හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

18 January 2016

යළිත් හිස ඔසවන තුවක්කු සංස්කෘතියට මොකද කරන්නේ?

no-guns
 මෑත කාලයේදී, අපේ රටේ, ගිනි අවි වලින් කෙරෙන මිනීමැරුම් සහ අපරාධවල යම්කිසි වැඩිවීමක් නිරීක්ෂණය වෙනවා. බැංකු, ඉන්ධනහල්, සුපිරි වෙළඳසල් මංකොල්ලකෑම වගේම, මිනීමැරුම් සෑහෙන සංඛ්‍යාවක් සිදුවී තිබෙනවා. මේ තත්වය ආශ්‍රිතව ඉතා හොඳ විග්‍රහයක්, ප්‍රවීණ හමුදා නිලධාරියකු මෙන්ම, හමුදා කටයුතු පිලිබඳ පුවත්පත් ලිපි රචකයකු වන, කර්නල් සුසන්ත සෙනෙවිරත්න විසින්, රූපවාහිනී ප්‍රවෘත්ති විකාශනයකදී ඉදිරිපත් කළා. එහිදී ඔහු සඳහන් කළ ඉතා වැදගත් තොරතුරු සහ, මේ තත්වය සම්බන්ධ මගේ නිරීක්‍ෂණයන්ද පදනම් කරගනිමින්, මේ ලිපිය ඔබවෙත ගෙන එනවා.


The Gun

   අපේ රටේ තුවක්කු සංස්කෘතියට දිගු ඉතිහාසයක් තිබෙනවා. පළමුවරට, අපේ රටේ දී, ගිනි අවියකින් කළ මිනීමැරුමක් පිලිබඳ, ආන්දෝලනාත්මක සිද්ධිය වන්නේ, අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමේ සිද්ධියයි. මෙයින් පෙනෙන්නේ, 1950 දශකයේදී වුවද, සුළු පරිමාණයෙන් හෝ, සැඟවුණ ගිනි අවි මේ රටේ තිබුන බවයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, ධනවත් බලවත් පුද්ගලයන් අත, බලපත්‍ර සහිතව හෝ රහිතව,  ගිනිඅවි තිබුණා. වතු අධිකාරී වැනි වෘත්තීන්හි නිරත අයට, ගිනි අවි පරිහරණය සඳහා බලපත්‍ර ලැබුණා.

   දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව, අපේ රටේ, මහා පරිමාණයෙන් ගිනි අවි හරඹ සිදුවුණේ, 1971 කැරැල්ලේදී බව අපි දන්නවා. ඒ කැරැල්ල ආරම්භවීමට ආසන්න වකවානුවේදී, විවිධ පුද්ගලයන් සහ ආයතන සතුව තිබුණු, බලපත්‍ර සහිත ගිනි අවි වලින්, සැළකියයුතු ප්‍රමාණයක්, ජවිපෙ විසින් පැහැරගනු ලැබුවා. ඒ හැර, රජයේ නියෝග පරිදි, ග්‍රාමසේවා නිළධාරීන් සහ පොලීසිය එක්ව, බලපත්‍රලාභීන් සතු ගිනි අවි, පොලීසිය වෙත භාරගත්තා, ආරක්ෂාව සඳහා. නමුත්, එම ගිනි අවි වලින් සෑහෙන ප්‍රමාණයකට සිදුවූ දෙය, පසු කාලයේදී සොයාගන්නට නොහැකි වුණා. මගේ පියා සතුව තිබුණු, බලපත්‍රය සහිත බෝර් 12 තුවක්කුවට ද, පොලීසියට භාරදීමෙන් පසු, එම ඉරණම ම අත්වුණා. එය ආපසු ඉල්ලා සිටීමේදී, විවිධ ප්‍රශ්න පැනනැගී අප්‍රසන්න තත්වයකට පත් මගේ පියා, අවසානයේදී, තුවක්කුව ආපසු ඉල්ලීමේ අදහස අතහැර දැම්මා. එලෙස, ලංකාවේම තුවක්කු කීයක් ආපසු නොදෙන්නට ඇද්ද? ඒ තුවක්කු අද ඇත්තේ කොහේද? 

   ද්‍රවිඩ සන්නද්ධ සංවිධාන, උතුරු නැගෙනහිර පළාත්වල හිස එසවීමත් සමග, රාජ්‍ය ආයතන, තිවිධ හමුදාව සහ පොලීසිය සතු ගිනි අවි පැහැරගැනීම වැඩිවුණා. ඒ අතරම ඔවුන්, පිටරටින් හොරෙන් අවි ගෙන ඒමද බහුලව සිදුවුණා. 1988 - 89 ජවිපෙ දෙවැනි කැරැල්ලේදී ද, ඔවුන් අතට සෑහෙන අවි සංඛ්‍යාවක් පත්වුණා.  අපේ රටට මහත් ව්‍යසනයක් ගෙනදිය හැකි බවට පැහැදිළිවම පෙනීයන, තුවක්කු සංස්කෘතියක් මේ රටේ ඇතිවීම සඳහා කෙළින්ම බලපාන, සැඟවී තිබෙන අවි අති විශාල ගණනක් එකතුවුණේ, 1983 - 2009 දක්වා කාලය තුළ, මේ රටේ පැවති සංග්‍රාමික තත්වයයි. මේ කාලය තුළ අපේ රටේ ගිනි අවි නීතිය සහ ගිනි අවි විනය අන්තයටම පිරිහුණ බවයි, මා හිතන්නේ.

   LTTE ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදිමින්, ගම්බිම් ආරක්‍ෂා කරගැනීමේ පරමාර්ථයෙන් පිහිටුවන ලද, එවකට ග්‍රාමාරක්‍ෂක සේවය වශයෙන් හැඳින්වුන සන්නද්ධ සේවයේ අයට, රජයෙන් ලබාදී තිබුණු තුවක්කු, සෑමවිටම තිබුණේ ඔවුන් අතේමයි. රාජකාරියෙන් මිදුන පසුත්, යළි රාජකාරියට යනතුරු, කුඹුරට, හේනට, කඩේට, මරණෙට, මඟුලට ගියෙත්, අවිය දරාගෙනමයි. එක නිවසකින් සාමාජිකයන් කීප දෙනෙකු, ග්‍රාමාරක්‍ෂක සේවයට බැඳී සිටියේ නම්, ඒ හා සමාන අවි ප්‍රමාණයක්, ඒ නිවසේ තිබුණා. මෙයින්, සමහර අවස්ථා වලදී, පවුල් ආරවුල් විසඳීම, ගැටවර වියේ දරුවන්, අවි පරිහරණයට ගොස් අනතුරු සිදුකරගැනීම, අනවසර සතුන් දඩයම, (දඩමස් විකිණීමට පමණක් නොව, ලොකු මහත්වරුන්ගේ/දේසපාලුවන්ගේ සාද සඳහා මස් සැපයීම)  පමණක් නොව, අවි අතුරුදහන් වූ අවස්ථා ද තිබුණා. මෙම සේවය පිහිටුවීමේ පරමාර්ථය හොඳ එකක් වුණත්, එහි අනිටු ඵල විපාකත් සෑහෙන්න තිබුණා. 

   1988 - 89 කාලයේදී, මේ රටේ ඇතිවූ භීෂණකාරී තත්වය නිසා, දේශපාලනඥයන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්ට පෞද්ගලික අවි මෙන්ම, ඔවුන්ගේ ආරක්ෂාවට සිටි අයටද, අවි නිකුත් කළා. මේ අවි වලින් සැළකිය යුතු ප්‍රමාණයක්, පසුකාලීනව අතුරුදහන් වුණා. එමෙන්ම, මේ තත්වය යටතේ, සමහර දේශපාලනඥයන්, යුද්ධ කටයුතු සඳහා පමණක් පාවිච්චි කරන අවි, පිටරටින් ගෙන්වා ගත්තා. ඒ සඳහා අවසර ලැබුනේ කෙසේද? එම දේශපාලනඥයන්, දේශපාලනයෙන් ඉවත්වීමෙන් පසු, එම අවි වලට සිදුවුයේ කුමක්ද? යන්න අබිරහසක්.

   අද ජීවතුන් අතර නැති, ඌව පළාතේ සිටි කුප්‍රකට දේශපාලනඥයකු, ඔහු පිටරටින් ගෙන්වාගත්, එකවර පතරොම් 200 ක් යෙදිය හැකි, ඇමරිකාවේ නිෂ්පාදිත, එවකට ශ්‍රීලංකා ත්‍රිවිධ හමුදාවේ වත් නොතිබුණු මැෂින් තුවක්කුවක්, බොහොම උජාරුවෙන් මට පෙන්නුවා.  මේ පිළිබඳව මා, එවකට ඒ පළාතේ සිටි ජ්‍යොෂ්ඨ හමුදා නිලධාරියකුට වාර්තා කළත්, පලක් වුනේ නැහැ. මේ අවිය සහ මේ ආකාරයටම ගෙන්වාගන්නට ඇතැයි සිතිය හැකි තවත් අවි සෑහෙන ප්‍රමාණයක්, අද ඇත්තේ කොහේද? මේ අකාරයටම, දේශපාලන බලපුළුවන්කාරකම මත අදත් කොපමණ අවි ගෙන්වනවා ඇද්ද? එම අවියට සමාන අවියක පින්තූරයක්, පහත දක්වනවා. 


Twin Mag

   සිතා බලන්න, 1988 - 89 කාලයේදී මෙවැනි අවියකින්, මේ දේශපාලුවා කරන්නට හැදුවේ කුමක්ද?

   ඊලාම් යුද්ධය පැවති අවධියේදී, ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට, එවකට ග්‍රාමාරක්ෂක සේවයට, අයත් අවි සෑහෙන ප්‍රමාණයක්, ත්‍රස්තවාදී ප්‍රහාර වලින් අහිමි වුණා. එමෙන්ම, ත්‍රස්තවාදීන් වෙත, ත්‍රිවිධ හමුදාව විසින් එල්ල කළ ප්‍රහාර වලින්, ඔවුන්ගේ අවි සැහෙන ප්‍රමාණයක් අල්ලා ගන්නට හැකිවුණා. 1988 - 89 කාලයේදී, ජවිපෙ සතුව තිබී අල්ලාගත් අවි සමහරක්, ආගිය අතක් නැති බවට කතා පැතිරුණා. තිත්ත ඇත්තක් වන්නේ, අල්ලාගන්නා ලද අවි වලින් කීපයක් හෝ යටිමඩි ගසාගෙන, පසුව ඒවා පාතාලයට විකිණීම සහ, තවත් සමහරක් තමන්ගේ පරිහරණය සඳහා සඟවාගත් බවයි.

   මෙවැනි ක්‍රියා කරන්නට, ඒ කාලේ, ආරක්ෂක හමුදාවන්ට සහ පොලීසියට, ඕනෑතරම් ඉඩකඩ තිබුණා. ඊලාම් යුද්ධය පවතිද්දී, අවි පරිහරණය පිළිබඳ විනය, සෑහෙන්න පහත වැටුණා. අවිවල ආරක්ෂාව බොහෝදුරට හීන වුණා. භටපිරිස් ඌනතාවය, ගබඩා පහසුකම් හොඳ තත්වයේ නොතිබීම, නිතර පරීක්ෂාකර බලා, සෑම අවියක්ම නිරුපද්‍රිතව තිබෙන බවට තහවුරු කිරීමේ හමුදා පිළිවෙත, සමහර අවස්ථාවලදී ප්‍රයෝගිකව ක්‍රියාත්මක නොකොට, පොත්පත් වල යොදන සටහන් වලට පමණක් සීමාවීම, වැනි හේතු නිසා, අවි අස්ථානගතවීම් සිදුවුණා.

   1998 වර්ෂයේදී, උතුරු සටන් පෙරමුණ බිඳවැටීම නිසා පසුපසට පැමිණි, ත්‍රිවිධ හමුදාවේ සමහර  භටපිරිස්, විවිධ හේතු නිසා, තම අවි හැරදමා පැමිණියා. මෙයින් සමහර අවි, LTTE ත්‍රස්තවාදීන් හැර, වෙනත් පුද්ගලයන් අතටද පත්වන්නට ඇතැයි, සෑහෙන විශ්වාසයකින් යුතුව උපකල්පනය කළහැකියි. සිදුවුයේ කුමක්ද යන්න සොයාගත නොහැකි අවි, සෑහෙන ප්‍රමාණයක්, ත්‍රිවිධ හමුදාවේම වාර්තා වල ඇතැයි මා සිතනවා. පාතාලය වෙත අවි සැපයීමේ ජාවාරම් සිදුවන බවට, දූෂමාන ආරංචි, ඒ කාලේ සෑහෙන්න පැතිරී තිබුණා.

   අනවසරයෙන් අවි රැගෙන ගිය හමුදා සාමාජිකයන් සෑහෙන ගණනක්, මාර්ග බාධක වලදී අල්ලාගනු ලැබුණා. එලෙස හසු නොවූ අය කොපමණ ඉන්නට ඇද්ද? උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිට ප්‍රධාන නගර සහ හමුදා/පොලිස් මාර්ග බාධක ස්ථාන සහ මුරපොළ මගහැර, දිවයිනේ දකුණු පළාත්වලට යාහැකි වනගත අතුරු මාර්ග තිබුණා. එම මාර්ග ඔස්සේ, කෙබඳු දේවල් ප්‍රවාහනය කරන්නට ඇද්දැයි සිතාගත නොහැකියි. 

   මේ විස්තරය තවත් දීර්ඝව ඉදිරියට කරගෙන යා හැකි නමුත්, මා එය මෙතනින් නවත්වා, ගිනි අවි පාලනය සහ තුවක්කු සංස්කෘතියක් ඇති නොවීම සඳහා, මා යෝජනා කරන පියවර, පහත දක්වනවා.

  • යුද්ධය අවසන්වීමෙන් පසු, අවි සම්බන්ධ ගණනය කිරීම්, නැවත සලකා බැලීමක් කළයුතුයි. ඒ සඳහා, පහත දැක්වෙන කරුණු පදනම් කරගත යුතුයි.

  • LTTE සංවිධානය සතුව කොපමණ අවි සංඛ්‍යාවක් තිබෙන්නට ඇද්ද, එයින් කොපමණක් අල්ලා ගත්තාද, කොපමණක් හානියට පත්වන්නට ඇද්ද, අපෙන් අල්ලාගත් අවි කොපමණ සංඛ්‍යාවක්, LTTE ය සතුව තිබෙන්නට ඇද්ද, එම අවි වල අනුක්‍රමික අංක මගින්, ඒවා අපේ අවි බව තහවුරු වුණාද? (අපේ හමුදා වෙනුවෙන් ගෙන්වූ සියලුම අවි සම්බන්ධ අංක, ත්‍රිවිධ හමුදාව සතුව තිබෙනවා) අපේ නොවන අවි (LTTE ය සතු) අවි කොපමණක් යුද්ධයෙන් පසු හමුවුනාද, LTTE ය පාවිච්චි කළ අවි, යුද්ධය පැරදීගෙන එද්දී, මතු පාවිච්චිය සඳහා වලදමා හෝ  මුහුද යට සඟවා හෝ ඇතැයි සිතෙන, තොරතුරු ලැබුණ සෑම තැනක්ම, නිසැකවම පරීක්ෂා කළාද?  සෑහෙන අවි ප්‍රමාණයක් මෙලෙස සොයාගත් නමුත්, එසේ සොයාගත් අවි ප්‍රමාණය ගැන සෑහීමකට පත්විය නොහැකි බවයි, මගේ අදහස. 



   රූපය මත ක්ලික් කර, විශාල කර බලන්න. ඉහත දැක්වෙන්නේ, පිළිගත් අවි නිෂ්පාදකයකු විසින්, විවෘත වෙළඳපොලට ඉදිරිපත්කරන අවියක සඳහන් තොරතුරුයි. නමුත්, මෙහි සඳහන් සෑම තොරතුරක්ම, සෑම පිළිගත් අවි නිෂ්පාදකයකු විසින්ම, සඳහන් කරන්නේ නැහැ. එහෙත්, අවියේ අනුක්‍රමික අංකය සහ නිෂ්පාදකයා හඳුනා ගැනීමේ වචන හෝ සංකේත, අනිවාර්යයෙන් යොදනවා.

   එමෙන්ම ඒවා විකිණීමේදී, එම අවි නිෂ්පාදකයන් වාර්තා තබාගන්නවා, කොයි කාලයේදී කාටද මේ අවි විකිණුවේ කියා. එසේ කිරීම නීතියක්. හොර අවි වෙළෙඳුන් පමණයි, එසේ නොකරන්නේ. මේ නිසා, යම් අවියක අනන්‍යතාව ගැන ගැටළුවක් ඇත්නම්, එම අවියේ ඇති අංක සහ සලකුණු, එම අවිය නිෂ්පාදනය කරන්නට ඇතැයි සිතන රටට යවා තහවුරු කරගත හැකියි, කවදා කාටද එම අවිය විකිණුවේ කියා.

   දැනට පොලීසිය විසින් විවිධ අවස්ථා වලදී අත්අඩංගුවට ගන්නා අවි, දැඩි පරීක්ෂාවකට ලක්කර, ඒවායේ අනන්‍යතාව තහවුරු කරගත යුතුයි. ඒවා ත්‍රිවිධ හමුදාවට, පොලීසියට, බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හෝ අවි පරිහරණය කරන වෙනත් රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ආයතනයකට අයත්දැයි සොයාබලා, එවැනි අංශයකට අයත්නම්, එම අවිය නැතිවීම පිලිබඳ අදාළ අංශ වෙතින්, මෙතෙක් කල් ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිළි කරගත යුතුයි. ක්‍රියාමාර්ග ගෙන නැතිනම්, එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගතයුතුයි.

  • ආරක්ෂක කමුදා කඳවුරු වල ඇති අවි, කුළී ගෙවීමේ පදනම මත, පාතාල කල්ලි, මංකොල්ල කණ්ඩායම් (මංකොල්ලකන මුදල්/ස්වර්ණාභරණ/වැනි දේ වලින් කොටසක් දීමේ පොරොන්දුව මත) වෙත දෙන බවට තොරතුරු ඇති අතර, යටත්පිරිසෙයින් එක් වතාවක් හෝ මෙවැනි සිද්ධියක්, අගනුවරට ආසන්න කඳවුරකින්, අතටම හසුවුණා.  අදත් මේ තත්වය සම්පූර්ණයෙන් නැවතී ඇතැයි සහතිකයක් දියහැකිද?

  • ආරක්ෂක හමුදා සතු අවි/පතරොම්/බෝම්බ/අනෙකුත් වෙඩි ද්‍රව්‍ය/ පිළිබඳව සතියට වතාවක් වත් පරීක්ෂාකොට, මසකට වතාවක්වත්, ඉහළ මූලස්ථාන වෙත වාර්තා සපයනවා. අඩුපාඩු/අස්ථානගතවීම්/අක්‍රමිකතා/ වාර්තා වුවහොත්, නීත්‍යානුකූල පියවර ගන්නවා. නමුත්, ඉතා සියුම් ලෙස, අක්‍රමිකතා සිදුවීමට ඉඩ තිබෙනවා. තම අවිය නැතිකරගත් සොල්දාදුවකු, ඒ බව කඳවුරට වාර්තා නොකොට, රාජකාරියෙන් මිදී සිටින තම සගයකුගෙන් අවියක් ඉල්ලාගෙන මුර රාජකාරියේ යෙදුනු අවස්ථාවක් වරක් හසුවුණා. අත්බෝම්බයක් ගෙදර ගෙනයමින් සිටි සොල්දාදුවකු, එම බෝම්බය හදිසියෙන්ම අනුරාධපුර දුම්රිය ස්ථානයේදී පුපුරායාම නිසා ආබාධිත තත්වයට පත්වුණා. ඔහුව අපකීර්ති සහගත ලෙස හමුදාවෙන් ඉවත්කළා. ඒ එක සිද්ධියක් හෝ දෙකක් පමණයි. එවැනි සිද්ධි අදත් සිදුවනවාදැයි, ඉතා විමසිල්ලෙන් සිටිය යුතුයි. 

  • ත්‍රිවිධ හමුදාවෙන් සහ පොලීසියෙන්, බන්ධනාගාර ආරක්ෂක, සිවිල් ආරක්ෂක බලකායෙන් සහ, අවි පරිහරණය කරණ, වනජීවී, වනසංරක්‍ෂණ, වැනි දෙපාර්තමේන්තු වලින් විශ්‍රාම ගොස් සිටින, සියලුම සාමාජිකයන්ගේ තරාතිරම නොබලා, ඔවුන්ගේ නිවෙස් සහ ගෙවතු පරිශ්‍ර, දැඩි ලෙස, හදිසි පරීක්‍ෂාවකට ලක්කළ යුතුයි.

  • ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, සහ අවි පරිහරණය කරන අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආරක්ෂා සේවාවන්හි, අවි සම්බන්ධ ලේඛන සහ, දැනට සැබැවින්ම ඇති අවි/පතරොම්/බෝම්බ/වෙඩි ද්‍රව්‍ය/ ගැන, ඉතා පුළුල් සමීක්ෂණයක් කිරීම සඳහා, පූර්ණ බලැති (ඒ සඳහා තාක්‍ෂණික සහ පරිපාලන/විගණන දැනුම සහිත) විශේෂ මණ්ඩල පත්කොට, එමගින් සත්‍ය තත්වය රජයේ අවධානයට ලක්කොට, සුදුසු පියවර නොපමාව ගතයුතුයි.

  • හොර අවි තිබෙන්නේ කා ළඟද යන ප්‍රශනය පොලීසියෙන් ඇහුවොත්, ඇත්තටම පොලීසිය දන්නවා, සෑහෙන තරම් හොර අවි තියෙන්නේ කා ළඟදැයි කියන්නට. නමුත් බොහෝවිට, නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ තත්වය මත, පොලීසිය නිරුත්තරවීම/ගොලුවීම/සිදුවෙනවා. මේ තත්වය නැතිකිරීම පිණිස, මේ රටේ පුරවැසි සංවිධාන එකමුතුවී, යම් ක්‍රියාමාර්ගයක් ගතයුතුයි. බෞද්ධ භික්ෂුන් යයි කියාගන්නා සමහර අය අත ද, ගිනි අවි ඇති බව, ප්‍රසිද්ධ රහසකි.

  • LTTE සංවිධානය වෙතින් අල්ලාගත් අවි/තවදුරටත් පරිහරණය කළ නොහැකි තත්වයට පත්වී ඇති අවි/තවදුරටත් පරිහරණය කිරීමට අනවශ්‍ය, යල් පැනගිය මෝස්‌තර වලට අයත් අවි/ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නියෝජිතයන් මෙන්ම, මහේස්ත්‍රාත් වරයකුගේ අධීක්‍ෂණය යටතේ, යකඩ වලට උණුකිරීම කළ යුතුයි.

  • ඉන්දියාවේ නිෂ්පාදිත, අලුත්ම මෝටර් බයිසිකල්, ජපන් බෝට්ටු එන්ජින්, සහ වෙනත් විවිධ වෙළඳ භාණ්ඩ, ලංකාවේ උතුරු සහ වයඹදිග වෙරළ තීරයට, හොරබඩු ලෙස ගෙන ඒම ප්‍රසිද්ධ රහසක්. මේ ආකාරයට අවි ආයුධ පවා එන්නට ඉඩ තිබෙනවා. පිටරටින් මෙරටට අවි ආයුධ ගෙන ඒමට හැකිවෙතැයි උපකල්පනය කරන, සෑම මාර්ගයක්ම වැසීමට, විශේෂ වැඩපිළිවෙලක් යෙදිය යුතුයි.

  • අපරාධකරුවන් අත තිබී හසුවන T 56 අවි බොහොමයක්, T 56 Mark I සහ  Mark II යන වර්ග දෙකට අයත් බව පෙනෙනවා. මෙයින්, Mark I වර්ගය, දැනට කලකට ඉහතදී, හමුදා පාවිච්චියෙන් ඉවත් කරනු ලැබුණා. එයට හේතු දෙකක් තිබුණා. එකක්, මේ අවියේ බට් හෙවත් පසුපස මිට කොටස, සම්පූර්ණයෙන් ලෝහයෙන් නිමවා, අවශ්‍ය අවස්ථාවක ඉදිරියට නැවිය හැකි ආකාරයට සකසා තිබෙන්නේ. නමුත් කල් යනවිට, මේ කොටස බුරුල්වී සෙලවෙන තත්වයට පත්වෙනවා. එය මහා කරදරයක්. දෙවැනි හේතුව එවැනි අවියක් රැගෙන, රහසිගතව යුදබිමේ යන්න බැහැ. අර කොටසෙන් 'කච කච' ගා ශබ්දයක් එනවා, හෙලවෙන විට. ඒ නිසා සොල්දාදුවන් මෙය, 'T 56 කචල් බට් මොඩල්' යනුවෙන් හැඳින්වුවා. නමුත් අපරාධ කරුවන්ට  T 56 Mark I සහ  Mark II යන අවි මෝස්‌තර දෙකම ආශිර්වාදයක්, වාසියක්. එයට හේතුව, මේ මෝස්‌තර දෙකේම මිට නැවිය හැකි නිසා, පහසුවෙන් ගමන් බෑගයක සඟවාගෙන යා හැකි වීමත්, අවශ්‍යවිට ක්‍ෂණිකව එළියට ගෙන හෝ, බෑගය තුළට අත දමා අවිය අල්ලාගෙන, වෙඩි තැබීමට හැකිවීමත් නිසයි. එම අවි මෝස්‌තර දෙක පහත දක්වනවා.














   ඉහත දක්වා ඇති තුවක්කු මෝස්‌තර දෙක, අත්‍යවශ්‍ය අවි නොවේ. ඒ නිසා, මේ මෝස්‌තර දෙක භාවිතයෙන් ඉවත් කොට, නැවිය නොහැකි, ස්ථිර මිට සහිත මෝස්තරය පමණක්, ත්‍රිවිධ හමුදාවේ භාවිතයට ගැනීම සුදුසු බව පෙනීයනවා.


   මේ මෝස්තරය පහසුවෙන් සඟවාගෙන යන්නට බැහැ, එහි දිග නිසා.

  • දැනට ලංකාව තුළ නිකුත්කර තිබෙන සෑම පෞද්ගලික ගිනි අවි බලපත්‍රයක්ම, ඉතා දැඩිව නැවත සලකා බලා, අත්‍යවශ්‍ය යයි පැහැදිළිව තහවුරු වන ගිනි අවි බලපත්‍ර පමණක් ලබාදී, සෙසු සියල්ල අවලංගු කළයුතුයි. විශේෂයෙන්ම, දේශපාලනඥයන්ට දී තිබෙන ගිනි අවි, වහාම ආපසු ලබාගත යුතුයි. නව බලපත්‍ර ලබාදීම අත්හිටුවිය යුතුයි. පසුගිය රජයයන් සමයේ, දේශපාලකයන්ට ලබාදුන් ගිනි අවි සෑහෙන ප්‍රමාණයක්, ඔවුන් දේශපාලනයෙන් ඉවත් වූ පසුවද, ආපසු ලබාදී නැහැ. මේ ගැන දැඩි ක්‍රියාමාර්ග ගතයුතුයි. 


   ඔබටත් මේ ගැන කියන්නට බොහෝ දේ ඇති. ඔබේ අදහස් ද  එකතු කරමින්, අපි සංවාදයක යෙදෙමු. 

2016 ජනවාරි මස 16 වැනි දින 2352 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }