොනවද ඔබට හිතෙන්නේ...........?
මේ.............., අපි හමුදාවට බැඳුන කාලේ වෛද්‍ය පරීක්ෂණය තිබ්බේ මෙන්න මෙහෙම. 
tumblr_lnrbvfTWHd1qkhrn4o1_500
පින්තූර ගත්ත තැන්
http://www.1914-1918.net/recruitment.htm
http://www.datalounge.com/cgi-bin/iowa/ajax.html?t=10686706#page:showThread,10686706
     my-signature-for-blog[1] 2014 පෙබරවාරි මස 12 දින 1400 පැය

07 February 2014

සංග්‍රාමයේ පියසටහන් (තුන්වැනි කොටස) Milestones of Warfare (Part Three)

  50 weapons that changed Warfare
නමැති කෘතිය ඇසුරෙනි
     
     සංග්‍රාමයේ පියසටහන් ලිපි මාලාව පිළිබඳව ලැබෙන පාඨක ප්‍රතිචාර වලින් පෙනීයන්නේ, සංග්‍රාමය නමැති විෂයය පිළිබඳව උනන්දුවක් දක්වන, සෑහෙන පිරිසක් සිටින බවයි. ලිපි මාලාවේ පළමුවැනි කොටස මෙන්ම දෙවැනි කොටස කෙරෙහිත් සෑහෙන පාඨක අවධානයක් ලැබී තිබුණා. මෙවැනි ලිපි වලින්, ඓතිහාසික තොරතුරු ඔබවෙත ගෙන ඒමක් විනා, යුද අවි පිළිබඳව පුරසාරම් කීමක් කරන්නට, බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබේ දැණුමට යමක් එක්කිරීමයි මගේ පරමාර්ථය. හොඳයි, අපි මේ වනවිට, මේ පෘථිවි තලය මත මෙතෙක් පැවති, සියළු සංග්‍රාමයන්ගේ මුහුණුවර වෙනස් කෙරීම කෙරෙහි, තීරණාත්මක බලපෑම් එල්ල කල අවි 20 ක් පිළිබඳව සාකච්ඡා කොට අවසන්. අද 21 වැනි අවියේ සිට 35 වැනි අවිය දක්වා සාකච්ඡා කරන්නටයි, මා බලාපොරොත්තුවන්නේ. ලිපිය දික්වීම වළක්වාගැනීම සඳහා, කෙටි හැඳින්වීම් පමණයි ඉදිරිපත් කරන්නේ. 
21. වාෂ්ප බලයෙන් යුද්ධයට පිවිසීම
Steam Powered Warships
 USS_Cherokee_1864     අද කාලයේ නැව් සහ බෝට්ටු මෙන්ම නොයෙක් ආකාරයේ අනෙකුත් ජල යාත්‍රා ධාවනය කිරීම සඳහා බහුළවම යොදාගන්නේ ඉන්ධන බලයෙන් ක්‍රියා කරන එන්ජින් බව ඔබ දන්නවා. පරමාණු බලයෙන් ක්‍රියාකරන සබ්මැරීන් පවා අද පාවිච්චි කරනවා. වාෂ්ප බලයෙන් යාන්ත්‍රික ශක්තිය උපදවාගත හැකිබව මුලින්ම සොයාගත්තේ ස්පාඤ්ඤ ජාතික ජෙරනිමෝ ඩි අයන්ස් විසින් ක්‍රි.ව. 1606 දී. ඉන්පසු, ක්‍රි.ව. 1679 දී, බ්‍රිතාන්‍ය ජාතික තෝමස් සේවරි විසින්, වාෂ්ප බල යන්ත්‍රයක් සාදා, යාන්ත්‍රික ශක්තිය උපදවාගත්තා. නමුත්, පිස්ටනයක් සහිත වාෂ්ප බල යන්ත්‍රයක් මුලින්ම සාදන ලද්දේ, බ්‍රිතාන්‍ය ජාතික තෝමස් නිව්කොමන් විසින් 1712 දී. මේ සියල්ලටම වඩා කාර්යක්ෂම, වාහනයකට හෝ ජල යාත්‍රාවකට සවි කළහැකි වාෂ්ප එන්ජිමක් Steam Engine මුලින්ම නිපදවීමේ ගෞරවය හිමිවන්නේ, බ්‍රිතාන්‍ය ජාතික ජේම්ස් වොට් වෙතයි. ඔහු එම නිපැයුම කළේ ක්‍රි.ව. 1781 දීයි. තවත් වැඩිදියුණු කළ වාෂ්ප එන්ජින් සහිත නැව් මගින්, යුදහමුදා භටපිරිස් ප්‍රවාහනයට අවකාශ ලැබීම, සංග්‍රාමික කටයුතු කෙරෙහි විශාල බලපෑමක් ඇතිකළා. එමගින් සමහර රටවල සංග්‍රාමික ශක්තිය වේගයෙන් වර්ධනය වුනා.
22. යකඩයෝ පීනති ගිලෙති
The Armoured Battleships
 Uss_nevada     ඉබ්බාට වගේ හයිය කටුවක් අපිටත් තිබුනානම් හදිස්සියකදී ආරක්ෂාවීම සඳහා ඇතුළට රිංගන්නවත් තිබුණා. කොහෙද දෙයියෝ එකත් දීලා තියෙන්නේ ඉබ්බටනේ. :D ඇත්තටම මිනිසා බොහොමයක් නව නිපැයුම් සඳහා අදහස් ලබාගන්නේ ස්වභාවධර්මය ඇසුරෙන් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. වෙඩි ප්‍රහාරයකින්, ටෝර්පිඩෝ බෝම්බ සහ මුහුදු බෝම්බ (පසුව සාකච්ඡා කරනවා) ආදියෙන් හානියක් නොවී ගමන්කළ හැකි යාත්‍රා තිබේනම්, මුහුදේ සංග්‍රාමික බලය තහවුරු කරගැනීම පහසු බව මිනිසාට පෙනීගියා. ඒ ඔස්සේ කරන ලද අත්හදාබැලීම් වල ප්‍රතිඵලයක් තමයි සන්නාහය සහිත යුද නැව් Armoured Battleships මෙවැනි යුද නැව් නිපදවීම පිළිබඳව උනන්දුවක් මෙන්ම ප්‍රබල තරගකාරී බවක් ඇතිවුනේ 19 වැනි සියවසේදීයි. එම තරගයෙන් කැපී පෙනෙන ජයග්‍රහණ ලබන්නට ඇමරිකා එක්සත් ජනපදයට සහ ජපානයට හැකිවුණා. 
Battleship_Satsuma_diagrams_Brasseys_1923
23. ටෝර්පිඩෝ අපිට එපා - Naval Mines
 Turtle_submarine_1776     ගොඩබිමේදී මෙන්ම දිය යටදීත්, පිපිරවීම් මගින් සතුරාට පහරදීම කෙරෙහි, මිනිසාගේ උනන්දුව වැඩිවන්නට පටන්ගත්තේ, විවිධ පිපිරුම් උපකරණ සෑදීමේ දැනුම වර්ධනය වීමත් සමගයි. 18 වැනි සියවසේදී සහ 19 වැනි සියවසේ මුල් භාගයේදී, ජලය යට යොදන සියලුම වෙඩි වර්ග හැඳින්වුණේ, 'ටෝර්පිඩෝ' යන නමින්. මුල්කාලයේදී මේ වෙඩි, ප්‍රධාන වරායයන් අසළ මුහුදේ පාවෙන්නට සකසා තිබුණු අතර, වෙඩිල්ල වෙත ගොඩබිම සිට සවිකර තිබුණු වයරයකින්, විදුලිය සපයා, පිපිරවීමට සකසා තිබුනා. නමුත් ඒවා ආරක්ෂාව අතින් එතරම් සාර්ථක වුනේ නැහැ. අනික් අතට, ඒ කාලයේදී තිබුණු දියුණුම තාක්ෂණය තමයි ඒ. වතුර මතුපිට පාවෙමින් තිබී, නැව් බඳෙහි ගැටීමෙන් පුපුරණ, වතුර මතුපිටට තරමක් පහළින් පාවෙමින් තිබී, නැව් බඳෙහි ගැටී පුපුරණ,  සහ වතුරේ පාවෙමින් තිබී  වෙඩිල්ලට සවිකර තිබෙන කාන්දම් කැබලි වලින්, යකඩ නැව් බඳවෙත ඇදීගොස් ගැටී පුපුරණ, ආදී වශයෙන් ප්‍රධාන වෙඩි වර්ග තුනක් තිබුණා.  කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස, විවිධ යන්ත්‍රසූත්‍ර නිපදවීම සීඝ්‍රයෙන් වර්ධනය වන්නට පටන්ගත්තා. තමන්ගේ සිතෙහි පහළවන නව සංකල්පනා ඔස්සේ, විවිධ නව නිපැයුම් කරන්නට මිනිසා සමත්වුණා. එවැනි එක්තරා අත්හදාබැලීමක් තුලින් නිපැයුණු, අරුම පුදුම යන්ත්‍රයක් ලෙස, ඇමරිකානු ජාතික ඩේවිඩ් බුෂ්නල් ගේ 'කැස්බෑවා' (අනේ අර සුදු එකා නෙවෙයි හොඳේ :D) නමැති යන්ත්‍රයට, සුවිශේෂී ස්ථානයක් හිමිවෙනවා. ක්‍රි.ව. 1776 දී නිපදවන ලද මෙම තනි පුද්ගල සබ්මැරීනය මගින්, දිය යට වෙඩි යෙදවීමේ විප්ලවයක් කරන්නට සමත්වුණා.
24. කොට කොටා ඉන්නේ නෑ කෙළින්ම වැඩ
The Breach Loading Rifle
Karbin_m-1894_-_6,5x55mm_-_Armémuseum      තුවක්කුව හෙවත් අතපත්තුව නිපදවාගත් මුල් කාලයේ එයට වෙඩි බෙහෙත් සහ මූනිස්සම් කොටලා තමයි වෙඩි තැබුවේ. ඒ කියන්නේ, තුවක්කු බටයේ අගින් තුවක්කු කටෙන් ඇතුලට වෙඩි බෙහෙත් සහ මූනිස්සම්, කුඩා රෙදි කැබලි ආදිය දමා, ලී කූරකින් කොටා, තුවක්කුවේ පසුපසින් ගින්දර ලබාදීමෙන් (ගිනි තැබීමෙන් හෝ ගිනි ගලකින් ගින්දර උපදවා ගැනීමෙන් හෝ  ප්‍රයිමරයක් මගින්. පසුගිය ලිපියේ එවැනි තුවක්කු විස්තර කර තිබෙනවා) තමයි තුවක්කුව පත්තු කළේ. එවැනි තුවක්කු අපේ රටේ සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේදී හැඳින්වුණේ 'කොටන තුවක්කු' කියලයි. ඉංග්‍රීසියෙන් කියන්නේ Muzzle Loader කියලා. මෙන්න බලන්න හොර දඩයක්කාරයෝ අදත් ඒ වගේ තුවක්කු පාවිච්චි කරන හැටි. 
මේ වීඩියෝ එකෙන් පේනවනේ එක වෙඩිල්ලක් තියන්න කොච්චර වෙලා යනවද කියලා. ඉතින් මිනිසාට අවශ්‍ය වුනා මීට වඩා පහසුවෙන් සහ වේගයෙන් (ඉක්මනින් වැඩි වාර ගණනක්) වෙඩි තැබිය හැකි තුවක්කුවක් නිපදවන්න. එහි ප්‍රතිඵලයක් ලෙස තුවක්කු බටයේ පසුපස කෙළවරෙන් උණ්ඩ යොදා වෙඩි තැබිය හැකි තුවක්කුවක් නිපදවන්න මිනිසාට හැකිවුණා. ඒ තුවක්කු සාමාන්‍ය ව්‍යවහාරයේදී පතරොම් තුවක්කු කියලයි හැඳින්වෙන්නේ. ඉංග්‍රීසියෙන් කියන්නේ Breach Loader කියලා. 19 වැනි සියවසේ මුල් භාගයේදී මිනිසාට හැකිවුණා එවැනි තුවක්කුවක් නිපදවාගන්නට. තුවක්කු ගැන මම ඉස්සර කියලා දීලා තියන පාඩම් මතකද? මෙන්න බලන්න 1873 දී නිපදවන ලද ඒ වර්ගයේ තුවක්කුවක්. මේ තුවක්කුව සංග්‍රාම භූමියේ විප්ලවයක් කරන්නට සමත්වුණා.



25. පුංචි කට පුංචා  The Revolver
25a      කටපුංචා කියන්නේ කාටද කියලා මම මීට පෙර ඔබට කියා දී තිබෙන නිසා ආයෙත් කියන්න යන්නේ නැහැ. ඒ වගේම මේ අඩවිය ආරම්භ කිරීමෙන් පසු අද දක්වාම වැඩිම පාඨක පිරිසක් කියවූ, එසේම තවමත් වැඩිපුරම කියවන ලිපිය තමයි, රිවෝල්වරය පිස්තෝලය මොකක්ද වෙනස කියන ලිපිය. ඉතින් ඒ නිසා, මෙතැනදී මම රිවෝල්වරය ගැනත් කියන්නේ බොහොම කෙටියෙන්. ළඟ ඉන්න සතුරෙකුට ක්ෂණිකව වෙඩි තැබීමේ අවශ්‍යතාව සංග්‍රාම භූමියේදී නිතර ඇතිවන අවස්ථාවක්. එමෙන්ම, කෙටි දුරක සිට කෙරෙන සටන් වලදී, ක්‍ෂණිකව, පහසුවෙන් හසුරවා ගතහැකි, සැහැල්ලු අවියක් තිබීම, ආත්මාරක්‍ෂාව කෙරෙහි තදින්ම බලපානවා. ඒ අවශ්‍යතා සියල්ල පිරිමැසු අවියක් වන රිවෝල්වරය, සංග්‍රාම භූමියේ වෙනසක් ඇතිකළ අවියක්. රිවෝල්වරය වැනි අවියක් නිපදවීම සඳහා මුලින්ම උත්සාහ ගෙන තිබෙන්නේ, 16 වැනි සියවසේ මැද භාගයේදීයි. එහෙත් ඒවා ප්‍රදර්ශනාත්මක නිපැයුම් පමණයි. මුල්වරට සාර්ථකව රිවෝල්වරයක් නිපදවා තිබෙන්නේ ඉතාලි ජාතික ෆ්‍රැන්සිස්කෝ ඇන්ටෝනියෝ බ්‍රොකු විසින් ක්‍රි.ව. 1833 දී. කෙසේ වෙතත්, වඩාත් කාර්යක්‍ෂම, වඩාත් නිවැරැදි තාක්ෂණයෙන් යුත් රිවෝල්වරය ලෙස සැළකෙන්නේ, ක්‍රි.ව. 1835 දී, ඇමරිකානු ජාතික සැමුවෙල් කෝල්ට් විසින් නිපදවන ලද රිවොල්වරයයි. කෝල්ට් යන වෙළඳ නාමයෙන් අදත් රිවෝල්වර් සහ පිස්තෝල නිපදවනවා. 
26. මාරක දියබරියා
The Modern Torpedo
Torpedo      සංග්‍රාමයකදී නාවික බලයට හිමිවන්නේ අද්විතීය ස්ථානයක් බව, මම මේ ලිපි මාලාවේදී මීට පෙරත් සඳහන් කළා. තමන්ගේ සාගර කලාපය සතුරු ආක්‍රමණ වලින් ගලවාගන්නට නොහැකි වුනොත්, සතුරා ඒ රට අල්ලන එක වළක්වාගත නොහැකි වෙනවා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, යන ජාතීන්, අපේ රට යටත් කරගත්තේ, ඔවුන්ගේ නාවික බලය ඉක්මවා යන්නට අපට ශක්තියක් නොතිබුන නිසා. ගොඩබිමේදී මෙන්ම මුහුදේදීත්, සතුරු හමුදා සමග සටන් කරන්නට, හොඳ නාවික හමුදාවක් අවශ්‍යයි. අද තිබෙන යුද නැවක්, මහා යුද බලකොටුවක් වගේ, පිරිස් බලයෙන් මෙන්ම නවීන අධිතාක්ෂණික අවි ආයුධ වලින් සන්නද්ධයි. නාවික සටන් ඉහළ තලයකට පැමිණියේ, දෙවැනි ලෝක සංග්‍රාම අවධියේදීයි. මතකයි නේද නිර්භීත සතුරාගේ කතාව. තමන්ගේ නැවේ සිට, සතුරු නැවක් අසළට නොයා, දුර සිට පහරදීමට සුදුසු, එමෙන්ම රහසිගතව එල්ල කළහැකි අවියක් නිපදවීමේ අවශ්‍යතාව නිසා, නිපැයුණු අවියක් ලෙස, ටෝර්පිඩෝව Torpedo හඳුන්වන්න පුළුවන්. මෙය සිලින්ඩරාකාර හැඩයකින් යුක්ත, ජලය මතුපිටින් හෝ ජල මට්ටමට තරමක් පහළින්, ඉලක්කයවෙත ගමන් කරන බෝම්බයක්. එසේ ගමන් කිරීම සඳහා, වෙනමම යාන්ත්‍රණයක්, මේ බෝම්බයට සවිකර තිබෙනවා. අතීතයේදී මෙය, එක නිශ්චිත දිශාවකට, සරල රේඛාවක් වැනි ගමන් මාර්ගයක ඇදීගියා. එසේ ඇදීගොස්, නැව් බඳෙහි හැපීමෙන්, මහා පිපුරුමක් ඇතිකරන්නට මේ බෝම්බය සමත්. සමහර විට, හැපෙන්නේ නැතිව, ඉලක්කය අසළටම ගොස් පිපිරීමෙන්, මහා විනාශයක් කරන්න පුළුවන්. නමුත් අද, දුරස්ථ පාලක ක්‍රම වලින්, ගමන් මග වෙනස් කළහැකි ආකාරයට, සකසා තිබෙනවා. වර්තමාන ටෝර්පිඩෝවේ නිර්මාතෘ ලෙස සැළකෙන්නේ, බ්‍රිතාන්‍ය ජාතික රොබට් වයිට්හෙඩ්. මෙන්න මේ සජීවීකරණයෙන් බලන්න, කොහොමද කියලා, සබ්මැරීනයක සිට එවන ටෝර්පිඩෝ නැවක වැදිලා පුපුරා කරන විනාශය.


27. හති නැති ගිනි පිඹින්නා
The Machine Gun
Vickers_IWW      සංග්‍රාමයකදී ජයග්‍රහණය තීරණය වන තවත් වැදගත් සාධකයක් තමයි වෙඩි බලය. ඒ විතරක් නෙවෙයි වෙඩිබලය උපරිමයෙන්, මහා පරිමාණයෙන්, නොකඩවා පවත්වාගැනීම. (Heavy fire power, Volume of fire, Sustainable fire) ඉතින් මේ සඳහා තම අවි බලය නොකඩවා පවත්වාගෙන යන්නට ඕනේ. වැඩි දියුණු කරන්නට ඕනේ. අන්න ඒ අවශ්‍යතාව සපුරාගන්නට මිනිසා නිපදවාගත් ප්‍රබල අවියක් තමයි මැෂින් තුවක්කුව. සාමාන්‍ය තුවක්කුවකින් වරකට එක වෙඩිල්ලක් පමණක් තියන්න පුළුවන් බව මම ඉහත පෙන්වාදී ඇති තුවක්කු වලින්, ඔබට පෙනෙනවා ඇති. නමුත් යුද්ධයේ දරුණු බව වර්ධනය වනවිට, ඒ තුවක්කු ප්‍රමාණවත් වුනේ නැහැ. ඒ නිසයි මැෂින් තුවක්කු ඕනෙවුනේ. මැෂින් තුවක්කුවකට එකවර පතරොම් රාශියක් යොදවන්නට හැකි අතර, ඒ පතරොම් ඉවර වෙනතුරු, නොකඩවා ස්වයංක්‍රීයව වෙඩි තියන්න පුළුවන්. ඒ නිසා සතුරාට ඔලුව උස්සන්න නොදී වෙඩි වරුසා වස්සවන්නත් පුළුවන්. එවිට සතුරාට යුදබිමේ ආවරණයයකටවී හෙලවෙන්නේ නැතුව ඉන්න සිදුවෙනවා. (pin down) සාර්ථකව මුල් වරට මැෂින් තුවක්කුවක් නිපදවා තිබෙන්නේ 19 වැනි සියවසේ මැද භාගයේදීයි. මෙන්න මුල් කාලයේ මැෂින් තුවක්කුවක වැඩ.

මෙන්න අද කාලයේ මැෂින් තුවක්කු කීපයක වැඩ

28. හෙණ හඬ නගන්නා
The Filed Artillery
10139097a      විශාල සතුරු බලඇණි, සතුරු බලකොටු වැනි ඉලක්ක වලට පහරදීමේදී, ඉතා අඩු ප්‍රහාර ප්‍රමාණයකින්, වැඩි විනාශයක් කළහැකිනම්, සටනේ වාසිය තමන්ට නතු කරගන්න පුළුවන් වෙනවා. එමෙන්ම, ඉතා දුර සිට එල්ල කරන ප්‍රබල ප්‍රහාර මගින්, සතුරා අපවෙත ඒම කල්තබා වලක්වාගන්නටත් පුළුවන්. එවැනි අවස්ථාවන් සඳහා සුදුසුම අවියක් තමයි කාලතුවක්කුව. දැන් මම මෙතැනදී කාලතුවක්කුව ගැන දිග විස්තරයක් කියන්න ගියොත්, මම විහිළු කාරයෙක් වෙනවා. මොකද මම මීට පෙර, කාලතුවක්කු ගැන 'අ' යන්නේ සිට 'අඃ' යන්න දක්වා කියලා දීලා තියනවා. :D මතක නැත්නම් මෙන්න මේ පාරදිගේ ගොස් බලනු. මෙහිදී, ඉක්මණින් එහා මෙහා ගෙන යාහැකි, එතරම් දිග බටයක් නැති, වෙඩි තැබීමේදී ඉහල කෝණයක් ගතහැකි කාලතුවක්කු, යුද බිමේදී විශාල සේවයක් ඉටුකරනවා. ඒවා හඳුන්වන්නේ හොවිට්සර් Howitzer යනුවෙන්.

29. දිය යට මරුවා The Submarine
Plongeur      මා කලින් සඳහන් කලාක් මෙන්, සංග්‍රාමයකදී, සාගරයේ ආධිපත්‍යය අතිශයින් වැදගත් වෙනවා. සාගරය මතුපිට පමණක් සටන් කිරීමෙන් නොනැවතුණු මිනිසා, දිය යටින් ගොස් සටන් කිරීම සඳහා, යාත්‍රා සකස් කරන්නට පෙළඹුණා. එහි ප්‍රතිඵලය තමයි සබ්මැරීනය. සබ්මැරීනයේ ඉතිහාසය 18 වැනි සියවස තරම් ඈතට දිවයනවා. මුල්ම අත්හදා බැලීම් කර තිබෙන්නේ ක්‍රි.ව. 1726 දී පමණ. කෙසේ වෙතත් සංග්‍රාමික කටයුතු සඳහා සුදුසු සබ්මැරීනයක් මුලින්ම නිපදවා තිබෙන්නේ ප්‍රංශයේදී. ක්‍රි.ව. 1863 දී. අද ලෝකයේ බලවත් රටවල් සතුව, පරමාණු බලයෙන් ක්‍රියාකරණ, අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල් ICBM (පසුව සාකච්ඡා කරනවා) එල්ල කළහැකි සබ්මැරීන තිබෙන අතර, ඒවා සෑමවිටම ලෝකයේ මූලෝපාය වශයෙන් strategically වැදගත් ස්ථානවල රඳවා තබනවා. සබ්මැරීනය සාගරයේ යුද බලය පිලිබඳ තීරණාත්මක සාධකයක් වන අතර එය සංග්‍රාමයේ මුහුණුවර වෙනස් කිරීමට හේතුවුණා. සබ්මැරීනයක සිට මිසයිලයක් විදින හැටි පහත වීඩියෝවෙන් බලන්න.

35. යුදපිටියේ බම්බු ගැසීම
The Trench Mortar
trench-mortar      සාම්ප්‍රදායික යුද ක්‍රමයේදීත් Conventional Warfare ප්‍රති විප්ලවවාදී/ප්‍රති ත්‍රස්තවාදී සංග්‍රාමයේදීත්, Counter Revolutionary Warfare/Counter Terrorism Warfare බොහොවිට යුද භූමියේදී යුද අගල් Trench හදාගන්නට වෙනවා. යුද අගලක් යනු යුද බිමේ කපන විශාල කාණුවක්. මෙහි සමහරවිට සොල්දාදුවකුට පහසුවෙන් ඇවිද යන්න තරම් ගැඹුරක් තිබෙනවා. දෙපැත්තේ ඉවුරු දෙක එපමණ උස නිසා. තවත් සමහර විටකදී බඩගාගෙන තමයි යන්න වෙන්නේ. එයට හේතුව දෙපස ඉවුරු එතරම් උස නොවීම. යුද අගලට බැහැලා, 'පුට්ට නැකේ' ගහගෙන, බකං නිලාගෙන, බඩ උලාගෙන, ඉන්න බැහැ.  එතකොට සතුරා ළඟටම ඇවිත්, බඩු අපේ අතටම දීලා යයි. ඒ නිසා යුද අගලේ සිට සටන් කරන්න ඕනේ. යුද අගලෙන් උඩට ඔලුව ඉස්සීම බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. ඈත ඉඳලා බලා ඉන්න සතුරා, අපි ඔලුව උස්සනකොටම වැඩේ දෙන්න පුළුවන්. මේ නිසා යුද අගලේ ඉන්න ගමන් පාවිච්චි කළහැකි ආයුධ අවශ්‍ය වෙනවා. අන්න ඒ අවශ්‍යතාව සපුරා ගන්න තමයි, මෝටාර් එක Mortar  නමැති අවිය නිපදවාගත්තේ. එමගින් සතුරා අධෛර්යයට පත්කරන්නටත්, අපේ ජීවිත බෙරාගන්නටත්, හැකිවෙනවා. මේ නිසා මෝටාරය, සංග්‍රාමයේ වැදගත් අවියක් ලෙස සැලකෙනවා. මේ බලන්න යුද අගලක සිට මෝටාරයක් පාවිච්චි කරන හැටි.

හොඳයි, අපි මෙතෙකින් අද ලිපියේ අවසානය දකිනවා. ඊළඟ කොටසේදී ඉතිරි අවි 15 ගැන කතාකරමු.
සියලුම ඡායාරූප විකිපීඩියා විශ්වකෝෂයෙනි
my-signature-for-blog[1]     2014 පෙබරවාරි මස 07 වැනි දින 1552 පැය.

31 January 2014

සංග්‍රාමයේ පියසටහන් (දෙවැනි කොටස) Milestones of Warfare (Part Two)

50 Weapons That changed Warfare
නමැති කෘතිය ඇසුරෙනි
  මේ ලිපියේ පළමුවැනි කොටසේදී,  මා ඔබට විස්තර කළා, ලෝක ඉතිහාසය පුරා මෙන්ම, අදද පවතින, යුද්ධයේ මුහුණුවර වෙනස් කිරීම කෙරෙහි, කාලීනව සොයාගන්නා අවි වලින්, කෙබඳු ආකාරයක බලපෑමක් ඇතිවුවාද යන්න. අද මා හැඳින්වීම මෙපමණකින් නවතා, තවත් අවි ගණනාවක් ඔබ වෙත ඉදිරිපත් කරනවා. පසුගිය ලිපියෙන් අවි පහක් ඔබට ඉදිරිපත් කළා. අද හයවැනි අවියෙන් පටන්ගන්නවා. 
6. අශ්ව රථය - The Chariot
 20100901_9a52484a246e3f421ff6mjU0ifpwz24Q    සංග්‍රාම භූමියේදී ඉතා වැදගත් වන සාධකයක් වන්නේ ක්ෂණිකව එහා මෙහා ගමන් කිරීමට ඇති හැකියාවයි. එමෙන්ම සතුරා හඹාගොස් පහරදීමේදී වේගය ප්‍රබල සාධකයක්. ඒ අවශ්‍යතා සම්පූර්ණ කරමින් සංග්‍රාමයේ මුහුණුවර වෙනස් කළ සොයාගැනීමක් ලෙස යුද්ධ අශ්ව රථය හඳුන්වන්න පුළුවන්. අශ්ව රථය, ප්‍රථම වරට, මහා පරිමාණයෙන් යොදාගනු ලැබුවේ, නයිල් නිම්න ශිෂ්ටාචාරයේදීයි. ඇසිරියන් අශ්ව රථ ලෝකය හෙල්ලූ අවධියක් තිබුණා.
7. සෑදල පා පටිය - The Stirrup
 7 Stirrup   අපේ රටේ අශ්වයන් භාවිතය තිබෙන්නේ, ගණන් ගත නොහැකි තරම් පහළ මට්ටමක නිසා, අශ්වයන් පිට යාම ගැන, අපට තිබෙන්නේ ඉතා සුළු අත්දැකීම්. මමත්, ආසාවට අශ්වයන්ගේ පිටේ ගිහින් තිබෙන්නේ, දෙවරක් පමණයි, පොලීසියේ යාලුවෙකුට පින්සිද්ද වෙන්න. අශ්වයන් හීලෑ කරගැනීම, මිනිසා විසින් කර තිබෙන්නේ, ක්‍රිස්තු පූර්ව 4000 ටත් එහාදී බව, ඉතිහාසයේ සඳහන් වෙනවා. නමුත්, සෑදල පා පටියට, එතරම් දිග ඉතිහාසයක් නැහැ. සාමාන්‍යයෙන් සැළකෙන්නේ එය නිපදවා ඇත්තේ ක්‍රිස්තු පූර්ව 700 දී පමණ කියායි.
   මොකක්ද මේ සෑදල පා පටියෙන් ඇති ප්‍රයෝජනය. ඇත්තටම එය තේරුම්ගන්න නම්, අශ්වයන් පිට යාම ගැන මූලික අවබෝධයක් තිබෙන්නේ ඕනේ. ඔබෙන් බහුතරයකට ඒ අවබෝධය තිබෙනවා රූපවාහිනියේ සහ සිනමාවෙන් දැකීමෙන්. අශ්වයකු පිට නිකම්ම වාඩිවී ගමන් කිරීම අමාරුයි. බිම වැටෙන්නේ ඇති ඉඩකඩ බොහොමයි. අශ්වයාටත් එය අපහසුවක්. ඒ නිසයි සෑදලයක් පාවිච්චි කරන්නේ. ඔබ දැක ඇති, අශ්වයාගේ පිටට නගින්නේ සහ බහින්නේත්, අශ්වයා පිට යනවිට දෙපා රඳවා තබාගන්නේත්, සෑදලයට සවි කළ සම් පටියක ඇති, ලෝහ හෝ සමෙන් සැකසූ කාදුවකට හෙවත් රාමුවකට, කකුල තැබීමෙන් බව. එය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Stirrup යනුවෙන්. සිංහල තනි වචනයක් නම් මට ලැබුණේ නැහැ. ඉතින් මොකක්ද මෙය යුද්ධයට ඇති සම්බන්ධය. යුද පිටියේදී, වේගයෙන් අසුපිට යන්නට නම්, සමබරතාව අතිශයින් වැදගත්. එහිදී මේ උපකරණයෙන් විශාල සේවයක් ඉටුවෙනවා. අශ්වයාගේ සම්පූර්ණ ජවය යොදා, වේගයෙන් සහ පහසුවෙන් ගමන් කිරීමට හැකිවෙනවා. 
8. ගිනිවිජ්ජුම්බරය - Greek Fire
8 Greek Fire    මේ අවිය ගැන තිබෙන විස්තරය කියවුවාම, මගේ හිතට එකවරම ආව වචනය තමයි, 'ගිනිවිජ්ජුම්බරය' කියන එක. අපි එදිනෙදා කතාබහේදී කියනවානේ 'හපෝ එතන එකම ගිනිවිජ්ජුම්බරයක්' කියලා. ඒ කියන්නේ මහා පරිමාණ සටනක් කියන එකයි. ටිකකට හිතන්න, අපේ ගෙදර වහලේ උඩට, කිසියම් යාන්ත්‍රික උපක්‍රමයකින්, මහා ගිනිබෝල එවනවා කියලා. ඉතින් එතකොටත් ඇතිවෙන්නේ ගිනි විජ්ජුම්බරයක් නේද. සතුරු කඳවුරු, සතුරු බලකොටු, වෙත, යාන්ත්‍රික උපක්‍රමයක් මගින්, දැල්වෙන ගින්නක් සහිත, බැරල් වැනි භාජන විදීමට සකසාගත් උපකරණයකට තමයි, Greek Fire කියන්නේ. රෝම අධිරාජ්‍යය පැවති අවධියේදී මේ අවිය පාවිච්චි කොට තිබෙනවා බහුල වශයෙන්. 

9. යාන්ත්‍රික කාලතුවක්කුව - Mechanical Artillery
 9 Mechanical Artillery    කාලතුවක්කු ගැන දැනට සෑහෙන කලකට ඉහතදී මා ඔබට කියාදුන්නා. ඔබෙන් බොහෝදෙනෙක් කියා තිබුනා ඒ ලිපි මාලාවෙන් කාලතුවක්කු ගැන හොඳ දැනුමක් ලැබුණු බව. ඒ ලිපි මාලාව ආරම්භයේදීත් මම ඔබට කියාදුන්නා මේ යාන්ත්‍රික කාලතුවක්කු ගැන. අමතක නම් මෙතනින් බලන්න. යාන්ත්‍රික කාලතුවක්කුවක විශේෂත්වය වන්නේ එය කිසිදු ආකාරයක වෙඩි බෙහෙත් හෝ එවැනි ගිනි බලයක් යොදා නොගැනීමයි. ඉතා බර අධික ලෝහ බෝල, ගල්, වැනි දෑ යාන්ත්‍රික උපක්‍රමයකින් ඈතට විදීම තමයි මේ යාන්ත්‍රික කාලතුවක්කු වලින් සිදුකෙරුණේ. Trebuchet ට්‍රෙබුශේ යනු එවැනි එක යාන්ත්‍රික කාලතුවක්කුවක් හැඳින්වූ නම. මේවාත් ග්‍රීක - රෝම අධිරාජ්‍ය සමයේදී භාවිත කළ අවි ලෙස සැලකෙන අතර එමගින් සංග්‍රාමයට නව ජවයක් ලැබුණා. 
10. වෙඩි බෙහෙත් - Gunpowder
10 Gunpowder     වෙඩි බෙහෙත් සහ යුද්ධය අතර තියන සම්බන්ධය, හරියට අර අමුඩය සහ පස්ස පැත්ත අතර තියන සම්බන්ධය වගේ නේද? ඇත්තටම සංග්‍රාමය කියන ක්‍රියාකාරකමේ අර්ථය පරිපූර්ණ වූයේ, වෙඩි බෙහෙත් නිසා බව, අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. 12 වැනි සියවසේ දී කහ මුහුදේ සිට රුසියාවේ ස්ටෙප් තණබිම් දක්වා සිය ආධිපත්‍යය පැතිරවූ කුබ්ලයි ඛාන් අධිරාජයා සංග්‍රාමික කටයුතු සඳහා මහා පරිමාණයෙන් වෙඩි බෙහෙත් යොදා පුපුරන ද්‍රව්‍ය සෑදූ බව ප්‍රකටව පවතිනවා. අද වනවිට යුද්ධයේ තීරණාත්මක සාධකයක් වන ගිනි බලයේ ආරම්භය, එළෙස සිදුවී තිබෙනවා. 

11. පිපිරවීම් - Mines
     සාම්ප්‍රදායික යුද්ධ ක්‍රමයේදී - Conventional Warfare  ලෝකයේ ඕනෑම හමුදාවක් ගත්තම, සටන් භූමියට මුලින්ම පිවිසෙන රෙජිමේන්තුව මොකක්ද? මොකක් කියලද හිතන්නේ? කාලතුවක්කු? කමාන්ඩෝ? පාබල? විශේෂ බලකාය? අම්මපා කාන්තා බලකායද දන්නෙත් නෑ....................? ඔය කවුරුවත් නෙවෙයි 'ඉංජිනේරු බලකාය' Engineers Regiment' තමයි මුලින්ම යුද පිටියට යන්නේ. හිතන්නවත් බැහැ නේද? මොකද එයාලා කරන්නේ? එක වාක්‍යයකින් කියන්නද? ලෝකය පුරාම, ඉංජිනේරු රෙජිමේන්තුවේ භූමිකාව සහ කාර්ය භාරය - (Role and Task) හඳුන්වන්නේ මෙහෙමයි.
  'තමන්ගේ (මිතුරු) හමුදාවේ ඉදිරි ගමනට අවශ්‍ය, සියළුම ආකාරයේ සැකසුම් හා පහසුකම් සළසා දෙන අතර, සතුරාගේ ඉදිරි ගමන වැලැක්වීම සඳහා අවශ්‍ය, සෑම උපක්‍රමික පියවරක්ම ගැනීම' 
 ad36ec59-32e2-4306-ba58-1ea50b580b8f  කොහොමද ඒක කරන්නේ. අපි හිතමු, අපිට ගමන් කරන්න තිබෙන මාර්ගයේ ගඟක් තියනවා කියලා. ඉංජිනේරු බලකාය තමයි, වහාම එතන පාළමක් (Bailey Bridge) ඉදිකරන්නේ. අපේ ඉදිරි ගමනට බාධක වශයෙන් තිබෙන, ලොකු ගල් පර්වත, මහා ගස්, පුපුරවලා, පාර හදලා දෙන්නේ ඉංජිනේරු රෙජිමේන්තුව. මෙන්න මේ පිපිරුම් විශේෂඥ දැණුම, විවිධාකාරයෙන් පාවිච්චි කරනවා. අපිට පසු බහින්න වුනොත්, සතුරාට අර අපි හදපු පාළමෙන් මෙගොඩ වෙන්න බැරිවෙන්න, ඒක පුපුරවලා දානවා. මහ ගස් ගල් පාරට වට්ටවලා, පාර අවහිර වෙන විදිහට පිපිරවීම් සිදුකරනවා. මේ විදිහටම පිපිරුම් උපක්‍රම මගින් යුද වාහන පුපුරවා දැමීම විතරක් නෙවෙයි, බිම් බෝම්බ සහ මර උගුල් (Booby traps) ඇටවීමත්, ඉංජිනේරු රෙජිමේන්තුව කරනවා. සතුරු කඳවුරු වටා ඉදිකර ඇති, තාප්ප, වැටවල්, බිම්වෙඩි, පුපුරවා දමන්නත් ඉංජිනේරුවෝ හරිම හපන්නු. ඉතින්, මේ පිපිරවීම් ගැන දැණුම වර්ධනය වීම, සංග්‍රාමය නව මගකට ගන්නට සමත් වුණා. 
12. වැට කඩුළු බිඳින්නා - The Siege Gun
12 Siege Guns    ආරක්ෂාව සඳහා වැට කඩුළු බැඳ ගැනීම, මානව ශිෂ්ඨාචාරයේ ඈත අතීතයේ පටන් කරන දෙයක්. ඈත අතීතයේ තිබුණු ගමක, ගෙවල් සාදා තිබුණෙත්, කවයක හැඩයට පිහිටන්නයි. එයින්, නිකම්ම ගම බලකොටුවක් බවට පත්වෙනවා. මුලදී මෙහෙම කළේ වන සතුන්ගෙන් ආරක්ෂා වෙන්න. නමුත් පසු කාලයේදී, සතුරු හමුදාවන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඉතා ඝනකමට ඉදිකළ, උස් තාප්ප, කොටු පවුරු, ඉදිකෙරෙන්නට වුණා. එවැනි බලකොටුවකට පහර දීම එතරම් පහසු ක්‍රියාවක් වුනේ නැහැ. අහලා තියනවා නේද, විජිතපුර බලකොටුවේ දොරටුව බිඳින්නට ගිය, කණ්ඩුල ඇතාගේ පිට ට, කොටු පවුර උඩ ඉඳලා, සතුරෝ උණු ලෝ දිය වක්කරා කියලා. කොටු පවුරකට ඉනිමං තියලා නැගලා සටන් කිරීමත්, මුලදී සිදුවුණා. නමුත් එයින් වූ ජීවිත හානිය වැඩියි. තුවක්කු පිලිබඳ දැනුම දියුණුවත්ම, මිනිසා, කොටු පවුරු බිඳීම සඳහා විශේෂ කාලතුවක්කුවක් නිපදවනු ලැබුවා. එයින් මහා විශාල උණ්ඩයක් කෙටි දුරකට රැගෙන යනවා. එයින් මහ කොටු පවුරු බිඳින්නට හැකිවුණා. බලකොටු තනාගෙන යුද්ධ කළ, මධ්‍යකාලීන යුගයේදී, මේ තුවක්කුව සංග්‍රාමයට විශාල බලපෑමක් එල්ල කළා. 
13. ජල තරණයෙන් දිග් විජය - The Frigate
     
13 Frigate     සංග්‍රාමික කාර්ය භාරය උදෙසා, ජල තරණය වැදගත්වන බව, මිනිසා අවබෝධ කරගත්තේ, 15 වැනි සියවසේදී පමණ සිටයි. ඊට පෙර, ජල තරණය, ප්‍රාදේශීය මට්ටමෙන් තිබුණත්, මහා සේනාංක, ජල යාත්‍රා මගින්, අවශ්‍ය ස්ථාන වලට ප්‍රවාහනය කර, ආක්‍රමණශීලී ක්‍රියා කළහැකි බව මිනිසා අවබෝධ කරගත්තේ 15 - 16 සියවස් වලදීයි. 16 සහ 17 යන සියවස් වලදී ජර්මානු සම්භවයක් සහිත යුරෝපීය ගෝත්‍ර සහ තුර්කි, ඊජිප්තු,  සහ අනෙකුත් ඉස්ලාම් ලබ්ධික මැද පෙරදිග රටවල් අතර, ඉන්දියානු සාගරයේ වෙළඳ බලය වෙනුවෙන් එදිරිවාදිකම් තිබුණා. එහිදී, සොල්දාදුවන් 15000 ක් රැගත් ෆ්‍රිගේට් යාත්‍රා 200 ක් ඉන්දියන් සාගරයේ සූදානම්ව සිටියා, යුරෝපීයයන් සමග, ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා. ෆ්‍රිගේට් යාත්‍රාවල, සුළු පරිමාණ කාලතුවක්කුද සවිකර තිබුණා. ෆ්‍රිගේට් යන නම එම යාත්‍රා වලට ලැබුණේත් ඒවා යුද්ධ නව වර්ගයක් නිසයි. ඒ නිසා, මෙවැනි නැව් කණ්ඩායමක්, පාවෙන හමුදාවකට සමානයි. ඒ අනුව,  ෆ්‍රිගේට් යාත්‍රාව, සංග්‍රාමයේ මුහුණුවර වෙනස් කළා.
14. ජංගම කාලතුවක්කුව - Mobile Artillery
SS-Karstwehr-Bataillons, Artillerie-Ausbildung    කාලතුවක්කුව අදටත් සංග්‍රාමයේ තීරණාත්මක අවියක්. කාලතුවක්කුව නිපදවූ මුල් යුගයේදී, එය ස්ථිරව සවි කරන තුවක්කුවක් ලෙසයි තිබුණේ. ඒ කියන්නේ, යුදබිමට ගෙනගොස් ස්ථිරව සවි නොකර එය ක්‍රියාකරවන්නට බැහැ. එමෙන්ම එහි අවාසි රැසක් තිබුනා. ඉක්මණින් එහා මෙහා කළ නොහැකිවීම, පහසුවෙන් සතුරන් අතට පත්වන්නට ඉඩ තිබීම, භූමියේ තිබියදී අළුත්වැඩියා කළ නොහැකිවීම, ආදී ප්‍රශ්න තමයි තිබුණේ. නමුත්, කාලතුවක්කුව රාමුවකට සවි කර, එම රාමුවට රෝද දෙකක් සවිකර, අශ්වයන් මගින් ඇදගෙන යාමට සකස් කරගත් පසු, කාලතුවක්කු වෙඩි බලය, වඩාත් ප්‍රබල ලෙස, සංග්‍රාම භූමිය පුරා පතුරවන්නට හැකියාව ලැබුණා. මේ නිසා, ජංගම කාලතුවක්කුව සංග්‍රාම භූමියේ විප්ලවයක් කළා.
15. අතපත්තුව - The Matchlock
15 Matchlock     අතපත්තුව කිව්ව ගමන්, වැරදියට එහෙම තේරුම්ගන්න එපා, මාවන් අතපත්තුට, අතපත්තුව කියලා බැන්නා කියලා එහෙම. අපේ රටට ගිනි අවි පිලිබඳ සතුටුදායක දැණුමක්, මතක තියාගන්න, හොඳ දැණුමක් නෙවේ සතුටුදායක දැණුමක්, ලැබුනේ මහනුවර යුගයේදී. ඒ කාලේ, තුවක්කුව කියන වචනය අපේ වාග් මාලාවට එක්වෙලා තිබුනේ නැහැ. අතේ තියාගෙන, ගින්දරෙන් පත්තු කරලා, වෙඩි තියන = ගිනි පිඹින (තුවක්කු බටෙන් එළියට, පිම්බා වගේ ගින්දර පිටවීම) නිසා තමයි, මේවා අතපත්තු කියලා නම්කරන්නට, පැරණි සිංහලයා පෙළඹී තිබෙන්නේ. තුවක්කුව යන සංකල්පයේ මූලිකම අවස්ථාවක් වන මෙය, 15 වැනි සියවසේදී කරන ලද නිර්මාණයක්. ගිනි අවියක් ලෙස එකල තිබුණු අනෙක් අවි අබිභවා ගිය නිසා, මෙය සංග්‍රාමය වෙනස් කල අවියක් බවට පත්වෙනවා. මේ අවියට ඉදිරියෙන් සහ පසුපසින් Breach loading and Muzzle loading වෙඩි බෙහෙත් යොදා, සේවා නූලකට Service Code ගිනි තැබීමෙන් ලබාගත් ගිනි බලයෙන් තමයි තුවක්කුව පත්තුවුනේ. පහත දැක්වෙන වීඩියෝවෙන් තුවක්කුවේ ක්‍රියාකාරිත්වය පැහැදිළි වෙනවා.

space 2
16. ගිනි ගලෙන් ගිනි පිඹීම - The Flintlock
16 Flintlock     Flintstone කියන්නේ ගිනි ගල කියලා අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැනේ. ගිනිගලක් යම්කිසි තද/රළු මතුපිටක ඇතිල්ලුනාම ගිනි පුපුරු පිටවෙන බවත් ඔබ දන්නවනේ. අර සමහර ගෑස් ලිප් පත්තු කරන්න තියෙන්නේ, පොඩි පිස්තෝලයක් වගේ උපකරණයක්, අන්න ඒක ඇතුළේත් තියෙන්නේ ගිනි ගලක්. මීට ඉහතින් දැක්වූ මැච්ලොක් Matchlock තුවක්කුවේ, ක්‍රියාකාරිත්වයේ යම් යම් අඩුපාඩු මෙන්ම, භයානක තත්වයක්ද තිබුණා. ඒ තමයි එම අවියෙන් වෙඩි තැබීම සඳහා පාවිච්චි කරන කළු වෙඩිබෙහෙත් Black Powder ඉතා සුළු අත්වැරදීමකින් පවා පහසුවෙන් ගිනිගෙන පුපුරා යාමට ඉඩ තිබීම. ඇත්තටම එවැනි අනතුරු රාශියක් සිදුවුණා. (අහලා තියනවද 'කළු කුඩු බස්නේ දෙනවා' කියලා කතාවක්. බ්‍රිතාන්‍ය පාලන සමයෙන් පසු අපේ සමාජයේ පැතිරී තිබුණු, වෙඩි බෙහෙත් කොටා වෙඩි තබන තුවක්කු වලට යෙදුවේ මේ කළු වෙඩිබෙහෙත්. ඉතින් එකල ගැමියන් කළු කුඩු බස්නේ දෙනවා යන්නෙන් අදහස් කළේ වෙඩි තබා මරා දමනවා යන්නයි) මේ අනතුරුදායක තත්වයෙන් තොරව වෙඩි තැබිය හැකි තුවක්කුවක් ලෙස ෆ්ලින්ට්ලොක් - Flintlock තුවක්කුව හඳුන්වන්න පුළුවන්. 15 වැනි සියවසේ ග භාගයේදී නිපදවන ලද මේ නව ගිනි අවිය යුද බිමේ විප්ලවයක් කරන්නට සමත් වුණා. තුවක්කුවේ ක්‍රියාකාරිත්වය පහත වීඩියෝ දෙකෙන් බලන්න. 



17. ඇදලා අරන් ඇනලා ඇදීම - The Bayonet
  17 Bayonet     මේ ලිපි මාලාවේ මුලදීම සඳහන් කලාක් මෙන්, අතීතයේදී යුද බිමේ සතුරා මුණ ගැසුනේ, මුහුණට මුහුණ ලා සටන් කරන තරම් සමීපව සිටයි. තුවක්කු මගින් සටන් කිරීමීදිත්, අදටත් යුද බිමේදී සතුරා මුහුණට මුහුණ හමුවන අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථා වලදී වෙඩි තැබීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. එක්කෝ සතුරා අපේ ඇඟට කඩා පනිනවා. නැත්නම් අපිට සිදුවෙනවා සතුරාගේ ඇඟට කඩා පැන ඔහු මෙල්ල කරන්නට. නැතහොත් මරා දමන්නට. මේ සඳහා සුදුසු වන්නේ පිහියක් වැනි, අනිනන්නට සුදුසු ආයුධයක්. අන්න ඒ අඩුව පුරවන්නට නිපදවූ අවියක් ලෙස බයිනෙත්තුව - Bayonet ඉතා වැදගත් තැනක් ගන්නවා. අදනම් බයිනෙත්තු සටන් නැත්තටම නැති තරම්. ඊට වඩා 'දියුණු ක්‍රම' තිබෙන නිසා. නමුත් තුවක්කු බටයට සවිකරගෙන හෝ ගලවා අතට ගෙන පාවිච්චි කළහැකි බයිනෙත්තු අදත් තියනවා. ඉස්සර නම්, නිළ ඇඳුමේ බඳපටියේ සවිකළ කොපුවක ඇති බයිනෙත්තුව, ඇදලා අරන් ඇනීම තමයි සිදුකළේ.  නමුත් පසුකාලීන බයිනෙත්තුව, තුවක්කුවේ බටයේ කෙළවරට සවිකර ගැනීමට හැකියි. එවිට, හෙල්ලකින් අනිනවාක් මෙන් අනින්නට පුළුවන්. හමුදා මූලික පුහුණුවේදී, සොල්දාදුවන්ට, බයිනෙත්තු සටන් උගන්වනවා. දෙවැනි ලෝක යුද සමයේදී, බයිනෙත්තුව ඉතා බහුලව පාවිච්චියට ගැණුනා. බයිනෙත්තුව සංග්‍රාමයට දැඩි වෙනසක් එක්කල අවියක්.
18. දමාගසන මරණය - The Hand Grenade
 18 Hand Granade      'චීන පටස්' කියන වචනය අහලා තියනවද? අපි කුඩා ළමුන් කාලේ (1950 දශකයේ අග සහ 1960 දශකයේ මුල)  සිංහල අවුරුදු කාලෙට පත්තු කරන වෙඩි වර්ගයක් තමයි, චීන පටස් කියන්නේ. මේ වෙඩි සකස්කර තිබෙන්නේ, මනෝසීල නමැති වෙඩිබෙහෙත් වර්ගය, කංහැන්දක් පමණ ප්‍රමාණයක්, එකක් ඝන සෙන්ටි මීටරයකටත් වඩා අඩු, කුඩා තිරුවානා ගල් තුනකට මැදිකර තබා, ටිෂූ කඩදාසි වලින් ඔතා, කුඩා දෙහි ගෙඩියක ප්‍රමාණයේ බෝලයක් සෑදීමෙන්. මෙය, පොළොවේ හෝ බිත්තියක් වැනි තද මතුපිටකට දමා ගැසුවොත්, රතිඥ්ඥයක් පුපුරන තරම් හඬකින් පුපුරා යනවා. ඇඟට වැදුනොත් සුළු තුවාල වෙන්නත්, ඇසකට වැදුනොත් ඇස අන්ධ වෙන්නත් පුළුවන්. කිසියම් කුටීරයක් container තුළ වෙඩි බෙහෙත් සහ පුපුරන ද්‍රව්‍ය අඩංගු කර, නිශ්චිත් ඉතා සුළු වෙලාවක් තුළ පුපුරායාමට සකස්කර ඇති අත්බෝම්බය Hand Grenade මිනිසා විසින් නිපදවන ලද භයානක අවියක් ලෙස හඳුන්වන්නට පුළුවන්,සතුරා වෙත රහසින් ළංවී, සතුරු බංකර්, අවි/පතරොම්/වෙඩි බෙහෙත් ගබඩා, වැදගත් පුද්ගලයන්, වෙත ක්ෂණිකව මාරාන්තික ප්‍රහාර එල්ල කිරීම සඳහා, අත්බෝම්බය මහත් පිටුවහලක් වෙනවා. අත්බෝම්බය ගැන මා මීට පෙර ඔබට කියාදුන්නා මතකද? ඉතින් අත්බෝම්බය එදත් අදත් සංග්‍රාමයේ වැදගත් සාධකයක්.

19. අහසින් පාත්වන මාරයා - Explosive Shells
19 Explosive Shells      අත්බෝම්බයකට වඩා විශාල බෝම්බ සෑදිය හැකි බවත්, ඒවා කාලතුවක්කු උණ්ඩ, මෝටාර් උණ්ඩ, ගුවනින් හෙලන බෝම්බ, ආදී විවිධ වේශයෙන් පාවිච්චි කළහැකි බවත්, මිනිසා සොයාගත්තේ, 19 වැනි සියවසේ මුල්භාගයෙදීයි. අද එය කොපමණ දියුණුවී පවතින්නේද යන්න, මම මීට පෙර ඔබ සමග සාකච්ඡා කර තිබෙනවා. ඝන ආවරණයක් තුළ, විවිධ පුපුරන ද්‍රව්‍ය සහ විද්‍යුත් උපකරණ, ඇටවුමක් සකසා, එය තම අභිමතය පරිදි පුපුරා යාමට සැලැස්වීමේ ක්‍රියාවලිය, ලෝක යුද ඉතිහාසයට එක්වූ නවතම සංකල්පයක් මෙන්ම, අද දක්වාම යුද්ධයේ තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබෙනවා. මෙය දිනෙන් දිනම වැඩි දියුණු කරමින් පවතින අවි ප්‍රබෙදයක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. න්‍යෂ්ටික බෝම්බ සහ විද්‍යුත් බෝම්බ මෙහි අග්‍ර ඵලයයන් ලෙස හඳුන්වන්නට පුළුවන්. 






20. කාර්ක්‍ෂම සේවකයා - Minie Rifle
     මේ තුවක්කුවේ නම උච්ඡාරණය කරන්නේ 'මිනියේන්' යනුවෙන්. එය ප්‍රංශ භාෂාවෙන් බිඳී ආ වචනයක්. මේ තුවක්කුවට ඒ නම ලැබී තිබෙන්නේ, 19 වැනි සියවසේ මැද භාගයේදී, මේ තුවක්කුව නිපදවූ, ප්‍රංශ ජාතික හමුදා කපිතන් මිනියේන්  සිහිවීම පිණිසයි. මේ තුවක්කුවේ විශේෂත්වය කුමක්ද? මුල් කාලයේදී ලෝකයේ බහුලව භාවිතවූ තුවක්කු වර්ගය තිබුනා 'මස්කට් - Musket' යනුවෙන් හැඳින්වෙන. (අර ස්වීට් හවුස් වලින් ගෙනල්ලා කන Muscat නෙවෙයි ඈ) මේ තුවක්කුවේ විශේෂත්වය වන්නේ එතෙක් කල් පාවිච්චි කළ මූනිස්සම් වෙනුවට ඊයම් වලින් සැකසු තනි උණ්ඩයක් මේ මගින් වෙඩි තැබීමට හැකිවීමයි. එවැනි උණ්ඩයකින් සතුරන්ට අත්වුයේ භයානක ඉරණමක් වන අතර, විනාඩියකට වෙඩි තැබිය හැකි වාර ගණනද මැච්ලොක් සහ ෆ්ලින්ට්ලොක් තුවක්කු වලට වඩා වැඩි වුනා. නිරවද්‍යතාවද ඉහළ මට්ටමක පැවතුණා. ලෝක සංග්‍රාම වලදී කැපී පෙනෙන වැදගත් අවියක් ලෙස මෙය ඉතිහාසයට එක්වෙනවා. මීට සමාන අවියකින් වෙඩි තියන හැටි පහත දැක්වෙන වීඩියෝවෙන් බලන්න.

මේ වනවිට අපි අවි 20ක් පිළිබඳව සාකච්ඡා කර අවසන්. මීළඟ කොටසේදී තවත් අවි වර්ග ගැන සලකා බලමු.
ඡායාරූප ලබාගත් මූලාශ්‍ර
  • http://en.wikipedia.org/wiki/List_of_common_World_War_II_infantry_weapons
  • http://en.wikipedia.org/wiki/Chariot
  • http://en.wikipedia.org/wiki/Greek_fire
  • http://en.wikipedia.org/wiki/Gunpowder
  • http://en.wikipedia.org/wiki/Explosive_mine
my-signature-for-blog[1]      2014 ජනවාරි මස 31 දින 1356 පැය

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }