මොකක්ද හමුදාවක තියන පුංචිම කොටස? ඒ තමයි ‘පෙළ’ (Section) සාමාන්‍යයෙන් පෙළකට සෙබළුන් හත් දෙනෙක් අට දෙනෙක් විතර ඉන්නවා. පෙළකට ඉන්න ප්‍රධානියා තමයි ‘පෙළ අණදෙන්නා – Section Commander’ පෙළ අණදෙන්නෙක් ලෙස පත් කරන්නේ ‘කෝප්‍රල් - Corporal’ කෙනෙක්. ඊට පහළින් හෝ ඉහළින් ඇති නිළයක කෙනෙක් කවදාවත් පෙළ අණදෙන්නෙක් ලෙස පත් කරන්නේ නැහැ. (පහළින් තියන නිළය ‘ලාන්ස් කෝප්‍රල්’ Lance Corporal ඉහළින් තියන නිළය ‘සැරයන්’ Sergeant. අනේ වඳිඤ්ඤං, දැන් අහන්න එපා, කෝප්‍රල් ගේ නිළ ලාංඡනය මොකක්ද? සාජන් ගේ නිළ ලාංඡනය මොකක්ද? කියලා. එව්වා සවිස්තරව කියා දීලා හුඟක් කල්. දැන් අපි බලමු ඔය පෙළ හෙවත් පේළියේ ඉන්න පිරිස කවුද කියලා. කෝප්‍රල් 1 යි, ලාන්ස් කෝප්‍රල් 1 යි, සාමාන්‍ය සෙබළ Private 6 යි. (මේ වචනය ප්‍රයිවෙට් මිසක් ප්‍රයිවට් නෙවෙයි. සමහරු ලියන්නේ කියන්නේ ප්‍රයිවට් කියලා) දැන් හරි නේද අට දෙනා. හැබැයි ලෝකයේ හැම හමුදාවකම මේ විදිහට නැහැ. අඩු වැඩි වෙනවා. (වෙනස් වෙනවා) පෙළ හඳුන්වන සංකේතයක් තියනවා. ඒ සංකේත පාවිච්චි කරන්නේ හමුදා සිතියම් ලකුණු කිරීම සඳහායි. ඒ විතරක් නෙවෙයි. විශාල මැෂින් තුවක්කු, ගුවන් යානා නාශක තුවක්කු, ආර්.පී.ජී. මෝටාර්, යුද්ධ ටැංකි, කාලතුවක්කු, විවිධ බෝම්බ හා මර උගුල්, වැනිදේත් සිතියමක ලකුණු කරන්න සංකේත තියනවා. පස්සේ වෙලාවක බලමුකෝ ඈ. පෙළක් හෙවත් සෙක්ෂන් එකක් පෙන්වන්නේ මෙන්න මෙහෙම. .. මොකක්ද සංකේතය? තිත් දෙකක්. මේ තිත් දෙක තමන්ගේ හමුදාවේ පෙළක් නම් නිල්පාටෙන් ද, සතුරු හමුදාවෙනම් රතු පාටෙන් ද, තමයි ලකුණු කරන්නේ. ඒ කියන්නේ හමුදා සිතියමක අපේ හමුදාවට අදාළ දේවල් නිල් පාටෙනුත්,සතුරාට අයත් දේවල් රතු පාටෙනුත්, ලකුණු කරනවා. පෙළ ගැන කතාව එතනින් ඉවරයි.
පොහ් . . ..කජු කනවා වගේ වැඩක්නේ මේ හමුදා සිතියම්වල තියන සංකේත කියවන එක. (එහෙමද හිතාගෙන ඉන්නේ මල්ලී . . . . හරි ඔහොම යන්කෝ ඉස්සරහට. දෙන්නම් . . . . යන්ඩ)
(අනේ මේ වචනය කවදාවත් ‘කොම්පැනි’ කියලා උච්ඡාරණය කරන්න එපා හොඳේ. ‘කම්පනි’ කියලා උච්ඡාරණය කරන්න.(කයන්න විවෘතව. ඒ කියන්නේ ‘කළුපාට’ කියන තැන කයන්න කියවෙන ආකාරයට) මම ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ වෘත්තීය ඉංග්‍රීසි පාඨමාලාව හදාරන කාලයේ, මගේ උපදේශිකාවක වූ, සුප්‍රසිද්ධ සිනමා/වේදිකා/ටෙලිනාට්‍ය නිළි, අයිරාංගනී සේරසිංහ මහත්මිය, මට දුන්නා හොඳ ‘ලැච්චර්’ එකක්
මට කොම්පැනි කියවෙලා. අප්පේ හරිම සැරයි.
ඒ වගේමයි මට ඉගැන්වූ ගුරුවරු අතර සැර/හොඳ සුප්‍රසිද්ධ අය තවත් දෙන්නෙක් ඉන්නවා. කෙටි කාලයක් සංගීතය ඉගැන්වූ සුජාතා අත්තනායක මහත්මියත් හරිම හොඳයි, ඒ වුනාට බුදු අම්මේ සැර. නමුත් ඊට පස්සේ මගේ සංගීත ගුරුවරිය වූ විශාරද චන්ද්‍රා රණතුංග නම් අම්මා කෙනෙක්, සහෝදරියක්, වගේ. අයිරාංගනී සේරසිංහ මහත්මියගෙන් ඉංග්‍රීසි ඉගෙනගත්තා වගේම, සුජාතා අත්තනායක මහත්මිය හා විශාරද චන්ද්‍රා රණතුංග මහත්මිය බුදුවෙන්ඩ, හඩු සංගීතයෙන් හොඳ සංගීතය වෙන්කරගැනීමේ හැකියාව සහ සංගීතය රස විඳීමේ හැකියාව, විශාල ලෙස වර්ධනය වුණා.)
කම්පනි එකක් හෙවත් කණ්ඩායමක් හැදෙන්නේ ඛණ්ඩ තුනක් එක්වීමෙන්. ඒ ඛණ්ඩ, No1 Platoon, No 2 Platoon No 3 Platoon ආදී වශයෙන් නම් කරනවා. (ආයෙත් කියන්න ඕනෙද රට රටවල් අනුව වෙනස්වෙනවා කියන එක) කණ්ඩායමක ඉන්නේ ඛණ්ඩ තුනේ එකතුව හා සමාන පිරිස නෙවෙයි. ඊට චුට්ටක් වැඩි වෙනවා. සමහරවිට 150 ක් විතර වෙනවා. කවුද ලොක්කා? කණ්ඩායම් භාර නිලධාරි – Company Commander සාමාන්‍යයෙන් එයා මේජර් කෙනෙක්. නමුත් නිලධාරි හිගය නිසා හෙට අනිද්දා මේජර් වෙන්න ඉන්න කපිතන් කෙනෙක් වුනත් පත්කරනවා අපේ රටේ.
(මොකක්දෝ කරුමයක් පළදීලා, මම ලුතිතන් කාලේ, වැඩ බලන කණ්ඩායම් භාර නිළධාරි හැටියට පත්කෙරුවා. ඉතින් ලොක්කා වගේ ජීප් එකත් කිහිල්ලේ ගහගෙන, (ඔබ දැකලා ඇති හමුදා නිලධාරීන් ජීප් එකේ යද්දී වම් අත ගරු ගාම්භීර විදිහට ජීප් එකේ ජනෙල් කවුළුව මත තබාගෙන යනවා. ඒකට අපි කියන්නේ ‘ජීප් එක කිහිල්ලේ ගහගෙන යනවා’ කියලා
) මමත් හමුදා ක්‍රියාන්විත සාකච්ඡා වලට ගියාම, එතන ඉන්නේ කැප්ටන්ලා, මේජර්ලා, කර්නල්ලා. බලසේනාධිපති (Brigade Commander) අහනවා, මොකාද අර රිලවා කියලා. (Who is that f****** Monkey කියලා. ගරු සරු ඇතුව අහන්නේ. කාටද ආඩම්බර බලසේනාධිපතිතුමා විශේෂයෙන් අහනකොට ඒ කවුද කියලා) කොහොමටත් මගේ පෙණුමත් ඒ වගේම නේ.
හයියෝ . . . . . . . . .වෙඩි තියාගෙන, බෙල්ලේ වැල දාගෙන, මූදට පැනලා, වහ කාලා, මැරෙන්න හිතෙනවා)
ඊළඟට කවුද ලොක්කා. ඊළඟට ඉන්නවා ‘කණ්ඩායම් භාර සැරයන් මේජර් - Company Sergeant Major = CSM’ මේ සඳහා පත් කරන්නේ බලලත් නිලධාරි II නිළයේ එක්කෙනෙක්. (මේ නිළතල හා ලාංඡන ඔක්කොම කලින් කියලා තියනවා) ඊළඟට ඉන්නවා ‘කණ්ඩායම් භාර උපකරණ පාලක සැරයන් - Company Quarter Master Sergeant = CQMS’. මේ සඳහා ඉන්නේ මාණ්ඩලික සැරයන් වරයෙක්. මේ CSM සහ CQMS යන දෙදෙනා සොල්දාදු ගණයට අයත් වුනත් ඔවුන්ට වඩා පහළ නිළවල ඉන්න සියලු දෙනාම සර් කියා ඇමතිය යුතුයි. මෙන්න කණ්ඩායම පෙන්වන සංකේතය පහත තියනවා.
(හමුදාවේ සෑම දෙයකටම කෙටි යෙදුම් තියනවා. Section = Sec, Platoon = Pl, Company = Coy, Battalion = Bn, Brigade = Bde, Division = Div, Army = Ay, Section Commander = Sec Comd, Platoon Commander = Pl Comd, Brigade Commander = Bde Comd. මේ කෙටි යෙදුම් සප්ත මහා සාගරේ වගේ මහා ගොඩක් තියනවා. වෙන ලිපියකින් කතාකරමු)
මම කිව්වානේ කම්පනි කීපයක් තිබෙනවා කියා බලඇණියක. ඒවා නම් කරන්නේ A Company (යුද හමුදා කෙටි යෙදුම Military Abbreviation = A Coy), B Company (B Coy) ආදී වශයෙන් මේ ඒ, බී, සී, කියන ඒවා උච්ඡාරණය කරන්නේ හමුදාවට ආවේනික ක්‍රමයකට කියලා කිව්වා මතකද? (හම්මෝ……මේ බ්ලොග් අඩවිය නිසා, දැන් ඔයාලා හමුදාව ගැන දන්නා දේවල් හරී ගොඩයි, නේද මෙයාලා……..
) ඒ අනුව අල්ෆා කම්පනි, බ්‍රාවෝ කම්පනි, ලෙස තමයි කියන්නේ. එක කම්පනියක් තියනවා ‘Support Company - ආධාරක කණ්ඩායම’ කියලා. ඒ කණ්ඩායමේ තමයි ලොකු මෝටාර්, ආර් පී ජී අංශ, බර මැෂින් තුවක්කු අංශ, තිබෙන්නේ. සාමාන්‍යයෙන්, බලඇණි අධාරක අවි පිලිබඳ විශේෂ පාඨමාලාව Battalion support weapon course = BSW සමත් මේජර් කෙනෙකුට තමයි ආධාරක කණ්ඩායම අණදීම ලැබෙන්නේ.
බලඇණි මූලස්ථානයේ ඉන්න අනික් අය කවුද? ඔන්න මෙතැනදී නම් මම අපේ හමුදාවට ආසන්නව යමින් ලියන්නේ. දෙවැනි අණදෙන නිළධාරි ළඟට ඉන්නේ ‘විධායක අධිකාරි - Adjutant’ ඔහු අණදෙන නිළධාරිගේ ‘මාණ්ඩලික නිළධාරියා – Staff Officer’. ඔහු තමයි අණදෙන නිළධාරි දෙන නියෝග නොපමාව, විධිමත්ව, ක්‍රියාත්මක වෙනවාද යන්න සොයාබලන්නේ. බලඇණියේ විනය හා පරිපාලනය ගැනත් ඔහු සොයාබලා අවශ්‍ය කටයුතු කළයුතුයි. පුහුණු කටයුතු භාරව ක්‍රියා කළයුතුයි. (රාජකාරි ලැයිස්තුව දිගයි) සාමාන්‍යයෙන් විධායක අධිකාරි ලෙස පත්වන්නේ කපිතන් නිළයේ නිළධාරියෙක්. ඊළඟට ඉන්නවා බුද්ධි නිළධාරි. බොහෝවිට ලුතිතන් හෝ කපිතන් (කපිතාන් නෙවෙයි කපිතන්) නිළයේ නිළධාරියෙක්. ඒ වගේම බලඇණියේ උපකරණ පාලක නිළධාරියා ඉන්නවා. (අපේ හමුදාවේ ක්‍රමය අනුව, මොහු, කෝප්‍රල් නිළයේ සිට බලලත් නිලධාරි 2 දක්වා නිළයක සේවය කර, ඉන් ඉවත්ව, නැවත පුහුණුවක් ලබා උපකරණ පාලක අධිකාරියට පත්කළ නිළධාරියෙක්) ඔහු ඉන්නෙත් බලඇණි මූලස්ථානයේ. ඔහු බලඇණියේ සියළු දෙනාගේ ආහාර පාන, ඇඳුම් පැළඳුම්, අවි සහ පතරොම්, ගැන සොයාබලා කටයුතු කරනවා. ඔහුගේ සහයට ‘රෙජිමේන්තු උපකරණ පාලක සැරයන් මේජර් - Regiment Quarter Master Sergeant = RQMS’ ඉන්නවා. ඔහුත් බලලත් නිලධාරි 2 පන්තියේ කෙනෙක්. බලඇණියක සිටින ජ්‍යොෂ්ඨතම සෙබලා හෙවත් ‘රෙජිමේන්තු සැරයන් මේජර් - Regiment Sergeant Major = RSM’ (ඔහු බලලත් නිලධාරි 1 පන්තියේ) ඉන්නෙත් බලඇණි මූලස්ථානයේ. බල ඇණියේ විනය, පරිපාලනය, පුහුණු කටයුතු තමයි මොහුගේ වගකීම් අතර ප්‍රධාන තැනක් ගන්නේ. බලඇණි මූලස්ථානයේ ආරක්ෂාව සළසන්නේ ‘මූලස්ථාන කණ්ඩායමෙන් – Headquarter Company’ සාමාන්‍යයෙන් එහි අණදීම් පැවරෙන්නේ දෙවැනි අණදෙන නිලධාරිට පසුව සිටින ජ්‍යොෂ්ඨතම මේජර්ටයි. මෙන්න බලඇණියේ සංකේතය.
වෙනදා වගේම පින්තූර ලබාගත්තේ Google Images වෙතින්
No comments :
Post a Comment