හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

17 September 2014

අනගාරික ධර්මපාලතුමාගේ සමාජ සංස්කෘතික විප්ලවය

අදට යෙදෙන අනගාරික ධර්මපාල තුමාගේ 150 වැනි ජන්ම දිනය නිමිත්තෙන් වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියා ඒවා තිබුණු ලිපියක් ඔබේ කියවීම සඳහා මෙසේ පළකරනවා. 



අනගාරික ධර්මපාලතුමාගේ ජීවිතය කැපවන්නේ සමාජය යහපත් කිරීමේ අරමුණින් කරන ලද අරගල නිසාය.  එසේම මේ අරගල හිංසනයෙන් සහ බලහත්කාරයන් තොර වීමත්  අරගලය ස්වාර්ථය සඳහා යොදා නොගැනීමේ සාධකය නිසාත් කැපී පෙනෙයි.  

ධර්මපාලතුමා සමාජ අසධාරනයන් අත් විඳින්නේ පාසල් කාලයේදීමය. වෙසක් දිනයේදී පාසල් නොගොස් ආගමික වතාවත් වල යෙදීම නිසා ඔහුව සාන්ත තෝමස් විද්‍යාලයෙන් නෙරපා දමයි. එය පාසල් දරුවෙකුගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් විය. අද දිනයේ දියුණු සංස්කෘතියක් පවත්නා සෑම රටකම සිසුන් ගේ ආගමික දින සඳහා නිවාඩු ලබා ගත හැක. මෙම මූලික ළමා අයිතිවාසිකම පිලිබඳව හැඟීම් සහ පාසල විසින් තමාට අසාධාරනයක් කල බව ළමා දොන් ඩේවිඩ් හේවාවිතාරණ වටහා ගනියි.  නමුත් එකල සමාජයට , පාසල් පරිපාලකයන්ට සහ අධ්‍යාපනවේදීන්ට මෙම මූලික ළමා අයිතිවාසිකම පිලිබඳව වැටහීමක් නොවීය

අනගාරික ධර්මපාල කොලඹ උසස් සහ ධනවත් ප්‍රභූ පවුලක සාමාජිකයෙකි. එම නිසා බටහිරට ලැදි කොලඹ උසස් සමාජය තුල ගැවසී එම සමාජයේ අඩුපාඩු දැකීමට ඔහුට හැකි විය. ඔහු  අතිථී භීතිකාව (xenophobia ) හෙවත් විදේශිකයින්ට බිය  සහ නුරුස්නා බව නිසා හෝ හීනතාමාන සංකීර්ණය නිසා හුදු බටහිර  විරෝධියෙකු නොවුයේය. ඔහු  බටහිර ශිෂ්ටාචාරයේ උසස් සහ දියුණු අංගයන් අධ්‍යනය කලේය. බටහිර ශිෂ්ටාචාරයේ දියුණුව රඳා පවතින අධ්‍යාපනික , තාක්‍ෂණික  සහ සමාජ විනය ලංකාවේ ඇති කල යුතු බව විශ්වාස කලේය. විදේශයන් වෙත ගොස්    කර්මාන්ත ඉගෙන ගැනීමට ඔහු තම වියදමින් ශිෂ්‍යත්ව  පවා දුන්නේය. අනගාරික ධර්මපාලතුමා විරුද්ධ වූයේත් විවේචනය කලේත් බටහිර සංස්කෘතියේ දියුණු හරය වෙනුවට එහි පහළ ස්ථර වල ඇති කුණු කසළ වැළඳ ගැනීමෙන් සිය ජාතික අනන්‍යතාව ක්‍ෂය කර ගැනීම පිලිබඳවය. 

අනගාරික ධර්මපාලතුමා ජාතිවාදියෙක් ද ? ඔහු ලියූ ඇතැම් කවි සහ ලිපි මගින් අන්‍ය ජාතිකයන් විවේචනය කල බව ඇතැමෙකු පවසති.  ඔහුගේ බස අද කාලයට සාපේක්‍ෂව කර්කශ වූවද එම කාලයේ අධ්‍යාපනයෙන් අඩු ග්‍රාමීය ජනතාව ආමන්ත්‍රනය කිරීමේදී යොදා ගත් සාමාන්‍ය විවහාරයකි. අධ්‍යාපනයෙන් සහ සමාජ මට්ටමින් අඩු ජනතාවට ආමන්ත්‍රනය කිරීම සඳහා ඔහු සරල ග්‍රාම්‍ය භාෂාවක් යොදාගත්තේය.  නමුත් අනගාරික ධර්මපාල ජාතීන් අතර විස පැතිරූ ස්වාර්ථය සඳහා ජාතීන් අතර විරසක ඇති කල නායකයෙකු නොවීය. ඇතැම් අවස්ථා වලදී දමිළ සහ මුස්ලිම් ජන වර්ගයන් තුල පොදුවේ තිබෙන ඇතැම් දියුණු ලක්‍ෂණ සිංහලයන් විසින් අනුගමනය කල යුතු බව ලිවීය. රැකියා කර්මාන්තයේ නොයෙදෙන යන්තම් ජීවත් වීම සඳහා කය සොලවන , අනාගතයක් මෙන්ම  දුවා  දරුවන් ගැන නොසිතන නූගත්කමේ ගැලී සිට මත් පැන් පානයේ යෙදෙන පුද්ගලයන් ඔහුගේ නිර්දය විවේචනයට ලක් විය.   

ඔහු සිංහල පමණයි යන පටු අදූරදර්ශී ආත්මාර්ථකාමී සටන් පාඨය බැහැර කලේය. එමගින් සිංහල දරුවන් සදාකාලික ග්‍රාම්‍ය නූගත්වයේ  සහ බාහිර ලෝකයට විවෘත විය නොහැකි කොදෙව් මානසිකත්වයේ සිරකරුවන් වන බව පසක් කලේය.  ස්ව භාෂාව ප්‍රගුණ කොට විදේශ භාෂාද ඉගෙන ගත යුතු බව අනගාරික ධර්මපාලතුමා පෙන්වා දුන්නේය. දියුණු සමෘධිමත් තාක්‍ෂණයෙන් උසස් ආධ්‍යාත්මික ස්වයං විනයක් සහිත සමාජයක් පවතින ලංකාවක්  පිලිඳව ඔහු සිහින දුටුවේය. 

අනගාරික ධර්මපාලතුමා බුදු දහම ගැඹුරින් හැදෑරීය.  1893 දී චිකාගෝහි   පැවති දෘෂ්ටි සම්මේලනයේදී  එතුමා බුදුදහම පිලිබඳව හරවත් දේශනයක් කලේය. එසේම  කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් වෙත , බ්ලැවට්ස්කි මැතිණිය වෙත , හවායි හි ෆෝස්ටර් මැතිණිය වෙත යැවූ ලිපි වල  බුදු දහම මෙන්ම අන්‍ය ආගම් පිලිබඳව අනගාරික ධර්මපාලතුමා  සතුව පැවති විචක්‍ෂණ අනුභූතිය පෙනී යයි.  බෞද්ධ අයිතිවාසිකම් ස්ථාපිත කොට බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ මහා ක්‍රියාදාමය පසුපස සිටියේ අනගාරික ධර්මපාලතුමාය. 

අනගාරික ධර්මපාලතුමා තද විවේචකයෙකි. ඔහු සත්‍ය දුටු තැන එය පෙන්වා දුන්නේය. මහත්මා ගාන්ධි පවා අනගාරික ධර්මපාලතුමාගේ විවේචන වලට ලක් විය. මේ නිසා ඇතැමෙකු අනගාරික ධර්මපාලතුමා අන්තවාදියෙකු ලෙස හඳුන්වා දෙමින් එතුමාගේ සමාජ විප්ලවය අඩපණ කිරීමට කටයුතු කලෝය. මේ හේතුන් නිසා අවසාන සමයේදී කළකිරීමට පත් වූ එතුමා යළි ලංකාවට නොපැමිනෙන බවට ශපථ කලේය. 

අනගාරික ධර්මපාලතුමා විසින් ආරම්හ කරන ලද සමාජ සංකෘතික විප්ලවයේ අග්‍ර එල නෙලා ගත්තේ ආත්මර්ථකාමී දේශපාලකයන් විසිනි. දියුණු සමෘධිමත් තාක්‍ෂණයෙන් උසස් ආධ්‍යාත්මික ස්වයං විනයක් සහිත සමාජයක් පවතින ලංකාවක්  බිහි කිරීමේ අනගාරික ධර්මපාලතුමා ගේ සිහිනය ඔවුන් විසින් පැහැර ගත්හ.  ඒ වෙනුවට ජාතීන් ඇනකොටා ගන්නා සමාජ පසුගාමීත්වයෙන් සපිරි විනයක් නොමැති ලංකාවක් ඔවුන් නිර්මාණය කලහ. 

අනගාරික ධර්මපාලතුමාට කල හැකි උසස්ම බහුමානය වන්නේ වාර්ෂිකව එතුමාගේ පිළිරුවට  මල් මාළා පැලඳවීම හෝ ගුණකථන පැවැත්වීම නොව එතුමා දුටු සිහිනය සැබෑ කරවීම සඳහා පියවර ගැනීමයි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග



my-signature-for-blog[1]    2014 සැප්තැම්බර් මස 17 දින 1110 පැය 

15 September 2014

අපේ පන්සලේ සෙල් පිළිමය

   මතකද මම මීට ටික කලකට පෙර ඔබට කිව්වා අපේ පන්සලේ හදන සෙල් පිළිමය ගැන? මතක නැත්නම්, මෙතනින් බලන්න පුළුවන්. මේ පිළිමය නිමකරන්නට, තවත් වසරක් දෙකක් පමණ ගතවනු ඇති බවත්, මා එහි සඳහන් කළා. ඒ ලිපිය ලිව්වේ, මේ වසරේ මාර්තු මාසයේදී. සමහර අය මගෙන් අහලා තිබුණා, එහි වර්තමාන තත්වය කෙබඳුද කියා. එමෙන්ම මේ පිළිම කර්මාන්තයට, අපේ බ්ලොග් හිතවතෙක්, විශාල ආධාරයක්ද කළා. ඔහු ප්‍රසිද්ධියට අකමැති නිසා, නම සඳහන් කරන්නේ නැහැ.

   ඇත්තටම අවංකවම කියනවානම්, මේ ලිපිය ලියන්නෙත්, මේ කාර්යයට ඔබෙන් යම් ආධාරයක් බලාපොරොත්තුවෙන්. එයට ප්‍රධාන හේතුව වන්නේ ඒ සඳහා වැයවන විශාල පිරිවැය සෙවීම සඳහා දායක සභාවේ සියලු දෙනා තමන්ට හැකි සෑම අයුරකින්ම උත්සාහ දරන්නට අධිෂ්ඨාන කරගෙන සිටින නිසයි. මට ඉන්න වැදගත් සම්පතක් ඔබ සියලු දෙනා. ඉතිං ඔබට මේගැන කියන්නේ ඒ නිසයි. මම දැනට සෑම මාසයකම මගේ විශ්‍රාම වැටුපෙන් මේ සඳහා ආධාර මුදලක් ලබාදෙනවා. පිළිමය අවසන් කලත් නැතත්, සෑම මසකම ඒ මුදල (හැකිවුනොත් වැඩි කරමින්) මාගේ මරණය සිදුවනතුරු, පන්සලට ආධාර වශයෙන් දෙන්නට මා ඉටාගත්තා. යුදහමුදා සේවාමුක්ත භට සංගමයෙන්, මා මියගිය දිනක ලැබෙන මරණ පාරිතෝෂිකයෙන්ද කොටසක්, පන්සලට ආධාර වශයෙන් දෙන ලෙස, මා මගේ පවුලේ සැමට කියා තිබෙනවා.

   මේ විස්තරය වචන වලට වඩා පින්තූර වලින් කීම වඩාත් හොඳ බව මට පෙනීගිය නිසා මෙතැන් සිට හැකිතරම් පින්තූර එකතු කරනවා මේ ලිපියට. මුලින්ම පෙන්නන්නම් අපේ පන්සල තියෙන්නේ කොහේද කියා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, අමුණුගම කියන ග්‍රාම සේවා නිලධාරි වසමේ තමයි, අපේ පන්සල පිහිටා තියෙන්නේ. හැබැයි අපේ පන්සල ගැන තියන පුදුම සහගත තොරතුරක් තියනවා. ඒ තමයි ඔය කිව්ව ග්‍රාම සේවා නිලධාරි වසමේ පදිංචි කිසිවකුත්, අපේ පන්සලේ දායකයන් නොවීම. හරි පුදුමයි නේද? මේකයි හේතුව. බලන්නකො මේ සිතියම. 

Screenshot (14)

   අපේ පන්සල අසළින්ම ගලන ඔයක් තියනවා මගුරු ඔය කියලා. මේ ඔය ගලන්නේ ආසන්න වශයෙන් වයඹ - ගිනිකොණ දිශාගතව. ඉතින් මේ ඔයට දකුණෙන් පිහිටි ප්‍රදේශය අයිතිවෙන්නේ, පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට. උතුරෙන් පිහිටි ප්‍රදේශය අයිතිවෙන්නේ, කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට. සියලුම දායක පවුල් පදිංචි වෙලා ඉන්නේ, කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ. පන්සල පිහිටි ප්‍රදේශය තරමක් වනගත ප්‍රදේශයක්. එහි ජනාවාස නැහැ. ඒකයි එහෙම වෙන්න හේතුව. මේ බලන්න අපේ පන්සල කොච්චර නිස්කලංක තැනකද තියෙන්නේ කියලා. සිතියමේ මගුරු ඔය පෙනෙන්නේ නැති නිසා මම ඒක ඇන්දා.

Screenshot (13)

පන්සලේ තවත් පින්තූර ටික බලන්නකො පරිසරය කොහොමද කියලා බලාගන්නත් එක්ක.

2

3

4

5

6

7

8

10

   අපේ පන්සල බොහොම පුංචි, ලස්සන පන්සලක්. තව අඩුපාඩු ගොඩක් තියනවා හදාගන්න. අපට තවම ධර්ම ශාලාවක් නැහැ. දාන ශාලාවම තමයි ධර්ම ශාලාව ලෙස පාවිච්චි කරන්නේ. එහෙත් එහි එකවර 30 - 40 කට වඩා බිම වාඩිවෙන්න ඉඩකඩ නැහැ. කඨින පිංකම දවසට හාමුදුරුවරු 25 නමක් විතර වැඩියොත්, දානේ පිළිගන්වන්නත් අමාරුයි.  නමුත් අපි කොහොමහරි ඒ වැඩටික සංවිධානය කරගන්නවා. අපිට බොහෝ කාලයක් තිබුණේ පුංචි බුදු මැදුරක්. එතන එක වරකට හත් අට දෙනෙකුට වඩා, බිම වාඩිවෙලා වන්දනා කරන්න ඉඩ තිබුණේ නැහැ. පෝය දවසට මෙතන විශාල තදබදයක් ඇතිවෙනවා. මේ පහළ පින්තූරයේ තියෙන්නේ ඒ පුංචි බුදු මැදුර.

11

   අපිට විශාල ගැටළුවක් ඇතිවුණා, කොහොමද මේ බුදු මැදුර ලොකු කරන්නේ කියලා. මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළා දායක සභාවේදී. නමුත් විසඳුමක් ඔලුවට ආවේ නැහැ. මොකද බුදු මැදුර ඉදිරිපිට තියෙන්නෙත් ගල් තලාවක්. එහි කෙලවර ප්‍රපාතයක්. (අපේ පන්සල තියෙන්නේ කඳු මුදුනක, ගල් කුළු බහුල ප්‍රදේශයක) හැම මාසෙම පන්සලට දානේ අරං ගිහින්, මේ බුදු මැදුරට බුද්ධ පූජාව තියලා, හාමුදුරුවෝ කියන ගාථා කිව්වට, මගේ ඔලුවේ වැඩ කරන්නේ වෙන අදහසක්. 'අනේ මේ බුදු මැදුරට පිටිපස්සෙන් තියන ගල් පර්වතයෙන්, ලස්සන සැතපෙන බුදු පිළිමයකුයි සමාධි පිළිමයකුයි නෙළලා, පොළොන්නරුවේ ගල් විහාරයේ වගේ, ආවරණයක් හදාගන්න පුලුවන්නම්, කොච්චර හොඳද' කියලා තමයි, දානේ පූජා කරන ගමන් මම හිතුවේ. එක දවසක් මම, ටිකක් හිතට ධෛර්යය අරගෙන, අපේ ලොකු හාමුදුරුවන්ට ඔය අදහස කිව්වා. හාමුදුරුවෝ ගත් කටටම කිව්වේ, 'හරි පුදුමයි මහත්තයා, මහත්තයා දානේ පූජා කරන වෙලාවේ, මගෙ හිතටත් ඔය අදහස ආවා' කියලයි. මේ සිදුවීමෙන් පස්සේ, පන්සලට වැඩම කළ, අපේ හාමුදුරුවන්ගේ නිකායේ, වෙනත් ජ්‍යොෂ්ඨ ස්වාමීන් වහන්සේලාත්, ඒ අදහසම කියා තිබුණා. දැන් වැඩේ හරි. මේ බලන්නකො ඒ ගල් පරුවතේ තිබුණ හැටි.

12

13

  දැන් ඉතින් අපි මේ වැඩේට මානසිකව සූදානම්. නමුත් කොච්චර වියදමක් යයිද? මේ වැඩේට කොහෙන්ද පිළිම නෙලන ශිල්පියෙක් හොයාගන්නේ? හප්පෝ....... අපේ රටේ සමහර තැන්වල නෙළලා තියන පිළිම දැක්කම, බුද්ධාගමත් එපා වෙනවා. ඒවා පිළිම නෙවෙයි නිකං අලගෙඩි. ඔන්න ඉතිං ආයෙත් දායක සභාවේ අපේ හිත ටිකක් අවුල් වුණා. නමුත් අපේ හාමුදුරුවෝ, උන් වහන්සේගේ බහුශෘත භාවය හා පරිණත භාවය මොනවට පෙන්නුම් කරමින්, අපිට අනුශාසනා කළා, 'නිස්කලංකව හිතන්න, පියවරෙන් පියවර හිතන්න, එකවර ඔක්කොම බදාගන්න යන්න එපා' කියලා. එක දවසක් හාමුදුරුවෝ කියනවා, 'මහත්තයා යුද සෙනෙවියෙක් නේද? මේක යුද්ධයක් නම්, මහත්තයා එකවරම ගිහින්, ඔය ගල් පරුවතේ හැප්පෙනවද? එහෙම නැත්නම්, කල්පනා කරලා පියවරෙන් පියවර යන සැළැස්මක් හදනවද?' කියලා. ඔන්න අපි ඔක්කොම එකතුවෙලා හැදුවා සැලැස්මක්. හාමුදුරුවොත් පොඩි පොඩි වෙනස්කම් කරලා අවසාන සැළැස්ම හදාගත්තා.

   මොකක්ද සැළැස්ම? සැළැස්මේ පලමුවෙනියටම තියෙන්නේ අධිෂ්ඨානයක්. අපි දිවිහිමියෙන් මේ සෙල් පිළිමය නෙලීමට දායක වෙනවා. ඒ සඳහා සියලු ආකාරයෙන් ඇප කැප වෙනවා. සියලු ආකාරයෙන් උත්සාහ දරනවා. හොඳයි, අපි මුලින්ම කළේ, මේ ගල පිළිමයක් නෙලීමට සුදුසුද යන්න සොයා බැලීමයි. මොකද ලෝකේ පුරා ඕනෙ තරම් ගල් පර්වත තිබුණත්, පිළිම නෙලීමට ඒ හැම එකක්ම සුදුසු නැහැ. ගල් කටුවෙන් පහර වදිනවිට, කැඩී බිඳී පතුරු ගැලවී යන ගල් සුදුසු නැහැ. මේ දැණුම තියන ස්වාමීන් වහන්සේ නමක් ප්‍රකාශ කළා, මේ පර්වතය සුදුසුයි කියලා. ඊළඟට තියෙන්නේ ශිල්පියකු සොයාගැනීම. අපි දැම්මා පත්තරේ දැන්වීමක්. ඒ දැන්වීම දැකලා තුන්දෙනෙක් ආවා සම්මුඛ පරීක්ෂණයට.

   ඉතිං අපි කොහොමද එයාලව සම්මුඛ පරීක්‍ෂණයකට භාජනය කරන්නේ? මොකක්ද අපට තියන දැණුම ගල් පිළිම නෙළීම ගැන? ඔන්න මෙතනදීත් අපේ හාමුදුරුවෝ (අපේ හාමුදුරුවෝ ශාස්ත්‍රපති උපාධිය ලත්, බොහොම හොඳ විශ්ව දැණුමක් තියන සඟරුවනක්) පෙරමුණ ගත්තා. මේ ගැන දැණුමක් ඇති ස්වාමීන් වහන්සේලාත් සම්බන්ධ කරගෙන, අර ඉල්ලුම්කරුවන් තිදෙනා සම්මුඛ පරීක්ෂණයට භාජනය කළා. එයින් එක්කෙනෙක් තෝරාගත්තා. සුදුසුකම් අතින් බැලුවොත් ඔහු තවමත් තරුණ ජවයෙන් යුක්තයි. (විවාහ වුනෙත් මේ ඊයේ පෙරේදා. මනමාලිවත් අරගෙන පන්සලට ආවා නෙළමින් පවතින පිළිමය පෙන්නන්න) සෙල් පිළිම සහ කැටයම් පිළිබඳව ඉන්දියානු විශ්වවිද්‍යාලයක උපාධිධරයෙක්. අපි ඔහුගේ නිවසට ගියා ඔහු කර ඇති සහ කරමින් පවතින නිර්මාණ බලන්න. ඇත්තටම ඒවා බොහොම ඉහළයි. අනුරාධපුරයේ සමාධි පිළිමය, තොළුවිල සමාධි පිළිමය, අනුකරණයෙන් ඔහු නිමවා ඇති පිළිම, ඉතාම අලංකාරයි. ඔබෙන් සමහර අය දන්නවා ඇති, අපේ පන්සලද පිහිටා ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේම, පිහිටි, රම්බඩගල්ල, මොණරගල්ල,  ප්‍රදේශයේ විශාල සමාධි පිළිමයක් ඉදිවෙන බව. අපේ හාමුදුරුවෝ අපිත් සමග එහි ගියා, ඒ ශිල්පීන්ගේ සේවය, අපේ පිළිමය නෙළීම සඳහා ලබාගත හැකිදැයි බැලීමට. නමුත්, ඒ පිළිමයේ වැඩ තවමත් අවසන් නැති නිසා, ඒ ශිල්පීන් ලබාගැනීම ගැන බලාපොරොත්තු තියන්න බැහැ. 

monaragala_samadhi_buddha_statue__පින්තූරය ගත්තේ මෙතනින් 

   අනෙක් අතට අපි තෝරාගත් ශිල්පියා අපේ අවශ්‍යතාවට ඉතා හොඳින් ගැලපෙනවා. ඔහු ක්‍රියාකරන්නේ, ඔහුත් මේ මහා ව්‍යාපෘතියේ දායකයකු යන හැඟීමෙන් මිස, මුදල් ඉපයීම පමණක් පරමාර්ථ කරගෙන නොවෙයි. පසුගිය මාර්තු මාසයේදී, අපි පිළිමය නෙලීම සහ ආවරණ ගොඩනැගිල්ලක් ඉදිකිරීම යන වැඩ දෙකම ආරම්භ කළා. පොඩි උත්සව දෙකක් පැවැත්වුවා. පළමුවැනි උත්සවය පැවැත්වුවේ පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් තුමාගේ ප්‍රධානත්වයෙන්.

  මට කියන්න අමතකවුණා, අපි මේ පිළිමය නෙලීම ගැන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම්දී අවසරයක් හා අනුමැතියක් ලබාගත්තා, මෙම පිළිමය ඉදිකරන ස්ථානයේ, කිසිදු පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති දෙයක් නැති බවට. එමෙන්ම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිල්පීන් මෙහි පැමිණ, අවශ්‍ය මිනුම් කටයුතු කර, ගොඩනැගිලි සැළැස්ම ද නිර්මාණය කරදුන්නා. මේ තියෙන්නේ පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්, ආචාර්ය සෙනරත් දිසානායක, පැමිණි අවස්ථාව.

18


පිළිමය නෙළීමේ වැඩකටයුතු ආරම්භ කිරීමටත් උත්සවයක් පැවැත්වූවා. මේ තියෙන්නේ එහි අවස්ථා කීපයක්.

20
නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහ සඟරුවනට මුල්තැන ලැබුණා.


19
අපේ හාමුරුවො පැමිණි සියළුදෙනාව සාදරයෙන් පිළිගත්තා 


පක්ෂ පාට භේදයකින් තොරව මැති ඇමතිවරුන් සහභාගී වුණා. 

21
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, උද්භිද උද්‍යාන සහ පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ ගරු ඇමති, ජයරත්න හේරත් මැතිතුමා 


22
වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර මැතිතුමා 


24
කුරුණෑගල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මැතිතුමා 


15
අපේ ශිල්පියා නැකතට වැඩ ඇල්ලුවේ මෙහෙමයි. 


   ඉතින් මුලින්ම අර පුංචි බුදුමැඳුර ගලවා ඉවත් කළා. එහි තිබුණු බුදුපිළිමය තාවකාලිකව වෙනත් තැනක තැන්පත් කළා. දැන් අර මහ ගල් පරුවතේ කඩන්න ඕනෙ. නමුත් එය වෙඩි දාලා පුපුරවන්න බැහැ. එහෙම කළොත්, පිළිමය නෙලන්න තෝරාගත් කොටස් වලටත් හානිවෙනවා. ඒ වෙනුවට කරන්නේ, ඒ ගලේ කුහර හාරලා (කම්ප්‍රෙෂර් යන්ත්‍රයක ආධාරයෙන්, ගල් විදින දිග කටු යොදාගෙන) විශේෂ රසායනික ද්‍රව්‍යයක් ජලයේ දියකරලා, ඒ කුහර වලට පුරවනවා. පැය 12ක් පමණ ගතවූවාට පසු, පර්වතයේ අදාළ කොටද පිපිරී වැටෙනවා, හරියට පිහියකින් කැපුවා වගේ. මේ බලන්න.

16

   මේ ආකාරයට පර්වතයේ අනවශ්‍ය කොටස් සියල්ල ඉවත් කරගන්නවා. ඊට පස්සේ කරන්නේ ගල් කටු සහ ග්‍රයින්ඩර් යන්ත්‍ර ආධාර කරගනිමින්, ගලට හානි නොවන ආකාරයට ඉතා සීරුවෙන් පිළිමය නෙළීම ආරම්භ කිරීමයි. මේ සඳහා සහාය ශිල්පීන් ද ආධාර වෙනවා.

25

26

   මා ඔබට මීට පෙර පෙන්වා තිබුණේ, පසුගිය අප්‍රේල් මාසය වනවිට, පිළිමය නෙළීම කොපමණ දුරට අවසන් කර තිබුනේද යන්නයි. මතකද ඒ පින්තූරය? මේ තියෙන්නේ.

17

   ඔබ කැමති ඇති මේ වනවිට කෙබඳු ප්‍රගතියක් ලබාතිබේද යන්න දැනගන්නට. මෙන්න තියනවා වර්තමාන තත්වය.

27

28

DSC00072

   ඉතින් ඔබට වැටහෙනවා ඇති, මෙය එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව. ඇස්තමේන්තුගත සම්පූර්ණ වියදම රුපියල් එක්කෝටි පනස්ලක්ෂයක්. මේ මුදලෙන් ලක්ෂ කීපයක් දේශපාලන අධිකාරියෙන් සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් ලැබෙන බව දැනගන්නට තිබෙනවා. වර්තමානයේදී එවැනි ආධාර ලබාගැනීමට නම්, සෑම පන්සලක්ම බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලියාපදින්චිවී තිබිය යුතුයි. ඒ සඳහා නිර්දේශය ලබාදෙන්නේ ප්‍රාදේශීය ලේකම් විසින්. අපේ පන්සල, එලෙස ලියාපදිංචි පන්සලක්. ලියාපදිංචි අංකය, බෞකො/විහාදේ/14/87/012 මේ නිසා, අවශ්‍ය නෛතික පිළිගැනීම අපේ පන්සලට තිබෙනවා. දායක සභාවද එලෙසම ලියාපදිංචි කර තිබෙනවා. රාජ්‍ය මුදල් රෙගුලාසි අනුව කටයුතු කලයුතු නිසා, දායක සභාවේ බැංකු ගිණුමද විධිමත්ව සහ නිර්දේශානුකූලව සැකසුනා.

   මෙපමණ අධික මුදලක් වැයවන්නේ ඇයිද යන්න ඔබට ගැටළුවක් වනු ඇති. එක උදාහරණයක් පමණක් කියන්නම්. මේ කරන්නේ මහ කළු ගලක් සියුම් නිර්මාණයක් බවට පරිවර්තනය කිරීමේ අති දැවැන්ත ක්‍රියාවක්. ග්‍රයින්ඩර් යන්ත්‍රයකට සවිකරන තලයක් රු 3000ක් පමණ වන අතර සුමානයකට වඩා එයින් ප්‍රයෝජන ගන්න බැහැ. ගල් කටු ගෙවීයන්නේ බලා ඉඳිද්දී. අපේ ශිල්පියා කියන පරිදි සහ අපි මොනරගල්ල පිළිමය නිරීක්ෂණය කළ අවස්ථාවේ, එහි සිටි ශිල්පීන්ද කියන ලද පරිදි, පිළිමයේ සියුම් රේඛා ඉස්මතු කිරීම වැනි කාර්යයකදී, දිනකට අඟල් කීපයකට වඩා කරන්නට බැහැ. ඒ තරම් කල්පනාකාරීව සහ සියුම්ව කටයුතු කළයුතු නිසා. ඉතින් මා ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලන්නේ, ඔබට හැකි අයුරින් මේ සද්කාර්යයට දායක වන ලෙසයි. කවදා හෝ අප මෙලොව හැරගියත්, මේ පිළිමය අවුරුදු දහස් ගණනක් පවතිනු ඇති. අපේ ආත්මය සුවපත් වන්නට ඒ පිනම මදිද? ලෞකික සුවය මෙන්ම ලෝකෝත්තර සුවය වෙනුවෙනුත් යමක් කිරීමට පෙළඹවීමක් අවශ්‍ය නැහැ නේද? අවසානයේදී මෙන්න මේ ප්‍රතිඵලය ලබාගන්නයි උත්සාහ කරන්නේ. 

29

   අපේ දායක සභාවේ ගිණුමේ විස්තර මෙසේයි. ගිණුමේ නම; 'සුමන චිත්ත විවේකාශ්‍රම ගිණුම' ඉංග්‍රීසියෙන් ලියන්නේ නම් Sumana Chiththa Vivekashrama Account ගිණුම් අංකය; 280200130037972  බැංකු ශාඛාව; මහජන බැංකුව, පොතුහැර. මේ පින්කමට දායක වීමට ඔබට සිත් පහළවේවායි ප්‍රාර්ථනය කරමින් ලිපිය අවසන් කරනවා. 


my-signature-for-blog[1]   2014 සැප්තැම්බර් මස 15 වැනි දින 0045 පැය

08 September 2014

මගේ කැමරා ඉතිහාසය සහ ළඟදි ගත්ත ෆොටෝ ටිකක්

1195436790606908375johnny_automatic_man_with_a_camera.svg.med
 ඡායාරූප ශිල්පය මගේ එක් විනෝදාංශයක්. මා ඡායාරූප ශිල්පය ගැන මූලික කරුණු උගත්තේ, 1960 දශකයේ මැද භාගයේදී, මගේ පාසලේ තිබුණු ඡායාරූප සංගමයට බැඳීමෙන්. ඒ කාලයේ මා බොක්ස් කැමරාවක් පවා පාවිච්චිකර තිබෙනවා. ඒ කාලයේදී බොක්ස් කැමරාවටත් සෑහෙන තැනක් ලැබුණා. යුද බිමේ සිටියදී පවා, මගේ අතේ කැමරාවක් තිබුණා. යුද බිමේදී ලබාගත් ඡායාරූප 200 කට වැඩි සංඛ්‍යාවක් විනාශයට පත්වුණා, නිසි පරිදි සුරක්‍ෂිත කර නොගැනීම නිසා. ඒ ඡායාරූප අතර, ඓතිහාසික සහ සංග්‍රාමික වශයෙන් ද වටිනා ඡායාරූප රැසක් තිබුණා.  'වෙච්ච දේට එන්න සෙයියරදු' කිව්වලුනේ. :D  
ඉහත පින්තූරය ගත්තේ මෙතනින් 

   ඡායාරූප ශිල්පය ගැන මා තුළ උනන්දුවක් ඇතිවීමට තවත් හේතුවක් වුණේ, මගේ පියා, මා කුඩා කාලයේදී, සෑම පාසල් නිවාඩුවකදීම පාහේ, අපේ මුළු පවුලම රැගෙන, වන්දනා, විනෝද, අධ්‍යාපන, චාරිකාවක යෙදීම සහ, ඒ යන සෑම අවස්ථාවකදීම පාහේ, කැමරාවක් කාගෙන් හෝ ඉල්ලාගෙන ගොස්, පින්තූර ගැනීම නිසයි. එවැනි කලුසුදු පින්තූර රාශියක්, අපේ ගෙදර ඒ කාලේ තිබුණත් අද ඒවා අතුරුදන්. පහත දක්වන්නේ ඒ කාලයේ තිබුණු බොක්ස් කැමරාවක්. මෙහි පටල පටියේ ප්‍රමාණය 120mm ලෙසයි මට මතක තියෙන්නේ. 

a0533979c0ba356255cb9200328d72639511b7
පින්තූරය ගත්තේ මෙතනින් 

   ඉන්පසු කාලයේ මා දුටු හොඳම කැමරාව වුණේ 127mm ප්‍රමාණයේ කැමරාවයි. එය පහත දැක්වෙන පින්තූරයේ පෙන්වන කැමරාවේ හැඩයට ආසන්නයි.

front-view-antique-folding-medium-format-camera-10515135
   
   1960 දශකයේ දී ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පීන් අත තිබුණු ප්‍රබලම අවිය වුණේ, රොලිෆ්ලෙක්ස් Rolleiflex  වර්ගයේ කැමරාවයි. මට මතක හැටියට 120mm ප්‍රමාණයේ කැමරාවක් වූ මෙය, මහා බලගතු කැමරාවක් ලෙස එකල බොහොම ප්‍රසිද්ධව තිබුණා. මම මේ කැමරාවත් වාර දෙකක් හෝ තුනක් පාවිච්චි කර තිබෙනවා.

Rolleiflex-Automat-Model-3-02
පින්තූරය ගත්තෙ මෙතනින් 
   

   කතාව වේගයෙන් ඉදිරියට රැගෙන යනවානම්, 35mm පටලපටි කැමරා පැමිණි යුගයේ, මහා විප්ලවවාදී විශ්වකර්මයා ලෙස සැළකුණේ, Yashica Electro 35 කැමරාවයි. මේ කැමරාව ඒ ගැන හොඳ පුහුණුවක් ලබා නැති අයට පාවිච්චි කරන්නට බැහැ. ක්‍රියාකාරිත්වය තරමක් සංකීර්ණයි. 

Yashica-Electro-35-GL
පින්තූරය ගත්තෙ මෙතනින් 
   
   ඇත්තටම මට මගේම කියා කැමරාවක් ගන්නට ලැබුණේ 1980 දශකයේදීයි. මුලින්ම ගත්ත කැමරාව Olympus වර්ගයේ එකක්. මේ කැමරාවෙන් මට, යුදබිමේ පින්තූර පවා, සාර්ථකව ලබාගන්න පුළුවන් වුණා. හුරුබුහුටි නමුත්, හොඳ පැහැදිලි පින්තූර ගන්න පුළුවන්. මේ කැමරාවෙන් මා ලබාගත් ඡායාරූප, අපැහැදිළි බවකින් තොරව, 12 x 10 ප්‍රමාණයට පවා විශාලනය කර තිබෙනවා. 


appareils photo présentés sur le site www.NETWORK-ERROR.com/photo
පින්තූරය ගත්තේ මෙතනින් 
  

   මීළඟට මගේ කැමරා මිතුරා බවට පත්වුණේ Yashica Zoomate 90 නමැති කැමරාවයි. සම්පූර්ණ ස්වයංක්‍රීය කැමරාවක් වුනත්, ඉතා තියුණු පින්තූර ගැනීමට මේ කැමරාවෙන් හැකිවුණා. මෙහි zoom power එක ඒ කාලයේ හැටියට ඉතා ප්‍රබලයි. මේ කැමරාවේ තිබෙන ලොකුම දුර්වලකම වුණේ ඉක්මනින් බැසයන බැටරියක් තිබීමයි. නැවත ආරෝපණය කළහැකි බැටරියක් මේ කැමරාව වෙනුවෙන් එකළ තිබුණේ නැහැ. මේ කැමරාවේ 90 මෝස්තරයේ පින්තූරයක් හොයාගන්න හැකිවුණේ නැහැ. මෙහි තිබෙන්නේ 70 මෝස්තරය. හැඩයෙන් එක සමානයි. 

5230932690_ba310455e7_z
පින්තූරය ගත්තෙ මෙතනින් 
   

   35mm පටල පටි කැමරාවක් වශයෙන්, අවසාන වරට මා පාවිච්චි කළේ, පහත දැක්වෙන යශිකා කැමරාවයි. මේ කැමරාවේ කාච පද්ධතිය, ඉදිරියට සහ පසුපසට ගෙනයන flex කොටස, ඉක්මණින් කැඩෙනවා. එවිට සම්පූර්ණ කාච පද්ධතියම මිලදීගෙන සවි කලයුතුයි. flex කොටස එයටම සවිවූවක්. ඒ නිසා මේ කැමරාව අවුරුදු තුනකින් පමණ අත්හැර දැම්මා. අදටත් සිහිවටනයක් ලෙස තිබෙනවා.


61bscJEvqTL._SX522_
පින්තූරය ගත්තෙ මෙතනින්
   
   එක දෙයක් කියන්න අමතක වුණා. මේ කාලයේදී මා, වෘත්තීය මට්ටමේ ඇනලොග් කැමරා කීපයක් ඉල්ලාගෙන පාවිච්චි කිරීමෙන්, අත්දැකීම් රාශියක් ලබාගත්තා. එහෙත් ඒවා මිලදීගන්න තරම්, මට වත්කමක් තිබුණේ නැහැ.

     පසු කාලයේදී මට, ඩිජිටල් කැමරා ගැන අහන්න දකින්න ලැබුනා. (අසමි දකිමි) ඒ ගැන වඩ වඩාත් කරුණු හොයන්නත් මා පෙළඹුනා. (අසමි දකිමි + සොයමි) පොත්පත් හොයාගෙන කියෙව්වා. ඩිජිටල් කැමරා පාවිච්චි කරන අය සමග සාකච්ඡා කළා, වෘත්තීය මට්ටමේ ඩිජිටල් කැමරා කීපයක් අතපත ගා, ටිකක් එහාට මෙහාට වනන්නත් ඉගෙනගත්තා. නමුත් වෘත්තීය මට්ටමේ ඩිජිටල් කැමරාවක මිළ අහපුවාම, මගේ රුධිර පීඩනය වැඩිවන නිසා, මෙන්න මේ වගේ පුංචි ඩිජිටල් කැමරාවකින් සෑහීමකට පත්වුණා.


83414
පින්තූරය ගත්තෙ මෙතනින් 
   
   මෙය Sony DSC W360 මෝස්තරය. මේ කැමරාවෙන් සෑහෙන සතුටුදායක පින්තූර රාශියක් ගන්න මට හැකියාව ලැබුණා. නමුත් ඒ පින්තූර වලින් මා 100% ක් තෘප්තියට පත්වුණේ නැහැ. අද මා පාවිච්චි කරන්නේ, Sony DSC H300 කැමරාවක්. මෙය ඩිජිටල් කැමරා වර්ගීකරණයේදී බ්‍රිජ් කැමරා - Bridge Camera යන වර්ගීකරණයටයි වැටෙන්නේ. 

37142iB0997A5977CBB611
පින්තූර ගත්තෙ මෙතනින් 
   

   මේ කැමරාවෙන් මට වෘත්තීය මට්ටමේ කැමරාවකින් ගන්නා ඡායාරූප වලට සෑහෙන තරම් ආසන්න මට්ටමේ පින්තූර ගන්න පුළුවන් වුණා. මේ කැමරාවේ තිබෙන ෆ්ලෑෂරය, පොපප් ෆ්ලෑෂරයක්. නමුත් එහි බලය, මට අවශ්‍ය ගුණාත්මක බව ලබානොදෙන නිසා, මම ස්ලේව් ෆ්ලෑෂරයක් එකතුකරගත්තා. (ඒ සඳහා මට මග පෙන්වූ වෙනීට මගේ ප්‍රණාමය පුදකරනවා) ඒ මෙන්න මෙහෙමයි.


Exif_JPEG_420
   

   මෙතනදී මම කළේ, ඝන ඇලුමිනියම් තහඩුවක, කැමරාව සහ ෆ්ලෑෂරය, මවුන්ට් කරන්න අවශ්‍ය ආකාරයට සකසා ගැනීමයි. මේ ඇටවුම, මා ළඟ තියන ට්‍රයිපොඩ් එකෙත්, මෙහෙමම සවි කරන්න පුළුවන් වීම විශේෂ වාසියක්. මේ ඇටවුම අතේ තියාගෙනත්, කිසිදු අපහසුවකින් තොරව පින්තූර ගන්න පුළුවන්. මේ ෆ්ලෑෂරය, කැමරාවේ පොපප් ෆ්ලෑෂරය සමග, ස්ලේව් යුනිට් එකක් හැටියට ක්‍රියාත්මක වෙනවා, වයර් සම්බන්ධතාවක් නැතුව. අවශ්‍යවිට ෆ්ලෑෂරය ගලවා අතට අරන්, සුදුසු පරිදි අල්ලාගෙනත් පින්තූර ගන්න පුළුවන්. එමෙන්ම මේ කැමරාවෙන් Manual Mode පින්තූර ගන්න පුළුවන්වීම ගැන, මම හුඟක් සතුවෙනවා. පහත දක්වන පින්තූර වලින් බොහොමයක් ඒ විදිහට ගත්ත ඒවා.

   හැබැයි මේ ඔක්කොම කළත්, මම තවමත් බොහොම ආධුනිකයකු බව, මා කවදාවත් අමතක කරන්නේ නැහැ. අදටත් මම ඡායාරූපකරණය ගැන ඉගනගන්නවා, ඡායාරූප සංස්කරණය ගැන ඉගෙනගන්නවා. දැනට මම පෙරුම්පුරන්නේ, මේ පහළින් ඉන්න එක්කෙනා අයිතිකරගන්නයි. නමුත් දැනටනම් ඒක හීනයක් විතරයි, මෙයාගේ මිළ ගණන් එක්ක බැලුවම. ලක්ෂ 10 - 12 වටින බඩුත් ගෙවන්න දෙන මේ රටේ, කැමරා විතරක් එහෙම දෙන්නේ නැතිවීම ගැන දුකයි. මෙන්න ඉන්නවා ඒ සිහිනය.


nikon-d3200-kit-with-18-55-mm-vr-lens-slr-400x400-imada6rquvzcspxw
   
   හොඳයි, දැන් ඇති නේද කැමරා ගැන කිව්වා. එහෙනම් මෙතන ඉඳලා බලමු මගේ පින්තූර. මේ සියල්ලම ගත්තෙ අර Sony DSC H300 කැමරාවෙන්.


1

2

3

4

5

6

6a

7

7a

8

9

10

11

11a

   නිල්, කහ, රතු, කොළ, යන වර්ණ පමණක් වෙන්කරගෙන, අනෙක් සියලු වර්ණ කළු හෝ අළු පැහැයට හරවා, පින්තූර ගැනීමේ පහසුකම, මේ කැමරාවේ තියනවා. මේ තියෙන්නේ, ඒ ආකාරයට ගත්, පින්තූර කීපයක්.

12

13

14

15

පහත දැක්වෙන පින්තූර ගත්තේ, මේ කැමරාවේ zoom කිරීමේ හැකියාව මැන බලන්නයි.

16
මීටර් 20 ක් දුර සිට 


17
මීටර් 15 ක් දුර සිට


18
මීටර් 50 ක් දුර සිට 


මෑතකදී මට ජාතික සත්වෝද්‍යානයට යන්නට අවස්ථාවක් ලැබුණා. මේ එහිදී ගත් පින්තූර කීපයක්.

19

20

21

22

23

24

25

26

27

   ඡායාරූප සංස්කරණය පිළිබඳව මා ලබාගත් අත්දැකීම් අනුව නිමැවූ පින්තූර දෙකක් සමගින් මේ ලිපිය අවසන් කරනවා.

28

   මේ දැරිවි ඉන්නේ ගාලු මුවදොර වෙරළේ. මෙතන තවත් විශාල පිරිසක් හිටියා. දැරිය මුහුදු රැල්ළට අසුවෙයි යන බියෙන්, ඇගේ මව ඇය අසළම සිටියා. ඔවුන් සියලුදෙනා ඉවත්කර සංස්කරණය කර තිබෙන්නේ.

29

   මේ දීර්ඝ ලිපිය ඉවසීමෙන් බැලූ ඔබ සැමගෙන් මා ඉල්ලන්නේ, මේ පින්තූරවල තියන අඩුපාඩු හැකිතරම් කියන්න. එය මට කරන ලොකුම උපකාරයක්.


my-signature-for-blog[1]    2014 සැප්තැම්බර් මස 07 දින 1328 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }