හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

18 January 2016

යළිත් හිස ඔසවන තුවක්කු සංස්කෘතියට මොකද කරන්නේ?

no-guns
 මෑත කාලයේදී, අපේ රටේ, ගිනි අවි වලින් කෙරෙන මිනීමැරුම් සහ අපරාධවල යම්කිසි වැඩිවීමක් නිරීක්ෂණය වෙනවා. බැංකු, ඉන්ධනහල්, සුපිරි වෙළඳසල් මංකොල්ලකෑම වගේම, මිනීමැරුම් සෑහෙන සංඛ්‍යාවක් සිදුවී තිබෙනවා. මේ තත්වය ආශ්‍රිතව ඉතා හොඳ විග්‍රහයක්, ප්‍රවීණ හමුදා නිලධාරියකු මෙන්ම, හමුදා කටයුතු පිලිබඳ පුවත්පත් ලිපි රචකයකු වන, කර්නල් සුසන්ත සෙනෙවිරත්න විසින්, රූපවාහිනී ප්‍රවෘත්ති විකාශනයකදී ඉදිරිපත් කළා. එහිදී ඔහු සඳහන් කළ ඉතා වැදගත් තොරතුරු සහ, මේ තත්වය සම්බන්ධ මගේ නිරීක්‍ෂණයන්ද පදනම් කරගනිමින්, මේ ලිපිය ඔබවෙත ගෙන එනවා.


The Gun

   අපේ රටේ තුවක්කු සංස්කෘතියට දිගු ඉතිහාසයක් තිබෙනවා. පළමුවරට, අපේ රටේ දී, ගිනි අවියකින් කළ මිනීමැරුමක් පිලිබඳ, ආන්දෝලනාත්මක සිද්ධිය වන්නේ, අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමේ සිද්ධියයි. මෙයින් පෙනෙන්නේ, 1950 දශකයේදී වුවද, සුළු පරිමාණයෙන් හෝ, සැඟවුණ ගිනි අවි මේ රටේ තිබුන බවයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, ධනවත් බලවත් පුද්ගලයන් අත, බලපත්‍ර සහිතව හෝ රහිතව,  ගිනිඅවි තිබුණා. වතු අධිකාරී වැනි වෘත්තීන්හි නිරත අයට, ගිනි අවි පරිහරණය සඳහා බලපත්‍ර ලැබුණා.

   දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව, අපේ රටේ, මහා පරිමාණයෙන් ගිනි අවි හරඹ සිදුවුණේ, 1971 කැරැල්ලේදී බව අපි දන්නවා. ඒ කැරැල්ල ආරම්භවීමට ආසන්න වකවානුවේදී, විවිධ පුද්ගලයන් සහ ආයතන සතුව තිබුණු, බලපත්‍ර සහිත ගිනි අවි වලින්, සැළකියයුතු ප්‍රමාණයක්, ජවිපෙ විසින් පැහැරගනු ලැබුවා. ඒ හැර, රජයේ නියෝග පරිදි, ග්‍රාමසේවා නිළධාරීන් සහ පොලීසිය එක්ව, බලපත්‍රලාභීන් සතු ගිනි අවි, පොලීසිය වෙත භාරගත්තා, ආරක්ෂාව සඳහා. නමුත්, එම ගිනි අවි වලින් සෑහෙන ප්‍රමාණයකට සිදුවූ දෙය, පසු කාලයේදී සොයාගන්නට නොහැකි වුණා. මගේ පියා සතුව තිබුණු, බලපත්‍රය සහිත බෝර් 12 තුවක්කුවට ද, පොලීසියට භාරදීමෙන් පසු, එම ඉරණම ම අත්වුණා. එය ආපසු ඉල්ලා සිටීමේදී, විවිධ ප්‍රශ්න පැනනැගී අප්‍රසන්න තත්වයකට පත් මගේ පියා, අවසානයේදී, තුවක්කුව ආපසු ඉල්ලීමේ අදහස අතහැර දැම්මා. එලෙස, ලංකාවේම තුවක්කු කීයක් ආපසු නොදෙන්නට ඇද්ද? ඒ තුවක්කු අද ඇත්තේ කොහේද? 

   ද්‍රවිඩ සන්නද්ධ සංවිධාන, උතුරු නැගෙනහිර පළාත්වල හිස එසවීමත් සමග, රාජ්‍ය ආයතන, තිවිධ හමුදාව සහ පොලීසිය සතු ගිනි අවි පැහැරගැනීම වැඩිවුණා. ඒ අතරම ඔවුන්, පිටරටින් හොරෙන් අවි ගෙන ඒමද බහුලව සිදුවුණා. 1988 - 89 ජවිපෙ දෙවැනි කැරැල්ලේදී ද, ඔවුන් අතට සෑහෙන අවි සංඛ්‍යාවක් පත්වුණා.  අපේ රටට මහත් ව්‍යසනයක් ගෙනදිය හැකි බවට පැහැදිළිවම පෙනීයන, තුවක්කු සංස්කෘතියක් මේ රටේ ඇතිවීම සඳහා කෙළින්ම බලපාන, සැඟවී තිබෙන අවි අති විශාල ගණනක් එකතුවුණේ, 1983 - 2009 දක්වා කාලය තුළ, මේ රටේ පැවති සංග්‍රාමික තත්වයයි. මේ කාලය තුළ අපේ රටේ ගිනි අවි නීතිය සහ ගිනි අවි විනය අන්තයටම පිරිහුණ බවයි, මා හිතන්නේ.

   LTTE ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදිමින්, ගම්බිම් ආරක්‍ෂා කරගැනීමේ පරමාර්ථයෙන් පිහිටුවන ලද, එවකට ග්‍රාමාරක්‍ෂක සේවය වශයෙන් හැඳින්වුන සන්නද්ධ සේවයේ අයට, රජයෙන් ලබාදී තිබුණු තුවක්කු, සෑමවිටම තිබුණේ ඔවුන් අතේමයි. රාජකාරියෙන් මිදුන පසුත්, යළි රාජකාරියට යනතුරු, කුඹුරට, හේනට, කඩේට, මරණෙට, මඟුලට ගියෙත්, අවිය දරාගෙනමයි. එක නිවසකින් සාමාජිකයන් කීප දෙනෙකු, ග්‍රාමාරක්‍ෂක සේවයට බැඳී සිටියේ නම්, ඒ හා සමාන අවි ප්‍රමාණයක්, ඒ නිවසේ තිබුණා. මෙයින්, සමහර අවස්ථා වලදී, පවුල් ආරවුල් විසඳීම, ගැටවර වියේ දරුවන්, අවි පරිහරණයට ගොස් අනතුරු සිදුකරගැනීම, අනවසර සතුන් දඩයම, (දඩමස් විකිණීමට පමණක් නොව, ලොකු මහත්වරුන්ගේ/දේසපාලුවන්ගේ සාද සඳහා මස් සැපයීම)  පමණක් නොව, අවි අතුරුදහන් වූ අවස්ථා ද තිබුණා. මෙම සේවය පිහිටුවීමේ පරමාර්ථය හොඳ එකක් වුණත්, එහි අනිටු ඵල විපාකත් සෑහෙන්න තිබුණා. 

   1988 - 89 කාලයේදී, මේ රටේ ඇතිවූ භීෂණකාරී තත්වය නිසා, දේශපාලනඥයන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්ට පෞද්ගලික අවි මෙන්ම, ඔවුන්ගේ ආරක්ෂාවට සිටි අයටද, අවි නිකුත් කළා. මේ අවි වලින් සැළකිය යුතු ප්‍රමාණයක්, පසුකාලීනව අතුරුදහන් වුණා. එමෙන්ම, මේ තත්වය යටතේ, සමහර දේශපාලනඥයන්, යුද්ධ කටයුතු සඳහා පමණක් පාවිච්චි කරන අවි, පිටරටින් ගෙන්වා ගත්තා. ඒ සඳහා අවසර ලැබුනේ කෙසේද? එම දේශපාලනඥයන්, දේශපාලනයෙන් ඉවත්වීමෙන් පසු, එම අවි වලට සිදුවුයේ කුමක්ද? යන්න අබිරහසක්.

   අද ජීවතුන් අතර නැති, ඌව පළාතේ සිටි කුප්‍රකට දේශපාලනඥයකු, ඔහු පිටරටින් ගෙන්වාගත්, එකවර පතරොම් 200 ක් යෙදිය හැකි, ඇමරිකාවේ නිෂ්පාදිත, එවකට ශ්‍රීලංකා ත්‍රිවිධ හමුදාවේ වත් නොතිබුණු මැෂින් තුවක්කුවක්, බොහොම උජාරුවෙන් මට පෙන්නුවා.  මේ පිළිබඳව මා, එවකට ඒ පළාතේ සිටි ජ්‍යොෂ්ඨ හමුදා නිලධාරියකුට වාර්තා කළත්, පලක් වුනේ නැහැ. මේ අවිය සහ මේ ආකාරයටම ගෙන්වාගන්නට ඇතැයි සිතිය හැකි තවත් අවි සෑහෙන ප්‍රමාණයක්, අද ඇත්තේ කොහේද? මේ අකාරයටම, දේශපාලන බලපුළුවන්කාරකම මත අදත් කොපමණ අවි ගෙන්වනවා ඇද්ද? එම අවියට සමාන අවියක පින්තූරයක්, පහත දක්වනවා. 


Twin Mag

   සිතා බලන්න, 1988 - 89 කාලයේදී මෙවැනි අවියකින්, මේ දේශපාලුවා කරන්නට හැදුවේ කුමක්ද?

   ඊලාම් යුද්ධය පැවති අවධියේදී, ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට, එවකට ග්‍රාමාරක්ෂක සේවයට, අයත් අවි සෑහෙන ප්‍රමාණයක්, ත්‍රස්තවාදී ප්‍රහාර වලින් අහිමි වුණා. එමෙන්ම, ත්‍රස්තවාදීන් වෙත, ත්‍රිවිධ හමුදාව විසින් එල්ල කළ ප්‍රහාර වලින්, ඔවුන්ගේ අවි සැහෙන ප්‍රමාණයක් අල්ලා ගන්නට හැකිවුණා. 1988 - 89 කාලයේදී, ජවිපෙ සතුව තිබී අල්ලාගත් අවි සමහරක්, ආගිය අතක් නැති බවට කතා පැතිරුණා. තිත්ත ඇත්තක් වන්නේ, අල්ලාගන්නා ලද අවි වලින් කීපයක් හෝ යටිමඩි ගසාගෙන, පසුව ඒවා පාතාලයට විකිණීම සහ, තවත් සමහරක් තමන්ගේ පරිහරණය සඳහා සඟවාගත් බවයි.

   මෙවැනි ක්‍රියා කරන්නට, ඒ කාලේ, ආරක්ෂක හමුදාවන්ට සහ පොලීසියට, ඕනෑතරම් ඉඩකඩ තිබුණා. ඊලාම් යුද්ධය පවතිද්දී, අවි පරිහරණය පිළිබඳ විනය, සෑහෙන්න පහත වැටුණා. අවිවල ආරක්ෂාව බොහෝදුරට හීන වුණා. භටපිරිස් ඌනතාවය, ගබඩා පහසුකම් හොඳ තත්වයේ නොතිබීම, නිතර පරීක්ෂාකර බලා, සෑම අවියක්ම නිරුපද්‍රිතව තිබෙන බවට තහවුරු කිරීමේ හමුදා පිළිවෙත, සමහර අවස්ථාවලදී ප්‍රයෝගිකව ක්‍රියාත්මක නොකොට, පොත්පත් වල යොදන සටහන් වලට පමණක් සීමාවීම, වැනි හේතු නිසා, අවි අස්ථානගතවීම් සිදුවුණා.

   1998 වර්ෂයේදී, උතුරු සටන් පෙරමුණ බිඳවැටීම නිසා පසුපසට පැමිණි, ත්‍රිවිධ හමුදාවේ සමහර  භටපිරිස්, විවිධ හේතු නිසා, තම අවි හැරදමා පැමිණියා. මෙයින් සමහර අවි, LTTE ත්‍රස්තවාදීන් හැර, වෙනත් පුද්ගලයන් අතටද පත්වන්නට ඇතැයි, සෑහෙන විශ්වාසයකින් යුතුව උපකල්පනය කළහැකියි. සිදුවුයේ කුමක්ද යන්න සොයාගත නොහැකි අවි, සෑහෙන ප්‍රමාණයක්, ත්‍රිවිධ හමුදාවේම වාර්තා වල ඇතැයි මා සිතනවා. පාතාලය වෙත අවි සැපයීමේ ජාවාරම් සිදුවන බවට, දූෂමාන ආරංචි, ඒ කාලේ සෑහෙන්න පැතිරී තිබුණා.

   අනවසරයෙන් අවි රැගෙන ගිය හමුදා සාමාජිකයන් සෑහෙන ගණනක්, මාර්ග බාධක වලදී අල්ලාගනු ලැබුණා. එලෙස හසු නොවූ අය කොපමණ ඉන්නට ඇද්ද? උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිට ප්‍රධාන නගර සහ හමුදා/පොලිස් මාර්ග බාධක ස්ථාන සහ මුරපොළ මගහැර, දිවයිනේ දකුණු පළාත්වලට යාහැකි වනගත අතුරු මාර්ග තිබුණා. එම මාර්ග ඔස්සේ, කෙබඳු දේවල් ප්‍රවාහනය කරන්නට ඇද්දැයි සිතාගත නොහැකියි. 

   මේ විස්තරය තවත් දීර්ඝව ඉදිරියට කරගෙන යා හැකි නමුත්, මා එය මෙතනින් නවත්වා, ගිනි අවි පාලනය සහ තුවක්කු සංස්කෘතියක් ඇති නොවීම සඳහා, මා යෝජනා කරන පියවර, පහත දක්වනවා.

  • යුද්ධය අවසන්වීමෙන් පසු, අවි සම්බන්ධ ගණනය කිරීම්, නැවත සලකා බැලීමක් කළයුතුයි. ඒ සඳහා, පහත දැක්වෙන කරුණු පදනම් කරගත යුතුයි.

  • LTTE සංවිධානය සතුව කොපමණ අවි සංඛ්‍යාවක් තිබෙන්නට ඇද්ද, එයින් කොපමණක් අල්ලා ගත්තාද, කොපමණක් හානියට පත්වන්නට ඇද්ද, අපෙන් අල්ලාගත් අවි කොපමණ සංඛ්‍යාවක්, LTTE ය සතුව තිබෙන්නට ඇද්ද, එම අවි වල අනුක්‍රමික අංක මගින්, ඒවා අපේ අවි බව තහවුරු වුණාද? (අපේ හමුදා වෙනුවෙන් ගෙන්වූ සියලුම අවි සම්බන්ධ අංක, ත්‍රිවිධ හමුදාව සතුව තිබෙනවා) අපේ නොවන අවි (LTTE ය සතු) අවි කොපමණක් යුද්ධයෙන් පසු හමුවුනාද, LTTE ය පාවිච්චි කළ අවි, යුද්ධය පැරදීගෙන එද්දී, මතු පාවිච්චිය සඳහා වලදමා හෝ  මුහුද යට සඟවා හෝ ඇතැයි සිතෙන, තොරතුරු ලැබුණ සෑම තැනක්ම, නිසැකවම පරීක්ෂා කළාද?  සෑහෙන අවි ප්‍රමාණයක් මෙලෙස සොයාගත් නමුත්, එසේ සොයාගත් අවි ප්‍රමාණය ගැන සෑහීමකට පත්විය නොහැකි බවයි, මගේ අදහස. 



   රූපය මත ක්ලික් කර, විශාල කර බලන්න. ඉහත දැක්වෙන්නේ, පිළිගත් අවි නිෂ්පාදකයකු විසින්, විවෘත වෙළඳපොලට ඉදිරිපත්කරන අවියක සඳහන් තොරතුරුයි. නමුත්, මෙහි සඳහන් සෑම තොරතුරක්ම, සෑම පිළිගත් අවි නිෂ්පාදකයකු විසින්ම, සඳහන් කරන්නේ නැහැ. එහෙත්, අවියේ අනුක්‍රමික අංකය සහ නිෂ්පාදකයා හඳුනා ගැනීමේ වචන හෝ සංකේත, අනිවාර්යයෙන් යොදනවා.

   එමෙන්ම ඒවා විකිණීමේදී, එම අවි නිෂ්පාදකයන් වාර්තා තබාගන්නවා, කොයි කාලයේදී කාටද මේ අවි විකිණුවේ කියා. එසේ කිරීම නීතියක්. හොර අවි වෙළෙඳුන් පමණයි, එසේ නොකරන්නේ. මේ නිසා, යම් අවියක අනන්‍යතාව ගැන ගැටළුවක් ඇත්නම්, එම අවියේ ඇති අංක සහ සලකුණු, එම අවිය නිෂ්පාදනය කරන්නට ඇතැයි සිතන රටට යවා තහවුරු කරගත හැකියි, කවදා කාටද එම අවිය විකිණුවේ කියා.

   දැනට පොලීසිය විසින් විවිධ අවස්ථා වලදී අත්අඩංගුවට ගන්නා අවි, දැඩි පරීක්ෂාවකට ලක්කර, ඒවායේ අනන්‍යතාව තහවුරු කරගත යුතුයි. ඒවා ත්‍රිවිධ හමුදාවට, පොලීසියට, බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හෝ අවි පරිහරණය කරන වෙනත් රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ආයතනයකට අයත්දැයි සොයාබලා, එවැනි අංශයකට අයත්නම්, එම අවිය නැතිවීම පිලිබඳ අදාළ අංශ වෙතින්, මෙතෙක් කල් ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිළි කරගත යුතුයි. ක්‍රියාමාර්ග ගෙන නැතිනම්, එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගතයුතුයි.

  • ආරක්ෂක කමුදා කඳවුරු වල ඇති අවි, කුළී ගෙවීමේ පදනම මත, පාතාල කල්ලි, මංකොල්ල කණ්ඩායම් (මංකොල්ලකන මුදල්/ස්වර්ණාභරණ/වැනි දේ වලින් කොටසක් දීමේ පොරොන්දුව මත) වෙත දෙන බවට තොරතුරු ඇති අතර, යටත්පිරිසෙයින් එක් වතාවක් හෝ මෙවැනි සිද්ධියක්, අගනුවරට ආසන්න කඳවුරකින්, අතටම හසුවුණා.  අදත් මේ තත්වය සම්පූර්ණයෙන් නැවතී ඇතැයි සහතිකයක් දියහැකිද?

  • ආරක්ෂක හමුදා සතු අවි/පතරොම්/බෝම්බ/අනෙකුත් වෙඩි ද්‍රව්‍ය/ පිළිබඳව සතියට වතාවක් වත් පරීක්ෂාකොට, මසකට වතාවක්වත්, ඉහළ මූලස්ථාන වෙත වාර්තා සපයනවා. අඩුපාඩු/අස්ථානගතවීම්/අක්‍රමිකතා/ වාර්තා වුවහොත්, නීත්‍යානුකූල පියවර ගන්නවා. නමුත්, ඉතා සියුම් ලෙස, අක්‍රමිකතා සිදුවීමට ඉඩ තිබෙනවා. තම අවිය නැතිකරගත් සොල්දාදුවකු, ඒ බව කඳවුරට වාර්තා නොකොට, රාජකාරියෙන් මිදී සිටින තම සගයකුගෙන් අවියක් ඉල්ලාගෙන මුර රාජකාරියේ යෙදුනු අවස්ථාවක් වරක් හසුවුණා. අත්බෝම්බයක් ගෙදර ගෙනයමින් සිටි සොල්දාදුවකු, එම බෝම්බය හදිසියෙන්ම අනුරාධපුර දුම්රිය ස්ථානයේදී පුපුරායාම නිසා ආබාධිත තත්වයට පත්වුණා. ඔහුව අපකීර්ති සහගත ලෙස හමුදාවෙන් ඉවත්කළා. ඒ එක සිද්ධියක් හෝ දෙකක් පමණයි. එවැනි සිද්ධි අදත් සිදුවනවාදැයි, ඉතා විමසිල්ලෙන් සිටිය යුතුයි. 

  • ත්‍රිවිධ හමුදාවෙන් සහ පොලීසියෙන්, බන්ධනාගාර ආරක්ෂක, සිවිල් ආරක්ෂක බලකායෙන් සහ, අවි පරිහරණය කරණ, වනජීවී, වනසංරක්‍ෂණ, වැනි දෙපාර්තමේන්තු වලින් විශ්‍රාම ගොස් සිටින, සියලුම සාමාජිකයන්ගේ තරාතිරම නොබලා, ඔවුන්ගේ නිවෙස් සහ ගෙවතු පරිශ්‍ර, දැඩි ලෙස, හදිසි පරීක්‍ෂාවකට ලක්කළ යුතුයි.

  • ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, සහ අවි පරිහරණය කරන අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආරක්ෂා සේවාවන්හි, අවි සම්බන්ධ ලේඛන සහ, දැනට සැබැවින්ම ඇති අවි/පතරොම්/බෝම්බ/වෙඩි ද්‍රව්‍ය/ ගැන, ඉතා පුළුල් සමීක්ෂණයක් කිරීම සඳහා, පූර්ණ බලැති (ඒ සඳහා තාක්‍ෂණික සහ පරිපාලන/විගණන දැනුම සහිත) විශේෂ මණ්ඩල පත්කොට, එමගින් සත්‍ය තත්වය රජයේ අවධානයට ලක්කොට, සුදුසු පියවර නොපමාව ගතයුතුයි.

  • හොර අවි තිබෙන්නේ කා ළඟද යන ප්‍රශනය පොලීසියෙන් ඇහුවොත්, ඇත්තටම පොලීසිය දන්නවා, සෑහෙන තරම් හොර අවි තියෙන්නේ කා ළඟදැයි කියන්නට. නමුත් බොහෝවිට, නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ තත්වය මත, පොලීසිය නිරුත්තරවීම/ගොලුවීම/සිදුවෙනවා. මේ තත්වය නැතිකිරීම පිණිස, මේ රටේ පුරවැසි සංවිධාන එකමුතුවී, යම් ක්‍රියාමාර්ගයක් ගතයුතුයි. බෞද්ධ භික්ෂුන් යයි කියාගන්නා සමහර අය අත ද, ගිනි අවි ඇති බව, ප්‍රසිද්ධ රහසකි.

  • LTTE සංවිධානය වෙතින් අල්ලාගත් අවි/තවදුරටත් පරිහරණය කළ නොහැකි තත්වයට පත්වී ඇති අවි/තවදුරටත් පරිහරණය කිරීමට අනවශ්‍ය, යල් පැනගිය මෝස්‌තර වලට අයත් අවි/ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නියෝජිතයන් මෙන්ම, මහේස්ත්‍රාත් වරයකුගේ අධීක්‍ෂණය යටතේ, යකඩ වලට උණුකිරීම කළ යුතුයි.

  • ඉන්දියාවේ නිෂ්පාදිත, අලුත්ම මෝටර් බයිසිකල්, ජපන් බෝට්ටු එන්ජින්, සහ වෙනත් විවිධ වෙළඳ භාණ්ඩ, ලංකාවේ උතුරු සහ වයඹදිග වෙරළ තීරයට, හොරබඩු ලෙස ගෙන ඒම ප්‍රසිද්ධ රහසක්. මේ ආකාරයට අවි ආයුධ පවා එන්නට ඉඩ තිබෙනවා. පිටරටින් මෙරටට අවි ආයුධ ගෙන ඒමට හැකිවෙතැයි උපකල්පනය කරන, සෑම මාර්ගයක්ම වැසීමට, විශේෂ වැඩපිළිවෙලක් යෙදිය යුතුයි.

  • අපරාධකරුවන් අත තිබී හසුවන T 56 අවි බොහොමයක්, T 56 Mark I සහ  Mark II යන වර්ග දෙකට අයත් බව පෙනෙනවා. මෙයින්, Mark I වර්ගය, දැනට කලකට ඉහතදී, හමුදා පාවිච්චියෙන් ඉවත් කරනු ලැබුණා. එයට හේතු දෙකක් තිබුණා. එකක්, මේ අවියේ බට් හෙවත් පසුපස මිට කොටස, සම්පූර්ණයෙන් ලෝහයෙන් නිමවා, අවශ්‍ය අවස්ථාවක ඉදිරියට නැවිය හැකි ආකාරයට සකසා තිබෙන්නේ. නමුත් කල් යනවිට, මේ කොටස බුරුල්වී සෙලවෙන තත්වයට පත්වෙනවා. එය මහා කරදරයක්. දෙවැනි හේතුව එවැනි අවියක් රැගෙන, රහසිගතව යුදබිමේ යන්න බැහැ. අර කොටසෙන් 'කච කච' ගා ශබ්දයක් එනවා, හෙලවෙන විට. ඒ නිසා සොල්දාදුවන් මෙය, 'T 56 කචල් බට් මොඩල්' යනුවෙන් හැඳින්වුවා. නමුත් අපරාධ කරුවන්ට  T 56 Mark I සහ  Mark II යන අවි මෝස්‌තර දෙකම ආශිර්වාදයක්, වාසියක්. එයට හේතුව, මේ මෝස්‌තර දෙකේම මිට නැවිය හැකි නිසා, පහසුවෙන් ගමන් බෑගයක සඟවාගෙන යා හැකි වීමත්, අවශ්‍යවිට ක්‍ෂණිකව එළියට ගෙන හෝ, බෑගය තුළට අත දමා අවිය අල්ලාගෙන, වෙඩි තැබීමට හැකිවීමත් නිසයි. එම අවි මෝස්‌තර දෙක පහත දක්වනවා.














   ඉහත දක්වා ඇති තුවක්කු මෝස්‌තර දෙක, අත්‍යවශ්‍ය අවි නොවේ. ඒ නිසා, මේ මෝස්‌තර දෙක භාවිතයෙන් ඉවත් කොට, නැවිය නොහැකි, ස්ථිර මිට සහිත මෝස්තරය පමණක්, ත්‍රිවිධ හමුදාවේ භාවිතයට ගැනීම සුදුසු බව පෙනීයනවා.


   මේ මෝස්තරය පහසුවෙන් සඟවාගෙන යන්නට බැහැ, එහි දිග නිසා.

  • දැනට ලංකාව තුළ නිකුත්කර තිබෙන සෑම පෞද්ගලික ගිනි අවි බලපත්‍රයක්ම, ඉතා දැඩිව නැවත සලකා බලා, අත්‍යවශ්‍ය යයි පැහැදිළිව තහවුරු වන ගිනි අවි බලපත්‍ර පමණක් ලබාදී, සෙසු සියල්ල අවලංගු කළයුතුයි. විශේෂයෙන්ම, දේශපාලනඥයන්ට දී තිබෙන ගිනි අවි, වහාම ආපසු ලබාගත යුතුයි. නව බලපත්‍ර ලබාදීම අත්හිටුවිය යුතුයි. පසුගිය රජයයන් සමයේ, දේශපාලකයන්ට ලබාදුන් ගිනි අවි සෑහෙන ප්‍රමාණයක්, ඔවුන් දේශපාලනයෙන් ඉවත් වූ පසුවද, ආපසු ලබාදී නැහැ. මේ ගැන දැඩි ක්‍රියාමාර්ග ගතයුතුයි. 


   ඔබටත් මේ ගැන කියන්නට බොහෝ දේ ඇති. ඔබේ අදහස් ද  එකතු කරමින්, අපි සංවාදයක යෙදෙමු. 

2016 ජනවාරි මස 16 වැනි දින 2352 පැය

76 comments :

  1. අවස්ථානුකූල ලිපියක්.

    ReplyDelete
  2. තව අවුරුදු 100කටවත් ලංකාවේ නම් වෙන එකක් නෑ නේද මේ පියවර ටික?

    ReplyDelete
    Replies
    1. රටේ පුරවැසියන් තුළ අවබෝධය සහ සංවිධානාත්මක බව වැඩි කලොත් රජයට බලපෑම් කරන්න පුළුවන්. ඒ සඳහා අපි අපිම තමයි උනන්දු වෙන්න ඕනේ.

      Delete
  3. අවි ගත්තෝ අවියෙන්ම නැසේ කියන කතාවත් දැන් නිකන් එක්ස්පයර් වෙලා වගේ නේද විචා මාමේ.......

    ReplyDelete
    Replies
    1. හැබැයි මේ ඊයේ පෙරේදා, තමන්ව මරන්න ආව දෙන්නකු අරන් ආව තුවක්කුව උදුරාගෙන, උන් දෙන්නට ඒ තුවක්කුවෙන්ම වෙඩි තියලා මරලා දාලා තිබුනා, එක මිනිහෙක්.

      ඒ කියමන තවමත් සෑහෙන දුරට වලංගුයි වගේ.

      Delete
  4. අපේ නිවසේ තිබුණු මගේ පියාගේ පියාගෙන් පියාට උරුම වූ බලපත්‍ර සහිත තුවක්කුව එහි කලාත්මක වටිනාකමක් තිබුණු කොටසක් රහිතව වුනත් 1971දී පොලීසියෙන් ආපසු ලැබුණා. 1989දී ජවිපෙ අතට පත්වන තුරු එය අපේ ගෙදර තිබුණා. අප ඇසුරු කළ බොහෝ ගෙවල්වල මෙවැනි බලපත්‍ර සහිත තුවක්කු තිබුණා. ඒවා පසුව එකතු වුනු ආකාරයේ නවීන ගිණි අවි නෙමෙයි. එයට අමතරව බොහෝ නිවෙස් වල බලපත්‍ර සහිත හෝ රහිත 'බෙහෙත් කොටන තුවක්කු' තිබුණා. මේ තුවක්කු නිසා ඒ කාලයේ ලොකුවට අපරාධ වුනු බවක් මම දන්නේ නැහැ. බොහෝවිට පාවිච්චි කළේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන්. මෙය ඒ පසුබිම නොදන්නා කෙනෙකුට තේරෙන එකක් නැහැ. හේනකට කුඹුරකට වල් ඌරෙක් පුරුදු වූ විට ඌ දිනපතාම එනවා. තුවක්කුවකට සම්බන්ධ කර මරුවැලක් බැඳීමයි මෙයට සම්ප්‍රදායික විසඳුම. පොලීසිය එකතු කළේ ඔවුන් සතුව වාර්තා තිබුණු බලපත්‍ර සහිත ගිණිඅවි පමණක් වුවත් ජවිපෙ විසින් බලපත්‍ර රහිත ගිණිඅවිත් එකතු කර ගත්තා. මේ අවි තිබුණේ ගම් වල සාමාන්‍ය මිනිසුන් අතේ. මෙසේ ගම්වල ගිණි අවි හරණය වූ පසු නිසි හෝ අනිසි ලෙස ගිණි අවි ගියේ බොහෝ විට ඒවා සමාජයට හානිකර ලෙසින් භාවිතා කරන වෙනත් විදිහක අය අතට. වෙනත් සාමාන්‍ය මිනිස්සු අතේ ගිණි අවි නැති වීම ඔවුන්ට වැඩි පහසුවක් වුණා. මේවා නියාමනය කිරීම පහසු වැඩක් නෙමෙයි. ඔබම කලින් ලිපියක ලියා තිබුණනේ යුද්ධයක් අවසන් වූ පසු රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමට යුද්ධය පැවති කාලයට සමාන කාලයක් යන බව. මේ ගිණිඅවි ප්‍රශ්නයත් සෑහෙන කලකට විසඳෙන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳ අදහස් දැක්වීමක්.

      මා ගැටවරයකු කාලේ දැන සිටියා, ගමේ කොයි ගෙවල්වලද බලපත්‍ර සහිත තුවක්කු තියෙන්නේ, කොයි පුද්ගලයන් ළඟද බෙහෙත් කොටන තුවක්කු තියෙන්නේ කියා. බලපත්‍ර සහිත තුවක්කු තිබුන අයගෙන් බහුතරයක්, පාරම්පරික උරුමය මත තුවක්කු හිමියන්. බෙහෙත් කොටන තුවක්කු හිමියන් සියල්ලම පාහේ ගොවියෝ. මේ දෙවර්ගයම කවදාවත් තමන්ගේ තුවක්කු කාටවත් එල්ල කළ බව අසා/දැක නැහැ.

      ජවිපෙ තුවක්කු එකතුකිරීමෙන් පස්සේ සහ, 1988 -89 කාලයෙන් පසුව, ඔබ කියා ඇති ආකාරයටම, භයානක තුවක්කු සංස්කෘතියක් ඇතිවුණා.

      ගිනි අවි ප්‍රශ්නය කල් යන්න හැරියොත් සුව කළනොහැකි තුවාලයක් බවට පත්වෙනවා.

      Delete
  5. හුගක් දවසකින් මේ පැත්තෙ ආවෙ... කොහොමද අංකල් සැපදුක්, මාව මතකද?
    හුඟක් වැදගත් ලිපියක්....
    ඒත් එක්කම කියන්න ඔන අර ජවිපෙ නිර්මාණයක් වෙච්ච ගල්කටස් එක ගැනත්. ඒවට මොකද උනේ මම දන්න තරමින් ඉස්සර ක්‍රියාකාරී ජෙප්පො (සමහරක්) ලඟ තවම රහසිගතව ඒව තියනව. ඒ වගෙම හුඟක් පාතාල කල්ලි ලඟත් නවීන අවි තියනවා ඒව කොහෙන් ආපුවද? අනිත් එක ඒ වගේ නවීන ආයුධ හදන්න පුලුවන් හැකියාවක් සහ දැනුමක් තියන පුද්ගලයො ගැන සමහර වැඩසටහන්වල කියවුනා, ඒ අය ගැන ආරක්ෂක අංශ දැනුවත්ද ඒ අය පාතාල වලට ආයුධ නිෂ්පාදනයේ යෙදෙනවද?
    ඒ ගැනත් අදහසක් කියන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහන මේ පැත්තේ ආවට. මූණු පොතේ නම් ඔයාව දකිනවා බොහෝවිට.

      ගල්කටස් එකේ අයිතිය තනිකරම ජේවීපී නෙවෙයි. ඊට පෙරත් කොට තුවක්කු කියා වර්ගයක් රහසිගතව හැදුවා.

      අවි නිපදවන පුද්ගලයන් ගැන පොලිස් නිර්දේශ මත විතරයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ ඒ මිනිහව අල්ලලා හිරේ යැවීම පමණයි කරන්නේ. ඒ මිනිස්සුන්ව යම්කිසි ආකාරයක මොළ සේදීමක් කරලා හොඳ කාර්මික ශිල්පියෙක් බවට පරිවර්තනය කරන්න පුළුවන්.

      දැන් පාතාලයට දේශීය ගල්කටස් අවශ්‍ය නැහැ. සම්පූර්ණ ස්වයංක්‍රීය අවි ඕනෑතරම් තියනවා.

      Delete
  6. ජේවිපී කාලෙට ඉස්සරින් ලයිසන් තුවක්කු තුබූ දඩයම්කර්වන් අත බොහෝ දුරට ලයිසන් නැති තුවක්කුත් තිබ්බා, ලයිසන් තුවක්කුව ගෙදර බිත්තියක උජාරුවට හයිකරලා තිබුනාට දඩයමට භාවිතා වුනේ හොර තුවක්කුව, හොර ඒවා කීවාට ඒවාත් අනර්ග තත්වයේ විදේශ නිශ්පාදන. නීත්‍යානුකූලව ලබාගත හැකි පතොරොම් ප්‍රමාණය සීමිත නිසා පතොරොම් නැවත පුරවනු ලැබුවා, කරදර නැතිව පතොරොම් ලබාගැනීමට නිළධාරීට සහ පොලෝසියට දඩමස් සැපයීමට සිදුවීමේ කරදරයෙන් මිදීම හොරතුවක්කුවේ ඇතිවාසි.

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපරාධකාරයන් කල කපටි වැඩක් තිබුණා. ඒ තමයි තුවක්කු දෙකක් පාවිච්චි කිරීම. එක තුවක්කුවක් පෙනෙන්න එල්ල කරනවා, වෙඩි තියන්නේ සැඟවිලා ඉන්න වෙන කෙනෙක්. පෙනෙන්න තිබුන තුවක්කුව අල්ලලා රස පරීක්ෂකට දැම්මම කියන්නේ මේ තුවක්කුවෙන් සෑහෙන කාලෙකින් වෙඩි තියලා නැහැ කියලයි. බලන්න අපරාධකාරයෝ කොපමණ සංවිධානාත්මකද කියලා.

      අදත් ලංකාවේ අභය භූමි ආශ්‍රිතව, හොර තුවක්කු මගින් දඩමස් ව්‍යාපාර කරන අය ඉන්නවා. පොලීසිය දැනුවත්ව සහ නොදැනුවත්ව.

      Delete
    2. ඩබ්ලිව් ඒ සිල්වාගෙ "වෙඩිල්ල" කෙටි කතාවෙත් අර වගේ සිද්ධීයක් තිබුණා.

      Delete
  7. මම නම් කියන්නේ ඇමරිකාවේ වගේ ලංකාවෙත් තුවක්කු නීතිගත කල යුතුයි. දැන් ඔය තුවක්කු අරන් පාට් දාන්න එන මැරවින්, දුමියා වගේ උන් චන්ඩි වෙලා තියෙන්නේ මහජනයා ළඟ තුවක්කු නැති නිසානේ. තුවක්කු නීතිගත කලොත් සාමාන්‍ය ජනතාවටත් පුළුවන් මුන්ට කොකා (තුවක්කුවේ) පෙන්නන්න. එතකොට අපායේ යන්න ඕනෑ උන්ටික ඉක්මනින්ම ඉවරයක් වෙලා සාමකාමී සෙට් එකට නිදහසේ පුළුවන්. කවුරු උනත් තුවක්කුවක් අදින්න කලින් දෙපාරක් හිතයි මොකද ඔන් ද ස්පොට් රිටන් එක ලැබෙන්න ඉඩ තිබෙන නිසා.

    ඒවගේම තමා අලුතින් බිහිවන රැකියා අවස්ථා. එතකොට විචාරකටත් පුළුවන් කුරුණෑගල පොළෙන් බණ්ඩක්කා 500, පතෝල 250 ගන්න ගමන් අලුතෙන් ගත්ත තුවක්කුවට පතරොම් 50ක් එහෙමත් ගන්න. (පරණ තුවක්කුව නම් දැන් පත්තුවෙන්නේ නැතුව ඇති නේද? විහිලුවට හොඳේ, තරහා ගන්න ඔට්ටු නෑ :D )

    කෙසේ නමුත් කාලීන ලිපියක්. ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටේ ඕවා වෙන්නේ හීනෙන් විතරයි.

    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. සමහර මිනිස්සුන්ගෙ ආකල්පත් එක්ක තුවක්කුත් නීතිගත කලොත් හොඳට තියෙයි කියලයි මට නම් හිතෙන්නෙ. දැන් කඩු පොලු කැති අරන් එන ජනතාව තුවක්කු පිස්තෝල අරගෙන ඉඳී.

      ජනතාවට තුවක්කු දෙනවට වඩා මැරයන්ගෙ තුවක්කු ගන්න එක තමයි හොඳ.

      Delete
    2. හරී,

      ඉහත අදහස හුදු විනෝදය සඳහා පමණයි. just for laugh machan :)

      //දැන් කඩු පොලු කැති අරන් එන ජනතාව තුවක්කු පිස්තෝල අරගෙන ඉඳී.// මෙන්න මේක නම් සිද්ධවෙන්න නෑ කියන එක හෙට ඉර පායනවා වගේ විශ්වාසයි. කඩු පොලු අරන් ඕපන් ගේම ඉල්ලුවට තුවක්කු අරන් එහෙම එන්නේ නෑ, මොකද කොහෙන් පත්තුවෙයිද දන්නේ නැති නිසා. අපේ සිංහ ලේ පොරවල් වලට තවම පොඩ්ඩක් මොළේ තියෙනවා.

      Delete
    3. @ Udaya Dissanayake

      බොහොම විවාදාත්මක අදහස් ඔබ ඉදිරිපත් කරන්නේ. අපේ රටේ දැනට සමාජය තුළ තිබෙන අසහනකාරී, ආවේගශීලී, තරගකාරී, තත්වය මත, ගිනි අවියක් පාවිච්චි කිරීමට සුදුසු විනයක් 10% ක් දෙනා තුළවත් නැති බවයි මගේ නිගමනය. ඒ නිසා ගිනි අවි දීමෙන් ව්‍යසනකාරී තත්වයක් ඇතිවන්නට ඉඩකඩ වැඩියි.

      හලේ මලේ, මගේ පලන තුවක්කු බටේ, බිමට හැරිච්ච ගමන් ඔහේ තියනවා විතරයි.
      හයියෝ කියලා වැඩක් නෑ :e

      @ හරී.

      වඳුරන්ට දැලිපිහි දුන්නා වගේ තියෙයි නේද?

      Delete
    4. ඉතින් හොඳා නෙ විචා.. මූලග්ගිනි කාරයො එකාට එකා වෙඩි තියාගෙන මැරිලා ගියාට පස්සෙ රටේ සාමකාමී ජනතාව විතරක් ඉතුරුවෙයි නෙවැ.. ජනගහන අර්බුධය පාලනය කොරන්ටත් කියාපු ඖෂධේ.. :-D

      Delete
    5. හැක්, අම්මපා මේ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංගමය විසින් පිලිගන්නත් ඉඩ තියනවා. :e

      Delete
  8. ඔයිට අමතරව ප්‍රාදේශීයව නිෂ්පාදනය කරන ගිනි අවිත් තියෙනව නේද?
    මේ පැත්තෙ ඒ වගේ වැඩක් ගැන ඇඟිලි සලකුනෙත් ගියා වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් මතකයි. ඒ කොල්ලා දත් මදින ගමනුත් තුවක්කු පීරි ගගා හිටියෙ.
      හැබැයි ඒකෙදි නම් පෙන්නුවෙ මිනිහාගෙ මොලෙන් වැඩක් නොගෙන හිරේ දාන එක අපරාධයක් කියලා. හමුදාවට ඕන තුවක්කු ඔක්කොම මිනිහට කියලා හදන්න තිබ්බා කියලා ගමේ ගොඩේ මිනිස්සු කතා වෙනවාත් මට ඇහුනා.

      Delete
    2. ඇත්තටම දැන් අපිට එවැනි අවි නිපදවන්නන් අවශ්‍ය නැහැ. අපිට දැනුම, තාක්‍ෂණය, තිබුණත්, නිෂ්පාදන පිරිවැය අතින් බැලුවම ගිනි අවි පිටරටින් ගන්න එක ලාබයි.

      Delete
    3. ගල් කටස් කියන්නේ ඒවට ද

      Delete
    4. මේ තියෙන්නේ ගල්කටස් තුවක්කුවක්.

      [im#]https://jangun.files.wordpress.com/2016/01/galkatas.jpg[/im]

      Delete
  9. විචාරක මහත්මයාගෙ ප්‍රශ්නෙකට උත්තර දුන්න නිසා දෙනවයි කිව්ව තුවක්කුව තාම හම්බුනේ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. කාපු බීපු වේලාවට - පුංචි විහිළුවක් කෙරුවට
      හරීලා වගේ උදවිය - ගණන්ගන්නේ ඇයිද හරියට?

      Delete
  10. ඔය කියල තියන කරුණු ටික නොපමාව ඉටු කල යුතුයි.. හැබැයි ඉතිං මේ ලංකාව නේ.. ඕවා වෙන්නේ නෑ කියල නම් මට සීයට දාහක් ෂුවර්. අර අන්තිමට කියල තියන කාරණය නම් අතිශයින්ම වැදගත්. තවත් දෙයක්- දැන් දේශපාලන උන්ට තර්ජන නැති නිසා, ඔවුන් සහ ඔවුන්ගේ ආරක්ෂකයින් සතුව ඇති සියලුම ගිනි අවි රාජසන්තක කල යුතුයි. පිස්තෝල වලින් පටන් අරගෙන ටී 56 දක්වාම එය කල යුතුයි.
    ඊට අමතරව, රටේ ගිනි අවි සංගණනයක් සිදු කල යුතුයි. එවිට කොහේ කාට මොන වර්ගයේ ගිනි අවි තියනවද, ඒවායේ ක්‍රියාකාරී තත්වය කොහොමද, භාවිතාව කොහොමද, රටේ ගිනි අවි පැතිරීම කොහොමද කියන එක බලාගන්න පුළුවන්. හැබැයි ඉතිං මේ වැඩේ හරියට තිතට කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. රටට අවශ්‍ය අවම තුවක්කු ප්‍රමාණය ඉතුරු කරලා වදිටික මූදේ ගැඹුරට ගෙනිහින් දැම්මනම් ඉවරයි.

      Delete
  11. සියල්සපිරි වැදගත් ලිපියක් කියෙව්වා.හොර තුවක්කුත් තියෙනවා ඒක දන්නේ අදයි නෙව මම හිතාගෙන හිටියේ අවසරයකින් තොරව භාවිතා කරන සියලුම අවි හොර ඒවා කියලා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්.

      ලෝකයේ විවිධ ප්‍රදේශ වල තියනවා හොර අවි කම්හල්. එම කම්හල්වල නිපදවන්නේ ලෝකයේ සුප්‍රසිද්ධ සමාගම් නිපදවන අවි වල හොර කොපි. මම ඉහත පින්තූරයේ පෙන්වා ඇති විස්තර ඒ අවිවල නැහැ. එහෙමත් නැත්නම් බොරු විස්තර තියෙන්නේ.

      Delete
  12. Wicha,thuma.
    Illegal weapons gana liyauna aganaa lipiyak aasawen kiyewwa.
    isthuthi....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සෙනරත්.

      ඔබේ දැනුමට යමක් එකතුවීම මහත් සතුටක්.

      Delete
  13. කරනවානම් හොඳ වැඩක්, නමුත් ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ...
    මුන් පුළුවන්නම් පොඩි එව්වෝ සෙල්ලං කරන්න හදා ගන්න බට තුවක්කුව නම් තහනම් කරයි එක පැයෙන්...

    ReplyDelete
    Replies
    1. වැඩේ අමාරු වෙන්නේ දේශපාලකයන් මේවට අත දාන නිසයි. පූර්ණ බලතල සහිත, ජනාධිපතිතුමාට පමණක් වගකියන, හොඳ ස්ථිර, ශක්තිමත්, 'කාර්ය සාධක බලකායක්' හදාගන්න ඕනේ.

      Delete
    2. ජනාධිපතිතුමාට පමණක් වගකියන!!!???

      ඉතිං ජනාධිපතිතුමා කිවුවහම මෙන්න මේ මේ දේසපාලකයන්ගෙ තුවක්කු අල්ලන්ට එපාය, මෙන්න මේ මේ අයගෙ ඒවා ඇල්ලුවට කමක් නැතය කියලා ඒ විදියට ද කරන්ට ඕනෙ? :-O

      Delete
    3. හුට්ට බටා. අම්මපා ජනාධිපතිතුමා එහෙම කරයිද ඈ?

      Delete
  14. මගේ අදහස නම් ඉස්සර විදියට නීතිගත ගිණිඅවි ජනතාව අතට පත්කළ යුතුයි.පොලීසියෙන් ඒ කාලෙ ඔක්කොම බලපත්‍ර සහිත ගිණිඅවි අරගත්තම වල් සත්තු බෝවෙලා වගා පාලුවෙන්න ගත්තා.තාම එහෙමමයි.මං දන්නා හරියක උඩින් රිළව් පහළින් වල්ඌරො තියෙන බවබෝග ඔක්කොම විනාස කරල දානවා.

    ReplyDelete
    Replies
    1. ගිනි අවි දුන්නට කමක් නැහැ හැලපේ. නමුත් ඉතා දැඩි පාලනයක් යටතේ. දැඩි නීතිරීති යටතේ.

      අද මුළු ලංකාවම පාහේ රිලවුන්, වඳුරන්, දඬු ලේනුන්, වල් ඌරන්, (මොකද ඌට වන ඌරා නොකියන්නේ? නිමල් සිරිපාල උන්නැහෙටවත් කියන්න ඕනේ) නිසා බවබෝග වලට සිදුවන දැඩි හානිදායක තත්වයකට මුහුණදී තිබෙනවා. මේ නිසා .22 සහ .38 වායු රයිෆල්, බලපත්‍රයක් රහිතව පාවිච්චි කිරීමට ඉඩදීම හොඳයි.

      Delete
    2. 0.38 නම් බරපතල වැඩියි විචා මාමේ...
      අඩු ගානේ 0.22 හරි 0.25 හරි දක්වා අවසර දුන්නත් ඇති, නමුත් හොඳ වර්ගයේ 0.25 එකකුත් සෑහෙන භයානක ආයුධයක්...
      Hatsan BT65 0.25 PCP එකෙන් වෙඩි තියලා ගෑස් ටැංකියක් හිල් කරන වීඩියෝ එකක් මම දැක්කා...

      මේ තියෙන්නේ ඒක,

      https://www.youtube.com/watch?v=LRsQ50XKuJc

      (කොපි කරගෙන ගිහින් තමයි බලන්න වෙන්නේ, මගේ ඔපෙරා බ්‍රව්සරය ලින්ක් ෆොටෝ එහෙම කමෙන්ට් වලට දාන්න උදව් කරන්නේ නැහැ...)

      Delete
    3. ඒ ලෙඩේ හරි ගිහින් වගේ, එළ...

      Delete
    4. එච්චර ප්‍රබල තුවක්කුයි ඕනේ නැත්තේ. නැතුව පෙලට්ස් නෙවෙයි. .38 කියන්නේ පෙලට් එකක්. පතරොමක් නෙවෙයි. .38 පතරොම් වෙනම තියනවා. .38න් ගහලා මී හරකෙක් මරන්නත් පුළුවන් අරවගේ ප්‍රබල තුවක්කුවකින්. නමුත් ලංකාවට එච්චර ප්‍රබල තුවක්කු ගෙන්වන්නේ නැහැ.

      Delete
    5. Hatsan BT65 PCP කියන්නේ සාමාන්‍ය පෙලට් දාන Air Rifle එකක්ම තමයි. මේ වීඩියෝ එකේ වෙඩි තියන්නෙත් 0.25 පෙලට් එකකින්ම තමයි, පතොරමකින් නෙමෙයි. ඒකයි මම කිව්වේ ඒවා හානිදායක වැඩියි කියලා...

      මේකේ 0.25 ගෙන්නුවේ නැතුවට 0.177 එක ගේනවා, ඒකත් සෑහෙන පවර්ෆුල්...
      තත්පරයට අඩි 1250 ක වේගයක් ඒ පෙලට් එකට ලැබෙනවා වගේම අඩියට රාත්තල් 30 ක Muzzal Energy එකක් තියෙනවා. මේවා ඉතා මිළ අධිකයි. අවශ්‍ය අමතර බඩු භාණ්ඩ එක සම්පුර්ණ වියදම 260,000/- ක් වත් යනවා...

      0.25 එකේ තත්පරේට අඩි 1090 ක වේගයක් සහ අඩියට රාත්තල් 52 ක Muzzal Energy එකක් තියෙනවා...

      Air Rifle ගැන වැඩි විස්තර මේ සයිට් එකෙන් බැලුවහැකි...

      http://www.pyramydair.com/s/m/Hatsan_BT65_SB_Elite_Air_Rifle_Black_TH_Stock/2963/5744

      Delete
    6. ලංකාවේ .25, .38 පෙලට්ස් දාන වායු තුවක්කු ගෙන්වන්නේ නැහැ. ගෙන්වනවා නම් ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය ඕන. තිබෙන්නේ .177 සහ .22 විතරයි. ඉස්සර නම් .25 දාන එවා ව්කුනන්න තිබිල තියෙනවා. .177 එකක 560 fps එකකින් පොල්ගහක් උඩ ඉන්න වදුරෙක්ගේ ඔලුව හිල් වෙන්න තියන්න පුලුවන්. ලාබම චීන තුවක්කු වල තියෙන්නේ 560. මූනිස්සම කුඩා උවත්, 1000 හෝ ටිකක් ඉහල බලයක් ඇති එකක් ගත්තම එකේ පවර් එක ඇති

      Delete
    7. .177 560fps වලින් ඒ හැටි දෙයක් කරන්න පුළුවන් කියල මම හිතන්නේ නැහැ මචං...
      එහෙම පුළුවන්නම් ගන් එකේ 560 ගහල තිබ්බට ඊට වඩා ගොඩක් වැඩි වේගයකින් පෙලට් නිකුත් වෙන එකක් වෙන්න ඕනේ...

      මගේ ගාව තියෙනවා Gamo .177 1300fps එකක්, මම ඒකෙන් වඳුරෙකුට වෙඩි තියල නැහැ...
      නමුත් ඒ වගේ වේගයක් තිබිලත් ඔය කියන තරම් වැඩක් කරන්න බැරි බව ප්‍රයෝගිකව තේරිච්ච නිසා තමයි මම Muzzal Energy එක වැඩි PCP එකක් ගැන හීන දකින්නේ...

      මේ තියෙන්නේ මගේ ගාව දැන් තියෙන ගැමෝ එක...

      http://www.pyramydair.com/s/m/Gamo_Whisper_Fusion_Air_Rifle_IGT/2986/7296

      Delete
    8. බලය නම් අඩු ඇති මචන්. 40ft ඇත ඉගෙන ගැල්වනයිස් පනිට්ටුවක් හිල් වෙන්න තියන්න පුළුවන්. මම ඒක කලා. ඔයත් පොඩ්ඩක් චෙක් කරලා බලන්න. chinese B3-2 කියන එක තමයි පාවිච්චි කලේ. pointed pellets වලින් තමයී තිබ්බේ. මමත් ආසාවෙන් ඉන්නේ PCP එකකට යන්න.

      Delete
    9. @ ලොකුපුතා

      මේක නේද තුවක්කුව? මේ අඩවියේ කමෙන්ට් වලට පින්තූර දාන්න පුළුවන්. අදාළ url එක පින්තූර දාන කෝඩ් එක සමග කොපි කරලා කමෙන්ට් එකට පේස්ට් කරන්න.

      [im#]http://www.gamousa.com/images/rifles/detail_whisper_fusion_pro.jpg[/im]

      වායු රයිෆල් ගැන මම කලකට ඉහතදී ලිපියක් ලිව්වා

      මේ සබැඳියාවෙන් ගිහින් බලන්න



      Delete
    10. ඒ ලින්ක් එකේ තිබ්බ පෝස්ට් එක කියෙව්වා, සෑහෙන මහන්සි වෙලා කරුණු එක්රැස් කරලා ලියල තියෙනවා. මට ඒ පෝස්ට් කීපය මග ඇරිලා තියෙනවා...
      ඒ පෝස්ට් එකේ ලියල තියෙන කරුණු අතරේ වැරදි කීපයක් තියෙනවා. ඒ පෝස්ට් එකට ගිහින් ඒ ගැන කමෙන්ට් එකක් දාන එක ගැන විචාරක අමනාප නොවෙයි කියල හිතනවා...

      Delete
  15. මං ගාව ඉස්සර විවිද විවිධ වර්ගයේ තුවක්කු එකතුවක් තිබ්බා.. ගොඩක් එ්වා පිංතුර. සමහර ඒවා ලී වලින් කපලා. තවත් සමහර ඒවා බට ලීයෙන් හදලා කිරිල්ල ගෙඩි දාලා වෙඩි තියන ඒවා.. දැං ඒ එකක්වත් නෑ. දැනට මං ගාව තියෙන්නේ උපන් දවසේ ඉඳන් තියන වතුරු විදින තුවක්කුව විතරයි.. හැක් හැක්..

    අගේයි ඈ අංකල්..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මගේ ලඟත් ඉස්සර තුවක්කුවක් තිබුනා. මොනවද ඉති වෙඩි වගේ.

      හලේ....ඒකල ලැල්? හයියෝ සාලේ.....

      Delete
  16. හොරට ආයුධ හදන හොඳ දක්ශයො ඉන්නවා.. ඔවුන් දිරිමත් කරලා හමුදාවට අනුයුක්ත කරගත්තනම් දියුණු ගල්කටස් භාවිතය අවම වෙනවා.මේ වගේ උපක්‍රමශීලී නොවුනොත් හොර තුවක්කු ඇල්ලිල්ල විහිළුවක්ම වෙයි.මොකද නඩුයි බඩුයි දෙකම උන්ගෙ නිසා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මෙන්න මේකයි ලබ්ස් වැඩේ. අපි ධනය හෝ ණයට ගත් මුදල් යොදවා ගිනි අවි කම්හලක් හැදුවට වැඩක් නැහැ. එහි නිෂ්පාදන පිරිවැය ඉතා ඉහලයි. සමහර අමුද්‍රව්‍ය සහ ලංකාවේ නිපදවන්න බැරි කොටස් පිටරටින් ගෙන්වන්න ඕනේ. එහෙම බැලුවම තුවක්කු පිටරටින් ගෙන ඒම ලබයි.

      Delete
  17. [video=https://www.youtube.com/watch?v=f_xTvHBLmZI]

    ReplyDelete
    Replies
    1. මුල් ගීතය කොහෙවත් හොයාගන්න නැහැ.

      චිත්රපටිය දෛව විපාකය. ගායනය මේබල් බ්ලයිත්.

      මේ තියෙන්නේ ඔය සින්දුවේ තනුවට අදාළ මුල් නිර්මාණය.

      https://www.youtube.com/watch?v=O7QC3tk0d9s

      Delete
  18. යුද හමුදාවෙන් අයින් උන කට්ටියගෙ නිවෙස් දැඩිව පරීක්ශා කිරීම ගැන නම් එකඟ වෙන්න බෑ විචාරක තුමා. නමුත අනිත් සියල්ලම රජය විසින් කල යුතු දේවල්. ලන්කාවෙ තරුනයො ගොඩාක් දැන් ගිනි අවිය ආබරනයක් කරගෙන. අනගි ලිපියක්

    ReplyDelete
    Replies
    1. එකඟ නොවෙන්න හේතු කිව්වා නම් වටිනවා. මා කියන්නේ යුද හමුදාව ගැන විතරක් නොවේ. එමෙන්ම ඒ අදහස මා කිව්වේ පසුගිය කාලයේ මා අත්දකින ලද සිදුවීම් කීපයක් පදනම් කරගෙනයි.

      ඒකම මෙහෙම කරන්නත් පුළුවන්. ඒ අයට යම්කිසි සහන කාලයක් දෙන්න පුළුවන්, හමුදා සේවයේදී තමන් යම් ගිනි අවියක් ගෙදර ගෙනත් තියනවා නම්, කිසිදු දඬුවම් දීමකින් තොරව ඒ අවි ආපසු භාරදීමට.

      ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  19. අර ජේ ආර්ගේ කාලේ ලංකාවේ තුවක්කු හදපු මනුස්සයාට තුවක්කු හදන්න දුන්නනම් මේ වෙද්දී හොද බිස්නස් එක.

    ReplyDelete
    Replies
    1. T 56 JR Model කියලත් එකක් හදන්න තිබුනා එහෙනම්. :e

      Delete
  20. වටිනා ලිපියක් විචාමාමේ..............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  21. අපේ තාත්තා කිවුවේ 89 භීෂණය කාලේ පොල්පිතී වලින් තුවක්කු හදාගෙන මිනිස්සු භය කරා කියලා (තියෙනවා දෙකයි සිම්පල් පී)

    ReplyDelete
    Replies
    1. 1971 දී නම් එහෙම වෙන්න ඇති. නමුත් 1988 - 89 කාලයේදී නම්, මා දන්නා තරමින් එහෙම දෙයක් වුණේ නැහැ.

      Delete
  22. සමා අවසර පොඩි ප්රින්ටින් මිස්ටෙක් එකක් සිදුවෙලා (තිත් දෙකයි සිම්පල් පී) දැන් හරී

    ReplyDelete
  23. මෙන්න මේක නේද කියන්නේ? :p

    ReplyDelete
  24. ටිකක් පරක්කු වෙලයි ලිපිය බලන්න උනේ...
    වෙඩි වගේ ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන ස්තුතියි.

      හෙහ් හෙහ් හෙහ්, ලිපිය වෙඩි වගේ වුනාට මම හදන්නේ වෙඩි තියන එක නවත්තන්න.

      Delete
  25. අපේ අම්මගෙ තාත්ත ගාව තුවක්කුවක් තිබ්බා. ලයිසන් එකක්. ඒකත් 71 කාලෙදි පොලිසියෙන් එකතු කරගෙන ගියාලු. පස්සෙ අර කිව්ව වගේ සෑහෙන රස්තියාදු වෙලා ඒක නම් ආපහු අරං තිබුණා. මං හෝඩියෙ පංතියෙ ඉන්න කාලෙ ඒ තුවක්කුව අතගාල බලල තියෙනවා. මයෙ හිතේ තාම ඒක මාම ගාව ඇති. රතු පාට රබර් වගේ කොපුවක් තියෙන අඟලක්-දෙකක් විතර දිග පතරොමක් තමා ඒකට දාන්නෙ මට මතක හැටියට. 71 කාලෙ තුවක්කු ආපහු මිනිස්සු ගෙනියන්න එනකොට සමහර එව්වයෙ ලී කොටස් දිරල වේයොත් කාල තිබ්බලු...

    මාතෘකාවට අදාළව කතා කරනවනං, ටිකෙන් ටික වර්ධනය වෙච්ච දේශපාලන පාතාළ ලෝකය තමා නීති විර‍ෝධී ගිනිඅවි භාවිතාවට මූලිකවම වගකියන්න ඕනෙ.

    මයෙ අර පෝස්ටුවෙ ඔබතුමාගෙ නම සඳහන් නොවීම තනිකරම අත්වැරදීමක්. සමාවෙන්න. මං ඒක හැදුවා. ඔබතුමාගෙන් මම මාර විදිහට පෝෂණය වෙලා තියෙනවා. ඉතින් ඒ අත්වැරැද්ද මට තදින්ම හිතට වැදුනා...

    ReplyDelete
    Replies
    1. උත්තර දෙන්නේ අග ඉඳන් මුලට. අම්මප උඹට පිස්සුද. එතන වෙලා තිබ්බේ අමතකවීමක් බව උඹේ පෝස්ට් එක දකින ඕනේ කෙනෙකුට තේරෙනවා. කාටත් ඔහොම වෙනවා. මම ඒවා ගණන්ගන්නේ නැහැ. ඒක එතනින් ඉවරයි.

      පාතාල ලෝකේ කියලා ඔවුන්ට අමුතු වීරත්වයක් දෙන්නේ නැතුව, බල්ලෝ වගේ කුදලලා සිපිරිගෙට යව්වානම් ඉවරයි. නමුත් පාහර දේශපාලුවෝ ඉන්නකල් ඒ වැඩේ කරන්න අමාරුයි.

      අර තුවක්කුව ලැබීම එක අතකට වාසනාවක්. ඔව්වා දරමිටි වගේ බැඳලා නිකම් බිමදාලා තිබුනේ හුඟක් පොලීසිවල.

      Delete
  26. //දැනට ලංකාව තුළ නිකුත්කර තිබෙන සෑම පෞද්ගලික ගිනි අවි බලපත්රයක්ම, ඉතා දැඩිව නැවත සලකා බලා, අත්යවශ්ය යයි පැහැදිළිව තහවුරු වන ගිනි අවි බලපත්ර පමණක් ලබාදී, සෙසු සියල්ල අවලංගු කළයුතුයි. විශේෂයෙන්ම, දේශපාලනඥයන්ට දී තිබෙන ගිනි අවි, වහාම ආපසු ලබාගත යුතුයි. නව බලපත්ර ලබාදීම අත්හිටුවිය යුතුයි. පසුගිය රජයයන් සමයේ, දේශපාලකයන්ට ලබාදුන් ගිනි අවි සෑහෙන ප්රමාණයක්, ඔවුන් දේශපාලනයෙන් ඉවත් වූ පසුවද, ආපසු ලබාදී නැහැ. මේ ගැන දැඩි ක්රියාමාර්ග ගතයුතුයි. //

    සම්පූර්ණයෙන් එකඟයි.

    //අත්යවශ්ය යයි පැහැදිළිව තහවුරු වන//

    මේ යටතට මෑතදී විවාහවූ තරුනියන් එකතු කල යුතුයි. :P

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මෑතකදී විවාහවූ තරුණියන් තුවක්කු ලෙස ගණන් ගන්න කියලද? මමනම් ගණන් ගන්නේ කාල බෝම්බ හැටියට.

      Delete
  27. හොඳ වැදගත් ලිපියක් කියල කියන්න කැමතියි. සුමානයක් විතර පරක්කු වෙලා මම විල්ල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මම හැමදාම කියනවා වගේ, කලින් ආවත් පරක්කුවෙලා ආවත්, ඔබේ පැමිණීම තමයි මට වැදගත් වෙන්නේ.

      බොහොම ස්තුතියි පැමිණ අදහස් දැක්වීම ගැන.

      නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනය කරනවා.

      Delete
  28. these photos are wrong !
    T56 mark1 - AK 47 YUGO 7.62x39
    T56 mark2 - (AK47)AKM T56S norinco side folder Chinese 7.62x39

    :)

    ReplyDelete
    Replies
    1. Here I am showing images to prove my idea. Not the characteristics or other details of the weapons. :P

      Delete
    2. Here I am showing images to prove my idea. Not the characteristics or other details of the weapons. :P

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }